පාස්කු කොමිසමේ පොලිස් නිලධාරින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ නිල නිවසට

පාස්කු කොමිසමේ පොලිස් නිලධාරින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ නිල නිවසට

හැඳුනුම්පත්, පාස් පෝට් සහ රියදුරු බලපත්‍ර මුද්‍රණය – මුද්‍රණ දෙපාර්තමේන්තුවට

නාවලපිටියේ පැහැර ගැනීම ගැන පරීක්ෂණ ඇරඹේ

රත්මලානේ රන් භාණ්ඩ උකස් ආයතනයකින් රුපියල් කෝටි දෙකක (2) රන් ආභරණ කොල්ල කයි

මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන්ගෙන් චෝදනා

මහර බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය ජාවාරම සැක සිව්දෙනෙකු (4) අත්අඩංගුවට

වෙළඳපොළේ රන් මිල පහළට

තාවකාලිකව නතර වූ දුම්රිය ගමන්වාර කිහිපයක් යළි ඇරඹෙයි

මාදුරුඔය සැරිසැරූ බව කියන සුදු අලියා

ව්‍යවස්ථා සභාවේ ජනපතිගේ නියෝජිතයා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ

පලාලි ගුවන් තොටුපල සංවර්ධනයට ඉන්දියාවෙන් මිලියන 300 ක් – අවබෝධතා ගිවිසුම කැබිනට් මණ්ඩලයට

නිරෝධායන මධ්‍යස්ථානවල තදබදයක්

*********************************************

පාස්කු කොමිසමේ පොලිස් නිලධාරින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ නිල නිවසට

(26.08.2020 – 09:23 +0530 – hirunews.lk/sinhala)

ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරින්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ කොළඹ පිහිටි නිල නිවසට පැමිණියා.

මීට පෙර එම කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපතිවරයාට දැනුම් දුන්න ද ඔහු ඉල්ලා තිබුණේ තම නිවසට පැමිණ ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙසයි.

ඒ අනුව අද (26) පෙරවරු 9 ට පමණ අදාල නිලධාරින් කොළඹ 07 මහගමසේකර මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසට පැමිණි අතර, ඔවුන් තවදුරටත් එහි රැඳී සිටින බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

මේ අතර, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ 18 වන දිනටත් ඊයේ (25) රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සාක්ෂි ලබා දුන්නා.

එහිදී ඔහු කොමිසම හමුවේ ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරය එල්ල වීමට පෙර තමා අන්තර්ජාලය හරහා සිදුකළ පෙර දැනුවත් කිරීම් සම්බන්ධ සාක්ෂි තමා සතුව නොතිබුණේ නම් මේ වනවිට බන්ධනාගාර ගතව සිටීමට ඉඩ තිබූ බවයි.

ප්‍රහාරයට පසුබිම් වූ කාරණා පිළිබඳව 2016 වසරේ සිට ඉහළ බලධාරින් දැනුවත් කළ බව සදහන් කළ හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානියා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ආරක්ෂක අංශයේ සිට රාජ්‍ය අංශයේ ඉහළ නිලධාරින් දක්වා එක් එක් අයට පවතින වගකීම් නිසි ලෙස ඉටු කළේ නම් මෙවැනි ප්‍රහාරයක් සිදුවීමට ඉඩ නොතිබූ බවයි.

තවදුරටත් සාක්ෂි දෙමින් ඔහු සඳහන් කළේ 2015 වසරේ සිට බුද්ධි වාර්තා 347 ක් ඉහළ නිලධාරින්ට යොමුකළ ද ඒ කිසිදු අවස්ථාවක අදාළ තොරතුරු සම්බන්ධයෙන් ගත යුතු වැඩිදුර ක්‍රියාමාර්ග පිළිබඳව ඔවුන් තමාව දැනුවත් නොකළ බවයි.

*********************************************

හැඳුනුම්පත්, පාස් පෝට් සහ රියදුරු බලපත්‍ර මුද්‍රණය – මුද්‍රණ දෙපාර්තමේන්තුවට

(26.08.2020 – 07:55 +0530 – hirunews.lk/sinhala)

ජාතික හැඳුනුම්පත්, විදෙස් ගමන් බලපත්‍ර, රියදුරු බලපත්‍ර ඇතුලූ රජයේ ප්‍රමුඛ මුද්‍රණ කටයුතු සියල්ල රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව මගින් සිදුකිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකසන ලෙස ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ එම අමාත්‍යාංශයේ ඊයේ (25) පැවති සාකච්ඡාවකදියි.

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ ප්‍රගති සමාලෝචනය සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පවත්වා තිබුණා.

එහි මූලික පියවරක් ලෙස විදෙස් ගමන් බලපත්‍රය මුද්‍රණයට අවශ්‍ය පහසුකම් පළමුව ලබාදිය යුතු බවයි අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ.

මේ වනවිට මුද්දර, ඡන්ද පත්‍රිකා, වීසා ස්ටිකර් ආදිය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවෙන් මුද්‍රණය වනවා.

ඉදිරියේදි රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව යොදාගෙන ජාතික හැඳුනුම්පත්, විදෙස් ගමන් බලපත්‍ර, රියදුරු බලපත්‍ර මුද්‍රණය මගින් විශාල මුදලක් ඉතිරි කරගත හැකි බවයි ඔහු එම සාකච්ඡාවේදී දැනුම් දී ඇත්තේ.

කම්කරු අණපත්වල තිබූ දුර්වලතා ඉවත් කරමින් කම්කරු අණපනත් රැසකට සංශෝධන ගෙන ඒමට තීරණය කළ බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ, කම්කරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ ඊයේ (25) පැවති සාකච්ඡාවකදියි ෴

*********************************************

නාවලපිටියේ පැහැර ගැනීම ගැන පරීක්ෂණ ඇරඹේ

(26.08.2020 – 07:57 +0530 – hirunews.lk/sinhala)

නාවලපිටිය නගර සභාවේ සේවකයින් 4 දෙනෙකු වෑන් රථයකින් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

පසුගිය 23 වන දා රාත්‍රියේ මොවුන් කිසියම් පිරිසක් විසින් පැමිණ පැහැරගෙන ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

අනතුරුව ඔවුන්ට පහර දී නාවලපිටිය – කුරුඳුවත්ත මාර්ගයේ හෙළකට තල්ලු කර තිබෙනවා.

නාවලපිටිය නගර සභාවේ රථ වාහන රියදුරෙකු, සහයකවරයෙකු සහ මුරකරුවන් දෙදෙනෙකුටයි (2) මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ.

තුවාල ලැබූ මොවුන් නාවලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.

*********************************************

රත්මලානේ රන් භාණ්ඩ උකස් ආයතනයකින් රුපියල් කෝටි දෙකක (2) රන් ආභරණ කොල්ල කයි

(26.08.2020 – 10:16 +0530 – hirunews.lk/sinhala)

රත්මලාන – බෙලෙක්කඬේ මන්සන්ධියේ පිහිටි රන් භාණ්ඩ උකස් ආයතනයකින් රුපියල් කෝටි දෙකක් (2) පමණ වටිනා රන් භාණ්ඩ සොරාගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

තෙමහල් ගොඩනැගිල්ලක දෙවන මහලේ පිහිටා ඇති රන් භාණ්ඩ උකස් ආයතනයකින් මෙලෙස රන් භාණ්ඩ සොරාගෙන ගොස් ඇති බවට ඊයේ (25) එහි සේවකයින් විසින් පැමිණිලි කරනු ලැබුවා.

උදෑසන සේවයට වාර්තා කිරීමේදී දෙවන මහලේ පිහිටි එම ආයතනයට පිවිසෙන දොර විවෘත කර තිබෙනු දැක ඒ පිළිබදව ආයතනයේ සේවකයින් විසින් සැක සිතී සිදුකළ සොයා බැලීමකදියි රන් භාණ්ඩ තිබූ අල්මාරිය කඩා ඇති බවට නිරීක්ෂණය වී ඇත්තේ.

*********************************************

මහරගම අපේක්ෂා රෝහලේ රෝගීන්ගෙන් චෝදනා

(26.08.2020 – 10:24 +0530 – hirunews.lk/sinhala)

මහරගම අපේක්ෂා රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණෙන රෝගීන් විකිරණ ප්‍රතිකාර ලබා ගැනීමේදී යම් ගැටලුවලට මුහුණපෑමට සිදුව ඇති බවට රෝගීන් චෝදනා කරනවා.

විකිරණ ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිව දින ගණනක් පුරාවට ඔවුන් රෝහල අවට ස්ථානවල තාවකාලිකව රැඳී සිටීමට සිදුව ඇති බවටයි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔවුන් කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය වසන්ත දිසානායක මහතා ගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ අදාල විකිරණ යන්ත්‍රවල යාවත්කාලීන කිරීමේ කටයුතු හේතුවෙන් මෙලෙස රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී යම් ගැටලු කාරී තත්ත්වයකට මුහුණපෑමට සිදුව ඇති බවයි ෴

*********************************************

මහර බන්ධනාගාරයේ මත්ද්‍රව්‍ය ජාවාරම සැක සිව්දෙනෙකු (4) අත්අඩංගුවට

(26.08.2020 – 10:57 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාරයේ සිට සිදුකළ මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් එහි නියාමකවරයෙකු, ගුවන් හමුදාවේ සිවිල් නිලධාරියෙකු ඇතුළු 4 දෙනෙකු වේයන්ගොඩ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ මහර බන්ධනාගාරයේ මත්කුඩු ජාවාරම සම්බන්ධයෙන් රඳවා සිටින ‘චමින්ද’ හෙවත් ‘රගරා’ නැමති සැකකරුවෙකුගේ සමීපතමයෙකු වන ‘දිනේෂ්’ හෙවත් ‘පොඩි කොයියා’ නැමැත්තා අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී බන්ධනාගාර නියාමකවරයා ඇතුළු අනෙක් තුන් දෙනා (3) අත්අඩංගුවට ගත් බවයි.

ඒ අතර කොළඹ ගුවන් හමුදා මූලස්ථානයට අනුයුක්තව රාජකාරී කළ විගනන නිලධාරියෙකු ද සිටිනවා.

අත්අඩංගුවට ගත් ‘පොඩි කොයියා’ සහ අනෙක් සැකකරු මෙම මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ කටයුතුවල නිරතව ඇති අතර ඔවුන්ට මත්ද්‍රව්‍ය ලබාදී ඇත්තේ අදාළ බන්ධනාගාර නියාමකවරයා විසින් බව සිදුකළ විමර්ශනවලින් මේ වන විට අනාවරණ වී ඇති බවයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ.

මහර බන්ධනාගාර නියාමකවරයා සතුව තිබී බැංකු පොත් 10 ක්, ATM කාඩ්පත් 13 ක්, ‘පෙන් ඩ‍්‍රයිව්’ සහ යතුරුපැදි දෙකක් (2) ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඊට අමතරව මෙම නියාමකවරයා සතුව තිබී රුපියල් 56,000 ක මුදලක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර, මොවුන් කලක පටන් මෙම මත්කුඩු ජාවාරමේ නිරතව සිට ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මේ අතර, උස්වැටකෙයියාව – පමුණුගම ප්‍රදේශයේ දී සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කෙසෙල්වත්ත දිනුකගේ ගෝලයෙකු මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ ඊයේ (25) අත්අඩංගුවට ගත් 34 හැවිරිදි මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි ‘කෙසෙල්වත්ත අස්වාර්’ නැමති සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 40 ක්, අයිස් ග්‍රෑම් 15 ක්, කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 2½ ක් සොයා ගත් බවයි.

එමෙන්ම, පිළියන්දල – සුවාරපොළ – පිං ළිඳ පාර ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අඹු – සැමි යුවළක් ද අත්අඩංගුවට ගැනුණා.

ඊයේ (25) මොවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අලෙවි කිරීම සඳහා හෙරොයින් ඇසුරුම් කරමින් සිට ඇති අතර, එලෙස ඇසුරුම් කරන ලද හෙරොයින් ග්‍රෑම් 75 ක් ද පොලිස් භාරයට ගෙන තිබුණා.

දඹුල්ල – රත්මල්ගහඇල ප්‍රදේශයේදී ද හෙරොයින් සමඟ 25 හැවිරිදි එක් දරු මවක් සහ තවත් අයෙකු ඊයේ (25) අත්අඩංගුවට ගනු ලැබුවේ දඹුල්ල පොලීසිය විසින්.

ප්‍රදේශයේ තරුණයින් හට මත්කුඩු බෙදා හැරීම මොවුන් විසින් සිදුකර ඇති අතර, කාන්තාවගේ නිවස පොලීසිය පරීක්ෂා කිරීමේදී ඇය සිරුරේ සඟවාගෙන තිබූ මත්කුඩු තොගයක් ගිල දැමීමට උත්සාහ කළ බවයි වැටලීමට එක්වූ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.

මේ අතර, යතුරුපැදියක සූක්ෂම ලෙස හෙරොයින් සඟවා ප්‍රවාහනය කළ 22 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරී කණ්ඩායමක් ඊයේ (25) සිදුකළ වැටලීමකදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අලුත්ගම – දර්ගා නගරයේ පදිංචි 22 හැවිරිදි තරුණයෙක්. ඔහු සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 3880 ක් සොයාගෙන තිබුණා.

නීතිවිරෝධී ආකාරයට විදෙස්ගත වීමට උත්සාහ කළ පාතාල කල්ලි සාමාජිකයින් වන ‘වැල්ලේ සාරංග’ ඇතුළු 4 දෙනාගේ ගෝලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසක රැදී සිටි අවස්ථාවේදියි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 3 ක් සහ සුඛෝපභෝගී මෝටර් රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ අතර, රුපියල් 130,000 ක වටිනාකමකින් යුත් හෙරොයින් ග්‍රෑම් 17 යි මිලිග්‍රෑම් 250 ක් සමඟ පුද්ගලයින් 4 දෙනෙකු කොම්පඤ්ඤවීදිය පොලීසියේ දූෂණ මර්දන අංශය සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් කොම්පඤ්ඤවීදිය, දෙමටගොඩ, මීතොටමුල්ල, කොළොන්නාව ප්‍රදේශවල පදිංචිකරුවන් ෴

+++++++++++++++++++++++++++++++++++

අපරාධ උපදේශන ලිපිගොනු 23,645 ක් මාස 18 තුළ අවසන්

(26.08.2020 – 13:48 +0530 – hirunews.lk/sinhala)

පසුගිය මාස 18 ක කාලය තුළ නීතිපති විසින් අපරාධ උපදේශන ලිපිගොනු 23,645 ක් සම්බන්ධයෙන් කටයුතු කර අවසන් කළ බවත් අධිචෝදනා 12,503 ක් මහාධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවත් නිතිපතිවරයාගේ සම්බන්කධීකරණ නිළධාරිනී රජයේ අධි නීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළා ෴

*********************************************

වෙළඳපොළේ රන් මිල පහළට

(26.08.2020 – 11:48 +0530 – hirunews.lk/sinhala)

මෙරට වෙළඳපොළේ රන් මිල පහත බැස ඇතිබව වෙළඳපොළ ආරංචි මාර්ග පවසනවා.

ඒ අනුව මේ වනවිට කැරට් 22 රන් පවුමක මිල ලෙස සටහන් වන්නේ රුපියල් 91,000 ක්.

එසේම කැරට් 24 රන් පවුමක මිල ලෙස සඳහන් වන්නේ රුපියල් 99,000 ක් ලෙසයි.

කොරෝනා වසංගත තත්වයත් සමග මෙරට රන් වෙළඳපොළේ මිල සීඝ්‍ර ලෙස ඉහළ ගියා.

ඒ අනුව අගෝස්තු මස 08 වනදා වනවිට මෙරට රන්මිල ඉහළම අගයක පැවතිය අතර එය කැරට් 22 පවුමක මිල රුපියල් 100,500 ක් ලෙස සටහන් වූවා.

අගෝස්තු මස 08 වනදා වනවිට කැරට් 24 රන් පවුමක මිල සටහන් වූයේ රුපියල් 109,500 ක් ලෙසයි ෴

*********************************************

තාවකාලිකව නතර වූ දුම්රිය ගමන්වාර කිහිපයක් යළි ඇරඹෙයි

(26.08.2020 – 11:16 +0530 – hirunews.lk/sinhala)

තාවකාලිකව නතරකර තිබූ දුම්රිය කිහිපයක් සති අන්තයේ නැවත ධාවනයේ යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව අංක 4021 සහ 4022 දරණ දුම්රියන් සෙනසුරාදා සහ ඉරිදා දිනවලද අංක 1001 දුම්රිය සිකුරාදා සහ සෙනසුරාදා දිනවල ද අංක 1002 දරන දුම්රිය ඉරිදා දිනවලද යළි ධාවනයට එක්වනු ඇති.

ඒ අනුව ගල්කිස්සෙන් ගමන් ආරම්භ කර කොළඹ කොටුව හරහා කන්කසන්තුරේ දක්වා පෙරවරු 05:10 ට දිනපතා ධාවනය වූ දුම්රිය සහ කන්කසන්තුරේ සිට කොළඹ කොටුව හරහා ගල්කිස්ස බලා පස්වරු 01:05 ට දිනපතා ධාවනය වූ දුම්රිය මෙම මස 28 සිට නැවත ධාවනයට එක්වනු ඇති.

එසේම කොළඹ කොටුව සිට බදුල්ල බලා පෙරවරු 06:45 ට ධාවනය වූ අංක දුම්රිය සහ බදුල්ල සිට කොළඹ කොටුව බලා පෙරවරු 08:00 ට දිනපතා ධාවනය වූ දුම්රිය නැවත ධාවනයට එක්වනු ඇති ෴

+++++++++++++++++++++

*********************************************

මාදුරුඔය සැරිසැරූ බව කියන සුදු අලියා

(26.08.2020 – 12:43 +0530 – hirunews.lk/sinhala)

මාදුරු ඔය ජාතික වනෝද්‍යානයේ අලිපනාව ප්‍රදේශයේ සැරිසැරූ බවට පැවසූ සුදු අලියෙකු පිළිබඳව මේ වනවිට සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇතිව තිබෙනවා.

ඊයේ (25) දිනයේදි වනජීවි නිලධාරියෙකු සිය මුහුණු පොතේ එම වනෝද්‍යානයේ සුදු අලියෙකු තවත් අලි දෙදෙනෙකු (2) සමඟ සැරිසරන ඡායාරූප සහ විඩියෝවක් පළ කර තිබුණා.

අදාළ ඡායාරූපය පළ කළ වනජීවි නිලධාරියාගෙන් හිරු ප්‍රවෘත්ති අංශය මේ පිළිබඳව විමසීමක් කළ අතර ඔහු කියා සිටියේ තමන් සුදු පැහැති අලියෙකු දුටු අවස්ථාවේදි එය ඡායාරූප ගතකර මුහුණ පොතේ පළ කිරීම පමණක් කළ බවයි.

එලෙස ඡායාරූපයක් පළ කළ පමණින් වනෝද්‍යානය තුළ සුදු අලියෙකු සිටින බවට තමන්ට තහවුරු කළ නොහැකි බවද ඔහු ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් මේ වනවිට ඔහු පළ කළ එම ඡායාරූප මුහුණු පොතෙන් ඉවත් කර තිබෙනවා.

මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය මාදුරු ඔය ජාතික වනෝද්‍යානයේ භාරකාරත්වයෙන් විමසීමක් කළ අතර එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ වනෝද්‍යානය තුළ සුදු අලියෙකු සිටින බවට තමන්ට මෙතෙක් වාර්තා වී නොමැති බවයි.

කෙසේ වෙතත් එලෙස සුදු අලියෙකු සිටින්නේ ද නැද්ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා වනජීවි කණ්ඩායමක් යෙදවීමට කටයුතු කර ඇති බවද එම ප්‍රකාශකයා කියා සිටියා.

ශ්‍රී ලංකාවේ මීට පෙර සුදු අලියෙකු සිටින බවට වාර්තා වූයේ යාල ජාතික වනෝද්‍යානයෙන්.

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%94%E0%B6%BA+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%96+%E0%B6%B6%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29

+++++++++++++++++++++

(27.08.2020 – 07:35 +0530 – hirunews.lk/sinhala)

මාදුරු ඔය ජාතික වනෝද්‍යානයේ අලිපනාව ප්‍රදේශයේ සැරිසැරූ බවට පැවසූ සුදු අලියා සාමාන්‍ය පැහැයෙන් යුතු අලියෙකු බවට තහවුරු වී තිබෙනවා.

ඒ, මාදුරු ඔය ජාතික වනෝද්‍යානයේ භාරකරු ඇතුළු වනජීවි නිලධාරීන් කණ්ඩායමක් ඊයේ දවස පුරා සිදුකළ විශේෂ සෝදිසියකදීයි.

මෙහිදී ඔවුන් එම සුදු පැහැයෙන් දිස් වූ අලියා වැව් පිටියේදී සොයාගෙන ඇති අතර, පසුව අලියා පසුපස ගොස් වැව තුළට පළවා හැර තිබෙනවා.

කිලෝමීටර් දෙකකට වැඩි දුරක් එම අලියාට දියේ ගිලීමට අවස්ථාව සලසා දී ඇති අතර, අලියා පැය කිහිපයකට පසු ගොඩට පැමිණි බවයි වනජීවි නිලධාරීන් සඳහන් කළේ.

එහිදී අලියා සාමාන්‍ය කළු පැහැයෙන් දිස් වී ඇති අතර, ඊට අදාළ ඡායාරූපද මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ පළව තිබෙනවා.

වනජීවි නිලධාරීන් සඳහන් කළේ මෙම අලියා කිරි මැටි වළක බැස එහි සුදු පැහැය අලියාගේ ඇෙඟ් තැවරී ඇතැයි සැක කරන බවයි.

එහෙත් සුදු පැහැති කිරි මැටි වළක් මාදුරු ඔය වනෝද්‍යානයෙන් නිරීක්ෂණය වී නොමැති අතර, උණු වතුර ළිං ආසන්නයේ පවතින කිරි මැටි වළ ලා දුඹුරු පැහැයෙන් යුක්ත බව ඔවුන් සඳහන් කළා.

ඒ අනුව මෙම සිදුවීම තවදුරටත් තහවුරු කර ගැනීමේ අරමුණින් අදාළ සුදු පැහැති කිරි මැටි වළ පවතින ස්ථානය සොයා අද හෝ හෙට තවත් සෝදිසියක් සිදුකරන බවයි වනජීවි නිලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ ෴

*********************************************

ව්‍යවස්ථා සභාවේ ජනපතිගේ නියෝජිතයා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ

(26.08.2020 – 13:26 +0530 – hirunews.lk/sinhala)

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සිය නියෝජිතයා ලෙස අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබෙනවා.

සාමාජිකයින් 10 දෙනෙකුගෙන් සමන්විත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා සහ විපක්ෂ නායකවරයා පත්වන්නේ නිළ බලයෙන්.

කෙසේ වෙතත්, අග්‍රාමාත්‍යවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ නියෝජිතයා මෙන්ම සුළු පක්ෂවල නියෝජිතයා මෙතෙක් නම් කර නැහැ.

සිවිල් සංවිධාන නියෝජිතයින් 3 දෙනෙකු ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව නියෝජනය කරන අතර පසුගිය රජය සමයේ පත් කෙරුණු ජාවිඩ් යූසුෆ් සහ මහාචාර්ය නාගනාදන් සෙල්වකුමාර් තවදුරටත් ව්‍යවස්ථා සභාව නියෝජනය කරනවා.

කෙසේ වෙතත්, ආචාර්ය ජයන්ත ධර්මපාල මහතා ඉවත් වීමෙන් පුරප්පාඩු වූ ධුරයට මෙතෙක් කිසිවෙකු පත් කර නැහැ.

නව රජයක් පත්වුවද මෙම සිවිල් සංවිධාන නියෝජිතයින් වෙනස් කිරීමට නොහැකි බවයි පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ඒ ඔවුන් පත්වීම් ලබා වසර 3 ක් ගත වන තුරු ඉවත් කිරීමට නොහැකි බවට වගන්තියක් 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ අන්තර්ගත වී තිබීම හේතුවෙන්.

මේ අතර, නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පවත්වනු ලබන පාර්ලිමේන්තු වැඩමුළුව අද (26) දෙවන (2) දිනටත් ක්‍රියාත්මක වනවා.

මෙම වැඩමුළුවට අදාළව පෙරවරුවේදී සාකච්ඡා කෙරුණේ පාර්ලිමේන්තු පුස්තකාලය පරිහරණය කරන ආකාරය සහ කාරක සභා සම්බන්ධ කටයුතු පිළිබදවයි ෴

+++++++++++++++++++++++++++++++++++

*********************************************

පලාලි ගුවන් තොටුපල සංවර්ධනයට ඉන්දියාවෙන් මිලියන 300 ක් – අවබෝධතා ගිවිසුම කැබිනට් මණ්ඩලයට

(26.08.2020 – 13:28 +0530 – hirunews.lk/sinhala)

යාපනය, පළාලි ගුවන්තොටුපළ සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජය සමඟ අත්සන් කිරීමට අපේක්ෂා කරන අවබෝධතා ගිවිසුම කැබිනට් අනුමැතියට ඉදිරිපත් කරන බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

ඔහු අවධාරණය කළේ ඉදිරි සති දෙක (2) තුල මෙම අවබෝධතා ගිවිසුම කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවයි.

මේ සම්බන්ධයෙන් සාකච්ජාවක් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා සහ ඇමති ප්‍රසන්න රණතුංග මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (25) එම අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේ මෙම අවබෝධතා ගිවිසුම මේ වනවිට කෙටුම්පත් කර අවසන් බවයි.

කැබිනට් අනුමැතිය ලද වහාම දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කර පලාලි ගුවන්තොටුපල සංවර්ධන කටයුතු ආරම්භ කරන බවයි ඔහු කියා සිටියේ.

යාපනය පලාලි ගුවන්තොටුපල දෙවන ලෝක යුද සමයේදි ආරම්භ කෙරුණා.

පලාලි ගුවන් තොටුපලෙ සංවර්ධනය සඳහා ඉන්දියානු රජය රුපියල් මිලියන 300 ක ප්‍රදානයක් ලබාදීමට එකගතාවය පළ කර ඇති අතර ඒ සඳහායි මෙම අවබෝධතා ගිවිසුම සැකසෙන්නේ.

*********************************************

නිරෝධායන මධ්‍යස්ථානවල තදබදයක්

(26.08.2020 – 13:34 +0530 – hirunews.lk/sinhala)

රජයේ නිරෝධායන මධ්‍යස්ථානවල ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැති හෙයින් ඒවා හිස්වන ප්‍රමාණයන් අනුව ඉදිරියේදී විදෙස් ගතව සිටින ශ්‍රීලාංකිකයින් මෙරටට ගෙන්වීමට කටයුතු කරන බව ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගම පවසනවා.

එහි උප සභාපති රජිව් සූරියආරච්චි මහතා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ පසුගිය දින කිහිපය තුලම විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම සිදුකළ බැවින් ඔවුන් මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථානවල, නිරෝධායන කටයුතුවලට එක්ව සිටින බවයි.

මේ අතර, ඊශ්‍රායලයේ වෙසෙන මෙරට ශ්‍රමිකයින් රැගෙන ලබන 30 වන දින ශ්‍රී ලංකාවට බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානය එදිනට නොපැමිණෙන බවට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ ඊශ්‍රායලය ඇතුළු මැදපෙරදිග කලාපයේ රටවල් කිහිපයක් සඳහාම මෙලෙස සංවිධානය කර තිබූ ගුවන් ගමන් දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවයි.

මේ අතර, කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයින් 426 දෙනෙකු ගුවන් යානා 4 කින් අද (26) දිවයිනට පැමිණියා.

ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර් සහ ජර්මනියේ සිට පැමිණි බවයි හිරු ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ.

මෙරටින් වාර්තා වන කොරෝනා අසාදිතයින් සංඛ්‍යාව 2971 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ ඊයේ (25) දිනයේදී කොරෝනා රෝගීන් 12 දෙනෙකු වාර්තාවීමත් සමගයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *