මම යවපු වාර්තා එක මිනිහෙක් හරි කියෙව්වා නම් අර අහිංසක මිනිස්සු මැරෙන්නේ නැහැ‍ – නිලන්ත ජයවර්ධන

මම යවපු වාර්තා එක මිනිහෙක් හරි කියෙව්වා නම් අර අහිංසක මිනිස්සු මැරෙන්නේ නැහැ‍ – නිලන්ත ජයවර්ධන

කර්මාන්ත අමාත්‍යවරයා සහ හම්බන්තොට වරාය සමාගම අතර සාකච්ඡාවක්

රටේ සෑම නගරයකටම විධිමත් නාගරික සංවර්ධන සැළැස්මක්

ආනවිලුන්දාව තෙත්බිමේ ඉස්සන් කොටු සකස්කළ බැකෝ යන්ත්‍රය සහ හිමිකරු අත්අඩංගුවට

කැළණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයට පළමුවරට කාන්තාවක්

සහනදායි මෝටර් රථ බලපත්‍ර හිමියන්ට අලුත් අවස්ථාවක්

වෙලේ සුදා, නාකොටික් නිලධාරියෙකුට මාසිකව ලක්ෂ එකහමාරක් (1½) ගෙවූ බවට හෙළිදරව්වක්

ජාතිවාදය ප්‍රතික්ෂේප කළ ජනතාව දෙසත් බලන්න

මගීන් සහිත බස් රථ ඉන්ධනහල් වෙත ගෙනයන සේවකයන්ට දඬුවම්

සමයංගේ ප්‍රධාන වෙඩික්කරු ‘ඉන්ද්‍රා’ පොලිස් වෙඩි ප්‍රහාරයකින් මරුට

රාජ්‍ය බැංකුවල අක්‍රමිකතා සොයන, කමිටුව මහජන සහය පතයි

*********************************************

මම යවපු වාර්තා එක මිනිහෙක් හරි කියෙව්වා නම් අර අහිංසක මිනිස්සු මැරෙන්නේ නැහැ‍ – නිලන්ත ජයවර්ධන

(28.08.2020 – 19:13 +0530 – hirunews.lk/sinhala)

පූර්ව අනතුරු ඇඟවීම අනුව සියළුම ආරක්ෂක අංශ කණ්ඩායමක් ලෙස ක්‍රියාත්මක වී සහරාන්ගේ අනුගාමිකයන් අත්අඩංගුවට ගැනීමක් සිදුවූයේ නම් පාස්කු ප්‍රහාර මාලාව වලක්වා ගැනීමට හැකියාව පැවති බව, රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයා ජනපති කොමිසමේදී ප්‍රකාශ කළා.

ඒ 20 වෙනි දිනටත් සාක්ෂි ලබාදෙමින්.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් පෙනීසිටි නීතිඥ දිල්ෂාන් ජයසුරිය දෙවන දිනටත් හරස් ප්‍රශ්න යොමුකරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන ගෙන් විමසා සිටියේ 2019 අප්‍රේල් මස 04 දින ලද විදෙස් බුද්ධි තොරතුර ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස්ට යොමු කිරීමේදී Top Secret යන වචනයට වඩා වැඩි යමක් සටහන් නොකළේ මන්ද යන්නයි.

“මම හිතුවේ Top Secret කියන එක තේරුම් ගනී කියලා. මට ඉහළින් ඉදපු සෑම නිලධාරියෙකුටම බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් යම් දැනුමක් තිබ්බා. සිසිර මෙන්ඩිස් මහතා ජාතික බුද්ධි ප්‍රධානියා හැටියට වැඩකරන්නේ 2015 ඉදලා. මේ මම Top Secret කියලා යවපු පළමු බුද්ධි තොරතුර නෙමේ. මම විශ්වාස කළා කැබිනට් එකෙන් පත්කරපු නිලධාරින්ට තමන්ට එන කොළයක් කියවලා තේරුම්ගැනීමේ හැකියාවක් තිබ්බා කියලා. නමුත් මට දැන් හිතෙනවා ගතයුතු පියවරත් ලිඛිතව දැනුම් දුන්නානම් හොදයි කියලා.” යනුවෙන් නිලන්ත ජයවර්ධන පිළිතුරු ලබා දුන්නා.

එහිදී ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා ඔහුගේ සේවාදායකයා වෙනුවෙන් නොවිමසු ප්‍රශ්න හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ දිල්ෂාන් ජයසූරිය මහතා විමසන්නේ ඇයි දැයි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කළා.

“මගේ සේවාදායකයා වන හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එල්ල වෙලා තියෙන චෝදනාව තමයි, 04 වෙනිදා බුද්ධි තොරතුර ලැබුනා, 21 ප්‍රහාරයක් එල්ල වුණා. දවස් 17 ක් යනකං කිසිම පියවරක් ගත්තේ නැහැ කියන එක. ඒ සම්බන්ධයෙන් ඔහුට මහේස්ත්‍රාත් අධිකරණයේ අපරාධ නඩුවක් පවා තියෙනවා. ඒ නිසා මට අවශ්‍යයි අප්‍රේල් 04 ලද බුද්ධි තොරතුර 21 වෙනකං තිබුණේ කවුරු ළඟද ඔවුන් කොහොමද ක්‍රියා කළේ, දින 17 ඇතුළත ලිපි කොහොමද හුවමාරු වුනේ කියලා මේ ගරු කොමිසමට පෙන්වා දෙන්න.” යනුවෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ නීතිඥ දිල්ෂාන් ජයසූරිය සඳහන් කළා.

වැඩිදුරටත් සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කරමින් නීතිඥවරයා විමසා සිටියේ “අප්‍රේල් 04 බුද්ධි තොරතුරේ ‘වැදගත් පල්ලි’ වලට ප්‍රහාරයක් එල්ල විය හැකි බව සදහන් වු බැවින් එය කියවු විට කුමන පල්ලි වැදගත් පල්ලි ලෙස හැඟු‍ණාද?” යන්නයි.

ඊට පිලිතුරු දෙමින් නිලන්ත ජයවර්ධන ප්‍රකාශ කළේ ‘වැදගත් පල්ලි’ යන්න තුළින් එක්වරම හිතට ආවේ කොච්චිකඬේ පල්ලිය. වෙනත් පල්ලි කිසිවක් මතකයට පැමිණියේ නැහැ යනුවෙන්.

වැදගත් පල්ලියක් ලෙස කොච්චිකඩේ පල්ලිය හැගී ගිය බැවින් ඒ අවට ආවේශන රාජකාරි කරන ලෙස නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාට සහ සහකාර අධ්‍යක්ෂවරයාට ලිඛිතව නියෝග කළා දැයි ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා එහිදී විමසා සිටියා.

“මම ලිඛිතව එවැනි නියෝගයක් නොකළද වාචිකව ඒ අවට අවේශන රාජකාරි සිදුකරන ලෙස දැනුම් දුන් නිසා නිලධාරින් එම ප්‍රදේශයේ අවේශන රාජකාරි කරන්නට ඇති බව සිතනවා.

බුද්ධි නිලධාරින්ට වඩා නිල ඇදුමෙන් සිටින නිලධාරින් ආරක්ෂාව සදහා යෙදවුවේ නම් ප්‍රහාරය එල්ල කිරීමට පැමිණෙන්නන් තුළ යම් චකිතයක් ඇතිවීමට ඉඩ තිබුණා.” යනුවෙනුයි ඊට පිළිතුරු දුන් නිලන්ත ජයවර්ධන ප්‍රකාශ කළේ.

“අප්‍රේල් 04 වන දින ප්‍රහාරය පිළිබද විදෙස් බුද්ධි අංශ පුර්ව දැනුවත් කිරීමක් කර තිබියදි අප්‍රේල් 16, 17 දින සහරාන් හෂිම් ප්‍රමුඛ අනුගාමිකයන් ප්‍රහාරය සැලසුම් කිරීමට කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුළ ගැවසී ඇති පසුබිමක බුද්ධි අංශ එම හෝටල් වල ආවේශන රාජකාරි සිදු කළේ නැද්ද ?”‍ ජනාධිපති කොමිසමේ විශ්‍රාමික අභියාචනාධිකරණය විනිසුරු යළි ප්‍රශ්න කළා.

බුද්ධි තොරතුරේ හෝටලයකට ප්‍රහාරයක් එල්ල විය හැකි බව සදහන් වුවද, සහරාන් හෂීම් ප්‍රමුඛ අන්තවාදින් තරු 05 හෝටල් වල ගැවසෙන බවට තොරතුරු ලැබී තිබුනෙ නැහැ. ඒ නිසා තරු 05 හෝටල් වල පැය 24 ම ආවේශන රාජකාරි වල යෙදවීමට රාජ්‍ය බුද්ධි සේවය සතුව නිලධාරින්ද නොමැති බැවින් තරු 05 හෝටල් වල නිලධාරින් ආවේශ්‍ය රාජකාරි වල යෙදවීමක් සිදු කළේ නැතැයි නිලන්ත ජයවර්ධන පිළිතුරු දුන්නා.

නීතිඥ දිල්ෂාන් ජයසූරිය යළිත් ප්‍රශ්න කරමින් විමසා සිටියේ “විදෙස් බුද්ධි තොරතුර ලැබුනේ ඔබට බැවින් ඒ තොරතුරේ අවධානම තුරන් කිරීමට පැහැදිලිව හැකියාව තිබුනේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයාට නේද ?” යනුවෙන්.

“රටේ පැවතුන නීතිය සංශෝධනය කරලා අපිටත් හමුදා පුහුණුව දිලා තුවක්කු අතට දුන්නානම් අපිට ඒක කරන්න පුළුවන්. ප්‍රහාරයක් එල්ල වෙනකං මම විතරයි Subject එකේ හිටියේ, අනිත් අය හිටියේ වෙන වෙන Subjects වල. මට හිතෙන්නෙ මම විතරක් සහරාන් කියන Subject එකේ ඉඳපු එකයි වැරැද්ද. දැන් මේ ඔක්කෝම කියන්නේ ප්‍රහාරයක් එල්ල වුණ නිසානෙ. පාස්කු ප්‍රහාරයෙන් පස්සේ මහත්මා වෘත්තිකයෝ නැහැ. ඉන්නේ පුද්ගලයෝ විතරයි . 2019 වසරේ ජනවාරි ඉදලා බුද්ධි සමාලෝචන රැස්වීම් 26 ක් තියෙන්න තිබ්බා. 05 යි තිබ්බේ. මම යවපු වාර්තා එක මිනිහෙක් හරි කියෙව්වා නම් අර අහිංසක මිනිස්සු මැරෙන්නේ නැහැ.”‍ ඊට පිළිතුරු දෙමින් නිලන්ත ජයවර්ධන සඳහන් කළා.

“අප්‍රේල් 04 ලද බුද්ධි තොරතුර සම්බන්ධයෙන් සියළුම ආරක්ෂක අංශ එක්ව කණ්ඩායමක් ලෙස රාජකාරි සිදුකළේනම් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වලක්වා ගැනීමට ඉඩ තිබුන ද ?” ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කර සිටියා.

“100% නොවුනත් යම් ප්‍රමාණයකට හානිය අවම කරගන්න තිබුණා. මරාගෙන මැරෙන ප්‍රහාරයක් සම්පුර්ණෙන්ම නැවැත්වීම අසීරු කටයුත්තක්. නවුෆර් මවුලවි හෝ ඊබ්‍රාහිම් සහෝදරයන් අත්අඩංගුවට ගත්තානම් යම් ප්‍රමාණයකට ප්‍රහාරයේ විශාලත්වය අවම කර ගැනීමට තිබුණා. නමුත් සම්පුර්ණ ප්‍රහාරයම වැලැක්වීමට නම් සහරාන් හෂීම් අත්අඩංගුවට ගතයුතුව තිබුණා.” යනුවෙන් නිලන්ත ජයවර්ධන ඊට පිළිතුරු දෙමින් සඳහන් කළා.

*********************************************

කර්මාන්ත අමාත්‍යවරයා සහ හම්බන්තොට වරාය සමාගම අතර සාකච්ඡාවක්

(28.08.2020 – 18:32 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය පිළිබඳව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ HIPG සමාගම අතර සාකච්ඡාවක් කර්මාන්ත අමාත්‍යාංශයේ දී පැවැත්වුණා.

එහිදී ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය පිණිස එම සමාගම විසින් සකසන ලද යෝජනාවලියක් ද අමාත්‍යවරයා වෙත පිළිගන්වා තිබෙනවා.

ඉදිරියේ දී හම්බන්තොට ජාත්‍යන්තර වරාය පරිශ්‍රයේ ඉදිකිරීමට නියමිත හෙක්ටයාර 280 ක කර්මාන්තපුරය පිළිබඳවද මෙහි දී කරුණු ඉදිරිපත් වූ බව සඳහන්.

එම කර්මාන්ත පුරයෙහි ප්‍රථමයෙන් ටයර් කර්මාන්ත ශාලාවක් ඉදි කිරීමට නියමිත අතර ඒ සඳහා සිදු කරන ආයෝජනය ඇමරිකන් ඩොලර් මිලියන 300 ක් වන බව අදාළ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා පෙන්වා දෙනවා.

මෙමගින් හම්බන්තොට ප්‍රදේශයේ 2000 කට පමණ රැකියා අවස්ථා හිමිකරදීමත්, ටයර් නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු අමුද්‍රව්‍ය ශ්‍රී ලංකාවෙන් ලබා ගැනීමත් ප්‍රධාන අරමුණ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

මෙම සඳහා HIPG සමාගමේ සාමාන්‍යාධිකාරී ටිම් ෂියාඕ ද එක්ව සිටියා.

*********************************************

රටේ සෑම නගරයකටම විධිමත් නාගරික සංවර්ධන සැළැස්මක්

(28.08.2020 – 17:57 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ සියලුම නගර සඳහා ව්‍යාපාරික හා නේවාසික ස්ථාන වෙන් වූ විධිමත් නාගරික සංවර්ධන සැළැස්මක් සකස් කරන්නැයි අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමට සහභාගීවෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

නාගරික ප්‍රදේශවල ජනතාවට පදිංචිවීමට වෙන්කර තිබෙන නේවාසික ප්‍රදේශ කිසිවෙකුගේ බලපෑමකට ලක්ව ව්‍යාපාරික ස්ථාන සඳහා වෙන් නොකිරීමට වගබලා ගන්නැයි අගමැතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දී ඇති බවයි සඳහන් වන්නේ.

මුහුදට අපද්‍රව්‍ය එක්වීම වැළැක්වීමේ පියවරක් ලෙස, ගංගාවන්වලට කැළි කසළ එක්වීම වැළැක්වීමේ වැ‍ඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳව ද අග්‍රාමාත්‍යතුමා නිලධාරීන්ගේ අවධානය යොමු කර තිබෙනවා.

රජයේ සංවර්ධන ව්‍යාපෘතිවලට අමතරව තරගකාරී බවින් යුතුව පෞද්ගලික අංශයේ සංවර්ධන ව්‍යපෘති සඳහා යොමුවීමේ වැදගත්කම රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට අග්‍රාමාත්‍යතුමා විසින් මෙහිදී පෙන්වා දී තිබෙනවා.

පසුගිය ආණ්ඩුව අවසන් නොකළ ව්‍යාපෘති පිළිබඳව සොයා බලා ඒවා ජනතාව වෙනුවෙන් අවසන් කරන්නැයි නියෝග කළ අග්‍රාමාත්‍යතුමා ඇතැම් නිවාස ව්‍යාපෘති කිසිදු වගකීමකින් තොරව අලි වැට ඇතුළත පවා ඉදිකර තිබීම ගැන විමතිය පළ කළා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය ඉදිරි මාස 04 තුළ රුපියල් බිලියන 28 ක සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

පසුගිය ආණ්ඩු සමයේ අවිධිමත්ව කළ පත්වීම් සහ ක්‍රියාකාරීත්වය හේතුවෙන් පාඩු ලබන ආයතන බවට පත් වූ සියලු ආයතන ලබන දෙසැම්බර් 31 වනදාට පෙර ලාභ ලබන ආයතන බවට පත් කල හැකි බවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය ලේකම් සිරිනිමල් පෙරේරා මහතා එහිදී විශ්වාසය පළ කලා.

රාජ්‍ය ඉඩම් සංස්ථාවේ මාසික ආදායම රුපියල් මිලියන 90 ක් වුව ද, පසුගිය ආණ්ඩු සමයේ සිදු වූ අවිධිමත් පත්වීම් නිසා එහි මාසික වියදම රුපියල් මිලියන 166 ක් තරම් ඉහළ අගයක් ගෙන ඇතැයි අමාත්‍යංශ ලේකම්වරයා කියා සිටියා.

නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පසුගිය අවුරුදු හතර හමාරක (4½) කාලය තුළ ඉදි වී තිබෙන මුළු නිවාස සංඛ්‍යාව 450 ක් තරම් අඩු සංඛ්‍යාවක් බව මෙම ප්‍රගති සමාලෝචන රැස්වීමේදී හෙළිවී තිබෙනවා.

ඉදිරියේදී ප්‍රධාන නගර ඉලක්ක කර ගනිමින් කොළඹ, මහනුවර, අනුරාධපුර, මාතර, කුරුණෑගල නගරවල රථ ගාල් ඉදි කිරීමට නියමිත බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා පැවසුවා.

පළාත් පාලන ආයතන විසින් මේ වන විට එකතු කරන කැළි කසළ බැහැර කිරීමේ වගකීම නාගරික සංවර්ධන අධිකාරියට පවරා ඇතැයි කී ප්‍රසාද් රණවීර මහතා එම වගකීම වෙනුවෙන් ජනාධිපතිවරයා විසින් කමිටුවක් ද පත්කර ඇති බව සිහිපත් කළා.

අඩු ආදායම්ලාභී, පහළ ආදායම්ලාභී, මධ්‍යම ප්‍රාන්තික, ඉහළ ආදායම්ලාභී හා රාජ්‍ය සේවකයින් ඉලක්ක කර ගනිමින් ඉදිරියේදී අමාත්‍යංශයේ මඟ පෙන්වීම යටතේ නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

පැල්පත් නිවාස ලාභීන්ට නොමිලේ ලබාදීමට තට්ටු නිවාස 1400 ක් අලුතින් ඉදි කර ඇති අතර එම පැල්පත් නිවාස පැවති ස්ථානවලද නව නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව ප්‍රසාද් රණවීර මහතා ප්‍රකාශ කර තිබෙනවා.

මෙයට අමතරව මධ්‍යම ප්‍රාන්තික නිවාස 608 ක් රජයේ සේවකයින් වෙනුවෙන් ඉදි කර ඇති අතර තවත් නිවාස 800 ක් රජයේ සේවකයින් වෙනුවෙන් 2021 වර්ෂයේදී ඉදි කර අවසන් කිරීමට නියමිතයි.

මෙම නිවාස ව්‍යාපෘතිවලට අමතරව ඕනෑම පුද්ගලයෙකුට අයදුම් කොට මිලදී ලබා ගත හැකි නිවාස 3300 ක් ව්‍යාපෘති 10 ක් යටතේ ඉදිරියේදී ඉදි කෙරෙන බව ප්‍රසාද් රණවීර මහතා කියා සිටියා.

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මේ වන විට නිවාස 8701 ක් ඉදි කර තිබෙන බවත්, ලබන වසර තුළ නිවාස සංවර්ධන අධිකාරියේ රුපියල් බිලියන 6 ක ආදායමක් බලාපොරොත්තු වන බවත් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රේණුක පෙරේරා මහතා පවසා තිබෙනවා.

‘සෙවණ’ නිවාස අරමුදල පසුගිය ආණ්ඩු සමයේ අවභාවිත කිරීම නිසා එම මුදල් නිවාස ඉදි කිරීමට පරිභාහිර කටයුතුවලට යොදා ගෙන ඇතැයි හෙළි වූ බව රේණුක පෙරේරා මහතා කියා සිටියා.

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන, වෙරළ සංරක්‍ෂණ අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍ර කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා, ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා, වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුතකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඇතුළු මැති ඇමතිවරුන්, අමාත්‍යංශ හා රාජ්‍ය ආයතන නිලධාරීන් රැසක් එක්ව සිටියා.

+++++++++++++++++++++

*********************************************

ආනවිලුන්දාව තෙත්බිමේ ඉස්සන් කොටු සකස්කළ බැකෝ යන්ත්‍රය සහ හිමිකරු අත්අඩංගුවට

(28.08.2020 – 17:44 +0530 – hirunews.lk/sinhala)

ආනවිලුන්දාව අභය භූමියට අයත් කොටසක් ඉස්සන් වගාව සඳහා අනවසරයෙන් ඩෝසර් කිරීමට සම්බන්ධ, පුද්ගලයින්ට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බව වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසනවා.

එසේම, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (28) ප්‍රකාශ කළේ කුමන දේශපාලන බලයක් හෝ යොදාගෙන කිසිවෙකුටත් පරිසරය විනාශ කිරීමට ඉඩ ලබානොදෙන බවයි.

පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ආනවිලුන්දාව අභය භූමිය, 1997 වසරේ මැයි 11 වැනිදා වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතට අනුව අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

හෙක්ටයාර 1397 ක වපසරියකින් යුත් ආනවිලුන්දාව අභය භූමිය ප්‍රධාන වැව් පද්ධතියකින්ද සමන්විතයි.

තෙත් බිම් ආරක්ෂා කර ගැනීමේ අන්තර් ජාතික සම්මුතිය හෙවත් රම්සා සම්මුතිය යටතේ 2001 වසරේ අගෝස්තු මස 03 වනදා ‘රම්සා තෙත් බිමක්’ ලෙස මෙම අභය භූමිය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ආනවිලුන්දාව රක්ෂිතය ජලජ පක්ෂීන්, ක්ෂීරපායින් මෙන්ම දුලබ සමනල් විශේෂ ගණනාවකගේ වාසභූමියයි.

මෙම අභය භූමියේ බටහිර මායිමට ආසන්න ප්‍රදේශයේ කඩොලාන පද්ධතිය දශක කිහිපයකට ඉහතදී විනාශ කර තිබුණේ ‘ඉස්සන් කොටු’ ඇති කිරීම සඳහායී.

වනජීවි දෙපාර්තමේන්තුව සහ වයඹ විශ්වවිද්‍යාලය එක්ව අදාළ ප්‍රදේශයේ කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතියක්ද පසුගිය සමයේ සිදුකරනු ලැබුවා.

එම කඩොලාන ප්‍රතිස්ථාපනය කිරීමට යොදා ගැනෙන භූමියෙන් කොටසක් පසුගිය අඟහරුවාදා රාත්‍රියේ කිසියම් පිරිසක් ඩෝසර් කර තිබුණේ, නැවතත් එම භූමියේ ඉස්සන් වගාවන් සිදුකිරීම සඳහා අවශ්‍ය භූමි නිර්මාණය කිරීමටයි.

මේ අතර, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මෙම අනවසර ක්‍රියාව තුළ ආනවිලුන්දාව අභය භූමියේ හෙක්ටයාර 0.697 ක් එලි පෙහෙලි කර ඇති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉස්සන් වගාව සඳහා බිම් සකස් කිරීමට යොදා ගත් බව කියන බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු අද (28) පස්වරුවේ ආරච්චිකට්ටුව පොලිසියේ නිලධාරින් විසින් මුන්දලම – කීරියන්කල්ලිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

එසේම, ඊට යොදා ගත් බැකෝ යන්ත්‍රය ද පොලිස් භාරයට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

වනජීවි නිලධාරීන් සහ පොලීසිය මෙම සිදුවීමට අදාළව එක්ව විමර්ශනයක් සිදුකරන අතර, ඊට අදාළව ඊයේ (27) දිනයේදී හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට ද කටයුතු කර තිබෙනවා.

+++++++++++++++++++++

+++++++++++++++++++++

ඡායාරූපවලින් දැක්වෙන්නේ විනාශ කර දැමූ භූමියයි :

+++++++++++++++++++++

*********************************************

කැළණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයට පළමුවරට කාන්තාවක්

(28.08.2020 – 17:29 +0530 – hirunews.lk/sinhala)

කැළණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයේ මහාචාර්ය නිලන්ති රේණුකා ද සිල්වා මහත්මිය වැඩ භාර ගෙන තිබෙනවා.

එම විශ්වවිද්‍යාලයේ උපකුලපති ධුරයට පත්වූ පළමු කාන්තා උපකුලපතිවරිය ලෙස ඇය ඉතිහාස ගතවනු ඇති.

මහාචාර්ය නිලන්ති රේණුකා ද සිල්වා මහත්මිය 2012 වසරේ සිට 2018 වසර දක්වා කැළණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති ලෙස කටයුතු කළා.

2018 වසරේ සිට මේ වසරේ අගෝස්තු මාසය දක්වා ඇය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂවරියක් ලෙස ද කටයුතු කර ඇති බව සඳහන් ෴

*********************************************

සහනදායි මෝටර් රථ බලපත්‍ර හිමියන්ට අලුත් අවස්ථාවක්

(28.08.2020 – 17:17 +0530 – hirunews.lk/sinhala)

සහනදායි පදනම මත මෝටර් රථ බලපත්‍ර මගින් දේශීයව වාහන මිලදී ගැනීමේ පහසුකම් සැපයීමට යෝජනා ක්‍රමයක් ගෙන ඒමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, බලපත්‍ර හිමි නිලධාරින්ට තමන් සතු බලපත්‍ර භාවිත කර ශ්‍රී ලංකාව තුළ ඇති ලියාපදිංචි නොකළ මෝටර් රථ හෝ කැබ් රථ අදාළ බදු සහනයට සමාන මුදලක් අඩු කර වෙළඳපොල මිලකට ලබා ගත හැකියි.

ඊට අදාළ චක්‍රලේඛය මේ වනවිට තම වෙබ් අඩවියේ පළ කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කළේ.

*********************************************

වෙලේ සුදා, නාකොටික් නිලධාරියෙකුට මාසිකව ලක්ෂ එකහමාරක් (1½) ගෙවූ බවට හෙළිදරව්වක්

(28.08.2020 – 15:50 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිදුකරන වැටලීම් පිළිබඳ තොරතුරු සටහන් පොතෙහි ස්ථාන සහ වේලාවන් වෙනස් කළේ ඒ පිළිබඳ පූර්ව තොරතුරු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ලැබීම වැළැක්වීමේ අරමුණින් බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව කොළඹ මහාධිකරණයේදී ප්‍රකාශ කර තිබෙනවා.

වැලිකඩ බන්ධනාගාර ගැටුමට අදාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි සහ මංජුල තිලකරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඔහු මේ බව අනාවරණ කළ බවයි හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සැලසුම් කරන වැටලීම් පිළිබඳව තොරතුරු කලින් දැන ගැනීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘වෙලේ සුදා’ නමැත්තා මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයෙකුට මාසිකව රුපියල් 150,000 බැගින් මුදල් ගෙවා ඇති බවට විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

ඒ හේතුවෙන් අදාළ වැටලීම් පිළිබඳව තොරතුරු සටහන් පොතෙහි, ස්ථාන සහ වේලාවන් වෙනස් කර සටහන් කිරීමට සැලකිලිමත් වූ බවයි පොලිස් පරික්ෂක නියොමාල් රංගජීව අධිකරණය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම, සිද්ධිය පිළිබඳ පුළුල් පරීක්ෂණ පවත්වා වෙලේ සුදා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුට තොරතුරු ලබාදුන් අදාළ පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගත් බව ද, ඔහු එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ අතර, කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ නියාමකවරයෙකු හෙරොයින් සමඟ ඊයේ (27) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබුවා.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය විසින් බොරැල්ල – සිරිසර උයන ප්‍රදේශයේදී මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 94 යි මිලිග්‍රෑම් 132 ක් සමඟයි.

එමෙන්ම, දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘පොඩි ලැසී’ගේ ප්‍රධානතම ගෝලයෙකු වන ‘කුඩු රංග’, අම්බලන්ගොඩදී විශේෂ කාර්ය බලකාය අද අත්අඩංගුවට ගෙන තිබුණා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව තිබී ආයුධ රැසක්ද සොයා ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ.

එහිදී ටී 56 ගිනි අවියක්, ටී කටස් වර්ගයේ ගිනි අවි දෙකක්, මාංචු යුගලයක් සහ ගෑස් බෝම්බ දෙකක් ද සොයාගෙන තිබෙනවා.

මීට අමතරව අත්බෝම්බයක්, ටී 56 උණ්ඩ 98 ක් සහ මිලිමීටර 9 වර්ගයේ පිස්තෝල උණ්ඩ 53 ක් සැකකරු සතුව තිබී සොයාගැනුනා.

දැරණියගල ප්‍රදේශයේ ද පොලිස් විශේෂ කාර්යබලකාය සිදුකළ සෝදිසි මෙහෙයුමකදී නීතිවිරෝධීව ළග තබාගෙන සිටි බෝර 12 ගිනි අවි 2 ක්, පතොරම් 6 ක්, හිස් පතොරම් 48 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු ද අද (28) අත්අඩංගුවට ගෙන තිබුණා.

මේ අතර ගම්පහ – කිරිඳිවැල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ අංශයට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ඇලේටඩ් මංජු’ නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සතුව තිබී කඩු තුනක් සහ ටී 56 උණ්ඩ 4 ක් සොයාගනු ලැබූ බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ. එමෙන්ම, හෙරොයින් ග්‍රෑම් 500 ක් අද උදෑසන දඹුල්ල – වලේකඩේ ප්‍රදේශයේ ඇළක සඟවා තිබියදී පොලීසිය සොයා ගත්තා.

*********************************************

ජාතිවාදය ප්‍රතික්ෂේප කළ ජනතාව දෙසත් බලන්න

(28.08.2020 – 11:53 +0530 – lankadeepa.lk – කතුවැකිය)

යාපනයෙන් මැතිසබයට පැමිණි ශ්‍රීලනිප මන්ත්‍රී අංගජන් රාමනාදන්ටත් නැගෙනහිර පළාතෙන් ජාතිවාදය ප්‍රතික්ෂේප කරමින් නොයෙකුත් බාධක මැද මැතිසබයට පැමිණි ඒ.එල්.එම්. අතාවුල්ලා මන්ත්‍රීවරයාටත් ඇමැතිකම් දිය යුතු යැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පසුගියදා ප්‍රකාශ කළේය. වීරවංශ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හවුල්කාර පක්ෂයක් වන ජාතික නිදහස් පෙරමුණේ නායකයාය. වත්මන් ජනාධිපතිවරයාත්, නව රජයත් බලයට ගෙනඒමට මුල සිටම ප්‍රබල ලෙස දායකත්වය සැපයූ විමල් වීරවංශ මහතා මෙරට ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් වෙයි. එවැනි අමාත්‍යවරයකු විසින් කරන ලද දේශපාලන වශයෙන් වැදගත් ප්‍රකාශයක නිසි අර්ථය වටහා ගැනීම අවශ්‍ය බව අපි විශ්වාස කරමු.

අමාත්‍යවරුන් පත්කිරීම හෝ අස් කිරීම අපගේ කාර්යයක් නොවේ. ඒ පිළිබඳ සියලු‍ තීන්දු තීරණ ගනු ලබන්නේ ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් විසිනි. ඇමැතිවරුන් එම ධුරවලට පත්කිරීම ඒ දෙදෙනාගේ එකඟත්වය මත සිදුවෙයි. විමල් වීරවංශ අමාත්‍යවරයා විසින් සිදුකර ඇති ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ ජනාධිපති සහ අගමැතිගේ බලතලවලට ඇඟිලි ගැසීමක් හෝ එහි හරි වැරදි පෙන්වාදීමක් හෝ නොවේ. උතුරෙන් සහ නැගෙනහිරින් ජාතිවාදය ප්‍රතික්ෂේප කරමින් ඒ මන්ත්‍රීවරුන් දෙදෙනාට ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට පැමිණීම සඳහා තම කැමැත්ත ප්‍රකාශ කළ ජනතාවට සැලකීම රටේ යුතුකම යැයි පෙන්වාදී ඇති බවය. ජාතිවාදය ප්‍රතික්ෂේප කරමින් ජනතාව විසින් පෙන්වා දී ඇති එම ප්‍රවණතාවට ජීවයක් දිය යුතු යැයි වීරවංශ ඇමැතිවරයා එහිදී කියා ඇත්තේද එබැවිනි.

ජාතිවාදී දේශපාලනය විසින් මේ රටට සිදුකර ඇති විනාශයේ තරම කවදාවත් ගණන් හදා පෙන්විය හැකි යැයි අපි කිසිවිටෙකත් නොසිතමු. ඒ විනාශය එතරම්ම බරපතළය. වසර 30 කට ආසන්න කාලයක් පැවැති කුරිරු බෙදුම්වාදී යුද්ධය සිහිපත් කිරීම පමණක් මෙහිදී සෑහෙනු ඇත. එවැනි තත්ත්වයකට රට යොමුකිරීමේ ප්‍රධානම වැරැද්ද කළේ උතුරේත් දකුණේත් දේශපාලන නායකයන් විසින් බව යළි යළිත් කිව යුතු නැත. ඒ හරහා උතුරේත් දකුණේත් නායකයන් විවිධ තාවකාලික දේශපාලන ජයග්‍රහණ ලැබූ බවද නොරහසකි. එම පසුබිමේ රටේ පැවැති දෙමළ ජාතිවාදී දේශපාලනයට එරෙහිව දකුණේදී ඉතා ප්‍රබල හඬක් නැගූ දේශපාලනඥයකු වන විමල් වීරවංශ අමාත්‍යවරයා උතුරෙන් සහ නැගෙනහිරින් මැතිසබයට පැමිණි මන්ත්‍රීවරුන් දෙදෙනකුට ඇමැතිකම් ලබාදිය යුතු යැයි කරන ප්‍රකාශය මත නිසැකවම විශාල බරක් රැඳී තිබේ. ඒ ගැන රටේ අවධානය යොමුවිය යුතුය.

මෙවර පැවැති මහ මැතිවරණයේදී උතුරෙන් සහ නැගෙනහිරින් ලැබුණු ප්‍රතිඵලය සම්බන්ධයෙන් බොහෝදෙනා විසින් විවිධ අර්ථකථන සපයා තිබිණි. ඒ සියලු‍ අර්ථකථන අතර එක් පොදු මතයක් තිබිණි. එනම් උතුරේ ජනතාව දකුණේ බලවත් සාම්ප්‍රදායික දේශපාලන පක්ෂයක් වූ ශ්‍රීලනිප අපේක්ෂකයකු මන්ත්‍රීවරයකු කරවීමට දක්වා ඇති කැමැත්ත, උතුරේ දේශපාලනයේ අලු‍ත් ප්‍රවේශයක් පෙන්නුම් කරන බවය. ඒ ගැන විමල් වීරවංශ ඇමැතිවරයා කියා තිබුණේ උතුරේ දෙමළ ජනතාව පවතින ජාතිවාදී දේශපාලනය කොතරම් ප්‍රතික්ෂේප කරන්නේද යන්න ඉතිහාසයේ පළමු වතාවට ශ්‍රීලනිපයට උතුරෙන් ආසනයක් දිනාගැනීමට හැකිවීමෙන් පෙනීයන බවය. එසේ නම් එවැනි රටට යහපත් ප්‍රවේශයක් ගෙන තිබූ උතුරේ ජනතාවට සුබවාදී ලෙස ප්‍රතිචාර දැක්වීම දකුණේ නායකයන්ගේ යුතුකමකි. වගකීමකි.

මෙහිදී වැදගත් වන්නේ රාමනාදන් හෝ අතාවුල්ලා හෝ නොව උතුර සහ නැගෙනහිර දෙපළාතේ ජනතාව විසින් පෙන්වා ඇති වෙනස්වීමට තිබෙන කැමැත්තය. ඔවුන්ට ප්‍රශ්න නැතුවා නොවේ. සංසන්දනාත්මකව බැලු‍වොත් දකුණේ බොහොමයක් ප්‍රදේශවල සංවර්ධනයට වඩා උතුරේ සංවර්ධනය පවතින්නේ අඩු මට්ටමකිනි. පානීය ජලය පමණක් නොව රැකියා හිඟය පවා එම පළාතේ බරපතළ ගැටලු‍ය. නැගෙනහිර පළාත පිළිබඳව ඒ ආකාරයටම පැවසිය නොහැකි වුවද එම පළාතේද ගැටලු‍ අඩු නැත. එම ප්‍රදේශයේ පවතින ඇතැම් අන්තවාදී අදහස් දරන දේශපාලනඥයන් අතරේ ඒ.එල්.එම්. අතාවුල්ලා වෙනස් චරිතයකි. ඔහු පාර්ලිමේන්තුවට සුදුසු යැයි තීරණය කර ඇත්තේ නැගෙනහිර ජනතාවය. එම තීරණය මගින් ඒ පළාතේ ජනතාව පෙන්වා දී ඇත්තේද තමන්ගේ නියෝජිතයා අන්තවාදී ජාතිවාදී අදහස් දරන්නකු වීම අවශ්‍ය නොවන බවය. එය ජනතාවගේ විශ්වාසය නම් එම විශ්වාසය වඩාත් තහවුරු වන ආකාරයට කටයුතු කිරීම රජයේ වගකීමය.

මෙතෙක් කාලයක් උතුරේ ජනතාව නියෝජනය කිරීමේ වැඩිම බරක් දැරුවේ ද්‍රවිඩ ජාතික සන්ධානයයි. මෙවර සමස්ත ලංකා දමිළ කොංග්‍රසය (ATIC) සහ දෙමළ මහා සභාව (TMTK) මන්ත්‍රීවරු තිදෙනෙක්ද උතුරෙන් පත්ව සිටිති. ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ සී.වී. විග්නේෂ්වරන් දෙදෙනා පිළිවෙළින් එම පක්ෂ දෙකේ නායකයෝ වෙති. මේ දෙදෙනාම දැඩි ජාතිවාදී අදහස් දරන දේශපාලනඥයන් වශයෙන් ප්‍රසිද්ධය. විග්නේෂ්වරන් මහතා පාර්ලිමේන්තුවේ සිදුකළ පළමු කතාවේදීම තම ජාතිවාදී අදහස් මතුවන ආකාරයට කතා කළ බව රටම දැක ගත්තේය. බ්‍රිතාන්‍යයේ මුල් බැසගෙන සිටින ගෝලීය දෙමළ සංසදය ප්‍රකාශ කර තිබුණේ ද්‍රවිඩ ජාතික සන්ධානයට අමතරව නව පක්ෂ දෙක සමඟද තමන් සහයෝගයෙන් කටයුතු කිරීමට අදහස් කරන බවය. මේ වර්ධනය වන තත්ත්වය විමල් වීරවංශ මහතාගේ යෝජනාවට තවත් වටිනාකමක් එකතු කර තිබේ ෴

*********************************************

මගීන් සහිත බස් රථ ඉන්ධනහල් වෙත ගෙනයන සේවකයන්ට දඬුවම්

(28.08.2020 – 11:25 +0530 – lankadeepa.lk)

මගීන් පටවාගෙන ඉන්ධන ලබාගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් කරා යන පෞද්ගලික බස් රථ සේවකයන්ට දඬුවම් ලබාදීමටත්, ගමන් බලපත්‍රය අත්හිටුවීමටත් පියවර ගන්නා බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසයි.

ඉන්ධන පුරවාගැනීමට මගීන්ද නංවාගෙන යෑම ඉතා අනතුරුදායක සහ ආරක්ෂිත තත්වයක් බව එහි සභාපති ඕ. ඩබ්. ප්‍රසන්න සංජීව මහතා ලංකාදීපයට පැවැසීය.

දෛනිකව බස් රථවලට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් කල්වේලා ඇතිව ලබාගැනීම එම සේවකයන්ගේ වගකීම බැවින්, බස් රථවලට ඉන්ධන ලබාගැනීම සඳහා මගීන් ද සමඟ ඉන්ධනහල් වෙත යාම බරපතල වරදක් බවද ඒ මහතා කීය.

එලෙසින් කටුයුතු කරන බස් රථ සේවකයන් පිළිබඳව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය දැඩි අවධානය යොමුකරන බවද , එවැනි කටයුතුවල යෙදෙන බස් රථ සේවකයන්ට නිසි දඬුවම් ලබාදෙන බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවැසීය ෴

*********************************************

සමයංගේ ප්‍රධාන වෙඩික්කරු ‘ඉන්ද්‍රා’ පොලිස් වෙඩි ප්‍රහාරයකින් මරුට

(29.08.2020 – 06:27 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ සමයංගේ ප්‍රධාන වෙඩික්කරු වන ‘ඉඳුනිල් වජිර කුමාර’ හෙවත් ‘ඉන්ද්‍රා’ අත්අඩංගුවෙන් මිදී පලා යාමට උත්සාහ කළ අවස්ථාවේ දී පොලිසිය සිදුකළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පෙරේදා දින (27) පොලීසිය මොහු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් සිදුකළ අතර, එහිදී සැකකරු කැළණි ගඟට පැන පළායාමට උත්සාහ කර ඇති බව සඳහන්.

පසුව අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු ආයුධ සඟවා තිබෙන ජල්තර – ඇඹුල්ගම ප්‍රදේශයේ අදාළ ස්ථානයට ඊයේ (28) රාත්‍රියේ රැගෙන යනු ලැබුවා.

පසුව එම ස්ථානයේ ජල ටැංකියක් තුළ සඟවා තිබූ ආයුධ කිහිපයක් පොලීසිය සොයාගෙන තිබෙනවා.

ඒ අනුව මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ උණ්ඩ පහක් (5), ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, අත් බෝම්බයක් සහ තියුණු ආයුධයක් සිය භාරයට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

පසුව සැකකරු යළි පොලිස් ජීප් රථයෙන් රැගෙන එන අවස්ථාවේදී නවගමුව ප්‍රදේශයේදී එහි රියදුරුගේ ගෙළ සිරකර පොලිස් රථය කැළණි ගඟට පෙරළීමට උත්සාහ කර තිබෙනවා.

ඉන් අනතුරුව එය වැළැක්වීමට පොලීසිය සැකකරුට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී බරපතල තුවාල ලැබූ 27 හැවිරිදි ‘ඉඳුනිල් වජිර කුමාර’ හෙවත් ‘ඉන්ද්‍රා’ නවගමුව රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

තුවාල ලැබූ පොලිස් රථයේ රියදුරුද ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

සමයංගේ ප්‍රධාන වෙඩික්කරු වන මොහු මනුෂ්‍ය ඝාතන, කප්පම් ගැනීම්, හෙරොයින් ජාවාරම් සිදුකිරීම ඇතුලු විවිධ අපරාධවලට සම්බන්ධ බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර, හෙරොයින් කිලෝ 3 යි ග්‍රෑම් 29 ක් සමග කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ග්‍රෑන්ඩ්පාස් – ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී පෙරේදා අත්අඩංගුවට ගත් සැකකරු දින 3 ක් රඳවාගෙන ප්‍රශ්න කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

මෝටර් රථයකින් මෙම හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ රුපියල් 6,11,550 ක මුදලක් සහ චෙක්පත් මෙන්ම වීසා කාඩ්පත් දෙකක් සමගින්.

මේ අතර, කඩු 3 ක් සමග කිරිදිවැල – මැද්දේගම ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගත් සැකකරු ද දින 3 ක් රඳවාගෙන ප්‍රශ්න කරන ලෙස පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණය කිරිඳිවැල පොලීසියට නියෝග කර තිබෙනවා.

එමෙන්ම, පසුගිය 27 වනදා හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 9 ක් සහ හෙරොයින් ග්‍රෑම් 7 යි මිලිග්‍රෑම් 800 ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා දින 7 ක් රඳවාගෙන ප්‍රශ්න කරන ලෙස හොරණ මහේස්ත්‍රාත් අධිකරණය ඉංගිරිය පොලීසියට නියෝග කළා.

ඔවුන් පසුගියදා ගුරුගොඩදී හා පාදුක්ක බස් නැවතුම්පොල අසලදී අත්අඩංගුවට ගනු ලැබුවා.

+++++++++++++++

පොලිස් වෙඩි පහරින් මිය ගිය, ‘සමයං’ගේ වෙඩික්කරු ‘ඉන්ද්‍රා’ ගැන තොරතුරු රැසක් එළියට

(29.08.2020 – 12:54 +0530 – hirunews.lk/sinhala)

අත්අඩංගුවෙන් මිදී පළා යාමට තැත් කිරීමේදී පොලිස් වෙඩි පහරින් මිය ගිය ‘ඉඳුනිල් වජිර කුමාර’ හෙවත් ‘ඉන්ද්‍රා’ පිළිබඳ තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.

මහනුවර – අංකුඹුර ප්‍රදේශයේ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම, හංවැල්ල ප්‍රදේශයේදී කඩුවලින් කපා පුද්ගලයෙකුට තුවාල සිදුකිරීම, හංවැල්ල ප්‍රදේශයේදී කණ්ඩායමක් සමඟ එක්ව කඩුවලින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කිරීම සහ කප්පම් ගැනීම් කටයුතු වල ඔහු නිරත වී ඇති බව මේ වන විට සිදුකළ පරීක්ෂණවලින් අනාවරණ වූ බවයි පොලීසිය සඳහන් කළේ.

කළුතර – එතනමඩල ප්‍රදේශයේදී ඝාතනය වූ සමයංගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු වන ඔහු හිටපු යුද හමුදා සෙබලෙකු වන අතර අංකුඹුර ප්‍රදේශයේ සිදුවූ ඝාතනයට රක්ෂිත බන්ධනාගාරගතව සිට නිදහස ලැබූ අයෙක්.

එමෙන්ම, මොහු හංවැල්ල සහ අතුරුගිරිය යන ප්‍රදේශවල කප්පම් එකතු කළ ප්‍රධාන පුද්ගලයා ද වන බව සඳහන්.

සමයංගේ මරණයෙන් පසුව මොහු මෑතකාලීනව ද නවගමුව ප්‍රදේශයේ කප්පම් මුදල් ලබා ගැනීම් ද සිදුකර ඇති අතර මොහුට ඇති බිය නිසා ජනතාව ඒ පිළිබදව පැමිණිලි ඉදිරිපත් කර නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.

ඝාතන සඳහා මනා හැකියාවක් සහ පුහුණුවක් ද ඔහු සතුව පැවති බවයි පොලීසිය සිදුකළ විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ.

පෙරේදා දින පොලීසිය මොහු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් සිදුකළ අතර, එහිදී සැකකරු කැළණි ගඟට පැන පළායාමට උත්සාහ කර ඇති බව සඳහන්.

පසුව අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු ආයුධ සඟවා තිබෙන ජල්තර – ඇඹුල්ගම ප්‍රදේශයේ අදාළ ස්ථානයට ඊයේ (28) රාත්‍රියේ රැගෙන යනු ලැබුවා.

පසුව එම ස්ථානයේ ජල ටැංකියක් තුළ සඟවා තිබූ ආයුධ කිහිපයක් පොලීසිය සොයාගෙන තිබෙනවා.

ඒ අනුව මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සහ උණ්ඩ පහක්, ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, අත් බෝම්බයක් සහ තියුණු ආයුධයක් සිය භාරයට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

පසුව සැකකරු යළි පොලිස් ජීප් රථයෙන් රැගෙන එන අවස්ථාවේදී නවගමුව ප්‍රදේශයේදී එහි රියදුරුගේ ගෙළ සිරකර පොලිස් රථය කැළණි ගඟට පෙරළීමට උත්සාහ කර තිබෙනවා.

එහිදී ඔහු සදහන් කර ඇත්තේ වාහනය නතර නොකළහොත් තමන් මරාගෙන මැරීමට සූදානම් බවයි.

ඉන් අනතුරුව එය වැළැක්වීමට අසළ සිටි පොලිස් නිලධාරියා විසින් සැකකරුට වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බවයි පොලිසිය සඳහන් කළේ.

එහිදී බරපතල තුවාල ලැබූ 27 හැවිරිදි ඉඳුනිල් වජිර කුමාර හෙවත් ඉන්ද්‍රා නවගමුව රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

තුවාල ලැබූ පොලිස් රථයේ රියදුරුද ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, ඉන්ද්‍රාගේ ගෝලයින් දෙදෙනෙකු (2) සොයා නවගමුව පොලීසිය මේ වන විට විශේෂ මෙහෙයුමක් ද ක්‍රියාත්ම කර තිබෙනවා.

එමෙන්ම, කඩවත ප්‍රදේශයේදී ඊයේ (28) දිනයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය ‘කෙසෙල්වත්ත දිනුක’ නැමති පාතාල සාමාජිකයාගේ සමීපතමයෙකු හෙරොයින් ග්‍රෑම් 11 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබුණා.

මේ අතර, යක්කලමුල්ල – ඇල්ල ඉහළ ප්‍රදේශයේදී නීතිවිරෝධී ගිනි අවි 2 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ඊයේ (28) පස්වරුවේ සහ රාත්‍රියේදී සිදුකළ වැටලීම්වලදී මෙම ගිනි අවි සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 32 සහ 45 වියේ පසුවන දෙහිගහහේන සහ ගල්කන්ද ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් (2).

+++++++++++++++

යක්කලමුල්ල – ඇල්ල ඉහළ ප්‍රදේශයේදී නීතිවිරෝධී ගිනි අවි 2 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ඊයේ (28) පස්වරුවේ සහ රාත්‍රියේදී සිදුකළ වැටලීම්වලදී මෙම ගිනි අවි සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 32 සහ 45 වියේ පසුවන දෙහිගහහේන සහ ගල්කන්ද ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක් ෴

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=zx3elpY0FRs#t=5

*********************************************

රාජ්‍ය බැංකුවල අක්‍රමිකතා සොයන, කමිටුව මහජන සහය පතයි

(29.08.2020 – 07:31 +0530 – hirunews.lk/sinhala)

2015 සිට 2019 කාලය තුළ රජයේ ප්‍රධාන බැංකු හතර (4) සහ ඒවාට අනුබද්ධ ආයතනයන්හි සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා මහජන සහය ලබා ගැනීමට අදාළ බැංකුවල අක්‍රමිකතා සොයා බැලීමට පත් කළ සිව් (4) පුද්ගල කමිටුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව, අදාල කාලය තුල මෙම බැංකුවල සිදුවූ අක්‍රමිකතාවන් පිළිබඳ තොරතුරු සැප්තැම්බර් 15 ට පෙර ලබා දිය යුතු බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.

අදාළ තොරතුරු අධ්‍යක්ෂ ජනරාල් – රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව, මුදල් අමාත්‍යාංශය, මහලේකම් කාර්යාලය, කොළඹ 01 යන ලිපිනයට යොමුකළ යුතු බවයි මුදල් අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ.

ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා රාජ්‍ය බැංකු පද්ධතිය විධිමත් කර කාර්යක්ෂම කිරීම හා රාජ්‍ය බැංකු තුල සිදුවූ අක්‍රමිකතා සොයා බැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුව මෙම සිව් පුද්ගල කමිටුව පත් කරනු ලැබුවා.

ඒ අනුව, අදාළ කමිටුව ඊයේ (28) දිනයේදී රැස්වී මෙම තීරණයට එළඹී තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *