කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගන්නැයි වැඩබලන පොලිස්පතිගෙන් නියෝගයක්

(11.08.2020 – 16:06 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල බුවනෙක හෝටලය පිහිටුවා තිබූ පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කර ඇති වරෙන්තුව බලරහිත කිරීමේ රිට් ආඥාවක් ඉල්ලා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ අභියාචනාධිකරණයට අද (11) පෙත්සමක් ඉදිරිපත් කළා.

එහි වගඋත්තරකරුවන් ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා, කුරුණෑගල පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා, කුරුණෑගල විශේෂ විමර්ශන අංශය භාර පොලිස් ස්ථානාධිපතිවරයා, නීතිපතිවරයා සහ පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නම් කර තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුලු පස්දෙනෙකු (5) අත්අඩංගුවට ගන්නා ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (10) යළි වරෙන්තු නිකුත් කළේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මීට පෙර නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක කිරීමට කුරුණෑගල පොලීසිය අපොහොසත් වීම හේතුවෙන්.

ඒ අනුව ඊයේ (10) යළි වරෙන්තු නිකුත් කරමින් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය දැනුම් දුන්නේ වැඩබලන පොලිස්පති, දැනට වැඩ ආවරණය කරන නියෝජ්‍ය පොලිස්පති සහ කුරුණෑගල පොලිස් අධිකාරිවරයා හරහා සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසයි.

එමෙන්ම, සැකකරුවන්ට රටින් පිටවීම තහනම් කිරීමේ අධිකරණ නියෝගයක්ද නිකුත් කෙරුණා.

කෙසේ වෙතත් අභියාචනාධිකරණයට කුරුණෑගල නගරාධිපතිවරයා අද (11) ගොනුකළ රිට් පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ අදාළ ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය මගින් පුළුල් ප්‍රචාරයක් ලබාදුන් අතර, ඒ සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂ වැරදි මත සමාජ ගතකළ බවයි.

මේ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ පුද්ගලයෙකු අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක්ද ගොනු කර ඇති බව පෙත්සමෙන් ඔහු දක්වා තිබෙනවා.

මෙහි ප්‍රතිඵලයක් ලෙස පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බවත්, අදාළ විමර්ශනයෙන් පසු තමන් ඇතුලු පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් මත පොලීසිය මහේස්ත්‍රාත් අධිකරණයෙන් පසුගිය හත්වනදා (07) වරෙන්තු ලබාගෙන ඇති බවත්, කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ප්‍රකාශ කරනවා.

පෙත්සමෙන් ඔහු වැඩිදුරටත් දක්වා ඇත්තේ කඩා ඉවත් කෙරුණු බව සඳහන් ගොඩනැගිල්ල පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිල්ලක් ලෙස ප්‍රකාශයට පත් කර නොමැති බවයි.

එබැවින් පුරාවිද්‍යා පනත පදනම් කරගනිමින් තමන් ඇතුලු පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ලබාගැනීමේ ක්‍රියාදාමය මුළුමනින් නීතියට පටහැනි බව ඔහු පෙත්සමෙන් දක්වා තිබෙනවා.

මේ අතර නගරාධිපතිවරයා ඇතුලු නිලධාරින් පිරිස අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කිරීමේ නියෝගයට විරෝධය පළ කරමින් කුරුණෑගල මහ නගර සභාවේ සමස්ත කාර්ය මණ්ඩලය සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටීම නිසා අද (11) නගර සභාවේ කටයුතු අඩාල වුණා.

හිරු වාර්තාකරු කියා සිටියේ මහ නගර සභාව විසින් සිදුකරනු ලබන නගරයේ පිරිසිදු කිරීම් ඇතුලු නගර සභාවෙන් සැපයෙන සියලු සේවාවන් අද (11) දිනයේ සම්පූර්ණයෙන් නතර කර තිබූ බවයි.

එසේම කුරුණෑගල නාගරික වෙළඳ සංකීර්ණය සහ පුස්තකාලයද අද (11) පෙරවරුවේ ඉබි යතුරු දමා වසා දමා තිබුණා.

මේ අතර වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කර ඇත්තේ වරෙන්තු නිකුත් කර ඇති කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුලු පිරිස අත්අඩංගුවට ගැනීම ඔහු යටතේ ඇති කණ්ඩායමක් යොදවන ලෙසයි.

එසේම මෙම පිරිසට සැඟව සිටීම සඳහා ආධාර අනුබලදුන් පුද්ගලයින් සම්බන්ධයෙන් වහා විමර්ශනයක් සිදුකර හෙට (12) දිනයේදී ඊට අදාළ වාර්තාවක් තමන් වෙත යොමුකරන ලෙසද වැඩබලන පොලිස්පතිවරයා වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම්දී තිබෙනවා.

***************************************

තරුණියක මුදා ගැනීමට ගිය තරුණයෙකු බොල්ගොඩ ගඟේ ගිලී අතුරුදන්

(11.08.2020 – 15:44 +0530 – hirunews.lk/sinhala)

බණ්ඩාරගම – පානදුර මාර්ගයේ බොල්ගොඩ පාලම අසලින් බොල්ගොඩ ගඟට පැන සියදිවි නසා ගැනීමට ගිය තරුණියක්, ගඟට පැන මුදා ගැනීම සඳහා උත්සාහ කළ තරුණයෙකු දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා.

අද (11) පෙරවරු 11 ට පමණ මෙම තරුණිය ගඟට පැන ඇති අතර, දියේ ගිලුණු තරුණිය ගම්වාසීන් විසින් බේරා ගෙන පානදුර රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

29 හැවිරිදි අතුරුදන් වූ තරුණයා බණ්ඩාරගම – වැල්ලන්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ වනවිට පොලිස් නාවික කොට්ඨාශයේ නිලධාරින කැඳවා අතුරුදන් වූ තරුණයා සෙවීමේ කටයුතු වල නිරත වන අතර, බණ්ඩාරගම පොලිීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

+++++++++++++++++++++

සියදිවි හානි කරගැනීමට තැත් කළ තරුණිය බේරාගැනීමට උත්සහ කළ එක්දරු පියා බොල්ගොඩ ගඟේ අතුරුදන්

(11.08.2020 – 15:01 +0530 – sinhala.adaderana.lk)

බණ්ඩාරගම – පානදුර මාර්ගයේ, බොල්ගොඩ පාලම අසලින් ගඟට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ කළ තරුණියක් බේරාගැනීමට උත්සහ කළ එක් දරු පියෙක් දියේ ගිලී අතුරුදහන් වී ඇත.

පොලීසිය පැවසුවේ අද (11) උදෑසන 11 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවය.

දියේ පැන්න තරුණිය, ගිලෙමින් සිටියදී ගම්වාසින් විසින් බේරාගෙන පානදුර රෝහලට ඇතුළත් කර ඇත.

මෙලෙස අතුරුදහන් වී ඇත්තේ අවුරුදු 29 ක් වු ගැමුණු මාවත, වැල්ලන්තුඩුව, බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි එක්දරු පියෙක් බව පොලීසිය සඳහන් කළේය.

‘අද දෙරණ’ වාර්තාකරු පැවසුවේ මෙලෙස අතුරුදන් වී ඇත්තේ අදාළ තරුණියගේ ඥාති සොහොයුරෙක් බවය.

සියදිවි හානිකර ගැනීමට උත්සහ කළ තරුණිය බොල්ගොඩ පාළම අසල ට පැමිණ තමා ගඟට පැන සියදිවි හානිකර ගන්නා බව පවසමින් සිය ඥාති සොහොයුරාට දුරකථන ඇමතුමක් ඇති බව අප වාර්තාකරු පැවසුවේය.

එම අවස්ථාවේ දී ඔහු සිය ඥාති සොහොයුරිය බේරා ගැනීමට එම ස්ථානයට පැමිණ ඇත.

ඒ වන විට ඇය ගඟට පැන සිටින බව දැක, ඇයව බේරා ගැනීමට එම තරුණයා ගඟට පැන තිබේ.

අදාළ තරුණිය සමග මීට පෙර ප්‍රේම සම්බන්ධතාවයක් පැවැත්වු තරුණයාගෙන් වෙන් වී ඇත.

ඒ හේතුවෙන් එම තරුණයා එම තරුණියගේ ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැර තිබේ.

මේ හේතුවෙන් තරුණිය සියදිවි නසා ගැනීමට උත්සහ කර ඇති බව වාර්තා වේ.

මේ වන විට පොලිස් නාවික කොට්ඨාසයේ නිලධාරින් අතුරුදහන් වු තරුණයා සේවීමේ කටයුතු ආරම්භ කර ඇති අතර බණ්ඩාරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

***************************************

අගමැතිවරයා පාර්ලිමේන්තුවේ ‘ඔන්ලයින්’ අයදුම්පත පුරවා සිය තොරතුරු ලබාදෙයි

(11.08.2020 – 16:50 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) අරලියගහ මන්දිරයේදී සිය ධුරයේ වැඩ බාර ගැනීමෙන් සුළු මොහොතකට පසු පාර්ලිමේන්තුව විසින් මන්ත්‍රීවරුන් සඳහා සකස් කර ඇති ‘ඔන්ලයින්’ අයදුම්පත පුරවා සිය ජීවදත්ත තොරතුරු පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය වෙත ලබා දුන්නා.

අග්‍රාමාත්‍යවරයා විසින් ඔන්ලයින් අයදුම්පත සම්පූර්ණ කළ අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක , සහකාර මහ ලේකම් ටිකිරි ජයතිලක යන මහත්වරු ඇතුලු නිලධාරීන් පිරිසක් සහභාගී වූනා.

අගෝස්තු 20 වැනි දින ආරම්භ කිරීමට නියමිත නවවැනි පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති මන්ත්‍රීවරයන්ගේ තොරතුරු ඔන්ලයින් ක්‍රමයට ලබා ගැනීමේ ක්‍රමවේදයක් (Online Registration System) පාර්ලිමේන්තුවේ මහ ලේකම් කාර්යාලය මගින් හඳුන්වා දී තිබෙනවා.

***************************************

පාසල් දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට පොලිසියෙන් මුව ආවරණ 5000 ක්

(11.08.2020 – 17:02 +0530 – hirunews.lk/sinhala)

පාසල් දරුවන්ගේ මෙන්ම ගුරුවරුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරලීමට නැවත නැවතත් භාවිතා කල හැකි මුව ආවරණ 5000 ක් සහ සෑම පාසලකටම ශරීර ආරක්ෂක ඇදුම් කට්ටලයක් බැගින් අද (11) පොලිසිය විසින් ප්‍රදානය කළා.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාතේ කුඩා පාසල් 13 ක ඉගෙනුම ලබන දරුවන් සඳහා මෙම මුව ආවරණ තොගය ප්‍රදානය කෙරුනා.

එම අවස්ථාවට කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති බී.ආර්.එස්.ආර්. නාගහමුල්ල , කොළඹ මධ්‍යම කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා , ප්‍රජා පොලිස් කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිලිණ හේවාපතිරණ යන උසස් පොලිස් නිලධාරීන් , ප්‍රජා පොලිස් ස්ථානාධිපතිවරුන් , අදාල පාසල්වල විදුහල්පතිවරුන් , දරුවන් සහභාගී වී සිටියා.

***************************************

රනිල්ට, සාගලට සහ රුවන්ට පාස්කු කොමිසමෙන් දැනුම්දීමක්

(11.08.2020 – 17:23 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලව සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා එළඹෙන සතියේ ජනාධිපති විමර්ශන කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙස ප්‍රහාරය සිදුවන අවස්ථාවේ අග්‍රාමාත්‍යවරයාව සිටි රනිල් වික්‍රමසිංහට සහ එවකට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනට සහ හිටපු නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායකට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ලබන 21 වන දින ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇති අතර එදිනම විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙස හිටපු නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායකටද දැනුම් දී ඇති බවයි වාර්තාවන්නේ.

හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධනට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීම සඳහා ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත්තේ එළඹෙන 18 වෙනිදායි.

මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පෙර දැනුවත් කිරීමේ බුද්ධි තොරතුරු පළමුවරට ලද රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන අද 08 වන දිනටත් ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් අතර අදත් ඔහුගේ සාක්ෂි විමසීම මාධ්‍යයට විවෘත වුනේ නැහැ.

***************************************

නෙදර්ලන්තයෙන් එවූ ඇඳුම් පෙට්ටිවලින් මිලියන 24 ක මත්පෙති හමුවෙයි

(11.08.2020 – 18:27 +0530 – hirunews.lk/sinhala)

කාඩ්බෝඩ් පෙට්ටි තුළ අසුරා මෙරටට ගෙන්වන ලද මත්පෙති තොගයක් කටුනායක ගුවන්තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබෙනවා.

එහිදී මත්පෙති 4960 රේගුව විසින් සොයාගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියන 24.8 ක් බවයි වාර්තාවන්නේ.

භාණ්ඩ ප්‍රවාහන සමාගමක් මාර්ගයෙන් නිමි ඇඳුම් ගෙන්වන මුවාවෙන් මෙම මත්පෙති තොගය මෙරටට ගෙන්වා ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

එම භාණ්ඩ නෙදර්ලන්තයේ සිට මෙරට කොළඹ 15 ප්‍රදේශයේ ලිපිනයක් වෙත ඒවා ඇති බවයි සඳහන් වන්නේ.

මෙලෙස සොයාගෙන ඇති මත්පෙති තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය වෙත භාරදී තිබෙනවා.

+++++++++++++++++++++

***************************************

‘අපේ ජනබල පක්ෂයේ’ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ගැසට් නොකිරීමට කොමිසම තීරණය කරයි

(11.08.2020 – 19:14 +0530 – hirunews.lk/sinhala)

අපේ ජනබල පක්ෂයේ ලේකම් තනතුර ගැටලු සහගත නිසා, නීතිමය තත්ත්වය අධ්‍යයනය කර තීරණයක් ගන්නා තෙක්, මන්ත්‍රී ධුරය සඳහා කිසිවෙකුගේ හෝ නම ගැසට් නොකිරීමට දැනට තීරණය කර ඇති බව, මැතිවරණ කොමිසමේ ආරංචිමාර්ග සඳහන් කරනවා.

මේ අතර තමා පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමෙන් පසු එම ධුරය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ලබා දීමට තීරණයක සිටියදී එය වෙනස් කර පක්ෂය තුල අර්බුදයක් ගොඩනැගීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බවට අපේ ජන බල පක්ෂයේ මහලේකම් පුජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය සිදුකල විමසීමකදි උන්වහන්සේ කියා සිටියේ තමන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිස ඉන් අනතුරුව ඉල්ලා අස්වී එම ධුරය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ලබාදීමට තීරණය කර ඇති බවයි.

ඥාණසාර ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළහොත් පමණක් රතන හිමියන්ට එය ලබාදීමට කැමැත්තෙන් පසුවන බවද උන්වහන්සේ කියා සිටියා.

මේ අතර, අපේ ජන බල පක්ෂයෙන් ජාතික ලැයිස්තුවෙන් බොදු බලසේනා සංවිධානයේ මහලේකම් පුජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් පාර්ලිමෙන්තු මන්ත්‍රි ධුරයට පත් කරන ලෙස ඉල්ලා මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන පිරිසක් රාජගිරිය මැතිවරණ කොමිසම් සභාව ඉදිරිපිට අද විරෝධතාවයක් සිදු කළා.

විරෝධතාවය අතරතුර එම ස්ථානයට පැමිණි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ද එම තත්ත්වය විමසා සිටියා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

නාකොටික් නිලධාරීන් ගැන ඔත්තුකරුවෙකුගෙන් සී.අයි.ඩී. යට ප්‍රකාශයක්

(11.08.2020 – 20:24 +0530 – hirunews.lk/sinhala)

දැනට අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සිය භාරයට ගනු ලැබු මත්ද්‍රව්‍ය වලට අදාලව නීත්‍යානුකුල පියවර නොගෙන ඒවා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් ඔත්තුකරුවෙකු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශයක් ලබා දී තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට අදාළව කරුණු වාර්තා කර ඇති අතර, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දැනට සිදුකරන විමර්ශණවල ප්‍රගතිය දැනුම් දෙමින්.

මෙම පෞද්ගලික ඔත්තුකරු ලබාදී ඇති ප්‍රකාශයේ සඳහන් වන්නේ තමා ලබා දුන් ඔත්තුවක් මත දැනට අත්අඩංගුවේ පසුවන ලක්ෂාන් වන්නිආරච්චි නමැති නිලධාරියා ඇතුළු කණ්ඩායමක් 2018 වර්ෂයේ මාර්තු 30 වනදා ගනේමුල්ල ප්‍රදේශයේදි ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ගංජා කිලෝග්‍රෑම් 2.3 ක් සහ අයිස් ග්‍රෑම් 2 ක් රියදුරු සමග අත්අඩංගුවට ගත් බවයි.

නමුත් එම මත්ද්‍රව්‍ය අදාල නිලධාරින් තමන් ළඟ තබාගනිමින් සැකකරු සම්බන්ධයෙන් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් වැලකී සිටි බව ඔත්තුකරු ප්‍රකාශ කර තිබෙනවා.

එසේම එම වසරේම අගෝස්තු 18 වනදා ගනේමුල්ල, ප්‍රදේශයේ පිහිටි තාවකාලික නවාතැන් පොලක් වටලා අයිස් ග්‍රෑම් 38 ක් සොයාගත්තද එම සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගත් බව ඔහුගේ ප්‍රකාශයේ සඳහන්.

මෙම සිද්ධීන් පිළිබද තමන් 2018 වසරේ ඔක්තෝම්බර් පළමුවනදා ජනාධිපති මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයට සිදුකළ පැමිණිල්ල සම්බන්ධයෙන්ද කිසිදු විමර්ශණයක් සිදු නොවු බව අදාල ඔත්තුකරු සිය ප්‍රකාශයේ සදහන් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කළ වාර්තා මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත්තේ අදාළ කරුණූ පිළිබද වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවයි.

මේ අතර බොරැල්ල පොලිසිය අද පෙරවරුවේ ටී විස්ස වත්තේ සිදුකල වැටලීමකදී අසුරන ලද කුඩා හෙරොයින් පැකට් 380 ක් සමග 38 හැවිරිදි කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදි සොයාගත් හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 15 යි මිලිග්‍රෑම් 200 ක්.

මේ අතර පිලියන්දල පොලිසිය බොරලැස්ගමුව – වේරහැර ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී හෙරොයින් සමග 39 හැවිරිදි තවත් කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබුනා.

ඇය ළඟ තිබී හෙරොයින් ජාවාරමෙන් උපයන ලද රුපියල් එක්ලක්ෂ හතළිස් පන්දහසක මුදලක් (1,45,000), ජංගම දුරකථන 06 ක් හා හෙරොයින් ප්‍රවාහනයට යොදාගත් ත්‍රීරෝද රථයක්ද සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

බස්නාහිර පලාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ උපදෙස් මත මෙම වැටලීම සිදුකර තිබෙනවා.

මේ අතර , මීගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත හෝමාගම ගොඩගම ප්‍රදේශයේ සිදුකල තවත් මෙහෙයුමකදි ත්‍රීරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි හෙරොයින් ග්‍රෑම් 20 ක් සහ ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තා.

පොලිසිය පැවසුවේ අදාල මත්ද්‍රව්‍ය තොගය රුපියල් දෙලක්ෂ පනස් දහසක් (2,50,000) පමණ වටිනාකමකින් යුක්ත බවයි.

මෙලෙස අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු පානදුර පොකුණ පාරේ පදිංචි අයෙකු වන අතර ඔහු අතුරුගිරිය ප්‍රදේශයේදි රූපලාවන්‍ය ශීල්පිනියක් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුගේ සොහොයුරෙකු බවද පොලිසිය පැවසුවා.

අනෙක් සැකකරු කඩුවෙල ප්‍රදේශයේ සිදුවු වාහන කොල්ලකෑම් රැසකට සම්බන්ධ 30 හැවිරිදි වැල්ලම්පිටියේ පදිංචිකරුවෙක්.

එසේම යුද හමුදා බුද්ධි අංශයෙන් ලද තොරතුරකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකාය බොරලැස්ගමුව – වේරහැර – දොළහේනවත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 25 ක් සමඟ 43 හැවිරිදි සැකකරුවෙකු අද (11) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

***************************************

හිටපු මන්ත්‍රීවරු 30 දෙනෙකුගේ විශ්‍රාම වැටුප අහිමි වෙයි

(11.08.2020 – 20:58 +0530 – hirunews.lk/sinhala)

8 වැනි පාර්ලිමේන්තුව නියෝජනය කළ නවක මන්ත්‍රීවරුන් 30 කට සිය විශ්‍රාම වැටුප අහිමි වී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුයෙකු විශ්‍රාම වැටුපකට හිමිකම් කීමට නම් ඔහු හෝ ඇය වසර 5 ක් අඛණ්ඩව පාර්ලිමේන්තුව නියෝජනය කර තිබිය යුතුයි.

එක් පාර්ලිමේන්තු වාරයකදී වසර 5 ක් සම්පූර්ණ කිරීමට නොහැකි වුවද, ඊළඟට පත් වන පාර්ලිමේන්තු වාරයේදී හිඟ කාලය සම්පූර්ණ කිරිමට හැකි වුවහොත් එහිදීද විශ්‍රාම වැටුපට හිමිකම් කියනු ලබනවා.

කෙසේවෙතත්, පසුගිය පාර්ලිමේන්තුවේ කාලය වසර 4 මාස 8 ට පමණක් සීමා වූ අතර, එම පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් 30 ක් නව පාර්ලිමේන්තුවට තේරී පත් වීමට අපොහොසත් වී ඇති හෙයින් ඔවුන්ට විශ්‍රාම වැටුප අහිමි වී තිබෙනවා.

ඉන් වැඩිම පිරිසක් නියෝජනය කරන්නේ එක්සත් ජාතික පක්ෂයෙන් වන අතර එම ගණන 22 ක්.

එක්සත් ජාතික පෙරමුණෙන් පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මයන්ත දිසානායක මහතා මෙවර සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවට ඇතුලත්ව සිටින නිසා ඔහුට විශ්‍රාම වැටුප හිමිවන්නේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය හිමිවුවහොත් පමණයි.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 4 කට සහ ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙකුටද විශ්‍රාම වැටුප අහිමියි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ හිටපු මන්ත්‍රීවරුන් තිදෙනෙකුගේද විශ්‍රාම වැටුප අහිමීවි ඇත්තේ නව පාර්ලිමේන්තුවට තේරී පත් නොවීම හේතුවෙන්.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වෙනත් දීමනා වලට අමතරව රුපියල් 54,285 ක වැටුපකට හිමිකම් කියනු ලබන අතර විශ්‍රාම වැටුප ලෙස ලැබෙන්නේ එම වැටුපෙන් තුනෙන් එකක ප්‍රමාණයක්.

යම් මන්ත්‍රීවරයෙකු අඛණ්ඩව වසර 15 ක් පාර්ලිමේන්තුව නියෝජනය කර ඇත්නම් වැටුපෙන් තුනෙන් දෙකක විශ්‍රාම වැටුපකට ඔහු හෝ ඇය හිමිකම් කියනු ලබනවා.

***************************************

මර්වින් සිල්වාගේ පුත්, මාලක අත්අඩංගුවට

(11.08.2020 – 21:19 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වාගේ පුත් මාලක ද සිල්වා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පියාගේ මැතිවරණ කටයුතු සඳහා මුදල් ඉල්ලා ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් ඉල්ලා තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුවයි ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ ෴

***************************************

වන ජීවී අවසරය අහිමි වන මී ගවයින් ගැන සෝමාවතියෙන් ඇහෙන කතාව

(11.08.2020 – 22:08 +0530 – hirunews.lk/sinhala)

සෝමාවතිය රක්ෂිතයේ බෙරිවිල ප්‍රදේශය ආශ්‍රිතව පාරම්පරිකව මී ගව පාලනයේ යෙදෙන කිරි ගොවීන් මේ වන විට පත්ව සිටින්නේ දැඩි දුෂ්කරතාවකටයි.

ඒ, එම ප්‍රදේශයෙන් මී ගවයින් කඩිනමින් ඉවත් කරගන්නා ලෙසට වන ජීවි නිලධාරීන් දැනුම් දුන්නද ගවයින් රැඳවීම සඳහා ඔවුන්ට නිශ්චිත ස්ථානයක් නොමැතිවීම හේතුවෙන්.

***************************************

‘අංගොඩ ලොක්කා’ගේ ප්‍රධාන වෙඩික්කරු ‘සොල්ටා’ පොලිස් වෙඩි පහරකින් මරුට

(11.08.2020 – 22:37 +0530 – hirunews.lk/sinhala)

‘අංගොඩ ලොක්කා’ගේ ප්‍රධාන වෙඩික්කරු වූ ඝාතන රැසකට සම්බන්ධ අසිත හේමතිලක හෙවත් ‘සොල්ටා’, මුල්ලේරියාව වැලිවිටදී පොලීසියට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කළ අවස්ථාවේ පොලීසිය කළ වෙඩි තැබීමකින් මියගොස් තිබෙනවා.

මියගොස් ඇති සැකකරු මීට පෙර මුල්ලේරියාව ප්‍රදේශයේදී ගංජා සමඟ අත්අඩංගුවට ගෙන වසරකට ආසන්න කාලයක් බන්ධනාගාරගතව සිට ඇපමත නිදහස් ව ඇති බවයි සඳහන් වන්නේ.

පසුව ඔහු බන්ධනාගාරගතව සිටින අංගොඩ ලොක්කාගේ ගෝලයන්ට ආහාර පාන රැගෙනගොස් ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

ඔහු පන්නිපිටියේ රූපලාවන්‍ය ශිල්පිනියක ඝාතනය කිරීමේ සිද්ධියේ එක් සැකකරුවෙකු බවයි සඳහන් වන්නේ.

මේ අතර චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ පිහිටි ශරීර සුවතා මංතීරුවේදී ‘පොලී රොෂාන්’ නැමැත්තා ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරු වන්නේද ‘සොල්ටා’ නමැති මෙම සැකකරු බවයි පොලිසිය පවසන්නේ ෴

***************************************

***************************************

පොලිස් ජීප් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

(11.08.2020 – 17:06 +0530 – hirunews.lk/sinhala)

බදුල්ල පොලීසියට අයත් පොලිස් ජිප් රථයක් අද (11) දහවල් බදුල්ල කැන්දගෝලල, මුතුමාල ගොවිපල ප්‍රදේශයේ දී අඩි 30 ක පමණ ප්‍රපාතයකට පෙරළී අනතුරට ලක්ව තිබේ.

ප්‍රපාතයට පෙරළී ගිය ජීප් රථය බෑවුම් සහිත තේ වත්තක ගසක ගැටී නතර වී ඇත.

අනතුරින් එහි ගමන් කරමින් සිටි පොලිස් නිලධාරීන් තිදෙනෙක් (3) තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.

ජල මෝටර් සොරකමක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට ගොස් නැවත පොලීසිය වෙත එමින් සිටිය දී මෙම අනතුර සිදුව ඇත.

ජීප් රථය තුළ එම පැමිණිල්ල සිදුකළ පුද්ගලයා, පොලිස් නිලධාරීන් සිව් (4) දෙනෙක්, පොලිස් නිල සුනඛයෙක් හා සුනඛයා බාරව සිටි නිලධාරීන් දෙදෙනෙක් (2) ද සිටි ඇතැයි ‘අද දෙරණ’ වාර්තාකරු පවසයි.

වැසි සහිත කාලගුණය සමඟ ජීප් රථය මෙලෙස මාර්ගයේ ලිස්සා ගොස් මෙම අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

***************************************

එමිල් රන්ජන්ගෙන් දේශපාලන පළිගැනීම් ගැන තිදෙනෙකුට චෝදනා

(11.08.2020 – 19:55 +0530 – sinhala.adaderana.lk)

වැලිකඩ බන්ධනාගාරයේ හිටපු කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමට කර ඇති පැමිණිල්ලට අදාළව යහපාලන ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරියක ඇතුළු තිදෙනෙකු (3) වගඋත්තරකරුවන් ලෙස එම ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා විසින් අද (11) නම් කරනු ලැබ සිටියේය.

එලෙස වගඋත්තරකරුවන් ලෙස නම් කෙරුණේ හිටපු අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ, අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පත් පූජිත් ජයසුන්දර සහ සහකාර බන්ධනාගාර කොමසාරිස් ධම්මිකා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් තිදෙනාය.

එමිල් රංජන් ළමාහේවා මහතා වෙනුවෙන් ජනාධිපති කොමිසම හමුවේ කරුණු දැක්වූ නීතිඥ චමින්ද ප්‍රනාන්දු මහතා කළ දැනුම් දීමක් කෙරෙහි අවධානය යොමුකළ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා එම නම් කිරීම් කර සිටියේය.

වැලිකඩ බන්ධනාගාරය තුළ 2012 නොවැම්බර් 10 වැනි දින සිදුවූ කැරැල්ලට සම්බන්ධ සිරකරුවන් ඝාතනය කිරීමට එවකට ආරක්ෂක ලේකම්ව සිටි ගෝඨාභය රාජපක්ෂ වත්මන් ජනාධිපතිවරයා නියෝග කළ බවට බොරු සාක්ෂි ඉදිරිපත් නොකිරීම නිසා තමන්ව අත්අඩංගුවට ගෙන වසරක් සිරබාරයේ තැබීම සහ සිය සුදුසුකම්වලට අදාළව උසස්වීම් ලබානොදී සිටීම හරහා යහපාලන ආණ්ඩුවේ ඇතැම් දේශපාලඥයින් තමාගෙන් දේශපාලනිකව පලිගෙන ඇති බව සඳහන් කර එමිල් රංජන් ළමාහේවා මහතා මෙම පැමිණිල්ල මගින් ජනාධිපති කොමිසමට දැනුම් දී තිබුණි.

එම පැමිණිල්ල ජනාධිපති කොමිසම හමුවේ අද (11) යළි කැඳවු අවස්ථාවේ එමිල් රංජන් ළමාහේවා මහතා වෙනුවෙන් පෙනී සිටි නිතීඥ චමින්ද ප්‍රනාන්දු මහතා කරුණු දක්වමින් තලතා අතුකෝරළ, පූජිත් ජයසුන්දර සහ ධම්මිකා වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන් පැමිණිල්ලේ වග උත්තරකරුවන් ලෙස නම් කරන ලෙස ඉල්ලා සිටියේය.

මේ වනවිට ජනාධිපති කොමිසම බාරයේ ඇති වැලිකඩ ඝාතන සිද්ධිය අළලා කසුන් පුස්සවැල්ල මාධ්‍යවේදියා ලියූ ‘වැලිකඩ’ කෘතිය තම සේවාදායකයාට මුදා හරින ලෙසද නීතිඥ චමින්ද ප්‍රනාන්දු මහතා ජනාධිපති කොමිසමෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සළකා බැලූ ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අවශ්‍ය විටෙක කොමිසමට ලබාගැනීමට හැකිවන පරිදි ‘වැලිකඩ’ කෘතිය එමිල් රංජන් ළමාහේවා මහතාට මුදාහරින ලෙස නියම කර මෙම පැමිණිල්ල ලබන 24 වැනි දින යළි කැඳවීමට නියම කළේය ෴

***************************************

අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීම අද (12)

(12.08.2020 – 07:13 +0530 – hirunews.lk/sinhala)

පෙරවරු 08:30 ට මහනුවර මඟුල් මඩුවේ දී නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මෙවර මහ මැතිවරණයෙන් තුනෙන් දෙකක බලයක් හිමිකරගනිමින් පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු බලය හිමිකර ගැනීමට සමත් විය.

පසුගිය 10 වනදා අමාත්‍යාංශ 28 ක් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කළේය.

මීට අමතරව රාජ්‍ය අමාත්‍යාංශ 40 ක් ද ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට එදින කටයුතු කර තිබුණි.

Swarnavahini TV (Live)Newsfirst (Live)

Rupavahini (TV)ITN (TV)TV DeranaHiru TV

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *