පාස්කු ප්‍රහාරයට පෙර තමාව අත්අඩංගුවට ගැනීම, සහරාන් ගැන විමර්ශනවලට බාධාවක් උනා

පාස්කු ප්‍රහාරයට පෙර තමාව අත්අඩංගුවට ගැනීම, සහරාන් ගැන විමර්ශනවලට බාධාවක් වූ බව හිටපු ටී.අයි.ඩී. ප්‍රධානියා පාස්කු කොමිසමට කියයි

තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු වැඩ භාර ගනී

බූස්ස බන්ධනාගාරයේ නියාමකවරුන් 7 දෙනෙකුට ස්ථාන මාරු

එම්.සී.සී. ගිවිසුම තමන් අනුමත කර ඇති බවට වන වාර්තා නීතිපති ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලන්කන් ගුවන් යානාවලට මසක් ගතවනතුරු චීනයේ සේවය නැතිවෙයි

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (15) ජල කප්පාදුවක්

ඉලුක් පඳුරුවලින් වැසී ගිය නාතගනේ පාසල් දරුවන්ගේ අනාගත ක්‍රීඩා සිහිනය

පුත්තලම සහ හම්බන්තොට දිස්ත්‍රික්ක ආක්‍රමණය කළ කීඩෑ උවදුර

සියලු විශ්වවිද්‍යාල සඳුදා (17) සිට යළි විවෘත කෙරේ

උපාධිධාරින් සහ අඩු ආදායම්ලාභීන් එක්ලක්ෂ පනස් දහසකට (1,50,000) කඩිනමින් රැකියා

නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අගෝස්තු 20 පස්වරු 3 ට

මත්ද්‍රව්‍ය අඩංගු ‘ඉන්හේලර්’ සහ ‘ස්ප්‍රේ’ පාසල් දරුවන් අතර බෙදා හැරීමේ ජාවාරමක්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ අද (14) ලබාදුන් සාක්ෂිය

*********************************************

පාස්කු ප්‍රහාරයට පෙර තමාව අත්අඩංගුවට ගැනීම, සහරාන් ගැන විමර්ශනවලට බාධාවක් වූ බව හිටපු ටී.අයි.ඩී. ප්‍රධානියා පාස්කු කොමිසමට කියයි

(14.08.2020 – 13:24 +0530 – hirunews.lk/sinhala)

ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම නිසා පාස්කු ප්‍රහාරයට පෙර සහරාන් හෂිම් අත්අඩංගුවට ගැනීමේ විමර්ශන කෙරෙහි බලපෑමක් එල්ල වූ බව වැඩතහනමකට ලක්ව සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ප්‍රකාශ කළා.

ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (13) තෙවන (3) දිනටත් සාක්ෂි ලබාදෙමින් ඔහු සදහන් කළේ තමන් අත්අඩංගුවට ගැනීම හරහා සහරාන් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන වලට නිසි නායකත්වයක් හා මගපෙන්වීමක් නොමැති වූ බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (13) පෙරවරුවේ දස වන (10) දිනටත් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන සාක්ෂි ලබාදුන්නද, එය මාධ්‍යයට විවෘත වුයේ නැහැ.

පසුව ඊයේ (13) පස්වරුවේ වැඩතහනමකට ලක්ව සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා තෙවන (3) දිනටත් සාක්ෂි ලබාදීම සදහා ජනාධිපති කොමිසම වෙත පැමිණියා.

එහිදි ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබදෙමින් ඔහු කියා සිටියේ සහරාන් හෂිම් ඇතුළු අන්තවාදින්ගේ ක්‍රියාකාරකම් පිළිබද 2017 වර්ෂයේ සිට තමා එවකට පොලිස්පතිව සිටි පූජිත් ජයසුන්දරට සති වාර්තා යැවු අතර පොලිස්පතිවරයා විසින් ලබාදුන් උපදෙස් අනුවද විමර්ශන සිදුකර වාර්තා සැපයු බවයි.

මෙහිදී ජනාධිපති කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සමය තුළ සහරාන් හෂීම් සැගව සිටින ස්ථානයක් පිළිබද තොරතුරු දැනසිටියේද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් නාලක ද සිල්වා සදහන් කළේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සහරාන් හෂිම් අත්අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගැනිමෙන් පසු සැකකරු කැකුණුගොල්ල ප්‍රදේශයේ නිවසක රැඳී සිටින බවට තොරතුරක් ලද අතර ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට තමන් නිලධාරීන් කණ්ඩායමක් යොමු කළ බවයි.

මෙහිදි ජනාධිපති කොමිසමේ සභාපතිවරයා විමසා සිටියේ 2017 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වාම සහරාන් හෂිම් අත්අඩංගුවට ගැනීමට නොහැකි වුයේ මන්ද යන්නයි.

තමන් යටතේ සිටි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් වරෙන්තුවට අනුව සහරාන් අත්අඩංගුවට ගැනීමට බොහෝ උත්සාහ කළද සහරාන් රැඳී සිටින ස්ථානයක් පිළිබද නිශ්චිත බුද්ධි තොරතුරක් නොලැබුණු බැවින් ඔහු සොයා ගැනීමට නොහැකි වු බව නාලක ද සිල්වා ඊට පිළිතුරු ලබාදෙමින් ප්‍රකාශ කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ වරෙන්තු ලැබී තිබුණද අත්අඩංගුවට ගැනීමට සොයා ගත නොහැකි අය වර්තමානයේද සිටින බවයි.

එහිදි කොමිසමේ සභාපතිවරයා විමසා සිටියේ වර්තමානයේ වරෙන්තු ලැබ සිටින්නන් අත්අඩංගුවට ගැනීමට යම් හේතු පවතිනවා සේම, සහරාන් අත්අඩංගුවට නොගැනීම කෙරෙහිද යම් හේතුවක් පැවතියේද යන්නයි.

එවැනි විශේෂ හේතුවක් නොතිබූ අතර වරෙන්තු ලබාගත් අවස්ථාව වනවිට සහරාන් විදෙස් ගතව සිටි බවට යම් තොරතුරක් ලැබී තිබුණද, ඔහු විදේශ ගමන් බලපත්‍රය භාවිත කර විදෙස්ගතවීමක් සිදුවී නොතිබුණු බව පැහැදිලි කළ නාලක ද සිල්වා වැඩිදුරටත් කියා සිටියේ සහරාන් හෂිම් සම්බන්ධයෙන් ‘බ්ලූ‍ නෝටිස්’ එකක් ලබාගැනීමටද තමන් නිලධාරින්ට උපදෙස් දී තිබු බවයි.

සාක්ෂිකාර නාලක ද සිල්වාට මේ වන විට රැකියාව අහිමි වී ඇත්ද යන්න මෙහිදි ජනාධිපති කොමිසමේ සාමාජික අභියාචනාධිකරණ විනිසුරුවරයා විමසා සිටියා.

ඊට පිළිතුරු දෙමින් නාලක ද සිල්වා කියා සිටියේ ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් ලැබූ චෝදනාවකට අදාළව මේ වන විට වසර දෙකකට (2) ආසන්න කාලයක් තමන්ට රැකියාව අහිමි වී ඇති බවයි.

මෙහිදි කොමිසමේ සාමාජික විනිසුරුවරයා පෙරළා ප්‍රශ්න කර සිටියේ ත්‍රස්තවාදයට එරෙහිව ක්‍රියා කළ ඔබව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේම අත්අඩංගුවට ගත්තේ මන්ද යන්නයි.

ත්‍රස්තවාදය වැලැක්වීම සම්බන්ධයෙන් විශාල සේවයක් කර ඇගයීමට ලක්ව සිටි තමන් මෙලෙස අත්අඩංගුවට ගත්තේ මන්දැයි විමර්ශන නිලධාරින්ගෙන්ම ඇසිය යුතු බව නාලක ද සිල්වා එහිදි සඳහන් කළා.

මෙහිදි අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා, සාක්ෂිකරු වෙත ප්‍රශ්නයක් යොමු කරමින් විමසා සිටියේ සාක්ෂිකරු අත්අඩංගුවට පත්වීම මගින් සහරාන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ගෙනගිය විමර්ශන වලට බලපෑම් එල්ල වූයේද යන්නයි.

එයට පිළිතුරු දෙමින් නාලක ද සිල්වා කියා සිටියේ තමන් සහරාන් පසුපස හඹාගියේ යම් සැලැස්මකට අනුව නිසා තමන් අත්අඩංගුවට ගැනීමෙන් එම සැලසුම් අඩපණ වු බවයි.

එකී විමර්ශනයට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයයේ නිලධාරීන්ට නායකත්වය සැපයුවේ තමන් වන බැවින් තමන් අත්අඩංගුවට ගැනීම හරහා පහළ නිලධාරීන්ට නිසි මගපෙන්වීමක් නොමැතිව ඔවුන් අතරමංවනවා නොවේදැයි ඔහු විවෘත කොමිෂන් සභාව ඉදිරියේ ප්‍රශ්න කළා.

එසේම තමන් අත්අඩංගුවට ගැනීමට මුල්වූ සිද්ධිය සම්බන්ධයෙන් තමාගෙන් පමණක් ප්‍රශ්න කළ යුතු වුවද, එකී විමර්ශනය සම්බන්ධයෙන් තමා යටතේ සිටි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශ නිලධාරීන්ගෙන්ද ප්‍රශ්න කිරීම හරහා එම නිලධාරීන් අනවශ්‍ය පීඩනයකට ලක්වු බවද ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂිදෙමින් නාලක ද සිල්වා වැඩිදුරටත් කියා සිටියා.

********************************************

තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු වැඩ භාර ගනී

(14.08.2020 – 13:29 +0530 – hirunews.lk/sinhala)

නව රජයේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් රැසක් අද (14) දිනයේ සිය අමාත්‍යාංශවල වැඩ භාර ගත්තා.

ඒ අනුව කැබිනට් අමාත්‍යවරුන් වන ජනක බණ්ඩාර තෙන්නකෝන්, මහින්ද අමරවීර, මහින්දානන්ද අළුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, ගාමිණී ලොකුගේ, සී.බී.රත්නායක යන මහත්වරු අද (14) දිනයේදී සිය අමාත්‍යාංශවල වැඩ භාර ගනු ලැබුවා.

මීට අමතරව නව රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් වන ලසන්ත අලගියවන්න, අජිත් නිවාඞ් කබ්රාල්, රියර් අද්මිරාල් සරත් වීරසේකර, නිමල් ලංසා, ජානක වක්කුඹුර, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල, ඉන්දික අනුරුද්ධ, විජිත බේරුගොඩ, සදාසිවම් වියාලේන්ද්‍රන් සහ ජීවන් තොණ්ඩමන් යන මහත්මමහත්මින් අද (14) සිය රාජ්‍ය අමාත්‍ය ධුරවල වැඩ භාරගෙන තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීමේ උත්සවයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී විෂය භාර අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා කියා සිටියේ ඉදිරියේදී රට තුළ පොහොර හිඟයක් ඇතිවීමට ඉඩ නොතබන බවයි.

පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට එක්වෙමින් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේ 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ අඩංගු අහිතකර බලපෑම් ඉවත් කරන තුරු ඉඩම් සහ පොලිස් බලතල පළාත් සභා වෙත කිසිසේත් ලබානොදෙන බවයි.

*********************************************

බූස්ස බන්ධනාගාරයේ නියාමකවරුන් 7 දෙනෙකුට ස්ථාන මාරු

(14.08.2020 – 13:30 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – බූස්ස බන්ධනාගාරයේ නියාමකවරුන් 07 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

ඒ, බන්ධනාගාරගතව සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘වෙලේ සුදා’ සමඟ සබඳතා පැවැත්වූ බවට වන චෝදනාව මතයි.

අදාළ සිද්ධිය පිළිබඳව විමර්ශනයක් සිදුකර නිවැරදි තොරතුරු තහවුරු කර ගන්නා තුරු මෙම ස්ථාන මාරුව සිදුකර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ජාතික පුවත්පත් අද (14) වාර්තා කර තිබුණේ එම බන්ධනාගාරයේ ජේලර්වරයෙකු මංගල උත්සවයක් සඳහා ‘වෙලේ සුදා’ගෙන් විදේශීය මත්පැන් බෝතල් සියයක් (100) පමණ ලබාගෙන ඇති බවයි.

කෙසේ වෙතත්, ඒ පිළිබදව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකුගෙන් අප කළ විමසීමකදී සඳහන් කළේ ෴

+++++++++++

ජුනි 10 සිට මේ දක්වා විවිධ චෝදනා එල්ලවූ බන්ධනාගාර නිලධාරීන් 15 දෙනෙකුගේ වැඩ තහනම් කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම තවත් 21 දෙනෙකුට අදාළ කාලය තුල ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවයි එම දෙපාර්තමේන්තුව කියාසිටියේ ෴

*********************************************

එම්.සී.සී. ගිවිසුම තමන් අනුමත කර ඇති බවට වන වාර්තා නීතිපති ප්‍රතික්ෂේප කරයි

(14.08.2020 – 13:44 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් එම්.සී.සී. ගිවිසුම තමන් අනුමත කර ඇති බවට පළ වන වාර්තා තරයේ ප්‍රතික්ෂේප කරන බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා පවසනවා.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙම ගිවිසුම පිලිබඳව තමන් තවදුරටත් කරුණු අධ්‍යයනය කරමින් පවතින බවයි.

*********************************************

ශ්‍රී ලන්කන් ගුවන් යානාවලට මසක් ගතවනතුරු චීනයේ සේවය නැතිවෙයි

(14.08.2020 – 13:59 +0530 – hirunews.lk/sinhala)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි සිට කොළඹ හරහා ශ්‍රී ලංකා ගුවන් සේවයට අයත් යානයකින් චීනයට පැමිණි මගීන් 24 දෙනෙකු කොවිඩ් 19 ආසාදිත බවට තහවුරු වීමත් සමඟ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන්යානාවල සේවාව ලබාදීම මාසයක කාලයකට අත්හිටුවීමට චීන ගුවන් සේවා බලධාරීන් මෙලෙස පියවර ගෙන තිබෙනවා.

මේ අතර කොවිඩ් 19 වෛරසය තවමත් ශීඝ්‍රයෙන් ලොව පුරා ව්‍යාප්තව යන අතර වෛරසයෙන් කිසිදු බලපෑමක් තවමත් එල්ල වී නැත්තේ ලොව රටවල් 12 කට පමණයි.

යම් ගුවන් යානයක කොවිඩ් ආසාදිතයින් 5 දෙනෙකු හමුවුවහොත් එම ගුවන් සේවය සඳහා සතියක ගුවන් ගමන් තහනමක් පැනවෙන අතර ආසාදිතයින් 10 දෙනෙකු හෝ වැඩි සංඛ්‍යාවක් හඳුනාගත හොත් මාසයක කාලයක් ගුවන් ගමන් අත්හිටුවීමටයි චීන සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන ඇත්තේ.

*********************************************

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (15) ජල කප්පාදුවක්

(14.08.2020 – 18:01 +0530 – hirunews.lk/sinhala)

හෙට (15) දිනයේ පෙරවරු අටේ (08:00) සිට පැය 09 ක කාලයක් කොළඹ 13, 14 සහ 15 යන ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙනවා.

එම මණ්ඩලය වැඩිදුරටත් දැනුම් දෙන්නේ කොළඹ 11 සහ 12 යන ප්‍රදේශ වලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බවයි ෴

**********************************************

ඉලුක් පඳුරුවලින් වැසී ගිය නාතගනේ පාසල් දරුවන්ගේ අනාගත ක්‍රීඩා සිහිනය

(14.08.2020 – 14:10 +0530 – hirunews.lk/sinhala)

ගම්මානයේ දරුවන්ගේ ක්‍රීඩා කෞෂල්‍යය වැඩි දියුණු කරනු වස්, ප්‍රදේශයේම පුද්ගලයෙකු විසින් වසර කිහිපයකට පෙර භූමිය ලබා දී වාරියපොළ නාතගනේ පාසල අසල පිහිටි ක්‍රීඩා පිටිය සංවර්ධනය කෙරුනා.

මෙම ක්‍රීඩා පිටිය පසුගිය කාලයේ ජනප්‍රිය ක්‍රිඩාපිටියක් ලෙසට ප්‍රදේශයේ බොහෝ දෙනා අතර ප්‍රචලිතව පැවතියද අද වන විට ඊට අත්ව ඇත්තේ අවාසනාවන්ත ඉරණමක්.

නවීන ආකාරයෙන් මෙහි ක්‍රීඩාගාරයක් ඉදි වන්නේ මීට වසර 5 කට පෙරාතුවයි.

ඒ රුපියල් ලක්ෂ 20 පමණ මුදලක් වැය කරමින්.

නමුත් අද දක්වාම එය ක්‍රීඩකයන්ගේ සුඛ විහරණය වෙනුවෙන් විවෘත නොකලද, ප්‍රදේශය අරක් ගෙන සිටින සතුන්ගේ රජ දහනක් බවට නම් පත්ව අවසන්.

නාතගනේ පාසල් දරුවන්ට ක්‍රීඩා කිරීමට ඇති එකම භුමිය මෙලෙස වල් බිහිවී තිබෙන පසුබිමක, අද ඔවුන්ට ක්‍රීඩාව හීනයක් බවට පත්ව අවසන්.

අනාගතයේ දිනක ජාත්‍යන්තර පදක්කමකින් ලක් මාතාවගේ ගෙල සැරසීමට හැකි ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් බිහි කල හැකි අක්කර එක හමාරකින් (1½) පමණ යුත් මේ ක්‍රීඩාභූමිය සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානයට යොමුවන්නේ කවදාද..?

*********************************************

පුත්තලම සහ හම්බන්තොට දිස්ත්‍රික්ක ආක්‍රමණය කළ කීඩෑ උවදුර

(14.08.2020 – 14:14 +0530 – hirunews.lk/sinhala)

ඕනෑම ගොවියෙකුගේ සිහිනය, සරු අස්වැන්නක්.

නමුත් අස්වනු නෙලීම ආසන්නයේම පවතිද්දී ඒ අස්වැන්න විනාශයට පත්වන්නේ නම් ඒ ගැන කාට කියන්නද..?

පුත්තලම සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලින් අපට එවන් පුවතක් වාර්තා වුණා.

පුත්තලම සහ කුරණැගල දිස්ත්‍රික්කවලට මායිමව පවතින ඉඟිනියාමිටිය ජලාශය අක්කර අඩි පනස් දහසක (50,000) පමණ ජල ධාරිතාවක් රඳවන වැවක්.

එමඟින් වම් ඉවුර සහ දකුණු ඉවුර වශයෙන් ප්‍රදේශයේ කුඹුර අක්කර දහස් ගණනකින් මුළු රටටම බත සැපයෙනවා.

යල මහ දෙකන්නයම අඩුවකින් තොරව වගා කරන මේ ගොවීන් අද වන විට දැඩි ලෙස පීඩාවට පත්ව ඇත්තේ තම වගාවට හානී කරන කීඩෑ උවදුරක් ප්‍රදේශය පුරා පැතිර ගොස් ඇති පසුබිමකයි.

මේ හේතුවෙන් ප්‍රදේශයේ කුඹුරු අක්කර 600 කට පමණ හානි පැමිණ තිබෙනවා.

මෙම කීඩෑ උවදුර වෙනුවෙන් විවිධ ප්‍රතිකර්මයන් යෙදුවද අද දක්වා ඒ සියල්ල, ගඟට කැපූ ඉණි හා සමාන වී තිබෙනවා.

*********************************************

සියලු විශ්වවිද්‍යාල සඳුදා (17) සිට යළි විවෘත කෙරේ

(14.08.2020 – 15:42 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් වරින්වර අත්හිටුවනු ලැබූ සියලු විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු ලබන සඳුදා (17) සිට යළි ආරම්භ කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා කොළඹ අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ඉරිදා (16) සිට සිසුන්ට නේවාසිකාගාර වෙත පැමිණිය හැකි බවයි.

**********************************************

උපාධිධාරින් සහ අඩු ආදායම්ලාභීන් එක්ලක්ෂ පනස් දහසකට (1,50,000) කඩිනමින් රැකියා

(14.08.2020 – 16:39 +0530 – hirunews.lk/sinhala)

උපාධිධාරින් 50,000 කට සහ අඩු ආදායම්ලාභීන් ලක්ෂයකට (1,00,000) රැකියා ප්‍රදානය කිරීමේ කටයුතු කඩිනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර තිබෙනවා.

ඒ අනුව, අඩු ආදායම්ලාභීන් රැකියා නියුක්ත කිරීම සඳහා ස්ථාපිත බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය ද සැප්තැම්බර් දෙවනදා (02) සිට ක්‍රියාත්මකයි.

එසේම, රැකියාලාභී උපාධිධාරින් 50,000 කගේ නාම ලේඛන ලබන සඳුදා (17) රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ ( http://www.lgpc.gov.lk/ ) පළ කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළා.

තෝරා ගනු ලැබූ උපාධිධාරින්ගේ පත්වීම් ලිපි අදාළ අමාත්‍යාංශය විසින් ඉදිරියේදී රැකියාලාභීන් වෙත යොමුකරන අතර, ඔවුන් සියලුදෙනා සැප්තැම්බර් 2 වනදා තමන්ට ආසන්නම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත වාර්තා කළ යුතුයි.

මේ අතර, ලබන 20 වනදා පෙරවරු 09:30 ට පාර්ලිමේන්තුව රැස්වීමට අදාළ ගැසට් නිවේදනය ජනාධිපතිවරයා විසින් නිකුත් කළ අතර එදින පස්වරු 03:00 ට පැවැත්වෙන 9 වන පාර්ලිමේන්තුවේ මංගල සභා වාරයේදී ජනාධිපතිවරයා විසින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ද ඉදිරිපත් කිරීමට නියමිතයි.

*********************************************

නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අගෝස්තු 20 පස්වරු 3 ට

(14.08.2020 – 17:27 +0530 – hirunews.lk/sinhala)

නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අගෝස්තු 20 වනදා පස්වරු 3 ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

ඒ නව පාර්ලිමේන්තුවේ මංගල සභා වාරයේදීයි.

ලබන 20 වන දා උදෑසන 09:30 ට ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තුව රැස්වන බවයි ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

එහිදී නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා මුලින්ම තෝරා පත් කර ගන්නා අතර, අනතුරුව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ඉදිරියේ ඔහු දිවුරුම් දීම සිදුකරනවා.

ඉන් අනතුරුවයි සියළුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කථානායකවරයා ඉදිරියේ සාමුහික දිවුරුම්දීම සිදුකරනු ලබන්නේ.

පසුව නියෝජ්‍ය කථානායකවරයා හා කාරක සභා සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සිදුකරනු ඇති.

නව කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතාගේ නම යෝජනා වී ඇති අතර, නියෝජ්‍ය කථානායක ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතාගේ නම යෝජනා වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

ඉන් අනතුරුව නියෝජ්‍ය කථානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා පත් කර ගැනීම සිදුවන බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන අංශය සඳහන් කළේ.

ඉන් පසු පාර්ලිමේන්තුවේ කටයුතු අත්හිටුවන අතර, පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් නව පාර්ලිමේන්තු සැසි වාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිත බව පාර්ලිමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළා.

පසුව ජනාධිපතිවරයා විසින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරනු ඇති ෴

**********************************************

මත්ද්‍රව්‍ය අඩංගු ‘ඉන්හේලර්’ සහ ‘ස්ප්‍රේ’ පාසල් දරුවන් අතර බෙදා හැරීමේ ජාවාරමක්

(14.08.2020 – 19:26 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධ පුද්ගලයින්ගේ බැංකු ගිණුම් හරහා පසුගිය සති දෙක තුළදී පමණක් රුපියල් කෝටි 220 කට අධික මුදලක් හුවමාරු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළා.

ඒ, පොලිස් මූලස්ථානයේ අද (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එමෙන්ම, පසුගිය වසර 03 ක කාලය තුළ බැංකු දෙකක තිබූ ගිණුම් 05 ක් තුළ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් රුපියල් කෝටි 31 කට අධික මුදලක් සංසරණය වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගල්කිස්ස ප්‍රදේශයේදී අද (14) අත්අඩංගුවට ගෙන ඇති, සැකකාර කාන්තාව බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සහෝදරියක් බවටයි අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඇයගේ බැංකු ගිණුම්වල තිබී රුපියල් ලක්ෂ 30 කට ආසන්න මුදලක් ද සොයාගෙන තිබුණා.

මේ අතර ඉන්දියාවේදී ඝාතනය කළ බවට පැවසෙන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘අංගොඩ ලොක්කා’ගේ ඇඟිලි සටහන් හා ඡායාරූප මේ වනවිටත් ඉන්දියාවට යොමුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළා.

එසේම, ජාවාරම්කරුවන් විසින් ‘ඉන්හේලර්’ සහ ‘ස්ප්‍රේ’ ආකාරයට මත්ද්‍රව්‍ය අඩංගු උපකරණ පාසල් සිසුන් අලෙවි කිරීමේ ජාවාරමක තොරතුරු වාර්තා වී ඇති බව ද ඔහු කියා සිටියා.

+++++++++++++

මුදල් විශුද්ධිකරණයට අදාළ පැමිණිලි භාර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිහිටුවා ඇති විශේෂ ඒකකය මේ වනවිට සිද්ධීන් 38 ක් පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දිගින් දිගටම පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමත් සමඟ අදාල ජාවාරම් සඳහා වැඩි වශයෙන් කාන්තාවන් යොමුවී ඇති බව මේ වනවිට අනාවරණ වී ඇති බවයි ඔහු එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කියා සිටියේ ෴

+++++++++++++++++++++

15-08-2020

*********************************************

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ අද (14) ලබාදුන් සාක්ෂිය

(14.08.2020 – 20:18 +0530 – hirunews.lk/sinhala)

මෙරට තුළ මරාගෙන මැරෙන ප්‍රහාරයක් දියත් වන බවට විදෙස් බුද්ධි සේවයක් ඔස්සේ තමන්ට තොරතුරු ලැබෙන විටත්, සහරාන්ට එවැනි ප්‍රහාරයක් සිදුකිරීමේ භෞතික හා මානසික හැකියාවක් තිබූ බවට තමන් දැන සිටි බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා අද (14) පිළිගනු ලැබුවා.

ඒ, පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ අද (14) 11 වන දිනටත් සාක්ෂි ලබාදෙමින්.

පාස්කු ඉරිදා මෙරට තුළ ත්‍රස්ත ප්‍රහාර මාලාවක් සිදුවන බවට විදෙස් බුද්ධි අංශයකින් මුල්වරට බුද්ධි තොරතුර ලද රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතාගෙන් සාක්ෂි ලබාගැනීම සඳහා අද (14) කොමිසම හමුවට කැඳවා තිබුණේ එකොළොස් වන (11) දිනටයි.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටින රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය ප්‍රශ්න කළේ, විදෙස් බුද්ධි අංශයකින් ලද තොරතුරෙහි ඇතුළත් වූ නම් දරණ පුද්ගලයින් පිළිබඳ ඒ වනවිටත් රාජ්‍ය බුද්ධි සේවයට තොරතුරු පැවතියේද යන්නයි.

+++++++++++++++++++++

අලි සබ්‍රි මහතා සහ ලංකාවේ දෘඪ සහ මෘදු වහාබ් අන්තවාදී ව්‍යාප්තවාදය

(11.08.2020 – 08:44 +0530 – lankaleadnews.com)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *