නව අමාත්‍ය මණ්ඩලයේ ව්‍යුහය ඇතුලත් ගැසට් නිවේදනය නිකුත් කෙරේ

(10.08.2020 – 16:39 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍යාංශ 28 ක් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40 කින් යුත් නව අමාත්‍ය මණ්ඩලයේ ව්‍යුහය ගැසට් කෙරේ.

නව රජයේ අමාත්‍යාංශවල ව්‍යූහය සහ විෂය පථය ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනය අද (10) පස්වරුවේ ප්‍රකාශයට පත් කෙරුණා.

නව කැබිනට් මණ්ඩලය අමාත්‍යාංශ 28 කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40 කින් සමන්විතයි.

එක් එක් අමාත්‍යාංශවල සංයුතිය, විෂය පථය, අදාළ ආයතන සහ බලපවත්වන නීති හා අණපනත් ඊට ඇතුළත් වනවා.

අමාත්‍යාංශ සකස් කිරීමේදී ජාතික ප්‍රමුඛතා, ප්‍රතිපත්තිමය වගකීම් සහ කාර්ය භාරය සැලකිල්ලට ගනු ලැබූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

අමාත්‍යාංශ ව්‍යුහ සකස් කිරීමේදී ජාතික ආරක්ෂාව, ආර්ථික සංවර්ධනය, යටිතල පහසුකම්, අධ්‍යාපනය, සෞඛ්‍ය සහ ක්‍රීඩා යන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර තිබෙනවා.

සෑම අමාත්‍යාංශයකම විෂය පථය, සුවිශේෂි ප්‍රමුඛතා, අදාළ ආයතන සහ නීති රාමුව අනුමාතෘකා යටතේ පැහැදිලි කර ඇති අතර, එය අපගේ වෙබ් අඩවියට පිවිසීමෙන් ද දැක බලා ගත හැකියි.

ඒ අනුව, අමාත්‍යාංශ භාර අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අනිද්දා (12) පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රයේ මගුල් මඩුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි.

+++++++++++++++++++++

***************************************

රනිල් වික්‍රමසිංහ එජාප නායකත්වයෙන් ඉවත් වෙයි

(10.08.2020 – 14:14 +0530 – hirunews.lk/sinhala)

රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද (10) දහවල් පැවති විශේෂ රැස්වීමකදීයි.

පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් සඳහන් කළේ එම තීරණයත් සමඟ පක්ෂයේ නව නායකයා තෝරා ගැනීම සඳහා නම් 4 ක් යෝජනා වූ බවයි.

තමා සමඟ රවී කරුණානායක, දයා ගමගේ සහ වජිර අබේවර්ධන එලෙස නායකත්වය සඳහා යෝජනා වූ බව පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් වැඩිදුරටත් කියා සිටියා.

***************************************

තෙත වී මිලදී ගැනීමට තීරණයක්

(10.08.2020 – 13:46 +0530 – hirunews.lk/sinhala)

රජය විසින් ප්‍රථම වරට තෙත වී මිලදී ගැනීමට තීරණය කර තිබෙනවා.

යල කන්නයේ වී මිලදී ගැනීම යටතේ මෙලෙස ගොවීන්ගෙන් තෙත වී මිලදී ගැනීමට තීරණය කර ඇති බවයි වී අලෙවි මණ්ඩලය සඳහන් කළේ.

දැනට වී අලෙවි මණ්ඩලය විසින් වී කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 50 ක මුදලක් ගොවීන්ට ගෙවනු ලබනවා ෴

***************************************

පානිය ජලය ඉල්ලන නවගත්තේගම වැසියෝ

(10.08.2020 – 13:57 +0530 – hirunews.lk/sinhala)

නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති බුද්ධි ආසිරි ගම්මානයේ පවුල් 20 කට ආසන්න පිරිසක් ජීවත් වනවා.

ප්‍රධාන ජීවනෝපාය මාර්ගය ලෙස ගොවිතැනේ යෙදෙන මෙම ගම්වැසියන්ගෙන් ඇතමෙකු ජීවිකාව සරිකරගනු ලබන්නේ කුළී වැඩෙහි යෙදෙමින්.

විවිධ බාධක මැද ජීවත්වන මෙම ගම්වැසියන්ගේ ප්‍රධානතම ගැටළුව බවට පත්ව තිබෙන්නේ ජල අවශ්‍යතාව සපුරා ගැනීමට මතුව ඇති දුෂ්කරතාවයයි.

ගම්වැසියන් පවසන්නේ ජල සම්පාදනය සඳහා නල පද්ධතියක්ද සකස් කර ඇතත් එයට ප්‍රජා මූලික ජල යෝජනා ක්‍රමයෙන් ජලය සම්බන්ධ කිරීම මෙතෙක් සිදු කර නොමැති බවයි.

ඒ සඳහා ගම්මානයේ එක් පවුලකින් රුපියල් 22,500 ක මුදලක් ගෙවිය යුතු බවට අදාළ ප්‍රජා මූලික ජල යෝජනා ක්‍රමයෙන් දන්වා තිබෙනවා.

එදිනෙදා ජීවිකාව ගෙන යාමට පවා නොහැකි තත්ත්වයකට මුහුණ දී සිටින මෙම ගම්වැසියන්ට එවන් මුදලක් ගෙවීමට නොහැකිවීමෙන් ඔවුන් පත්ව ඇත්තේ දැඩි අසරණ තත්ත්වයකටයි.

අදාළ ගැටළුවට විසඳුම් ලබා දීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයද මැදිහත්වී ඇතත් මේ දක්වා නිසි විසඳුමක් ලැබී නැහැ.

මහා පරිමාණ ව්‍යාපෘති වෙනුවෙන් අසීමිත ධනස්කන්ද වැයකරන බලධාරීන් නවගත්තේගම බුද්ධි ආසිරි ගම්වැසියන්ගේ ගැටළුවට විසඳුම් දෙන්නේ කවදාද?

***************************************

නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ගාමිණී සෙනරත් පත් කරයි

(10.08.2020 – 14:02 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස ගාමිණී සෙනරත් මහතා යළි පත් කර තිබෙනවා.

ජනාධිපතිවරයා විසින් අදාළ පත් කිරීම සිදුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

මීට පෙර ඔහු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස ද කටයුතු කර තිබෙනවා ෴

***************************************

ගමක් උණුසුම් කළ වන අලි ප්‍රහාරය

(10.08.2020 – 14:05 +0530 – hirunews.lk/sinhala)

වන අලි තර්ජනයෙන් පිඩාවට පත්ව සිටින ගොවින් පිරිසක් පිළිබදව කුරුණෑගල දිස්ත්‍රික්කයේ අබකොලවැව ජනපදයෙන් අපට වාර්තා වුණා.

ගොවින් චෝදනා කරන්නේ මෙම ගැටලුව පිළිබඳව බලධාරීන් දැනුවත් කලත් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවටයි.

කුරුණෑගල මි ඔය ව්‍යාපාරයේ අබකොලවැව ජනපදයේ ගොවින් දහසකුත් එකක් බලාපොරොත්තු පොදී බැදන් වගාකළ අක්කර 400 කට අධික ගොයමයි මේ.

ඉතා සශ්‍රිකව වැඩුණු මේ කිරි ගොයමේ විශාල ප්‍රමානයක් මේ වනවිටත් රංචු වශයෙන් ගම් වදින වන අලින විසින් විනාශකර අවසන්.

ගොවීන්ගේ බලාපොරොත්තු දවසින් දවස ඇස් පනාපිටම වියකි යද්දී ඔවුන් ගේ මේ ගැටලුව පිලිබදව ගල්ගමුව වනජීවී කාර්යාලය දැනුවත් කලත් මෙතෙක් ඊට නිසි විසඳුමක් ලැබී නැහැ.

මේ අතර, ආනමඩුව මහකුඹුක්කඩවල කොහොඹගස්වැව ප්‍රදේශයේදී අද අලුයම රැකියාවට යමින් සිටි පුද්ගලයෙකු වන අලි ප්‍රහාරයකින් මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මුන්දලම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 40 ක එක්දරු පියෙක් ප්‍රදේශවාසීන් පවසන්නේ මාස කිහිපයක් ඇතුළත මෙම ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයන්ගෙන් හය (6) දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.

වනඅලි ගැටලුව සම්බන්ධයෙන් වනජීවී නිලධාරීන් දැනුවත් කළත් මෙතෙක් කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට ඔවුන් චෝදනා කරනවා.

වනඅලි ප්‍රහාරයෙන් අදාළ පුද්ගලයා ජිවිතක්ෂයට පත්වූ ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් එහිදී විරෝධතාවයක නිරත වුණේ වන අලි ගැටලුව වගකිවයුතු බලධාරීන්ගේ අවදානයට යොමු නොවන බවට චෝදනා කරමින්.

***************************************

හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගේ ගිණුමක කෝටි 18 ක මුදල් හුවමාරුවක්

(10.08.2020 – 17:08 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින් සමඟ හෝකන්දර – සිංහපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුගේ බැංකු ගිණුමකට වසරක් තුළ දී රුපියල් කෝටි 18 කට වැඩි මුදලක් හුවමාරුවීම සම්බන්ධයෙන් පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

හෙරොයින් ග්‍රෑම් 25 ක් සහ රුපියල් ලක්ෂ 5 ක මුදලක් සමඟ මෙම සැකකරු අද (10) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තලංගම පොලීසියේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින්.

37 හැවිරිදි සැකකරු හෙට (11) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතව තිබෙනවා ෴

***************************************

අගමැති, අතුල සේනානායක මහතාගේ දේහයට අවසන් ගෞරව දක්වයි

Monday, 10 August 2020 – 17:25

කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ සැමියා වූ අභාවප්‍රාප්ත අතුල සේනානායක මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට අද (10) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පුරපති නිල නිවස වෙත පැමිණියා.

මියයනවිට අතුල සේනානායක මහතා 64 වන වියේ පසුවූවා.

***************************************

මන්ත්‍රීවරුන්ගේ වත්කම් පිළිබඳ තොරතුරු ඉල්ලයි

(10.08.2020 – 12:55 +0530 – sinhala.adaderana.lk)

මැතිවරණයෙන් ජයග්‍රහණය කළ සියලු මන්ත්‍රීවරුන් සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

ඒ අනුව වත්කම් බැරකම් ප්‍රකාශ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් වෙත ලබාදෙන ලෙස එම කොමිසම දැනුම් දී ඇත.

කෙසේවෙතත්, මේ වන විට මැතිවරණයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන් බොහෝ පිරිසක් සිය වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී ඇති බව ද මැතිවරණ කොමිශන් සභාව සඳහන් කළේය.

එහෙත්, මේ දක්වා අදාළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබානොදුන් මන්ත්‍රීවරුන් හැකි ඉක්මණින් ඒවා ලබාදෙන ලෙස ඔවුන් දැනුම්දෙයි ෴

***************************************

විදෙස් කාන්තාවක්ව දූෂණය කිරීමට තැත් කළ සැකකරු රිමාන්ඩ්

(10.08.2020 – 09:14 +0530 – sinhala.adaderana.lk)

සෙනසුරාදා (08) සවස වැලිවිට, මාලඹේ ප්‍රදේශයේ දී පිලිපීන ජාතික කාන්තාවක් දූෂණය කිරීමට තැත් කළ පුද්ගලයෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු එම කාන්තාව සිටි නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී එම අපරාධය සිදු කිරීමට තැත් කර ඇති බව පොලීසිය පවසයි.

එම කාන්තාව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ඇතුළත් වන විට ඒ පිළිබඳ ව පොලීසිය දැනුවත් කර ඇත.

ඇය ලබාදුන් තොරතුරු අනුව සැකකරු අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුව මේ මස 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ ෴

***************************************

චීනයේ කිනිතුල්ලන් ගෙන් ව්‍යාප්තවන තවත් වෛරසයක්… 07 ක් මරුට

(10.08.2020 – colombotoday.com)

කිනිතුල්ලන් විශේෂයකින් බෝවන වෛරසයක් සම්බන්ධයෙන් චීනය අනතුරු අඟවා තිබේ. මෙම වෛරසයෙන් මේ වන විට චීනයේ පුද්ගලයින් 07 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 60 දෙනෙකු පමණ සොයා ගෙන ඇති අතර මෙම වෛරසය පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට සම්ප්‍රේෂණය වීමේ හැකියාව ඇති බවයි චීනයේ මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ෂෙජියැන්ග් විශ්ව විද්‍යාලය යටතේ පිහිටා ඇති අනුබද්ධ රෝහලේ වෛද්‍යවරයෙකු සඳහන් කළේ මෙම වෛරසය රෝගීන්ට රුධිරය හෝ ශ්ලේෂ්ම මගින් ව්‍යාප්ත වීමේ හැකියාවක් පවතින බවයි.

මේ හේතුවෙන් වෛරසය සම්බන්ධයෙන් මහජනතාව නිසි අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතු බවයි එම වෛද්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴

***************************************

සා.පෙළ හැඳුනුම්පත් අයදුම්පත් ලක්ෂයක් තවම ලැබී නැහැ

(10.08.2020 – 14:26 +0530 – lankadeepa.lk)

ලබන දෙසැම්බර් මාසයේ අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් දරුවන්ගේ හැඳුනුම්පත් අයදුම්පත් ලක්ෂයක් පමණ මේ දක්වා ලැබී නැතැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.

සාමාන්‍යයෙන් වසරකදී හැඳුනුම්පත් අයදුම්පත් ලක්ෂ තුනහමාරක් (3½) පමණ ලැබෙන නමුත් මේ දක්වා ලැබී ඇත්තේ ලක්ෂ දෙකහමාරක් (2½) පමණක් බව එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා ලංකාදීපයට අද(10) පැවසීය.

සාමාන්‍යපෙළ විභාගයට පෙනී සිටින පාසල් දරුවන්ගේත් සාමනේර හිමිවරුන්ගේත් හැඳුනුම්පත් අයදුම්පත් අගෝස්තු 31 ට පෙර ප්‍රධාන කාර්යාලයට හා පළාත් කාර්යාලවලට ලබාදෙන ලෙසද ඒ මහතා ඉල්ලීමක් කළේය.

දැනට ලැබී ඇති අයදුම්පත්වල අඩුපාඩු රැසක් තිබුණු බැවින්, ඒවා ආපසු හරවා යවා ඇතැයිද ඒ මහතා කීවේය ෴

***************************************

ලැයිස්තුවේ මන්ත්‍රීකම්වලට දෙමළ සන්ධානයෙත් අර්බුද

(11.08.2020 – 05:11 +0530 – lankaleadnews.com)

පාර්ලිමේන්තු මහමැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය අම්පාර දිස්ත්‍රීක්කයට ලබා දී ඇත්තේ අත්තනෝමතිකව කටයුතු කරමින් බවට එම පක්ෂයේ හවුල්කාර පක්ෂ නායකයින් විරෝධය පල කරමින් සිටිති.

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රසාද ආසන මන්ත්‍රී ධූරය අම්පාර දිස්ත්‍රීක්කයෙන් එම පක්ෂයට තරඟ කොට පරාජය වූ තවරාසා කලෙයි අරසන් නැමත්තා නම් කොට ඇති බවට පක්ෂ මහලේකම් කේ.තුරෙයිරාජසිංහම් මහතා මාධ්‍යට පැවසීමත් සමග එම මන්ත්‍රී ධූරය දෙමළ ජාතික සන්ධානයේ විශාලතම හා බහුතර බලය හිමි ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා වෙතට ලැබිය යුතු යැයි හවුල්කාර පක්ෂ නායකයින් විසින් පවසා සිටීම හේතුවෙන් මෙම මත ගැටුම ඇතිව තිබේ.

මාවේයි සේනාධිරාජා මහතා මෙවර මහමැතිවරණයේදී යාපනය දිස්ත්‍රීක්කයේ මනාප ලැයිස්තුවේ පස්වැනි ස්ථානය ලබා ගත් අතර මනාප ලැයිස්තුවේ පළමු, දෙවන හා තුන්වන ස්ථාන වෙනුවෙන් මන්ත්‍රී ආසන හිමි විය.

මේ පිළිබඳව දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වූ ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙයික්කලනාදන් මහතා පවසා සිටින්නේ

“ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ආර්.සම්බන්ධන් මහත්තයා මේ වෙනකම් අපිත් එක්ක කතා කලේ නැහැ සාමාන්‍ය සිරිතක් විදිහට මේ වගේ දෙයක් දුරකතනයෙන් හරි සම්බන්ධ වෙලා අපෙන් අහනවා මේ වගේ බරපතල කාරණාවක් පිළිබඳව අත්තනොමතිකව තීරණයක් ගන්න සම්බන්ධන් මහත්තයට කිසිම අයිතියක් නැහැ.”

එමෙන්ම ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නියෝජ්‍ය නායක සී.වී.කේ. සිවඥානම් මහතාද පවසා සිටියේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය පක්ෂ නායක මාවෙයි සේනාධිරාජා මහතා වෙතට ලබා දීමට වහාම පියවර ගත යුතු බවටය.

එමෙන්ම දෙමළ ජාතක සන්ධානයේ අනෙක් හවුල්කාර පක්ෂය වූ ප්ලොට් පක්ෂ නායක ටී.සිද්ධාර්තන් මහතාද පවසා සිටියේ :

“මේ වගේ තීරණයක් ගන්න ඕන ප්‍රධාන හවුල්කාර පක්ෂ තුනම එකතු වෙලා. නමුත් ඔනුගේ පක්ෂයේ නායක තුමා දන්නෙ නැතව තමයි මහලේකම් තුමා විසින් මේ තීරණය අරගෙන තියෙන්නේ. මම මේ ගැන සම්බන්ධන් මහත්තයට දුරකතනයෙන් කතා කරලා දැනුම් දුන්නා අපේ පක්ෂයේ ස්ථාවරය අනුව මේ ආසනය හිමි විය යුත්තේ මාවෙයි සේනාධිරාජා මහතාට බව”

මේ අතර මැතිවරණයට පෙර ආර්.සම්බන්ධන් මහතා විසින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය ත්‍රීකුණාමලයට ලබා දීමට පාක්ෂිකයින්ට පොරොන්දු වීම නිසාවෙන් මේ දිනවල ත්‍රීකුණාමලය දෙමළ ජාතික සන්දාන පක්ෂ කාර්යාලය ඉදිරිපටද පාක්ෂිකයින්ගෙන් දැඩි විරෝධය එල්ල වී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

***************************************

ඇලි සබ්‍බිරියා අන්තවාදයට උඩගෙඩි දෙන ත්‍රස්තවාදියෙක් – ලේසිංහ සංවිධානය

(11.08.2020 – 05:00 +0530 – news-lead-lanka)

ජනා නීතිඥ මොහොම ඇලි සබ්‍බිරියාට වත්මන් ආණ්ඩුවේ අධිමරණ අමාත්‍ය ධූරය ලබාදීමට කටයුතු කරන බවට පළවන පුවත සම්බන්ධයෙන් ජාතික සංවිධා ඇතුළු විවිධ පාර්ශව විසින් විවිධ මත පළ කරමින් සිටිති.

පසුගියදා පැවති ලේසිංහ සංවිධානයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පූජ්‍ය මැඩිල් පඤ්ඤා හිමි පවසා සිටියේ ඇලි සබ්‍බිරියා අන්තවාදයට උඩගෙඩි දෙන මත පළ කරමින් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරමින් සිටින පුද්ගලයෙකු බවය.

පසගිය පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඊට අදාල පුද්ගලයන් අත්අඩංගුවට ගනිමින් සිටින මොහොතක ඇලි සබ්‍බිරියා වැනි පුද්ගලයෙකු අධිමරණ අමාත්‍ය ධූරයට පත් කිරීම සම්බන්ධව මහත් සැකයක් පවතින බවද උන්වහන්සේ අවධාරණය කර සිටියහ ෴

***************************************

අලුතින් හඳුන්වා දුන් 1997 සහ 1917 දුරකථනයන්ට තොරතුරු ගලා එයි

(11.08.2020 – mawbima.lk)

පාතාල ක්‍රියාකාරකම් මෙන්ම මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබාදීම සඳහා අලුතින් හඳුන්වාදුන් 1997 දුරකථන අංකයට ගෙවුණු දෙසතියක කාලය තුළ ඇමතුම් 1527 ක් සහ නීති විරෝධී වත්කම් හා දේපොළ සම්බන්ධයෙන් තොරතුරු දීමට හඳුන්වා දුන් 1917 දුරකථන අංකයට ඇමතුම් 278 ක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ ජාලිය සේනාරත්න මහතා පැවැසීය.

1997 නව දුරකථන අංකයට පළමු සතිය තුළදී ඇමතුම් 950 ක් සහ දෙවැනි සතිය තුළදී ඇමතුම් 571 ක් ලැබී ඇති බවද හෙතෙම සඳහන් කළේය

එලෙස ලද ඇමතුම් 1263 ක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකර පැය 48 ක කාලයක් තුළදී සියයට 82.7 ක ප්‍රතිශතයකින් ඊට ප්‍රතිචාර දැක්වූ බවද ඒ මහතා පැවැසීය.

එලෙස ලද තොරතුරු ඇතුළත් ඇමතුම්වලින් ඇමතුම් 66 ක් සම්බන්ධයෙන් අධිකරණයේ කරුණු දැක්වීමට හැකි මත්ද්‍රව්‍යවලට අදාළ සිද්ධි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

තවත් ඇමතුම් 14 ක් මහාධිකරණ චෝදනා යටතේ කටයුතු කිරීමට හැකි තොරතුරු බවද හෙතෙම පැවැසීය.

1997 නව අංකයට පාතාල ක්‍රියාකාරකම් මත්ද්‍රව්‍ය ජාලය සේම ජාතික ආරක්ෂාවට සහ මහජන සාමයට බාධා වන ආකාරයේ තොරතුරු ඉදිරිපත් කළ හැකි බවද පොලිසිය පවසයි.

නීති විරෝධී ආකාරයට මුදල් හා දේපළ උපයා ගැනීම, බුද්ධිමය දේපළ සිද්ධිවලට අදාළව රහස් පොලිසිය තුළ පිහිටුවනු ලැබූ නව ඒකකයේ ස්ථාපිත 1917 ඇමතුම් අංකයට දෙසතියක කාලය තුළ සමස්ත ඇමතුම් 278 ක් ලැබී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඉන් ඇමතුම් 38 ක් සම්බන්ධයෙන් රහස් පොලිසිය සහ තවත් ඇමතුම් 240 ක් සම්බන්ධයෙන් නාකොටික් ඇතුළු පොලිස් ස්ථානවලින් විමර්ශන ආරම්භ කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ එම අදාළ විමර්ශන ක්‍රියාත්මක වන බවත් පොලිසිය කෙරෙහි විශ්වාසය තබා තොරතුරු මෙම ආකාරයට ලබා දෙන ලෙසද හෙතෙම මහජනතාවගෙන් ඉල්ලා සිටී ෴

***************************************

ගාල්ල, කරාපිටිය ශික්‍ෂණ රෝහලේ වකුගඩු සායනයට පැමිණි යුවළ කාමරයක හාන්සි කරවා රන් බඩු ටිකට තට්ටු කළ හොර ‍දොස්තර

(11.08.2020 – mawbima.lk)

ගාල්ල, කරාපිටිය ශික්‍ෂණ රෝහලේදී වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි පුද්ගලයකු එම රෝහලේ සායනයකට පැමිණි කාන්තාවක් රවටා එම කාන්තාවගේ රුපියල් තුන් ලක්‍ෂ විසිපන් දහසක් (3,25,000) පමණ වටිනා රන් ආභරණ සොරකම් කර ඇති බව ගාල්ල පොලිසිය සඳහන් කරයි. සිය සැමියාගේ වකුගඩු රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහා ඊයේ (10 දා) උදෑසන සැමියා සමඟ කරාපිටිය රෝහලේ වකුගඩු සායනයට පැමිණි කාන්තාව ‍දොරටුව අසල සිටියදී වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි පුද්ගලයකු පැමිණ දෙදෙනාටම පරීක්‍ෂණයක් කළ යුතු බව පවසා භෞතචිකිත්සක කාමරය වෙත කැඳවාගෙන ගොස් තිබේ.

එම අවස්ථාවේ සියලුම රන් ආභරණ ගලවා සැමියාට දෙන ලෙසට පවසා ඇය රෝහලේ යහනක හාන්සි කරවා ඇති අතර රන් ආභරණ බෑගයක දමන ලෙස පවසා සැමියාටද ඇඳක හාන්සි වන ලෙස ඔහු පවසා තිබේ. එම දැනුම්දීම අනුව සැමියාද බිරියගේ මුදු 3 ක්, මාලය සහ සුරයද බෑගයේ දමා ඇඳේ හාන්සි වී තිබේ. මේ අතර ඔහු ඔවුන් දෙදෙනාට නොපෙනෙන ලෙස රන් ආභරණ ටික සොරකම් කරගෙන පිටතට ගොස් එන බව පවසා කාමරයෙන් පිටව ගොස් තිබේ.

බොහෝ වේලාවක් ඇඳන් මත සිටි අඹුසැමි යුවළ පසුව සොයා බැලීමේදී තමන් වංචාවකට හසුව ඇති බව දැනගෙන පොලිසියට පැමිණිලි කර ඇත. පොලිසිය පැවැසුවේ මෙයට පෙරද අවස්ථා කිහිපයකදී සායනවලට පැමිණෙන කාන්තාවන් රවටා මේ ආකාරයට රන් අභරණ සොරකම් කිරීමේ පැමිණිලි කිහිපයක් වාර්තා වී ඇති බවද වැඩිදුර විමර්ශනවලදී හෙළිවී තිබේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *