තැඹිලි, අන්නාසි සමඟ ඩුබායි යන්න ගිය, රුපියල් එක්කෝටි විසි පන්ලක්ෂයක (1,25,00,000) වල්ලාපට්ටා සහ සඳුන් රේගු භාරයට

තැඹිලි, අන්නාසි සමඟ ඩුබායි යන්න ගිය, රුපියල් එක්කෝටි විසි පන්ලක්ෂයක (1,25,00,000) වල්ලාපට්ටා සහ සඳුන් රේගු භාරයට

පරිභෝජනයට නුසුදුසු හාල් මැස්සන් විකිණීමේ කූඨ ක්‍රියාවලියක්

කොරෝනා වැළඳුනු දකුණු ඉන්දීය ගායක එස්.පී. බාලසුබ්‍රමනියම්ට අසාධ්‍යයි

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අටක් (8) ගැසට් කෙරේ

ඇමති නාමල් රාජපක්ෂ සර්ෆින් ක්‍රීඩාවේ

සේනා දළඹුවන් පස්සරින් යළි හිස ඔසවයි

නව පාර්ලිමේන්තුවේ සභා නායකට දිනේෂ් සහ, ප්‍රධාන සංවිධායක ධුරයට ජොන්ස්ටන් යෝජනා වෙයි – විපක්ෂයටත් නම් 4 ක්

පැරදුණු මැති ඇමතිවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීම, ආරක්ෂක තක්සේරුවකින් පසු

නව රජයේ අමාත්‍යවරුන්ගෙන් සිය ඡන්ද දායකයින්ට ස්තුතිය

බන්ධනාගාර නියාමකවරයෙකු හෙරොයින් සමඟ රත්නපුරයේදී අත්අඩංගුවට

*********************************************

තැඹිලි, අන්නාසි සමඟ ඩුබායි යන්න ගිය, රුපියල් එක්කෝටි විසි පන්ලක්ෂයක (1,25,00,000) වල්ලාපට්ටා සහ සඳුන් රේගු භාරයට

(15.08.2020 – 07:28 +0530 – hirunews.lk/sinhala)

මඤ්ඤොක්කා, ගස්ලබු, තැඹිලි සහ අන්නාසි අතර සඟවා වල්ලාපට්ටා සහ සඳුන් ඩුබායි වෙත නීතිවිරෝධී ලෙස අපනයනය කිරීමට දැරූ උත්සාහයක් ශ්‍රී ලංකා රේගුව ව්‍යර්ථ කර තිබෙනවා.

කිලෝග්‍රෑම් 120 ක් වූ වල්ලාපට්ටා සහ සඳුන් කිලෝග්‍රෑම් 120 ක් මෙම ද්‍රව්‍ය පැටවූ බහාලුමේ සගවා තිබූ අතර එහි වටිනාකම රුපියල් 1,25,00,000 අධික බවයි රේගුව ප්‍රකාශ කළේ.

එහි පැළෑටි නිරෝධායනයන අංශයේ නිලධාරීන්ගේ සහය ඇතිවයි ඔරුගොඩවත්ත අපනයන බහාලුම් මධ්‍යස්ථානයේ තිබී අදාළ බහලුම පරීක්ෂාවට ලක් කර ඇත්තේ.

කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි අපනයනකරුවෙකු විසින් අදාළ බහාලුම ඩුබායි වෙත යැවීමට උත්සාහ කර ඇති බව සදහන්.

මෙම අනාවරණයත් සමඟ අපනයනකරු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු (3) රේගු භාරයට ගෙන ඇති අතර, ඔවුන්ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි ශ්‍රී ලංකා රේගුව වැඩිදුරටත් සඳහන් කළේ ෴

+++++++++++++++

නීතිවිරෝධීව ඩුබායි වෙත රුපියල් එක්කෝටි විසිපන් ලක්ෂයකට (1,25,00,000) අධික වටිනාකමකින් යුත් වල්ලපට්ටා සහ සඳුන් අපනයනයන කිරීමට දැරු උත්සහයක් ශ්‍රී ලංකා රේගුව විසින් ව්‍යර්ථ කර තිබෙනවා.

මේ අතර ග්‍රෑන්ඩ්පාස් මෝදර උයන නිවාස සංකීර්ණයේ ඊයේ (14) සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් 61 දෙනෙකු අත්අඩංගුවට ගත්තා.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ උපදෙස් අනුව ග්‍රෑන්ඩ්පාස් පොලීසිය ඊයේ (14) පස්වරුවේ ග්‍රෑන්ඩ්පාස් මෝදර උයන නිවාස සංකීර්ණයේ මෙම විශේෂ සෝදිසි මෙහෙයුම දියත් කළා.

පොලිස් නිල සුනඛයින් සහ පොලිස් නිලධාරින් 518 දෙනෙකු මෙම මෙහෙයුමට එක්ව සිටි අතර ග්‍රෑන්ඩ්පාස් මෝදර උයන නිවාස සංකීර්ණය ආශ්‍රිතව තිබූ රථ වාහන සහ නිවාස 870 පමණ පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කලේ මෙම වැටලිමෙදි හෙරොයින් ග්‍රෑම් 39 ක්, ගංජා ග්‍රෑම් 85 ක් සහ මත්පෙතිද සොයාගත්බවයි.

එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවරමේ නිරතවුවන් සතුව තිබු මුදල් තොගයක්ද සොයා ගැනිමට පොලිසිය සමත් වුණා.

පොලීසිය පැවසුවේ මෙම හදිසි සොදිසි මෙහෙයුමෙදි සැකකරුවන් 61 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි රන්මාල කොල්ල කෑමේ සිද්ධීන් විශාල ප්‍රමාණයකට අදාල නඩුවලට සම්බන්ධව අධිකරණය මගහරිමින් සිටි විවෘත වරෙන්තු 20 ක් ලැබ සිටි හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවකු හොරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර වල්ලපට්ටා සහ සඳුන් තොගයක් ඩුබයි වෙත නීතිවිරෝධී ලෙස අපනයනය කිරිමට දැරූ උත්සහයක් ශ්‍රී ලංකා රේගුව මගින් ව්‍යර්ථ කර තිබෙනවා.

අදාල වල්ලපට්ටා සහ සඳුන් තොගය මඤ්ඤාක්කා, ගස්ලබු, තැඹිලි, අන්නාසි අතර සගවා අපනයනය කිරිමට උත්සහ කර තිබුණා.

රේගුව ප්‍රකාශ කළේ වල්ලාපට්ටා කිලෝග්‍රෑම් 120 ක් සහ සඳුන් කිලෝග්‍රෑම් 120 ක් මෙම ද්‍රව්‍ය පැටවු බහාලුමේ සගවා තිබු අතර එහි වටිනාකම රුපියල් 1,25,00,000 ට අධික බවයි.

ඔරුගොඩවත්ත අපනයන බහාලුම් මධ්‍යස්ථානයේ තිබී අදාළ බහලුම පරික්ෂණවට ලක් කර ඇත්තේ එහි පැළැටි නිරෝධායනය අංශයේ නිලධාරින්ගේ සහයද ඇතිවයි.

කොල්ලුපිටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු විසින් අදාළ බහාලුම ඩුබායි වෙත යැවිමට උත්සහ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ව්‍යාපාරිකයා ඇතුළු පුද්ගලයින් 3 දෙනෙකු රේගු භාරයට ගෙන ඇති අතර ශ්‍රී ලංකා රේගුව පැවසුවේ ඔවුන්ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරිම් සිදුකරන බවයි.

මේ අතර, නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනයට යොදාගන්නා ගෝඩා මිලිලීටර් ලක්ෂ 4 ක් සහ ස්ප්‍රීතු ලීටර් 20 ක් සමග සැකකරුවන් තිදෙනෙකු (3) යටියන්තොට පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, මුදල් විශුද්ධිකරණයට අදාළ පැමිණිලි භාර ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ පිහිටුවා ඇති විශේෂ ඒකකය මේ වනවිට සිද්ධීන් 38 ක් පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය පවසනවා.

මේ අතර, විවිධ වැරදිවලට සම්බන්ධ බන්ධනාගාර නිලධාරින් 15 දෙනෙකු මේ වන විට වැඩ තහනමට ලක් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමෙන්තුව පවසනවා.

ඒමෙන්ම බන්ධානාගාර නිලධාරීන් 21 දෙනෙකු වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යවා ඇති බවද එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

බුස්ස බන්ධනාගාරයේ ජේලර්වරුන් දෙදෙනෙකු (2) ඇතුළු නිලධාරින් 10 දෙනෙකු, මීගමුව බන්ධනාගාරයේ 9 දෙනෙකු මෙන්ම දුම්බර සහ වාර්යපොල බන්ධනාගාරවල නිලධාරීන් දෙදෙනෙකු (2) මෙලෙස ස්ථාන මාරු කර තිබෙනවා.

මෙම ස්ථානමාරු විම් ලබා දි ඇත්තේ බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරින් විසින් ලබා දී තිබු තොරතුරු මතයි.

*******************************************

පරිභෝජනයට නුසුදුසු හාල් මැස්සන් විකිණීමේ කූඨ ක්‍රියාවලියක්

(14.08.2020 – 20:31 +0530 – hirunews.lk/sinhala)

කුරුණෑගල – පොල්පිතිගම විවිධ සේවා සමුපාකාර සමිතිය හරහා පාරිභෝජනයට නුසුදුසු හාල් මැස්සන් කිලෝ 7,000 ක් පාරිභෝගියන්ට විකිණීමේ කූඨ ක්‍රියාවලියක් මේ දිනවල ක්‍රියාත්මක වනවා.

අද (14) ‘හිරු සී.අයි.ඒ.’ හරහා අනාවරණය ඒ පිළිබඳවයි.

පුස් බැදී හා කුණු වී පාරිභෝජනයට නුසුදුසු තත්තයේ ඇති මෙම හාල් මැස්සන් තොගය ගබඩා කර ඇත්තේ පොල්පිතිගම විවිධ සේවා සමුපාකාර සමිතියට අයත් මඩගල්ල ප්‍රදේශයේ පවතින ගබඩාවේයි.

‘හිරු සී.අයි.ඒ.’ කළ විමර්ශනයේදී හෙළිවුයේ මෙම හාල්මැස්සන් තොගය පොල්පිතිගම විවිධ සේවා සමුපාකාර සමිතියේ සභාපතිවරයාගේ දැඩි බලපෑම මත පෞද්ගලික ආයතනයක් හරහා මිලදී ගෙන ඇති බවයි.

මෙම තොගය මිලදී ගැනීම සදහා මුදල් ගෙවීම් සිදුකිරීමේ දී ද සාමාන්‍යයෙන් සැපිරිය යුතු ක්‍රමවේද ඉක්මවාගොස් සභාපතිවරයා කටයුතු කර ඇති බව වාර්තා වනවා.

මේ වනවිට ප්‍රදේශයේ වෙනත් සමුපකාර ශාඛා හරහා ද පාරිභෝජනයට නුසුදුසු මෙම හාල් මැස්සන් අලෙවි කෙරෙමින් පවතිනවා.

ඊට අමතරව තොග වෙළෙන්දන්ට ද පුස් බැදීල කුණු වී ඇති හාල් මැස්සන් අලෙවි කරන බව ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණයෙන් හෙළිවුණා.

අපගේ මෙම අනාවරණය හමුවේ සමුපාකාර සමිති නියාමනය කරන මෙරට වගකිව යුතු රාජ්‍ය ආයතන මෙහි සිදුව ඇති මුල්‍ය අක්‍රමිකතාව සොයා බලන්නේදැයි ‘හිරු සී.අයි.ඒ.’ ඉදිරියේදීත් අවධානයෙන්.

*********************************************

කොරෝනා වැළඳුනු දකුණු ඉන්දීය ගායක එස්.පී. බාලසුබ්‍රමනියම්ට අසාධ්‍යයි

(15.08.2020 – 07:18 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2886 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ ඊයේ (14) දිනයේදී කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙකු (4) වාර්තා වීමත් සමඟයි.

ජපානයේ පැමිණි පුද්ගලයෙකුට සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටින පුද්ගලයින් 3 දෙනෙකු කොරෝනා ආසාදනය වී ඇති බවට ඊයේ (14) හඳුනා ගැණුනා.

මේ අතර, සුවය ලැබූ තවත් ආසාදිතයින් 12 දෙනෙකු ඊයේ (14) දිනයේ රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව, සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2658 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

පුද්ගලයින් 217 දෙනෙකු තවදුරටත් වෛද්‍ය අධීක්ෂණ යටතේ ප්‍රතිකාර ලබනවා.

මේ අතර, ඕමානයේ සහ චීනයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 306 දෙනෙකු ඊයේ (14) සවස ගුවන් යානා දෙකකින් කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණියා. පස්වරු 06:30 ට චීනයේ – ෂැංහයි නුවර සිට පැමිණි චයිනා ඊස්ටන් ගුවන් සේවයට අයත් එම්.යූ. 231 දරණ ගුවන් යානයෙන් එරට රැදී සිටි ශ්‍රී ලාංකිකයින් 10 දෙනෙකු මෙරටට පැමිණ තිබුණා.

එමෙන්ම, රාත්‍රී 06:55 ට ඕමානයේ මස්කට් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 206 දරණ විශේෂ ගුවන් යානයකින් ශ්‍රී ලංකිකයින් 296 දෙනෙකු මෙරටට පැමිණි අතර ඔවුන් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමුකිරීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා යොමුකර තිබෙනවා.

මේ අතර, කොවිඩ් 19 ආසාදනය වීම නිසා රෝහල්ගත කෙරුණු සුප්‍රකට දකුණු ඉන්දීය ගායකයෙකු වන එස්.පී. බාලසුබ්‍රමනියම් මහතාගේ තත්ත්වය අසාධ්‍ය බව ඉන්දීය මාධ්‍ය සඳහන් කළා.

ප්‍රවීන ගායකයා ඇතුළත් කෙරුණු චෙන්නායි නුවර එම්.ජී.එම්. රෝහල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ඔහු දැඩි සත්කාර ඒකකයේ ජීවිතාරක්ෂක උපකරණ හා සම්බන්ධ කර ඇති බවයි.

කොරෝනා වෛරස් සුළු රෝග ලක්ෂණ සහිතව රෝහල්ගත කෙරුණු එස්.පී. බාලසුබ්‍රමනියම් මහතාට ඔක්සිජන් ප්‍රතිකාර ද ලබාදෙන බව සඳහන්.

පසුගිය දින 10 තුළම ලොව පුරා දිනක වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වූයේ ඉන්දියාවෙන්.

මේ වන විට එරට මුළු ආසාදිතයන් සංඛ්‍යාව 24,61,000 ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව 48,000 කට අධිකයි.

ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 2,13,35,000 ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව 7,62,429 ක් ෴

**********************************************

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අටක් (8) ගැසට් කෙරේ

(15.08.2020 – 07:31 +0530 – hirunews.lk/sinhala)

සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 07 දෙනාගේ නම් මේ වනවිට අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

රංජිත් මද්දුමබණ්ඩාර, තිස්ස අත්තනායක, ඉමිතියාස් බාකිර් මාකර්, ඉරාන් වික්‍රමරත්න, හරීන් ප්‍රනාන්දු, මයන්ත දිසානායක සහ ඩයනා ගමගේ යන අයගේ නම් ඊට ඇතුළත්.

එමෙන්ම, ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හිමිවූ ආචාර්ය හරිනි අමරසූරියගේ නම ද මේ වනවිට ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කෙසේ වෙතත්, එක්සත් ජාතික පක්ෂයට සහ අපේ ජනබල පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙහි නම් තවමත් ප්‍රකාශයට පත් කර නැහැ.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා කවුරුන් පත් කරන්නේ ද යන්න පිළිබඳව මැතිවරණ කොමිසමට දැනුම් දීමට තිබූ කාලය ඊයේ (14) දිනයෙන් අවසන් වුණා.

මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ මෙතෙක් අදාළ මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම දැනුවත් නොකළ පක්ෂ සඳහා ඉදිරියේ ඕනෑම දිනකදී යළි කොමිසම දැනුවත් කිරීමට හැකියාව පවතින බවයි.

එක්සත් ජාතික පක්ෂය ද තවම සිය මන්ත්‍රී ධුරය ප්‍රකාශයට පත් කර නොමැති අතර, අපේ ජනබල පක්ෂයේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් එම පක්ෂය තුළ අභ්‍යන්තර ගැටුමක් ද හට ගෙන තිබෙනවා ෴

*********************************************

ඇමති නාමල් රාජපක්ෂ සර්ෆින් ක්‍රීඩාවේ

(15.08.2020 – 12:26 +0530 – hirunews.lk/sinhala)

ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (15) උදෑසන හම්බන්තොට වෙරළ තීරයේදී ‘රළ මත ලිස්සා යාමේ’ ක්‍රිඩාවේ නිරත වුණා.

ඒ හම්බන්තොට වෙරළ ආශ්‍රිතව සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන්.

මේ සදහා නාමල් රාජපක්ෂ මහතාගේ ක්‍රිඩා පුහුණුකරු වන ඕස්ට්‍රේලියානු ජාතික ස්ටීව් ටේලර් මහතා ඇතුළු පිරිසක්ද එක්ව සිටියා.

+++++++++++++++++++++

**********************************************

සේනා දළඹුවන් පස්සරින් යළි හිස ඔසවයි

(15.08.2020 – 12:52 +0530 – hirunews.lk/sinhala)

සේනා දළඹුවන් හේතුවෙන් අසරණ වු ගොවීන් පිරිසක් පිළිබදව පස්සර – ලුණුගල – මැටිගහතැන්න ගම්මානයෙන් වාර්තා වනවා.

එම ගොවීන් පෙන්වා දෙන්නේ, පවතින තත්ත්වය හමුවේ තම එකම ආදායම් මාර්ගයද මේ වන විට ඇහිරී ගොස් ඇති බවයි.

පස්සර ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මැටිගහතැන්න ගම්මානයේ ගොවීන් මෙවර අතිරේක භෝගයක් ලෙස බඩ ඉරිඟු වැවීමට පියවර ගත්තේ කෘෂි නිලධාරින්ගේ උපදෙස් මතයි.

වර්ෂා කාලයට මෙම ගොවීන් වී වගාවට යොමුවුවද, වර්ෂාව රහිත කාලයේදි ජලය සපයා ගැනීමට ඇති අපහසුතාව හේතුවෙන් ඔවුන් අතිරේක භෝග වගාවන්ට යොමුවනවා.

ඒ අනුව මැටිගහතැන්න ගම්මානයේ ගොවීන් මෙවර අක්කර 40 කට වැඩි වපරිසයක බඩඉරිඟු වගාව සඳහා යොමුවූයේ මෙම කාලයේදී තම එකම ආදායම් මාර්ගය එය වන බැවින්.

කෙසේ වෙතත්, මෙවර අස්වැන්න පීදීමටත් පෙර සේනා දළඹුවන්ගෙන් බඩඉරිඟු වගාවට බලපෑම් එල්ලවී තිබෙනවා.

මෙම වගා හානිය පිළිබඳව කෘෂි නිලධාරීන් දැනුවත් කළද මෙතෙක් කිසිදු ක්‍ෂේත්‍ර පරීක්ෂාවකට නොපැමිණි බවයි ගොවීන් චෝදනා කරන්නේ.

මීට පෙර සේනා දළඹු ආක්‍රමණය හේතුවෙන් දිවයින පුරා ගොවීන් විශාල පිරිසකට බලපෑම් එල්ලවූ අතර, පස්සර – ලුණුගල – මැටිගහතැන්න ගම්මානයේ ගොවීන් නගන චෝදනාව පිළිබඳව අප කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන්ගෙන් විමසීමක් කළා.

ඔහු සඳහන් කළේ එවැනි තත්ත්වයක් පිළිබදව තමා දැනුවත් කර නොමැති අතර, ඒ පිළිබද සොයා බලා විසදුමක් ලබාදීමට කටයුතු කරන බවයි ෴

********************************************

නව පාර්ලිමේන්තුවේ සභා නායකට දිනේෂ් සහ, ප්‍රධාන සංවිධායක ධුරයට ජොන්ස්ටන් යෝජනා වෙයි – විපක්ෂයටත් නම් 4 ක්

(15.08.2020 – 13:04 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවේ සභානායක ධුරය යළිත් වතාවක් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ලබාදීම සම්බන්ධයෙන් යෝජනාවී ඇති බව වාර්තාවනවා.

ආණ්ඩු පක්ෂයට සමීප ආරංචි මාර්ග සඳහන් කළේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට ලබාදීම සම්බන්ධයෙන්ද අවධානය යොමුවී ඇති බවයි.

මීට පෙරද ඔවුන් එම තනතුරුවල කටයුතු කරනු ලැබුවා.

කෙසේ වෙතත් මෙම පත්වීම් සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි වාර්තාවන්නේ.

මේ අතර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා සමගි ජන බලවේගයේ 4 දෙනෙකුගේ නම් යෝජනාව වී තිබෙනවා.

එම පක්ෂයට සමීප ආරංචි මාර්ග සදහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, ලක්ෂ්මන් කිරිඇල්ල, පාඨලී චම්පික රණවක සහ ආචාර්ය හර්ෂ ද සිල්වා ඊට යෝජනා වී ඇති බවයි.

මේ අතර, නව කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා බොහෝ දුරට පත් කරනු ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර, අලුතින් තේරී පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික තොරතුරු හා දත්ත ඔන්ලයින් හෙවත් මාර්ග ගත ක්‍රමය ඔස්සේ ලබාදීමට තිබූ කාලය අද දිනයෙන් අවසන් වන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පවසනවා.

අදාළ තොරතුරු ලබාදීම සඳහා මන්ත්‍රීවරුන් දැඩි උද්යෝගයක් දක්වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ඊයේ දිනය (14) වන විට මන්ත්‍රීවරුන් 175 කට වැඩි පිරිසක් තම පෞද්ගලික තොරතුරු ලබාදී මාර්ගගත ක්‍රමය ඔස්සේ ලියාපදිංචි වී ඇති බව සඳහන්.

නව පාර්ලිමේන්තුවේ මංගල සභා වාරය ලබන 20 වනදා උදෑසන 09:30 ට ආරම්භවීමට නියමිතයි ෴

********************************************

පැරදුණු මැති ඇමතිවරුන්ගේ ආරක්ෂාව ඉවත් කිරීම, ආරක්ෂක තක්සේරුවකින් පසු

(15.08.2020 – 13:14 +0530 – hirunews.lk/sinhala)

මහ මැතිවරණයෙන් පරාජයට පත්වූ මැති ඇමතිවරුන්ට තවදුරටත් ආරක්ෂාව ලබාදෙනවාද, නැද්ද යන්න පිළිබඳව තීරණය කෙරෙන්නේ ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරුවක් කිරීමෙන් අනතුරුව බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා මේ බව කියා සිටියේ අද (15) දිනයේ ජාතික පුවත්පතක පළවී තිබූ වාර්තාවක් සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදියි.

එම වාර්තාවේ සඳහන් වූයේ මහ මැතිවරණයෙන් පරාජයට පත්වූ 81 දෙනෙකුගේ ආරක්ෂක නිලධාරීන් ඉදිරි සතියේ සිට ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි.

කෙසේ වෙතත් එලෙස ආරක්ෂාව කඩිනමින් ඉවත් කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ආරක්ෂක නිලධාරීන් හතරදෙනෙකු (4) ද, අමාත්‍යවරයෙකුට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු (1) ඇතුලු නිලධාරීන් අටදෙනෙකු (8) ද සේවය සපයනු ලබනවා.

*******************************************

නව රජයේ අමාත්‍යවරුන්ගෙන් සිය ඡන්ද දායකයින්ට ස්තුතිය

(15.08.2020 – 14:16 +0530 – hirunews.lk/sinhala)

නව රජයේ අමාත්‍යධුර හිමි වූ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සිය ඡන්ද දායකයින්ට ස්තුතිය පළ කිරීමේ ජනහමු කිහිපයකට එක්වුණා.

එහිදී ඔවුන් රජයේ ඉදිරි සැලසුම් සම්බන්ධයෙන්ද අදහස් පළ කළා.

මේ අතර, මැතිවරණයේදී ජනතාව ලබාදුන් සහයෝගයට ස්තුතිය පළකිරීම සඳහා හම්බන්තොට පැවති ජන හමුවකදී අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ යන මහත්වරුන් අදහස් පළකළා.

+++++++++++++++++++++++++++++++++++++++++

බන්ධනාගාර නියාමකවරයෙකු හෙරොයින් සමඟ රත්නපුරයේදී අත්අඩංගුවට

(15.08.2020 – 14:44 +0530 – hirunews.lk/sinhala)

කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ නියාමකවරයෙකු රත්නපුර – ඇත්ඔය ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 4 යි මිලිග්‍රෑම් 590 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රත්නපුර කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙලෙස අත්අඩංගුවට පත්ව නියාමකවරයා රත්නපුර – මුද්දූව ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු සතුව තිබී ජංගම දුරකථන 2 ක් සහ බන්ධනාගර නිළ හැඳුනුම්පතක් ද හමුවී තිබෙනවා.

අත්අඩංගුවට ගත් බන්ධනාගාර නියාමකවරයා හෙට රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිත බවයි රත්නපුර කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *