මංගල සමරවීර කළ බලපෑමක් ගැන අනාවරණයක්

මංගල සමරවීර කළ බලපෑමක් ගැන අනාවරණයක්

ජලාශයට පැන්න තරුණිය බේරාගත් හැටි

ඩිලන්ත මාලගමුවට පළමු වරට රාජ්‍ය අනුග්‍රහය

විකිණීමට තහනම් රූපලාවන්‍ය නිෂ්පාදන තොගයක් අම්බලන්ගොඩදී අල්ලයි

දිවුලපිටියේදී අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලීසියෙන් වෙඩි

දුම්බර සිරගෙදරත් මත් ජාවාරම්

දහම් පාසල් හා පිරිවෙන් පහසුකම් සම්බන්ධයෙන් ඇමති වාර්තාවක් කැදවයි

පළමු ශ්‍රේණියේ සිසුන් සඳහා නිකුත් කර ඇති නිල ඇඳුම් තිළිණපත්වල කාලය දීර්ඝ කරයි

මාතලේ නගරාධිපති ඩල්ජිත් අලූවිහාරේ තාවකාලිකව තනතුරෙන් ඉවත් කෙරේ

හෙරොයින් ජාවාරමේ නිරතව සිටි පවුලක්ම පොලිස් අත්අඩංගුවට

රට පුරා වැව් 14,000 ක් ප්‍රතිසංස්කරණය සඳහා කාර්ය සාධක බලකායක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 5 දෙනෙකු සහ හිටපු මන්ත්‍රීවරුන් 4 ක් පාස්කු කොමිසමට කැදවයි

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරිට යොමු නොකළ වාර්තා

*********************************************

මංගල සමරවීර කළ බලපෑමක් ගැන අනාවරණයක්

(26.08.2020 – 20:37 +0530 – hirunews.lk/sinhala)

එල්.ටී.ටී.ඊ. සංවිධානයට සහය ලබාදුන් අය ලෙස අසාදු ලේඛන ගත කර සිටි පුද්ගලයින් දෙදෙනෙකුගේ (2) නම් ඉන් ඉවත් කිරීමට 2015 දී විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස මංගල සමරවීර තමාට බලපෑම් කළ බව බුද්ධි අංශ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි කර්නල් ශම්මි කුමාරරත්න මහතා අද (26) අනාවරණ කළා.

ඒ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින්.

සාක්ෂි ලබාදෙමින් කර්නල් ශම්මි කුමාරරත්න මහතා සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විසින් ත්‍රස්ත මර්දන ක්‍රමෝපායක් ලෙස අනුමත කරනු ලැබූ 13/73 ප්‍රඥප්තියේ ලේඛනයට ඇතුළත්වන ත්‍රස්තවාදී සංවිධානවලට සම්බන්ධ පුද්ගලයින් මෙන්ම සහය දක්වන පුද්ගලයින්ගේ නාම ලේඛනය සකස් කිරීමේ කටයුත්ත ජාතික බුද්ධි ප්‍රධානියාට අයත් කටයුත්තක් බවයි.

ඒ අනුව සෑම වසරකදීම යාවත්කාලීන කරන අදාළ ලේඛනයට 2015 වර්ෂය සඳහා වැඩි වශයෙන් ඇතුළත් වූයේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට සහය දැක්වූ පුද්ගලයින් බව කර්නල් ශම්මි කුමාරරත්න මහතා ප්‍රකාශ කළා.

ඔහු පැවසුවේ ජාතික බුද්ධි ප්‍රධානී කාර්යාලය විසින් සකස් කරනු ලැබූ එම ලේඛනය ආරක්ෂක ලේකම්වරයාට ඉදිරිපත් කරන බවත්, අනතුරුව ඔහුගේ නිර්දේශයෙන් ඊට අනුමැතිය ලබාගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශයට ඉදිරිපත් කරන බවයි.

ඒ අනුව එම ලේඛනය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය සාකච්ඡාවක් පවත්වා ඇති අතර ඊට මංගල සමරවීර සහ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස එවකට කටයුතු කළ අජිත් පී. පෙරේරා ද සහභාගි වී තිබෙනවා.

අසාදු ලේඛන ගතව තිබූ ‘එමානුවෙන් පියතුමා සහ සුරේන් සුරේන්ද්‍ර’ යන අයගේ නම් එල්.ටී.ටී.ඊ. සංවිධානයට සහය දුන් පුද්ගලයින් බව හඳුනාගෙන සිටි බවත් අදාළ පුද්ගලයින් දෙදෙනා (2) මංගල සමරවීරගේ මිතුරන් බවත් ඔහු එංගලන්තයට ගොස් සිටින කාලයේදී ඔවුන් සමග සම්බන්ධ වී ඉතා සුහදව සිටි බවත්, මංගල සමරවීර තමන්ට පැවසූ බව ශම්මි කුමාරරත්න මහතා සඳහන් කළා.

එහිදී මංගල සමරවීර ‘ඔවුන් ඒ කාලේ එල්.ටී.ටී.ඊ. වෙන්න පුළුවන්. නමුත් දැන් ඒ ගොල්ලෝ එල්.ටී.ටී.ඊ. නැහැ. තමුසේ පසුගිය කාලේ මේ ලේඛන හැදුවේ ගෝඨාභයගේ ටෙලිෆෝන් කෝල් එකකින් ආපු නම් දාලා’ යනුවෙන් තමන්ට පැවසූ බව සාක්ෂිකරු පැවසුවා.

මෙම සාකච්ඡාවේදී මංගල සමරවීරට තමන් කරුණු දැක්වීමට යාමේදී අජිත් පී. පෙරේරා තමාට නිහඬව සිටින ලෙසට අතින් සංඥා කළ බවත් අනතුරුව එම සාකච්ඡාව පැවති ස්ථානයෙන් මංගල සමරවීර පිටව යාමට පෙර ‘ඩෝන්ට් සෙන්ඩ් ඉට් ටු මී. අයි විල් කැච් යූ.’ යනුවෙන් සදහන් කළ බවද සාක්ෂි ලබා දෙමින් කර්නල් ශම්මි කුමාරරත්න මහතා සදහන් කළා.

මේ අතර නාවික හමුදා හිටපු මාධ්‍ය ප්‍රකාශක රියර් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක මහතා සිදුකළ පැමිණිල්ලකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර අද (26) දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනපති කොමිසම හමුවේ පෙනී සිටියා.

*********************************************

ජලාශයට පැන්න තරුණිය බේරාගත් හැටි

(26.08.2020 – 21:35 +0530 – hirunews.lk/sinhala)

රාජාංගනය ජලාශයට පැන දිවි නසා ගැනීමට තැත්කළ විසි එක් (21) හැවිරිදි අවිවාහක තරුණියකගේ දිවි බේරාගැනීමට රාජාංගනය ජලාශයේ පොලිස් ජීවිත ආරක්ෂක ඒකකයේ නිලධාරීන් අද (26) සමත් වුණා.

*********************************************

ඩිලන්ත මාලගමුවට පළමු වරට රාජ්‍ය අනුග්‍රහය

(26.08.2020 – 21:59 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ සුපිරි මෝටර් රථ ධාවන ශුර ඩිලන්ත මාලගමුව මහතා අතර විශේෂ හමුවක් අද (26) පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදී.

මෙම අවස්ථාව සඳහා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ද එක්ව සිටි අතර ඉතිහාසයේ පළමු වරට ඩිලන්ත මාලගමුව මහතාට අනුග්‍රහකත්වය ලබාදීම සඳහා වත්මන් රජය ඉදිරිපත් වී සිටිනවා.

මේ අනුව ලබන සැප්තැම්බර් මස 5 වැනි දා සිට නොවැම්බර් මස 15 වැනිදා දක්වා යුරෝපයේදී පැවැත්වෙන ලැම්බෝර්ගිනි සුපර් ට්‍රෝෆියෝ තරගාවලියේ සිට ඩිලන්ත මහතාට ලක් රජයේ අනුග්‍රහය හිමි වනු ඇති.

මෙහිදී අග්‍රාමාත්‍යවරයා, ලැම්බෝර්ගිනි සුපර් ට්‍රෝෆියෝ තරගාවලියේ ශුරතාව මෙරටට රැගෙන එම සඳහා ඩිලන්ත මාලගමුව මහතාට සුභාශිංසන එක් කළා.

*********************************************

විකිණීමට තහනම් රූපලාවන්‍ය නිෂ්පාදන තොගයක් අම්බලන්ගොඩදී අල්ලයි

(27.08.2020 – 06:50 +0530 – hirunews.lk/sinhala)

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිළධාරීන් විසින් අම්බලන්ගොඩ නගරයේ ඊයේ (26) සිදුකළ සෝදිසි කිරීමකදී වෙළඳසැලක තිබී අලෙවි කිරීමට තහනම් කර ඇති රූපලාවන්‍ය නිෂ්පාදන තොගයක් සිය භාරයට ගෙන තිබෙනවා.

නියමිත රසදිය සීමාව ඉක්මවූ, සුදු වීම සඳහා භාවිත කරන ක්‍රීම්,ආලේපන සහ දියර වර්ග විකිණීමට තිබියදී මෙලෙස සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම නිෂ්පාදන, ආනයනකරුගේ සහ නිෂ්පාදකයාගේ නම සහ ලිපිනයන් ද සඳහන් නොකරමින් අලෙවි කිරීමට එක්කර තිබූ බවයි විමර්ශන සිදුකළ නිලධාරීන් සඳහන් කළේ.

මෙලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය භාරයට ගත් ආලේපන සහ දියර තොගයේ වටිනාකම රුපියල් 135,000 ක් පමණ වනවා.

අදාල අලෙවිසැලේ හිමිකරුවන්ට එරෙහිව බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට නියමිත බවයි ගාල්ල පාරිභෝගික අධිකාරියේ නිලධාරී පැවසුවේ ෴

*********************************************

දිවුලපිටියේදී අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලීසියෙන් වෙඩි

(27.08.2020 – 07:15 +0530 – hirunews.lk/sinhala)

දිවුලපිටිය – දුනගහ හන්දිය ප්‍රදේශයේ පිහිටි මාර්ග බාධකයේදී අණ නොතකා ධාවනය කළ වෑන් රථයකට පොලීසිය ඊයේ වෙඩි තබා තිබෙනවා.

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ පොලීසිය අදාළ වෑන් රථය ලූහුබැද ගිය ද එය නවතා ගැනීමට නොහැකි වී ඇති බවයි.

කෙසේ වෙතත්, පසුව කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වෙත අවිස්වේල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා ඇතුළත් වී තිබෙනවා.

එහිදී අනාවරණ වී ඇත්තේ ඔහුගේ ඉල ඇට ප්‍රදේශයට වෙඩි වැදීමෙන් මෙම තුවාල සිදුවී ඇති බවටයි.

ඒ අනුව අදාළ වෑන් රථයේ ගමන් කළ රියදුරු මොහු ද යන්න සම්බන්ධයෙන් පොලිසිය මේ වනවිට විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා ෴

*********************************************

දුම්බර සිරගෙදරත් මත් ජාවාරම්

(27.08.2020 – 07:29 +0530 – hirunews.lk/sinhala)

දුම්බර බන්ධනාගාරයේ සිරදඬුවම් විඳින කාන්තාවක් මෙහෙයවන හෙරොයින් ජාවාරමට සම්බන්ධ තුන් දෙනෙකු (3) අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය සමත්ව තිබෙනවා.

ඒ අනුව සැකකරුවන් සතුව තිබූ රුපියල් ලක්ෂ 04 කට ආසන්න මත්කුඩු ග්‍රෑම් 25 ක් සහ ජංගම දුරකතන 03 ක් පොලිස් භාරයට ගෙන තිබුණා. කළුතර දකුණ පොලිස් වසමට අයත් ගල්අස්සහේන ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 02 කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු පළමුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී තවත් සැකකරුවෙකු පයාගල – මැහිමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා. එම පුද්ගලයාගෙන් ද කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මත්කුඩු ලබාදෙන ප්‍රධාන සැකකරු හෙරොයින් ග්‍රෑම් 20 ක් සමඟ පයාගල පැරණි ගුවන් තොටුපල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම ප්‍රධාන සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාවට ලක්ව ඩුබායි රාජ්‍යයට පළාගොස් සිටින ‘චාමර චතුරංග’ හෙවත් ‘කට්ටා’ මාර්ගයෙන් දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටින සිරකාරියක මෙම මත්කුඩු සපයන බවටයි අනාවරණ වී ඇත්තේ.

මේ අතර, මහියංගනය පූජා නගරයේ ‘ගෙවල් විස්ස’ ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 11 ක් සමඟ අඹුසැමි යුවලක් සහ ඔවුන්ගේ 28 හැවිරිදි දියණිය පොලිසිය ඊයේ (26) අත්අඩංගුවට ගනු ලැබුවා. එහිදී සැමියා සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 03 ක් සහ බිරිඳ සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 05 ක් සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ. ඔවුන්ගේ දියණිය සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 03 ක් තිබී ඇති අතර, ඇය මහියංගනය ප්‍රාදේශීය සභාවේ සේවිකාවකද වනවා.

*********************************************

දහම් පාසල් හා පිරිවෙන් පහසුකම් සම්බන්ධයෙන් ඇමති වාර්තාවක් කැදවයි

(27.08.2020 – 08:13 +0530 – hirunews.lk/sinhala)

දහම් පාසල් සහ පිරිවෙන් අධ්‍යාපන පහසුකම් සංවර්ධනය සහ සම්පත් සමානව බෙදීයාම පිළිබඳව අධ්‍යයනයක් සිදුකර ඒ සම්බන්ධයෙන් වාර්තාවක් කඩිනමින් කැඳවන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළා.

800 කට අධික පිරිවෙන් සහ 11,000 කට අධික දහම් පාසල්වල සංවර්ධනය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේදී විශේෂ සාකච්ඡාවක් ඊයේ (26) පැවති අතර එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ පවතින අඩුපාඩු නිවැරදි කර ගනිමින් සියල්ලන්ටම සම සමව පහසුකම් සැපයීමට කටයුතු කළ යුතු බවයි ෴

*********************************************

පළමු ශ්‍රේණියේ සිසුන් සඳහා නිකුත් කර ඇති නිල ඇඳුම් තිළිණපත්වල කාලය දීර්ඝ කරයි

(27.08.2020 – 09:04 +0530 – hirunews.lk/sinhala)

රජයේ සියලු පාසල්වල පළමු ශ්‍රේණියේ සිසුන් වෙනුවෙන් 2020 වර්ෂය සඳහා නිකුත් කර ඇති පාසල් නිල ඇඳුම් තිළිණපත්වල වලංගු කාලය දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ ඒ අනුව එම තිළිණපත්වල කාලය 2020-09-30 දින දක්වා දීර්ඝ කළ බවයි.

මෙම තිළිණපත්වල වලංගු කාලය මේ මස 31 වන දිනෙන් අවසන් වීමට නියමිතව තිබූ අතර, රට තුළ පැවති වාතාවරණය සැලකිල්ලට ගෙන සිසුන්ට එම තිළිණපත් සඳහා නිල ඇඳුම් ලබාගැනීමට ඇති කාලය තවදුරටත් ලබාදීම පිණිස මෙම තීරණය ගත් බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් දැනුම් දෙන්නේ ෴

*********************************************

මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ තාවකාලිකව තනතුරෙන් ඉවත් කෙරේ

(27.08.2020 – 09:47 +0530 – hirunews.lk/sinhala)

වහාම ක්‍රියාත්මක වන පරිදි මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ හට එම ධුරය දැරීම තාවකාලිකව අත්හිටුවීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා කටයුතු කර තිබෙනවා.

සංශෝධිත මහනගර සභා ආඥා පනතෙහි 277/1 වගන්තියේ සදහන් වැරදි මාතලේ මහ නගර සභාවේ නගරාධිපතිවරයා සිදුකර ඇත්ද යන්න මාස 3 ක කාලයක් ඇතුළත පරීක්ෂා කර වාර්තා කිරීම සඳහා පරීක්ෂණ කොමිෂන් සභාවක් ද පත් කිරීමටයි ආණ්ඩුකාරවරයා පියවර ගෙන ඇත්තේ.

ඒ සම්බන්ධයෙන් වන අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් කර ඇති අතර, අදාළ පරීක්ෂණය සිදුකිරීම සඳහා හිටපු විනිසුරුවරියක් වන සරෝජනී කුසලා වීරවර්ධන මහත්මිය පත් කර තිබෙනවා.

මීට අමතරව මාතලේ මහ නගර සභාවේ නගරාධිපතිවරයාගේ කාර්යයන් ඉටු කිරීම සඳහා එහි නියෝජ්‍ය නගරාධිපති සන්දනම් ප්‍රකාශ් මහතාට එම ගැසට් නිවේදනය මගින් බලය පවරා තිබෙනවා ෴

*********************************************

හෙරොයින් ජාවාරමේ නිරතව සිටි පවුලක්ම පොලිස් අත්අඩංගුවට

(27.08.2020 – 10:51 +0530 – hirunews.lk/sinhala)

මහියංගණය ප්‍රදේශයේ කලක පටන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ පවුලක් ඊයේ(26) මහියංගණ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මහියංගණය නගරයේ ප්‍රධාන පාසලක් ආසන්නයේ දොඩම්වත්ත, ‘ගෙවල් විස්ස’ ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ මව, පියා සහ දියණියක්.

ඒ මහියංගණ හා රිදී මාලියද්ද පොලිස්ථානවල පොලිස් නිළධාරින් විසින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත එම පවුලේ සාමාජිකයන්ගේ නිවාස කිහිපයක් හදිස්සි වැටලීමකින් අනතුරුවයි.

එහි තිබී හෙරොයින් ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 720 ක් සහ මත්ද්‍රව්‍ය මිළදී ගැණිමට පැමිණි පුද්ගලයන් විසින් මුදල් වෙනුවට ඇපයට තැබූ ජංගම දුරකථන 14 ක් ද ජාතික හැදුනුම්පත් 09 ක් හා රියදුරු බලපත්‍ර 03 ක් ඇතුළුව රුපියල් එක්ලක්ෂ අසු නවදහස් පන්සියයක් (1,89,500) පමණ මුදලක් සොයාගෙන තිබෙනවා.

එම පවුලේ බෑණාවරු දෙදෙනෙකුද (2) මේවන විට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිට අත්අඩංගුවට පත්ව බන්ධනාගාරව සිටින බවයි මහියංගණ පොලීසිය ප්‍රකාශ කළේ .

මීට පෙර අවස්ථා රැසකඳී පොලීසිය විසින් මෙම පවුලේ සාමාජිකයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළත් ඒ සෑම අවස්ථාවකදීම පොලිසියට විරුද්ධව අසත්‍ය චෝදනා නගමින් මානව හිමිකම් නඩුපැවරීමට ඔවුන් කටයුතු කල බවයි මහියංගනය පොලිසිය පෙන්වා දෙන්නේ.

අත්අඩංගුවට ගත් එම පුලේ සාමජිකයින් මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතයි ෴

*********************************************

රට පුරා වැව් 14,000 ක් ප්‍රතිසංස්කරණය සඳහා කාර්ය සාධක බලකායක්

(27.08.2020 – 11:47 +0530 – hirunews.lk/sinhala)

2020 මාස් වගා කන්නය ඉලක්ක කොට දිවයිනේ සියළුම පළාත් ආවරණය වන පරිදි ග්‍රාමීය වැව්, අමුණු හා ඇළ මාර්ග පද්ධතීන් පිළිසකර කිරීමට වාරිමාර්ග අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව වාරි සෞභාග්‍යයා වැඩ සටහන ඇරඹීම සදහා කාර්ය සාධක බලකායක් පිහිටුවීමට වාරිමාර්ග අමාත්‍යා චමල් රාජපක්ෂ මහතා තීරණය කළා.

මෙමගින් ග්‍රාමීය වැව් 14,000 ක් ප්‍රතිසංස්කරණය කොට සක්‍රිය තත්ත්වයට ගැනීමට පියවර ගන්නා අතර ඒ තුලින් දේශිය කෘෂි සහ ආහාර නිෂ්පාදන කේෂත්‍රයේ පිබිදීමක් ඇතිවේයැයි විශ්වාස කරන බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

මෙම විශේෂ කාර්ය සාධක බලකායට වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ඇති සියළු ආයතනයන්, ගොවිජන සේවා, මිනින්දෝරු, මහවැලි දෙපාර්තමෙන්තු, පළාත් පාලන හා පෞද්ගලික ආයතන, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවන් හි ප්‍රධාන හා ජේෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත වන අතර මහ ජනතාවගේද දායකත්වය ලබා ගැනීමට අමාත්‍යවරයා උපදෙස් දී තිබෙනවා.

*********************************************

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 5 දෙනෙකු සහ හිටපු මන්ත්‍රීවරුන් 4 ක් පාස්කු කොමිසමට කැදවයි

(27.08.2020 – 12:12 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 5 දෙනෙකු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 4 දෙනෙකු පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ විමර්ශන ඒකකය වෙත කැදවා තිබෙනවා.

එලෙස කැදවා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුමබණ්ඩාර, ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්, අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. හලීම් යන අයයි. එසේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුනිල් හඳුන්නෙත්ති, අකිල විරාජ් කාරියවසම්, ආශු මාරසිංහ සහ මංගල සමරවීරට ද කොමිසමේ විමර්ශන ඒකකය වෙත පෙනී සිටින ලෙසයි දැනුම් දී ඇත්තේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන සහ අයි.එස්. ත්‍රස්තවාදීන් සම්බන්ධයෙන් ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් ඔවුන්ට මෙම කැදවීම සිදුකර ඇති බව කොමිසමේ ප්‍රකාශකයෙකු සදහන් කළා ෴

*********************************************

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරිට යොමු නොකළ වාර්තා

(27.08.2020 – 12:30 +0530 – hirunews.lk/sinhala)

2019 අප්‍රේල් මස 1 වැනිදා සිට 20 වැනිදා දක්වා සහරාන් හෂීම් හෝ ඔහුගේ අනුගාමිකයින් සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට නොයැවූ බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ඊයේ (26) පිළිගත්තා.

ඒ, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙමින්.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ඊයේ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන්නේ 19 වැනි දිනටයි.

එවකට ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිල්ශාන් ජයසූරිය මහතා ‍සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසුවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *