ගල්කිස්ස අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපතිගේ වැඩ තහනම්

ගල්කිස්ස අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපතිගේ වැඩ තහනම්

මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරි සම්පායෝ අත්අඩංගුවට ගැනීමේ සී.සී.ටී.වී. දර්ශන මාධ්‍යයට

‘හුරුබුහුටියා’ ලබන 13 තෙක් රිමාන්ඩ්

ඉදිරියට තැබූ පියවර පසුපසට නොගන්නා බව ජනපති කියයි

විග්නේශ්වරන් දැවැන්ත දේශපාලන කුමන්ත්‍රණයක

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරීන් 13 දෙනා ලබන 14 දක්වා රිමාන්ඩ්

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආනවිලුන්දාවට යයි

අයවැයට පෙර 20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට – ජී.එල්. කියයි

ප්‍රේමලාල් ජයසේකරගේ මන්ත්‍රීධූරය පිලිබඳ නීතිපතිගේ මතය ප්‍රකාශ කරයි

දිළිඳු පවුල් ලක්ෂයකට රැකියා ප්‍රදානය කිරීමේ වැඩසටහන හෙට (02) සිට

රැදවියන් 444 කට ජනපති, පොදු සමාව

වෙළඳපොළේ අලෙවි කිරීමට ඇති කහ පිළිබදව අවදානයෙන් සිටින්නැයි උපදෙස්

ජාතික ආර්ථිකයක් ගොඩනැගීමට සක්‍රියව දායක වන්න, ජනපති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගෙන් ඉල්ලයි

චීන මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට, රියදුරන් තීරණය කරයි

රටවල් 3 ක සිටි ශ්‍රී ලාංකිකයන් 640 දෙනෙකු දිවයිනට

*********************************************

ගල්කිස්ස අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපතිගේ වැඩ තහනම්

(31.08.2020 – 18:49 +0530 – hirunews.lk/sinhala)

අපරාධ කල්ලි සාමාජිකයින් සමඟ සබදතා පැවැත්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ගල්කිස්ස පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ටී.ආර්. හෙට්ටිආරච්චිගේ වැඩ තහනම් කර තිබෙනවා.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත මෙලෙස වැඩ තහනම් කර ඇති බව සඳහන් ෴

+++++++++++++++

මත්ද්‍රව්‍ය වරදක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු නිදහස් කිරීම සඳහා කාන්තාවක ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටි පානදුර දකුණ පොලිසියට අනුයුක්තව සේවය කරන ලද පොලිස් නිලධාරියෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා ෴

*********************************************

මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරි සම්පායෝ අත්අඩංගුවට ගැනීමේ සී.සී.ටී.වී. දර්ශන මාධ්‍යයට

(31.08.2020 – 19:47 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර රැදවියන්ට පහසුකම් සැපයීමේ චෝදනාව මත අත්අඩංගුවට ගනු ලැබූ මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඇතුළු 4 දෙනා දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද (31) නියෝග කළා.

ඒ අනුව අනුරුද්ධ සම්පායෝ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2 ක් මත මුදා හැරීමටයි මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය නියෝග කළේ.

එසේම, සෙසු ජේලර්වරු 3 දෙනා ලක්ෂ 6 බැගින් වූ ශරීර ඇප දෙකක් (2) මත මුදා හැරීමට ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළා.

මොවුන් සියළු දෙනාට විදෙස් ගමන් තහනම් කළ මහේස්ත්‍රාත්වරිය දැනුම් දුන්නේ මසකට දෙවරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටයි.

මීට අමතරව පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට හෝ විමර්ශනවලට බාධා නොකරන ලෙස මහේස්ත්‍රාත්වරිය ඔවුන්ට තරයේ අවවාද කර තිබෙනවා.

මේ අතර, අද (31) පැවති මෙම නඩුවේදී පසුගිය අගෝස්තු 2 වන දා කුරුණෑගල නගරයේදී අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීමට අදාළ සී.සී.ටී.වී දර්ශන ඇතුළත් සී.ඩී. පටයක් සහ ඡායාරූප 35 ක් නීතිපති දෙපාර්තමේන්තුව, අධිකරණයට ඉදිරිපත් කළා.

එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කියා සිටියේ මෙම සිදුවීම සම්පූර්ණයෙන්ම රංගනයක් බවයි.

මීට පෙර අදාළ සී.සී.ටී.වී. දර්ශන ඇතුළත් සී.ඩී. පටය සහ ඡායාරූප වැඩබලන පොලිස්පතිවරයාට යොමු කර තිබුණ ද, ඔහු ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් තමන් ඒවා මෙලෙස අද (31) දිනයේදී අධිකරණයට ඉදිරිපත් කළ බවයි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ.

එහිදී සැකකරුවන්ට ඇප ලබාදීමට දැඩි ලෙස විරෝධය පලකරන බවද නියෝජය සොලිසිටර් ජනරල්වරයා අධිකරණය හමුවේ සඳහන් කළා.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් අධිකරණයෙන් විමසා සිටියේ පරීක්ෂණ අවසන් වන තුරු සිය සේවාදායකයින් රිමාන්ඞ් භාරයේ පසුවිය යුතු ද යන්නයි.

ඉන් අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දීලිප පීරිස් මහතා යලිත් අධිකරණය හමුවේ කරුණු දැක්වුවා.

පොලීසිය ප්‍රධානීන් සමග කිසිදු ගැටුමක් නොමැති බවත් මෙවැනි සිද්ධීන් වලට එරෙහිව පියවර ගත යුත්තේ අනාගතයේදී හෝ මෙවැනි වැරදි යලිත් නොවීම සඳහා බව පෙන්වා දුන්නා.

සී.සී.ටී.වී. කැමරාවක් එම ස්ථානයේ නොපැවතියේ නම් ඔවුන් කියන දේ පිළිගැනීමට සිදුවන බවත් මෙවැනි පුද්ගලයින්ගේ නිරුවත් අධිකරණය ඉදිරියේ හෙලිකර ඔවුන්ගේ තරු ගැලවිය යුතු බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියා.

අවසානයේදී ඔහු කියා සිටියේ මෙය ශීතකරණයක් බන්ධනාගාරයට ගෙන ඒමේ ප්‍රශ්නයක් නොව මහා පරිමාණ දුෂිත ක්‍රියාවලියක් බවයි.

මේ අතර, අසත්‍ය සටහන් යෙදීමේ චෝදනාව යටතේ මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා අධිකරණයෙන් වරෙන්තු නියෝගයක් ලබාගෙන අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනිද්දා (02) උපදෙස් ලබාදෙන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නා.

*********************************************

‘හුරුබුහුටියා’ ලබන 13 තෙක් රිමාන්ඩ්

(31.08.2020 – 20:12 +0530 – hirunews.lk/sinhala)

මුව ආවරණයක් තුළ සූක්ෂම ලෙස සඟවා අලෙවි කිරීම සඳහා හෙරොයින් රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබූ ‘සංජය මධුශංක විජේසේකර’ හෙවත් ‘හුරුබුහුටියා’ නැමැත්තා ලබන මස 13 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි. ගනේමුල්ල පොලිසිය මඟින් ඊයේ (30) මොහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මුඛ ආවරණය තුළ සගවා තිබූ කුඩා ප්‍රමාණයේ හෙරොයින් ඇසුරුම් 7 ක් තම භාරයට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

එමෙන්ම, කිරින්ද – ගෙවල්සියය ප්‍රදේශයේ නිවසක සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී හෙරොයින් ග්‍රෑම් 42 ක් සමගින් 42 හැවිරිදි සිව් (4) දරු මවක් අත්අඩංගුවට ගත් අතර පසුව අනාවරණ වූයේ අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැදවියෙකු විසින් මෙම හෙරොයින් ජාවාරම මෙහෙයවා ඇති බවටයි.

මේ අතර, සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දැනට ඉන්දියාවට පළාගොස් සිටින ‘කිඹුලාඇලේ ගුණා’ සහ ඔහුගේ සහෝදරයෙකු විසින් මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාලයකට සම්බන්ධ 08 දෙනෙකු ද සපුකස්කන්ද පොලිසිය ඊයේ (30) අත්අඩංගුවට ගත්තා.

සැකකරුවන් සතුව තිබී රුපියල් ලක්ෂ 70 ක් පමණ වටිනා හොරොයින් ග්‍රෑම් 70 කට අධික ප්‍රමාණයක්, තියුණු ආයුධ කිහිපයක්, හෙරොයින් ජාවාරමෙන් උපයාගත් රුපියල් 20,000 ක මුදලක් සහ ජාවාරම සඳහා යොදාගත් ත්‍රිරෝද රථ දෙකක් (2) මෙන්ම යතුරුපැදි දෙකක් (2) ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එමෙන්ම සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘කංජිපානි ඉම්රාන්’ගේ ගෝලයෙකු වන ‘මොහොමඩ් ෆාරූස්’ හෙවත් ‘ෆායිස් පිච්චේ’ මාළිගාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 1180 ක් සමඟින්.

මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේදී හොරොයින් ජාවාරමේ නිරත කාන්තාවක් ඇතුළු 03 දෙනෙකු මීගමුව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර, ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 21 ක්, අයිස් ග්‍රෑම් 27 ක් සහ එම ජාවාරමෙන් උපයා ගත් බව පැවසෙන රුපියල් 36,000 ක මුදලක් ද පොලිසිය භාරයට ගනු ලැබුවා.

එමෙන්ම, බම්බලපිටිය සහ කෙසෙල්වත්ත ප්‍රදේශවලදී සිදු කළ වැටලීම්වලින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 481 ක් සමඟ සැකකරුවන් තුන්දෙනෙකු (3) බම්බලපිටිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

*********************************************

ඉදිරියට තැබූ පියවර පසුපසට නොගන්නා බව ජනපති කියයි

(31.08.2020 – 20:23 +0530 – hirunews.lk/sinhala)

කෙටි කාලීන අපහසුතාවයන්ට පත්වුවද ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරමින් ගොවි ජනතාව නගා සිටුවීම සඳහා ගත් පියවර ආපස්සට නොගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළා.

අද (31) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති ජීවන වියදම් පිළිබද අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ මංගල රැස්වීමට එක්වෙමින් ජනාධිපතිවරයා සදහන් කළේ මිල පාලනයට හෝ පහත හෙලීමට කහ සහ සෙසු භාණ්ඩ ආනයනය කළහොත් කිසිදු දිනෙක අපේක්ෂිත අරමුණුවලට ළඟා විය නොහැකි බවයි.

කොරෝනා වසංගතයත් සමඟ ඉන්දියාව සහ ඇමරිකාව වැනි රටවල් ද ආනයන සීමා පනවා ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා විදේශ විනිමය පාලනයට සහ ඉහළ ණය බරින් මිදීමට ආනයන සීමා කළ යුතු බව සඳහන් කළා.

එමෙන්ම, ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු (2) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද (31) පස්වරුවේ දිවුරුම් දී තිබෙනවා. වයඹ පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මෙහිදී දිවුරුම් දුන් අතර, ඌව ආණ්ඩුකාර රාජා කොල්ලුරේ දිවුරුම් දුන්නේ වයඹ පළාත් ආණ්ඩුකාරවරයා ලෙසයි.

මෙලෙස ආණ්ඩුකාවරුන් දෙදෙනෙකුගේ බල ප්‍රදේශ මාරුවීම අද (31) පස්වරුවේ සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

***************************************

ශ්‍රී දළදා මාලිගාවේ නිල වෙබ් අඩවියට ( https://sridaladamaligawa.lk/ ) සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, මේ වනවිට එය යථා තත්ත්වයට පත්කර තිබෙනවා.

*********************************************

විග්නේශ්වරන් දැවැන්ත දේශපාලන කුමන්ත්‍රණයක

(31.08.2020 – 21:55 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් පසුගියදා පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් මහා සංඝරත්නය සහ දේශපාලනඥයින් අදහස් පළ කළා.

C V විග්නේශ්වරන්ගේ ප්‍රකාශය හරහා වෙනම රාජ්‍යක් ගැන අදහසක් ඉදිරිපත්කිරීමට උත්සහ ගන්නා බව අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා.

මේ අතර ඊයේ (30) දිනයේ ‘හිරු TV හාඩ් ටෝක්’ වෙත එක්වෙමින් C V විග්නේශ්වරන් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සියලු ජාතින් එක්ව පරාජය කළ යුතුබව නව ‘සිංහල රාවය සංවිධානයේ’ මාධ්‍ය හමුවකට එක්වූ පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා.

C V විග්නේශ්වරන්ගේ මෙම හැසිරීම දැවැන්ත දේශපාලන කුමන්ත්‍රණයක හැසිරීමක් බව ‘සිංහලේ සංවිධානයේ’ මහලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමියන් ප්‍රකාශ කළා.

පුද්ගලික අරමුණු මත අදහස් ප්‍රකාශ කිරීම ආරම්භ වීමත් සමඟ මෙරට ව්‍යාකූල තත්වයකට පත්වූ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළා.

*********************************************

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරීන් 13 දෙනා ලබන 14 දක්වා රිමාන්ඩ්

(31.08.2020 – 22:07 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවීමේ චෝදනා මත සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරීන් 13 දෙනා, ලබන 14 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කලා.

මෙහිදී නීතිපති දෙපාර්තමේන්තුව කළ ඉල්ලීම අනුව දැනට ඩුබායි හි රැඳී සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය මෙන්ම පාතාල අපරාධකරුවෙකු වන ‘උදාර සම්පත්’ නැමැත්තා මෙම නඩුවේ 14 වන සැකකරු ලෙස නම් කිරීමට ද විනිසුරුවරිය මෙහිදී අවසර ලබාදුන්නා.

*********************************************

විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ආනවිලුන්දාවට යයි

(31.08.2020 – 22:28 +0530 – hirunews.lk/sinhala)

ආන්දෝලනයට තුඩු දී ඇති ආනවිලුන්දාව රැම්සා තෙත් බිම් ඩෝසර් කිරීමට ආධාර අනුබලදීමේ චෝදනාව එල්ල වී ඇති දේශපාලනඥයෙකුගේ සොහොයුරෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.

ඒ සිද්ධිය සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ව්‍යාපාරිකයා විසින් පොලීසියට කර ඇති පාපොච්චාරණයකට අනුවයි.

මේ අතර විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද අදාළ භුමියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා.

*********************************************

අයවැයට පෙර 20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට – ජී.එල්. කියයි

(31.08.2020 – 22:47 +0530 – hirunews.lk/sinhala)

ලබන නොවැම්බර් මස අයවැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර 20වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කිරීමට රජය බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා.

එහි සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මේ අදහස් පළකළේ බත්තරමුල්ල – නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

*********************************************

ප්‍රේමලාල් ජයසේකරගේ මන්ත්‍රීධූරය පිලිබඳ නීතිපතිගේ මතය ප්‍රකාශ කරයි

(31.08.2020 – 23:02 +0530 – hirunews.lk/sinhala)

මරණ දඬුවමට නියමව සිටින ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමට නොහැකි බවට 2020 අගෝස්තු 19 වන දින අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයාට, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට නීතිපතිවරයා විසින් ලිඛිතව දැනුම් දී තිබෙනවා.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය මේ බව සඳහන් කළේ ඊයේ (30) කථානායකවරයා කළ ප්‍රකාශයකට පිළිතුරු ලෙසයි.

*********************************************

දිළිඳු පවුල් ලක්ෂයකට රැකියා ප්‍රදානය කිරීමේ වැඩසටහන හෙට (02) සිට

(01.09.2020 – 06:55 +0530 – hirunews.lk/sinhala)

දිළිඳු පවුල් ලක්ෂයකට රැකියා ප්‍රදානය කිරීමේ වැඩපිළිවෙළ හෙට (02) ආරම්භ කෙරෙනවා.

රජය විසින් පිහිටුවා ඇති බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය මඟින් අඩු අදායම්ලාභී සහ නිපුණතාවක් රහිත ජන කොටස් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීම මෙම වැඩසටහනෙහි අරමුණයි.

කිසිදු අධ්‍යාපනයක් නොලද හෝ අ.පො.ස. සාමාන්‍ය පෙළට අඩු අධ්‍යාපනික මට්ටමක සිටින නුපුහුණු ශ්‍රමිකයින් වීම, අයැදුම්පත් කැඳවනු ලබන අවසන් දිනට වයස අවුරුදු 18 ට නොඅඩු හා 40 ට නොවැඩි වීම, සමෘද්ධි සහනාධාර ලැබීමට සුදුසු එහෙත් නොලබන පවුලක රැකියා විරහිත සාමාජිකයෙකු වීම හෝ සමෘද්ධි සහනාධාර ලබන පවුලක එහෙත් රැකියා විරහිත සාමාජිකයෙකු වීම, වයස්ගත, රෝගතුර දෙමාපියන් හෝ ආබාධිත සාමාජිකයන් සිටින පවුලක රැකියා විරහිත සාමාජිකයෙකු වීම සහ අයැදුම් කරන ප්‍රදේශයේ ස්ථීර පදිංචිකරුවෙකු වීම වැනි සුදුසුකම් යටතේ මෙම රැකියාලාභීන් තෝරාගනු ලබනවා.

මේ අතර එක් පවුලකින් ඉහත සුදුසුකම් සපුරා ඇති ඉල්ලුම්කරුවෙකු ගැන පමණක් සලකා බලනු ලැබීම, අයැදුම්කරුවන් පදිංචි ගම් ආශ්‍රිත ප්‍රදේශවල පවතින රැකියා අවස්ථා සහ අයැදුම්කරුවන් ඉල්ලා ඇති පුහුණු ක්ෂේත්‍ර සියල්ලම සැලකිල්ලට ගෙන වෘත්තීය පුහුණුව තීරණය කිරීම, තමා පදිංචි ප්‍රදේශය තුළ හෝ ආසන්න ප්‍රදේශවල හෝ ඇති පුහුණු මධ්‍යස්ථානවලදී පුහුණුව ලබාදීම සහ සාර්ථක පුහුණුවකින් පසු පදිංචි ප්‍රදේශයේ හෝ ආසන්න ප්‍රදේශවල හෝ රැකියා නියුක්ත කෙරෙනවා.

මාස හය 06 ක අඛණ්ඩ පුහුණු කාලය තුළ මසකට රු 22,500 ක දීමනාවක් හිමි වන අතර පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් පසු තමා පුහුණුව ලැබූ ක්ෂේත්‍රයට අදාළවල සිය ස්ථීර පදිංචි ප්‍රදේශය තුළ රජයේ අනුමත ප්‍රාථමික ශිල්පීය නොවන වැටුප් රුපියල් 35,000 ක් හා දීමනා හිමි රජයේ ස්ථීර තනතුරකට පත්වීමට පුහුණුලාභීන්ට අවස්ථාව තිබෙනවා.

වසර 10 ක සතුටුදායක අඛණ්ඩ සේවා කාලයක් සපුරාලීමෙන් පසු රජයේ විශ්‍රාම වැටුප් හිමිකම මෙම පුහුණුලාභීන්ට ලැබෙනවා.

මේ අතර රැකියාලාභීන් කිසිදු පාර්ශවයකට මුදලක් හෝ කිසියම් ආකාරයක අල්ලසක්දීම රැකියා අවස්ථාව ප්‍රතික්ෂේවිමට හේතුවක් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරනවා ෴

*********************************************

රැදවියන් 444 කට ජනපති, පොදු සමාව

(01.09.2020 – 07:06 +0530 – hirunews.lk/sinhala)

සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින රැදවියන් 444 දෙනෙකු ජනපති පොදු සමාව යටතේ නිදහස ලබාදී තිබෙනවා.

මොවුන් අතර කාන්තා රැදවියන් 18 දෙනෙකු ද සිටින බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා සඳහන් කළේ.

ඒ අනුව වැඩිම රැදවියන් සංඛ්‍යාවක් වැලිකඩ බන්ධනාගාරයෙන් නිදහස් වන අතර එම සංඛ්‍යාව 83 ක්.

පල්ලෙකැළේ බන්ධනාගාරයෙන් 54 දෙනෙකු, කුරුවිට බන්ධනාගාරයෙන් 35 දෙනෙකු, මහර බන්ධනාගාරයෙන් 30 දෙනකු සහ අනුරාධපුර බන්ධනාගාරයෙන් 28 දෙනෙකු ද වශයෙන් දිවයින පුරා පිහිටි බන්ධනාගාර 29 ක රැදවියන්ට මෙලෙස නිදහස හිමිව තිබෙනවා.

ඊට අමතරව අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයෙන් 20 දෙනෙකුට සහ කොළඹ මැගසින් බන්ධනාගාරයෙන් 6 දෙනෙකුද මෙලෙස පොදු සමාව යටතේ නිදහස කර ඇති බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ.

බන්ධනාගාර තුළ මේ වනවිට පවතින අධික තදබදය පාලනය කිරීම සඳහා මෙලෙස පොදු සමාව ලබාදී තිබෙනවා ෴

*********************************************

වෙළඳපොළේ අලෙවි කිරීමට ඇති කහ පිළිබදව අවදානයෙන් සිටින්නැයි උපදෙස්

(01.09.2020 – 07:45 +0530 – hirunews.lk/sinhala)

ජනතාව කහ මිලදී ගැනීමේදී ඒ පිළිබදව දැඩි අවදානයෙන් පසුවන ලෙසට පාරිභෝගික සේවා අධිකාරිය ඉල්ලීමක් කරනවා.

ඊට හේතු වී ඇත්තේ හිඟය හේතුවෙන් කෘත්‍රිම කහ වර්ග වෙළඳපොළට වැඩි වශයෙන් පැමිණීමයි.

තිරිඟු පිටි සහ සහල් පිටි කවලම් කර ඊට කහ වර්ණය යෙදීම සඳහා ඩයි වර්ග ද උපයෝගී කරගෙන කෘත්‍රිම කහ නිෂ්පාදනය කර වෙළදපොළට පැමිණෙන බව පාරිභෝගික සේවා අධිකාරිය කියා සිටියා.

මෙවැනි සිද්ධි සම්බන්ධයෙන් පසුගිය කාලසීමාව තුළ වැටලීම් 120 ක් ද සිදුකර තිබෙනවා.

ඒ අතරින් සාම්පල් 40 ක් ලබාගෙන ඒවා පරීක්ෂා කිරීම සඳහා යොමු කර ඇති අතර, ඉන් සාම්පල් 19 ක්ම කෘත්‍රිම කහ බවට අනාවරණ වුණා ෴

*********************************************

ජාතික ආර්ථිකයක් ගොඩනැගීමට සක්‍රියව දායක වන්න, ජනපති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගෙන් ඉල්ලයි

(01.09.2020 – 07:46 +0530 – hirunews.lk/sinhala)

දිස්ත්‍රික් රැසක ජනතාව මුහුණ දී සිටින ගැටළුවලට විසදුම් දෙමින් ජාතික ආර්ථිකයක් ගොඩනැගීමට සක්‍රියව දායක වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා.

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගේ කාර්ය භාරය සහ වගකීම පිළිබදව දැනුවත් කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේ ඊයේ (31) පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මෙම ඉල්ලීම සිදු කළේ.

දිවයිනේ සියළු දිස්ත්‍රික්කවල තත්ත්වයන් සමාලෝචනයටත්, පවතින ගැටළුවලට එම අවස්ථාවේදීම විසදුම් දීමේ වැපිළිවෙලක් සැකසීමටත් පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කළා.

ඒ, බී, සී, ඩී ලෙස වර්ග කර ඇති දිවයිනේ සියළුම මාර්ග ජනාධිපතිවරයාගේ ධුර කාලය අවසන්වීමට පෙර කාපට් අතුරා සංවර්ධනය කිරීමට ද සැලසුම් කර ඇති බවයි එම සාකච්ඡාවට එක්වෙමින් ආර්ථික පුනර්ජීවනය පිළිබදව ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේ.

2015 දක්වා රජය ක්‍රියාත්මක කළ සංවර්ධන වැඩසටහන් කිහිපයක වැඩ නතර වී ඇති ඇති බවත් ඉදිරි අය වැයෙන් මුදල් වෙන් කර එලෙස නතර වූ ඉතිරි ඉදිකිරීම් සියල්ලෙහිම වැඩ අවසන් කරන බවත් ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියා.

*********************************************

චීන මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට, රියදුරන් තීරණය කරයි

(01.09.2020 – 08:17 +0530 – hirunews.lk/sinhala)

චීන මැදිරි සහිත දුම්රිය ධාවනය කිරීමේදී පවතින තිරිංග දෝෂ හේතුවෙන් එම මැදිරි සහිත දුම්රිය ධාවන කටයුතුවලින් ඉවත් වන බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා කියා සිටියේ ඒ අනුව ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට චීන මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් ඉවත් වූ බවයි.

මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ගෙන් විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ එම දෝෂ සහිත දුම්රිය මැදිරි සම්බන්ධයෙන් විමර්ශණය සඳහා කමිටුවක් පත් කිරීමට නියමිත බවයි ෴

චීන මැදිරි සහිත දුම්රිය ධාවනයෙන් ඉවත්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් දුම්රිය එන්ජිං රියදුරන්ගේ සංගමය දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ මේ වන විට සාකච්ඡාවක් ආරම්භ කර තිබෙනවා.

මේ අතර ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අද (01) පෙරවරුවේ එක් දුම්රියක් පමණක් ධාවනය නොවූ බව දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු ප්‍රකාශ කළා.

පොල්ගහවෙල සිට කොළඹ දක්වා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය මෙලෙස ධාවනය නොවූ බවයි ඔහු කියා සිටියේ.

එහෙත් දුම්රිය එන්ජිං රියදුරන්ගේ සංගමය ප්‍රකාශ කළේ දුම්රිය 6 ක් පමණ ධාවනය නොවන බවයි.

එලෙස ධාවනය නොකෙරෙන චීන මැදිරි සහිත දුම්රියවලට රුමේනියා මැදිරි එක්කර ධාවනය කිරීමට කටයුතු කරන බව සාමාන්‍යාධිකාරීවරයා ප්‍රකාශ කළා.

2008 වසරේදී මෙම චීන මැදිරි මෙරටට ගෙන්වා ඇති අතර, මේ වන විට මැදිරි 100 ක් පමණ මෙරට පවතිනවා.

ඉන් මැදිරි 50 ක් පමණ ධාවනයට යොදවා ඇති බවයි දුම්රිය වෘත්තීය සමිති ප්‍රකාශ කළේ.

දුම්රිය 5 කට පමණ චීන මැදිරිත් අනෙත් ඒවාට රුමේනියාවෙන් ගෙන්වන ලද මැදිරිත් සවිකර ඇති බවද ඔවුන් කියා සිටියා.

මෙම චීන මැදිරි සහිත දුම්රියවල තිරිංග දෝෂ පවතින බවට දුම්රිය රියදුරන් මීට පෙර පාලන අධිකාරියට දැනුම් දී තිබුණා.

එහෙත් ඊට මෙතෙක් විසදුමක් ලබාදී නොමැති බවයි දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා කියා සිටියේ.

++++++++++++++

චීන දුම්රිය මැදිරි ධාවනයෙන් ඉවත්වීමට ගත් තීරණය දුම්රිය වෘත්තීය සමිති විසින් අත්හිටුවා තිබෙනවා.

ඒ, දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා සමඟ අද (01) පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

අදාළ චීන මැදිරිවල තිරිංග පද්ධතියේ පවතින ගැටළුවක් හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරනු ලැබුවේ ඊයේ (31)මධ්‍යම රාත්‍රියේ සිටයි ෴

*********************************************

රටවල් 3 ක සිටි ශ්‍රී ලාංකිකයන් 640 දෙනෙකු දිවයිනට

(01.09.2020 – 08:29 +0530 – hirunews.lk/sinhala)

මැද පෙරදිග රාජ්‍යයන් වන කටාර්, කුවේට් සහ එක්සත් අරාබි එමීර් හි සිට ශ්‍රී ලාංකිකයන් 640 දෙනෙකු අද (01) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

කටාර් රාජ්‍යයේ දෝහාර් හි සිට ශ්‍රී ලාංකිකයන් 59 දෙනෙකු දිවයිනට පැමිණි අතර, කුවේට් හි සිට පැමිණි සංඛ්‍යාව 293 ක්. මොවුන් අතර කුඩා දරුවන් 3 දෙනෙකු ද සිටිනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවයට ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු ඩුබායි හි සිට මෙරටට පැමිණියා.

මොවුන් අතර ද කුඩා දරුවන් 3 දෙනෙකු වනවා.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ චීන ආයෝජන ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයන් 168 දෙනෙකු රැගත් යානයක් ඊයේ (31) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *