නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ – විදේශ ලේකම් වෙනස් වෙයි – වෛද්‍ය අනිල් ජාසිංහ පරිසර අමාත්‍යාංශයට

(13.08.2020 – 17:53 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව කැබිනට් අමාත්‍යාංශ 25 ක් සඳහා ලේකම්වරුන් පත් කර තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ඔවුන්ට අදාළ පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපතිවරයා අතින් ජනාධිපති කාර්යාලයේදී අද (13) පස්වරුවේ සිදුවූ බවයි.

ඒ අනුව, අමාත්‍ය මණ්ඩලයේ නව ලේකම්වරයා වන්නේ ඩබ්ලිව්.එම්.ඩී.ජේ. ප්‍රනාන්දු මහතායි.

විදේශ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පත් කර තිබෙනවා.

පරිසර අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතායි.

මහාචාර්ය කපිල පෙරේරා මහතා අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කර තිබෙනවා.

එස්.ආර්. ආටිගල මහතා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත්, ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි මහතා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසත් තවදුරටත් කටයුතු කරනු ඇති.

රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වන්නේ ජේ.ජේ. රත්නසිරි මහතායි. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජගත් පී. විජේවීර මහතා පත් කර තිබෙනවා.

රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා වැවිලි අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කර ඇති අතර, වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා වන්නේ අනුර දිසානායක මහතායි.

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා තවදුරටත් කටයුතු කරනවා.

නව අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ නාම ලේඛනය :

  1. ඩබ්.එම්.ඩි.ජේ. ප්‍රනාන්දු මහතා – අමාත්‍ය මණ්ඩල ලේකම්
  2. ආර්.ඩබ්.ආර්. පේමසිරි මහතා – මහාමාර්ග අමාත්‍යාංශය
  3. එස්.ආර්. ආටිගල මහතා – මුදල් අමාත්‍යාංශය
  4. ජේ.ජේ. රත්නසිරි මහතා – රාජ්‍ය සේවා, පලාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශය
  5. ජගත් පී.විජේවීර මහතා – ජනමාධ්‍ය අමාත්‍යාංශය
  6. රවින්ද්‍ර හේවාවිතාරණ මහතා – වැවිලි අමාත්‍යාංශය
  7. අනුර දිසානායක මහතා – වාරිමාර්ග අමාත්‍යාංශය
  8. ඩබ්.ඒ. චූලානන්ද පෙරේරා මහතා – කර්මාන්ත අමාත්‍යාංශය
  9. වසන්තා පෙරේරා මහත්මිය – විදුලිබල අමාත්‍යාංශය
  10. එස්. හෙට්ටිආරච්චි මහතා – සංචාරක අමාත්‍යාංශය
  11. ආර්.ඒ.ඒ.කේ. රණවක මහතා – ඉඩම් අමාත්‍යාංශය
  12. එන්.පී.ඩී.යූ.කේ. මාපා පතිරණ මහතා – කම්කරු අමාත්‍යාංශය
  13. ආර්.එම්.අයි. රත්නායක මහත්මිය – ධීවර අමාත්‍යාංශය
  14. මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා – ආරක්ෂක අමාත්‍යාංශය
  15. එම්.කේ.බී. හරිස්චන්ද්‍ර මහතා – වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍යාංශය
  16. එන්.බී. මොන්ටි රණතුංග මහතා – ප්‍රවාහන අමාත්‍යාංශය
  17. ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා – ජලසම්පාදන අමාත්‍යාංශය
  18. ජේ.එම්.බී. ජයවර්ධන මහත්මිය – වෙළෙඳ අමාත්‍යාංශය
  19. මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතා – සෞඛ්‍ය අමාත්‍යාංශය
  20. මේජර් ජනරාල් (විශ්‍රාමික) ඒ.කේ. සුමේධ පෙරේරා මහතා – කෘෂිකර්ම අමාත්‍යාංශය
  21. අනුරාධ විජේකෝන් මහතා – තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය
  22. කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය – බලශක්ති අමාත්‍යාංශය
  23. අද්මිරාල් (විශ්‍රාමික) ජයනාත් කොළඹගේ මහතා – විදේශ අමාත්‍යාංශය
  24. වෛද්‍ය අනිල් ජාසිංහ මහතා – පරිසර අමාත්‍යාංශය
  25. මහාචාර්ය කපිල පෙරේරා මහතා – අධ්‍යාපන අමාත්‍යාංශය
  26. සිරිනිමල් පෙරේරා මහතා – නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය

+++++++++++++++++++++

***************************************

කොරෝනා අවදානම නිසා වසා දැමුණු ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය සභාව අද (14) සිට විවෘතයි

(14.08.2020 – 07:54 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයන් දෙදෙනෙකු වාර්තා වීමත් සමඟ වසා දැමුණු ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ එම ප්‍රාදේශීය සභාව අද (14) සිට යළි විවෘත කිරීමට නියමිතයි.

ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේ නිරෝධායන කාලය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව අදාළ කාර්ය මණ්ඩල අද (14) දිනයේ යළි සේවයට වාර්තා කරන බවයි.

පසුගිය ජුලි 30 වැනිදා සහ අගෝස්තු 03 වැනිදා ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්යාල කාර්ය සහයකයෙකුට සහ එහි ආරක්ෂාවට යොදවා සිටි සිවිල් ආරක්ෂක බලකායේ සාමාජිකයෙකුට කොරෝනා ආසාදිත බවට හඳුනා ගැනුණා.

ඒ අනුව සෞඛ්‍ය අංශ මැදිහත් වී වහාම ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ එම ප්‍රාදේශීය සභාව වසා දැමීමටයි පියවර ගැනුණේ.

එමෙන්ම, අදාළ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් 891 දෙනෙකු නිරෝධායනය සඳහා යොමුකළ අතර, මේ වනවිට පවුල් 30 කට අයත් 130 දෙනෙකු පමණක් තවදුරටත් නිරෝධායනයට ලක් වෙමින් සිටින බව ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ප්‍රකාශ කළා.

එම පිරිසද හෙට (15) දිනයේ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කිරීමට නියමිතයි.

එමෙන්ම, ඊයේ (13) දිනයේ මෙරටින් තවත් එක් කොරෝනා ආසාදිතයෙකු වාර්තා වූ අතර, එම පුද්ගලයා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට දිවයිනට පැමිණි අයෙක්.

ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2,882 දක්වා ඉහළ ගියා. රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 225 ක්.

මේ අතර, ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානාවල සේවා ලබා ගැනීම මාසයක කාලයකට අත්හිටුවීමට චීන සිවිල් ගුවන් සේවා බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඒ, ඩුබායි සිට කොළඹ හරහා ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් චීනයට පැමිණි මගීන් 24 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වීමත් සමඟයි.

යූ.එල්.866 දරන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යානයේ ගමන්ගත් චීන ජාතිකයන් පිරිසකුයි මෙලෙස කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන ඇත්තේ.

චීනයේ සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රතිපත්තිවලට අනුව යම් ගුවන් යානයක කොරෝනා ආසාදිතයන් පස් දෙනෙකු (5) හමුවුවහොත් එම ගුවන් සේවය සඳහා සතියක ගුවන් ගමන් තහනමක් පැනවෙන අතර, ආසාදිතයන් දස දෙනෙකු (10) හමුවුවහොත් මාසයක කාලයකට ගුවන් ගමන් අත්හිටුවන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඒ අනුව එතිහාඩ් ගුවන් සේවයට සහ චයිනා ඊස්ටර්න් ගුවන් සේවයටද මෙවැනිම ගුවන් ගමන් අත්හිටුවීමක් සිදුකර තිබෙනවා.

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 2,10,69,000 ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාව 7,52,726 ක්.

ඒ අතරින් ඇමරිකාවේ ආසාදිතයන් 54,14,000 ක් සහ මරණ එක්ලක්ෂ 70,000 ක් වාර්තා වන අතර, බ්‍රසීලයෙන් ආසාදිතයන් තිස් දෙලක්ෂ 29,000 ක් සහ මරණ 1,05,564 ක් වාර්තා වුණා.

ඉන්දියාවේ ආසාදිත සංඛ්‍යාව 24,59,613 ක් වන අතර මරණ සංඛ්‍යාව 48,144 ක් ෴

***************************************

පළාත් සභා මැතිවරණය ද කඩිනමින්

(14.08.2020 – 07:58 +0530 – hirunews.lk/sinhala)

පළාත් සභා මැතිවරණයද කඩිනමින් පැවැත්වීමට රජය කටයුතු කරනු ඇති බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා පවසනවා.

පළාත් සභා මැතිවරණය පවත්වන්නේ නව ක්‍රමයටද එසේත් නැතිනම් පැරණි ක්‍රමයටද යන්න පාර්ලිමේන්තුව විසින් ගන්නා තීරණයේදී ආණ්ඩුකාරවරුන් වශයෙන් තම සහයද උපරිම වශයෙන් ලබාදෙන බවයි ඔහු සඳහන් කළේ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ඊයේ (13) පැවති උත්සවයකින් අනතුරුව ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා මේ බව කියා සිටියා ෴

***************************************

මත්ද්‍රව්‍ය ඇතුළු වැරදිවලට, 125,000 ක් අත්අඩංගුවට

(14.08.2020 – 08:00 +0530 – hirunews.lk/sinhala)

ජුනි 06 වැනිදා සිට මේ දක්වා කාලය තුළ හෙරොයින්, ගංජා සහ අයිස් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් පුද්ගලයන් 26,886 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ නීතිවිරෝධී මත්පැන් සම්බන්ධයෙන් සැකකරුවන් 24,314 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙහිදී හෙරොයින් වැරදිවලට අදාළව පමණක් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 15,404 ක්.

අවි ආයුධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 279 ක් සහ පුපුරණ ද්‍රව්‍ය සම්බන්ධයෙන් 36 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ටී-56 අවි 14 ක්, ගල්කටස් 36 ක් මෙන්ම මෙරට නිෂ්පාදිත ගිනි අවි 147 ක්ද වැටලීම්වලදී සොයා ගැනුණා.

මෙම මෙහෙයුම්වලදී වරෙන්තුකරුවන් 23,139 ක් සහ වෙනත් වැරදි සම්බන්ධයෙන් 45,088 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මත්ද්‍රව්‍ය සහ විවිධ වැරදිවලට අදාළව අත්අඩංගුවට ගෙන ඇති මුළු සංඛ්‍යාව 1,25,742 ක්.

මේ අතර, මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවන්ගේ මුදල් පරිහරණය කළ 39 හැවිරිදි කාන්තාවක්ද ඊයේ (13) බොරැල්ලේදී අත්අඩංගුවට ගැණුනා.

එසේම, රුපියල් කෝටි දෙකකට (2) ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 02 කට අධික ප්‍රමාණයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි අඹුසැමි යුවළක්ද පිළියන්දල – මිහිඳුපුර ප්‍රදේශයේදී ඊයේ (13) අත්අඩංගුවට ගත්තා ෴

***************************************

අගෝස්තු 20 පාර්ලිමේන්තුව රැස්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරයි

(14.08.2020 – 08:35 +0530 – hirunews.lk/sinhala)

2020 අගෝස්තු මස 20 වනදින පාර්ලිමේන්තුව රැස්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත්කර තිබෙනවා.

***************************************

කුරුණෑගල නගරාධිපතිට එරෙහි නඩුවේ නීතීඥ ගාස්තු ගෙවන්නේ කවුද ?

(13.08.2020 – 19:18 +0530 – sinhala.adaderana.lk)

කුරුණෑගල නගර සභාව අද (13) රැස්වීමක් කැඳවා තිබුණද නගරාධිපතිවරයා නියමිත වේලාවට සභාවට නොපැමිණීම හේතුවෙන් එහි මන්ත්‍රීවරු ඊට අප්‍රසාදය පළ කරමින් පිටව ගියෝය.

නගර සභාව රැස්වීමට නියමිතව තිබූ වේලාවේ නගරාධිපතිවරයා රැදී සිටියේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වැඩ භාරගැනීම වෙනුවෙන් සංවිධානය කළ උත්සවයේය.

නගරාධිපතිවරයා එම උත්සවයේ පිළිගැනීමේ කතාව ද සිදුකළේය.

එම උත්සවයේ වැඩකටයුතු අවසන් වීමෙන් පසු දහවල් 12:10 ට පමණ නගරාධිපතිවරයා සභාව වෙත පැමිණියේය.

එම අවස්ථාව වනවිට මන්ත්‍රීවරුන් රැසක් සභාවෙන් පිටව ගොස් සිටීම නිසා සභාවේ රැදී සිටි මන්ත්‍රීවරයකු යෝජනා කළේ සභාව කල් දමන ලෙසය.

අනතුරුව නගරාධිපතිවරයාද ඔහුට නියමිත වේලාවට පැමිණීමට නොහැකි වූ කාරණය පිළිබඳව පැහැදිලි කර සභාව කල් දමනු ලැබීය.

බුවනෙකබා ගොඩනැගිල්ලේ කොටසක් කඩා දැමීමේ සිද්ධියේ නඩුවට අදාළව කුරුණෑගල නගරාධිපතිගේ නීතීඥ ගාස්තුව නගර සභාව මගින් ගෙවීම අනුමත කරගැනීම සඳහා මෙම රැස්වීම කැඳවා තිබූ බවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා චෝදනා කරයි.

මේ අතර කුරුණෑගල රාජධානි සමයේ බුවනෙක රජුගේ රාජසභා මණ්ඩපය බව සැලකෙන ගොඩනැගිල්ලේ කොටසක් කඩාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව මහතාට එරෙහිව පැවරූ නඩුව අද (13) කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවිය.

එහිදී නඩුව සැප්තැම්බර් 04 දක්වා කල් තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා මින් පෙර වරෙන්තුවක් නිකුත් කර තිබුණත් අගෝස්තු 24 වැනි දා දක්වා එය ක්‍රියාත්මක නොකරන ලෙසට අභියාචනාධිකරණය ඊයේ (12) නියෝග කළේය.

මේ අතර ඊයේ (12) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ අද දින කුරුණෑගල නගර සභාව රැස්වී නගරාධිපතිවරයාට එරෙහිව ඇති නඩුවේ නීතීඥ ගාස්තු ගෙවීම සඳහා රුපියල් ලක්ෂ 44 කට අධික මුදලක් අනුමත කරගැනීමට සූදානම් වන බවය.

***************************************

නවගමුවේ කප්පම් කල්ලිය අත්අඩංගුවට

(13.08.2020 – 11:37 +0530 – sinhala.adaderana.lk)

සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයන් යැයි පැවසෙන පුද්ගලයින් සිව්දෙනෙකු (4) වදුරාමුල්ල, කැලෑබද ප්‍රදේශයක පාළු නිවසක සැඟවී සිටිය දී නවගමුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය කාලයේ දී නවගමුව පොලිස් වසමේ ප්‍රදේශ කිහිපයක පුද්ගලයින් තියුණු ආයුධවලින් කපා බියවද්දා කප්පම් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් සතුව තිබී කඩු හතක්, මෙරට නිෂ්පාදිත අත්බෝම්බ දෙකක් සහ මත්කුඩු ග්‍රෑම් 2 ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සියලුදෙනා රනාල රෝහල පාරේ පදිංචිකරුවන්ය.

එම සැකකරුවන් කලකට පෙර ඝාතනයට ලක්වු පාතාල කල්ලි සාමාජිකයෙක් වන ‘සමයන්’ගේ ගෝලයින් බවට පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

සැකකරුවන් කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

නවගමුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *