අමාත්‍යාංශ ලේකම්වරුන්ට ජනපති ලේකම්ගෙන් ලිපියක්

(13.08.2020 – 13:09 +0530 – hirunews.lk/sinhala)

රජයේ සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන වල සිටින සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත දැනුම්දීමක් කර තිබෙනවා.

ඒ ඔවුන් මේ වනවිට දරණ තනතුරු වල වෙනස්කම් නොකළ යුතු බව දන්වමින්.

යම් වෙනසක් එම තනතුරු සම්බන්ධයෙන් සිදුකරන්නේ නම් ඊට ජනාධිපතිවරයාගේ එකඟතාව ලබා ගත යුතු බව අදාළ ලිපියේ සඳහන්.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලය පත් කර ඇත්තේ විශේෂ කමිටුවකින් ලද නිර්දේශවලින් බවයි ජනාධිපති ලේකම්වරයා අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත දැනුම් දී ඇත්තේ.

ඒ අනුව, අදාළ තනතුරු සඳහා පත් කර ඇති අය එම තනතුරේ කටයුතු කිරීමට අවස්ථා ලබා දිය යුතු වනවා.

මේ අතර, අමාත්‍ය ධුරයන්හි ඊයේ (12) දිවුරුම් දෙනු ලැබූ මන්ත්‍රීවරුන් තමන්ට අදාළ අමාත්‍යාංශයන්හි කටයුතු හැකි ඉක්මනින් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසට ජනාධිපති ලේකම් කාර්යාලය දැනුම් දී තිබෙනවා ෴

***************************************

නව අමාත්‍යවරුන් පිළිගැනීමේ උත්සව රට පුරා

(13.08.2020 – 13:27 +0530 – hirunews.lk/sinhala)

නව කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන් පිරිස් පිළිගැනීමේ උත්සව ප්‍රදේශ රැසකින් වාර්තා වනවා.

ඒ අනුව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පිළිගැනීමේ උත්සවයක් මහනුවරදී ඊයේ (12) පැවැත්වුණා.

එසේම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කර තිබුණේ නාවලපිටිය නගරයේදීයි.

එමෙන්ම නව අධිකරණ අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පිළිගැනීමේ උත්සවයක්ද මහනුවරදී ඊයේ (12) පැවැත්වුණා.

දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන සහ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පිළිගැනීමේ උත්සවයක් ඊයේ (12) පැවැත්වුණේ කැළණිය රජමහාවිහාරයේදීයි.

මේ අතර අනුරාධපුරයේදී ඊයේ (12) තවත් පිළිගැනීමේ උත්සවයක් පැවැත්වුණේ සූර්යබල, සුළං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පිළිගැනීමටයි.

***************************************

හෙරොයින් ජාවාරම්කරුවන්ගේ මුදල් පරිහරණය කළ කාන්තාවක් අත්අඩංගුවට

(13.08.2020 – 13:45 +0530 – hirunews.lk/sinhala)

මහපරිමාණ හෙරොයින් ජාවාරම්කරුවන්ගේ මුදල් පරිහරණය කළ 39 හැවිරිදි කාන්තාවක් අද (13) බොරැල්ලේදී අත්අඩංගුවට ගැණුනා.

ඇය රැදී සිටි දෙමහල් නිවසේ තිබී හෙරොයින් සහ රුපියල් 115,000 ක මුදලක් ද පොලීසිය සොයා ගෙන තිබෙනවා.

මීට අමතරව, පසුගිය මාස කිහිපය තුළදී ඇයගේ ගිණුමට රුපියල් ලක්ෂ 60 ක මුදලක් ද බැරවී ඇති අතර ඒවා අවස්ථා කිහිපයකදී වෙනත් ගිණුම්වලට හුවමාරු කර ඇති බවටයි පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.

මේ අතර, රුපියල් කෝටි දෙකකට (2) ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 2 කට අධික ප්‍රමාණයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අඹුසැමි යුවළක් ද පිළියන්දල – මිහිඳුපුර ප්‍රදේශයේදී අද (13) අත්අඩංගුවට ගැණුනා.

මේ අතර, පසුගිය ජූනි මස 6 වනදා සිට ඊයේ (12) දිනය දක්වා සිදුකරන ලද වැටලීම් වලින් හෙරොයින් කිලෝග්‍රෑම් 20 ක් සමගින් සැකකරුවන් 15,404 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට අමතරව, ටී-56 ගිනි අවි 14 ක් ඇතුළු සොයා ගත් අවි ආයුධ සම්බන්ධයෙන් ද සැකකරුවන් 279 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

***************************************

ගතවූ දින 12 ට ඩෙංගු රෝගීන් 189 ක් වාර්තාවෙයි

(13.08.2020 – 14:12 +0530 – hirunews.lk/sinhala)

අගෝස්තු මාසයේ ගතවූ දින 12 තුළ පමණක් මෙරටින් ඩෙංගු රෝගීන් 189 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඒ අතුරින් රෝගීන් 62 දෙදෙනෙකු වාර්තා වන්නේ මහනුවරින්.

ජනතාව සිය අවට පරිසරයේ පවිත්‍රතාව පිළිබඳ නිසි අවධානයක් යොමු කරන්නේ නම් ඩෙංගු පැතිරීම පාලනය කරගත හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

***************************************

සුදු අලියෙක් වූ ඌව පරණගම සුදු ගම්මිරිස් ඇඹරුම් හල

(13.08.2020 – 14:20 +0530 – hirunews.lk/sinhala)

ඌව පරණගම – ගලනිය ගම්මානයේ මීට වසර 13 කට පමණ පෙර ඉදිකළ සුදු ගම්මිරිස් ඇඹරුම් හල මේවන විට සුදු අලියෙක් බවට පත්ව ඇති පසුබිමක මිලියන ගණනක් වටිනා ගොඩනැගිල්ල සහ යන්ත්‍ර සූත්‍ර දිරාපත්වෙමින් පවතිනවා.

කළු ගම්මිරිස් සුදු ගම්මිරිස් බවට පත්කර ප්‍රදේශයේ ගොවීන්ට සෙත සැලසීම අරමුණු කරගත් මෙම ව්‍යාපෘතිය සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 3 කට අධිකයි.

ගොවීන් පවසන්නේ ප්‍රමාණවත් විදුලි ධාරිතාවක් නොමැතිකම නිසා මෙම ඇඹුරුම් හල භාවිතයට ගැනීම ප්‍රමාද කිරීමට බලධාරීන් කටයුතු කළ බවටයි.

කෙසේ වෙතත් මේවන විට ප්‍රදේශයේ විදුලි ධාරිතාව ඉහළ නංවා ඇති නමුත් තවමත් මෙම ඇඹරුම් හල ප්‍රයෝජනයට ගැනීමට බලධාරීන් කල්මරණ බවට ගොවීන් චෝදනා කරනවා.

පසුගිය කාලයේ විදෙස් රටවලින් ගම්මිරිස් මෙරටට රැගෙනවිත් ප්‍රතිඅපනයනය කිරීම හේතුවෙන් බලධාරීන්ගේ අවධානයෙන් ගිලිහුණු දේශීය ගම්මිරිස් ගොවියා ආරක්ෂා කරමින් විනාශයට යන මෙම ඇඹරුම් හල ඵලදායී ලෙස භාවිතයට ගන්නා තෙක් ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

***************************************

මාංශපේෂී දියවීමේ රෝගයෙන් පීඩා විඳින දරුවාගේ, සැබෑ වූ ලැප්ටොප් සිහිනය

(13.08.2020 – 14:29 +0530 – hirunews.lk/sinhala)

ගිනිගත්හේන – ලක්ෂපාන – නීලවත්ත ප්‍රදේශයේ මාංශපේෂී දියවීමේ රෝගයකින් පීඩා විඳින අධ්‍යාපනයට දක්ෂ දරුවෙකු ලැප්ටොප් පරිගණයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් සිටින පුවතක් අප වාර්තා කළේ පසුගිය 3 වැනිදායි.

අපගේ ප්‍රවෘත්තිය නෙත ගැටුණු රත්මලාන ප්‍රදේශයේ හිත්පිත් ඇති මිනිසෙකු තම ශක්ති ප්‍රමාණයෙන් එම අපේක්ෂාව මල්ඵල ගන්වන්නට ඉදිරිපත් වුණා.

අපගේ අනාවරණයෙන් පසු කීර්තිගේ ආශාව මල්ඵල ගන්වන්නට රත්මලාන ප්‍ර දේශයේ පදිංචි සරත් ප්‍රනාන්දු මහතා නොපැකිලිව ඉදිරිපත් වුණා.

පසුගිය දිනක කීර්ති වෙනුවෙන් මිලදීගත් ලැප්ටොප් පරිගණකය කිලෝ මීටර් ගණනක් දුර ගෙවාගෙන ලක්ෂපාන නීලවත්ත ප්‍ර දේශයේ පිහිටි නිවසටම ගොස් පරිත්‍යාග කිරීමට කටයුතු කළේ ඒ අනුවයි.

***************************************

නීතිවිරෝධීව දිවයිනට කහ රැගෙන ආ 13 දෙනෙකු රිමාන්ඩ්

(13.08.2020 – 15:35 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ සිට නීතිවිරෝධීව රැගෙන ආ කහ කිලෝ ග්‍රෑම් 6000 කට ආසන්න ප්‍රමාණයක් මෙරටට ගෙන්වීම සහ එම කහ මිලදී ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් 13 දෙනා මේ මස 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ ඔවුන් අද (13) හලාවත දිසා විනිසුරු මංජුල රත්නායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අඩි 50 ක දිගකින් යුත් බහුදින යාත්‍රාවකින් මෙම කහ තොගය රැගෙන එමින් සිටියදී පෙරේදා නාවික හමුදාව විසින් එම කහතොගය අත්අඩංගුවට ගෙන තිබූ අතර, යාත්‍රාවේ හිමිකරු ද, පොලිස් භාරයට ගත්තා. දැනට වෙළඳපොලේ කහ හිඟයක් පවතින අතර, ඒ හේතුවෙන් වෙළඳපොලේ කහ කිලෝග්‍රෑමයක් රුපියල් 3000 කට ආසන්න මිලකට අලෙවි වනවා.

මේ අතර කල්පිටිය – සම්මට්ටිවාඩිය කලපු තීරයේ තිබී නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන කහ කැබලි කිලෝග්‍රෑම් 732 ක ප්‍රමාණයක් අදත් සොයා ගෙන තිබෙනවා.

ඒ නාවික හමුදාව කළ වැටලීමකදීයි ෴

***************************************

වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් සායනවලට පැමිණි කාන්තාවන්ගේ රන් ආභරණ සොරා ගත් අයෙකු සොයා විමර්ශන

(13.08.2020 – 16:41 +0530 – hirunews.lk/sinhala)

වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් සායන සඳහා පැමිණි මව්වරුන්ගේ රන් ආභරණ සොරා ගත් පුද්ගලයෙකු සම්බන්ධයෙන් පුත්තලම පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

පුත්තලම මූලික රෝහලේ ඇස, කන සහ උගුර, නාසය සම්බන්ධව සායනවලට පැමිණි වයෝවෘද්ධ මව්වරුන්ගෙන් සැකකරු මෙලෙස රන් ආභරණ සොරා ගෙන ඇති බවටයි වාර්තා වන්නේ.

පරීක්ෂණ සිදුකිරීම සඳහා රන් ආභරණ පැළඳ සිටීම බාධාවක් බව පවසා ඔවුන්ගෙන් එම රන් ආභරණ ගලවාගෙන ඇති ඔහු පසුව එම ස්ථානයෙන් පලාගොස් ඇති බවටයි තොරතුරු ලැබී ඇත්තේ ෴

+++++++++++++++++++++

දේශපාලන පලිගැනීම් ගැන සොයන ජනපති කොමිසම උණුසුම් වෙයි

(13.08.2020 – 19:18 +0530 – hirunews.lk/sinhala)

දේශපාලන පලිගැනීම් පිලිබඳව සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අද (13) උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.

ඒ ඇවන්ගාඩ් සමාගමට අයත් ‘එම්.වී. මහනුවර’ නෞකාවේ නෛතික තත්ත්වය සම්බන්ධයෙන් හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් විසින් සති අග පුවත්පතකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් සම්බන්ධයෙන් ඇති වූ සංවාදයක් හේතුවෙන්.

අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර, හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත්ගෙන් සිය සේවාදායිකාව දේශපාලන පලිගැනීම් වලට යටත්ව රාජකාරි කළ බවට පුවත්පතකට කරුණු ඉදිරිපත් කළේ කුමන පදනමකින් ද යන්න විමසා සිටීමත් සමඟ මෙම තත්ත්වය මතුවුණා.

තමන් ඒ බව ප්‍රකාශ කළේ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අතර, ඇති වූ සංවාදාත්මක හඬ පටයක් මාධ්‍ය මගින් ප්‍රචාරය වීම නිසා බව හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් එහිදී සඳහන් කළා.

එහිදී නිශ්ශංක සේනාධිපති වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයාද කරුණු දැක්වූ අතර, ලබන 28 වැනිදා හඬ පටය කොමිසමට ලබාදෙන ලෙස සභාපති විනිසුරුවරයා නියෝග කළා.

කෙසේ වෙතත්, හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මෙහිදී හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත්ට එල්ල කළ ඇතැම් චෝදනා සම්බන්ධයෙන් කොමිසමේ දැඩි විරෝධය එල්ල වුණා.

ඔහුට තරයේ අවවාද කළ කොමිසමේ සභාපතිවරයා ගෞරවාන්විතව කටයුතු කරන ලෙසද දන්වා සිටියා.

+++++++++++++++++++++

උණුසුම් වූ කොමිසම

(14.08.2020 – 08:12 +0530 – sinhala.adaderana.lk)

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ දී ඊයේ (13) දැඩි උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.

ඒ ඇවන් ගාඩ් සමාගමට අයත් එම්. වී මහනුවර නෞකාවේ නෛතික තත්ත්වය සම්බන්ධයෙන් හිටපු සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් මහතා සති අග පුවත්පතකට ලබා දී තිබු සම්මුඛ සාකච්ඡාවක් සම්බන්ධයෙන් හරස් ප්‍රශ්න විමසීමේදීය.

ඒ අනුව අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සුහද ගම්ලත් මහතාගෙන් විමසා සිටියේ, සිය සේවාදායිකාව දේශපාලන බලපෑම්වලට යටත්ව රාජකාරි කළ බවට අදාළ පුවත්පතට කරුණු ඉදිරිපත් කළේ කුමන පදනමකින් ද යන්නය.

තමන් එලෙස ප්‍රකාශ කරනු ලැබුවේ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සහ ඇවන් ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අතර ඇති වූ සංවාදාත්මක හඬපටයක් මාධ්‍ය මගින් ප්‍රචාරය වීම නිසා බවද සුහද ගම්ලත් මහතා මෙහිදී සඳහන් කළේය.

දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පැවසුවේ එම හඬ පටය විකෘති කර මාධ්‍යට මුදා හැර ඇති බැවින් සම්පූර්ණ හඬ පටය මහජනතාවට කරුණු දැනගැනීම සඳහා මුදා හැරිය යුතු බවට සිය සේවාදායිකාව දැනුම් දී ඇති බවය.

අදාළ හඬ පටය ඉදිරි දිනකදී කොමිසමට ලබා දිය හැකි නමුත්, එය ඉතා කම්පනයට පත්වන සංවාදයක් බැවින් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මියට හානිදායක විය හැකි බව නිශ්ශංක සේනාධිපති මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේරා ද සොයිසා මහතා සඳහන් කර තිබේ.

ඔහු පැවසුවේ සිය සේවාදායකයාට හානියක් වන බැවින් එය ඉදිරි දිනකදී කොමිසමට ලබාදෙන බවය.

කෙසේ වෙතත් මෙහිදි අදහස් දැක්වු සුහද ගම්ලත් මහතා ප්‍රකාශ කළේ පෞද්ගලිකත්වය ආරක්ෂා වීම සම්බන්ධයෙන් නීති සම්පාදනය කළ යුතු බවත්, දෙදෙනකු අතර වන පෞද්ගලික කථා බහ අවසරයකින් තොරව ප්‍රසිද්ධියට පත් කිරීම හේතුවෙන් අනෙක් පාර්ශවය අපහසුතාවට පත්වන බවය.

එමෙන්ම දිල්රුක්ෂි ඩයස් අල්ලස් කොමිසමේ කටයුතු කරන සමයේදී එම ස්ථානයේ රහස්‍යභාවය ආරක්ෂා කර ගැනීමට ඇය අපොහොසත් වී ඇති බව ද සුහද ගම්ලත් මහතා මෙහිදී සඳහන් කළේය.

එක් අවස්ථාවක තමා අරලියගහ මන්දිරයේ පැවැති රැස්වීමකට සහභාගී වූ අවස්ථාවේ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ එහි සිටි බවත් එම රැස්වීම සඳහා දේශපාලනඥයින් විශාල පිරිසක් සහ රාජ්‍ය නිලධාරීන් මෙන්ම ආරක්ෂක ප්‍රධානීන් ද පැමිණ සිටි බවත් සුහද ගම්ලත් මහතා මෙහිදී පැවසුවා.

ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ එම රැස්වීමට තමා සහභාගි වුණේ එවකට නීතිපතිවරයාගේ දැනුම්දීම මත බවය.

කෙසේ වෙතත් නීතිපති දෙපාර්තමේන්තු නිලධාරින් මෙන්ම රාජ්‍ය සේවකයින් එලෙස අරලියගහ මන්දිරයට කැඳවා නඩු කටයුතු සම්බන්ධයෙන් විමසීම නීති උල්ලංඝනය කිරීමක් බවත් නීතිඥ සංගම් ඒ අවස්ථාවේ නිද්‍රාශීලිව සිටි බවත් සුහද ගම්ලත් මහතා පැවසීය.

අනතුරු ව හිටපු අතිරේක සොලිස්ටර් ජෙනරාල් වසන්ත නවරත්න බණ්ඩාර මහතා චෝදනා කළේ සුහද ගම්ලත් මහතා “ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ දේශපාලනඥයන්ගේ සපත්තු ලෙවකමින්” තනතුරු වරප්‍රසාද ලබා ගැනීමේ අරමුණින් කටයුතු කර ඇති බවය.

එහිදි එම ප්‍රකාශයට කොමිසමේ දැඩි විරෝධය එල්ල වුණි.

කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි මහතා වසන්ත නවරත්න බණ්ඩාර මහතාට තරයේ අවවාද කරමින් කියා සිටියේ “තුන්වෙනි පන්තියේ වචන භාවිත කරන්න එපා. මේක ජනාධිපති කොමිෂන් සභාවක්. කොමිසමේ කටයුතුවලට බාධා කළා යැයි කියන චෝදනාව මත ඔබතුමාව අත්අඩංගුවට අරගෙන අභියාචනාධිකරණයට ඉදිරිපත් කරන්න මම කටයුතු කරනවා. ඒ නිසා ජේෂ්ඨ නිලධාරියෙක් ලෙස ගෞරවාන්විතව කටයුතු කරන්න“ යැයි ඔහු මෙහිදි සඳහන් කළ බව වාර්තා වේ.

කොමිසමේ වැඩිදුර සාක්ෂි විභාගය අගෝස්තු 28 වෙනිදාට කල් තැබුණි ෴

***************************************

ජාතික ලැයිස්තු නම් කිරීම හෙටින් අවසන් – එජාප මන්ත්‍රීවරයා තවමත් නැහැ

(13.08.2020 – 19:26 +0530 – hirunews.lk/sinhala)

නායකත්වය සම්බන්ධයෙන් සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් පත් කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳව සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (13) පැවති සාකච්ඡාවක් ද විසඳුමකින් තොරව අවසන් වී තිබෙනවා.

කෙසේ වෙතත්, ජාතික ලැයිස්තුවෙන් පත්කරන මන්ත්‍රීවරුන් පිළිබඳව මැතිවරණ කොමිසමට දැනුම්දීමට දේශපාලන පක්ෂ සඳහා ඉතිරිව ඇත්තේ හෙට (14) දිනය පමණයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, ඉලංගෙයි තමිල් අරසු කච්චි සහ අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය මේ වනවිට සිය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කර අවසන්.

එසේම, අද (13) දිනයේදී සමගි ජන බලවේගය ඔවුන්ට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර හත සඳහා පත්කරන පුද්ගලයින්ගේ නම් ප්‍රකාශයට පත් කළා.

එම ලැයිස්තුව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර විසින් මැතිවරණ කොමිසමට අද පස්වරුවේ භාර දුන්නා.

මේ අතර, එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද පැවති සාකච්ඡාවේදී ඔවුන්ට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට පත් කරන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් තීරණයකට එළැඹියේ නැහැ.

මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා මේ වනවිට නම් 08 ක් යෝජනා වී ඇති අතර, පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණාත්මක රැස්වීමක්ද හෙට (14) පැවැත්වෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන සඳහන් කර තිබුණේ එක්සත් ජාතික පක්ෂය නව නායකයෙකු යටතේ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය සිදුකිරීමට පක්ෂයේ සියලු දෙනා පොදු එකඟතාවයකට පැමිණ ඇති බවයි.

++++++++++++

(14.08.2020 – 07:19 +0530 – hirunews.lk/sinhala)

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර හිමි වූ දේශපාලන පක්ෂවලට ඒ සඳහා නම් යෝජනා කිරීමට තිබූ කාලය අදින් (14) අවසන් වනවා.

කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂය ඊයේ (13) දිනය වනතුරුත් තම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා නම් කර තිබුණේ නැහැ.

එසේම, අපේ ජන බල පක්ෂයේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් පැතීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළේ එහි පාර්ශවයන් විවිධ නම් ඒ සඳහා යෝජනා කිරීම හේතුවෙන්.

එම තත්ත්වය නිසා පක්ෂ ලේකම්වරයා පිළිබඳව ගැටළුවක් මතුව තිබුණා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, ඉලංගෙයි තමිල් අරසු පක්ෂය සහ අකිල ඉලංගෙයි තමිල් කොංග්‍රසය මේ වනවිට සිය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් නම් කර අවසන්.

මේ අතර, එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඊයේ (13) පැවති සාකච්ඡාවේදී ඔවුන්ට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කරන්නේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් තීරණයකට එළඹුණේ නැහැ ෴

***************************************

අධිකරණ ඇමතිගෙන් මහනුවරදී සහතිකයක්

(13.08.2020 – 19:54 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අවසන් පුද්ගලයා දක්වා නීතිය ඉදිරියට ගෙනැවිත් දඬුවම් ලබාදීමට උපරිමයෙන්ම කැපවන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (12) මහනුවර පැවති උත්සවයකට එක්වෙමින්.

අධිකරණ අමාත්‍යධුරයෙන් පිදුම්ලත් ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පිළිගැනීමේ උත්සවයක් ඊයේ (12) මහනුවර ජුම්මා මුස්ලිම් දේවස්ථානයේදී පැවැත්වුණා.

මේ අතර නව රජයේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන් කිහිපදෙනෙකුම අද (13) සිය අමාත්‍යාංශ වලදී රාජකාරි කටයුතු ආරම්භ කළා.

ඒ අනුව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස පත්වු පවිත්‍රාදේවි වන්නිආරච්චි, ආචාර්ය බන්දුල ගුණවර්ධන, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පිරිස් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ඉඩම් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන,ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද සහ සංචාරක අමාත්‍ය ලෙස ප්‍රසන්න රණතුංග යන මහත්මමහත්මින් අද (13) තම අමාත්‍යාංශ වලදී වැඩ කටයුතු ආරම්භ කළා.

මහමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු රාජකාරි කටයුතු ආරම්භ කළේ කුරුණෑගල – මීගමුව පාරේ පිහිටි සිරි වජිරඤාණ මාවත කාපට් අතුරා සංවර්ධනය කිරීමේ කටයුත්තට එක්වෙමින්.

මේ අතර, රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන් කිහිප දෙනෙකුද අද (13) සිය අමාත්‍යාංශවලදි වැඩ ආරම්භ කළා.

ආචාර්ය නාලක ගොඩහේවා, පියල් නිශාන්ත, ලොහාන් රත්වත්තේ ඩී.වී. චානක සහ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ යන රාජ්‍ය අමාත්‍යවරුන් ඊට අයත්.

කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පිළිගැනීමේ උත්සව ඊයේ (12) සහ අද (13) විවිධ ප්‍රදේශවලදී පැවැත්වුණා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

+++++++++++++++++++++

***************************************

‘හිරු CIA’ ඇසට හසුවූ යාල රක්ෂිතය අවට සතුන් මැරීමේ ජාවාරම

(13.08.2020 – 20:48 +0530 – hirunews.lk/sinhala)

යාල වනෝද්‍යායේ සැරිසරන වන සතුන් මළ පුඩුවලට හසුකර මරාදැමීමේ මහා පරිමාන ජාවාරමක් තොරතුරු හෙළිකර ගැනීමට ‘හිරු සී.අයි.ඒ.’ සමත්වුණා.

අද කළ ගවේෂණයේදී හෙළිවුයේ සංවිධානාත්මක පිරිසක් දිනකට මළපුඩු 250 ක් පමණ අටවා මෙම සතුන් මැරීමේ ජාවාරම ක්‍රියාත්මක කරන බවයි.

අද (13) සී.අයි.ඒ. එම ජාතික අපරාධය රට හමුවේ අනාවරණය කිරීම සඳහායි.

යාල වනෝද්‍යානයට යාබදව පිහිටා ඇති තිස්සමහාරාම අමරවැව ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් ඇල්ලීම සදහා නිරන්තරයෙන් වන කලාප ගිනි තබා විනාශ කෙරෙමින් පවතිනවා.

වනාන්තර ගිනි තැබීම්වලට අමතරව තිස්සමහාරාම අමරවැව ප්‍රදේශයේ වන සතුන් විශාල වශයෙන් මරා දැමීමේ සංවිධානාත්මක ජාවාරමක් ක්‍රියාත්මක වන බවයි ගම්වාසීන් හිරු සී.අයි.ඒ. හමුවේ හෙළි කළ සිටියේ.

හිරු සී.අයි.ඒ. කණ්ඩායම මෙම වන කලාපයේ සිදුකළ ගවේෂණයේදී හෙළිවුයේ මෙය දඩමස් ලබා ගැනීමේ අරමුණින් පමණක් සිදුකළ ක්‍රියාදාමයක් නොවන බවයි.

මුවන්, ගෝනුන්, ඉත්තෑවන් වැනි සතුන් මළ පුඩු තුලම සිරවී මිය ගොස් තිබුන ද ජාවාරම්කරුවන් සතුන්ගේ සිරුරු එම ස්ථානවලම කුණු වීමට ඉඩහැර තිබුනේ මෙලෙසින්.

මෙරට දැඩි ලෙස ආරක්ෂක සතෙකු ලෙස සැලකෙන කබල්ලෑවෙකු ද මරා දමා තිබුනා.

හිරු සී.අයි.ඒ. කණ්ඩායමේ මැදිහත්වීමෙන් මලපුඩුවලට හසුව සිටි වන සතුන් බොහොමයක් නිදහස් කර හැරියා.

මල පුඩුවලට හසු වී මී ගවයන් රැසක් ද මියගොස් සිටි අතර තවත් සතුන් බොහොමයකගේ පාද වලට හානි වී තිබුනා.

මෙලෙස මළ පුඩු අවටන පුද්ගලයන් දෙදෙනෙකු ද හිරු CIA කණ්ඩායම විසින් සොයාගත් අතර ඔවුන් මෙ අපරාධය පාපොච්ඡාරණය කළා.

කිසිදු බියක් සැකක් නොමැතිව මොවුන් මෙලෙස තොග වශයෙන් වන සතුන් මරා දමන්නේ වන ජීවී නිලධාරීන්ව තුට්ටුවකට හෝ මායිම් නොකරමින්.

මෙම මස්වැද්දන්ට නීතිය ක්‍රියාත්මක කොට යාල වනෝදාන්‍ය අවට වන සතුන්ගේ ජීවිත සුරක්ෂිත කරනතුරු හිරු සී.අයි.ඒ. අවධානයෙන් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *