සිව්වන (4) වරටත් අගමැති ධුරයේ දිවුරුම් දුන් මහින්ද රාජපක්ෂගේ දේශපාලන දිවිය පිළිබඳ සටහනක්

(09.08.2020 – 15:02 +0530 – hirunews.lk/sinhala)

50 වසරක දේශපාලන දිවිය තුළ දෙවරක් (2) ජනාධිපති ධුරයද තෙවරක් (3) අගමැති ධුරයද හොබවමින් රටට ජයග්‍රහණ රැසක් අත්කර දුන් මහින්ද රාජපක්ෂ මහතා අද (09) සිව්වන (4) වරටත් අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නා.

මේ ඔහුගේ දේශපාලන දිවිය පිළිබඳ හිරු තබන සටහනක්.

1945 නොවැම්බර් 18 වැනිදා මැදමුලනේදී උපත ලබන මහින්ද රාජපක්ෂ මහතාට දේශපාලන පරිසරය කුඩා කල පටන්ම නොමඳව ලැබුණා.

එලෙස හැදී වැඩෙන මහින්ද රාජපක්ෂ තරුණයා බෙලිඅත්ත ආසනයෙන් මහ මැතිවරණයට මුල්වරට තරග කරන්නේ 1970 වසරේදී.

ඒවන විට මහින්ද රාජපක්ෂ 25 වියැති තරුණයෙක්.

රාජපක්ෂ පරපුරට උරුම වූ කුරහන් සාටකයේ ආශිර්වාදයෙන් මැතිවරණ සටනට පිවිසි තරුණ මහින්ද ඡන්ද 23,103 ක් ලබාගන්නවා.

ඒ ඔහුගේ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිවාදියා ඡන්ද 16,477 කට සීමා කරමින්.

මහින්ද රාජපක්ෂ මහතා එලෙස තරුණ මන්ත්‍රීවරයෙකු ලෙස මැති සබය නියෝජනය කරන්නේ එවක සිටි ලාබාලතම මන්ත්‍රීවරයාද වෙමින්.

7 වැනි පාර්ලිමේන්තුවෙන් එලෙස පන්නරය ලබාගන්නා මහින්ද රාජපක්ෂ මහතාට 1977දී සිය බෙලිඅත්ත මන්ත්‍රී අසුන අහිමිවෙනවා.

සිය ජයග්‍රහණය මෙන්ම පරාජය ද සම සිතින් විඳගත් මහින්ද රාජපක්ෂ මහතා යළි දේශපාලන සටන් බිමට පිවිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුල කැබිනට් ඇමතිවරයෙකු, විපක්ෂ නායකවරයෙකු, අගමැතිවරයෙකු ලෙස පමණක් නොව විධායක ජනාධිපතිවරයා ලෙසද කටයුතු කළා.

අඩසියවසකට අධික සිය දේශපාලන ජීවිතය තුළ ඔහු රටට දිනාදුන් දේ බොහෝයි.

30 වසරක් පුරාවට රට වෙලාගත් ශාපලත් යුද්ධය නිමා කිරීමේ ගෞරවයද හිමිවන්නේ මේ කෘතහස්ත දේශපාලනඥයාටයි.

එතැන් පටන් රටේ සංවර්ධන යුද්ධය ඇරඹු එතුමන් මෙරටට තවත් ජයග්‍රහණ රැසක් උරුම කර දුන්නා.

මහින්ද චින්තනය සහ මහින්ද චින්තන ඉදිරි දැක්ම හරහා ලක්මව සංවර්ධනයේ පියවරෙන් පියවර ඉදිරියට තැබුවේ එතුමන්ගේ සංවර්ධන උපායමාර්ග ඔස්සේයි.

ජනතා මෙහෙවරේ අභියෝග උර මත දරමින් දේශපාලනයේ හරසුන් විවේචන සහ අපහාස මඳ සිනාවෙන් ඉවසන මේ ජනතා සේවකයා රටේ සමස්ත දරු පරපුරටම පියෙකු බව නොරහසක්.

මහින්ද රාජපක්ෂ මහතා ප්‍රථම වරට අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දුන්නේ 2004 වසරේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග රජයේයි.

අනතුරුව 2018 වසරේ ඔක්තෝබර් මාසයේදී මෛත්‍රීපාල සිරිසේන රජයේ අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන ඔහු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා බවට පත්වීමෙන් අනතුරුව යළිත් තෙවන වරටත් අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නා.

පසුගියදා පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මෙරට මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙකු මෙතෙක් ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාව වන 527,364 ක් ලබා ගනිමින් මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට තේරී පත්වනවා.

එලෙස මෙරට ජන ප්‍රසාදය සහ ආශිර්වාදය තුළින් අද යළිත් අගමැති ධුරයේ දිවුරුම් දෙන මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්මට ආලෝකයක් ලබාදෙමින් රටට තව තවත් ජයග්‍රහණ අත්කර දීම මෙරට සුවහසක් ජනතාවගේ පැතුමයි.

+++++++++++++++++++++++++++++++++++

අග්‍රාමාත්‍යවරයා මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගනී

(ඡායාරූප)

(09.08.2020 – 17:24 +0530 – hirunews.lk/sinhala)

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

අගමැතිට බංග්ලාදේශයෙනුත් සුබ පැතුම්

(09.08.2020 – 15:10 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණය වෙනුවෙන් බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හෂීනා මහත්මිය සුබ පැතුම් එක් කර තිබෙනවා.

අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත සුබ පැතුම් පණිවුඩයක් යොමු කරමින් ඇය, බංග්ලාදේශයේ සංචාරයකට එක්වන ලෙස ආරාධනයක් ද සිදුකර ඇති බවයි විදේශ සබඳතා අමාත්‍යාංශය සඳහන් කළේ.

මැතිවරණ ප්‍රතිඵල තුළින් ජනතාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වය කෙරෙහි තබා ඇති විශ්වාසය මනාව පිළිබිඹු වන බව බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය යොමු කළ සුබ පැතුම් පණිවුඩයේ දැක්වෙනවා ෴

+++++++++++++++++++++++++++++++++++

***************************************

පුරාවිද්‍යා නිළධාරින්ගේ නොසැලකිලිමත් ක්‍රමවේදයක් නිසා හානියට ලක්වන ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම සෙල්ලිපිය

(09.08.2020 – 15:45 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම සෙල්ලිපිය ලෙස සැලකෙන තෝනිගල සෙල්ලිපි, පුරාවිද්‍යා නිළධාරින්ගේ නොසැලකිලිමත් ක්‍රමවේද නිසා හානියට ලක්වෙමින් පවතින බව ජනතාව චෝදනා කරනවා.

ක්‍රිස්තු පූර්ව පළමුවන සියවසට අයත් මෙම සෙල්ලිපිය එම සමයට අයත් මෙතෙක් හමුවූ වැදගත්ම ගිරි ලිපියක් බව සඳහන්.

ලක්දිව රජකළ ගාමිණි අභය රජ සමයේ තෝනිගල පර්වතය මත පූර්ව බ්‍රාහ්මි අක්ෂර වලින් මෙම දැවැන්ත සෙල්ලිපි සකසා ඇති අතර එක් සෙල්ලිපියක් අක්ෂර 137 කින්ද අනෙක් සෙල්ලිපිය අක්ෂර 117 කින් සකසා තිබෙනවා.

සියවස් ගණනක් කිසිදු උපද්‍රවයකින් තොරව ආරක්ෂා වූ මෙම දැවැත්ත සෙල්ලිපියේ ආරක්ෂාවට යැයි පවසමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සෙල්ලිපි දෙක වටා යකඩින් සැකසූ වැටක් ඉදිකර ඇත්තේ වසර කිපයකට පෙරයි.

නමුත් මෙහි ගැටලුව වී ඇත්තේ සෙල්ලිපියේ ආරක්ෂාවට යෙදූ යකඩ වැට පාෂාණය සමග සවිමත් වීම සඳහා යොදන ලද සිමෙන්ති ස්ථරයක් සෙල්ලිපියේ පැරණි අලංකාරත්වයට හා වටිනාකමට බරපතළ හානි සිදුකිරීමයි.

යකඩ වැට සවිමත් වීමට යෙදූ සිමෙන්ති මිශ්‍රණය පාෂාණය සමග එක්වීමේදි ඇතිවූ ප්‍රතික්‍රියාවක ප්‍රථිඵලයක් හේතුවෙන් සෙල් ලිපියටද හානි සිදුවෙමින් පවතිනවා.

මෙම සෙල්ලිපියේ සුවිශේෂත්වය වන්නේ ක්‍රිස්තු පූර්ව කාලයට අදාලව මෙරටින් හමුවූ එකම සෙල් ලිපිය මෙය වීමයි.

එසේම වසර දෙදහසකට වැඩි කාලයක් අව්වට වැස්සට හෝ කිසිදු පාරිසරික උපද්‍රවයකට හානි නොවී සුරක්ෂිතව පැවතීමත් මෙහි තවත් සුවිශේෂී ලක්ෂණයක්.

නමුත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මෙම ස්ථානයට ආරක්ෂක වැට යෙදීමේදී භාවිතකළ සිමෙන්ති හේතුවෙන් එම පාෂාණයද විනාශ වෙමින් පවතින අතර, පුරාවිද්‍යා නිළධාරින් අදාළ කාර්යයට පෙර කිසිදු අධ්‍යනයක් සිදුකර නොතිබීම මීට හේතූ වී ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

මෙරට වසර 2000 ක ඉතිහාසයෙක් කියාපාන මෙම සෙල්ලිපිය පිහිටි පාෂාණයට කිසිදු සොයා බැලිමකින් තොරව සිමෙන්ති මිශ්‍ර කිරිම මගින් මෙම සෙල්ලිපිය වනසා දැමීම වහා නිවැරදි විය යුතු නෙවේද ?

***************************************

වෙහෙරගල ජලාශයේ මඩ වලක එරුණු ඇතින්නියක බේරා ගැනේ

(ඡායාරූප සහ වීඩියෝ)

(09.08.2020 – 16:01 +0530 – hirunews.lk/sinhala)

***************************************

‘එයාර් ඒෂියා’ ගුවන් යානයක් ප්‍රථම වරට මත්තලට

(09.08.2020 – 16:13 +0530 – hirunews.lk/sinhala)

‘එයාර් ඒෂියා’ ගුවන් සමාගමට අයත් විශේෂ ගුවන් යානයක් ප්‍රථම වරට අද (09) පස්වරුවේ මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණියා.

පිලිපීනයේ මැනිලා ගුවන් තොටුපළේ සිට නාවිකයින් පිරිසක් රැගෙනයි මෙම ගුවන් යානය පැමිණ ඇත්තේ.

පසුව ගුවන් තොටුපළ පරිශ්‍රය තුළදීම එම නාවිකයින් පී.සී.ආර්. පරීක්ෂණයකට ද භාජනය කර තිබෙනවා.

මත්තල ගුවන් තොටුපළ මේ වන විට නෞකා කාර්ය මණ්ඩල හුවමාරු කිරීමේ ප්‍රමුඛ ස්ථානයක් බවට ද පත්ව තිබීම විශේෂත්වයක්.

***************************************

අරලගංවිල දී පන්ති ගිය ළමයින් 11 ක් කැබ් රථයකට යටවේ – එක් අයෙකු මරුට

(09.08.2020 – 17:46 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව – අරලගංවිල – බෝගස්හන්දිය ප්‍රදේශයේදී කැබ් රථයක් උපකාරක පන්ති සඳහා සහභාගිව පා ගමනින් ගමන් කරමින් සිටි ළමයින් පිරිසකගේ ගැටී අද (09) පස්වරුවේ සිදුවූ අනතුරකින් එක් (1) ළමයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

සිද්ධියෙන් තවත් 10 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් 4 දෙනෙකු පොළොන්නරුව රෝහලටත්, 6 දෙනෙකු අරලගංවිල රෝහලටත් ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ අවුරුදු 16 ක් වයසැති රත්මල්තැන්න, එච් කොටසේ පදිංචිකරුවෙක්.

අනතුරෙන් තුවාල ලැබූ අනෙක් ළමයින් අවුරුදු 14 ත්, 16 ත් අතර වයස්වල පසුවනවා.

දෙහිඅත්තකණ්ඩිය දෙස සිට අරලගංවිල දෙසට මෙම කැබ් රථය ධාවනය වී ඇති අතර, එහි රියදුරු අත්අඩංගුවට ගනු ලැබුවා.

++++++++

(09.08.2020 – gossiplankanews.com)

අරලගංවිල, බෝගස් හන්දිය ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයේ ගමන් කරමින් සිටි සිසුන් 11 දෙනෙකු ගැටීමෙන් අනතුරට ලක් කොට ඇත. සිද්ධියෙන් එක් සිසුවකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 10 දෙනෙකු තුවාල ලබා
රෝහල් ගත කොට ඇත. සිව්දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවද වාර්තා විය.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ සිසුන් පිරිස වාහන ගමනාගමනයට බාධාවන ලෙස පාරේ වම්පස තීරුවේ රංචු වශයෙන් ගමන් කරන අතර ඔවුන්ගේ පසුපසින් වාහන එන නිසා කිසිවෙකුට අනතුර සිදුවන තුරු ඒ ගැන වැටහීමක් නැත. වේගයෙන් පැමිණි වාහනයට යටවීමෙන් පසුවත් එය පාලනය නොවී සිසුන් ඇදගෙන යමින් තවත් දුරක් ගොස් නවතාගන්නේ රියදුරු බීමතින් සිටි නිසා විය යුතුය.

සිසුන් පිරිස ප්‍රදේශයේ පැවති උපකාරක පංතියකට සහභාගිවී යලි නිවෙස් බලා එමින් සිටියදී මෙම අනතුරට ලක්වී තිබෙයි.

රථයේ රියදුරු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. රථය පදවන අවස්ථාවේ ඔහු බීමතින් සිටි බව තහවුරුවී ඇත.

++++++++

අරලගංවිලදී සිසුන් 11 දෙනකු කැබ් රියට යට කළ රියදුරු රිමාන්ඩ්

(10.08.2020 – 14:25 +0530 – lankadeepa.lk)

අරලගංවිල, බෝගස්වැව ප්‍රදේශයේදී පාසල් සිසුවෙකුට මරු කැඳවමින් තවත් සිසුන් 10 දෙනෙකුට තුවාල සිදුවන පරිදි කැබ් රථයක් පදවා මාරක රිය අනතුරක් සිදුකළ බීමත් රියැදුරා අරලගංවිල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 24 වැනිදා තෙක් රිමාන්ඩ් බන්‍ධනාගාර ගතකරන ලෙස පොළොන්නරුව මහේස්ත්‍රාත් අසේලද සිල්වා මහතා අද (10) නියෝග කළේය.

මෙසේ රිමාන්ඞ් බාරයට පත් කරන ලද්දේ මොණරාගල, දඹගල්ල, දෙලිව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන රංහොටි බණ්ඩාරලාගේ විමලසේන 47 යන අයයි.

අරලගංවිල බෝගස්වැව ප්‍රදේශයේ පිහිටි අධ්‍යාපන උපකාරක පන්තියකට සහභාගීවී ආපසු නිවෙස් බලා යමින් සිටි සිසුන් 11 දෙනෙකු අරලගංවිල බෝගස්වැව මාර්ගයේදී ඊයේ (09) දින පස්වරු 03:40 ට පමණ සැකකාර රියැදුරා විසින් පදවාගෙන පැමිණි කැබ් රථයෙකට හැපිම නිසා සිදුවූ අනතුරකට ලක්වූ බවත් එම අනතුර හේතුවෙන් පොලොන්නරුව රාජකීය විද්‍යාලයේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන, අරලගංවිල, රත්මල්තැන්න, අංක14 එච් කොටස ප්‍රදේශයේ පදිංචි රාජපක්‍ෂ මුදියන්සේලාගේ හසින් දේශාන් කරුණාතිලක නැමැති 16 හැවිරිදි පාසැල් සිසුවා මරණයට පත්වී තවත් සිසුන් 10 දෙනෙකු තුවාල ලබා මේ වනවිට පොලොන්නරු මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

අනතුර සිදුවන අවස්ථාවේ කැබ් රථයේ රියැදුරා බීමත්ව සිටි බව වෛද්‍ය පරීක්‍ෂණ වලින් තහවුරුවී ඇති බවත් මෙම අනතුරට හේතුව කැබ් රථයේ රියැදුරා බීමත්ව අපරීක්‍ෂාකාරීව රිය පැදවීම බව විමර්ශනවලදී අනාවරණයවී අතැයිද පොලීසිය වැඩිදුරටත් අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

අරලගංවිල පොලීසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්‍ෂක කේ .පී.ඩබ්ලිව්. ප්‍රේමලාල් මහතාගේ මෙහෙයවීමෙන් රථවාහන අ.ශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්‍ෂක ජී.ආර්.ජී.නෙත්තසූරිය මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය ෴

***************************************

මත්ද්‍රව්‍ය සමඟ පැවති ෆේස්බුක් සාදයක් හොරණදී වටලයි

(09.08.2020 – 20:44 +0530 – hirunews.lk/sinhala)

හොරණ – මිල්ලනිය ප්‍රදේශයේ සංවිධාන කර තිබූ ෆේස්බුක් සාදයක් වටලා තරුණියන් 5 දෙනෙකු ඇතුළු 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, කළුතර දිසා දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදියි.

රුපියල් 5000 ක ප්‍රවේශ ගාස්තුවක් ගෙවා අදාළ සාදය සඳහා සහභාගි වී ඇති මෙම තරුණ තරුණියන් සතුව හෙරොයින්, කේරළ ගංජා සහ විදේශ මත්පැන් ද තිබී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිස අතර මෙම සාදය ෆේස්බුක් ඔස්සේ සංවිධාන කළ අයද වනවා.

මොවුන් නිරෝධානයනය සඳහා යොමු කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය පියවර ගැනීමට නියමිතයි.

++++++++++

Facebook සාදයේ සිටි 17 හැවිරිදි ගැබිනියක් හා ආබාධිත පුද්ගලයෙකුත් අත්අඩංගුවට

(10.08.2020 – 07:33 +0530 – sinhala.adaderana.lk)

මිල්ලනිය, බැල්ලන්තුඩාව ප්‍රදේශයේ සංවිධානය කර තිබු ෆේස්බුක් සාදයක් වටලා පොලීසිය විසින් තරුණ තරුණියන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (09) සවස 04:30 ට පමණ බැල්ලන්තුඩාව ප්‍රදේශයේ හෝටලයක මුහුණු පොත මඟින් සංවිධානය කළ මෙම සාදය නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරමින් පවත්වමින් තිබිය දී කළුතර දිසා දුෂණ වැටලීම් ඒකකය විසින් වටලා තිබිණි.

එහිදී හෝටල් හිමිකරු, සැකකරුවන් 14 දෙනෙක් හා සැකකාරියන් 5 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් හා සැකකාරියන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 465 ක්, ගංජා ග්‍රෑම් 13 ක් සහ මත්පෙති 5 ක් පොලිස් බාරයට ගැණිනි.

සැකකරුවන් සහ නඩු භාණ්ඩ මිල්ලනිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් අතර අවුරුදු 60, 17, 18, 19, 20, 23 හා 32 යන වයස්වල පසුවන බණ්ඩාරගම, මැල්ලමුල්ල, දෙහිවල, පානදුර, දොඩංගොඩ, වැල්ලන්තුඩාව, යටියන, කඩුවෙල, බොරලැස්ගමුව හා හොරණ යන ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.

සාදයට සහභාගීවුවන් අතර, 17 හැවිරිදි ගැබිනි කාන්තාවක් හා ආබාධිත පුද්ගලයෙක් ද වෙන බව වාර්තා වේ.

මෙම සාදය පැවැත් වීමට සඳහා රුපියල් 5000 ක ඇතුළත් වීමේ ගාස්තුවක් ද අය කර ගෙන ඇතැයි තොරතුරු වාර්තා වී තිබේ.

සැකකරුවන් සහ සැකකාරියන් අද (10) හොරණ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.

මිල්ලනිය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

***************************************

මත්තල ගුවන් තොටුපොළේ ගුවන් භාණ්ඩ මෙහෙයුම් නිල වශයෙන් අරඹයි – මෙට්‍රික් ටොන් 28 ක ඇඟලුම් ඇමරිකාවට

(09.08.2020 – 21:15 +0530 – hirunews.lk/sinhala)

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් භාණ්ඩ මෙහෙයුම් කටයුතු අද (09) සිට නිල වශයෙන් ආරම්භ කෙරුණා.

ඒ අනුව එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් අද (09) පස්වරු 04:30 ට පමණ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණියා.

අදාළ ගුවන් යානයෙන් ඩුබායිහි රැඳී සිටි ශ්‍රී ලංකිකයින් 428 දෙනෙකුද මෙරට පැමිණ තිබුණේ ලොවපුරා කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හමුවේ විදෙස්ගත ශ්‍රී ලංකිකයින් ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේයි.

අනතරුව මෙට්‍රික් ටොන් 28 ක ඇඟලුම් ගුවන් යානයේ ඇසුරුම් කිරීම මේ වනවිට සිදුවන අතර, ගුවන් යානය පස්වරු 07:30 ට ඇමරිකාව බලා පියාසර කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකා මහ බැංකු වාර්තවට අනුව 2019 වසරේ අමෙරිකානු එක්සත් ජනපදය වෙත ඇඟලුම් අපනයනයෙන් මෙරටට ලැබුණු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2338 ක්.

ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළෙඳපොළ වන්නේ ද අමෙරිකා එක්සත් ජනපදයයි.

ලොව ප්‍රමුඛතම ගුවන් සමාගමක් වන එමිරේට්ස් ගුවන් සමාගම මත්තලට පැමිණීමත් සමඟ ලොව නම් දාරා ඇති අනෙකුත් ගුවන් සමාගම්වල අවධානයද මත්තල ගුවන් තොටුපොළ කෙරෙහි යොමුවනු ඇති බවට විශ්වාස කෙරෙනවා.

2013 මාර්තු 18 වැනිදා විවෘත කෙරුණු මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මෙරට දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපොළයි.

වසර 5 කට ආසන්න කාලයක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ගුවන් මෙහෙයුම් කටයුතු අක්‍රීයව පැවැති අතර පසුගිය යහපාලන රජය සමයේ එහි වී ගබඩා කිරීම මහත් ආන්දෝලනයට ද ලක්වුණා.

++++++++

(10.08.2020 – 08:39 +0530 – hirunews.lk/sinhala)

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලින් පිටත් වන පළමු ගුවන් භාණ්ඩ ප්‍රවාහන යානය ඊයේ (09) ඩුබායි හරහා ඇමරිකාව බලා පිටත්ව ගියා.

ඒ මෙට්‍රික් ටොන් 28 ක ගුවන් භාණ්ඩ රැගත් එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.ඒ. 2529 දරණ යානයෙනුයි.

දේශීය ඇඟලුම් එලෙස ඇමරිකාව බලා රැගෙන ගිය බවයි මත්තල ගුවන්තොටුපලේ අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා සඳහන් කළේ ෴

+++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++++

***************************************

සුඛෝපභෝගී මෝටර් රථයක් දුම්රියේ ගැටී හෝටල් සේවකයෙක් ජීවිතක්ෂයට

(10.08.2020 – 07:09 +0530 – hirunews.lk/sinhala)

බෙලිඅත්ත සිට කොළඹ බලා ධාවනය වූ දුම්රියේ වැලිගම, පැලෑන ප්‍රදේශයේදී සුඛෝපභෝගී මෝටර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් මෝටර් රථයේ රියදුරු ජීවිතක්ෂයට තිබෙනවා.

වැලිගම අප වාර්තාකරු පැවසුවේ ඊයේ (09) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් මියගොස් ඇත්තේ මාතර, දෙවිනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 34 ක පුද්ගලයෙක්.

වැලිගම, පැලෑන ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයකට පෙරේදා (08) දින හෝකන්දර ප්‍රදේශයේ සිට පිරිසක් පැමිණ ඇති අතර එම පිරිස ඊයේ (09) පස්වරුවේ නැවත හෝටලයෙන් පිටව යාමට සූදානම්ව සිට තිබෙනවා.

එහිදී හෝටලයේ සේවකයෙකු විසින් අදාළ පිරිස පැමිණි මෝටර් රථය හෝටලයට අයත් රථගාලේ සිට ගෙනවිත් දීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව හෝටල් සේවකයා විසින් අදාළ සුඛෝපභෝගී මෝටර් රථය පැලෑන ගංඟාරාම මාර්ගයේ පිහිටි හෝටලයට අයත් රථගාලේ සිට රැගෙන එමින් සිටියදී එය දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කරන අවස්ථාවේ රථය දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබෙනවා.

මෝටර් රථය පැදවූ රියදුරාගේ නොසැලකිලිමත්කම අනතුරට හේතු වී ඇති බවයි වැලිගම පොලිසිය පැවසුවේ.

අනතුර සම්බන්ධයෙන් වැලිගම පොලිසිය වැඩිදුර පරික්ෂණ මෙහෙයවනවා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

රාජිතට සහ මොහොමඞ් රූමිට කොළඹ මහාධිකරණයෙන් සිතාසි

(10.08.2020 – 12:31 +0530 – hirunews.lk/sinhala)

ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය හමුවට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඞ් රූමිට ලබන 28 වනදා කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අද (10) සිතාසි නිකුත් කළා.

ඒ, අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදියි. මීට අදාළව නීතිපතිවරයා විසින් පසුගිය මස 31 වනදා අධිචෝදනාද ගොනුකරනු ලැබුවා.

පසුගිය ජනාධිපතිවරණ සමයේ මෙම ආන්දෝලනාත්මක මාධ්‍ය හමුව කැඳවා තිබූ අතර, ඒ සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

පසුව ඔහු රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇප දෙකක් මත මුදා හැරි අතර, අදාළ මාධ්‍ය හමුවේදී සුදුවෑන් රියදුරන් වශයෙන් ව්‍යාජ ලෙස පෙනී සිටි පුද්ගලයන් දෙදෙනා (2) රජයේ සාක්ෂිකරුවන් ලෙස නම් කරනු ලැබුවා ෴

***************************************

බන්ධනාගාරයේ සිට මෙහෙයවූ තවත් කුඩු ජාවාරමක සුළමුල හෙළිවේ – තුන්දෙනෙකු (3) අත්අඩංගුවට

(10.08.2020 – 12:57 +0530 – hirunews.lk/sinhala)

ඝාතන සිද්ධියකට සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාව මත දැනට බන්ධනාගාර ගතව සිටින ‘කුඩු රාජා’ නැමැත්තාගේ අනියම් පෙම්වතිය ඇතුළු තිදෙනෙකු (3) හෝමාගම, උඩුවන, ප්‍රගති මාවතේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ (09) ලද තොරතුරකට කළ සිදුකළ වැටලීමකදී සැකකාරිය සතුව තිබූ හෙරොයින් ග්‍රෑම් 35 යි මිලිග්‍රෑම් 640 ක් සිය භාරයට ගත් බවයි.

අත්අඩංගුවට ගත් අනෙක් දෙදෙනා (2) මෙම කාන්තාව හෙරොයින් ප්‍රවාහනය සඳහා යොදාගත් ත්‍රිරෝද රථයේ රියදුරු සහ හෙරොයින් බෙදාහැරීම සඳහා සහයදුන් පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

ඇයගෙන් කරන ලද ප්‍රශ්නකිරීම්වලදී අනාවරණය වූ කරුණු මත රුපියල් 30,000 ක මුදලකට කුලී පදනම මත හෝමාගම ප්‍රදේශයේ නිවසක් මිලදී ගෙන මෙම ජාවාරම මෙහෙයවා ඇති අතර එම නිවසේ තිබී හෙරොයින් ග්‍රෑම් 13 යි මිලිග්‍රෑම් 440 ක් සහ රුපියල් එක්ලක්ෂ 70,600 ක මුදලක් මෙන්ම ඉලෙක්ට්‍රොනික තරාදියක් සහ ජංගම දුරකථන දෙකක් ද පොලිස් භාරයට ගනු ලැබුවා.

ඒ, නිල සුනඛයින් යොදාගෙන නිවස පරීක්ෂා කළ අවස්ථාවේදියි. අත්අඩංගුවට ගත් කාන්තාව මේ වනවිට විවාහයෙන් දික්කසාද වී සිටින අතර ඔහු ද හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී සිටින අයෙකු බවයි වාර්තා වන්නේ.

දැනට බන්ධනාගාරගතව සිටින ‘කුඩු රාජා’ගේ අනුදැනුම මත කළක සිට අදාළ ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අදාළ කාන්තාවගේ වයස අවුරුදු 24 ක්.

අනෙක් දෙදෙනා අවුරුදු 23 සහ 43 යන වයස්වල පසුවනවා ෴

***************************************

අතිරේක නිවාඩුවෙන් පසුව ඇරඹි පාසල්වල සිසුන්ගේ පැමිණීම ඉහළට

(10.08.2020 – 13:02 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය හා මහ මැතිවරණය හේතුවෙන් ලබාදී තිබූ අතිරේක නිවාඩුවෙන් පසු අද (10) ආරම්භ කළ පාසල් වෙත සිසුන් පැමිණීම ඉහළ මට්ටමක පැවති බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා.

ඒ අනුව උතුර, නැගෙනහිර හා වතුකරය මෙන්ම කොළඹ ඇතුලු සියලු ප්‍රදේශවල පාසල් සිසුන්ගේ උෂ්ණත්වය පරීක්ෂා කරමින් සිසු සිසුවියන් පාසල් වෙත ඇතුළත් කරගත් අතර, දෑත් සේදීම ඇතුලු විෂබීජහරණ කටයුතු වෙනුවෙන්ද පහසුකම් සළසා තිබූ බවයි ඔවුන් සඳහන් කළේ.

අතිරේක නිවාඩුවෙන් පසු පාසල් අදියර කිහිපයක් යටතේ අද (10) සිට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර දැනුම් දුන්නා.

ඒ අනුව සමස්ත සිසුන් සංඛ්‍යාව 200 ට වැඩි ප්‍රාථමික සහ ද්විතීක පාසල් වල පළමුවන (1) ශ්‍රේණිය සහ හයවන (6) ශ්‍රේණිය සඳහා අද (10) වෙන්කර තිබෙනවා.

එම පාසල්වල පහ (5) ශ්‍රේණිය සහ 10 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා සිසුන්ට සතියේ දින පහේදීම (5) පාසල් ක්‍රියාත්මකයි.

සමස්ත සිසුන් සංඛ්‍යාව 200 ට වැඩි පාසල්වල දෙක (2) ශ්‍රේණිය සඳහා සෑම අඟහාරුවාදාත්, තුන (3) ශ්‍රේණිය සඳහා සෑම බදාදාත්, හතර (4) ශ්‍රේණිය සඳහා බ්‍රහස්පතින්දා සහ සිකුරාදාත් පාසල් පැමිණිය යුතුයි.

එසේම සිසුන් සංඛ්‍යාව 200 ට වැඩි ද්විතියික පාසල්වල හත (7) ශ්‍රේණිය සඳහා අඟහරුවාදාද, අට (8) ශ්‍රේණිය සඳහා බදාදාද, 9 ශ්‍රේණිය සඳහා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දිනවලදී ද පාසල් පැවැත්වෙනු ඇති.

කෙසේ වෙතත් සමස්ත සිසුන් සංඛ්‍යාව 200 ට අඩු පාසල්වල මෙම ක්‍රමවේදය භාවිත නොවන අතර එම පාසල්වල සාමාන්‍ය පරිදි සියලු ශ්‍රේණි සඳහා අධ්‍යයන කටයුතු ක්‍රියාත්මකයි.

මේ අතර පාසල් යළි ඇරඹීමත් සමඟ පාසල් සිසුන් සෞඛ්‍ය උපදෙස් කෙරෙහි වැඩි උනන්දුවකින් කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

***************************************

ජාතික ලැයිස්තු ගැන විපක්ෂයේ තවදුරටත් මතභේද

(10.08.2020 – 13:08 +0530 – hirunews.lk/sinhala)

සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර නම් කිරීම තවත් දින කිහිපයකින් කල් යනු ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග පවසනවා.

ලැයිස්තුව සකස් කිරීම සම්බන්ධයෙන් පවතින අභ්‍යන්තර සාකච්ඡා ඊට හේතුවී ඇති බවයි වාර්තාවන්නේ.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී සමගි ජනබලවේගයට ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර හතක් (7) හිමිවුණා.

පරාජයට පත්වූ අපේක්ෂකයන් එම ජාතික ලැයිස්තුවට නම් නොකරන බව පක්ෂ නායකත්වය මේ වනවිටත් ප්‍රකාශ කර අවසන්.

එහෙත් ගැටළුව බවට පත්ව ඇත්තේ සෙසු පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය බැගින් ඉල්ලා සිටීමයි.

මැතිවරණයට පෙර ඇති කරගත් එකඟතාවන්ට අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය බැගින් ලබාදිය යුතු බව දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් ඊයේ (09) කියා සිටියා.

කෙසේ වෙතත් අද (10) දිනයේදීත් ජාතික ලැයිස්තුව නම් කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨයන් අතර පැවැත්වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ සඳහන් කළේ පවතින යෝජනා තවදුරටත් සළකා බැලීම පක්ෂ නායකත්වය විසින් සිදුකරමින් සිටින බවයි.

එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ හමුවක්ද මේ වනවිට සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙනවා. ඒ, එහි නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්.

මෙහිදී ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණීමට උත්සාහ කරන බවයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙකු කියා සිටියේ.

මහ මැතිවරණ දිනට පසුදින පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සඳහන් කර තිබුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබාගැනීමට තමන් සූදානම් නොමැති බවයි.

එවැනි පසුබිමක් තුළ පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් එම මන්ත්‍රී ධුරය සඳහා පත් කරනු ඇති බවටද වාර්තාවුණා.

ජාතික ජනබලවේගයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නම් කිරීම අද (10) දිනයේ සිදු නොවනු ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.

අපේ ජනබල පක්ෂය සිය ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය සඳහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් නම් කිරීමට තීරණය කළ බව ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් එම පක්ෂය ඊයේ (09) නිවේදනය කළා.

තවත් හිමිවරුන් දෙදෙනෙකු (2) සහ අපේක්ෂිකාවක්ද තමන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබාදිය යුතු බව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් අපේ ජනබල පක්ෂයේ ජාතික සංවිධායක වසන්ත කීර්තිරත්න කුරුණෑගල අද (10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි ඥාණසාර හිමිගේ නම මැතිවරණ කොමිසමට දැනුම්දුන් බවයි.

මැතිවරණ ප්‍රතිඵල නිකුත් වූ වහාම පොදුජන පෙරමුණ තමන්ට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුර 17 සඳහා නම් කරන ලද ලැයිස්තුව මැතිවරණ කොමිසම වෙත යොමුකරනු ලැබුවා.

දෙමළ ජාතික සන්ධානයද තමන්ට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරය මේ වනවිටත් නම් කර අවසන්.

මේ අතර දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට කටයුතු කරන්නේ නම් දෙමළ ජාතික සන්ධානය සමඟ කටයුතු කිරීමට සූදානම් බව තමිල් මක්කල් තේසීය කූට්ටනි පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික එම්.කේ. සිවාජිලිංගම් ප්‍රකාශ කළා.

එම පක්ෂයෙන් මෙවර පාර්ලිමේන්තුවට හිටපු උතුර පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් තේරී පත්වුණා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ පාර්ලිමේන්තුවේදී සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය සමඟ එකඟතාවයෙන් වැඩකිරීමට තම පක්ෂය දැනටමත් තීරණය කර ඇති බවයි.

ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් නායකත්වය දරණ සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයට මෙවර මන්ත්‍රී ධුර දෙකක් (2) හිමිවුණා.

+++++++++++++++++++++

***************************************

කුරුණෑගල නගරාධිපතිවරයාට රටින් පිටවීම තහනම්

(10.08.2020 – 13:29 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල බුවනක හෝටල් ගොඩනැගිල්ල කඩා දැමීමේ සිද්ධියට අදාළව, කුරුණෑගල නගරාධිපතිවරයාට සහ අනෙක් සැකකරුවන්ට එරෙහිව වරෙන්තු ක්‍රියාත්මක කිරීමට කුරුණෑගල පොලිසිය අපොහොසත් වීම හේතුවෙන්, කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා නැවත වරෙන්තු නිකුත් කර තිබෙනවා.

වැඩබලන පොලිස්පති, කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති, කුරුණෑගල පොලිස් අධිකාරි හරහා මෙම නැවත වරෙන්තු නිකුත් කර ඇති අතර, කුරුණෑගල නගරාධිපතිවරයාට ඇතුළු සැකකරුවන්ට රටින් පිටවීම වැළක්වීමේ නියෝගයක්ද කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා නිකුත් කර තිබෙනවා.

මේ අතර පුරාවිද්‍යා වටිනාකමකින් යුත් කුරුණෑගල බුවනෙක හෝටලය කඩා බිඳ දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කෙරුණු කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුලු පිරිස එම ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව පොලිසිය පවසනවා.

සැකකරුවන් පිරිස සොයා මේ වනවිටත් පොලිස් කණ්ඩායම් 4 ක් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පුරාවිද්‍යා වටිනාකමකින් යුත් මෙම ගොඩනැගිල්ල කුරුණෑගල මහ නගර සභාව විසින් පසුගිය මස 15 වැනිදා රාත්‍රීයේ ඩෝසර් කර තිබූ අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පුරාවිද්‍යා අධ්‍යක්ෂකවරයාගේ සභාපතීත්වයෙන් යුත් පරීක්ෂණ කමිටුවක් ද පත් කෙරුණා.

ඒ අනුව කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුලු සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබා ගන්නා ලෙස නීතිපතිවරයා පසුගියාදා වැඩබලන පොලිස්පතිවරයාට කර තිබූ නියෝගයකට අනුව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊට අදාළව වරෙන්තු නිකුත් කළා.

පුරාවිද්‍යා වටිනාකමක් සහිත කුරුණෑගල බුවනෙක හෝටලය කඩා බිඳ දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් එලෙස වරෙන්තු නිකුත් වූ කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ, නාගරික කොමසාරිස්වරයා, විදුලි ඉංජිනේරුවරයා, බැකෝ යන්ත්‍ර රියදුරා සහ කුරුණෑගල මහ නගර සභාවේ වැඩ පාලකවරයා මේ වනවිට එම ප්‍රදේශයෙන් පළා ගොස් ඇති බව පොලිසිය පවසනවා.

පොලිසිය සඳහන් කළේ ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරිමත් සමඟ පොලිස් කණ්ඩායම් 4 ක් යොදවා ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කෙරුණු අතර ඔවුන් රැඳී සිටින බවට තොරුතුරු ලැබී ඇති කුරුණෑගල ප්‍රදේශයේ සියලු ස්ථානවල ඔවුන් නොසිටි බවයි.

කෙසේවෙතත්, කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පිරිස අද (10) දිනයේ කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර, එම සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරමින් අද පෙරවරුවේ අධිකරණය ඉදිරිපිට පිරිසක් උද්ඝෝෂණයක නිරත වුණා.

+++++++++++++++++++++

***************************************

රාජිත, මද්දුමබණ්ඩාර, අජිත් පී. අදත් දේශපාලන පළිගැනීම් කොමිසමේ

(10.08.2020 – 13:41 +0530 – hirunews.lk/sinhala)

පසුගිය රජයේ අමාත්‍යවරුන් වූ රාජිත සේනාරත්න, රංජිත් මද්දුම බණ්ඩාර සහ රාජ්‍ය අමාත්‍යවරුන් වූ අජිත් පී පෙරේරා, රංජන් රාමනායක දේශපාලන පලිගැනීම් පිළිබඳව විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවට අද (10) යළිත් පැමිණියා.

එහි සිටින හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ උදෑසන 10 ට පමණ ඔවුන් ජනපති කොමිසම හමුවට පැමිණි බවයි.

වයඹ නාවික ආඥාපති රියර් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක විසින් ජනාධිපති කොමිසම වෙත සිදුකළ පැමිණිල්ල සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබාදීම සඳහායි ඔවුන් මෙලෙස ජනපති කොමිසම හමුවට පැමිණ ඇත්තේ.

2008 වර්ෂයේදී තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාලව අසත්‍ය සාක්ෂි ගොනුකර තමන්ට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පැවරූ බව ප්‍රකාශ කරමින් ඔහු කොමිසම හමුවේ පැමිණිල්ලක් ගොනුකර තිබුණා.

පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත සේනාරත්න, රන්ජන් රාමනායක, අජිත් පී.පෙරේරා, ඩී.එම්.ස්වාමිනාදන්, ජේ.සී.වැලිඅමුණ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ රවී විද්‍යාලංකාරට දේශපාලන පලිගැනීම් පිළිබඳ ජනපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කර තිබුණේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *