ආනවිලුන්දාව රැම්සා තෙත් බිම් කොටසක් ඩෝසර් කිරීමේ සිද්ධිය විමර්ශණයට කමිටුවක්

ආනවිලුන්දාව රැම්සා තෙත් බිම් කොටසක් ඩෝසර් කිරීමේ සිද්ධිය විමර්ශණයට කමිටුවක්

බස් නැවතුම්පොලේදී දැරියක් අපයෝජනය කළ පුද්ගලයෙකු අනුරාධපුරයේදී අත්අඩංගුවට

බස්නාහිර අපරාධ කල්ලි 25 ක සාමාජිකයන් 388 ක් හඳුනා ගැනේ

අධිකරණ ඇමති මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගනී

CIA හෙළිකරගත් මුලතිව් වනාන්තරයේ වැලි ජාවාරම

මහනුවර අනුරගම ප්‍රදේශයට කම්පන තත්තවයක් – භූ චලනයක් සිදුව නැහැ – භූ විද්‍යා සමීක්ෂණ කාර්යාංශය

යතුරුපැදියක් මතට ගසක් කඩා වැටී දෙදෙනෙකු (2) මියයයි

රට යවන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් ඇතුළු 5 ක් අත්අඩංගුවට

ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමඟ තරුණ තරුණියන් 28 ක් අත්අඩංගුවට

‘ඊසි කෑෂ්’ ක්‍රමයට හෙරොයින් ජාවාරමේ නිරතවූ සරසවි සිසුවෙකු හෙරොයින් සමග අත්අඩංගුවට

නීතිවිරෝධීව ආනයනය කළ කහ කිලෝ 1428 ක් සමඟ පුද්ගලයින් හයදෙනෙකු (6) අත්අඩංගුවට

බස් රථ දෙකක් (2) මුහුණට මුහුණ ගැටීමෙන් 18 කට තුවාල

*********************************************

ආනවිලුන්දාව රැම්සා තෙත් බිම් කොටසක් ඩෝසර් කිරීමේ සිද්ධිය විමර්ශණයට කමිටුවක්

(29.08.2020 – 19:19 +0530 – hirunews.lk/sinhala)

ආනවිලුන්දාව රැම්සා තෙත් බිම් කොටසක් ඩෝසර් කිරීමේ සිද්ධිය විමර්ශණයට අමාත්‍ය සී.බී රත්නායක මහතා විසින් අමාත්‍යංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සිව් (4) පුද්ගල කමිටුවක් පත්කර තිබෙනවා.

අමාත්‍යවරයා මේ බව කියාසිටියේ රැම්සා තෙත් භූමියට සිදුව ඇති හානිය සම්බන්ධයෙන් සොයා බැලීමට කළ සංචාරයකින් අනතුරුවයි.

එම අවස්ථාවට වනජිවි දෙපාර්තමේන්තුවේ නිලධාරි කණ්ඩායමක් ද එක්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිව් (4) පුද්ගල කමිටුවට අමාත්‍යංශ ලේකම්වරයාට අමතරව පුත්තලම දිස්ත්‍රික් ලේකම්, වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ පුත්තලම නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුලත්.

අදාළ කමිටු වාර්තාව සතියක් ඇතුලත තමාට ලබාදෙන ලෙසට ද නිලධාරීන්ට අමාත්‍යවරයා විසින් දැනුම්දී තිබෙනවා.

මෙම පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන්ට උපදෙස් ලබාදී ඇති අතර සිව් (4) පුද්ගල කමිටුවේ වාර්තාව ලැබීමෙන් පසු එය ජනාධිපතිවරයාට යොමු කිරීමට කටයුතු කරන බව ද සී.බී. රත්නායක මහතා කියාසිටියා.

මේ අතර ආනවිලුන්දාව රැම්සා තෙත් බිම් අභය භූමියට අයත් කොටසක් විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු සහ ව්‍යාපාරිකයා ලබන 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ ඔවුන් අද හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ආනවිලුන්දාව රැම්සා තෙත් බිම් අභය භූමියට අයත් කොටසක ඉස්සන් වගා පොකුණු තැනීම සඳහා නීතිවිරෝධී ලෙස පසුගිය 27 වනදා ඩෝසර් කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ආනවිලුන්දාව කාර්යාලය කළ පැමිණිල්ලක් අනුව ආරච්චිකට්ටුව පොලීසිය විමර්ශන ආරම්භ කළ අතර, ඊට අදාළව බැකෝ යන්ත්‍රය සහ එහි ක්‍රියාකරු ඊයේ (28) අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔහුගෙන් ලද ප්‍රකාශයක් අනුව එම බිම් කොටස සකස් කිරීමට උපදෙස් ලබා දුන් බව කියන ව්‍යාපාරිකයෙකු අද (29) පෙරවරුවේ ආරච්චිකට්ටුව පොලීසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර, විනාශයට පත්වූ භූමි ප්‍රදේශය, අද (29) හලාවත කොට්ඨාශ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් විසින් පරීක්ෂාවට ලක් කළා.

ඒ පිලිබඳ වාර්තාව ආරච්චිකට්ටුව පොලිස් ස්ථානය වෙත භාර දෙන බවයි එහි නිලධාරියෙකු අප කළ විමසීමකදී ප්‍රකාශ කළේ.

*********************************************

බස් නැවතුම්පොලේදී දැරියක් අපයෝජනය කළ පුද්ගලයෙකු අනුරාධපුරයේදී අත්අඩංගුවට

(29.08.2020 – 19:37 +0530 – hirunews.lk/sinhala)

හදවත් රෝගයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට ගොස් ආපසු පැමිණීමට බස් රථ නොමැතිව බස් නැවතුම්පොලෙහි තම මව සහ පියා සමග නිදා සිටි වයස අවුරුදු 2½ ක කුඩා දැරියක් අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් අනුරාධපුරයෙන් වාර්තා වුණා.

දැරිය තම මව සහ පියා සමග මුලතිව් – පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ සිට අනුරාධපුර රෝහලට පැමිණ ඇති අතර, සායනයට සහභාගි වී යළි නිවසට යාමට බස් රථයක් නොමැතිව රැදී සිටියදීයි මෙම සිද්ධියට මුහුණදී ඇත්තේ.

අනුරාධපුර පොලීසියේ අප කළ විමසීමකදී සඳහන් කළේ සැකකරු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මේ අතර, 80 හැවිරිදි කාන්තාවක් දූෂණය කිරීමේ සිද්ධියක් මහියංගනය – වේවත්ත ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඊට අදාළව 45 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එසේම, මාදම්පේ ප්‍රදේශයේ වයස අවුරුදු 15 ක පාසල් දැරියක් ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් එම දැරියගේ ඥාති පුද්ගලයෙකු ඇප මත මුදා හැර තිබෙනවා.

සිද්ධියට අදාළව දැරියගේ මව සහ මිත්තණිය ද අත්අඩංගුවට ගෙන තිබුණේ මෙම අපයෝජනය පිළිබඳව දැරිය ඔවුන්ව දැනුවත් කළ ද, කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම සම්බන්ධයෙන්.

මේ අතර, වයස අවුරුදු 2 ක දැරියක මාන්කුලම බස් නැවතුම්පොලේදී අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

*********************************************

බස්නාහිර අපරාධ කල්ලි 25 ක සාමාජිකයන් 388 ක් හඳුනා ගැනේ

(29.08.2020 – 19:55 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාත තුළ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් 25 ක් ක්‍රියාත්මක වන බවට හඳුනාගෙන තිබෙනවා.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටියේ බන්ධනාගාර ගතව සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් විසින් තවදුරටත් අපරාධ ක්‍රියා මෙහෙයවීම අපරාධ මර්දනයට දැඩි බාධාවක් වී ඇති බවයි.

ඔහු මේ බව කියා සිටියේ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සම්බන්ධයෙන් ප්‍රායෝගිකව හා නෛතිකව ඇති වන ගැටලු නිරාකරණය කර ගැනීමට උසස් පොලිස් නිලධාරින් සඳහා කොළඹ අද (29) පැවති විශේෂ වැඩමුළුවකට එක්වෙමින්.

පසුගිය වසරේ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පිළිබඳව ජාතික සමීක්ෂණයට අනුව ඇස්තමේන්තුගත මත්ද්‍රව්‍ය භාවිත කරන ජනගහනය පිලිබඳව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙහිදී පැහැදිලි කළා.

ඒ අනුව ඔහු කියා සිටියේ හෙරොයින්, ගංජා සහ වෙනත් මත්පෙති වර්ග සම්බන්ධයෙන් එම වසරේ කාන්තාවන් 11,075 ක් සහ පුද්ගලයන් 5,22,898 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

එසේම, දැනට අත්අඩංගුවට ගෙන සිටින විවිධ සංවිධානාත්මක අපරාධකරුවන්ගේ බැංකු ගිණුම් තොරතුරු ද මෙහිදී මාධ්‍යයට ඉදිරිපත් කළා.

මේ අතර, පොලිස් අත්අඩංගුවේ පසුවූ ‘ඉඳුනිල් වජිර කුමාර’ හෙවත් ‘ඉන්ද්‍රා’ අත්අඩංගුවෙන් මිදී පලායාමට උත්සාහ කළ අවස්ථාවේ පොලීසිය කළ වෙඩි ප්‍රහාරයකින් ඊයේ (28) රාත්‍රියේ ජිවිතක්ෂයට පත්වූ අතර, අද (29) පස්වරුවේ සිද්ධිය වූ ස්ථානය කඩුවෙල ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාගේ නිරීක්ෂණයට ලක්වුණා.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ සමයංගේ ප්‍රධාන වෙඩික්කරු ද වන ‘ඉන්ද්‍රා’ නමැත්තා, සඟවා තිබූ අවි ආයුධ සොයා ගෙන නැවත පැමිණීමේදී සැකකරු පොලිස් ග්‍රහණයෙන් මිදී පලායාමට උත්සාහ කළ අවස්ථාවේ එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්වූ බවයි පොලීසිය පැවසුවේ.

මොහු පසුගිය 27 වනදා අත්අඩංගුවට ගත් අතර, එහිදී කැළණි ගඟට පැන පලායාමට ද උත්සාහ කර තිබුණා. එහිදී ගඟට පැන පිහිනා ගොස් සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ පොලීසිය සැකකරු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 10 ක් ද සොයා ගත්තා.

අනතුරුව සිදුකළ ප්‍රශ්න කිරීම් වලින් පසු සඟවා තිබූ අවි ආයුධ සොයා ගැනීමට ‘ඉන්ද්‍රා’ ඊයේ රාත්‍රි 11 ට පමණ නවගමුව පොලීසියේ කණ්ඩායමක් ජල්තර – ඇඹුල්ගම ආදී ප්‍රදේශවලට රැගෙන ගොස් තිබුණා.

එහිදී ස්වයංක්‍රී පිස්තෝලයක්, එම මැගසින් එකක්, උණ්ඩ 5 ක්, බෝර 12 ගිනි අවියක්, එම උණ්ඩ 9 ක්, විදේශ රටක නිෂ්පාදිත අත්බෝම්බයක් සහ රම්බෝ පිහියක් පොලීසිය සොයා ගත් අතර, ඒවා අද (29) පස්වරුවේ මාධ්‍යයට ප්‍රදර්ශනය කිරීමට ද කටයුතු කෙරුණා.

පොලිසිය පැවසුවේ අදාල ආයුධ පෙන්වා යළි පැමිණෙමින් සිටියදී රනාල – සුදවිල ප්‍රදේශයේදී සැකකරු එක්වරම ඔහුට දමා තිබූ මංචු සමග ජිප් රථය පැදවූ පොලිස් නිලධාරියාට අවහිර කර මරණ තර්ජන සිදුකර ඇති බවයි.

එම අවස්ථාවේදී ජිප් රථය පාලනයෙන් මිදී අසල කැළණි ගඟ අයිනේ තිබූ උණ පඳුරක ගැටී නතර වී තිබෙනවා.

එම සිදුවීම වළක්වා ගැනීම සඳහා පොලිස් ජිප් රථයේ පසුපස සිටි නිලධාරියෙකු සැකකරුට වෙඩි තබා ඇති අතර, ඉන් බරපතල තුවාල ලැබූ ඉන්ද්‍රා නවගමුව ප්‍රාදේශීය රෝහලේදී මියගිය බවයි පොලීසිය පැවසුවේ.

ජිවිතක්ෂයට පත්වූ 27 හැවිරිදි ‘ඉන්ද්‍රා’ නමැති මෙම සැකකරු වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිදුකිරීම, තියුණු ආයුධවලින් තුවාල සිදුකිරීම, කප්පම් ගැනීම හා හෙරොයින් හා ගංජා ජාවාරම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ බවට අනාවරණ වී තිබෙනවා.

එසේම හිටපු යුද හමුදා සෙබලෙකු ද වන සැකකරු පුද්ගල ඝාතන සඳහා මනා හැකියාවක් හා පුහුණුවක් තිබූ ප්‍රධාන පෙලේ වෙඩික්කරුවෙකු බවට ද අනාවරණ වී ඇති බවයි පොලීසිය පැවසුවේ.

‘ඉන්ද්‍රා’ ගෙළ සිර කිරීම හේතුවෙන් තුවාල ලබා නවගමුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කෙරුණු පොලිස් කොස්තාපල් රියදුරා වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට මාරු කර යැවුණු අතර මේ වනවිටත් ඔහු එහි නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

මේ අතර, රනාලේ සමයං ඝාතනයේ සැකකරුවෙකු වන කළුපේ රොෂාන් නමැත්තාගේ උපදෙස් මත මත්කුඩු ජාවාරමේ නිරත වූ අවුරුදු 20 ක තරුණියක සහ අවුරුදු 61 ක කාන්තාවක ඊයේ (28) හික්කඩුව – තොටගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පළමු සැකකාරිය ‘කළුපේ රොෂාන්’ නමැත්තාගේ නැගනිය වන අතර, දෙවන සැකකාරිය ඔහුගේ බිරිඳගේ මව බවයි පොලීසිය පැවසුවේ.

එසේම, මත්කුඩු ජාවාරමේ යෙදුණු තවත් කාන්තාවන් දෙදෙනෙකු හෙරොයින් ග්‍රෑම් 13 කට වැඩි ප්‍රමාණයක් සමග මට්ටක්කුලිය – කදිරානවත්ත ප්‍රදේශයේ නිවසකදී අද (29) අලුයම වත්තල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළා.

මීට අමතරව, උතුරු පළාතට ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් 3 දෙනෙකු වව්නියාවේ දී අත්අඩංගුවට ගත්තා.

ඒ වව්නියාව යුද හමුදා බුද්ධි අංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශය එක්ව සිදුකළ වැටලීමකදීයි.

ජාවාරම්කරුවන් විසින් සුඛෝපභෝගි මෝටර් රථයක් සහ තවත් කුඩා ලොරි රථයක් මෙලෙස ගංජා ප්‍රවාහනය සඳහා යොදා ගෙන තිබු අතර, එහිදී අදාළ ලොරි රථය තුළ සූක්ෂමව සඟවා තිබූ ගංජා කිලෝ 2 කට වැඩි ප්‍රමාණයක් සොයා ගැනීමටයි ආරක්ෂක අංශ සමත් වුණේ.

කේරළ ගංජා කිලෝ 2 ක් සමග තවත් සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබුණේ කිලිනොච්චිය පුවරසන්කුලම් – පම්පෙමඩුව හන්දියේදීයි.

එසේම, විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ ඒකකයට ලද තොරතුරක් මත රාගම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 11 යි මිලිග්‍රෑම් 180 ක් සහ කඩුවක් සමග කොළඹ-12 මිහිදු මාවතේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගැණුනා.

මේ අතර, මුතුරාජවෙල රක්ෂිතය තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණ නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනය කළ ස්ථාන රැසක් වැටලීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්වුණා.

ඒ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙන්ම නාවික හමුදා විශේෂ යාත්‍රා බලගනයේ සහය ද හිමිව තිබූ අතර මෙම මෙහෙයුමේදී ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් ද යොදා ගෙන අදාළ ස්ථානය නිරීක්ෂණය කර තිබුණා.

එසේම, යක්කලමුල්ල – ඇල්ල ඉහළ සහ ගල්කන්ද ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී විදෙස් රටක නිෂ්පාදිත බෝර-12 ගිනි අවියක්, පතොරම් දෙකක් (2) සහ මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවන් දෙදෙනෙකු (2) පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දෙබරවැව – විජිතපුර ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකාය සිදුකළ තවත් වැටලීමකදී විදේශ රටක නිෂ්පාදිත බෝර 12 ක තුවක්කුවක් සමග ඊයේ (28) රාත්‍රියේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

බෝර 12 තුවක්කු දෙකක් සහ පතොරම් හා පතොරම් කොපු තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු (2) දැරණියගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණේ විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාශය විසින්.

මේ අතර, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත බස්නාහිර පළාත තුල ගත වූ පැය 24 තුල සිදුකළ වැටලීම්වලදී හෙරොයින් ග්‍රෑම් 76 කට අධික ප්‍රමාණයක්, ගංජා, නීතිවිරෝධී මත්පැන් හා අයිස් මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබුණා.

+++++++++++++++++++++

30-08-2020

*********************************************

අධිකරණ ඇමති මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගනී

(29.08.2020 – 20:17 +0530 – hirunews.lk/sinhala)

අධිකරණ අමාත්‍ය අලී සබ්රි අද (29) පෙරවරුවේ මහනුවරට පැමිණ අස්ගිරි මල්වතු මහානාහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.

පළමුවෙන් මල්වතු මහාවිහාරයට පැමිණි අධිකරණ අමාත්‍යවරයා මහානායක පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගෙන තිබෙනවා.

එහිදී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම සහ නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම පිළිබඳව අමාත්‍යවරයා, උන්වහන්සේව දැනුවත් කළ බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

එමෙන්ම, පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් තවදුරටත් නීතිමය තත්ත්වයන් සිදුකළ හැකි ආකාරය මෙන්ම විහාර හා දේවාලගම් පනත සංශෝධනය පිළිබඳව මෙහිදී අවධානයට යොමුකෙරුණා.

අනතුරුව මල්වතු පාර්ශවයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් මුණ ගැසුණු අධිකරණ අමාත්‍ය අලී සබ්රි උන්වහන්සේ සමග සුහද පිළිසඳරක නිරත වුණා.

පසුව, අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන් ප්‍රධාන අනුනායක හිමිවරුන් ද බැහැදැක ආශිර්වාද ලබා ගත් අධිකරණ අමාත්‍ය අලී සබ්රි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මහානායක හිමිවරුන් සමග සිදුකළ සාකච්ඡාවේදී බාලවයස්කාර විවාහ අත්හිටුවීම සහ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම පිළිබඳව අවධානය යොමුකළ බවයි.

*********************************************

CIA හෙළිකරගත් මුලතිව් වනාන්තරයේ වැලි ජාවාරම

(29.08.2020 – 20:42 +0530 – hirunews.lk/sinhala)

30 වසරක් පුරා පැවති යුද සමයේ පවා ආරක්ෂිතව පැවති මුලතිව් ඝන වනාන්තරය වැලි ජාවාරමක් හේතුවෙන් වැනසෙමින් පවතිනවා.

‘හිරු සී.අයි.ඒ.’ කළ සොයාබැලීමකදී හෙළිවුයේ මේ වනවිට අනවසර වැලි ජාවාරම්කරුවන් මුලතිව් වනාන්තරය වැලි තොග රැස්කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත්කර ගෙන ඇති බවයි.

අද (29) ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය මුලතිව් වන පියස ක්‍රම ක්‍රමයෙන් වනසන එම මහා වැලි ජාවාරම පිළිබදවයි.

තිස් වසරක් පුරා පැවති යුද්ධයේදී පවා දැඩි ලෙස ආරක්ෂිතව පැවති මුලතිව් ඝන වනාන්තර පද්ධතිය මන්නාරම, වව්නියාව, කිලිනොච්චිය ආදී දිස්ත්‍රික්කවලට මායිම්ව පවතින මෙම වනාන්තර කලාපය හෙක්ටයාර එක් ලක්ෂ හැට-නව දහස් පන්සිය අසුවක (1,69,580) පමණ වපසරියකින් යුක්ත බවයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ.

කෙසේ වෙතත්, මේ ඝන වනාන්තරය අද වන විට අනවසර වැලි ජාවාරම්කරුවන්ගේ ගොදුරක් බවට පත්ව අවසන්.

මෙම මහා පරිමාන වැලි ජාවාරම් සිදුවන්නේ මුලතිව් – මාන්කුලම් ප්‍රධාන මාර්ගයේ 13 වන සැතපුම් කණුව අසල සිට කිලෝ මීටර් 10 ක් පමණ ඝන වනාන්තය තුලට වන්නටයි.

*********************************************

මහනුවර අනුරගම ප්‍රදේශයට කම්පන තත්තවයක් – භූ චලනයක් සිදුව නැහැ – භූ විද්‍යා සමීක්ෂණ කාර්යාංශය

(29.08.2020 – 22:49 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – අනුරගම ප්‍රදේශයට අද (29) පස්වරුවේ කිසියම් කම්පන තත්තවයක් දැණුනු බව ප්‍රදේශවාසීන් පවසනවා.

කෙසේ වෙතත් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේ කිසිදු භූ චලන මාපකයක එම ප්‍රදේශයේ භූ චලනයක් සිදුව ඇති බවට වාර්තා වී නොමැති බවයි.

ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා එම කාර්යාංශයේ කණ්ඩායමක් හෙට (30) එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වන බවද එහි අධ්‍යක්ෂ ජනරාල් ඩී. සජ්ජන ද සිල්වා මහතා සදහන් කළා.

අනුරගම මෙන්ම හාරගම, සිංහාරගම, මයිලපිටිය සහ තවත් ප්‍රදේශ කිහිපයකට මෙම චලනය අත්විඳීමට හැකිව තිබෙනවා.

*********************************************

යතුරුපැදියක් මතට ගසක් කඩා වැටී දෙදෙනෙකු (2) මියයයි

(30.08.2020 – 06:46 +0530 – hirunews.lk/sinhala)

මුලතිව් උන්නාවුපිලව් ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරුපැදියක් මතට ගසක් කඩා වැටීමෙන් තරුණයන් දෙදෙනෙකු (2) මියගොස් තිබෙනවා.

ඊයේ (29) සවස පැවති දැඩි වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වයක් මත ගස කඩා වැටී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

අනතුරින් කොක්කුතුඩුවායි ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර බරපතල තුවාල ලැබූ 33 හැවිරිදි අනෙක් තරුණයා මාන්චෝලෙයි රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මරණයට පත්වී තිබෙනවා.

ඔහු මුලතිව් නිරාවිපිට්ටි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා මළ සිරුරු මාන්චෝලෙයි රෝහලේ තැන්පත් කර තිබෙනවා.

සිද්ධිය පිළිබඳ මුලතිව් පොලිසියයි පරීක්ෂණ මෙහෙයවන්නේ.

මේ අතර පැවති වියළි කාලගුණ තත්වය අවසන් කරමින් ඊයේ (29) සවස මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට වැසි ඇද වැටී තිබෙනවා ෴

*********************************************

රට යවන බව පවසා මුදල් වංචා කළ කාන්තාවක් ඇතුළු 5 ක් අත්අඩංගුවට

(30.08.2020 – 08:01 +0530 – hirunews.lk/sinhala)

කැනඩාවේ රැකියා සඳහා වීසා ලබාදෙන බවට අන්තර් ජාලය ඔස්සේ දැන්වීම් පළ කර ඊට ප්‍රතිචාර දක්වන පුද්ගලයින්ගේ බැංකු ගිණුම්වල ඇති මුදල් වංචනිකව ලබා ගත් කාන්තාවක ඇතුළු 5 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ දැන්වීම් වලට ප්‍රතිචාර දක්වන පුද්ගලයින්ගේ බැංකු ගිණුම්වල තිබූ රුපියල් ලක්ෂ 50 ක පමණ මුදලක් වංචා කරමින් මුදල් විශුද්ධිකරණය කිරීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලද පැමිණිලි 3 කට අනුවයි එහි පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් විමර්ශනයක් ආරම්භ කර ඇත්තේ.

ව්‍යාජ නමකින් කාන්තාවක් පෙනී සිටිමින් මෙම සංවිධානාත්මක මහා පරිමාණ වංචාව සිදුකර ඇති බවටයි වාර්තා වන්නේ.

එම වංචාවට දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් හසුවී ඇති අතර, ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි ලැබෙමින් පවතින බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කළේ.

දැනට මෙම වංචාව කඳාන, නිට්ටඹුව, අනුරාධපුරය, ගාල්ල, කොළඹ, ගිරිඋල්ල සහ රාගම ප්‍රදේශවල සිදුවී ඇති බවට දුරකථන විශ්ලේෂණයේදී තහවුරු වී තිබෙනවා.

මෙම වංචාවට හසුවන්නන්ගේ බැංකු ගිණුම්වල පවතින මුදල් ‘ඔන්ලයින්’ පහසුකම යටතේ වෙනත් ගිණුම් සඳහා යොමුකර මෙම මුදල් වංචාව සිදුකර ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කඳාන, රද්දොළුගම, මාරවිල, මැල්සිරිපුර සහ ගල්කුලම ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් ඊයේ (29) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

මෙවැනි වංචාවන් සඳහා හසුවූ යම් තැනැත්තෙකු සිටීනම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 011 232 6979 යන දුරකථන අංකය ඔස්සේ තොරතුරු ලබාදෙන ලෙස ද එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා ෴

*********************************************

ෆේස්බුක් සාදයක් වටලා මත්ද්‍රව්‍ය සමඟ තරුණ තරුණියන් 28 ක් අත්අඩංගුවට

(30.08.2020 – 08:58 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – අක්මීමන ප්‍රදේශයේ හෝටලයක පැවැත්වූ ෆේස්බුක් සාදයක් වටලා තරුණියන් දෙදෙනකු (2) සහ තරුණයන් 26 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (30) අලුයම මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී ඔවුන් සතුව තිබී කේරළ ගංජා ග්‍රෑම් 10 කට අධික ප්‍රමාණයක්ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

ඔවුන් වයස අවුරුදු 18 ත් 27 ත් අතර පසුවන මොරටුව, අම්පාර, මහනුවර, අනුරාධපුර සහ ගාල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.

මත්ද්‍රව්‍ය ළඟතබාගැනීම සහ නිරෝධායන නීතිරීති උල්ලංඝනය කිරීමේ චෝදනාවට ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි අක්මීමන පොලීසිය කියා සිටියේ.

ෆේස්බුක් ඔස්සේ සංවිධානය වී මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් අක්මීමන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් තරුණියන් දෙදෙනා සහ තරුණයින් 26 දෙනා ලබන 9 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔවුන් ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙලෙස බන්ධනාගාර ගත කෙරුණේ මොරටුව, අම්පාර, අනුරාධපුරය, මාතලේ සහ ගාල්ල යන ප්‍රදේශවල පදිංචි පිරිසක්.

පොලීසියට ලද තොරතුරක් මත අක්මීමන – රත්ජම්බුගහ ප්‍රදේශයේදී හෝටලයක් වටලා අද අලුයම මොවුන් අත්අඩංගුවට ගෙන තිබුණා.

එම අවස්ථාවේදී ඔවුන් සතුව තිබී කේරළ ගංජා ද සොයාගෙන තිබෙනවා ෴

*********************************************

‘ඊසි කෑෂ්’ ක්‍රමයට හෙරොයින් ජාවාරමේ නිරතවූ සරසවි සිසුවෙකු හෙරොයින් සමග අත්අඩංගුවට

(30.08.2020 – 10:35 +0530 – hirunews.lk/sinhala)

‘ඊසි කෑෂ්’ ක්‍රමයට බලන්ගොඩ ප්‍රදේශයේ හෙරොයින් ජාවාරමේ නිරතව සිටි සරසවි සිසුවෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් විස්සයි මිලිග්‍රෑම් 500 ක් සොයාගෙන ඇති අතර බැංකු කාඩ්පත් හා ජංගම දුරකථන කිහිපයක්ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

පසුව එම සරසවි සිසුවාගේ මාර්ගයෙන් ඔහුට හෙරොයින් ලබාදෙන පුද්ගලයාද හෙරොයින් මිලදී ගැනීම අවශ්‍ය බව පවසා පැමිණෙන ලෙස ප්‍රකාශ කර ඉතා සූක්ෂම ලෙස අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිව තිබෙනවා.

එහිදී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 55 ක් පොලීසිය සොයාගෙන ඇති අතර, ඔහු පැමිණි මෝටර් රථයද පොලිස් භාරයට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 27 සහ 45 වන වියේ පසුවන ගල්හේන්කන්ද, අම්පේගම සහ බියගම ප්‍රදේශවල පදිංචිකරුවන්.

මේ අතර කොළඹ උතුර පොලිස් කොට්ඨාසය, අද (30) අලුයම පොලිස් සුනඛයින් යොදාගනිමින් සිදුකළ මෙහෙයුමකදී හෙරොයින් ජාවාරමට සම්බන්ධ කාන්තාවක අත්අඩංගුවට ගෙන තිබෙනවා.

‘මෝල් චූටි’ ලෙසට කුප්‍රකට ඇය, බොහෝ කළක සිට මෙම ජාවාරමේ නිරතව සිට ඇති අතර, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් විස්සක් (20) සහ බැංකු කාඩ්පත් කිහිපයක්ද පොලීසිය සොයා ගනු ලැබුවා.

එමෙන්ම පසුගිය දින කිහිපය තුළ රුපියල් කෝටියකට ආසන්න මුදලක්, මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා ඇය විසින් සංසරණය කර ඇති බවටද තොරතුරු අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම බස්නාහිර පළාතේ පසුගිය පැය විසිහතර තුළ සිදුකළ වැටලීම්වලින් සැකකරුවන් 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතුරින් පුද්ගලයින් 142 ක් සතුව තිබී සොයාගෙන ඇති හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 191 කට අධිකයි.

පුද්ගලයින් 9 දෙනෙකු සතුව තිබී අයිස් ග්‍රෑම් විස්ස (20)කට අධික ප්‍රමාණයක්ද පොලිසිය සොයාගෙන තිබෙනවා.

මේ අතර බුත්තල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් අන්නාසිගල ප්‍රදේශයේ ගංජා හේන් දෙකක (2) සිදුකළ වැටලීමකදී පුද්ගලයින් තුන්දෙනෙකු (3) අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙරට නිෂ්පාදිත ගිනි අවියක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එම ගංජා හේන් දෙකෙහි අඩි 3 ක් පමණ උසට වැඩුණු ගංජා ගස් 5,000 කට වැඩි ප්‍රමාණයක්ද තිබී ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ 30 ක් පමණ වන බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර, ගාල්ල – අක්මීමන ප්‍රදේශයේ හෝටලයක පැවැත්වූ ෆේස්බුක් සාදයක් වටලා තරුණියන් දෙදෙනකු (2) සහ තරුණයන් 26 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (30) අලුයම මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී ඔවුන් සතුව තිබී කේරළ ගංජා ග්‍රෑම් 10 කට අධික ප්‍රමාණයක්ද පොලිස් භාරයට ගෙන ඇති බව සඳහන්.

ඔවුන් වයස අවුරුදු 18 ත් 27 ත් අතර පසුවන මොරටුව, අම්පාර, මහනුවර, අනුරාධපුර සහ ගාල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.

මත්ද්‍රව්‍ය ළඟතබාගැනීම සහ නිරෝධායන නීතිරීති උල්ලංඝනය කිරීමේ චෝදනාවට ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි අක්මීමන පොලීසිය කියා සිටියේ.

එමෙන්ම ගංජා කිලෝ තුනකට (3) ආසන්න ප්‍රමාණයක් ප්‍රවාහනය කළ පුද්ගලයින් තුන්දෙනෙකු (3) ද කැබිතිගොල්ලෑව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාර්ග බාධකයකදී අදාළ ගංජා තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ ලොරි රථයක සහ මෝටර් රථයක සඟවා ප්‍රවාහනය කරමින් සිටියදියි.

*********************************************

නීතිවිරෝධීව ආනයනය කළ කහ කිලෝ 1428 ක් සමඟ පුද්ගලයින් හයදෙනෙකු (6) අත්අඩංගුවට

(30.08.2020 – 11:09 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කළ කහ කිලෝග්‍රෑම් 1428 ක් කල්පිටිය – ඉන්පත්තිව් දූපතේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඒ, කල්පිටිය නාවික කඳවුරේ නිලධාරීන් ඊයේ (29) අලුයම සිදුකළ වැටලීමකදියි.

මෙහිදී කොටියාකුඹුර සහ කල්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් හයදෙනෙකු (6) ද අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

සුඛෝපභෝගී වෑන් රථයක්ද මෙහිදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඉන්දියාවේ සිට මෙරට මුහුදු තීරයට වෙනත් බහුදින යාත්‍රාවකින් ප්‍රවාහනය කර ඇති කහ තොගය එම ස්ථානයේ සිට කල්පිටිය – ඉන්පන්තිව් දූපතට බෝට්ටුවක් මගින් ගෙනවිත් ඇති බවටයි හෙළිවී ඇත්තේ.

සැකකරුවන් සමඟ අත්අඩංගුවට ගත් කහ තොගය අද (30) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

*********************************************

බස් රථ දෙකක් (2) මුහුණට මුහුණ ගැටීමෙන් 18 කට තුවාල

(30.08.2020 – 11:32 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල දඩල්ල ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණලා ගැනීමෙන් සිදුවූ අනතුරකින් 18 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මාතර සිට පොළොන්නරුව දක්වා ධාවනය වූ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් සහ අම්බලන්ගොඩ සිට ගාල්ල දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ගැටීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ.

පෞද්ගලික බස් රථය වෙනත් බස් රථයක් පසුකර යාමට උත්සාහ කිරීමේදී ලංගම බස් රථයේ ගැටී ඇතැයි සඳහන්.

අනතුරින් තුවාල ලැබූවන් අතර පෞද්ගලික බස් රථයේ රියදුරා ද වනවා. ඔහුගේ දෙපාවලට හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ. අනෙක් තුවාලකරුවන්ගේ තත්වය බරපතල නොවන බව සඳහන්.

අනතුර පිළිබඳ ගාල්ල පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 2

  • @ Anawilundawa. Restoration of the site MUST be paid for by the people that were involved in destroying this preserved area. The public should not be paying for their damage. We urge the government to confiscate properties of the organizers, instructors, masterminds of this destruction, and all those in the government service that supported the operation as well as kept quiet and neglected their duties. All of them should be taken to the court and given prison sentences as well, thus making an example of these greedy guts.

  • @ Mulativu illegal sand business. Similar to the illegal operation at Anawilundawa, everyone involved in this destruction of the primary forest must be arrested and taken to court and locked up. Their properties, vehicles and equipment confiscated to pay for the restoration of area. In particular any politician that was supporting or involved in the operation must be named and shamed, as well as given appropriate punishments including the cancellation of their civic rights.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *