භූ විද්‍යා නිලධාරීන් මහනුවරට

භූ විද්‍යා නිලධාරීන් මහනුවරට

විග්නේෂ්වරන් දෙමළ ජනතාව රැවටීමේ උත්සහයක නිරත වන බව වල්පොල පියනන්ද හිමි කියයි

කංසා ගැන ඇමති බන්දුල කතා කරයි

මැස්සන්ගේ ආක්‍රමණයට ලක්වූ වනාතවිල්ලුවේ කාටුපුළියන්කුලම ගම්මානය

සංචාරක හෝටලයක සිටි විදෙස් තරුණියකට අතවර කිරීමට ගිය තරුණයෙකු අත්අඩංගුවට

කොටිකාවත්තේ තාවකාලික රාත්‍රී ආපන ශාලාවක ගැටුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

කෝට්ටේ රජමහා විහාර දළදා පෙරහරේ අවසන් රන්දෝලි පෙරහර ආරම්භයට ජනපති එක්වෙයි

යෝජිතව සියලු පහසුකම් කඩවුනු පොරොන්දුවක් පමණක් බවට පත්වූ ගමක්

හෙරොයින් සමඟ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

ප්‍රසන්න, චමල්, නාමල් හා ඩීවී ඇතුළු පිරිසක් මත්තලට

ගජමුතු විකීණිමට ගිය අයෙක් කොටුවෙයි

ආගම හා භාෂාව පදනම් කරගත් දේශපාලන පක්ෂ තහනම් කරන ලෙස කාදිනල් හිමියන් රජයෙන් ඉල්ලයි

ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු වරම් නැහැ – නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දෙයි

*********************************************

භූ විද්‍යා නිලධාරීන් මහනුවරට

(30.08.2020 – 19:38 +0530 – hirunews.lk/sinhala)

මහනුවර ප්‍රදේශ කිහිපයක සිදුවු බවට පැවසෙන අසාමාන්‍ය දෙදරීමේ තත්ත්වය සම්බන්ධයෙන් සොයබැලීම සදහා භූ විද්‍යා කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් අද (30) එම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

මහනුවර, අනුරගම, හාරගම, ගුරුදෙනිය, තලාතුඔය ඇතුලු තවත් ප්‍රදේශ කිහිපයකට ඊයේ (29) රාත්‍රියේ අසාමාන්‍ය දෙදරීමේ තත්ත්වය බලපා තිබුණා.

මෙම දෙදරීම පල්ලේකැලේ භූ කම්පන මාන මධ්‍යස්ථානයේ සටහන් වී තිබෙනවා.

භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් සජ්ජන ද සිල්වා මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මෙම දෙදරීමේ තත්ත්වය භූ චලනයක් ලෙස හැදින්විය නොහැකි බවයි.

කෙසේ වෙතත්, භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශයේ නිලධාරීන් අද එහිදී ලබා ගත් දත්ත සහ තොරතුරු පදනම් කර ගනිමින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

හෙට (31) දිනයේදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිලධාරින් සමග ද ඒ පිළිබදව විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි ෴

*********************************************

විග්නේෂ්වරන් දෙමළ ජනතාව රැවටීමේ උත්සහයක නිරත වන බව වල්පොල පියනන්ද හිමි කියයි

(30.08.2020 – 13:19 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් ජාතිවාදයෙක් ලෙස රංගනයේ යෙදෙමින් අහිංසක දෙමළ ජනතාව රැවටීමේ උත්සහයක නිරත වන බව අමෙරිකාවේ ප්‍රධාන සංඝ නායක පූජ්‍ය වල්පොල පියනන්ද හිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

*********************************************

කංසා ගැන ඇමති බන්දුල කතා කරයි

(30.08.2020 – 13:24 +0530 – hirunews.lk/sinhala)

කංසා ඖෂධ නිෂ්පාදනය සඳහා යොදා ගැනීමට සහ අපනයනය කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කොළඹ පැවති වැඩසටහනකදී මෙලෙස අදහස් පල කළා.

*********************************************

මැස්සන්ගේ ආක්‍රමණයට ලක්වූ වනාතවිල්ලුවේ කාටුපුළියන්කුලම ගම්මානය

(30.08.2020 – 13:58 +0530 – hirunews.lk/sinhala)

වනාතවිල්ලුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් බණ්ඩාරනායකපුර, කාටුපුළියන්කුලම ගම්මානය මැස්සන් ආක්‍රමණය කර ඇති බවට ‘හිරු රතු මිනිත්තුව’ට වාර්තා වුණා.

ප්‍රදේශවාසීන් පෙන්වා දුන්නේ මෙම තත්ත්වය උද්ගතව ඇත්තේ අක්‍රමත් ආකාරයෙන් පවත්වා ගෙන යන මහා පරිමාණ කුකුල් ගොවිපලක් හේතුවෙන් බවයි.

අක්කර විසි පහකට (25) ආසන්න පුද්ගලික ඉඩමක වසර පහලොවක (15) පමණ කාලයක සිට මෙම මහා පරිමාණ කුකුළු ගොවිපල පවත්වාගෙන යනවා.

ගම්වාසීන් චෝදනා කරන්නේ ගොවිපලෙන් ඉවත ලන සත්ත්ව කොටස් නිසි ක්‍රමවේදයකින් තොරව පරිසරයට මුදා හැරීම හේතුවෙන් වසර ගණනාවක් තිස්සේ මෙම මැසි උවදුරට තමන් මුහුණ දෙන බවටයි.

එමෙන්ම කුකුල් කොටුවල මළ මිශ්‍ර අපද්‍රව්‍ය නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයකින් තොරව බැහැර කිරීම නිසා ප්‍රදේශය පුරා අධික දුර්ගන්ධයක් පවතිනවා.

දිනපතා වැඩිවන මෙම මැසි උවදුර හේතුවෙන් මෙම ගම්මානයේ පවුල් 200 ට ආසන්න පිරිසක් මේවන විට උග්‍ර සෞඛ්‍ය ගැටළු රැසකට මුහුණ දී ඇති තිබෙනවා.

ගම්වාසීන් චෝදනා කරන්නේ තමන් මුහුණ දී ඇති මෙම මැසි උවදුර සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදීම අදාළ බලධාරීන් වෙත වාචිකව මෙන්ම ලිඛ්තව දැනුම් දීම් සිදුකලද ඒ සදහා නිසි පිලිතුරක් නොලැබුණු බවටයි.

කුඩා දරුවාගේ පටන් මහල්ලා දක්වාම නොඅඩුව මුහුණ දී සිටින මෙම මැසි උවදුරෙන් මෙම ජනතාව මුදා ගැනීම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුවන තුරු රතු මිනිත්තුව අවධානයෙන්.

*********************************************

සංචාරක හෝටලයක සිටි විදෙස් තරුණියකට අතවර කිරීමට ගිය තරුණයෙකු අත්අඩංගුවට

(30.08.2020 – 12:50 +0530 – hirunews.lk/sinhala)

මාතර මිදිගම සංචාරක හෝටලයක රැදී සිටි විදේශීය ජාතික තරුණියකට අතවරයක් සිදු කිරීමට පැමිණියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතර මිදිගම ප්‍රදේශයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි 30 හැවිරිදි එංගලන්ත ජාතික තරුණියක් මෙම සිද්ධියට මුහුණ දී තිබෙනවා.

ඊයේ (29) අලුයම ඇය එම හෝටලයේ රැදී සිටියදී කිසියම් පුද්ගලයෙකු තම කාමරයට පැමිණි බවයි ඇය ප්‍රකාශ කරන්නේ.

එම පුද්ගලයා හෝටලයට ඇතුළුවන ආකාරය ආරක්ෂක කැමරා පද්ධතියේ මෙලෙස සහන්ව තිබුණා.

පසුව ඔහු අඩනිරුවතින් විදේශීය තරුණිය රැදී සිටි කාමරයට ඇතුළුන ආකාරයද ආරක්ෂක කැමරා පද්ධතියේ සටහන්ව තිබුණා.

කෙසේ වෙතත් තරුණියගේ විරෝධයත් සමඟ එම පුද්ගලයා ඉන් පිටතට දිව යන අතර සිද්ධිය සම්බන්ධයෙන් විදේශීය කාන්තාව මිරිස්ස සංචාරක පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් එම ප්‍රදේයේම පදිංචි අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර තරුණිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ගාල්ල පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබෙනවා.

*********************************************

කොටිකාවත්තේ තාවකාලික රාත්‍රී ආපන ශාලාවක ගැටුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

(30.08.2020 – 12:56 +0530 – hirunews.lk/sinhala)

කොටිකාවත්තේ පිහිටි තාවකාලික රාත්‍රී ආපන ශාලාවක දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අදාළ ආපනශාලාවේ හිමිකරු වන අතර සැකකරුවන් සොයා වැල්ලම්පිටිය පොලිසිය මඟින් විමර්ශණයක් ක්‍රියාත්මකයි.

කොටිකාවත්ත මංසන්ධියේ පිහිටි තාවකාලික රාත්‍රී ආපන ශාලාවක මෙම ගැටුම සිදුව තිබුණේ අද (30) අළුයම 2 ට පමණ.

ආහාර මිලදී ගැනීම සඳහා ආපනශාලාවට පැමිණි තරුණයෙකු සහ ආපන ශාලාවේ හිමිකරු අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් දෙදෙනා අතර ගැටුමක් ඇති වී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ පසුව අදාළ තරුණයා විසින් තවත් පිරිසක් ආපන ශාලාව වෙත කැඳවාගෙන විත් එහි හිමිකරුට පහර දී ඇති බවයි.

පහර කෑමට ලක්වූ ආපන ශාලාවේ හිමිකරු ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු කොටිකාවත්ත ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර සැකකරුවන් සොයා වැල්ලම්පිටිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

*********************************************

කෝට්ටේ රජමහා විහාර දළදා පෙරහරේ අවසන් රන්දෝලි පෙරහර ආරම්භයට ජනපති එක්වෙයි

(30.08.2020 – 13:04 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරයේ වාර්ෂික දළදා මහා පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර ඊයේ (29) පස්වරුවේ වීදි සංචාරය කළා.

මෙහිදී කෝට්ටේ රාජා හස්තියා මත සධාතුක කරඩුව තැන්පත් කිරීම සිදුකෙරුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

විහාර මන්දිරය වෙත සධාතුක කරඬුව වැඩමවීම අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අතින් සිදුකෙරුණා.

අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෝට්ටේ රාජා හස්තියා මත සධාතුක කරඬුව තැන්පත් කළා.

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහා නායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නාහිමියන් විසින් අනුශාසනාව සිදු කල අතර විහාරාධිපති පූජ්‍ය අළුත්නුවර අනුරුද්ධ හිමියන් විසින් ආගමික වතාවත් සිදු කරනු ලැබුවා.

මේ අතර අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද ඊයේ (29) පස්වරුවේ කෝට්ටේ රජමහා විහාරස්ථානය වෙත පැමිණියා.

*********************************************

යෝජිතව සියලු පහසුකම් කඩවුනු පොරොන්දුවක් පමණක් බවට පත්වූ ගමක්

(30.08.2020 – 14:12 +0530 – hirunews.lk/sinhala)

යෝජිතව තිබූ සියලු පහසුකම් අද දක්වාම කඩවුනු පොරොන්දුවක් පමණක් බවට පත්ව ඇති ගම්මානයක් පිලිබඳව අපට හපුතලේ ප්‍රදේශයෙන් වාර්තා වුණා.

මේ හපුතලේ දිස්ත්‍රික්කයේ පිහිටා ඇති කිරවනාගම – කීනපිටිය ගම්මානයයි.

හපුතලේ නගරයේ සිට කිලෝ මීටර් 40 දුරකින් පිහිටා ඇති මේ ගම්මානයේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය බවට පත්ව ඇත්තේ ගොවිතැනයි.

මීට වසර කිහිපයකට පෙරාතුව ජනපදයක් ලෙසින් ස්ථාපිත කළ මේ ගම්මානයට බොහෝ පහසුකම් ලබා දෙන්නට යෝජිතව තිබුණත් අද දක්වාම එය කඩවුණු පොරොන්දුවක් පමණක්ම වී තිබෙනවා.

2013 වසරේදී මෙම ගම්මානයෙන් නව ඉඩම් ලබා දී පුද්ගලයන් පදිංචි කළද ඒ සදහා තවමත් තමන්ට ඔප්පු ලබා දී නොමැති බවටයි ගම්වැසියන් චෝදනා කරන්නේ.

එමෙන්ම පානීය ජල අවශ්‍යතාව වෙනුවෙන් තමන්ගේම ශ්‍රම දායකත්වයෙන් මේ ගම්වැසියන් විසින් ජල යෝජනා ක්‍රමයක් ස්ථාපිත කරගත්තද එය බොහෝ දුරට සාර්ථක වී නැහැ.

මේ හේතුවෙන් තම පානීය ජල අවශ්‍යතා සපුරා ගැනීම සඳහා අද මේ ගම්වැසියන්ට කිලෝ මීටර් ගණනාවක දුරක් පාගමනින්ම යන්නට සිදුව තිබෙනවා.

හපුතලේ නගරයේ සිට මේ ගම්මානයට පැමිණෙන්නට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීමේදී පවා දුෂ්කරතා රැසකට මුහුණ පාන්නට සිදුව තිබෙනවා.

*********************************************

හෙරොයින් සමඟ හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

(30.08.2020 – 16:13 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින් සමඟින් හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු කොග්ගල – සිංහධීවරගමදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සූරියවැව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ වැඩ තහනමට ලක්වූ පොලිස් කොස්තාපල්වරයෙකු ඊයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ.

වදුරඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මොහු නිවසක් කුලියට ගෙන එහි සිට දීර්ඝ කාලයක් පුරා හෙරොයින් ජාවාරමේ නිතර වී තිබෙනවා.

එමෙන්ම අධික ලෙස හෙරොයින් පානය කිරීමට ඇබ්බැහි වූ මොහු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වී ඇති බවටයි වාර්තා වන්නේ.

මේ අතර කොළඹ උතුර අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් කළ අතර ඒ සඳහා කොළඹ උතුරු කොට්ඨාසයට අයත් පොලිස් ස්ථාන 8 ක නිලධාරීන් සහ මත්ද්‍රව්‍ය වැටලීම් පිළිබඳ පුහුණුව ලැබූ පොලිස් නිල සුනඛයන්ද එක් කර ගැනුණා.

අදාළ මෙහෙයුමේදී ග්‍රෑන්ඩ්පාස් නවගම්පුර ප්‍ර දේශයේ හෙරොයින් ජාවාරමේ නිරත වූ ‘දීපිකා කුමාරි ලක්ෂ්මී රන්දෙනිගේ’ නොහොත් ‘මෝල් චූටී’ නම් කාන්තාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් කාන්තාව වයස අවුරුදු 35 ක තැනැත්තියක් වන අතර ඇයගේ නිවස පරික්ෂා කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 20 ක ආසන්න ප්‍රමාණයක් සොයා ගැනුණා.

එම කාන්තාවගේ නමට ඇති බැංකු පොත් සහ බැංකු කාඩ්පත් ද පොලිස් භාරයට ගෙන ඇති අතර පොලිසිය පවසන්නේ පසුගිය දින කිහිපයතුල පමණක් අදාල බැංකු ගිණුම තුල රුපියල් කෝටියකට ආසන්න මුදලක් සංසරණය වී ඇති බවයි.

මේ අතර, හෙරොයින් පැකට් කර අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ සැකකරුවන් දෙදෙනෙකු (2) ද අද මිනුවන්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් 4110 ක් සොයාගෙන ඇති අතර, සැකකරුවන් මිනුවන්ගොඩ – පන්සිල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.

එමෙන්ම, විවිධ චෝදනා සම්බන්ධයෙන් අධිකරණයේ වරෙන්තු නිකුත් කර තිබියදී සැඟව සිටි සැකකරුවන් 5 දෙනෙකු ද මිනුවන්ගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් අද (30) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මීට අමතරව ග්‍රෑන්ඞ්පාස් – නවගම්පුර ප්‍රදේශයේදී සිදුකළ සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් ජාවාරමේ නිරත වූ කාන්තාවක් ද අත්අඩංගුවට ගත්තා.

ඇයගේ නිවස පරීක්ෂා කළ අවස්ථාවේදී හෙරොයින් ග්‍රෑම් 20 ක් සහ බැංකු පොත් කිහිපයක් ද සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර, ෆේස්බුක් ඔස්සේ සංවිධානය වී මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් අක්මීමන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් තරුණියන් දෙදෙනා සහ තරුණයින් 26 දෙනා ලබන 19 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ඔවුන් ගාල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට අද (30) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඔවුන් මොරටුව, අම්පාර, මහනුවර, අනුරාධපුර සහ ගාල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්.

එමෙන්ම, හංවැල්ල – පහත්ගම ප්‍රදේශයේදී තාවකාලික නවාතැන්පොළක නතර වී පෞද්ගලික සරසවියක අධ්‍යාපනය ලබමින් සිටි තරුණයෙකු ද අද (30) හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබුණා ෴

*********************************************

ප්‍රසන්න, චමල්, නාමල් හා ඩීවී ඇතුළු පිරිසක් මත්තලට

(30.08.2020 – 17:17 +0530 – hirunews.lk/sinhala)

මත්තල ගුවන්තොටුපොල හරහා අපනයන සංවර්ධනය හා සංචාරක ප්‍රවර්ධනය ඉලක්ක කරගනිමින්, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු මැති ඇමතිවරු පිරිසක් අද (30) මත්තල ගුවන් තොටුපොල පරිශ්‍රයේ විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

මේ සඳහා සංචාරක අමාත්‍යවරයාට අමතරව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ, තරුණ කටුයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ හා ගුවන් සේවා හා අපනයන සංවර්ධන කලාප රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක යන අමාත්‍යවරුන්ද එක්ව සිටියා.

මත්තල ගුවන් තොටුපොලේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව මෙහිදි දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, මත්තල ගුවන් තොටුපොල කේන්ද්‍ර කර ගනිමින් සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම හා දේශීය නිෂ්පාදන මත්තල ගුවන් තොටුපොල හරහා විදෙස් රටවලට අපනයනය කිරීම යන අංශ කෙරෙහි විශේෂ අවධානය යොමු වුණා.

*********************************************

ගජමුතු විකීණිමට ගිය අයෙක් කොටුවෙයි

(30.08.2020 – 18:20 +0530 – hirunews.lk/sinhala)

මහියංගණ වේවත්ත මොරකැටිය ගම්මානයේ පුද්ගලයෙකු විසින් රුපියල් ලක්ෂ 06 කට ගජමුතු විකිණිමට තැත්කිරීමේදී වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මාදුරුඔය හා දඹාන මාදුරුඔය ගල්කඩ පිවිසුමේ වන ජීවි නිළධාරින්, එක්ව අද (30) සිදුකළ මෙ‍හෙයුමකදීයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වේවත්ත මොරකැටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 66 ක් වු විවාහක පුද්ගලයෙකු වන අතර ඔහු එම ගම්මානයේ දේවාලයක් පවත්වාගෙන යන අයෙක්.

සැකකරු මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතයි ෴

*********************************************

ආගම හා භාෂාව පදනම් කරගත් දේශපාලන පක්ෂ තහනම් කරන ලෙස කාදිනල් හිමියන් රජයෙන් ඉල්ලයි

(30.08.2020 – 19:15 +0530 – hirunews.lk/sinhala)

පසුගිය ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ විමර්ශන නිසි අයුරින් සිදු නොකළ බවට කොළඹ අගරදගරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

උන්වහන්සේ රජයෙන් ඉල්ලා සිටින්නේ ආගම සහ භාෂාව පදනම් කරගත් දේශපාලන පක්ෂ තහනම් කරන ලෙසයි.

රාගම – තේවත්ත – ශ්‍රී ලංකා අප ස්වාමිදූගේ ජාතික බැසිලිකා සිද්ධස්ථානයේ රෝගීන් ආසිරි ගැන්වීමේ වාර්ෂික දේව මෙහෙය කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් අද (30) පැවැත්වුණා.

එම අවස්ථාවේදීයි උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ.

ආශිර්වාද ලබා ගැනීම සඳහා පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් ද ඊට එක්ව සිටියා.

*********************************************

ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු වරම් නැහැ – නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දෙයි

(30.08.2020 – 19:44 +0530 – hirunews.lk/sinhala)

මරණ දඬුවම නියමව සිටින ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දිය නොහැකි බවට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණ අමාත්‍යාංශය වෙත ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා.

අදාළ දැනුම්දීම අධිකරණ අමාත්‍යාංශය විසින් පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත ද යොමු කළ බවයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

2015 දී සිදුවු මිනීමැරුම් සිද්ධියකට වරදකරු කරමින් රත්නපුර මහාධිකරණයට විසින් ප්‍රේමලාල් ජයසේකරට පසුගිය දා මරණ දඬුවම නියම කළා.

කෙසේ වෙතත්, මෙවර මහ මැතිවරණයෙන් දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානයට වැඩිම මනාප ලබා ගනිමින් ඔහු මැතිවරණයෙන් ජයග්‍රහණ කරනු ලැබුවා.

ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට ඇති හැකියාව පිළිබදව පසුගිය දිනවල වාද විවාද මතු වුණා.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්, කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ ප්‍රේමලාල් ජයසේකර තමාට හිමිව ඇති මරණ දඩුවම සම්බන්ධව අභියාචනයක් ඉදරිපත් කර ඇති බැවින් ඔහු පාර්ලිමේන්තුවට කඳවන ලෙස බන්ධනාගාර නිලධාරින්ට නියෝග කරන ලෙසයි.

ඒ අනුව, පසුගිය සිකුරාදා කථානායකවරයා නිවේදනය කළේ ලබන 08 වැනි දින ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවට රැගෙන ඒම සදහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස්වරයාට දැනුම් දෙන බවයි.

කෙසේ වෙතත්, එවන් පසුබිමක ප්‍රේමලාල් ජයසේකරගේ තත්ත්වය පිළිබඳව බන්ධනාගාර කොමසාරිස්වරයා අධිකරණ අමාත්‍යාංශයෙන් විමසා සිටි අතර, ඒ අනුවයි නීතිපති දෙපාර්තමේන්තුව අමාත්‍යාංශයට මෙම උපදෙස් ලබාදී ඇත්තේ.

+++++++++++++++++++++

ප්‍රේමලාල් ජයසේකරගේ මන්ත්‍රී වරප්‍රසාද වෙනුවෙන් තමන් පෙනී සිටින බව කථානායක කියයි

(31.08.2020 – 07:12 +0530 – hirunews.lk/sinhala)

මරණ දඬුවම නියමව සිටින ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දිය නොහැකි බවට මේ දක්වා ලිඛිත දැනුම්දීමක් ලැබී නොමැති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඒ පිළිබඳ නිර්වචනයක් ලබාදීමට බලය ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුවට නොව ශ්‍රේෂ්ඨාධිකරණයට බවයි.

මන්ත්‍රී අයිතිවාසිකම් හා පාර්ලිමේන්තු වරප්‍රසාද ආරක්ෂා කිරීම තම යුතුකම බවත්, ඒ වෙනුවෙන් තමා පෙනී සිටින බවත් කථානායකවරයා අවධාරණය කළා.

ප්‍රේමලාල් ජයසේකර මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වූයේ මරණ දඬුවම නියමවීමට පෙර වන අතර, ඔහු රත්නපුර දිස්ත්‍රික්කයෙන් දෙවනුවට වැඩිම මනාප ලබාගත්තා.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් ඔහු මන්ත්‍රීවරයෙකු ලෙස පිළි ගනිමින් ගැසට් මගින් දැනටමත් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා විරෝධතාවය පළ කළ යුතුව තිබුණේ එම අවස්ථාවේදී බවයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පෙන්වා දෙන්නේ.

9 වන පාර්ලිමේන්තු සැසි වාර සඳහා සහභාගි වීමට තමන්ට අවස්ථාව ලබාදෙන ලෙස ප්‍රේමලාල් ජයසේකර පසුගිය දා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා.

එමෙන්ම, ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්, පසුගිය දා පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ ප්‍රේමලාල් ජයසේකර තමාට හිමිව ඇති මරණ දඩුවම සම්බන්ධව අභියාචනයක් ඉදිරිපත් කර ඇති බැවින් ඔහු පාර්ලිමේන්තුවට කැඳවන ලෙස බන්ධනාගාර නිලධාරින්ට නියෝග කරන ලෙසයි.

ඒ අනුව, පසුගිය සිකුරාදා කථානායකවරයා නිවේදනය කළේ ලබන මස 08 වනදා ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවට රැගෙන ඒම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස්වරයාට දැනුම් දෙන බවයි.

කෙසේ වෙතත්, එවන් පසුබිමක ප්‍රේමලාල් ජයසේකරගේ තත්ත්වය පිළිබදව බන්ධනාගාර කොමසාරිස්වරයා නීතිපතිවරයාගෙන් උපදෙස් විමසා තිබුණා.

ඒ අනුව මරණ දඬුවම නියමව සිටින බැවින් ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට හෝ එම ධුරයේ කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවට නීතිපති දෙපාර්තමේන්තුව, දැනුම් දුන් බවයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

2015 දී සිදුවු මිනීමැරුම් සිද්ධියකට වරදකරු කරමින් රත්නපුර මහාධිකරණය විසින් ප්‍රේමලාල් ජයසේකරට පසුගිය දා මරණ දඬුවම නියම කළා.

මේ අතර, ප්‍රේමලාල් ජයසේකර අසනීප තත්ත්වයක් හේතුවෙන් වැලිකඩ බන්ධනාගාරයේ සිට බන්ධනාගාර රෝහල වෙත මාරු කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම හේතුවෙන් ඔහු මෙලෙස බන්ධනාගාර රෝහල වෙත මාරු කර යවා ඇති බවයි වාර්තා වන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *