පොලිසියේ තරඟකාරීත්වයෙන් ගිලිහී ගිය සහරාන් හෂීම්ගේ තොරතුරු

(12.08.2020 – 21:50 +0530 – hirunews.lk/sinhala)

පොලිස් දෙපාර්තමේන්තුවේ අංශ අතර පවතින තරඟකාරීත්වය හේතුවෙන් සහරාන් හෂීම් පිළිබඳ බොහෝ තොරතුරු අනාවරණ කර ගැනීමේ අවස්ථාවන් ගිලිහී ගිය බව පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි අද (12) අනාවරණ වුණා.

ඒ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නිලධාරියෙකු කොමිසම හමුවේ අද (12) සාක්ෂි ලබාදුන් අවස්ථාවේදී.

+++++++++++++++++++++

සහරාන්ලා කලින් අල්ලාගන්න බැරිවුණා

(13.08.2020 – 13:51 +0530 – lankadeepa.lk)

එක නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතේ පැවැති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනකු (2) යටතට පත්වූ පසු විමර්ශන කටයුතුවලදී අංශ දෙක අතර තරගකාරිත්වයක් නිර්මාණය වූ අතර එම අංශ අතර තොරතුරු හුවමාරුව හා අන්‍යෝන්‍ය සබඳතාව බිඳවැටුණ බවද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ, අන්තවාදී මූලධර්මවාදීන් පිළිබඳ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක ගයාන් රත්නායක මහතා ඊයේ (12) පැවසීය.

තොරතුරු ලැබී තිබියදීත් පාස්කු දින ප්‍රහාරය වන තෙක් මෙම ඒකක දෙකෙන් එකකටවත් සහරාන් ඇතුළු මුස්ලිම් අන්තවාදීන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වීමට එය හේතු වූවා විය හැකි බවද ඔහු පැවසීය.

ඔහු මේ බව පැවසූයේ පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමිනි. කොමිසමේ සාමාජිකයෙකු ඉදිරිපත් කළ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු එසේ පැවසීය.

නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥයකු ඔහුගේ සාක්ෂි මෙහෙයවූ අතර ඔහු එහිදී මෙසේ සාක්ෂි ලබාදුන්නේය.

ප්‍රශ්නය – ඔබ සේවය කරන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ කුමන අංශයකද? පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවන කාලයේ ඔබ කුමන තනතුරක් දරුවේද?
පිළිතුර – ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අන්තවාදීන් හා මූලධර්මවාදීන් පිළිබඳ විමර්ශන සිදුකළ විමර්ශන අංශ දෙකේ ස්ථානාධිපති ලෙස කටයුතු කළා.

ප්‍රශ්නය – ඔබට සහරාන් හෂීම් ගැන දැනගන්න ලැබුණාද? මොනවද ඔහු ගැන ලැබුණ තොරතුරු?
පිළිතුර – ඔව්. ඔහු ඉස්ලාම් අන්තවාදී මතවාදය පතුරවන, විශේෂයෙන්ම සමාජ මාධ්‍ය භාවිතා කරමින් එම මතවාදය සමාජය අතරට රැගෙන යන තමන් වටා කණ්ඩායම් එකතු කරගන්නා පුද්ගලයකු ලෙස තොරතුරු වාර්තා වී තිබුණා. ඒ නිසා ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තුවක්ද අපි ලබාගත්තා.

ප්‍රශ්නය – ඒ වරෙන්තුව ලබාගත්තේ කවදාද?
පිළිතුර – 2018 ජුලි 02 වැනිදා.

ප්‍රශ්නය – ඉන්පසු ඔහු ගැන තොරතුරු සෙව්වාද?
පිළිතුර – ඔව්. මම මා යටතේ සිටින නයනප්‍රිය නිලධාරියාට භාරදුන්නා ඔහු ගැන සොයා බලන ලෙස.

ප්‍රශ්නය – ඔබ ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කොතැනකට හෝ ගියාද? ගියා නම් ඒ කවදාද?
පිළිතුර – ඔව්. මමත් පොලිස් කොස්තාපල් නයනප්‍රිය ඇතුළු කණ්ඩායමක් 2019 ජනවාරි 14 වැනිදා කාත්තන්කුඩි හා අක්කරෙයිපත්තු ප්‍රදේශයට ගියා. ඒ ඔහු ඒ ප්‍රදේශයේ ජීවත් වන බවට ලැබුණ තොරතුරක් අනුවයි.

ප්‍රශ්නය: ඔබ ගියේ සහරාන් පමණක් අත්අඩංගුවට ගන්නද?
පිළිතුර: නැහැ, සහරාන් සමග සම්බන්ධ මොහොමඩ් අස්මි නමැති අයත් අත්අඩංගුවට ගැනීමට අපේ වරෙන්තු ලබාගෙන තිබුණා. ඔහු අක්කරෙයිපත්තුවල ඉන්න බවයි දැන ගන්න ලැබුණේ.

ප්‍රශ්නය: ඔබට ඔවුන් අත්අඩංගුවට ගන්න ලැබුණාද?
පිළිතුර: නැහැ. අක්කරෙයිපත්තුවලට ගියාට පස්සේ දැන ගන්න ලැබුණා අස්මි විවාහ මංගල උත්සවයකට කොළඹ මරදානට පැමිණ ඇති බව. ඒ අනුව මම කොළඹ අපේ අංශයේ නිලධාරින් කණ්ඩායමක් යොදවා ජනවාරි 15 වැනිදා රාත්‍රියේ ඔහු අත්අඩංගුවට ගත්තා. එහෙත් සහරාන් ගැන කිසිම ආරංචියක් ලැබුණේ නැහැ.

ප්‍රශ්නය- සහරාන් ගැන පසුව හෝ ආරංචියක් ලැබුණේ නැද්ද?
පිළිතුර- ඔහු නාරම්මල, කැකුණගොල්ල ලිපිනයේ පදිංචිව සිටින බවට ආරංචියක් ලැබුණා. මම මගේ නිලධාරීන් කණ්ඩායමක් සමග එහි ගොස් නිවස වැටලු‍වා.

ප්‍රශ්නය – ඒ කවදාද?
පිළිතුර – 2019 පෙබරවාරි 28 වැනිදා.

ප්‍රශ්නය – සහරාන් හමුවුණාද?
පිළිතුර – නැහැ. එය සහරාන්ගේ බිරිඳගේ පියාට අයත් නිවසක්. සහරාන්ගේ බිරිඳගේ මවත්, සහෝදරයාත් තවත් කාන්තාවකුත් පමණයි එහි සිටියේ. සහරාන්ගේ මවගෙන් අපි ප්‍රකාශයක් ගත්තා. ඇය කිව්වා සහරාන් වසර දෙකකින් පමණ එහි ආවේ නැති බව. ඒත් සහරාන්ගේ මස්සිනා ප්‍රකාශ කළේ සහරාන් මාස එකහමාරකට පමණ පෙර එහි ඇවිත් ගිය බවයි. ඒ වගේම සහරාන්ගේ බිරිඳ හා දරුවන් ටික කලකට පෙර එම නිවසෙන් බැහැරව ගිය බවත් ඔවුන් ඉන්නා තැනක් නොදන්නා බවත් ඔවුන් පැවසුවා.

ප්‍රශ්නය – ඔබ එහි සිටින අවස්ථාවේ විශේෂ යමක් සිදුවුණාද?
පිළිතුර – ඔව්. සහරාන්ගේ මස්සිනා වූ අබ්දුල් කාදර් මොහොමඩ් අන්සාර්ගේ ජංගම දුරකථනයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උපපොලිස් පරීක්ෂක ඩයස් යන කියන නිලධාරියාගෙන් ඇමතුමක් ලැබුණා. මම කිව්වා ස්පීකර් ක්‍රියාත්මක කර ඇමතුම ලබාගන්නා ලෙස. එවිට ඔහු ඩයස් මහතාට කිව්වා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් පිරිසක් තම නිවසට ඇවිත් සිටිනවා කියා. ඩයස් කියන නිලධාරියා කිව්වා අපට දුරකථනය ලබාදෙන්න කියලා. පසුව මම ඇමතුම ලබාගත්තා. ඔහු කිව්වා සහරාන් පිළිබඳ තොරතුරු ලබාගන්න ඔවුන් අන්සාර් යොදවා ඇති බව. අන්සාර් මෙම නිවසට පැමිණ තිබුණේ ඒ සඳහා රාජකාරියකට කියලත් කිව්වා. ඔවුන්ගේ රාජකාරියට බාධාවන නිසා වහාම එම නිවසෙන් පිට වන්නැයි අපෙන් ඉල්ලා සිටියා.

ප්‍රශ්නය – ඔබ මොකද කළේ? නිවසෙන් පිටවුණාද?
පිළිතුර – මම මගේ ඉහළ නිලධාරියා ලෙස කටයුතු කළ සහකාර පොලිස් අධිකාරිවරයාට දැනුම් දුන්නා සිදුවීම. ඔහු මට උපදෙස් දුන්නා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යයට බාධාවක් වෙනවා නම් එතනින් ඉවත්ව ආපසු එන ලෙස. අපි ආපසු ඇවිත් එම සිදුවීම වාර්තා ගත කළා.

ප්‍රශ්නය – ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඔවුන් කරන විමර්ශනය පිළිබඳ විමසීමක් කළේ නැද්ද? ඒ ගැන වාර්තාවක් ලබාගත්තේ නැද්ද?
පිළිතුර – වාර්තාවක් ලබාගත්තා. එය දැන් මා සතුව නැහැ. පසුව ඉදිරිපත් කළ හැකියි.

කොමිසමේ සාමාජිකයෙකුගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මෙසේ පැවසීය :

ප්‍රශ්නය – ඔබත් ඩයස් කියන නිලධාරියාත් දෙන්නාම උපපොලිස් පරීක්ෂකවරුන්. එසේ තිබියදී ඔහු කොහොමද ඔබට බලපෑම් කරමින් අන්සාර්ගෙන් ප්‍රශ්න කිරීම නවත්වා එම නිවසෙන් පිටවන ලෙස නියෝග කරන්නේ.
පිළිතුර – ඔවුන් පරීක්ෂණයක් අරඹා තිබෙන බවයි කිව්වේ. එක් එක් විමර්ශන අංශ අතර තරගකාරිත්වක් තිබීම නිසා එහෙම කිව්වා වෙන්නත් පුළුවන්.

නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නීතිඥ – ඔබ පාස්කු ඉරුදින ප්‍රහාරය අවස්ථාවේ එම පරීක්ෂණවලට සම්බන්ධ වුණාද?
පිළිතුර – ඔව්. දෙහිවල ලැගුම් හලකදී මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා ගැනීමේ සිදුවීම වූ ස්ථානයට මා ගියා. අබ්දුල් ලතීෆ් මොහොමඩ් ජමීල් නමැති අයෙක් එහි පුපුරුවා ගැනීම සිදුකර තිබුණා. ඔහු ටාජ් සමුද්‍රා හෝටලයට ගොස් ඇති බව වාර්තා වුණ නිසා මා එහි ගොස් ආරක්ෂක කැමරා පරීක්ෂා කළා. එහිදී ඔහු එම හෝටලයේ සෙනග ගැවසෙන ඔවුන් ආහාර ගන්නා ස්ථානයක අසුන් ගෙන පිටේ එල්ලා සිටි බෑගයකින් වයර් දෙකක් එළියට ගෙන ඒවා එකට ඝට්ටනය කර යම් පිපිරවීමක් කරන්නට උත්සාහ ගන්නා ආකාරයක් දකින්න ලැබුණා. ඒ නිසා ඔහු පිටේ එල්ලා ගෙන සිටියේ බෝම්බ බෑගයක් බවට සැක කළ හැකියි.

සුලු විවේකයක් ලබාදීමෙන් අනතුරුව නැවත ප්‍රශ්න කිරීම ඇරඹීය.

ප්‍රශ්නය – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් එවන ලද වාර්තාව සහිත ලිපිගොනුව දැන් ඔබට ලැබී තිබෙනවාද? මොනවද එහි සඳහන් වන්නේ?
පිළිතුර – එහි සඳහන් වන්නේ සහරාන් කියන්නේ මුස්ලිම් අන්තවාදියෙක් බව. අන්තවාදී මතවාදයට එකඟවන කණ්ඩායම්වලට අවි පුහුණුව ලබාදීමේ කඳවුරු පවත්වාගෙන යාමට සැලසුම් කරන අයෙක් බව, පුත්තලම ලැක්ටෝවත්තේ පොල්වත්තක පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක් පවත්වාගෙන යාමේ සිදුවීමට ඔහු සම්බන්ධ බව, මාවනැල්ල බුදුපිළිම කැඩීමේ සිදුවීමට සම්බන්ධ බවද එහි සඳහන් වුණා.

ප්‍රශ්නය – ඔබ හා ඩයස් කියන නිලධාරියා අතර සහරාන්ගේ මස්සිනාගේ දුරකථනය ඔස්සේ සිදුකළ සාකච්ඡාව එහි සඳහන්ව තිබුණාද?
පිළිතුර – නැහැ.

ප්‍රශ්නය – ඔබ නැවත සහරාන්ගේ මස්සිනාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට හෝ ඔහු ගැන විමර්ශන සිදුකිරීමට අවසර ලබාගත්තේ නැද්ද?
පිළිතුර – මගේ යටතේ සේවය කළ නයනප්‍රිය කියන නිලධාරියා 2019 මාර්තු 06 වැනිදා ලිපියක් යොමු කරමින් කැකුණගොල්ල නිවසේදී සිදුවූ සිදුවීම පිළිබඳව දැනුවත් කර අන්සාර්ගෙන් යළි ප්‍රශ්න කිරීමට අවසර ඉල්ලු‍වා. එය මාගේ අත්සන යොදා මාගේ ඉහළ නිලධාරී මගින් අධ්‍යක්ෂ වෙත යොමු කළා.

ප්‍රශ්නය – ඔබේ ඉහළ නිලධාරියා මගින් අධ්‍යක්ෂවරයා වෙත යොමු කළ ලිපියේ ඔබේ ඉල්ලීම ඇතුළත් වී තිබුණාද?
පිළිතුර – නැහැ. එහි සඳහන් කර තිබුණේ අන්සාර්ගේ දුරකථන වාර්තාවක් ලබාගැනීමට අවසර ලබාදෙන ලෙස පමණයි.

ප්‍රශ්නය – ඔබේ අංශයේ අධ්‍යක්ෂවරයා මගින් අන්තවාදී සංවිධාන පිළිබඳ විමර්ශන ගැන වාර්තාවක් පොලිස්පතිට යොමු කළාද?
පිළිතුර – ඔව්. අපේ අධ්‍යක්ෂවරයා මගින් වාර්තාවක් යොමු කර තිබුණා.

ප්‍රශ්නය – එහි කැකුණගොල්ලේ සිදුවීමත් වාර්තා කර තිබුණාද?
පිළිතුර – එය ප්‍රගති වාර්තාවක් ලෙසයි ඉදිරිපත් කර තිබුණේ. එහි මා ඉදිරිපත් කළ වාර්තාවේ ඇතැම් කොටස් වැඩි අවධානය සඳහා යොමුකරන බව පමණක් සඳහන් තිබුණා. ලැක්ටෝවත්ත පොල් ඉඩමට පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කර තිබුණේ අන්සාර් විසින් බවත් එම වාහනය ඔහු පසුව විකුණා ඇති බවත් එම වාර්තාවේ සඳහන් කර තිබුණා. ඔහුගේ ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් කර ඔහු ගැන විමර්ශන සිදුකිරීමට පොලිස්පතිගෙන් අවසර ඉල්ලා තිබුණා.

ප්‍රශ්නය – පොලිස්පතිගෙන් ඒ සඳහා පිළිතුරු ලිපියක් ලැබුණාද?
පිළිතුර – පොලිස්පතිතුමා 2019 මාර්තු 18 වැනිදා අත්සන් කර යොමු කළ ලිපිය අපට ලැබී තිබුණේ එම වසරේ අප්‍රේල් පහළොස් වැනිදා. එය ඉදිරියට ගෙන යන්න කලින් පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවුණා.

කොමිසමේ සාමාජිකයෙකුගේ ප්‍රශ්නවලට සාක්ෂිකරු මෙසේ පිළිතුරු දුන්නේය :

ප්‍රශ්නය – ඔබ කිව්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අතර තරගකාරිත්වයක් පැවතුණා කියලා. ඇයි ඒ?
පිළිතුර – තරගකාරිත්වයක්ම නෙවෙයි. අපි අතර තොරතුරු හුවමාරුවීමක් එකල සිදුවුණේ නැහැ.

ප්‍රශ්නය – ඇයි එහෙම වුණේ? තරගකාරිත්වය නිසා නෙවෙයිද?
පිළිතුර – ඒක හරියටම කියන්න බැහැ. සමහර විට අපේ අංශ දෙකම මීට පෙර එකම නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් යටතේ පැවතුණේ. ඒ වෙලාවේ අපි අතර තොරතුරු හුවමාරු වුණා. එහෙත් පසුව අපි නියෝජ්‍ය පොලිස්පතිවරු දෙදෙනෙක් යටතට වෙන වෙනම පත්වුණා. ඒ නිසා වෙන්න ඇති මේ එක් එක් අංශ අතර තොරතුරු හුවමාරුව නැවතුණේ?

ප්‍රශ්නය – කොයි කාලෙකද මේක වුණේ?
පිළිතුර – 2018-2019 කාලයේ.

ප්‍රශ්නය – ඔබ කියන්නේ මේක පරිපාලන ගැටලු‍වක් බවද?
පිළිතුර – සමහර විට එහෙම වෙන්නත් පුළුවන්.

ප්‍රශ්නය – අන්තිමට තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ප්‍රහාරය වන තෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට හෝ සහරාන් ඇතුලු‍ අන්තවාදීන් කිසිවෙක් අත්අඩංගුවට ගන්න බැරි වුණා.
පිළිතුර – ඔව්.

ප්‍රශ්නය – ඔබ අංශ දෙක අතර අන්තර සබඳතාවයක් තිබුණා නම් ඔවුන් අත්අඩංගුවට ගන්න හැකිවෙන්න තිබුණා නේද?
පිළිතුර – සමහර විට එහෙම වෙන්න පුළුවන් ෴

+++++++++++++++++++++

***************************************

‘අංගොඩ ලොක්කා’ගේ තවත් වෙඩික්කරුවෙකු සොයා විමර්ශන

(12.08.2020 – 19:26 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘ලසන්ත චන්දන පෙරේරා’ හෙවත් ‘අංගොඩ ලොක්කා’ගේ තවත් වෙඩික්කරුවෙකු වන ‘ජිලේ’ නැමති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයා සොයා පොලීසිය මේ වනවිට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඔහු ඊයේ (11) දින පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්වූ ‘අසිත හේමතිලක’ හෙවත් ‘සොල්ටා’ නැමති වෙඩික්කරු සමඟ කටයුතු කරන අයෙකු බවටයි අනාවරණ වන්නේ.

සොල්ටා ද අංගොඩ ලොක්කාගේ ප්‍රධාන වෙඩික්කරු වශයෙන් කටයුතු කර තිබුණා.

මොවුන් දෙදෙනා යතුරුපැදිවලින් ගොස් වෙඩි තැබීම් සිදුකර ඇති අතර, පුද්ගල ඝාතන හතරකට පමණ සම්බන්ධ බවට දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම සොල්ටා නමැත්තාට අංගොඩ ලොක්කා මියයාමට සතියකට පෙර ‘ගයාන්’ නැමති තවත් පාතාල සාමාජිකයෙකු ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුවක් ලබාදී ඇති බවටද මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පසුගියදා මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ අංගොඩ ලොක්කාට අයත් කෝටි 50 ක දේපළ සහ ඔහු විසින් බලහත්කාරයෙන් අත්පත් කරගත් බස්නාහිර පළාතේ පර්චස් 928 ක ඉඩම් ප්‍රමාණයක් සොයාගෙන ඇති බවයි.

එසේම අංගොඩ ලොක්කා මියගොස් ඇති බවට පළවූ වාර්තා හේතුවෙන් ජනතාව ඔහු බලහත්කාරයෙන් ලබාගත් තම දේපළ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර තිබුණා.

මේ අතර රුපියල් කෝටියකට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් කිලෝවක් සමඟ කාන්තාවක් කැළනිය කොට්ඨාසයේ විශේෂ වැටලීම් කණ්ඩයාමක් විසින් අද (12) අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, පිටකෝට්ටේ – බැද්දගාන ප්‍රදේශයේදියි.

එම කාන්තාව සතුව තිබී රුපියල් ලක්ෂ 70 ක මුදලක්ද සොයාගැනුනා.

මේ අතර වලස්මුල්ල – අන්නාසිවත්ත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගිනි අවි නිෂ්පාදනාගාරයක් වැටලූ පොලීසිය ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, ජීව පතොරම් කිහිපයක් සහ සකස් කරමින් පැවති තවත් ගිනි අවි කිහිපයක් තම භාරයට ගෙන තිබුණා.

එමෙන්ම රුවන්වැල්ල ප්‍රදේශයේ ඊයේ (11) සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ගිනි අවි තුනක් (3) සමඟින් සැකකරුවන් තුන්දෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර රුවන්වැල්ල ප්‍රදේශයේම ස්ථාන තුනකදී (3) සිදුකළ විශේෂ වැටලීමකදී මත්කුඩු සමඟ සැකකරුවන් හත්දෙනෙකු (7) අත්අඩංගුවට ගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර පාසල් සිසුවෙකුද සිටින බවයි පොලීසිය සඳහන් කළේ.

+++++++++++++++++++++

***************************************

මහ දවල් බම්බලපිටියේ සිදුවූ දේ – CCTV දර්ශන එළියට

(12.08.2020 – 17:59 +0530 – hirunews.lk/sinhala)

බම්බලපිටිය ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු (2) විසින් ත්‍රිරෝද රථයක් සොරකම් කරන අයුරු දැක්වෙන CCTV දර්ශන මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

බම්බලපිටිය පොලිසිය අපවෙත ප්‍රකාශ කළේ සැකකරුවන් විසින් සොරකම් කරන ලද අදාළ ත්‍රිරෝද රථය බොරැල්ල ප්‍රදේශයේ දමාගොස් තිබියදී හමුව ඇති බවයි.

පොලිසිය පවසන්නේ අද (12) දහවල් 01:20 ට පමණ සැකකරුවන් විසින් මෙලෙස බම්බලපිටිය එළිබෑන්ක් පාරේදී මෙලෙස ත්‍රිරෝද රථය සොරාගෙන ඇති බවයි.

මේ අතර බම්බලපිටිය ඩික්මන් පාර ප්‍රදේශයේදී ඊයේ දිනයේ යතුරු පැදියක් සොරකම් කර ඇත්තේ ද මෙම සැකකරුන් විසින් බවටයි පොලිසිය සැකපළකරන්නේ.

කෙසේවෙතත් අදාළ යතුරුපැදිය මෙතෙක් හමුව නොමැති බවයි වාර්තාවන්නේ.

මොවුන් පිළිබඳව තොරතුරක් වෙතොත් 071 859 1580 දුරකථන අංකය වෙත දැනුම්දෙන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ.

***************************************

අල්ලස් ගත් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

(12.08.2020 – 17:26 +0530 – hirunews.lk/sinhala)

පුද්ගලයෙකුගෙන් රුපියල් දස දහසක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාවකට පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයට අනුයුක්ත කොස්තාපල්වරයෙකු මාවනැල්ල – දෙවනගල ප්‍රදේශයේදී අල්ලස් කොමිසම අද අත්අඩංගුවට ගත්තා.

මෙම කොස්තාපල්වරයා පැමිණිලිකරුගෙන් මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සඳහා අත්අඩංගුවට නොගෙන සිටීමට මෙන්ම ඔහුගේ මෙමරි කාඩ්පතක් ආපසු ලබාදීම සඳහා අල්ලස් වශයෙන් මුදල් ලබාගෙන ඇති බවයි එම කොමිසම ප්‍රකාශ කළේ ෴

***************************************

ඉදිරිපත් නොකළ වත්කම් හා බැරකම් ලබා දෙන්නැයි මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක්

(12.08.2020 – 16:57 +0530 – hirunews.lk/sinhala)

මෙවර මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් නොවූ අපේක්ෂකයින් ස්වකීය වත්කම් හා බැරකම් ප්‍රකාශ සැප්තැම්බර් 6 වනදා හෝ එදිනට පෙර අදාළ තේරීම්භාර නිලධාරි හරහා හෝ ඍජුව කොමිෂන් සභාව වෙත ලබාදිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුවට තේරී පත් වූ හෝ තෝරා යවන මන්ත්‍රීවරුන් ද, වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබාදීමට කටයුතු කළ යුතු බවයි.

ඒ අනුව මෙතෙක් වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා නොදුන් මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හෝ පාර්ලිමේන්තුවේ ඡන්දය භාවිත කිරීමට පෙර තමන් තරග කළ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරයා මගින් මැතිවරණ කොමිෂන් සභාවට භාරදිය යුතු වනවා.

වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ පනතේ විධිවිධාන උල්ලංඝනය කරනු ලබන අය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත වාර්තා කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ෴

***************************************

රුපියල් කෝටි දෙකක (2) හෙරොයින් සමඟ පිළියන්දලදී යුවළක් අත්අඩංගුවට

(13.08.2020 – 07:18 +0530 – hirunews.lk/sinhala)

රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී යුවළක් පිළියන්දල – මිහිඳුපුර ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ ඊයේ (12) රාත්‍රියේ සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් සතුව තිබී හෙරොයින් කිලෝ දෙකයි ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 80 ක් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සොයාගෙන තිබෙනවා.

මේ අතර කෙසෙල්වත්ත, ග්‍රෑන්ඩ්පාස් සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල ඊයේ (12) සිදුකළ වැටලීම්වලදී මත්කුඩු සමඟ තවත් සැකකරුවන් පස්දෙනෙකු (5) අත්අඩංගුවට ගනු ලැබුවා ෴

***************************************

‘එස්.එෆ්. ලොක්කා’ ඝාතන පරීක්ෂණයට මොරටු සරසවියේ සහය

(13.08.2020 – 07:45 +0530 – hirunews.lk/sinhala)

‘ඉරෝන් රණසිංහ’ හෙවත් ‘එස්.එෆ්. ලොක්කා’ අනුරාධපුර – දහයියාගම ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් විමර්ශන සිදුකරමින් පවතින බව පොලීසිය පවසනවා.

ඝාතකයන් පැමිණි යතුරුපැදිය ඔස්සේ සිදුකළ විමර්ශනවලදී සහ එම යතුරුපැදිය ගමන් කළ මාර්ග දෙපස සී.සී.ටී.වී. කැමරා දර්ශන පරීක්ෂා කිරීමටද පොලිසිය පියවර ගත්තා.

එම සී.සී.ටී.වී. දර්ශනවල සිද්ධියට අදාළ සැකකරුවන් දක්නට ලැබෙන අතර, ඔවුන් හඳුනාගැනීම සඳහා අදාළ දර්ශන මොරටුව විශ්වවිද්‍යාලයට යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි උතුරුමැද පළාත භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.

ඒ සඳහා අධිකරණයෙන් නියෝගයක් ලබාගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළා.

පසුගිය පස්වනදා අනුරාධපුර – දහයියාගම ප්‍රදේශයේදී ඉරෝන් රණසිංහ හෙවත් එස්.එෆ්. ලොක්කා ඝාතනය කෙරුණේ කායවර්ධන මධ්‍යස්ථානයේ සිට නිවසට යමින් සිටියදියි.

එහිදී ඔහු ගමන් කළ මෝටර් රථයට වෙඩි තබා තිබුණේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙක් (2).

පසුව ඔහු අනුරාධපුර රෝහලට ඇතුළත් කෙරුණු අතර, ඒ වනවිටත් මියගොස් සිටියා. ඔහු, ගිනස් වාර්තාලාභී ‘වසන්ත සොයිසා’ හෙවත් ‘කරාටේ වසන්ත’ ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුයි.

***************************************

පූගොඩ නගරයේ රෙදිපිළි වෙලඳසැලක් කොල්ලකෑ සැකකරුවන්ට පොලිසිය වෙඩි තබයි

(13.08.2020 – 08:06 +0530 – hirunews.lk/sinhala)

පූගොඩ වෙළඳසැලකින් රෙදිපිළි සොරාගත් දෙදෙනෙකු (2) සොයා පූගොඩ පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ (12) රාත්‍රියේ පූගොඩ පොලිස් ස්ථානාධිපති ඇතුලු කණ්ඩායමක් වැටලීමකට ගොස් පැමිණෙන අතරතුරදී මෙම වෙළඳසැලෙන් කිසියම් පුද්ගලයෙකු රෙදි සොරාගන්නා ආකාරයක් දැක තිබුණා.

පසුව ඔවුන් දෙදෙනා (2) වෑන් රථයක නැග පලාගොස් ඇති අතර, පූගොඩ පොලීසිය සහ මීරිගම පොලීසිය එක්ව ඔවුන් පසුපස ලුහුබැඳ ඇති නමුත් සැකකරුවන් අල්ලාගැනීමට හැකියාව ලැබී නැහැ.

එහිදි පොලීසිය වෙඩි ප්‍රහාර කිහිපයක්ද එල්ල කර ඇති බවයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත් පසුව වෙළඳසැලට කිලෝමීටර කිහිපයක් දුරින් තිබී රුපියල් ලක්ෂ 12 කට අධික වටිනාකමකින් යුත් රෙදිපිළි තොගයක් පොලීසිය සොයාගෙන තිබුණා.

පොලීසිය සඳහන් කළේ එක් සැකකරුවෙකු පූගොඩ ප්‍රදේශයේ පිහිටි වන ලැහැබකට ඇතුලූවී ඇති අතර, ඔහු සොයා විමර්ශන ආරම්භ කර ඇති බවයි ෴

***************************************

නීතිවිරෝධී ලෙස ගිනි අවි නිෂ්පාදනය කළ පුද්ගලයෙකු වළස්මුල්ලේදී අත්අඩංගුවට

(13.08.2020 – 09:05 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී ලෙස ගිනි අවි නිෂ්පාදනය කළ පුද්ගලයෙකු වළස්මුල්ල – මැදන්ගොඩ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ඊයේ (12) අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී ගිනි අවි දෙකක්, පතොරම් 11 ක් පෑස්සුම් යන්ත්‍රයක්, වෙඩි බෙහෙත් ග්‍රෑම් 13 ක් සහ ගිනි අවි නිෂ්පාදනය සඳහා යොදාගන්නා විවිධ උපකරණ රැසක් සොයාගත් බවයි.

61 හැවිරිදි සැකකරු අද වළස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

***************************************

ජල බිල වැඩිකළ යුතු පිරිසක් ගැන ඇමති වාසුගෙන් ඉඟියක්

(13.08.2020 – 09:56 +0530 – hirunews.lk/sinhala)

ජල බිල්පත් වැඩිවනවානම් එය කළ යුත්තේ ජලය වැඩි පරිභෝජනයක් සිදුකරන ඉහළ ආදායම් ලබන පාරිභෝගිකයන් සඳහා පමණක් බව ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කලා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

***************************************

කල්පිටිය වෙරළේ සඟවා තිබූ ලක්ෂ 50 ක් වටිනා තවත් කහ තොගයක් සොයාගැනේ

(13.08.2020 – 10:51 +0530 – hirunews.lk/sinhala)

කල්පිටිය – පල්ලිවාසල්තුරෙයි වෙරළේ සඟවා තිබූ රුපියල් ලක්ෂ 50 ක වටිනාකමකින් යුත් කහ තොගයක් කල්පිටිය පොලීසිය අද (13) අලුයම සොයාගෙන තිබෙනවා.

මේවා ඉන්දියාවේ සිට නීතිවිරෝධීව රැගෙනවිත් සඟවා ඇති බවටයි පොලීසිය සැක කරන්නේ.

උර 29 ක කහ කිලෝග්‍රෑම් 1500 කට ආසන්න ප්‍රමාණයක් තිබී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.

ඊයේ (12) දිනයේ ද ඉන්දියාවේ සිට නීතිවිරෝධීව මෙරටට රැගෙන එමින් තිබූ කහ කිලෝ 6,000 කට අධික ප්‍රමාණයක් සමඟ සිව්දෙනෙකු (4) හලාවතට බටහිරින් වූ මුහුදේදී නාවික හමුදා සිය භාරයට ගනු ලැබුවා.

***************************************

සිසුන් 200 ට වැඩි පාසල්වලට පනවා තිබූ සීමා ලිහිල් කෙරේ

(13.08.2020 – 11:00 +0530 – hirunews.lk/sinhala)

සිසුන් 200 ට වැඩි පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ලබාදුන් උපදෙස් මාලාව සංශෝධනය කර තිබෙනවා.

අමාත්‍යාංශ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා ප්‍රකාශ කළේ සිසුන් 200 ට වැඩි පාසල්වල අධ්‍යයන කටයුතු සිදුකිරීමේදී දින වෙන්කර තිබූ බවයි.

එහෙත් කොරෝනා ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය සැළකිල්ලට ගෙන මෙම සීමා ලිහිල් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

ඒ අනුව සෞඛ්‍ය නිර්දේශ යටතේ පාසල් පවත්වාගෙන යා හැකි නම් සිසුන් සාමාන්‍ය පරිදි ගෙන්වා ගැනීමට බාධාවක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පතිවරුන්ට දැනුම්දී තිබෙනවා ෴

***************************************

නිවාස හානි වූ පිරිසක් වන්දි ඉල්ලා විරෝධතාවක

(13.08.2020 – 11:40 +0530 – hirunews.lk/sinhala)

දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිකිරීම සිදුකළ චීන සමාගම ඉදිරිපිට අඟුණකොලපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පිරිසක් තවදුරටත් විරෝධතාවක නිරත වනවා.

ඊයේ (12) මොවුන් මෙම විරෝධතාව ආරම්භ කරනු ලැබුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයට කළුගල් ලබා ගැනීමේදී අඟුණකොලපැලැස්ස – ජදුර ප්‍රදේශයේ ගල්වලක් තුළ සිදුවූ පිපිරීමෙන් සිය නිවෙස්වලට සිදුවූ හානිය සඳහා සාධාරණ වන්දි මුදලක් මෙතෙක් ලබානොදීමට එරෙහිවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *