දේශපාලන පළිගැනීම් ගැන සොයන ජනපති කොමිසමට හමුදා බුද්ධි නිලධාරියෙකු ලබාදුන් සාක්ෂිය

දේශපාලන පළිගැනීම් ගැන සොයන ජනපති කොමිසමට හමුදා බුද්ධි නිලධාරියෙකු ලබාදුන් සාක්ෂිය

නාරම්මලදී ජනතාවගෙන් බලහත්කාරයෙන් මුදල් එකතු කළ දෙදෙනෙකු (2) ගස් බැඳ පොලීසියට භාරදෙයි

විග්නේෂ්වරන්ගේ ප්‍රකාශය ගැන අද (27) පාර්ලිමේන්තුවේදී අදහස් පළවෙයි

මත්ස්‍ය ආනයනයට වැය කෙරෙන විදේශ විනිමය පහත හෙළීමට ජනපතිගේ අවධානය

හෙරොයින් සමඟ බන්ධනාගාර නියාමකවරයෙකු බොරැල්ලේදී අත්අඩංගුවට

හය (6) මාසයක් තුල මත්ද්‍රව්‍යවලට අත්අඩංගුවට පත් පිරිසෙන් වැඩි පිරිසක් අවුරුදු 30 ට අඩු තරුණයින්

ඉස්සන් වගාව වෙනුවෙන් ආනවිලුන්දාවේ සිදුකළ කඩොලාන විනාශය ගැන විශේෂ විමර්ශනයක්

කොරෝනා සමයේ අඩපණ වූ ව්‍යාපාර ගැන සංගණනයක්

කඩු සහ උණ්ඩ සමඟ ‘ඇලේටඩ් මංජු’ අල්ලයි

ශ්‍රී ලංකන් ගුවන් සේවය, තෝරාගත් ගමනාන්ත කිහිපයකට ගුවන් ගමන් අඛණ්ඩව

*********************************************

දේශපාලන පළිගැනීම් ගැන සොයන ජනපති කොමිසමට හමුදා බුද්ධි නිලධාරියෙකු ලබාදුන් සාක්ෂිය

(27.08.2020 – 21:06 +0530 – hirunews.lk/sinhala)

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළවල රජයේ සාක්ෂිකරවෙකු ලෙස පෙනි සිටින්නැයි, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අවස්ථා ගණනාවකදී තමන්ට තර්ජනාත්මකව බලපෑම් කළ බව බුද්ධි නිලධාරියෙකු දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අද (27) ප්‍රකාශ කළා.

එලෙස සාක්ෂි ලබා දුන්නේ ශ්‍රී ලංකා යුද හමුදා පළමුවන බුද්ධි බලකායේ මාණ්ඩලික සැරයන් තරංග ප්‍රසාද් ගමගේ මහතායි.

දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් සැරයන් තරංග ප්‍රසාද් ගමගේ මහතා පැවසුවේ, 2016 පෙබරවාරි 18 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස පළමු වරට තමාට දැනුම් දීමක් කළ බවයි.

එහිදී තවත් ලුතිනල් කර්නල්වරයකු සමඟ තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය අවස්ථාවේදී, එවක එහි අධ්‍යක්ෂකව සිටී ශානි අබේසේකර ‘මේවා මේ දේශපාලන වුවමනාවලට කරන දේවල් තමා. දැන් මේවා අපි කරගන්න ඕනේ’ යනුවෙන් කර්නල්වරයාට ප්‍රකාශ කළ බව සැරයන් තරංග ප්‍රසාද් ගමගේ මහතා ප්‍රකාශ කළා.

ඔහු පැවසුවේ තමාව ඒ අවස්ථාවේදී ශානි අබේසේකර විසින් සමූහ මංකොල්ල අංශයේ උප පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක සහ සැරයන් මෙන්ඩිස් වෙත යොමු කළ බවයි.

එහිදී එම නිලධාරීන් ‘දැන් අපිට හොයා ගන්න දෙයක් නැහැ. කරලා තියෙන දේවල් පිළිගෙන අත්සන් කරලා ගෙදර යන්න’ යනුවෙන් තමාට බලපෑම් කළ බව සැරයන් තරංග ප්‍රසාද් ගමගේ මහතා සඳහන් කළා.

ඔහු පැවසුවේ එක් අවස්ථාවක දී යම් පුද්ගලයකුගේ ඡායාරූපයක් පෙන්වමින් අදාළ පුද්ගලයා හඳුනනවාදැයි විමර්ශන නිලධාරීන් තමා ගෙන් තර්ජනාත්මකව විමසූ බවයි.

එම පුද්ගලයා තමා හඳුනන්නේ නොමැති බව ප්‍රකාශ කිරීම නිසා උරණ වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ‘මේ තමයි ප්‍රගීත් එක්නැලිගොඩ. මෙයාව තමයි පැහැරගෙන ගොස් මරල දාල තියෙන්නෙ. ඔහුව රැගෙන ගිය වාහනය ධාවනය කළේ තමන් බව පිළිගන්න’ යනුවෙන් තමාට බලපෑම් කළ බව සාක්ෂිකරු දිගින් දිගටම සඳහන් කළා.

සැරයන් තරංග ප්‍රසාද් ගමගේ මහතා පැවසුවේ, අදාළ සිද්ධිය වූ 2010 ජනවාරි 24 වෙනිදා තමන් කොළඹ රැඳී නොසිටි බවයි.

තමා මින්නේරිය සහ මඩකලපුව ප්‍රදේශවල සිටි බව ධාවන සටහන් පරිශීලනයෙන් පෙනී යන බවද ඔහු සඳහන් කළා.

උප පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක සහ සැරයන් මෙන්ඩිස් තමාට රජයේ සාක්ෂිකරුවෙකු වන ලෙස අවස්ථා කිහිපයකදී බලපෑම් කළ බවත් එසේ නොමැති වුවහොත් මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සෙසු නිලධාරින් සමඟ රක්ෂිත බන්ධනාගාර ගත කරන බවත් එල්ලුම් ගහට යැවීමේ හැකියාව ඇති බවත් ප්‍රකාශ කළ බවද සැරයන් ගමගේ මහතා ප්‍රකාශ කළා.

ඔහු පැවසුවේ, වාස් ගුණවර්ධන, දුමින්ද සිල්වා යන මහත්වරුන් ඇතුළු විසි පස් දෙනෙකුට (25) නඩු පවරා ඇති බව ද අදාළ නිලධාරින් තමාට තර්ජනාත්මකව පැවසූ බවයි.

එමෙන්ම, 2018 මාර්තු 04 වැනිදා හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතාගේ දැනුම් දීමක් මත ඔහුගේ නිල නිවසට ගිය අවස්ථාවේල යුධ හමුදාපතිවරයා තමන් අමතාලි ‘සි.අයි.ඩි. යේ ශානි අබේසේකර, උප පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක අවස්ථා කිහිපයකදී මා හමුවී සහ දුරකථන ඇමතුම් ලබා දී මේ සිද්ධිය ගැන කතා කළා. මේක යුද හමුදාවට කැළලක්. ප්‍රගීත් එක්නැලිගොඩගේ නඩුවේ රජයේ සාක්ෂිකාරයෙක් වෙන්න ඔයා කැමැත්ත පළ කරලා තියෙනවා. ඔයා දැන් මොකක්ද කරන්නේ’ යනුවෙන් තමාගෙන් විමසා සිටි බවද සාක්ෂිකරු සඳහන් කළා.

සැරයන් තරංග ප්‍රසාද් ගමගේ මහතා පැවසුවේ අසත්‍ය සාක්ෂි ලබා දී රජයේ සාක්ෂි කාරයෙකු විය නොහැකි බව තමා ඒ අවස්ථාවේ ප්‍රකාශ කළ බවයි.

මේ අතර, හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසමට කර ඇති පැමිණිල්ලක වගඋත්තරකරුවෙකු ලෙස තමා නම් කිරීමට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය මෝසමක් මඟින් සිය මූලික විරෝධතා ගොනු කළා.

ඒ, 2006 වසරේ බ්‍රිතාන්‍යයේ පැවැති වෙළෙඳ හා ආයෝජන සමුළුවකට සහභාගිවීමට ගිය අවස්ථාවේ බ්‍රිතාන්‍ය පවුම් 5600 ක් දින 3 කදී වැය කළ බවට අල්ලස් කොමිසම පැවරූ නඩුව මගින් තමා දේශපාලන පළිගැනීමකට ලක්වූ බව සඳහන් කරමින් බෝගොල්ලාගම මහතා කර තිබූ පැමිණිල්ලට අදාළවයි.

කෙසේ වෙතත්, වික්‍රමසිංහ මහත්මිය වෙනුවෙන් ඇයගේ නීතිඥයා ඉදිරිපත් කළ විරෝධතා පිළිබඳ අදහස් දක්වමින් කොමිසමේ සභාපති විනිසුරු උපාලි අබේරත්න මහතා සඳහන් කළේ ඕනෑම පුද්ගලයෙකුට කොමිසමට පැමිණිලි කළ හැකි අතර, මෝසමෙන් දක්වා ඇති කරුණු පිළිබඳව සිය ස්ථාවරය ලබන 11 වැනිදා දැනුම් දෙන බවයි.

*********************************************

නාරම්මලදී ජනතාවගෙන් බලහත්කාරයෙන් මුදල් එකතු කළ දෙදෙනෙකු (2) ගස් බැඳ පොලීසියට භාරදෙයි

(27.08.2020 – 21:14 +0530 – hirunews.lk/sinhala)

නාරම්මල නගරයේදී ජනතාවගෙන් බලහත්කාරයෙන් මුදල් එකතු කළ පුද්ගලයින් දෙදෙනෙකු (2) ගස් බැඳ පොලීසියට භාරදී තිබෙනවා.

ඔවුන් මෙලෙස මුදල් එකතුකර ඇත්තේ පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින්.

මෙම පුද්ගලයින් දෙදෙනා (2) ජනතාවගෙන් බලහත්කාරයෙන් මුදල් එකතුකළ බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.

ඉන් එක් අයෙකු සතුව තිබූ පිහියක්ද අවට සිටි පිරිස විසින් සොයාගනු ලැබුවා.

එම පුද්ගලයින් දෙදෙනා (2) පොලීසියට භාර දෙනු ලැබූ අතර පොලිසිය පැවසුවේ ඔවුන් පූජාපිටිය සහ මිනුවන්ගොඩ පදිංචිකරුවන් බවයි.

ඔවුන්ට එරෙහිව මෙවැනි සිද්ධීන් 50 ක් පමණ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇතැයි නාරම්මල පොලිසියේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති වෙත පැවසුවා.

ඒ අනුව රැඳවුම් නියෝග ලබාගෙන ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකිරීමට නියමිතයි.

මේ අතර ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ නිවසක CCTV කැමරා පද්ධතියක් සවි කිරීමට ගිය පුද්ගලයෙකුට එම නිවසේ පදිංචිකරුවන් විසින් අමානුෂීය ලෙස පහර දුන් පුවතක්ද අපට වාර්තා වුණා.

මෙලෙස පහරකෑමට ලක්වූයේ වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

තමන් මුහුණු පොතේ පළකරන විවිධ මතවලට විරුද්ධ පුද්ගලයන් පිරිසක් විසින් මෙම පහරදීම සිදුකර අන්තර්ජාලයට මුදා හැර ඇති බවයි පහරකෑමට ලක් වූ පුද්ගලයා පවසන්නේ.

මේ අතර, ගාල්ල – බටපොළ ප්‍රදේශයේ 28 හැවිරිදි තරුණයෙකුට පිරිසක් පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ අතර අප ඒ පිළිබදව හිරු ප්‍රවෘත්ති ඔස්සේ රටට අනාවරණ කළා.

පෞද්ගලික සමාගමක ඖෂධ හදුන්වාදීමේ නිළධාරියෙකු ලෙස කටයුතු කල එම තරුණයාට එම වෘත්තියේම නිරත පිරිසක් පහරදි තිබුණේ ඔහුගේ මිතුරෙකුගේ නිවසකට ගෙන්වා ගෙනයි.

එම පහරදීම සිදුකළ නිවසේ හිමිකරු සහ ඔහුගේ බිරිඳ පසුගිය අඟහරුවාදා පොලිසිය අත්අඩංගුවට ගත්තා.

සිද්ධිය පිළිබඳව හිරු අණාවරණයත් සමග පහර දීම සිදුකළ තවත් පුද්ගලයින් 11 දෙනෙකුද පොලිසියට භාර වී තිබෙනවා.

ඔවුන් සියලු දෙනා බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබෙනවා.

+++++++++++++++++++++++++++++++++++

සංවිධානාත්මකව යතුරුපැදි සහ ත්‍රීරෝද රථ සොරකම් යෙදුණු සැකකරුවන් සිව් (4) දෙනෙකු ගම්පහ පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් විසින් එලෙස සොරකම් කරන ලද යතුරුපැදි 11 ක්, යතුරුපැදි කොටස් දෙකක් (2) සහ ත්‍රීරෝද රථ දෙකක් (2) ද සොයාගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ ෴

*********************************************

විග්නේෂ්වරන්ගේ ප්‍රකාශය ගැන අද (27) පාර්ලිමේන්තුවේදී අදහස් පළවෙයි

(27.08.2020 – 21:36 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද (27) පාර්ලිමේන්තුවේදී පක්ෂ විපක්ෂ අදහස් පළ වුණා.

මේ අතර, පුත්තලම – ආනවිලුන්දාව තෙත්බිම් රක්ෂිතය ඉස්සන් වගාවක් සඳහා ඩෝසර් කර ඇති බවට අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (27) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

*********************************************

මත්ස්‍ය ආනයනයට වැය කෙරෙන විදේශ විනිමය පහත හෙළීමට ජනපතිගේ අවධානය

(28.08.2020 – 06:46 +0530 – hirunews.lk/sinhala)

මත්ස්‍ය ආනයනයට වාර්ෂිකව වැය කෙරෙන විදේශ විනිමය පහත හෙළීම, පැතිකඩ කිහිපයකින් සැලසුම් කළයුතුව ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය සහ ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු සහ මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළා.

මාළු, කරවල, උම්බලකඩ සහ ටින් මාළු ආනයනයට වාර්ෂිකව රජය ඩොලර් මිලියන 500 කට ආසන්න මුදලක් වැය කරනු ලබනවා.

ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේ රට වටා මුහුදු තීරයෙන් සහ රට අභ්‍යන්තරයේ ඇති වැව් පද්ධතියෙන් නිසි ඵල ගෙන විදේශ විනිමය උපයන අපනයන අතරට ධීවර කර්මාන්තය පත්විය යුතු බවටයි.

ධීවර කර්මාන්තය දළ දේශීය නිෂ්පාදනයට මෙතෙක් දී ඇති දායකත්වය 1% ක්.

විසිතුරු මත්ස්‍ය වර්ග 700 කට ආසන්න සංඛ්‍යාවක් අපනයනය කිරීමේ හැකියාව ඇතැයි විසිතුරු මත්ස්‍ය කර්මාන්තකරුවෝ පෙන්වා දී තිබෙනවා.

ලොව විශාල ඉල්ලුමක් ඇති ජලජ පැළෑටි ආනයනය කර නිෂ්පාදනාගාර තුළ වගා කර නැවත අපනයනයට පවතින බාධක ලිහිල් කිරීමට ඇති ඉඩකඩ සොයා බලන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

රට අභ්‍යන්තරයේ ඇති වැව් සංඛ්‍යාව 18,000 ක් පමණ වන අතර එහෙත් මිරිදිය මත්ස්‍ය කර්මාන්තයට යොදාගෙන ඇත්තේ 1500 කට ආසන්න වැව් සංඛ්‍යාවක් පමණයි.

මිරිදිය මත්ස්‍ය ප්‍රවර්ධනයට මත්ස්‍ය පැටව් 90,000 ක් වැව්වලට මුදාහැරීමට සැලසුම් කර ඇති බවට මෙම සාකච්ඡාවේදී කරුණු අනාවරණය වුණා ෴

*********************************************

හෙරොයින් සමඟ බන්ධනාගාර නියාමකවරයෙකු බොරැල්ලේදී අත්අඩංගුවට

(28.08.2020 – 06:53 +0530 – hirunews.lk/sinhala)

කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ නියාමකවරයෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් බොරැල්ල – සිරිසර උයන ප්‍රදේශයේදී ඊයේ (27) රාත්‍රීයේ මෙම බන්ධනාගාර නියාමකවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 94 යි මිලිග්‍රෑම් 132 ක් සමඟයි.

49 හැවිරිදි සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් ෴

මට්ටක්කුලිය සමිට්පුර ප්‍රදේශයේදී ගංජා සමඟ නාවික හමුදා සෙබළුන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ නාවික හමුදාවට අයත් වෑන් රථයක්, ඊයේ (27) මෙලෙස පරීක්ෂා කිරීමේදී එහි තිබී ගංජා ග්‍රෑම් 3 ක් පොලිස් භාරයට ගත් බවයි.

එම අවස්ථාවේදී අදාළ වෑන් රථයේ සිටි නාවික හමුදාසෙබළුන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් නාවික හමුදා මූලස්ථානයට අනුයුක්තව සේවය කරමින් සිටි අය බවයි පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් මෙම නාවික හමුදා සෙබළුන් දෙදෙනා (2) මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 24 සහ 26 වයස්වල පසුවන්නන් ෴

*********************************************

හය (6) මාසයක් තුල මත්ද්‍රව්‍යවලට අත්අඩංගුවට පත් පිරිසෙන් වැඩි පිරිසක් අවුරුදු 30 ට අඩු තරුණයින්

(28.08.2020 – 07:44 +0530 – hirunews.lk/sinhala)

පසුගිය මාස 06 තුල මත්ද්‍රව්‍ය හේතුවෙන් අත්අඩංගුවට පත් පනස් දෙදහසක් (52,000) පමණ වන පිරිසෙන් වැඩි පිරිසක් අවුරුදු 30 ට අඩු තරුණ පිරිස බව අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙළගෙදර මහතා පවසනවා.

එයින් සියයට 20 – 25 ක් ම පාසල් වියේ පසුවන දරුවන් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මහනුවර, පොල්ගොල්ල ජාතික සමූපකාර සංවර්ධන ආයතනයේ ඊයේ (27) පස්වරුවේ පැවැති වැඩමුළුවකට එක්වෙමින් සභාපතිවරයා මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අන්තරායකර ඖෂධ පාලන ජාතික මණ්ඩලයේ සභාපතිවරයා පැවසුවේ පසුගිය මාස 06 තුල මත්ද්‍රව්‍ය නිසා අත්අඩංගුවට පත් 52,000 තුල හෙරොයින් හේතුවෙන් අත්අඩංගුවට පත්වීම් 24,000 ක්, ගංජා හේතුවෙන් අත්අඩංගුවට පත්වීම් 26,000 ක් පමණ සිදුව ඇති බවයි.

මධ්‍යම සහ ඌව පළාත්වල පාසල් දරුවන් මත් උවදුරෙන් මුදාගැනීම වෙනුවෙන් ගුරුවරුන් සහ ගුරු උපදේශකවරුන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ඊයේ (27) පැවැත් වුණා.

*********************************************

ඉස්සන් වගාව වෙනුවෙන් ආනවිලුන්දාවේ සිදුකළ කඩොලාන විනාශය ගැන විශේෂ විමර්ශනයක්

(28.08.2020 – 07:43 +0530 – hirunews.lk/sinhala)

ඉස්සන් වගාවක් වෙනුවෙන් රැම්සා තෙත් බිමක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති ආනවිලුන්දාව අභය භූමියේ කඩොලාන විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව වනජීවි හා වනසංරක්ෂණ අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා සඳහන් කළේ ඊයේ (27) දිනයේදී අදාළ කඩොලාන විනාශය පිළිබඳව බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කළ බවයි.

ආනවිලුන්දාව අභය භූමියේ බටහිර මායිමට ආසන්න ප්‍රදේශයේ කඩොලාන පද්ධතිය පසුගිය කාලය පුරාම විනාශ කර තිබීම හේතුවෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වයඹ විශ්වවිද්‍යාලයේ සහය ඇතිව කඩොලාන පරිසර පද්ධතිය ප්‍රතිස්ථාපනය කිරීමේ වැඩසටහනක්ද ආරම්භ කර තිබුණා.

කෙසේ වෙතත්, එවැනි කඩොලාන ප්‍රතිස්ථාපන කටයුත්තක් සිදුකරමින් පැවතියදී පසුගිය 25 වැනිදා රාත්‍රියේ ඉතිරිව තිබූ තවත් කඩොලාන පද්ධතියක් විනාශ කර ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ ෴

*********************************************

කොරෝනා සමයේ අඩපණ වූ ව්‍යාපාර ගැන සංගණනයක්

(28.08.2020 – 07:56 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (27) දිනයේදී කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු (2) වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,986 දක්වා ඉහළ ගියා.

අවසන් වරට වාර්තා වූ ආසාදිතයින් දෙදෙනා (2) කුවේටයෙන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටින පුද්ගලයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඩුබායි සිට මෙරටට පැමිණ නිරෝධායන කටයුතු අවසන් කර නිවසට පැමිණි ගැබිණි කාන්තාවකට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ අදාළ කාන්තාවගේ ආශ්‍රිතයින් 15 දෙනෙකු ඊයේ (27) දිනයේදී ස්වයං නිරෝධායන කටයුතු සඳහා යොමු කෙරුණා.

29 හැවිරිදි මෙම කාන්තාව බංගදෙණිය – කොට්ටපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර, ඇය හලාවත මහරෝහලේ කොරෝනා ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරුව මුල්ලේරියාව මූලික රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

එමෙන්ම, කොරෝනා වෛරසය හේතුවෙන් බලපෑම් එල්ල වීම හේතුවෙන් අඩපණ වූ ව්‍යාපාරික ස්ථාන පිළිබඳව ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව විසින් සමීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ සියලු අංශ කෙරෙහි කොරෝනා වෛරසය නිසා බලපෑම් එල්ල වී ඇති අතර, ඒ හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට රැකියා අහිමි වීමේ අවදානමකටද ලක්ව ඇති බවයි ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කෙසේ වෙතත්, ඒ සඳහා දිගුකාලීන සැලසුම් හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට නිවැරදි දත්ත සහ තොරතුරු අත්‍යවශ්‍ය වනවා.

එබැවින් අදාළ සමීක්ෂණයට නිවැරදි දත්ත ලබාගැනීම සඳහා මාර්ගගත ක්‍රමය හෙවත් ‘ඔන්ලයින්’ ක්‍රමවේදය ඔස්සේ ඊට සහභාගි විය හැකියි.

ඒ අනුව www.statistics.gov.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් අදාළ ඉල්ලුම් පත්‍ර ලබාගැනීමේ හැකියාව පවතිනවා.

එම ඉල්ලුම් පත්‍රය පුරවා 011 214 7412 යන ෆැක්ස් අංකයට හෝ අදාළ වෙබ් අඩවියේ දක්වා ඇති විද්‍යුත් ලිපිනයට යොමු කිරීමේ හැකියාව පවතින බවයි ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එසේ නොමැති නම් ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව, නොම්මර 306/71, පොල්දූව පාර, බත්තරමුල්ල යන ලිපිනයටද තොරතුරු ලබාදීමේ හැකියාව පවතිනවා.

මේ අතර, කොරොනා වෛරසය පැතිරීම මැඩපැවැත්වීමට රජය ගෙන වැඩපිළිවෙළට නෝර්වීජියානු රජය පැසසුමට ලක් කර තිබෙනවා.

ඒ එරට තනාපති ට්‍රීනා යුරන්ලි මහත්මිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (27) පස්වරු අරලියගහ මන්දිරයේ හමුවු අවස්ථාවේදියි.

එහිදී ඇය පසුගිය මැතිවරණය ජයග්‍රහණය කිරිම ගැන ද අග්‍රාමාත්‍යවරයාට සුබ පැතුම් එක් කර තිබෙනවා.

මෙම හමුවේදි කෝවිඩ් 19 වෛරසය නිසා සිදු වු ආර්ථික බලපෑම පිළිබඳවද අවධානය යොමුවී තිබෙනවා ෴

*********************************************

කඩු සහ උණ්ඩ සමඟ ‘ඇලේටඩ් මංජු’ අල්ලයි

(28.08.2020 – 07:55 +0530 – hirunews.lk/sinhala)

කඩු 03 ක් සහ T-56 උණ්ඩ 04 ක් සමඟ කිරිදිවැල, මැද්දේගම පදිංචි ‘ඇලේටඩ් මංජු’ නැමැති පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කිරිදිවැල පොලිසිය එක්ව සිදුකළ මෙහෙයුමකදී මෙම තැනැත්තා අත්අඩංගුවට ගත් බවයි.

මේ අතර බුලත්සිංහල, පරගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු බෝර 12 තුවක්කුවක් සමඟ කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

*********************************************

ශ්‍රී ලංකන් ගුවන් සේවය, තෝරාගත් ගමනාන්ත කිහිපයකට ගුවන් ගමන් අඛණ්ඩව

(28.08.2020 – 07:57 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා රජය ගෙන ගිය වැඩපිළිවෙල යටතේ ගුවන් ගමන් සීමා කෙරුණද, යළි ගමනාන්ත කිහිපයක් සඳහා අඛන්ඩව ගුවන් ගමන් සිදුකිරීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඉතාලියේ මිලාන්, එක්සත් රාජධානියේ ලන්ඩන්, ජපානයේ ටෝකියෝ, මාලදිවයිනේ මාලේ අගනගරය, ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට්, ප්‍රංශයේ පැරීසිය සහ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර දක්වා මෙම ගුවන් ගමන් සිදු කෙරෙනු ඇති ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *