CID ය, දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයන ජනපති කොමිසමේ දැඩි දෝෂ දර්ශනයට

CID ය, දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයන ජනපති කොමිසමේ දැඩි දෝෂ දර්ශනයට

ඕස්ට්‍රේලියාවෙන් නාවික හමුදාවට සෞඛ්‍යාරක්ෂිත උපකරණ තොගයක්

මුහුදු රැකියාවට ගිය දරුවෙකුට වදහිංසා පමුණුවයි

උපතේ සිට ආබාධිත දරුවන් ජීවත් කරවීමට වෙර දරන වැඩිමහල් මාපිය යුවළක්

පාරම්පරික වඩු කර්මාන්තයට විවිධ පාර්ශ්ව වලින් බලපැම්

බන්ධනාගාර රැදවියන් බැලීමට අද සිට අවස්ථාව

ගිනි අවි තුනක් (3) සමග සැකකරුවන් තුන්දෙනෙකු (3) අත්අඩංගුවට

වේයන්ගොඩට මත්කුඩු බෙදූ හැට්ටයා අත්අඩංගුවට

ඔන්ලයින් ක්‍රමයට මන්ත්‍රීවරුන් 200 කට වැඩි පිරිසක් තොරතුරු ලබා දෙයි

පාස්කු කොමිසම පැයක් කටුවාපිටියේ

අමරපුර මහානිකායේ නව මූලස්ථාන ගොඩනැගිල්ල විවෘත කෙරේ

සැප්තැම්බරයේ ව්‍යවස්ථා සංශෝධනයක් සිදුවන ලකුණු

‘අපේ ජන බල පක්ෂයේ’ මහලේකම් හිමියන්ට විරුද්ධව පාර්ශ්ව දෙකකින් (2) පැමිණිලි

******************************************

CID ය, දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයන ජනපති කොමිසමේ දැඩි දෝෂ දර්ශනයට

(15.08.2020 – 14:58 +0530 – hirunews.lk/sinhala)

යහපාලන ආණ්ඩු සමයේ දී, උතුරු පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලියේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ක්‍රියාකර ඇති ආකාරය දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ඊයේ (14) දැඩි දෝෂ දර්ශනයට ලක් වුණා.

ඒ , ඌව පළාතභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ සහකාර ලේකම්, පොලිස් අධිකාරී සිසිර තිසේරා මහතා කොමිසමට කළ කරුණු දැක්වීමේදීයි.

ඌව පළාතභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ සහකාර ලේකම්, පොලිස් අධිකාරී සිසිර තිසේරා මහතා දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (14) සාක්ෂි ලබා දුන්නා.

යාපනය විද්‍යා ඝාතන නඩුවට අදාළ ප්‍රධාන සැකකරුවෙකු වන මහලිංගම් ශෂි කුමාර් හෙවත් ස්විස් කුමාර්ට පලා යෑමට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් තමා අත්අඩංගුවට ගැනීම දේශපාලනික බලපෑම් මත සිදු කර ඇති බවට ලලිත් ජයසිංහ මහතා කොමිසමට පැමිණිලි කර තිබෙනවා.

සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලැබූ විමර්ශනයට අදාළ අධීක්ෂණ නිලධාරියා ලෙස එවකට කටයුතු කර ඇත්තේ, සිසිර තිසේරා මහතායි.

ඒ අනුව 2017 ජුනි 22 වැනිදා සිට අගෝස්තු 21 දක්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබුණු ෆැක්ස් පණිවිඩ යොදන සටහන් පොතෙහි ගැටළු රැසක් ඇති බව කොමිසමේ දී අනාවරණය කෙරුණා.

එහිදී අනාවරණය වූ කරුණු වනුයේ,

විද්‍යා ඝාතන නඩුවට අදාළව ලලිත් අනුරුද්ධ ජයසිංහ මහතා සම්බන්ධ සටහන් ටිපෙක්ස් කර මකා දැමීම, පොතෙහි සදහන් සෙසු සටහන් නිල් පෑනකින් සටහන් කර ලලිත් ජයසිංහ මහතාට අදාළ සිද්ධි පමණක් කළු පෑනකින් සටහන් කිරීම, අදාළ ෆැක්ස් පණිවිඩ සටහන් කළ නිලධාරීන්ගේ නම් සඳහන් නොවීමද ගැටළු සහගත බව කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා සඳහන් කළා.

අදාළ සටහන් පොත අවිධිමත් ලෙස පවත්වා ගෙන ගොස් ඇතැයි කොමිසම නිරීක්ෂණය කර ඇති බවට වගඋත්තරකාර සිසිර තිසේරා මහතා ට දැඩි ලෙස අවවාද කරමින් උපාලි අබේරත්න මහතා කියා සිටියා.

ඔහු පැවසුවේ සාක්ෂිකරු සත්‍ය සැඟවීමට උත්සාහ කරන බවත්, අදාල පිටු වෙනත් ස්ථානයක සකස් කර ඊට අමුණා ඇති බවට උපකල්පනයකට එළඹිය හැකි බවයි

කෙසේ වෙතතත් වසර 32 ක සේවා කාලය තුළ තමාට මෙවැනි ආකාරයේ කිසිදු චෝදනාවක් නොමැති බවත්, රාජකාරියට පිටුපා දේශපාලනඥයන්ගේ බලපෑම්වලට යටත් ව තමා කිසි දිනක කටයුතු කර නොමැති බවත් සිසිර තිසේරා මහතා පැවසුවා.

සිද්ධියට අදාළව වගඋත්තරකරුවෙකු ලෙස නම් කර ඇති දැනට බන්ධනාගාර ගතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ද කොමිසම හමුවේ පෙනී සිටියා.

********************************************

ඕස්ට්‍රේලියාවෙන් නාවික හමුදාවට සෞඛ්‍යාරක්ෂිත උපකරණ තොගයක්

(15.08.2020 – 15:09 +0530 – hirunews.lk/sinhala)

ඕස්ට්‍රේලියානු ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් රුපියල් මිලියන 23.4 ක් වටිනා සෞඛ්‍යාරක්ෂිත උපකරණ තොගයක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත අද (15) ප්‍රදානය කළා.

කොළඹ පිහිටි ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් නිල නිවසේදී මෙම ප්‍රදානය සිදුකෙරුණු අතර ඊට ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා ද එක්ව සිටියා.

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ගෲප් කපිතාන් ෂොන් අන්වින් මහතා විසින් නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා වෙත සංකේතාත්මකව මෙම ප්‍රදානය සිදුකළ බවයි නාවික හමුදාව නිවේදනය කළේ.

සෞඛ්‍යාරක්ෂිත ඇඳුම් කට්ටල 12,000 ක් සහ අත් ආවරණ දෙලක්ෂයක් මෙලෙස ප්‍රදානය කළ අතර, කොරෝනා වෛරස ව්‍යාප්තිය වැළැක්වීමේදී නාවික හමුදාවේ දායකත්වය ඇගයීමට ලක් කරමිනුයි මෙම සෞඛ්‍යාරක්ෂිත උපකරණ තොගය ප්‍රදානය කෙරුණේ ෴

**************************************

මුහුදු රැකියාවට ගිය දරුවෙකුට වදහිංසා පමුණුවයි

(15.08.2020 – 15:17 +0530 – hirunews.lk/sinhala)

ළමයෙකු මුහුදු රැකියාවේ ගෙන ගොස් අමානුෂික ලෙස වද හිංසා කර තුවාල සිදුකිරීමේ සිද්ධියක් මාතර ප්‍රදේශයෙන් වාර්තා වනවා.

17 හැවිරිදි වියේ පසුවන මිරිස්ස – බණ්ඩාරමුල්ල ප්‍රදේශයේ පදිංචි ඔහු දරුවන් 5 දෙනෙකුගෙන් යුත් පවුලක වැඩිමහල් දරුවායි.

ජුලි 28 වනදා බහුදින යාත්‍රාවකින් මුහුදු ගොස් ඇති මෙම ළමයා ඇතුළු පිරිස යළි දිවයිනට පැමිණ ඇත්තේ අගෝස්තු 12 වනදායි.

දැලට හසුවූ මත්ස්‍යයෙකු ඉන් මිදීයාම පිළිබඳ උරණවී අනෙකුත් ධීවරයන් තමන්ට පහරදුන් බව මෙම ළමයා ප්‍රකාශ කරනවා.

ඔහුගේ සිරුරේ තැනින් තැන කැපුම් තුවාල ද දක්නට ලැබෙන බව අප වාර්තාකරු ප්‍රකාශ කළා.

මේ වනවිට දෙමාපියන් විසින් මෙම ළමයා මාතර රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 4 දෙනෙකු සොයා මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මාතර – කොටවිල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

*******************************************

උපතේ සිට ආබාධිත දරුවන් ජීවත් කරවීමට වෙර දරන වැඩිමහල් මාපිය යුවළක්

(15.08.2020 – 15:41 +0530 – hirunews.lk/sinhala)

උපතේ සිට ආබාධිත දරුවන් හතර දෙනෙකු (4) ජීවත් කරවීම සඳහා වෙර දරන 78 හැවිරිදි සහ 75 හැවිරිදි මාපිය යුවළක් පිළිබඳව අපට දඹුල්ල හල්මිල්ළැව ප්‍රදේශයෙන් වාර්තා වුණා.

දඹුල්ල දෙහිප්පාව ප්‍රදේශයේ ජීවත් වන මේ පවුලේ සාමාජිකයන් ගණන 6 ක්.

පවුලේ බර කරටගත් පියාට දැන් වයස අවුරුදු 78 ක්. නිසි ආකාරයෙන් වාරු නොමැතිව අසරණව සිටින මවට වයස අවුරුදු 75 ක්.

වයෝවෘද වියේ පසුවන මේ මාපිය යුවල දරුවන් සිව්දෙනෙකු (4) මෙලොවට දායද කලද තවමත් තම දරුවන් වෙනුවෙන් විඳින දුක් ගැහැට මෙතැයි කියා කිව නොහැකි තරම්.

වයස අවුරුදු පනස් දෙකක් (52) සපිරෙන වැඩිමහල් දියණියගේ පටන් පවුලේ බාලයා දක්වාම මේ පවුලේ සියලුම දරුවන් අද දිවිගෙවන්නේ අබලන් වූ රෝද පුටුවට සීමා වෙමින්.

මේ පවුලට තුන්වේලට අවශ්‍ය තරම් ආහාර පාන සපයන්නේ දෙහිප්පාව දඹුලු හල්මිල්ලෑව යුද හමුදා කඳවුරේ නිලධාරීන්ගේ දායකත්වයෙන්.

නිසි ලෙස ජල පහසුකමක් නොමැති වීම නිසා මොවුනට දිය නෑ ගැනීමට සිදුව ඇත්තේ සතියකට වරක් පමණයි.

දැඩි ලෙස දරිද්‍රතාවයෙන් මිරිකෙමින් ආබලන්ව ඇති රෝද පුටුවලට සීමාවූ මේ පවුලේ සාමාජිකයන් අද දක්වාම නිවසින් පිටත ලෝකය ලෙස දැක ඇත්තේ දඹුල්ල රජ මහා විහාරය පමණයි.

උපන්දා සිට මේ දක්වා පවුලේ සාමාජිකයන්ගේ එකම සෙවණැල්ල බවට පත්ව ඇත්තේ, ‍ගතින් දුබල වුවත් සිතින් ශක්තිමත් තම දෙමාපියන් පමණයි.

ජීවිතයේ හරි අඩක්ම ගෙවා අවසන් තමන්ගේ ජිවිතයේ ඉතිරි කාලය තම වියපත් මවට පියාට බරක් නොවී ගෙවා දැමීම මේ පවුලේ අබාධිත සාමාජිකයන්ගේ එකම අරමුණයි.

ඒ වෙනුවෙන් ඔබට සරණක් විය හැකි නම් එය උතුම් පිංකමක් වනු නොඅනුමානයි.

*********************************************

පාරම්පරික වඩු කර්මාන්තයට විවිධ පාර්ශ්ව වලින් බලපැම්

(15.08.2020 – 15:48 +0530 – hirunews.lk/sinhala)

මෙරට පාරම්පරික වඩු කර්මාන්තයේ ඉතිහාසය අතීත රජ දවස දක්වා දිවයන්නක්.

දඹදෙණිය, යාපහුව, කුරුණෑගල ආදී යුගවල සාක්ෂි අදටත් අපට ඉතිරිව ඇත්තේ ඒ වකවානු වල ජීවත් වූ වඩුවන්ගේ දක්ෂතාව හේතුවෙන්.

එහෙත් අපේ සංස්කෘතික උරුමයක්ව වන වඩු කර්මාන්තයට අද හිමිව ඇති ඉරණමයි මේ.

බදුල්ල දිස්ත්‍රික්කයේ පැවති ග්‍රාමීය වඩුමඩු 600 කින් පමණ අද ඉතිරිව ඇත්තේ 50 ටත් අඩු සංඛ්‍යාවක්.

ඒ ඔවුන්ගේ පාරම්පරික වෘත්තියට විවිධ පාර්ශ්ව වලින් බලපැම් එල්ල විම හේතුවෙන්.

ප්ලාස්ටික් ගෘහභාණ්ඩ, දැව නිෂ්පාදන විදේස් රටවලින් ආනයනය කිරීම මෙන්ම දැව වෙනුවට ඇලුමිනියම් නිෂ්පාදන වෙළඳ පොල ආක්‍රමණය කිරීමත් මෙම ගැටලුව උත්සන්න කිරීමට හේතුවක් වෙලා.

නගරයේ පිහිටි මහ පරිමාණයේ වඩුමඩු වලින්ද ග්‍රාමීය වඩුවාට එල්ල කරන බලපෑම සුළුපටු නැහැ.

බලයට පත් වන සෑම රජයක්ම පාරම්පරික වඩු කර්මාන්තය රැක ගත යුතු බවත්, ඒ වෙනුවෙන් විවිධ සැලසුම් ක්‍රියාත්මක කළ බව පැවසුවත්, එය සත්‍ය වශයෙන්ම සිදුවී ඇත්ද යන්න ප්‍රශ්නයක්.

මේ පිළිබඳව බලධාරීන්ගේ දෑස් විවර වන තෙක් ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

***********************************************

බන්ධනාගාර රැදවියන් බැලීමට අද (15) සිට අවස්ථාව

(15.08.2020 – 16:04 +0530 – hirunews.lk/sinhala)

සීමාවන්ට යටත්ව බන්ධනාගාරගතව සිටින රැදවියන් බැලීමට අද (15) සිට අවස්ථාව ලබාදී තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා, හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ සතියකට එක් වතාවක් පමණක් මෙලෙස රැදවියන් බැලීමට අවස්ථාව ලබාදෙන බවයි.

කෙසේ වෙතත්, රැදවියන් බැලීමට පැමිණීමේදී සනීපාරක්ෂක ද්‍රව්‍ය පමණක් රැගෙන ඒමටයි අවසර ලබාදී ඇත්තේ.

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් සියළු බන්ධනාගාරවල රැදවියන් බැලීමේ අවස්ථාව නතර කර තිබුණා.

මේ අතර නිරෝධායනයට ලක්වූ තවත් 160 දෙනෙකු අද (15) දිනයේත් නිරෝධායනය අවසන් කර නිවෙස් බලා පිටත්ව ගිය බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.

පම්පෙමඩු නිරෝධායන මධ්‍යස්ථානයේ 154 දෙනෙකු, මිහින්තලේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් දෙදෙනෙකු (2), බූස්ස මධ්‍යස්ථානයෙන් හතර දෙනෙකු (4)එලෙස නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමෙන් අනතුරුව පිටව ගොස් තිබෙනවා.

මෙරටින් වාර්තාවන මුළු කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 2,886 ක් ලෙස දැක්වෙන අතර, ඉන් 2,658 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

තවත් 217 දෙනෙකු පමණක් තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

************************************************

ගිනි අවි තුනක් (3) සමග සැකකරුවන් තුන්දෙනෙකු (3) අත්අඩංගුවට

(15.08.2020 – 16:14 +0530 – hirunews.lk/sinhala)

බෝර 12 වර්ගයේ ගිනි අවි දෙකක් (2) සහ මෙරට නිශ්පාදිත ගිනි අවියක් (1) සමග සැකකරුවන් තුන්දෙනෙකු (3) දෙනියාය සහ ගම්පහ කිරිඳිවිට ප්‍රදේශවලදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (14) උදෑසන 10 ට පමණ ගෝනහේන විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව ගම්පහ කිරිඳිවිට ප්‍රදේශයේදී බෝර 12 වර්ගයේ ගිනි අවියක් සහ එම පතොරම් 4 ක් සමග එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සතුව තිබී ආරක්ෂක අංශ විසින් රාත්‍රී කාලයේදී ආලෝකය ලබාගැනීමට භාවිත කරන පැරා 1 ක් ද සොයාගෙන ඇතැයි සඳහන්.

ගම්පහ කිරිඳිවිට ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි සැකකරු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර ඌරුබොක්ක බෙංගමුව ප්‍රදේශයේදී ද බෝර 12 ගිනි අවියක් එම වර්ගයේ පතොරම් 7 ක් සහ හිස් පතොරම් කොපු 16 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුනා.

ඊයේ (14) සවස දෙනියාය විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුවයි වැටලීම සිදු කර ඇත්තේ.

එම සැකකරු 59 හැවිරිදි බෙංගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු වැඩිදුර විමර්ශණ සඳහා ඌරුබොක්ක පොලිසියට භාරදී ඇති අතර සැකකරු මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර දෙනියාය කිරිවැල්දොල ප්‍රදේශයේදී මෙරට නිශ්පාදිත ගිනි අවියක් (1) සමග සැකකරුවෙකු (1) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙනියාය විශේෂ කාර්ය බලකා කඳුවරේ නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව ඊයේ (14) කළ වැටලීමකදීයි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

කිරිවැල්දොල හිඟුරලහේන ප්‍රදේශයේ පදිංචි සැකකරු 46 හැවිරිදි අයෙක්.

ඔහු මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

**********************************************

වේයන්ගොඩට මත්කුඩු බෙදූ හැට්ටයා අත්අඩංගුවට

(15.08.2020 – 16:10 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරම හා අපරාධ රැසක් සම්බන්ධයෙන් ‘වේයන්ගොඩ හැට්ටයා’ නොහොත් ‘වන්නිආරච්චි කංකානම්ලගේ ප්‍රියන්ත රණවීර’ අද (15) මිනුවන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ හෙරොයින් ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් අනූඅට ලක්ෂයක (98,00,000) චෙක්පත් සහ හෙරොයින් ග්‍රෑම් 5 ක් හමුවු වු බවයි පොලිසිය ප්‍රකාශ කලේ.

වැඩිදුර සිදුකල විමර්ශණ වලදි සැකකරුට අයත් අධි සුඛෝපභෝගි නිවාස 02 ක් සහ ඔහුට අයත් බැංකු ගිණුම් වල රුපියල් හත්කෝටි විසිතුන් ලක්ෂයකට (7,23,00,000) අධික මුදලක් සහ ලක්ෂ 80 කට පමණ වටිනා වාහනයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

වේයන්ගොඩ හැට්ටයා නොහොත් වන්නිආරච්චි කංකානම්ලගේ ප්‍රියන්ත රණවීර 41 හැවිරිදි මොහු වේයන්ගොඩ – හීන්කෙන්ද ප්‍රදේශයේ පදිංචි අයෙක්.

දින 07 ක රැඳවුම් නියෝග ලබා ගෙන සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ක්‍රියාත්මකයි.

මේ අතර, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නියාමකවරයෙකු රත්නපුර – ඇත්ඔය ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 4 යි මිලිග්‍රෑම් 590 ක් සමඟ අත්අඩංගුවට ගැනීමට රත්නපුර කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය අද (15) සමත්වුණා.

රත්නපුර – මුද්දුව ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි බන්ධනාගාර නියාමකවරයා සතුව තිබී ජංගම දුරකථන 2 ක් සහ බන්ධනාගර නිළ හැඳුනුම්පතක් ද හමුවු අතර ඔහු හෙට (16) රත්නපුර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එසේම, ග්‍රෑන්ඩ්පාස් – මෝදර උයන නිවාස සංකීර්ණයේ ඊයේ (14) සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් 61 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ එම වැටලීමේදී හෙරොයින් ග්‍රෑම් 39 ක්, ගංජා ග්‍රෑම් 85 ක් සහ මත්පෙති 7 ක් සොයා ගත් බවයි.

නවගත්තේගම – මොරගහවැව ප්‍රදේශයේදී යාන්ත්‍රික කියතකින් පුද්ගලයින් දෙදෙනෙකු (2) කපා තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා.

යුද හමුදාවෙන් පළා ආ පුද්ගලයෙකු වන 29 හැවිරිදි සැකකරු ‘අකුලා’ යන අන්වර්ත නාමයෙන් හදුන්වන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

+++++++++++++++++++++

**********************************************

ඔන්ලයින් ක්‍රමයට මන්ත්‍රීවරුන් 200 කට වැඩි පිරිසක් තොරතුරු ලබා දෙයි

(15.08.2020 – 19:42 +0530 – hirunews.lk/sinhala)

තවත් දින 05 කින් ආරම්භ කිරීමට නියමිත නවවැනි පාර්ලිමේන්තුවට තේරීපත්ව ඇති මන්ත්‍රීවරු 200 කට වැඩි පිරිසක් ‘ඔන්ලයින්’ ක්‍රමවේදයට සිය තොරතුරු ලබා දී තිබෙනවා.

පසුගිය මහමැතිවරණයෙන් තේරීපත්වු මන්ත්‍රීවරුන්ගේ ජීව දත්ත තොරතුරු ඔන්ලයින් ක්‍රමයට ලබා ගැනීම අද (15) දිනයෙන් අවසන් වීමට නියමිතයි.

කෙසේ වෙතත්, ඉදිරියේදීත් ඊට අවස්ථාව හිමිවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවෙල මහතා සඳහන් කළා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පසුගිය 11 වනදා අරලිය ගහ මන්දිරයේදි සිය ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා සකස් කර ඇති අයදුම්පත පුරවා පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය වෙත ලබා දී තිබුණා.

මන්ත්‍රීවරුන් දිවුරුම් දීම හෝ ප්‍රතිඥා දීම සහ ඉදිරි කටයුතු සදහා ඔවුන්ගේ ජීව දත්ත තොරතුරු අනිවාර්ය වන අතර පවතින කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගනිමිනුයි ඔන්ලයින් ක්‍රමවේදය මත මෙවර මන්ත්‍රීවරුන්ගේ ජීව දත්ත ලබා ගැනීමට කටයුතු කර ඇත්තේ.

නවවැනි පාර්ලිමේන්තුව ලබන 20 වනදා පෙරවරු 09:30 ට රැස්වීමට නියමිතයි.

එදින පළමුව කථානායකවරයා, නියෝජ්‍ය කථානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා පත් කිරීම සිදුවනවා.

ඉන් පසු සියලු මන්ත්‍රීවරුන් දිවුරුම් හෝ ප්‍රතිඥා ලබා දීම සිදුකිරීමෙන් අනතුරුව පස්වරු 03:00 දක්වා පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවනු ලබනවා.

පස්වරුවේ 03:00 ට පාර්ලිමේන්තුව ආරම්භ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිත අතර පාර්ලිමේන්තුව කල් තැබීමද ජනපති විසින් සිදුකිරීමට නියමිතයි.

මෙවර පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස යලිත් වරක් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ලබා දීමට යෝජනා වි ඇති අතර ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකධූරයට යෝජනා වී ඇත්තේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුයි.

මීට පෙරද ඔවුන් එම තනතුරු වල කටයුතු කර ඇති අතර කථානායකධූරය හිටපු අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා පත් කිරීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කර තිබුනේ.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, ලක්ෂමන් කිරිඇල්ල, පාඨලි චම්පික රණවක සහ ආචාර්ය්‍ය හර්ෂ ද සිල්වා යෝජනා වි තිබෙනවා ෴

*********************************************

පාස්කු කොමිසම පැයක් කටුවාපිටියේ

(15.08.2020 – 19:50 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය පිළිබද සොයා බලන ජනාධිපති කොමිසමේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අද (15) කටුවාපිටිය දේවස්ථානය වෙත පැමිණියා.

පෙරවරු 11:20 ට පමණ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් මුණිදුන්ගේ දේවස්ථානය වෙත ගිය අදාළ නිලධාරී කණ්ඩායම පැයකට ආසන්න කාලයක් එහි රැදී සිට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පාස්කු ප්‍රහාරයට ලක්වූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් මුණිදුන්ගේ දේවස්ථානයේ නිරීක්ෂණයකට එක්වූ කොමිසමේ සභාපතිවරයා ඇතුළු පිරිස මීසම් පාලක මංජුල නිරෝෂන් පියතුමන් සමඟ ද සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

2019 වසරේ අප්‍රේල් මස 21 වනදා කතෝලික දේවස්ථාන 3 ක් සහ සංචාරක හෝටල් 3 ක් ඉලක්ක කර එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයන් 300 කට ආසන්න පිරිසක් ජිවිතක්ෂයට පත්වූ අතර, 400 කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසමේ නිලධාරින් මීට පෙර ද වනාතවිල්ලුව – කරතිව් – අරාබි විද්‍යාලයේ මෙවැනිම නිරීක්ෂණයකට එක්වුණා.

එමෙන්ම, පාස්කු ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම් ඇතුළු පිරිස පුහුණුව ලැබූ බව කියන වනාතවිල්ලුව – ලැක්ටොවත්ත ප්‍රදේශයේත්, පොතුහැර – මාවනැල්ල සහ මඩකලපුව යන ප්‍රදේශවල ද අදාළ ජනාධිපති කොමිසම නිරීක්ෂණයන් සිදුකළා.

එසේම, පාස්කු ඉරිදා ප්‍රහාරයට ලක්වූ මඩකලපුව – සියොන් දේවස්ථානය, සයින්දුමරුදු ප්‍රදේශයේදී සහරාන්ගේ අනුගාමිකයන් තම දරුවන් සමග බෝම්බ පුපුරුවාගෙන සියදිවි හානිකර ගත් ස්ථානය මෙන්ම, තවුහිද් ජමාත් සංවිධානයේ මූලස්ථානය පිහිටි කාර්යාලය ද මීට පෙර මෙම කොමිසමේ නිරීක්ෂණයට ලක්ව තිබෙනවා ෴

********************************************

අමරපුර මහානිකායේ නව මූලස්ථාන ගොඩනැගිල්ල විවෘත කෙරේ

(15.08.2020 – 20:02 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ නව මූලස්ථාන ගොඩනැගිල්ල අද (15) වැල්ලවත්ත – ගාලුපාරේ නොම්මර 70 දරණ ස්ථානයේදී සසුනට පූජා කෙරුණා.

අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක අතිපූජ්‍ය කොටුගොඩ ශ්‍රී ධම්මාවාස මහනාහිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙන්ම, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, හිටපු කතානායක කරූ ජයසූරිය ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපතිවරයාව සිටි සමයේ මෙම ස්ථානය සඳහා ඉඩම පරිත්‍යාග කර තිබූ අතර, ඒ පිලිබඳව කොටුගොඩ ශ්‍රී ධම්මාවාස මහානාහිමියන් සිහිපත් කළා.

+++++++++++++++++++++

*********************************************

සැප්තැම්බරයේ ව්‍යවස්ථා සංශෝධනයක් සිදුවන ලකුණු

(15.08.2020 – 20:13 +0530 – hirunews.lk/sinhala)

නව රජයේ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පිළිගැනීමේ උත්සව අදත් (15) ප්‍රදේශ කිහිපයකදී පැවැත්වුණා.

අනුරාධපුර ප්‍රදේශයේ පැවති පිලිගැනීමේ උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා ප්‍රකාශ කළේ අත්‍යාවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන සැප්තැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට සැලසුම් සකස් කර ඇති බවයි.

මීට අමතරව, තවත් ප්‍රදේශ කිහිපයක පිලිගැනීමේ උත්සව පැවතුනා.

මේ අතර, සිය අමාත්‍යාංශවල ඉදිරි ව්‍යාපාරික සැලසුම් සකස් කර ඉදිරිපත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

********************************************

‘අපේ ජන බල පක්ෂයේ’ මහලේකම් හිමියන්ට විරුද්ධව පාර්ශ්ව දෙකකින් (2) පැමිණිලි

(15.08.2020 – 20:20 +0530 – hirunews.lk/sinhala)

මෙවර මහමැතිවරණයේදී ‘කොඩිය’ ලකුණින් තරග කර ඡන්ද 67,758 ක් ලබා ගත් අපේ ජනබල පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් හිමිවූ අතර, ඒ සඳහා අයෙකු නම් කිරීමේදී මතුවුණේ අර්බුදකාරි තත්ත්වයක්.

ඒ අනුව, මෙතෙක් එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා නම් කර නොමැති අතර, මතුවූ ගැටලුව විසඳා ගැනීමට නීතිපතිවරයාගේ උපදෙස් පැතීමට ද මැතිවරණ කොමිෂන් සභාවට සිදුවුණා.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් හෝ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මෙම මන්ත්‍රී ධුරයට තෝරා පත් කර ගැනීම පිළිබඳව සංවාදයක් මතුවූ අතර, එහි තීරණාත්මක සාධකයක් වුණේ අපේ ජනබල පක්ෂයේ ලේකම්වරයා වන පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන්.

උන්වහන්සේ කියා සිටියේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය වෙනත් පාර්ශවයකින් ලබාගෙන මුදලට අලෙවි කිරීමේ සූදානමක් පවතින බවයි.

අපේ ජන බල පක්ෂයේ මහලේකම් පූජ්‍ය වේදානිගම විමලතිස්ස හිමියන්ට විරුද්ධව යක්කල සහ වීරගුල යන පොලිස් ස්ථාන දෙකට (2) පාර්ශ්ව දෙකක් (2) විසින් අද (15) පැමිණිලි ඉදිරිපත් කළා.

ඒ උන්වහන්සේගේ ක්‍රියාකලාපය හේතුවෙන් සිය ඡන්ද දායකයින්ගේ අපේක්ෂාවන් යටපත්වන බව පවසමින්.

පැමිණිලි සිදුකළ අය අතුරින් එක් අයකු චෝදනා කළේ අපේ ජන බල පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් නායකයා තමන් යැයි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පැවසුවද එම තනතුරු හිමි සැබෑ පුද්ගලයා තමන් බවයි.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් අපේ ජනබල පක්ෂයට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදය තවමත් නිමාවන ලකුණු පහල වී නැහැ.

අද (15) ‘හාඩ් ටෝක්’ තුළින් ඍජුවම ප්‍රශ්න කරන්නේ එහි එක් පාර්ශ්වයක් වන එම පක්ෂයේ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමිගෙන්.

+++++++++++++++++++++

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥාණසාර හිමි (12-08-2020)

+++++++++++++++++++++

පූජ්‍ය අතුරලියේ රතන හිමි (13.08.2020)

***************************************

ඇලි සබ්‍බිරි ගේ අල් ටකියා සහ ආණ්ඩුවේ මුලාව?

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *