ව්‍යාජ රියදුරු බලපත්‍ර 500 ක් මුද්‍රණය කළ අයෙක් අත්අඩංගුවට

(10.08.2020 – 21:08 +0530 – lankadeepa.lk)

කොරෝනා වසංගත සමයේදී රජයේ නිල මුද්‍රා භාවිතා කරමින් ව්‍යාජ රියදුරු බලපත්‍ර 500 ක් පමණ මුද්‍රණය කළ පුද්ගලයෙක් (10) අත්අඩංගුවට ගත්බව කිරුලපන පොලිසිය පවසයි.

මෙසේ නිකුත් කළ පැරණි රියදුරු බලපත්‍රයක් සඳහා රුපියල් 10,000 ද, නව මාදිලියේ විද්‍යුත් රියදුරු බලපත්‍රයක් සඳහා රුපියල් 15,000 මුදලක් ද අය කර ඇති බව පොලිසිය කියයි.

දිවයිනේ විවිධ ප්‍රදේශ වල පුද්ගලයින්ට මෙසේ නිකුත් කළ රියදුරු බලපත්‍රය ලබා දී මුදල් ලබා ගෙන ඇතැයි ද පැවසේ.

සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ව්‍යාජ කච්චේරිය ඉකුත් 26 දා කිරුළපන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් වටලනු ලැබිණි.

පසුව එහි තිබී ව්‍යාජ රියදුරු බලපත්‍ර 61 ක්, ජාත්‍යන්තර රියදුරු බලපත්‍ර 5 ක්,බැංකු කාඩ් පත් 14 ක්, ලැප්ටොප් පරිගණකයක්, රියදුරු බලපත්‍ර මුද්‍රණය කරන යන්ත්‍රයක්, රියදුරු බලපත්‍ර මුද්‍රණය සඳහා භාවිතා කෙරෙන චිප් ඇතුළත් කාඩ් 925 ක්, ව්‍යාජ රබර් මුද්‍රා දෙකක්, ජංගම දුරකථන 15 ක්, සිම්පත් 40 ක්, රුපියල් ලක්ෂ 20 ක ස්ථාවර තැන්පතු රිසිට් පතක්, සහ වාහන දෙකක් (2), සමඟ සැකකරුවන් පස් දෙනෙකු (5) අත්අඩංගුවට ගෙන තිබුණි.

ඒ විදෙස්ගත ශ්‍රමිකයන්ට සහනදායී පොළියට රජයෙන් ණය මුදල් ලබා දෙන බවට ජනාධිපති කාර්යාලයේ නිවේදනයක් ව්‍යාජ ලෙස සකස් කරමින් අන්තර්ජාලය හරහා දැන්වීම් පළ කොට කෝටි ගණනක් මුදල් උපයා ගත් බවට සැක කරමිනි.

එහෙත් එම අවස්ථාවේදී කච්චේරිය පවත්වාගෙන ගිය ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට නොහැකි වු අතර පසුව සිදු කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස අද (10) සවස රාජගිරිය ඔබේසේකරපුර මහල් නිවසක සැඟව සිටියදී මෙසේ අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

මෙම ජාවාරම සඳහා සැකකරුගේ පුත්‍රයා සහ නාරාහේන්පිට පිටබැද්දර ප්‍රදේශවල පුද්ගලයන් සිව් (4) දෙනෙකු සම්බන්ධ බව පොලීසිය පවසයි.

එලෙස නිකුත් කරන ව්‍යාජ රියදුරු බලපත්‍ර උපයෝගී කොටගෙන, බැංකු ගිණුම් අරම්භ කර ඒ හරහා විදෙස්ගත ශ්‍රමිකයින්ට මෙරටින් ලබා දෙන බවට පොරොන්දු වූ ණය මුදලෙන් සියයට දහයක් (10), ගෙන්වාගෙන, එම මුදල් බැංකු කාඩ්පතකින් ලබා ගෙන තිබූ බව පොලිසිය කියයි.

එසේ අගතියට පත් කිරුළපන පොලිස් වසමේ කාන්තාවක් පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව ජාවාරමේ සුලමුල මෙසේ අනාවරණය කර ගැනීමට පොලිසියට හැකියාව ලැබුණු බව පොලිසිය පවසයි.

මෙම ජාවාරම 2019 වසරේ සිට සිදු කරගෙන විත් ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් පසුගිය කොරෝනා වසංගත සමයේදී පමණක් ව්‍යාජ රියදුරු බලපත්‍ර 500 පමණ නිකුත් කොට ඇති බවත් පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගත් වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි සැකකරු හෙට (11) අලුත්කඩේ අංක 3, අධිකරණයට ඉදිරිපත් කොට, දින 90 ක රැඳවුම් නියෝග ලබාගෙන දීර්ඝ ලෙස විමර්ශන සිදුකිරීමට නියමිත බව පොලිසිය පැවසීය ෴

***************************************

කුඩු විකුණා ‘රුපියල් දහඅට කෝටි හැටපන් ලක්ෂයක් ඉපයූ’ හෝකන්දර කුලී රථ රියැදුරා

(11.08.2020 – 10:01 +0530 – truenews.lk)

අවුරුද්දක කාලයක දී රුපියල් දහඅට කෝටි හැටපන් ලක්ෂ අනූ හය දහස් පන්සීයක (18,65,96,500) මුදලක් සංසරණ වූ බැංකු ගිණුමක් හිමි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු තලංගම පොලිසිය මගින් ඊයේ (10 වැනිදා) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෝකන්දර දී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 37 හැවිරිදි කුලී රථ රියැදුරෙකි.

සැකකරු සතුව තිබී හොරොයින් ග්‍රෑම් 25 ක්, මුදල් රුපියල් ලක්ෂ 5 ක් සහ රුපියල් ලක්ෂ 15 ක් පමණ තිබෙන බැංකු ගිණුමක් ද සොයාගෙන තිබුණා.

ඊයේ (10) උදේ වරුවේ හොරොයින් මිලිග්‍රෑම් 80 ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුගෙන් ලද තොරතුරු මත ග්‍රෑම් 3½ ක් සමග තවත් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබුණා.

එම සැකකරුට හෙරොයින් ලබා දී ඇත්තේ මෙම කෝටිපති ගිණුම් හිමියා බවට විමර්ශනවල දී හෙළි වී ඇති අතර සැකකරු සතුව විවිධ බැංකුවල ගිණුම් කිහිපයක් තිබී ඇති බව වාර්තා වනවා.

මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරු සොයා තලංගම පොලිසිය පරීක්ෂණ පවත්වනවා ෴

***************************************

ශ්‍රී ලංකාවේ ගූගල් සිතියමේ ‘CHINA’ (චීනය) ලෙස ලියා ඇති අහසට පෙනෙන ප්‍රදේශය

(10.08.2020 – 18:05 +0530 – truenews.lk)

ශ්‍රී ලංකා ගුගල් සිතියමේ ‘CHINA’ යනුවෙන් ලියා ඇති ප්‍රදේශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණයවී තිබෙනවා.

මෙලෙස CHINA යනුවන් ඉහළ අහසේ සිට් නිරීක්ෂණය වන පරිදි ගොඩනගා ඇත්තේ හම්බන්තොට, මිරිජ්ජවිල – සුරියවැව ප්‍රදේශයේ පිහිටා ඇති චීන ශ්‍රී ලංකා වරාය සේවා ආයතනය බවයි හෙළිව ඇත්තේ.

එම ප්‍රදේශය නිරීක්ෂණය කළ හැකි ගුගල් යෙදවුම පහතින් :

Link to Google Map : https://t.co/N7DMqXhLUb

***************************************

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතු බව බැසිල් රාජපක්ෂ කියයි

(11.08.2020 – 08:27 +0530 – hirunews.lk/sinhala)

19 වන ව්‍යවස්ථා සංශෝධනය කඩිනමින් ඉවත් කර නව ව්‍යවස්ථාවක් සම්පාදනය කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ඒ, හිරු ටීවි ඔස්සේ විකාශය වූ ‘සලකුණ’ දේශපාලන වැඩසටහනට ඊයේ (10) එක්වෙමින්.

මේ අතර කොන්දේසි මත ආණ්ඩුව සමඟ ගණුදෙනු කිරීමට දෙමළ ජාතික සන්ධානය ඉඩ ලබා නොදැන බවද ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියා.

+++++++++++++++++++++

***************************************

පාර්ලිමේන්තුවේ අසුන්ගැනීමට පෙර වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළයුතුයි

(10.08.2020 – 19:34 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවේ අසුන්ගැනීමට පෙර මෙවර මහමැතිවරණයෙන් තේරී පත්වූ සියලු මන්ත්‍රීවරුන් සිය වත්කම් බැරකම් ප්‍රකාශ මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කළයුතු බව එහි සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළා.

ඒ හිරු පුවත් වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

***************************************

තමා කෙරෙහි තැබූ විශ්වාසයට අගමැතිගෙන් ජනතාවට කෘතවේදීත්වය

(10.08.2020 – 19:56 +0530 – hirunews.lk/sinhala)

මැතිවරණ ඉතිහාසයේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව වන පන්ලක්ෂ 27,364 ක මනාප ඡන්ද සංඛ්‍යාවක් ලබාදෙමින් මෙවර මහ මැතිවරණයේදී තමා පිළිබදව තැබූ විශ්වාසයට ප්‍රථමයෙන් කුරුණෑගල ජනතාවට කෘතවේදීත්වය පළ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

එමෙන්ම, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියළුම අපේක්ෂකයින්ටත්, රැස්වීම් සංවිධානය කළ සහ ප්‍රචාරණ කටයුතු සිදුකළ සියළු සංවිධායකවරුන්ටත් ස්තූතිය පළ කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.

2015 මහ මැතිවරණයේදී තමා කෙරෙහි තැබූ අසීමිත විශ්වාසය මෙවර මහ මැතිවරණයේදී වඩාත් ශක්තිමත් ලෙස තහවුරු කර ඇති බැවින් එය කෘතවේදීව සිහිපත් කරන බව ද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙනවා.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජනතාව මුහුණ පාමින් සිටින ගැටළු කෙරෙහි පසුගිය දිනවලදී අවධානය යොමු කළ අතර, ඒවා තවත් මැතිවරණයක දේශපාලන පොරොන්දු බවට පත්වීමට ඉඩ නොතබා ජනාධිපතිවරයා සහ තමන් ඉදිරි කාලයේදී විසදීමට කටයුතු කරන බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ගාමිණී සෙනරත් මහතා අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස යළිත් පත් කර තිබෙනවා.

ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙතින් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිය පත්වීම් ලිපිය භාර ගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය හෙඹවූ අවදියේ අතිරේක ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී වශයෙන් සේවය කළ ගාමිණී සෙනරත් මහතා, 2019 වසරේ නොවැම්බර් මස 21 වන දින මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු මේ දක්වා අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කළා.

***************************************

9 වන පාර්ලිමේන්තුවේ මංගල සැසි වාරය 20 වන දා උදේ 10 ට

(10.08.2020 – 20:01 +0530 – hirunews.lk/sinhala)

9 වන පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය ලබන 20 වනදා පෙරවරු 10 ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අදාළ වේලාව සඳහන් ගැසට් නිවේදනය මෙම සතියේදී නිකුත් කිරීමට නියමිත බවයි.

මංගල සැසිවාරය සෞඛ්‍ය මාර්ගෝපදේශන යටතේ සිදුකිරීමට නියමිත බැවින් එය නැරඹීමට පැමිණෙන අමුත්තන් මෙන්ම මන්ත්‍රීවරුන්ගේ සමීපතමයින්ගේ සංඛ්‍යාව සීමා කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙවර පාර්ලිමේන්තුවට ඡන්දයෙන් තේරී පත් වූ මන්ත්‍රීවරුන්ගෙන් තුනෙන් එකකට වැඩි සංඛ්‍යාවක් එනම්, 76 දෙනෙකු නවක මන්ත්‍රීවරුන් වනවා.

පසුගිය පාර්ලිමේන්තුව හා සැසදීමේදී මෙවර වැඩි නවක මන්ත්‍රී සංඛ්‍යාවක් තේරී පත්ව තිබීම විශේෂත්වයක්.

කෙසේ වෙතත්, පසුගිය පාර්ලිමේන්තුවට කාන්තා මන්ත්‍රීවරුන් 13 දෙනෙකු ඡන්දයෙන් තේරී පත්ව තිබූ නමුත්, මෙවර එලෙස තේරී පත්ව ඇත්තේ මන්ත්‍රීවරියන් 10 දෙනෙකු පමණක් බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළා.

නවක මන්ත්‍රීවරුන් සඳහා තුන් දින පුහුණු වැඩමුළුවක් ද සංවිධානය කර තිබෙනවා.

එය පාර්ලිමේන්තුවේ මංගල සැසි වාරය පැවැත්වෙන සතිය තුළදීම පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

පාර්ලිමේන්තු ක්‍රමය සම්බන්ධයෙන් වන විශේෂඥයින් ද අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ කර අදාළ වැඩමුළුව පැවැත්වීමට නියමිතව තිබෙනවා ෴

***************************************

ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 19 දෙනෙකුගේ නම් ඇතුලත් ගැසට් පත්‍රය නිකුත් කෙරේ

(10.08.2020 – 22:51 +0530 – hirunews.lk/sinhala)

ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 19 දෙනෙකුගේ නම් ඇතුලත් අතිවිශේෂ ගැසට් පත්‍රය රජය විසින් නිකුත් කර තිබෙනවා.

එම ගැසට් පත්‍රය පහතින් :

***************************************

හිටපු ඇමති මර්වින්ගේ පුත්, මාලක සොයා පොලිස් විමර්ශන

(11.08.2020 – 08:25 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වාගේ පුත් මාලක ද සිල්වා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඒ, මුදල් ඉල්ලා ව්‍යාපාරිකයෙකුට තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුවයි.

පසුගිය මහ මැතිවරණයේදී හිටපු අමාත්‍ය මර්වින් සිල්වා අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂය යටතේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වුණා.

ඔහුගේ මැතිවරණ කටයුතුවලට අවශ්‍ය බව පවසමින් ඔහුගේ පුත් මාලක ද සිල්වා මෙලෙස ව්‍යාපාරිකයෙකුගෙන් මුදල් ඉල්ලා තර්ජනය කර ඇති බවටයි පැමිණිල්ල ලැබී ඇත්තේ.

ඒ අනුව ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (10) දිනයේදී තලංගම පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් ඔහුගේ නිවසට ගිය ද ඔහු එම අවස්ථාවේ නිවසේ රැදී නොසිටි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය ප්‍රකාශ කළේ ෴

***************************************

ලිඳුල වතු නිවාස පෙළක ගින්නක් – නිවාස 24 කට හානි

(11.08.2020 – 08:48 +0530 – hirunews.lk/sinhala)

ලිඳුල – බඹරගල ප්‍රදේශයේ වතු නිවාස පෙළක ඊයේ (10) රාත්‍රියේ හට ගත් ගින්නකින් නිවාස 24 ක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා.

ගින්නෙන් එහි සිටි කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති අතර, පදිංචිව සිටි නිවැසියන් 70 දෙනෙකු පමණ ප්‍රදේශයේ හින්දු කෝවිලක සහ තවත් ස්ථාන කිහිපයක තාවකාලිකව නවාතැන් ගෙන සිටින බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

විදුලි කාන්දුවක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

***************************************

අගමැති මහින්ද නිල වශයෙන් සිය ධුරයේ රාජකාරි අරඹයි

(11.08.2020 – 10:43 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීම අද (11) පෙරවරුවේ සිදුකෙරුණා.

ඒ අරලියගහ මන්දිරයේ පැවති උත්සවයකදීයි.

එම අවස්ථාවට මහා සංඝරත්නය, හා පසුගිය මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් සහභාගි වුණා.

මෙහිදී පැමිණ සිටි පිරිස පංචශීලයේ පිහිටවීම සිදුකරනු ලැබුවේ ගාලු බස්නාහිර දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය බලංගොඩ සෝභිත හිමියන් විසින්.

අනතුරුව, මහා සංඝරත්නය ආශිර්වාද සෙත් පිරිත් සජ්ඣායනා කරමින් ආශිර්වාද පළ කළ අතරතුර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයේ රාජකාරි ආරම්භ කළේ පෙරවරු 10:36 ට යෙදුණු සුබ මොහොතින්.

ඉන් පසු හින්දු, ඉස්ලාම් හා කතෝලික ආගම්වල ආශිර්වාදය ද අග්‍රාමාත්‍යවරයා වෙත පිරිනැමුණා. මෙරට 13 වන අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා එම ධුරයේ සිව්වන (4) වරටත් යළි දිවුරුම් දෙනු ලැබුවේ පසුගිය ඉරිදා දිනයේදීයි.

මේ අතර, නව රජයේ කැබිනට් අමාත්‍යවරුන් 28 දෙනා සහ රාජ්‍ය අමාත්‍යවරුන් 40 දෙනා හෙට (12) පෙරවරු 08:45 ට මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාලිගා පරිශ්‍රයේ මඟුල් මඩුවේදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දීමට නියමිතයි.

***************************************

ගෝන අං තට්ටු 18 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

(11.08.2020 – 11:43 +0530 – hirunews.lk/sinhala)

නුවරඑලිය සංචාරක නිකේතනයක තිබි ගෝන අං තට්ටු 18 ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර ගෝන කකුල් දෙකක්, සමනලුන්, මුහුදු බෙල්ලන්ගේ කවච විශාල ප්‍රමණයක් සහ පිඹුරු හැවක් ද තිබු බවයි නුවරඑලිය වනජීවි කාර්යාලය පවසන්නේ.

සත්ව කොටස් සමඟ එම සංචාරක නිකේතනයේ කළමණාකාරු ඊයේ (10) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අද (11) දින නුවරඑලිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

%E0%B6%9C%E0%B7%9D%E0%B6%B1+%E0%B6%85%E0%B6%82+%E0%B6%AD%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94+18%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29

***************************************

සහල් මිශ්‍ර කර සැකසූ සත්ව ආහාර තොගයක් ඒකලින් සොයා ගැනේ

(11.08.2020 – 12:39 +0530 – hirunews.lk/sinhala)

ඒකල ගුවන් හමුදා කඳවුර ආසන්නයේ පිහිටි සත්ව ආහාර නිෂ්පාදන ආයතනයක තිබී, සහල් මිශ්‍ර කර සැකසූ සත්ව ආහාර මෙට්‍රික් ටොන් 30 කට අධික ප්‍රමාණයක් සොයා ගත් බව පාරිභෝගික අධිකාරිය පවසනවා.

එම අධිකාරිය ප්‍රකාශ කළේ ප්‍රධාන කාර්යාලයට ලද තොරතුරකට අනුව අද (11) පෙරවරුවේ මෙම වැටලීම සිදුකළ බවයි.

සත්ත්ව ආහාර සඳහා සහල් හෝ වී යොදා ගත යුතු නොවන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මේ වන විට ගැසට් නිවේදනයක් මගින් ද දැනුම් දී තිබෙනවා.

ඒ අනුව විදේශීය සමාගමකට අයත් අදාළ සත්ත්ව ආහාර නිෂ්පාදන ආයතනයට එරෙහිව නඩු පැවරීමට කටයුතු කළ බවයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය වැඩිදුරටත් කියා සිටියේ ෴

***************************************

තක්කාලි වගාවට හඳුනා නොගත් දිලීර රෝගයක්

(11.08.2020 – 13:33 +0530 – hirunews.lk/sinhala)

හඳුනා නොගත් දිලීර රෝගයක් හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ තක්කාලි වගාව සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වී ඇති බව වාර්තා වනවා.

මාතලේ, ලග්ගල, දඹුල්ල, ගලේවෙල, නාවුල සහ සීගිරිය යන ගොවිජන සේවා බල ප්‍රදේශවල තක්කාලි වගාවේ අස්වනු නෙලීමට ආසන්නව තිබියදී මෙම රෝගය වැලදී ඇති බවයි එම ගොවීන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

***************************************

ග්‍රෑන්ඩ්පාස්වල 112 ක් ඇල්ලූ පොලිස් මෙහෙයුම

(11.08.2020 – 14:03 +0530 – hirunews.lk/sinhala)

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ඊයේ සිදුකළ විශේෂ පොලිස් මෙහෙයුමකදී පුද්ගලයින් 112 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ – උතුර කොට්ඨාශයට අයත් පොලිස් ස්ථානවල නිලධාරීන් 125 දෙනෙකු පමණ මෙම සෝදිසි මෙහෙයුම සඳහා එක්ව සිටි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

එහිදී හෙරොයින් සහ ගංජා සමඟින් සැකකරුවන් 51 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

මීට අමතරව විවිධ වැරදි සම්බන්ධයෙන් ද පොලිසියට අවශ්‍යව සිටි පුද්ගලයින් 61 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද මාළිගාවත්ත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර, එප්පාවල- ඉහළගම ප්‍රදේශයේ නිවසක් අසල කලෙක සිට පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිශ්පාදනාගාරයක් වටලා ගෝඩා බැරල් 2 ක්, නීති විරෝධී මත්පැන් බොතල් 300 ක් සහ මත්පැන් නිශ්පාදනය සඳහා යොදාගන්නා උපකරණ රැසක් තඹුත්තේගම පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිය භාරයට ගත්තා.

මෙහෙයුම සිදු කරන අවස්ථාවේදී සැකකරුවන් ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා එප්පාවල පොලිසිය විමර්ෂණ ආරම්භ කර තිබෙනවා.

***************************************

නව රජයේ අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම හෙට (12)

(11.08.2020 – 14:09 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍යාංශ 28 කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40 කින් සමන්විත නව රජයේ අමාත්‍ය මණ්ඩලය හෙට (12) මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ මඟුල් මඩුවේදී දිවුරුම්දීමට නියමිතයි.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *