‘අංගොඩ ලොක්කා’ගේ තවත් ගෝලයෙකු හෙරොයින් කිලෝ 3 ක් සමඟ අත්අඩංගුවට

‘අංගොඩ ලොක්කා’ගේ තවත් ගෝලයෙකු හෙරොයින් කිලෝ 3 ක් සමඟ අත්අඩංගුවට

බලහත්කාරයෙන් මුදල් එකතු කළ පුද්ගලයින් දෙදෙනෙකු (2) ගස් බැඳ පොලීසියට භාරදෙයි

මත්කුඩු ජාවාරම්කරුවන්ගේ මුදල් සංසරණය වූ ගිණුම් 102 ක් අත්හිටුවයි

පරිභෝජනයට නුසුදුසු ආහාර තිබූ ගම්පහ වෙළඳසැල්වලට නඩු

නිරෝධායනය අවසන් කළ කාන්තාවකට කොරෝනා ආසාදනය වේ

නඩත්තුවක් නොවූ අම්පිටිය සංචාරක ගම්මානය

ජීවන වියදම පිළිබඳ අමාත්‍ය අනුකමිටුවක්

හිරු අනාවරණයෙන් විසඳෙන හැමිල්ටන් කුණු ගැටළුව

හිරු හෙළිදරව්වෙන් සැකසෙන බෝම්බුවල පාසල් ක්‍රීඩා පිටිය

සිය දෙපාර්තමේන්තුව දූෂිත බව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් පිළිගනී

පොලීසිය කැළණි ගඟට පැන සමයංගේ ගෝලයෙක් අල්ලයි

ගම්වදින වන අලි කැලෑ වදින ක්‍රමවේදයක් හදන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

*********************************************

‘අංගොඩ ලොක්කා’ගේ තවත් ගෝලයෙකු හෙරොයින් කිලෝ 3 ක් සමඟ අත්අඩංගුවට

(27.08.2020 – 12:36 +0530 – hirunews.lk/sinhala)

මිය ගිය බවට සැක කෙරෙන ‘අංගොඩ ලොක්කා’ගේ සමීපතමයෙකු රුපියල් කෝටි 3 ක් පමණ වටිනා මත්කුඩු තොගයක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අද (27) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඔරුගොඩවත්ත – විදුලි සංඥා පුවරු ආසන්නයේදියි.

සැකකරු කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙකු වන අතර ඔහු වත්තල ප්‍රදේශයේ මේ වන විට තාවකාලිකව පදිංචි වී සිටින අයෙකු බවටයි හෙලි වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් මත්කුඩු තොගයේ බර කිලෝග්‍රෑම් 3 ක් වන අතර, වෑන් රථයේ තිබී රුපියල් 6,11,550 ක මුදලක්, චෙක් පොත් දෙකක් සහ ඒ.ටී.එම්. කාඩ්පත් කිහිපයක් ද සොයා ගැනුණා ෴

*********************************************

බලහත්කාරයෙන් මුදල් එකතු කළ පුද්ගලයින් දෙදෙනෙකු (2) ගස් බැඳ පොලීසියට භාරදෙයි

(27.08.2020 – 12:43 +0530 – hirunews.lk/sinhala)

නාරම්මල නගරයේදී ජනතාවගෙන් බලහත්කාරයෙන් මුදල් එකතු කළ පුද්ගලයින් දෙදෙනෙකු (2) ගස් බැඳ පොලීසියට භාරදීමේ සිද්ධියකට අදාළ වීඩියෝ දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.

මෙම පුද්ගලයින් දෙදෙනා (2) ජනතාවගෙන් බලහත්කාරයෙන් මුදල් එකතුකර ඇත්තේ පොලිස් නිලධාරීන් ලෙස ව්‍යාජව පෙනී සිටිමින්.

ඉන් එක් අයෙකු සතුව තිබූ පිහියක්ද අවට සිටි පිරිස විසින් සොයාගනු ලැබුවා.

එම පුද්ගලයින් දෙදෙනා පොලීසියට භාර දෙනු ලැබූ අතර පොලිසිය පැවසුවේ ඔවුන් පූජාපිටිය සහ මිනුවන්ගොඩ පදිංචිකරුවන් බවයි.

ඔවුන්ට එරෙහිව මෙවැනි සිද්ධීන් 50 ක් පමණ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇතැයි නාරම්මල පොලිසියේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති වෙත පැවසුවා.

ඒ අනුව රැඳවුම් නියෝග ලබාගෙන ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකිරීමට නියමිතයි.

ගාල්ල – බටේපොල ප්‍රදේශයේ 28 හැවිරිදි තරුණයෙකුට පිරිසක් පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර අප ඒ පිළිබදව හිරු ප්‍රවෘත්ති ඔස්සේ රටට අනාවරණ කළා.

පෞද්ගලික සමාගමක ඖෂධ හදුන්වාදීමේ නිළධාරියෙකු ලෙස කටයුතු කල එම තරුණයාට එම වෘත්තියේම නිරත පිරිසක් පහරදි තිබුණේ ඔහුගේ මිතුරෙකුගේ නිවසකට ගෙන්වා ගෙනයි.

එම පහරදීම සිදුකළ නිවසේ හිමිකරු සහ ඔහුගේ බිරිඳ පසුගිය අඟහරුවාදා පොලිසිය අත්අඩංගුවට ගත්තා.

කෙසේ වෙතත් හිරු අණාවරණයත් සමග පහර දීම සිදුකළ තවත් පුද්ගලයින් 11 දෙනෙකු පොලිසියට භාර වී තිබෙනවා.

ඔවුන් සියලු දෙනා ඇප මත මුදා හැර ඇති අතර, සැකකරුවන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවර බව බද්දේගම පොලීසිය පැවසුවා ෴

*********************************************

මත්කුඩු ජාවාරම්කරුවන්ගේ මුදල් සංසරණය වූ ගිණුම් 102 ක් අත්හිටුවයි

(27.08.2020 – 12:47 +0530 – hirunews.lk/sinhala)

මත්කුඩු අලෙවි කිරීමෙන් ජාවාරම්කරුවන් උපයා ගන්නා ලද රුපියල් මිලියන 2643 ක මුදලක් සංසරණය වූ ගිණුම් 102 ක් පොලිසිය විසින් අත්හිටුවා තිබෙනවා.

කෙසේ වෙතත් එම ගිණුම්වල මේ වන විට ඉතිරිව ඇත්තේ රුපියල් මිලියන 96.7 ක් පමණක් බව විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති වෙත සඳහන් කළා.

මේ අතර දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටින කාන්තාවක් විසින් මෙහෙයවන මත් ජාවාරමක තොරතුරු පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා ෴

*********************************************

පරිභෝජනයට නුසුදුසු ආහාර තිබූ ගම්පහ වෙළඳසැල්වලට නඩු

(27.08.2020 – 12:59 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල, හේකිත්ත සහ හැඳල යන ප්‍රදේශ වල පවත්වාගෙන යන ආපන ශාලා සහ වෙළඳසැල් කිහිපයක්ම මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන්ගේ පරික්ෂාවට ලක්කෙරුණා.

එහිදී දැකගන්නට ලැබුණේ අපද්‍රව්‍ය නිසිලෙස බැහැරකිරීමට හෝ මෙම ආපන ශාලා තුළ නිසි ක්‍රමවේදයක් නොමැති බවයි.

බොහෝ ආපනශාලාවල අක්‍රමවත් ලෙස ආහාර ගබඩා කර තිබෙන අයුරු දැකගත හැකි වුණා.

කල් ඉකුත්වූ ආහාර ද්‍රව්‍ය ශීතකරණ තුළ ගබඩා කර තිබූ ආපන ශාලාද ඒ අතර වුණා.

ඒ අනුව නිසි පරිදි ආහාර ගබඩා නොකිරීම, විධිමත් ලෙස අපද්‍රව්‍ය බැහැර නොකිරීම සහ ප්‍රමිතියෙන් තොර ආහාර නිශ්පාදනය යන කරුණු මත වෙළෙඳසැල් හිමිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගනු ලැබුවා.

*********************************************

නිරෝධායනය අවසන් කළ කාන්තාවකට කොරෝනා ආසාදනය වේ

(27.08.2020 – 13:05 +0530 – hirunews.lk/sinhala)

ඩුබායි සිට මෙරටට පැමිණ නිරෝධායනයට ලක් වූ ගැබිණි කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

හලාවත මූලික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කේ.පී.මල්ලවාරච්චි ප්‍රකාශ කළේ 27 හැවිරිදි මෙම කාන්තාව ඩුබායි සිට පැමිණ නිරෝධායනය අවසන් කර පසුව ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටින අතරතුර කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වී ඇති බවයි.

මෙම ගැබිණි කාන්තාව බංගදෙණිය ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර, ඇය හලාවත කොරෝනා ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

*********************************************

නඩත්තුවක් නොවූ අම්පිටිය සංචාරක ගම්මානය

(27.08.2020 – 13:10 +0530 – hirunews.lk/sinhala)

2008 වසරේ මහින්ද චින්තනය යටතේ ආරම්භ කල ව්‍යාපෘතියක් වන මධුරාවල අම්පිටිය සංචාරක ගම්මානය පසුගිය වසර කිහිපය තුල නිසි ලෙස නඩත්තු නොකිරීම හේතුවෙන් මේ වන විට ගැටළු රැසක් උද්ගතවී තිබෙනවා.

කම්හල , කුඹල් කර්මාන්තය හා රෙදි විවීම ඇතුලු දේශීය කර්මාන්ත රැසක් මෙහි පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන් ක්‍රියාත්මක වුණා.

කෙසේ වෙතත් පැවති රජය විසින් කිසිදු නඩත්තු කටයුත්තක් සිදු නොකිරීම හේතුවෙන් එම ගොඩනැගිලි වලට අද අත්ව ඇති ඉරණමයි මේ.

පාස්කු ප්‍රහාරයෙන් පසුව සහ කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් සංචාරකයින්ගේ පැමිණීම සීමා වීමත් සමග මෙම සංචාරක ගම්මානයෙන් යැපුණු බොහෝ පිරිකට අද ගැටළු රැසකට මුහුණ පෑමට සිදුව තිබෙනවා.

දෙස් විදෙස් සංචාරකයින්ගේ මෙන්ම පාසල් ළමුන්ගේ අධ්‍යාපන චාරිකාවලද ගමනාන්තය වූ අම්පිටිය සංචාරක ගම්මානය, වසර 6 කට වරක් සංචාරක අමාත්‍යාංශය පිරිනැමෙන හොදම සංචාරක ගම්මානයට හිමි සම්මානය දිනා ගැනීමටද සමත් වුණා.

ඒ අනුව නව තාක්ෂණ දැනුම සමග මෙම කර්මාන්ත ඉදිරියට ගෙන යෑමෙන් සංචාරක ආකර්ශනය දිනා ගැනීමේ අපේක්ෂාව තවමත් මේ කර්මාන්තකරුවන් තුළ නොනැසී පවතිනවා.

රුපියල් මිලියන ගණනක් වියදම් කරමින් සංචාරක ආකර්ශනය දිනා ගැනීම සඳහා ඉඳී කල මේ ගම්මානය නැවත යථා තත්ත්වයට පත් කිරීම සදහා බලධාරින්ගේ අවධානය යොමු වන තෙක් ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

*********************************************

ජීවන වියදම පිළිබඳ අමාත්‍ය අනුකමිටුවක්

(27.08.2020 – 13:25 +0530 – hirunews.lk/sinhala)

නිෂ්පාදකයින්ට සහ පාරිභෝගිකයින්ට සාධාරණයක් වන ලෙස රටේ නිෂ්පාදනය සහ වෙළඳපොල තත්ත්වය නියාමනය කර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජීවන වියදම පිළිබඳව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) රැස්වූ කැබිනට් හමුවේදී මෙම තීරණය ගත් බවයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ.

සරල බදු ක්‍රමයක් ක්‍රියාවට නැංවීම සඳහා පනත් 4 ක් සංශෝධනය කිරීම සඳහා මෙන්ම දේශීය ආදායම් සහ එකතු කළ අගය මත බදු පනත් සංශෝධනය කිරීම සඳහාද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව මාධ්‍ය හමුවට එක්වූ සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළා.

එහිදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ දිවයින පුරා පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් වූ බවයි.

*********************************************

හිරු අනාවරණයෙන් විසඳෙන හැමිල්ටන් කුණු ගැටළුව

(27.08.2020 – 13:57 +0530 – hirunews.lk/sinhala)

පරිසරයට මුදාහැර ඇති නොදිරන ද්‍රව්‍ය සහ රසායනික අපද්‍රව්‍ය හේතුවෙන් හැමිල්ටන් ඇළේ මත්ස්‍ය වගාවන්ට දැඩි බලපෑම් සිදුව ඇති අකාරය ‘හිරු රතු මිනිත්තුවෙන්’ මීට පෙර අනාවරණ කළා.

ඒ අනුව එම ගැටලුවට කඩිනම් විසදුම් ලබා දීමට පුත්තලම සහ කල්පිටිය ප්‍රදේශීය සභා නිලධාරීන් ඉදිරිපත් වීම පැසසුමට ලක්විය යුතු කරුණක්.

කල්පිටිය ප්‍රාදේශීය සභාවට අයත් පුත්තලම – මදුරන්කුළිය සිට තෝඩුවාව දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය දෙපසට අක්‍රමවත් ලෙස කසළ බැහැර කිරීම හේතුවෙන් උද්ගතව ඇති පාරිසරික ගැටළුව පිළිබද පසුගිය 21 වැනිදා අපි ‘හිරු රතු මිනිත්තුව’ ඔස්සේ රටට අනාවරණ කළා.

ඉවක් බවක් නොමැතිව පරිසරයට මුදා හැර ඇති නොදිරන ද්‍රව්‍ය මෙන්ම රසායනික ද්‍රව්‍ය අඩංගු කසළ හේතුවෙන් මෙම ගැටළුව හේතුවෙන් එම ප්‍රදේශයෙන් ගලා බසින රමණීය හැමිල්ලටන් ඇළ මාර්ගයද, අපවිත්‍ර වී ඇති බව අප පෙන්වා දුන්නා.

ඒ අනුව ක්‍රියාත්මක වූ කල්පිටිය ප්‍රදේශීය සභාවේ සහ පුත්තලම ප්‍රාදේශිය සභාවේ නිළධාරීන් අදාල කසළ ගැටළුවට විසදුම් ලබා දීමට ඉදිරිපත් වී තිබෙනවා.

කසළ බැහැර කිරීමට විදිමත් ක්‍රම සකස් කර තිබියදීත් පරිසරය විනාශවන ආකරයට සිදු කරන මෙවැනි ක්‍රියා වලින් වැලකී සිටින ලෙස ප්‍රාදේශීය සභාවේ නිළධාරීන් ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටිනවා.

හිරු ප්‍රවෘත්ති කළ අනාවරණය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් මෙලෙස ප්‍රසාදය පළ කළා.

*********************************************

හිරු හෙළිදරව්වෙන් සැකසෙන බෝම්බුවල පාසල් ක්‍රීඩා පිටිය

(27.08.2020 – 14:13 +0530 – hirunews.lk/sinhala)

පාසල් ක්‍රීඩා පිටියේ පෙළහරපානා කළුතර බෝම්බුවල ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ක්‍රීඩා පිටියක් නොමැතිව මුහුණදෙන දුෂ්කරතා සම්බන්ධයන් ‘හිරු රෙඩ් කාඩ්’ තුළින් පසුගියදා අපි අනාවරණය කළා.

එම පුවතින් අනතුරුව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත්තේ කඩිනමින් ක්‍රීඩා පිටිය සකස් කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරිමයි.

සමස්ත ලංකා පාසල් ත්‍රෝ බෝල් ශුරතාව සිව් වසරක් දිනා සිටින කළුතර බෝම්බුවල ශ්‍රී ධර්මාලෝක විද්‍යාලීය ක්‍රීඩා පිටියේ අද පවතින තත්ත්වය ගැන Hiru Red Card තුළින් අපි අනාවරණය කළේ පසුගිය සදුදා දිනයේදීයි.

2019 වසරේදී රුපියල් ලක්ෂ 25 ක මුදලක් වැයකරමින් මෙම ක්‍රීඩා පිටිය නවීකරණ කරන්නට බලධාරීන් පියවර ගත්තත්, ඉන් ශ්‍රී ධර්මාලෝක දු දරුවන්නට සිදුවුණේ යන්තම් හෝ සිය ක්‍රීඩා පුහුණුවීම් කටයුතු සිදු කරන්නට තිබු හැකියාවත් නැත්තටම නැතිවී යාම මෙන්ම ඔවුන් සිය පුහුණුවීම් යාබඳ පිහිටි අධිවේගී මාර්ගය අසළ සිදු කරන අයුරුත් අපි පෙන්වා දුන්නා.

ක්‍රීඩා පිටියක ප්‍රමිතියේ වැදගත්කම පිළිබඳ හයක් හතරක් නොදත් සම-හරක් වූ නිලධාරීන්ගේ මෙම ක්‍රියා කලාපය නිසා ශ්‍රී ධර්මාලෝක දු දරුවන් මුහුණදෙන ජිවිත අවදානම ගැනත් අපි එහිදි ක්‍රීඩාව කරවන බලධාරීන්ගේ අවධානයට යොමු කළා.

Hiru Red Card අනාවරණය දුටු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා, ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතාට සහ අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ බෝම්බුවල ශ්‍රී ධර්මාලෝක විද්‍යාලීය ක්‍රීඩා කඩිනමින් සකස් කිරිමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසයි.

එම සුබ පුවතත් රැගෙන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ මහතා ශ්‍රී ධර්මාලෝක විද්‍යාලීය පැමිණියා.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා මෙම දු දරුවන්ට සහතියකයක් ලබා දුන්නේ යුද හමුදාව සමග එක්ව ක්‍රීඩා පිටිය නිසි ප්‍රමිතියෙන් යුතුව සකස් කිරීමට කඩිනමින් පියවර ගන්නා බවයි.

මෙරට ක්‍රීඩා අනාගතය රැඳී පවතින්නේ පාසැල් ක්‍රීඩාවට බලධාරීන් ලබාදෙන අවධානය මත බවට විවාදයක් නැහැ.

ඒ අනුව විවේචන සහ මග පෙන්වීම් ඔස්සේ මෙන්ම අගයකිරීම් හරහාත් මෙරට ක්‍රීඩාවේ හෙට දවස වෙනුවෙන් කැපවන බවට ‘හිරු ස්පෝර්ට්ස්’ සහතික වනවා.

*********************************************

සිය දෙපාර්තමේන්තුව දූෂිත බව, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් පිළිගනී

(27.08.2020 – 16:06 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය ආයතන අතර සිය දෙපාර්මේන්තුව දූෂිත ආයතනයක් බවට නම් දරා ඇති බව තමන් පිළිගන්නා බව මෝටර්රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නීතීඥ සුමිත් අලහකෝන් මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ ‘හිරු ඇත්ත’ සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්.

තමා කිසිවිටකත් අල්ලස් නොගන්නා බව පවසන කොමසාරිස් ජනරාල්වරයා තම දෙපාර්තමේන්තුවේ එවැනි දූෂණ වන අවස්ථා තිබේනම් ඒවා හැකිනම් මුහුණු පොතට හෝ එක්කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

වාහන දුම් පාරික්ෂාව නතර කිරීම පිළිබඳව මේ වනතෙක් තීරණයක් ගෙන නොමැති නමුත් ඒ පිළිබඳව විෂයභාර අමාත්‍යවරයා සමඟ සාකච්චාවක් පැවත්වීමට නියමිත බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නීතීඥ සුමිත් අලහකෝන් මහතා සඳහන් කළා.

වාහන දුම් පාරික්ෂාව නතර කිරීම පිළිබදව සමාජය තුළ මේවන විට කථිකාවක් ඇතිවී තිබෙන බව ද ඔහු පවසනවා.

එමෙන්ම වාහන ලියාපදිංචිය, අන්තර්ජාලය හරහා සිදුකිරීමට ජනතාවට අවස්ථාව සලසා දෙන බවද ඔහු අනාවරණ කළා.

හිරු ඇත්ත සමග පැවැත්වූ සම්පූණ සාකච්ඡාව පහතින් :

*********************************************

පොලීසිය කැළණි ගඟට පැන සමයංගේ ගෝලයෙක් අල්ලයි

(27.08.2020 – 16:49 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේදී මියගිය බවට සැක කෙරෙන අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු රුපියල් කෝටි 3 ක් පමණ වටිනා මත්කුඩු තොගයක් වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අද (27) අත්අඩංගුවට ගත්තා.

ඒ, ඔරුගොඩවත්ත – විදුලි සංඥා පුවරු ආසන්නයේදියි.

පසුගිය 23 වැනිදා රටින් පලායෑමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගත් අංගොඩ ලොක්කාගේ ගෝලයින් ඇතුළු සිව් (4) දෙනාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් ලද තොරතුරුවලට අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ.

‘කෙසෙල්වත්තේ ක්‍රිෂාන්ත’ නැමැති 40 හැවිරිදි සැකකරු වත්තල ප්‍රදේශයේ මේ වනවිට තාවකාලිකව පදිංචි වී සිටින අයෙකු බවටයි හෙලි වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ බර කිලෝග්‍රෑම් 03 ක් වන අතර, වෑන් රථයේ තිබී රුපියල් 611,550 ක මුදලක්, චෙක් පොත් දෙකක් සහ ඒ.ටී.එම්. කාඩ්පත් කිහිපයක් ද සොයා ගැනුණා.

මේ අතර, පාතාල නායක සමයංගේ ගෝලයෙකු වන කනත්ත ගමගේ ඉඳුනිල් වජිර කුමාර හෙවත් ඉන්ද්‍රා හෙරොයින් ග්‍රෑම් 10 ක් සමඟ නවගමුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජල්තර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු රක්ෂිත බන්ධනාගාරගතව සිට මීට සති දෙකකට පමණ පෙර පැමිණ ඇති අතර, ඔහු නැවත මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවට ලද තොරතුරකට අනුවයි වැටලීම සිදුකර ඇත්තේ.

සැකකරු එම අවස්ථාවේදී කැලණි ගඟට පැන පළායෑමට උත්සාහ කර ඇති අතර, පොලිස් නිලධාරීන් කැලණි ගඟට පැන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී සැකකරු සතුව තිබී හෙරොයින් ද සොයා ගත්තා. ඔහුට මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධයෙන්ද චෝදනා එල්ල වී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

එසේම, පිටකොටුව මැනිං වෙළඳ සංකීර්ණය තුළ කලක සිට හෙරොයින් ජාවාරමේ නිරත වූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මරදාන – ලොකට් ලේන් ප්‍රදේශයේදී 43 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 20 කට වැඩි ප්‍රමාණයක්ද සොයාගැනීමට හැකි වූ බවයි පොලිසිය සඳහන් කළේ.

පානදුර මෝදරවිල නිවාස සංකීර්ණයේ පොලිස් නිල සුනඛයින් සහ පොලිස් නිලධාරීන් 135 දෙනෙකු පමණ යොදවා අද (27) අලුයම සිදුකළ සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් ග්‍රෑම් 05 කට වැඩි ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

*********************************************

ගම්වදින වන අලි කැලෑ වදින ක්‍රමවේදයක් හදන්න – ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස්

(27.08.2020 – 17:02 +0530 – hirunews.lk/sinhala)

වන අලි ගම් වැදීම වෙනුවට කැලෑ වදින ක්‍රමවේදයක් සකස් කර අලි මිනිස් ගැටුමට දෙවසරක් තුළ ස්ථීර විසඳුමක් ලබා දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

මිනිසා සහ වන අලියා යන කොට්ඨාශ දෙකම සුරැකෙන කඩිනම් සහ ස්ථීර විසඳුම් සෙවීම ප්‍රමුඛ කාර්යක් බවයි ජනාධිපතිවරයා අවධාරණය කරන්නේ.

වනජීවි රැකවරණය, අලි වැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළ හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලැසුම් පිළිබඳව අද (27) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන් කළා.

දිස්ත්‍රික්ක රැසක ජනතාව මුහුණ දෙන වන අලි ගම් වැදීමේ ගැටළුව වසර 40 කට ආසන්න කාලයක් සාකච්ඡාවට ලක්වන අතර විවිධ විසඳුම් ක්‍රියාත්මක කළ ද ගැටළුව මෙතෙක් විසඳී නැහැ.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දෙන්නේ 2019 වසරේ දී වන අලි ගම් වැදීමෙන් මිනිස් ජීවිත 122 ක් අහිමි වී ඇති බවයි.

එමෙන්ම එම කාලය තුල වන අලි 407 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

මෙම වසරේ ගත වූ මාස 08 තුළ අහිමි වූ මිනිස් ජීවිත ගණන 62 ක් වන අතර මිය ගිය අලි සංඛ්‍යාව 200 ක්.

මේ හේතුවෙන් වගා කටයුතුවලට, දෛනික ජන ජිවිතයට මෙන්ම වන අලි ගහණයට එල්ල වී ඇති තර්ජනය අතිවිශාල බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ.

හෙක්ටයාර දොළොස් ලක්ෂයක (12,00,000) කැලෑ බිමක් වනජීවි දෙපාර්තමේන්තුව සතුව පවතිනවා.

වන සතුන්ගේ ආහාර පිළිබඳ සොයා බැලීම ද වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වගකීමක් බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

දීර්ඝ කාලයක සිට පවතින ගැටළුවට විසඳුමක් සෙවීමට හෝ උපාය මාර්ග සකස් කිරීමට හෝ අදාළ ක්ෂේත්‍රවල නිලධාරීන්ට නොහැකිවීම පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී මවිතය පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

වන අලි ගම් වැදීම වළක්වා ජන ජීවිතය සහ වගා බිම් ආරක්ෂා කිරීමට ස්ථීර විසඳුම්ක් සෙවීම සඳහා කමිටුවක් ද පත්කර තිබෙනවා.

රක්ෂිත භූමිවල ඇති වැව් සහ ජලාශ ප්‍රතිසංස්කරණයට සහ ඒ ආශ්‍රිතව තෘණ වගාව ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවේදී පෙන්වා දී තිබෙනවා.

කඩොලාන සංරක්ෂණය සහ පුළුල්ව ව්‍යාප්ත කිරීමේ අවශ්‍යතාව ද දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කර තිබෙනවා.

කඩොලාන වගා කිරීමේදී ජනතාවට ප්‍රතිලාභ හිමිවන අයුරින් නීති ලිහිල් කළ යුතුව ඇතැයි ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

කඩොලාන ආශ්‍රිතව ඉස්සන් වගාව කරගෙන යාමට ඇති හැකියාව ද නිලධාරීන් පෙන්වා දී තිබෙනවා.

ගංගා ආශ්‍රිතව වැලි ගොඩදැමීම පාලනයක් සහිතව කරගෙන යාමට එම ප්‍රදේශවල ජනතාවට අවසර දීම කෙරෙහි ද අවධානය යොමු කර තිබෙනවා.

ජනතා උද්යෝගය මත ක්‍රියාත්මක ව්‍යාපෘති ජනතා අවධානයෙන් මිදී ඇති කාලයේදී ද අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නිලධාරීන් වගබලා ගතයුතු බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත්තේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *