ආනවිලුන්දාව ඩෝසර් කිරීම පිටුපස සිටින දේශපාලනඥයාගේ සහෝදරයා සොයා විමර්ශන

ආනවිලුන්දාව ඩෝසර් කිරීම පිටුපස සිටින දේශපාලනඥයාගේ සහෝදරයා සොයා විමර්ශන

ලෙබනනයේ පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 22 දක්වා ඉහළට

‘කිඹුලාඇලේ ගුණා’ගේ සහයකයින් 08 ක් අත්අඩංගුවට

මෙරට 19 ත් 25 ත් පිරිමින් අතර HIV අසාදනය ඉහළට

වන අලි ගම්වැදීමෙන් ප්‍රදේශ කිහිපයක වගා හානි

විපක්ෂයේ දේශපාලකයෙකුගේ මෙහෙයවීමෙන් සිදුවූ හන්තාන වන විනාශයක් නවතයි

කුමන රක්ෂිතයෙන් හමුවූ බෞද්ධ උරුමය

හන්තොටුව කණිටු විදුහලේ දරුවන්ගේ නැණස පාදන රාත්‍රී පන්තිය

අලුතින් පාලමක් ඉල්ලන හාලිඇල වැසියෝ

ප්‍රවීන ගායක මොරිස් විජේසිංහ අභාවප්‍රාප්ත වෙයි

අග්‍රාමාත්‍යවරයා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය නිරීක්ෂණය කරයි

සම්පායෝ ඇතුළු 4 දෙනාට ඇප

ඇමරිකානු ආරක්ෂක ලේකම්ගෙන් ජනපතිට ඇමතුමක්

අයිතිකරු නොදැන බැංකු ගිණුමෙන් සල්ලි ගන්න අලුත්ම ජාවාරම මෙන්න

පන්දහසේ (5000) ව්‍යාජ මුදල් නෝට්ටු 200 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

නීතිවිරෝධීව මා ඔයේ වැලි පැටවූ පුද්ලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

*********************************************

ආනවිලුන්දාව ඩෝසර් කිරීම පිටුපස සිටින දේශපාලනඥයාගේ සහෝදරයා සොයා විමර්ශන

(31.08.2020 – 07:42+0530 – hirunews.lk/sinhala)

ආන්දෝලනයට තුඩු දී ඇති ආනවිලුන්දාව රැම්සා තෙත් බිම් ඩෝසර් කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාව එල්ල වී ඇති දේශපාලනඥයෙකුගේ සොහොයුරෙකු අත්අඩංගුවට ගැනීම සඳහා දැනටමත් පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව පොලීසිය ප්‍රකාශ කළා.

සිද්ධිය සම්බන්ධයෙන් දැනට බන්ධනාගාර ගත කර සිටින ව්‍යාපාරිකයා විසින් පොලීසියට කර ඇති පාපොච්චාරණයට අනුවයි ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇත්තේ.

ආනවිලුන්දාව රැම්සා තෙත් බිමට අයත් කොටසක් පසුගිය 27 වනදා ඩෝසර් කර තිබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු සහ ව්‍යාපාරිකයා ලබන මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය පසුගිය දා නියෝග කළේ.

මේ අතර, අදාළ රැම්සා තෙත් භූමිය නිරීක්ෂණය කිරීම සඳහා අද (31) දිනයේදී සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් එහි පිටත්ව යාමට නියමිතයි.

*********************************************

ලෙබනනයේ පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 22 දක්වා ඉහළට

(31.08.2020 – 10:45 +0530 – hirunews.lk/sinhala)

ලෙබනනයේ බේරූට් නුවර පසුගියදා සිදුවු පිපිරීමෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන්ගේ සංඛ්‍යාව 22 දක්වා ඉහළ ගොස් ඇති බව එරට ශ්‍රී ලංකා තානාපතිනි ශානි කරුණාරත්න මහත්මිය සඳහන් කළා.

ටොන් 2750 ක ඇමෝනියම් නයිට්‍රේට් සහිත ගබඩාවක් පුපුරා යාමෙන් පුද්ගලයන් 190 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර, තුවාල ලැබූ සංඛ්‍යාව 6,000 ඉක්මවා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

පිපිරීමෙන් පුද්ගලයන් ලක්ෂ 3 ක පමණ පිරිසකට නිවාස අහිමිවුණා ෴

*********************************************

‘කිඹුලාඇලේ ගුණා’ගේ සහයකයින් 08 ක් අත්අඩංගුවට

(31.08.2020 – 11:16 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දැනට ඉන්දියාවට පළාගොස් සිටින ‘කිඹුලාඇලේ ගුණා’ සහ ඔහුගේ සහෝදරයෙකු විසින් මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාලයකට සම්බන්ධ 08 දෙනෙකු සපුකස්කන්ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරෝයින් ජාවාරමට සම්බන්ධ පුද්ගලයන්ගෙන් අනාවරණය කරගත් තොරතුරු මත මොවුන් ඊයේ (30) කොළඹ ප්‍රදේශ කිහිපයකදී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී රුපියල් ලක්ෂ 70 ක් පමණ වටිනා හොරොයින් ග්‍රෑම් 70 කට අධික ප්‍රමාණයක් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම කඩු දෙකක් (2) , හෙරොයින් ජාවාරමෙන් උපයාගත් රුපියල් 20,000 ක මුදලක් සහ ජාවාරම සඳහා යොදාගත් ත්‍රිරෝද රථ දෙකක් හා යතුරුපැදි දෙකක් (2) ද සොයාගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

එමෙන්ම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘කංජිපානි ඉම්රාන්’ගේ ගෝලයෙකු වන ‘මොහොමඞ් ෆාරූස්’ හෙවත් ‘ෆායිස් පිච්චේ’ මාළිගාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 1180 ක් සමඟ ඊයේ (30) අත්අඩංගුවට ගත් මොහුට දැනට බන්ධනාගාර ගතකර සිටින ‘කංජිපානි ඉම්රාන්’ට ලබාදීම සඳහා ජංගම දුරකතනයක් රැගෙන යාම සම්බන්ධයෙන් මේ වනවිට අධිකරණය හමුවේ නඩුවක් ද පවතිනවා.

ඊට අමතරව පුද්ගල ඝාතනයක් සිදු කිරීම ඇතුළු තවත් අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් මොහු පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවෙකු බවයි වාර්තා වන්නේ.

මේ අතර මුව ආවරණයක් තුළ සූක්ෂම ලෙස සඟවා අලෙවි කිරීම සඳහා හෙරොයින් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු ගනේමුල්ල පොලිසිය මඟින් ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු සිය මුව ආවරණය තුල හෙරොයින් කුඩා ප්‍රමාණයේ පැකට් 07 ක් සඟවාගෙන රැගෙන යාමට උත්සහ කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේදී හොරොයින් ජාවාරමේ නිරත කාන්තාවක් ඇතුළු 03 දෙනෙකු මීගමුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණා.

හෙරොයින් ග්‍රෑම් 21 ක්, අයිස් ග්‍රෑම් 27 ක් සහ එම ජාවාරමෙන් උපයා ගත් බව පැවසෙන රුපියල් 36,000 ක මුදලක් ද එහිදී පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

මේ අතර බම්බලපිටිය සහ කෙසෙල්වත්ත ප්‍රදේශවලදී සිදු කළ වැටලීම්වලින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 481 ක් සමඟ සැකකරුවන් තුන්දෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බම්බලපිටිය ප්‍රදේශයේදී අයිස් ග්‍රෑම් 62 යි මිලිග්‍රෑම් 650 ක් සමඟ එක් සැකකරුවෙකු ඊයේ අත්අඩංගුවට ගෙන ඇති අතර, සෙසු සැකකරුවන් දෙදෙනා (2) අත්අඩංගුවට ගනු ලැබුවේ කෙසෙල්වත්ත ප්‍රදේශයේදී බවයි පොලීසිය සඳහන් කළේ.

ඔවුන් දෙදෙනා (2) ගෙන් එක් අයෙකු සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 395 යි මිලිග්‍රෑම් 847 ක් සහ අනෙක් පුද්ගලයා සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 31 යි මිලිග්‍රෑම් 450 ක් පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

*********************************************

මෙරට 19 ත් 25 ත් පිරිමින් අතර HIV අසාදනය ඉහළට

(31.08.2020 – 12:51 +0530 – hirunews.lk/sinhala)

මෙරට වයස අවුරුදු 19 ත් 25 ත් අතර වයස් කාණ්ඩයේ පිරිමි පුද්ගලයින් අතර HIV ආසාදනය වීම ඉහළගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය රසාංජලී හෙට්ටිආරච්චි මහත්මිය පවසනවා.

ඇය වැඩිදුරටත් සඳහන් කළේ HIV ආසාදිත පුද්ගලයන් 1600 දෙනෙකු පමණ මේ වන විට එම ආසාදිත තත්ත්වය නොදැන රටපුරා සැරිසරන බවයි.

ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ සායන වල මේ වන විට ලියාපදිංචි වී ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 2000 ක්.

නමුත් ජාතික ඒඩ්ස් මර්දන වැඩසටහන සිදුකළ සමීක්ෂණයකට අනුව අනාවරණ වී ඇත්තේ මෙම වසර වන විට එම සායනවල ලියාපදිංචි වී පුද්ගලයන් 3600 දෙනෙකු පමණ ප්‍රතිකාර ලබාගත යුතු බවයි.

කෙසේ වෙතත් ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකය ඉල්ලා සිටින්නේ සැක සහිත කිසියම් පුද්ගලයෙකු වේනම් තම ආයතනයේ සායන වෙත පැමිණ නොමිලේම රුධිර පරික්ෂාවක් කරගන්නා ලෙසයි.

*********************************************

වන අලි ගම්වැදීමෙන් ප්‍රදේශ කිහිපයක වගා හානි

(31.08.2020 – 12:55 +0530 – hirunews.lk/sinhala)

වනඅලි ගම්වැදීම හේතුවෙන් හාලිඇල – උදේනිගම, අතුනාටිය, තල්වත්ත යන ප්‍රදේශවල ජනතාවගේ ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ලවී ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

රන්දෙණිගල වනෝද්‍යානයේ සිට පැමිණෙන වන අලි තම වගා බිම් මුළුමනින්ම විනාශ කරන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

එමෙන්ම, මාතලේ – පල්ලෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කිරිඔරුව ප්‍රදේශයේ ජනතාවද වන අලි ගම්වැදීම හේතුවෙන් පීඩාවට පත්ව සිටිනවා.

පසුගිය දින 3 ක කාලය තුළ පමණක් ගම්වැදුනු වන අලි පොල්ගස් දහසකට (1000) අධික සංඛ්‍යාවක් විනාශ කර ඇති බවයි කිරිඔරුව ප්‍රදේශයේ ජනතාව සඳහන් කළේ.

ගම්මිරිස්, කෝපි, බුලත්, ඉඟුරු බෝගවගාවන්හි නිරත ප්‍රදේශවාසීන් අදාළ බෝගවලට නිසි මිලක් නොතිබීම හේතුවෙන් වසර කිහිපයක සිට පොල් වගාව සඳහා යොමුවී තිබුණා.

කෙසේ වෙතත් වන අලි පොල් වගාවද විනාශ කිරීම හේතුවෙන් තම ජීවනෝපායට දැඩි බලපෑම් එල්ලවී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ අතර මන්නාරම, මඩු, මුල්ලිකුලම ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකට ලක්වීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වන සතුන් දඩයමේ ගිය සිය සමඟ නිවසට පැමිණෙමින් සිටියදී අදාළ කාන්තාව ඊයේ (30) මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මියගොස් ඇත්තේ මුල්ලිකුලම ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි කාන්තාවක්.

දිනෙන් දින වැඩිවන අලි – මිනිස් ගැටුමට ස්ථිර විසඳුමක් ලබාදීම සම්බන්ධයෙන් මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින බව වනජීවී රැකවරණ, අලි වැට හා අගල් ඉදිකිරීම ඇතුලු ආරක්ෂිත වැඩපිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා සඳහන් කළා ෴

*********************************************

විපක්ෂයේ දේශපාලකයෙකුගේ මෙහෙයවීමෙන් සිදුවූ හන්තාන වන විනාශයක් නවතයි

(31.08.2020 – 13:02 +0530 – hirunews.lk/sinhala)

‘ආනවිලුන්දාව රැම්සා තෙත් බිම’ නිරීක්ෂණය සඳහා සමගි ජනබලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත්දෙනෙකු (7) ඇතුලු පිරිසක් අද (31) එම ස්ථානයට පැමිණියා.

එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර කියා සිටියේ අදාළ පරිසර විනාශයට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට වහා කටයුතු කළ යුතු බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති දේශපාලනඥයෙකුගේ සොහොයුරෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය කියා සිටියා.

ඒ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයෙකු පොලීසියට කළ ප්‍රකාශයන්ට අනුවයි.

ආනවිලුන්දාව රැම්සා තෙත් බිමට අයත් කොටසක් පසුගිය 27 වනදා ඩෝසර් කර තිබූ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බැකෝ යන්ත්‍ර ක්‍රියාකාරු සහ එම ව්‍යාපාරිකයා ලබන සිකුරාදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි අධිකරණය පසුගියදා නියෝග කළේ.

මේ අතර ආන්දෝලනයට තුඩුදී ඇති ආනවිළුන්දාව රැම්සා තෙත් බිම් කලාපය ඩෝසර් කිරීමට ආධාර අනුබලදීමේ සිද්ධියට තමන් සම්බන්ධ නොමැති බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ දංකොටුව ප්‍රදේශයේ ඊයේ (30) පැවති ජන හමුවකට එක්වෙමින්.

මේ අතර විපක්ෂය නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලනඥයෙකුගේ බලපෑම මත සිදුව ඇති හන්තාන කඳුවැටියේ මීටර 3,000 ට ඉහළ, පරිසර සංවේදී ප්‍රදේශය එළි කිරීමක් මධ්‍යම පරිසර අධිකාරිය විසින් අත්හිටුවා තිබෙනවා.

‘හන්තාන සුරකින්නන්ගේ සංගමය’ කියා සිටියේ එම පරිසර සංවේදී ප්‍රදේශයේ අක්කර 19 ක පමණ භූමි ප්‍රදේශයක් මෙලෙස හෙළි පෙහෙළි කරමින් පැවති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අප මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ මහතා ගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ අදාළ හෙළිපෙහෙලි කිරීම සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ගවලට එළඹෙන බවයි.

*********************************************

කුමන රක්ෂිතයෙන් හමුවූ බෞද්ධ උරුමය

(31.08.2020 – 13:26 +0530 – hirunews.lk/sinhala)

රුහුණේ ඉතිහාසය පිළිබඳව පුළුල්ව සොයා බැලීමේ අරමුණින් කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය ‘කුමන රක්ෂිතයේ’ කළ ගවේෂණයකදී රුහුණටම ආවේණික බුද්ධ ප්‍රතිමාවක් ඇතුළු ප්‍රතිමා 3 ක් සොයාගෙන තිබෙනවා.

ගවේෂණයේ නිරත වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහචාර්ය රාජ් සෝමදේව මහතා පැවසුවේ මෙම ප්‍රතිමා ක්‍රිස්තු වර්ෂ 7 වන සියවසට හෝ 8 වන සියවසට අයත්විය හැකි බවයි.

කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා ඇතුළු ශිෂ්‍ය කණ්ඩායමක් පසුගියදා කුමන රක්ෂිතයේ ගවේෂණයක නිරත වුණේ රුහුණේ ඉතිහාසය පිළිබඳව නව අත්දැකීමකින් යුතුව සොයා බැලීමේ අරමුණින් ඇතිමලේ ප්‍රදේශයෙන් කුමන වනාන්තරයට ඇතුළු වූ ගවේශකයන්ට කිලෝ මීටර් 15 ක පමණ දුරක් ගමන් කළ තැන බුදු පටුන්ගල ලෙසට හඳුන්වන ස්ථානයක් හමු වී තිබෙනවා.

එහි විශාල ගල් පර්වථයක ශෛලමය ප්‍රතිමා 3 ක් නෙලා ඇති ආකාරය ගවේෂකයන්ට දැකගත හැකි වුණා.

අදාළ ප්‍රතිමා හිටිවන ඉරියව්වෙන් නෙලා ඇති අතර මැද පිහිටා ඇති බුද්ධ ප්‍රතිමාවට දෙපසින් අවලෝකීතේෂ්වර සහ මෛත්‍රී බෝධිසත්වයන්ගේ ප්‍රතිමා දෙකක් නෙලා තිබෙනවා.

වැල්ලවාය – බුදුරුවාගල බුද්ධ ප්‍රතිමාද මීට සමානකම් දක්වන බැවින් ඔවුන්ගේ නිගමනය වී ඇත්තේ මෙම ප්‍රතිමා රුහුණු ප්‍රදේශයටම ආවේණික සම්ප්‍රදායක් පෙන්නුම් කරන බවයි.

අඩි 7 සහ 6 ප්‍රමාණවලින් යුක්ත මෙම ප්‍රතිමා අතරින් දෙකක (2) කොටස් මේ වන විට නිධන් හොරුන් විසින් කඩා බිද දමා විනාශකර තිබෙනවා.

+++++++++++++++++++++

*********************************************

හන්තොටුව කණිටු විදුහලේ දරුවන්ගේ නැණස පාදන රාත්‍රී පන්තිය

(31.08.2020 – 13:32 +0530 – hirunews.lk/sinhala)

තම ගම්මානයේ පවතින ආර්ථික ගැටලු හොඳින් හඳුනා ගෙන ඊට උචිත ආකාරයෙන් රාත්‍රී කාලයේදී නොමිළේ අතිරේක පන්ති පවත්වා සිසු දරුවන්ගේ නැණස පාදන අපූරු පාසලක් පිළිබඳව අපට මාතර – පිටබැද්දර ප්‍රදේශයෙන් වාර්තා වුණා.

දෙණියාය අධ්‍යාපන කලාපයට අයත් මාතර – පිටබැද්දර හත්තොටුව කණිටු විදුහලට සිප් සතර හැදෑරීමට පැමිණෙන්නේ ආර්ථික අපහසුතා රැසක් මැද දිවි ගෙවන අවට ප්‍රදේශවල ජීවත් සිසු දරුවන්.

පවතින ආර්ථික තත්ත්වය හමුවේ අතිරේක පන්ති සඳහා සහභාගීවීමට මේ දරුවන්ට ඇත්තේ සීමිත අවස්ථාවක්.

මේ කරුණ හොඳින් අවබෝධ කර ගැනීමට 2017 වසරේදී පාසලේ නව විදුහල්පතිවරයා ලෙස පත්වී පැමිණෙන සුනිල් ගමගේ මහතාට හැකි වනවා.

ඒ අනුව 2018 වසරේ සිට දිනපතා පස්වරු 6 සිට රාත්‍රී 9 දක්වා පාසලේ 10, 11 වසරවල දරුවන්ට නොමිලේ අතිරේකව අධ්‍යාපනය ලබාදීමට ඔහු උත්සුක වනවා.

ඒ සඳහා දෙණියාය අධ්‍යාපන අධ්‍යක්ෂිකාව ඇතුළු පිරිසගෙන්ද හිමි වන්නේ නොමද සහයක්.

මේ දවස්වල පාසලින් පසුව පැවැත්වෙන රාත්‍රී අතිරේක පන්තිය මගින් දරුවන්ට විශාල දැනුමක් ලැබෙනවා. ඇත්තටම ඒක ලොකු පිටිවහලක් වෙනවා එළැඹෙන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පහසුවෙන් මුහුණ දීමට.

රාත්‍රී කාලයේ පාසල පැමිණෙන දරුවන්ගේ ආරක්ෂාව සඳහා දෙමාපියන්ගේ සහය ඇතිව වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මකයි.

දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිමවනතෙක් පාසලේ නඩත්තු කටයුතු ඇතුළු දෑ වෙනුවෙන් වෙහෙසෙන දෙමාපියන් දරුවන්ට සහ ගුරුවරුන්ට තේ පැන්වලින් සංග්‍රහ කිරීමට ද අමතක කරන්නේ නැහැ.

බොහෝ කටයුතු මුදලට පමණක් සීමා වී ඇති වත්මන් සමාජය තුළ සුවහසක් දරු දැරියන්ගේ හෙට දවස වෙනුවෙන් සිය කාලය, ශ්‍රමය කැපකරන මෙම ගුරුවරු රටටම ලබාදෙන් මහඟු ආදර්ශයක්…

*********************************************

අලුතින් පාලමක් ඉල්ලන හාලිඇල වැසියෝ

(31.08.2020 – 13:35 +0530 – hirunews.lk/sinhala)

මේ හාලිඇළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බෝගහමලිත්ත සහ කපුවත්ත යන ගම්මාන යා කරමින් ඉදිකර තිබෙන පාලමයි.

වසර 29 කට පෙර ඉදිකර ඇති මෙම පාලම හාලිඇළ ප්‍රදේශයේ ගම්මාන රැසකට අයත් පුද්ගලයින් 1000 කට පමණ හාලිඇළ නගරයට පිවිසීමට අති එකම පාලමද වනවා.

පාලම අබලන්වීම නිසා ජනතාවට හාළිඇළට පැමිණීමට සිදුව ඇත්තේ බදුල්ල නගරයට ගොස් කිලෝමීටර් 10 ක් පමණ නැවත දුර ගෙවා දමමින්.

ගම්වාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ දශක 03 කට ආසන්න කාලයක් පැරණි මෙම පාලම අලුත්වැඩියා කර දී තම ගමනාගමන කටයුතු සුරක්ෂිතව සිදුකළ හැකි වට පිටාව සකස් කර දෙන ලෙසයි.

ගම්මාන රැසක ජනතාවට සිය ගමනාගමන කටයුතු නිසි පරිදි සිදුකර ගත හැකි වන අයුරින් මෙම පාලම ප්‍රතිසංස්කරණයට වගකිවයුත්තන් පියවර ගන්නා තුරු රතු මිනින්තුව අවධානයෙන්.

*********************************************

ප්‍රවීන ගායක මොරිස් විජේසිංහ අභාවප්‍රාප්ත වෙයි

(31.08.2020 – 13:41 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවීන ගායක මොරිස් විජේසිංහ මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා.

මිය යනවිට ඔහු 79 වනවියේ පසුවුණා.

ඉන්දුට මල් මිටක් චිත්‍රපටයේ ‘මිලාන මා දෙනෙතේ’, සප්ත කන්‍යා චිත්‍රපටයේ ‘දූවිල්ලෙන් වත්සුණු තවරා’ ගීතය මෙන්ම ‘ඔබ එන්න – ඔබ ඇවිත් යන්න එන්න’ යන ගීතය ඔහු ගායනා කළ ගීත අතරින් වඩා ජනාදරයට පත්වුණා.

ඔහුගේ දේහය මේ වනවිට ගල්කිස්ස ප්‍රදේශයේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති අතර, දේහය පිළිබඳ අවසන් කටයුතු අද (31) පස්වරු හතරට ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි ෴

https://www.youtube.com/watch?v=yXJwBj3rsU0
https://www.youtube.com/watch?v=whm4RIYwPE8

***************************************

වව්නියාව ප්‍රාදේශයේ ළමා නිවසක සිටි තරුණියන් දෙදෙනෙකුට, පියා ලෙස පෙනී සිටිමින් විවාහ චාරිත්‍ර සිදු කර ප්‍රදේශයේ තරුණයන් දෙදෙනෙකු විවාහ කර දිමට වව්නියාව නගර සභාවේ ලේකම් ආර්.දයාපරන් මහතා කටයතු කර තිබෙනවා.

*********************************************

අග්‍රාමාත්‍යවරයා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය නිරීක්ෂණය කරයි

(31.08.2020 – 15:56+0530 – hirunews.lk/sinhala)

මෙතෙක් අඩුවක්ව පැවති විශ්ව කෝෂය හා ශබ්ද කෝෂය පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම්වලින් සැඳුම්ලත් ස්ථීර කාර්යාල ගොඩනැගිල්ලක් වහාම ලබා දීමට අවශ්‍ය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

ඒ, සංස්කෘතික කටයුතු අමාත්‍යංශය මඟින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත කටයුතු සොයා බැලීමට අග්‍රාමාත්‍යවරයා අද (31) එහි ගිය අවස්ථාවේදීයි.

විශ්ව කෝෂය හා ශබ්ද කෝෂය පවත්වාගෙන යාමට කාර්යාල පහසුකම් සහිත ගොඩනැගිල්ලක් නොමැති බවට අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අග්‍රාමාත්‍යවරයා එම මොහොතේදීම නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගනිමින් ඒ සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම හමුවේදී ජෝන් ද සිල්වා සමරු රඟහල සහ කලා භවන ප්‍රතිසංස්කරණ කටයුතු සොයා බැලූ අග්‍රාමාත්‍යවරයා රුපියල් මිලියන 1600 ක වියදමින් පිළිසකර කෙරෙන ජෝන් ද සිල්වා සමරු රඟහලේ දෙවැනි අදියරේ පිළිසකර කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව හෝ යුධ හමුදාව සම්බන්ධ කර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

දිවයින පුරා අලුතින් ගොඩනගන ලද සංස්කෘතික මධ්‍යස්ථාන 19 ක්, ඉදිරි මාස 03 ක කාලය තුළ විවෘත කරන ලෙසත්, ඊට අවශ්‍ය කාර්යය මණ්ඩලය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සමඟ සාකච්ඡා කර ලබා ගන්නා ලෙසත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය පසුගිය වසර හතර හමාරක කාලය තුළ කිසිඳු නඩත්තුවකින් තොරව පවත්වාගෙන ගිය බව මෙම අවස්ථාවට එක්ව සිටි රන්මිණිතැන්න ටෙලි ගම්මානයේ සභාපති ප්‍රවීන රංගන ශිල්පී ආචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය මහතා පෙන්වා දුන්නා.

ජාතික උරුම, ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා, සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා, රාජ්‍ය අමාත්‍යංශ ලේකම් එස්.ටී. කොඩිකාර මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා ෴

*********************************************

සම්පායෝ ඇතුළු 4 දෙනාට ඇප

(31.08.2020 – 15:09 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර රැදවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබූ මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඇතුළු 4 දෙනා ඇප මත මුදා හැරීමට මීගමුව මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය අද නියෝග කළා.

ඒ අනුව අනුරුද්ධ සම්පායෝ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2 ක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සෙසු ජේලර්වරු 3 දෙනා ලක්ෂ 6 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි නියෝග කළේ.

මොවුන්ට විදෙස් ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නේ මසකට දෙවරක් (2) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටයි.

*********************************************

ඇමරිකානු ආරක්ෂක ලේකම්ගෙන් ජනපතිට ඇමතුමක්

(31.08.2020 – 16:15 +0530 – hirunews.lk/sinhala)

ඇමරිකානු ආරක්ෂක ලේකම් මාක් ටී. එස්පර්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත දුරකථන ඇමතුමක් ලබාදී දෙරට අතර ආරක්ෂක සබඳතා තවදුරටත් වර්ධනය කරලීම පිළිබදව සාකච්ඡා කර තිබෙනවා.

ඇමරිකානු ආරක්ෂක ලේකම්වරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ කොවිඩ් 19 ගෝලීය වසංගතයට ප්‍රතිචාර දැක්වීමේදී දෙරට අතර සහයෝගීතාව සහ ජාත්‍යන්තර ආරක්ෂක වාතාවරණය පිළිබදව ද එහිදී සාකච්ඡාවට බඳුන් වූ බවයි.

එමෙන්ම, සමුද්‍ර ආරක්ෂක සහයෝගීතාව වර්ධනය කරලීම පිළිබඳව ද එහිදී අදහස් හුවමාරු වූ අතර, මානව හිමිකම් හා සංහිදියාව පිළිබඳ අඛණ්ඩ ප්‍රගතියක් ලැබීම උදෙසා දිරි ගැන්වීමක් සිදුකළ බව ද ඇමරිකානු ආරක්ෂක ලේකම් මාක් ටී. එස්පර් වැඩිදුරටත් සඳහන් කළා ෴

*********************************************

අයිතිකරු නොදැන බැංකු ගිණුමෙන් සල්ලි ගන්න අලුත්ම ජාවාරම මෙන්න

(31.08.2020 – 16:30 +0530 – hirunews.lk/sinhala)

යුරෝපීය රටවල රැකියා ලබාදෙන බව පවසා බැංකු ගිණුම්වලින් සිදුකරන මුදල් වංචාවක් පිළිබඳව පොලිසිය විසින් අද (31) මහජනතාව දැනුවත් කළා.

අද (31) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් තොරතුරු හා මාධ්‍ය දිසාවේ නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ මේ වනවිට අදාළ සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණ වී ඇති බවයි.

එහිදී වංචාකරුවන් විසින් උපායමාර්ගිකව පුද්ගලයන්ගේ පෞද්ගලික තොරතුරු ලබාගැනීමෙන් අනතුරුව මෙලෙස ඔවුන්ගේ ගිණුම්වල තැන්පත් කර ඇති මුදල් වංචාවක් සිදුකරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

*********************************************

පන්දහසේ (5000) ව්‍යාජ මුදල් නෝට්ටු 200 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(31.08.2020 – 17:11 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂ 10 ක වටිනාකමින් යුත් ව්‍යාජ මුදල් නෝට්ටු 200 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීමට තංගල්ල කොට්ටාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් සමත්වී තිබෙනවා.

නීති විරෝධිව මුද්‍රණය කර බෙදා හැරීමට කටයුතු කරමින් තිබූ 5000 සේ නෝට්ටු 200 ක් සමඟ වයස අවුරුදු 27 ක පුද්ගලයෙකු හා එම මුදල් නෝට්ටු මුද්‍රණය කරන ලද වයස අවුරුදු 39 ක පුද්ගලයෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

තංගල්ල කොට්ටාශ අපරාධ විමර්ශන අංශයට ලැබුණු තොරතුරකට අනුව අද (31) පෙරවරුවේ මෙම වැටලීම සිදුකර අදාළ මුදල් නෝට්ටු රැගෙන යමින් සිටි ප්‍රධන සැකකරු සහ ඔහු සන්තකයේ තිබු රුපියල් ලක්ෂ 10 ක වටිනා කමින් යුත් මෙම ව්‍යාජ මුදල් නෝට්ටු සහ ඔහු ගමන්ගත් යතුරු පැදිය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පසුව එම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අදාළ මුදල් නෝට්ටු මුද්‍රණය කරන ලද පුද්ගලයාද අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇති අතර ඔහු රන්න, උඩයාල ප්‍රදේශයේ පදිංචි, දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක්.

ඔහු සතුව තිබූ, ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණයට යොදාගත් පරිගණකය හා මුද්‍රණයන්ත්‍රයද පොලිස් භාරයට ගෙන අදාළ වෙළඳ සැලට මුද්‍රා තබා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් තංගල්ල කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකය වැඩි දුර පරීක්ෂණ මෙහෙයවනවා.

++++++++++++

රුපියල් 1,70,40,000 ක් පමණ වටිනා නීතිවිරෝධී දුම්වැටි තොගයක් කටුනායක ගුවන් තොටුපළේ රේගු ඒකකයේ නිලධාරීන් විසින් අද (31) අත්අඩංගුවට ගෙන තිබුණා.

ඩුබායි හි නිෂ්පාදිත මෙම දුම්වැටි තොගය මසා නිමකළ ඇදුම් බවට පවසමින් අවිස්සාවේල්ල ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක ව්‍යාජ ලිපිනයකට එවා තිබෙනවා.

*********************************************

නීතිවිරෝධීව මා ඔයේ වැලි පැටවූ පුද්ලයින් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(31.08.2020 – 18:02 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධීව වැලි පැටවූ දෙදෙනෙකු (2) කොටදෙනියාව පොලීසිය විසින් අද (31) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොටදෙනියාව ප්‍රදේශයෙන් ගලා බසින මාඔය මංකඩකින්, බලපත්‍රයක් නොමැතිව ට්‍රැක්ටර් රථයකට වැලි පටවවමින් සිටියදීයි.

අදාළ සැකකරුවන් බඩල්ගම ශාන්ත මරියා මාවතේ පදිංචි කරුවන් දෙදෙනෙකු (2) බව සඳහන්.

සැකකරුවන් මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකුට රුපියල් 50,000 බැගින් රුපියල් ලක්ෂයක දඩයක් මිනුවන්ගොඩ මහෙස්ත්‍රාත් නියම කළා.

මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගය පරිදි එම වැලි ප්‍රමාණය රාජසන්තක කර තිබෙනවා.

කොටදෙනියාව පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *