කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගන්න නිකුත්කළ වරෙන්තුව අභියාචනාධිකරණය අත්හිටුවයි

(12.08.2020 – 15:34 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ ඇතුලු පස්දෙනාට (5) නිකුත් කර ඇති වරෙන්තුව ලබන 24 වනදා දක්වා ක්‍රියාත්මක නොකරන්නැයි අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ, කුරුණෑගල බුවනෙක හෝටලය පිහිටුවා තිබූ පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කර ඇති වරෙන්තුව බලරහිත කිරීමේ රිට් ආඥාවක් ඉල්ලා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම සළකා බලමින්.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුලු පස්දෙනෙකු (5) අත්අඩංගුවට ගන්නා ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය පෙරේදා (10) යළි වරෙන්තු නිකුත් කළේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මීට පෙර නිකුත් කළ වරෙන්තුව ක්‍රියාත්මක කිරීමට කුරුණෑගල පොලීසිය අපොහොසත් වීම හේතුවෙන් ෴

***************************************

ගල්කිස්ස දූෂණ මර්දන නිලධාරීන්ට මරණ තර්ජනය කළ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට

(12.08.2020 – 08:25 +0530 – hirunews.lk/sinhala)

ගල්කිස්ස – දූෂණ මර්දන අංශ නිලධාරීන්ට දුරකථනයෙන් මරණ තර්ජනය එල්ල කළ හෙරොයින් ජාවාරම්කරුවෙකු ගල්කිස්ස – රජමාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 50 ක් ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

ඊයේ (11) අත්අඩංගුවට ගත් සැකකරු අවුරුදු 40 ක් වයසැති පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා විදෙස් රටක සැඟව සිටින ‘සයිමා’ නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ගෝලයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ ෴

***************************************

විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ජනතාවට උපදෙසක්

(12.08.2020 – 07:54 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි කර ඇති සිම්පත් භාවිතයෙන් ක්‍රියාකරන විදුලි සන්දේශ උපකරණ පමණක් මිලදී ගන්නා ලෙසට එම කොමිෂන් සභාව ජනතාවට දැනුම් දෙනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක මහතා කියා සිටියේ පාරිභෝගිකයා ආරක්ෂා කිරීම සදහා මෙම පියවර ගෙන ඇති බවයි.

එමෙන්ම, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි නොකළ විදුලි සංදේශ උපකරණ දුරකථන ජාලාවලට සම්බන්ධ කිරීම ද නුදුරේදීම අත්හිටුවීමට කටයුතු කෙරෙනවා ෴

***************************************

සරුංගල් යැවූ පාසල් සිසුවෙකු විදුලිසැර වැදී මියයයි

(12.08.2020 – 12:56 +0530 – hirunews.lk/sinhala)

සරුංගල් යවමින් සිටියදී විදුලිසැර වැදීමෙන් පාසල් සිසුවෙකු ජිවිතක්ෂයට පත්වීමේ පුවතක් කළුතර – මොරගහහේන – වීදිගොඩ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

දස හැවිරිදි වීදිගොඩ ප්‍රදේශයේම පදිංචි මෙම දරුවා මීට දින 3 කට ඉහතදී අධිවේගී මාර්ගය ආසන්නට ගොස් සරුංගල් යවමින් සිටියදීයි මෙම අනතුරට ලක්ව ඇත්තේ.

එහිදී සිසුවා යැවූ සරුංගලයෙහි නූල අධිවේගී මාර්ගය ආසන්නයේ ගමන් කරන අධිබලැති විදුලි රැහැනක ගැටී තිබෙනවා.

පසුව දින 3 ක් පමණ කාලයක් හොරණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මොහු ඊයේ (11) රාත්‍රියේ ජිවිතක්ෂයට පත්වූ බව පොලීසිය සදහන් කළා ෴

***************************************

පොලිස් වෙඩි පහරින් මියගිය ‘සොල්ටා’ට – අංගොඩ ලොක්කාගෙන් කොන්ත්‍රාත්තුවක්

(12.08.2020 – 12:58 +0530 – hirunews.lk/sinhala)

පොලිස් වෙඩි පහරින් ජිවිතක්ෂයට පත්වූ ‘අසිත හේමතිලක’ හෙවත් ‘සොල්ටා’ නමැත්තාට සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘ලසන්ත චමින්ද පෙරේරා’ හෙවත් ‘අංගොඩ ලොක්කා’ මියයාමට සතියකට පෙර තවත් පාතාල සාමාජිකයෙකු ඝාතනය කිරීම සදහා කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇති බව අනාවරණ වී තිබෙනවා.

ඔහු විසින් මෙලෙස උපදෙස් ලබාදී ඇත්තේ ‘ගයාන්’ නමැති පාතාල සාමාජිකයෙකු ඝාතනය කිරීම සදහා බවයි කොළඹ ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සදහන් කළේ.

අසිත හේමතිලක හෙවත් සොල්ටා නමැත්තා අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරු වන අතර, ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරින් පිරිසකට අත්බෝම්බයකින් දමා ගැනීමට උත්සාහ කිරීමත් සමග පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් ඊයේ (11) රාත්‍රියේ ජිවිතක්ෂයට පත්වුණා.

මොහු 2017 වසරේ නොවැම්බර් 30 වනදා පන්නිපිටිය – රුක්මලේ ප්‍රදේශයේ ‘මංජුලා සදුනි’ නමැති රූපලාවන්‍ය ශිල්පිනියට සිය නිවස තුලදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු ලෙස ද කටයුතු කර තිබෙනවා.

එසේම, 2018 වසරේදී චන්ද්‍රිකා කුමාරණතුංග මාවතේ ව්‍යායාම් කරමින් සිටි ‘රොෂාන් ප්‍රේමලාල්’ නොහොත් ‘පොලී රොෂාන්’ නමැති පුද්ගලයාට වෙඩි තබා ඝාතනය කර ඇත්තේ ඊයේ (11) පොලිස් වෙඩි පහරින් ජිවිතක්ෂයට පත්වූ පුද්ගලයා බවයි අනාවරණ වී ඇත්තේ.

අංගොඩ ලොක්කා ඉන්දියාවේදී මියගොස් ඇති බවට මේ වනවිට තහවුරු වී තිබෙනවා.

ඒ බව නිශ්චිතව තහවුරු කර ගැනීම සදහා ඩි.එන්.ඒ. පරීක්ෂාවක් ද ඉදිරියේදී සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

***************************************

රිෂාඩ් CIDයට – රවී අල්ලස් කොමිසමට

(12.08.2020 – 13:12 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් අද (12) යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියා.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා ඔහු මෙලෙස කැදවා ඇති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සදහන් කළේ.

මීට පෙර ද වව්නියාව – ඉරට්ටපෙරියකුලම්හි පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලයේදී රිෂාඩ් බදියුදීන් මෙවැනිම ප්‍රකාශයක් ලබා දුන්නා.

කෙසේ වෙතත්, අද (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් කළ විමසීමකදී රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා සදහන් කළේ අද (12) දින තමන් කැදවීමට හේතුව නොදන්නා බවයි.

පෙරවරු 09:30 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි රිෂාඩ් බදියුදීන් තවදුරටත් එහිදී රැදී සිටිනවා.

මේ අතර, හිටපු අමාත්‍යවරයෙකු වන රවී කරුණානායක අද (12) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියා.

එහි ආරංචි මාර්ග සදහන් කළේ බැදුම්කර ගණුදෙනුවට අදාළ ප්‍රකාශ්‍යක් ලබාදීම සදහා ඔහු මෙලෙස කැදවූ බවයි.

රවී කරුණානායක හිටපු අමාත්‍යවරයා අද (12) පෙරවරුවේ අල්ලස් කොමිසමට පැමිණ ප්‍රකාශයක් ලබාදීමෙන් පසු පිටව ගියේ මාධ්‍ය වෙත අදහස් දැක්වීමකින් තොරවයි.

++++++++++

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදත් (12) පැය හයකට වැඩි කාලයක් යළි ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.

ඒ අනුව අද (12) පෙරවරු 09:30 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍යවරයා පස්වරු හතරට (04:00) පමණ ඉන් පිටව ගිය බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මීට පෙර ද වව්නියාව – ඉරට්ටපෙරියකුලම්හි පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු කාර්යාලයේදී රිෂාඞ් බදියුදීන් මෙවැනිම ප්‍රකාශයක් ලබා දුන්නා ෴

***************************************

අත්අඩංගුවට ගත් මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා අධිකරණයට

(12.08.2020 – 13:22 +0530 – hirunews.lk/sinhala)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා ඊයේ (11) රාත්‍රියේ පොලිසිය අත්අඩංගුවට ගත්තා.

අත්අඩංගුවට ගත් සැකකරු අද (12) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් මුදල් ඉල්ලා මරණ තර්ජන කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා තලංගම පොලිසිය ඊයේ (11) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය ජූලි මස 15 සහ 16 දෙදින තලංගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් තම පියාගේ මැතිවරණ ව්‍යාපාරයට යෙදවීමට අවශ්‍ය බව පවසමින් රුපියල් ලක්ෂයක මුදලක් සැකකාර මාලක සිල්වා ඉල්ලා ඇති බව පොලිසිය පැවසුවා.

එය ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සැකකරු විසින් තමාට මරණ තර්ජන එල්ල කල බවට අදාළ ව්‍යාපාරිකයා තලංගම පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබුණේ පසුගිය 16 වනදායි.

ඒ අනුව අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව සැකකරු ඊයේ (11) රාත්‍රි 08:40 ට පමණ තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කලේ සැකකාර මාලක සිල්වා අද (12) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

++++++++++++

මාලක සිල්වාට ඇප

(12.08.2020 – 13:54 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාපාරිකයෙකුගෙන් මුදල් ඉල්ලා මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා ඇප මත මුදා හැර තිබෙනවා.

සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවට අද (12) ඉදිරිපත් කළ අවස්ථාවේදී නියෝග කෙරුණේ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමටයි.

තම පියාගේ මැතිවරණ ව්‍යාපාරයට යෙදවීමට අවශ්‍ය බව පවසමින් රුපියල් ලක්ෂයක මුදලක් මාලක සිල්වා ව්‍යාපාරිකයෙකුගෙන් ඉල්ලා තිබුණා.

එය ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සැකකරු මෙලෙස මරණ තර්ජනය කළ බවටයි අදාළ ව්‍යාපාරිකයා තලංගම පොලීසියට පැමිණිලි කර තිබුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (11) රාත්‍රියේ මාලක සිල්වා පොලීසිය අත්අඩංගුවට ගත් අතර, ඇප ලබා දෙමින් මහේස්ත්‍රාත්වරයා අද (12) සැකකරුට නියෝග කළේ සෑම මසකම දෙවන සහ අවසන් ඉරුදින පොලීසිය හමුවේ පෙනී සිටිය යුතු බවයි.

***************************************

ඩෙංගු නිසා ගම්පහ නගරයට අවදානම තත්ත්වයක්

(12.08.2020 – 13:58 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ මූලික රෝහල අවට කාණු පද්ධතිය ක්‍රමවත්ව පවත්වාගෙන නොයෑම හේතුවෙන් ඩෙංගු ව්‍යාප්තියේ අවදානමක් මතුව තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ වගකිවයුතු බලධාරීන් නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් මෙම තත්ත්වය උදා වී ඇති බවයි.

දිනකට විශාල පිරිසක් සේවා අවශ්‍යතා සඳහා පැමිණෙන ගම්පහ මූලික රෝහල අසළ මේ වනවිට පවතින තත්ත්වයයි මේ.

අපද්‍රව්‍ය සිරවීම හේතුවෙන් රෝහල අසළ තිබෙන කාණු පද්ධතිය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා.

ඇතිවී තිබෙන තත්ත්වයත් සමඟ ප්‍රදේශයේ ඩෙංගු හිස එසවීමේ අවදානමක් ඇති බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙනවා.

මෙම කාණු පද්ධතිය නිසි ලෙස පවිත්‍ර කිරීමේ හැකියාවක් තිබියදී අදාළ බලධාරීන් ඒ සඳහා පියවර නොගන්නා බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

***************************************

රට වටා හිරු (12.08.2020)

***************************************

බැද්දගානේදී කෝටියක මත්කුඩු සමඟ කාන්තාවක් අත්අඩංගුවට

(12.08.2020 – 14:32 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටියකට (1,00,00,000) ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් කිලෝවක් සමඟ කාන්තාවක් සහ ඇයගේ පුත්‍රයා කැළණිය කොට්ඨාසයේ විශේෂ වැටලීම් කණ්ඩයාමක් විසින් අද (12) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පිටකෝට්ටේ – බැද්දගාන ප්‍රදේශයේදියි.

එම කාන්තාව සතුව තිබී රුපියල් ලක්ෂ 70 ක මුදලක්ද සොයාගැනුනා.

අදාළ හෙරොයින් තොගය ඇසුරුම් කරමින් සිටියදී මෙම වැටලීම සිදුකර ඇති බව සඳහන්.

***************************************

රනිල්, මංගල, චම්පික, ෆොන්සේකා, ඇතුළු කිහිපදෙනෙකුට දේශපාලන පළිගැනීම් සොයන ජනාධිපති කොමිසමෙන් සිතාසි

(12.08.2020 – 16:39 +0530 – hirunews.lk/sinhala)

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් ෆොන්සේකා, අනුර කුමාර දිසානායක සහ ආර්. සම්බන්ධන් ඇතුලු පිරිසකට ලබන 21 වනදා කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබලන ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව අද (12) සිතාසි නිකුත් කළා.

ඒ, ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන වෛද්‍ය නිහාල් ජයතිලක එම කොමිසමට ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළවයි.

දිවිනැගුම දෙපාර්තමේන්තුවක් බවට පත් කිරීමේදී ස්වේච්ඡාවෙන් ඉවත්වූ සේවකයින්ට වන්දි සහ පාරිතෝෂික ලබාදීම හා ඉසුරුමත් නිවාස වැඩසටහන යටතේ සහන ලබාදීමේ සිද්ධිවලට අදාළව තමන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම, දේශපාලනිකව සිදුවූ බවට ඔහු අදාළ පැමිණිල්ලෙන් පෙන්වා දී තිබෙනවා ෴

***************************************

නීති විරෝධී ලෙස රැගෙන ආ කහ කිලෝ 6000 ක් නාවික හමුදා භාරයට

(12.08.2020 – 16:48 +0530 – hirunews.lk/sinhala)

නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ කහ කිලෝ 6000 ක් සමග සැකකරුවන් 04 ක් සහ ට්‍රෝලර් යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

හලාවත තුඩුවේ සිට නාවික සැතපුම් 10 ක් පමණ (කිලෝමීටර් 18 ක් පමණ) දුර මුහුදේ සැක කටයුතු ට්‍රෝලර් යාත්‍රාවක් පරීක්‍ෂා කිරීමේදීයි මෙම කහ තොගය හමුව ඇත්තේ.

කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් මුහුදේ සිට පූර්ණ පරීක්‍ෂාවක් සිදු කිරීමට අපහසු බැවින්, නාවික හමුදා භාරයට ගන්නා ලද කහ තොගය සහිත ට්‍රෝලර් යාත්‍රාව වැඩිදුර විමර්ශන සඳහා දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ඒමට කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.

පසුව නාවික හමුදා බාරයට ගත් යාත්‍රාවේ සිටි සැකකරුවන් මගින් අනාවරණය වූ තොරතුරු මත, මෙම ජාවාරමට සම්බන්ධ ගැනුම්කරුවන් ලෙස සැක කෙරෙන පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදාව, වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ හලාවත පොලීසිය එක්ව හලාවත නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී ඔවුන් පැමිණි කුඩා වෑන් රථයක් සහ මුදලින් රුපියල් 2,242,500 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

***************************************

පේදුරුතුඩුවේදී කේරළ ගංජා කිලෝ 275 ක් නාවික හමුදා භාරයට

(12.08.2020 – 16:54 +0530 – hirunews.lk/sinhala)

පේදුරුතුඩුවට නාවික සැතපුම් 22 ක් ගැඹුරින් වූ මුහුදේ සිදුකළ වැටලීමකදී අතහැර දමා ගොස් තිබූ කේරළ ගංජා කිලෝ 275 කට අධික ප්‍රමාණයක් නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා.

ඊයේ (11) සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් මෙම කේරළ ගංජා තොගය ගෝනි 6 ක අසුරා තිබූ බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

මේවා වැඩිදුර පරික්ෂණ සඳහා පේදුරුතුඩුව පොලීසිය වෙත භාර දී ඇති අතර, මෙම මත්ද්‍රව්‍ය රැගෙන ආ යාත්‍රාව සහ ජාවාරම්කරුවන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි නාවික හමුදාව කියා සිටියේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *