රහස් පොලීසියේ තවත් බලපෑමක් ගැන දේශපාලන පළිගැනීම් කොමිසමේදී අනාවරණයක්

රහස් පොලීසියේ තවත් බලපෑමක් ගැන දේශපාලන පළිගැනීම් කොමිසමේදී අනාවරණයක්

යුද හමුදාපතිගෙන් යළි කොරෝනා ගැන සිහි කැඳවීමක්

නවක මන්ත්‍රීවරුන් අගමැති ආදර්ශයට ගත යුතුයි – පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමියන්

වාරිජලය අත්‍යවශ්‍ය කටයුතුවලට පමණයි – රාත්‍රියේ ජලය රැස් කරගන්නැයි ඉල්ලීමක්

සිංහරාජ හෝටලය ගැන ඇත්ත ඉරාජ් හොයගනී.. සාක්‍ෂි සහිතයි..

‘හිරු සී.අයි.ඒ.’ : කල්පිටියේ කඩොලාන විනාශය ගැන සභාපතිවරයා දුන් පිළිතුර

දිළිඳු පවුල් ලක්ෂයකට රැකියා ප්‍රදානය කිරීමේ වැඩපිළිවෙළ හෙට (02) සිට ඇරඹේ

මෙතෙක් නොවිසඳුණු කොළඹ ගංවතුර පාලනයට ලැබෙන අලුත්ම විසඳුම

ද්විත්ව පුරවැසිබව හා බැසිල් ගැන විමල් දුන්න උත්තරේ

ට්‍රැවල් ඒජන්සියේ නොදුටු පැත්ත – හොර ස්කාගාරයක් !

ගෙදර ආ ශෙහාන්

දිඹුලාගල ආරණ්‍ය සේනාසනය නිධන් හොරුන්ගෙන් ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලීමක්

ගල්කිස්ස හෝටලයක වීසා රහිතව සිටි චීන සහ තායිලන්ත ජාතිකයෝ

අන්තවාදී දේශන සහ වැඩමුළුවලට සහභාගී කරවූ මද්‍රසා පාසලේ දරුවන්

ආගමික මධ්‍යස්ථානයක මුවාවෙන් ගාල්ල – තිත්තගල්ලේ පවත්වාගෙන යන භාවනා මධ්‍යස්ථානයට ජනතා විරෝධය

*********************************************

රහස් පොලීසියේ තවත් බලපෑමක් ගැන දේශපාලන පළිගැනීම් කොමිසමේදී අනාවරණයක්

(01.09.2020 – 19:32 +0530 – hirunews.lk/sinhala)

මාධ්‍යවේදී ‘කීත් නොයාර්’ පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අසත්‍ය කරුණු පවසන ලෙස රහස් පොලීසිය බලපෑම් කළ බව යුද හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ නිලධාරියෙකු දේශපාලන පළිගැනීම් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් සදහන් කළා.

ඔහු කියා සිටියේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ අනුදැනුම මත එම පහරදීම සිදු වූ බව පවසන ලෙස සී.අයි.ඩී. නිලධාරීන් බලපෑම් කළ බවයි.

ජනාධිපති කොමිසම හමුවේ මෙලෙස සාක්ෂි ලබාදුන්නේ විශ්‍රාමික මාණ්ඩලික සැරයන් ප්‍රියන්ත කුමාර සෝමසූරිය යි.

තමා එකල බුද්ධි ක්‍රියාන්විත රාජකාරිවල නිරත වූ බැවින් මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගෙන ගොස් අමානුෂික ලෙස පහරදුන් සිද්ධියට සී.අයි.ඩී.ය මගින් අත්අඩංගුවට ගත් බවයි ඔහු පැවසුවේ.

කෙසේ වෙතත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා එම සිද්ධියට අදාළව තමාගෙන් සී.අයි.ඩී.යට පක්ෂපාතීව සාක්ෂි ලබා ගැනීම අරමුණු කරගනිමින් නිදහස් කළ බවත් සාක්ෂිකරු සඳහන් කළා.

සී.අයි.ඩී. රැඳවුම්භාරයේ සිටින අවස්ථාවක නිලධාරියෙකු පැමිණ ‘නුඹ කොච්චර නැහැ කිව්වත් අපි ළඟ සාක්ෂි තිබෙනවා’ යැයි පවසමින් සහකාර පොලිස් අධිකාරීවරයාගේ කාමරයට තමන්ව රැගෙන ගිය බවත් ඔහු කියා සිටියා.

එහි සිටි පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා අසභ්‍ය වචනයෙන් තමන්ට බැණ වැදුණු අතර, තවත් නිලධාරියෙක් තමන් පිටුපස සිට තම බෙල්ල ප්‍රදේශයට පොල්ලකින් පහර දුන් බවයි සාක්ෂිකරු එහිදී ප්‍රකාශ කළේ.

අනතුරුව පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ඔහුගේ කාමරයට තමන්ව රැගෙන ගොස් ‘සෝමසූරිය ඔච්චර දුක් විඳින්න එපා. අපි කියන දේට එකඟවෙන්න’ යනුවෙන් අසත්‍ය සාක්ෂි ලබාදීම සඳහා තමන්ට බලපෑම් කළ බවයි සාක්ෂිකරු සඳහන් කළේ.

තවත් දිනෙක සී.අයි.ඩී. පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ඇතුළු පිරිස් ඔවුන් සමඟ මත්පැන් පානය කිරීමට ඉඩ සලස්වා පසුව සී.අයි.ඩී. වාහනයකින් මැල්සිරිපුර පිහිටි තම නිවසට ගිය බවයි සාක්ෂිකරු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

එහිදී තම බිරිඳ ලවා තමන්ගෙන් ඔවුන්ට අවශ්‍ය සාක්ෂිය ලබාගැනීමට බලපෑම් කළ අතර, එසේ නොකළහොත් තම විශ්‍රාම වැටුප අහිමි කරන බවත් තම දරුවන්ගේ ඉදිරි අනාගතය ඒ තුළින් නැතිවන බවත් පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා ප්‍රකාශ කළ බවයි සාක්ෂිකරු කොමිසම හමුවේ සඳහන් කළේ.

අසන ප්‍රශ්නවලට ‘ඔව්‘ ලෙස පමණක් පිළිතුරු ලබාදෙන ලෙස නිශාන්ත සිල්වා සාක්ෂිකරුට නියෝග කර තිබෙනවා.

පසුව තමන්ව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට සාක්ෂි ලබාදීම සඳහා රැගෙන ගිය බවත්, එහිදී ලෝචනා අබේවික්‍රම මහේස්ත්‍රාත්තුමිය ඉදිරිපිටදී නිශාන්ත සිල්වා දුන් උපදෙස්වලට පරිබාහිරව ගොස් තම හෘද සාක්ෂියට එකඟව සත්‍ය කරුණු සාක්ෂි ලෙස ප්‍රකාශ කළ බවයි සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළේ.

එහිදී මහේස්ත්‍රාත්වරිය ‘කල්පනා කරලා බලලා නැවත ප්‍රකාශයක් දෙන්න.’ යනුවෙන් තමන්ට පැවසූ බවයි ඔහු ප්‍රකාශ කළේ.

එමෙන්ම පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා තමන් ලවා හිස් කොළ 22 කට අත්සන් ලබාගත් බව ද සාක්ෂිකරු වැඩිදුරටත් සඳහන් කළා.

කරුණු සලකා බැලූ ජනාධිපති කොමිසම තීරණය කළේ මේ පිළිබඳ වැඩිදුර සාක්ෂි විමසීම සැප්තැම්බර් 12 දක්වා කල් තැබීමටයි ෴

*********************************************

යුද හමුදාපතිගෙන් යළි කොරෝනා ගැන සිහි කැඳවීමක්

(01.09.2020 – 19:21 +0530 – hirunews.lk/sinhala)

ජනතාව තවදුරටත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියා.

ඔහු මේ බව සඳහන් කළේ සාලියපුරදී අද (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයින් ගෙන්වාගැනීමේ කටයුතු අඛන්ඩව සිදුවන බවද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

එසේම ඩුබායි හි රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් රැකියා අහිමිවීමෙන් පසු නිසි වාසස්ථානයක් නොමැතිව එහි උද්‍යානයක රැඳී සිටින පුවතක් හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තාවුණා.

ඔවුන් ඉල්ලා සිටියේ කඩිනමින් තමන් ඇතුලු පිරිස කඩිනමින් දිවයිනට ගෙන්වා ගන්නා ලෙසයි ෴

*********************************************

නවක මන්ත්‍රීවරුන් අගමැති ආදර්ශයට ගත යුතුයි – පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමියන්

(01.09.2020 – 19:42 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බෙලිඅත්ත, පුවක්දණ්ඩ, පන්ථාරාම මහාවිහාරයේ විහාරාධිපති, දෙහිගහහේනේ ඥානවිමල හිමියන් බැහැදැක අද ආශීර්වාද ලබා ගත්තා.

රටේ ආර්ථීක, සමාජීය හා දේශපාලන ක්‍රියාදාමයන්ට අදාළ ධර්මානුකූල පිළිවෙත් ගැන උන්වහන්සේ අග්‍රාමාත්‍යවරයාට අනුශාසනා කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ගේ සංකල්පයක් මත සෑම පුන්පොහෝ දිනකම පවත්වන අමාදම් සිසිලස ධර්ම දේශනා මාලාවේ 201 වැනි ධර්ම දේශනාව අදට යෙදුණු බිනර පොහෝ දිනය වෙනුවෙන් අරලියගහ මන්දීරයේදිදී පැවැත්වුණු අතර, මෙවර ධර්ම දේශනය සිදුකළේ කැළණිය රජ මහාවිහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමියන් විසින්.

එහිදී උන්වහන්සේ දේශනා කළේ පුද්ගලයෙකුට සතර සංග්‍රහ වස්තුන් පිළිපැදීමට හැකිනම් එය බලයක් වන බවයි.

ඒ සඳහා අග්‍රාමාත්‍යවරයා ආදර්ශයට ගන්නා ලෙස සඳහන් කළ උන්වහන්සේ පෙන්වා දුන්නේ සතර සංග්‍රහ වස්තුන් හොඳින්ම ප්‍රදර්ශනය කළ දේශපාලනඥයෙකු ලෙස තමන් අග්‍රාමාත්‍යවරයා හඳුනාගෙන ඇති බවයි.

නවක මන්ත්‍රීවරුන්ද අග්‍රාමාත්‍යවරයාගේ ආදර්ශය ගත යුතු බවද කැළණිය රජ මහාවිහාරාධිපති මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමියන් ප්‍රකාශ කළා.

*********************************************

වාරිජලය අත්‍යවශ්‍ය කටයුතුවලට පමණයි – රාත්‍රියේ ජලය රැස් කරගන්නැයි ඉල්ලීමක්

(01.09.2020 – 19:56 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ගංගා සහ වාරි ජලාශ වල ජල මට්ටම් පහළ ගොස් තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එස්. පී. සී. සුගීෂ්වර මහතා කියා සිටියේ ගංගාවල ජල මට්ටම් සැලකිය යුතු ලෙස පහළ බැසිම නිසා පානීය ජල සැපයුමට බාධා එල්ල වී ඇති බවයි.

අත්‍යවශ්‍ය වගා කටයුතු සහ පානිය ජලය සඳහා පමණක් වාරිජලය ලබාදීම සිදු කරන බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමණාකරණ අංශයේ අධ්‍යක්ෂ ඩී. අබේසිරිවර්ධන මහතා කියා සිටියේ.

ජලවිදුලිය නිෂ්පාදනය කරන ජලාශ වල ද ජල මට්ට්ම සියයට 68 දක්වා පහළ ගොස් ඇති බවයි විදුලි බල මණ්ඩලය සඳහන් කළේ.

මේ අතර, වියළි කාලගුණය ලබන නොවැම්බර් මාසය දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, අද, හෙට සහ අනිද්දා (01, 02, 03) යන දිනයන්වලදී බොහෝ ප්‍රදේශවලට තාවකාලික වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ප්‍රකාශ කළේ.

මේ වන විට දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පානීය ජලය ලබාදීම සීමා කිරීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයද ප්‍රකාශ කළා.

ඒ අනුව කැළණිය, වත්තල, බියගම, දොම්පේ, පමුණුවිල, උඩුපිල, රතුපස්වල සහ යක්කල, කොස්ගම, අවිස්සාවේල්ල, පිළියන්දල, මහරගම, කඩුවෙල, හෝකන්දර, නාවල සහ කෝට්ටේ ප්‍රදේශවල ජල සැපයුමට බාධා එල්ල විය හැකියි.

එමෙන්ම, කොළඹ දිස්ත්‍රික්කයේ උස් බිම් ප්‍රදේශවලට සහ පානදුර, වාද්දුව, බණ්ඩාරගම, හොරණ සහ ඉංගිරිය යන ප්‍රදේශවල ද යම්තාක් දුරකට ජල සැපයුමට බාධා සිදුවිය හැකි වනවා.

වියළි කාලගුණය පවතින බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්ක වලටද නළ ජල සැපයුමට බාධා එල්ල විය හැකි බවයි.

ඒ අනුව, මෙම තත්ත්වයත් සමඟ පානීය ජලය හැකිතාත් දුරට අරපිරිමැස්සෙන් භාවිතා කරන ලෙස සහ රාත්‍රී කාලයේදී ජලය රැස් කර තබාගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කරනවා ෴

+++++++++++++++++++++

*********************************************

සිංහරාජ හෝටලය ගැන ඇත්ත ඉරාජ් හොයගනී.. සාක්‍ෂි සහිතයි..

(01.09.2020 – 14:10 +0530 – lankacnews.com)

සිංහරාජ රක්ෂිත වනාන්තරය ආසන්නයේ පිහිටා ඇතැයි හෝටලය සම්බන්ධයෙන් වන වීඩියෝවක් සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න විසින් එළි දක්වා තිබේ.

සිංහරාජ ප්‍රදේශය සංචාරයක් කරමින් ප්‍රදේශවාසීන්ගෙන් ද අදහස් ලබාගෙන මෙම වීඩියෝව නිර්මාණ නිර්මාණය කර ඇත.

*********************************************

‘හිරු සී.අයි.ඒ.’ : කල්පිටියේ කඩොලාන විනාශය ගැන සභාපතිවරයා දුන් පිළිතුර

(01.09.2020 – 20:54 +0530 – hirunews.lk/sinhala)

ආනවිළුන්දාව රැම්සා තෙත්බිම වැනසීමේ උණුසුම අතරතුර පුත්තලම දිස්ත්‍රික්කයේ තවත් එවැනිම කඩොලාන විනාශයක් පිළිබද ‘හිරු සී.අයි.ඒ.’ තොරතුරු අනාවරණය කර ගත්තා.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් භූමියක මායිම් වෙනස්කරමින් මෙම කඩොලාන විනාශය සිදුකර ඇත්තේ කල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ සෘජු මැදිහත්වීම මතයි.

අද (01) ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය ඒ පිළිබදවයි.

*********************************************

දිළිඳු පවුල් ලක්ෂයකට රැකියා ප්‍රදානය කිරීමේ වැඩපිළිවෙළ හෙට (02) සිට ඇරඹේ

(01.09.2020 – 20:59 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයාගේ සංකල්පයකට අනුව දිළිඳු පවුල් ලක්ෂයකට රැකියා ප්‍රදානය කිරීමේ වැඩපිළිවෙළද හෙට (02) සිට ආරම්භ කෙරෙනවා.

එලෙස බඳවා ගන්නා අයට මාස 6 ක අඛණ්ඩ පුහුණු කාලය තුළ මසකට රුපියල් 22,500 ක දීමනාවක් හිමි වන අතර, පුහුණුව ලැබීමෙන් පසු රුපියල් 35,000 ක වැටුපක් හා දීමනා හිමි රජයේ ස්ථිර තනතුරකට පත්වීමට පුහුණුලාභීන්ට අවස්ථාව උදා වනවා.

වසර 10 ක සතුටුදායක අඛණ්ඩ සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් පසු රජයේ විශ්‍රාම වැටුපකට ද හිමිකම් ලැබෙන අතර ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ රැකියාලාභීන් යම් තැනැත්තෙකුට මුදලක් හෝ කිසියම් ආකාරයක අල්ලසක් දීම රැකියා අවස්ථා ප්‍රතික්ෂේපවීමට හේතුවක් වන බවයි.

*********************************************

මෙතෙක් නොවිසඳුණු කොළඹ ගංවතුර පාලනයට ලැබෙන අලුත්ම විසඳුම

(01.09.2020 – 21:09 +0530 – hirunews.lk/sinhala)

මෙරට වාණිජ අගනගරය මෙන්ම ජනාකීර්ණම නගරයක්වන කොළඹ නගරයේ බොහෝ ප්‍රදේශ වැසි ජලයෙන් යටවීම කලක් තිස්සේ පවතින නොවිසඳුණු ගැටලුවක්.

අනවසර හා අවිධිමත් ඉදිකිරීම් හේතුවෙන් කොළඹ නගරයේ 35% පමණ ප්‍රදේශයක් ජලයෙන් යටවනවා.

වැසි ජලය බැහැර කිරීම සඳහා ඇති ඇල මාර්ග ප්‍රමාණවත් නොවීමද තවත් ඊට බලපාන හේතුවක්.

මේ පසුගිය වසර කිහිපයකදී කොළඹ ජනතාව ජල ගැලීමෙන් පීඩා විඳි ආකාරයයි.

මෙම තත්වයට පිළියම් සෙවීම සඳහා 2013 වසරේදී එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ව්‍යාපෘති කිහිපයක්ම ක්‍රියාවට නැංවුණා.

එම ව්‍යාපෘති 55 කින් ව්‍යාපෘති 45 ක කටයුතු මේ වන විට නිම කර අවසන්.

තවත් ව්‍යාපෘති 10 වැඩ කටයුතුද මේ වන විට ආරම්භ කර ඇති අතර නව මුතුවැල්ල භූගත උමං මාර්ගය ඉදි වන්නේ එහි තවත් එක් අදියරයක් ලෙසයි.

කොටහේන, ඔරුගොඩවත්ත, බ්ලූමැන්ඩල්, දෙමටගොඩ ආදී ප්‍රදේශවල එක්රැස්වන වැසි ජලය නව මුතුවැල්ල අළුත්මාවත ඇළමාර්ගය ඔස්සේ ගලා එන අතර ඇළ මාර්ගයට මුහුණලා අලුතින් ඉදිකර ඇති මෙම උමං මාර්ගය දක්වා රැගෙන යනවා.

ඒ අනුව අළුත් මාවත ළූණුගම ප්‍රදේශ පසු කරමින් මීටර 778 ක දුර රැගෙන එන වැසි ජලය මෝදර ධීවර වරාය අසලින් මුහුදට බැහැර කිරීම තුළින් ප්‍රදේශ රැසක ගංවතුර පාලනය කිරීම සිදුවනවා.

මෙම ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත්කර ගැනීම්, නැවත පදිංචි කිරිම්, ඇතුළු සමස්ථ පිරිවැය රුපියල් මිලියන 3450 ක්.

මෙම උමං මාර්ගය ඇතුළුව කොළඹ ජල ගැලීම් පාලනය සඳහා ක්‍රියාත්මක කර ඇති සෙසු ව්‍යාපෘතිවල නිමාවත් සමග දැනට කොළඹ නගරයේ ගංවතුර බලපෑමට ලක්වන 35% ක ප්‍රදේශ 01% දක්වා අවම කරගත හැකිවනවා.

*********************************************

ද්විත්ව පුරවැසිබව හා බැසිල් ගැන විමල් දුන්න උත්තරේ

(01.09.2020 – 21:30 +0530 – hirunews.lk/sinhala)

බොහෝ රටවල ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයන් රාජ්‍ය පාලන ක්‍රියාදාමයට සම්බන්ධකර නොගන්නා බව අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ කොරතොට – තුන්අදහේන ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ගැටළුවකට පිළිතුරු දෙමින්.

එහිදී අමාත්‍ය විමල් වීරවංශ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කරගැනීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතාට නැවත පාර්ලිමේන්තුවට පැමිණිය හැකි බවයි.

*********************************************

ට්‍රැවල් ඒජන්සියේ නොදුටු පැත්ත – හොර ස්කාගාරයක් !

(01.09.2020 – 22:13 +0530 – sinhala.adaderana.lk)

මීගමුව කොප්පරා හංදිය අසළ ගුවන් ටිකට්පත් අළෙවි කිරීමේ ආයතනයක් මුවාවෙන් පවත්වාගෙන ගෙන ගිය නීතිවිරෝධි මත්පැන් නිෂ්පාදනය කළ ස්ථානයක් වැටලීමට මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අද (01) සමත් විය.

මෙහිදි නිතීවිරෝධී මත්පැන් බෝතල් 50 ක්, ඒවා නිෂ්පාදනයට ගන්නා උපකරණ සමග සැකකරුවන් දෙදෙනෙකු (2) ද අත්අඩංගුවට ගෙන තිබේ.

*********************************************

ගෙදර ආ ශෙහාන්

(01.09.2020 – 20:49 +0530 – sinhala.adaderana.lk)

දින 48 ක පමණ කාලයක් මහ මුහුදේ දී ධීවර යාත්‍රාවකදී අමානුෂික වධ හිංසනයන්ට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි මාතර මිරිස්ස ප්‍රදේශයේ පිරිමි දරුවා සිය නිවසට පැමිණ ඇත.

මාතර මිරිස්සේ පදිංචිව සිටි 16 හැවිරිදි ශෙහාන් ප්‍රමෝද්, ධීවර යාත්‍රාවක සේවයට ගොස් සිටි අතර තුර අල්ලාගත් ‘බල මාළුවෙක්’ ඔහුගේ අතින් ගිලිහීයාම නිසා යාත්‍රාවේ සිටි අනෙක් ධීවරයින් ඔහුට අමානුෂික ලෙස පහර දී තිබුණි.

‘අද දෙරණ’ මේ පිළිබඳ සිදුකළ අනාවරණයත් සමග පොලීසියේ මෙන්ම විෂය භාර අමාත්‍යවරුන්ගේත් අවධානයද එම සිද්ධිය වෙත යොමු විය.

ඒ අනුව, ශෙහාන් තුවාල සහිතව රෝහල් ගත කෙරුණු අතර ඔහුට වධ හිංසා සිදු කළ පුද්ගලයින් ද පොලීසිය අත්අඩංගුවට ගත්තේය.

ශෙහාන්ගේ සුව දුක් විමසිම සඳහා අද (02) දෙවන වරටත් කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ශේහාන්ගේ නිවසට පැමිණියේය.

පසුව ශෙහාන්ට ඇතුළු ඔහුගේ පවුලේ අය වෙනුවෙන් නිවසක් ඉදි කර ගැනිම සඳහා මුදල් ආධාරයක් මෙන්ම ශෙහාන්ගේ නැගණියගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් ශිෂ්‍යත්වයක් ලබාදිමට ද රාජ්‍ය අමාත්‍යවරයා කටයුතු කළේය.

*********************************************

දිඹුලාගල ආරණ්‍ය සේනාසනය නිධන් හොරුන්ගෙන් ආරක්ෂා කර දෙන ලෙස ඉල්ලීමක්

(01.09.2020 – 17:29 +0530 – sinhala.adaderana.lk)

ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය නිධන් හොරුන්ගෙන් ආරක්ෂා කර දෙන මෙන් ආරණ්‍යවාසී හිමිවරු රජයෙන් ඉල්ලීමක් කරති.

නිධන් හොරුන් විසින් මේ වන විටත් ආරණ්‍ය සේනාසනයේ නටඹුන් බොහෝමයකට දැඩි හානි සිදුකර ඇති බව උන්වහන්සේලා පවසති.

මහරහතන් වහන්සේ දස දහසක් වැඩසිටියේ යැයි සැළකෙන ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය බෞද්ධ ජනයාගේ කීර්තියට හා වන්දනීයත්වයට පාත්‍ර වූ සුවිශේෂි ආරණ්‍ය සේනාසනයකි.

අතීත රජ දවසේ භාෂා 18 ක් ඉගැන්වූ ස්ථානයක් ලෙස ඓතිහාසික නාමල් පොකුණ රජමහ විහාරස්ථානය ද පිහිටා තිබෙන්නේ දිඹුලාගල කඳු වළල්ල මධ්‍යයේය.

සීගිරි චිත්‍රවලට සමාන චිත්‍ර ඇති ලෙන, කිසිදා නොසිඳෙන ඖෂධ පොකුණ නිසාත් දිඹුලාගල ආරණ්‍ය සේනාසනය විශේෂ වේ.

නමුත්, එහි ඇති පුරාවිද්‍යා වටිනාමකින් යුත් පෞරාණික නටඹුන්වලට නිධන් හොරුන් සිදුකර ඇත්තේ දැඩි විනාශයකි.

මෙම ගල්ලෙන තුළ බුදුන්වහන්සේගේ පිරිනිවන් මංචකයේ අනුරුවක් දක්නට ලැබෙන අතර නිධන් හොරුන් එයට ද හානි කර තිබේ.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ හිමිවරුන්ගේ එකම ඉල්ලීම මෙම ඓතිහාසික ආරණ්‍ය සේනාසනය මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කර දෙන ලෙසය.

*********************************************

ගල්කිස්ස හෝටලයක වීසා රහිතව සිටි චීන සහ තායිලන්ත ජාතිකයෝ

(01.09.2020 – 16:01 +0530 – sinhala.adaderana.lk)

වීසා නොමැතිව මෙරට රැඳී සිටි චීන සහ තායිලන්ත වැසියන් 13 දෙනෙකු විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී ඔවුන් සතුව තිබී නීතිවිරෝධී දුම්වැටි තොගයක්ද සොයාගත් බව විශේෂ කාර්ය බලකාය පැවසුවේය.

ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයක නීතිවිරෝධී අයුරින් විදේශිකයන් පිරිසක් රැඳී සිටින බවට පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකළේය.

එහි චීන හා තායිලන්න ජාතිකයන් 150 කට අධික පිරිසක් රැඳී සිටි අතර ඔවුන්ගෙන් 13 දෙනෙකු නීතිවිරෝධීව රැඳී සිටි අය බව හඳුනාගෙන ඇත.

ඔවුන් සතුව තිබී නීතීවිරෝධී දුම්වැටි 10,300 ක් සොයාගෙන තිබේ.

මෙහිදී අත්අඩංගුවට ගත් විදේශියකයන් වැඩිදුර පරීක්ෂණ සඳහා ගල්කිස්ස පොලීසියට භාර දී තිබේ.

*********************************************

අන්තවාදී දේශන සහ වැඩමුළුවලට සහභාගී කරවූ මද්‍රසා පාසලේ දරුවන්

(31.08.2020 – 22:28 +0530 – sinhala.adaderana.lk)

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම අද (31) දිනයේදීත්, සාක්ෂි විමසීම සිදුකළ අතර අද සාක්ෂි ලබා දුන්නේ සහරාන් ගේ පුහුණු කඳවුරු පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ විමර්ශන නිලධාරී ශ්‍රීමාල් සංජීව සම්පත් මහතාය.

ඔහු කියා සිටියේ වනාතවිල්ලුව කාර්තිව් ප්‍රදේශයේ ක්‍රියාත්මක ‘අල් සුහ්රියා’ නම් ‘මද්‍රසා පාසලක්’ තුළ සහරාන් හෂීම් ප්‍රමුඛ අන්තවාදින් 2015 සිට 2019 දක්වා වැඩමුළු සහ පුහුණුවීම් පවත්වා ඇති බවය.

එම මද්‍රසා පාසල තුළ පිරිමි ළමුන් 36 දෙනෙකු ඉගෙනුම ලබා ඇති බව අනාවරණය කෙරුණි.

සාක්ෂිකරු පැවසුවේ සහරාන් හෂීම්, ඔහුගේ සොහොයුරු රිල්වාන්, ෂැන්ග්‍රීලා ප්‍රහාරක ඉබ්‍රාහිම් ඉල්හාම් සහ ඔහුගේ බිරිඳ වු ෆාතිමා ජෙෆ්රි, කටුවාපිටිය ප්‍රහාරක හස්තුන්ගේ බිරිඳ වන පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් සහ මොහොමඩ් නවුෆර් යන අය මෙම මද්‍රසා පාසලට පැමිණ අන්තවාදී දේශන සහ වැඩමුළු පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය කරගත් බවය.

එමෙන්ම සහරාන් සහ ඉබ්‍රාහිම් ඉල්හාම් විසින් අන්තවාදි දේශන පවත්වමින් ඒ හා සම්බන්ධ විඩියෝ දර්ශන මද්‍රසා පාසලේ දරුවන්ට පෙන්වා ඇති බවත් සහරාන්ගේ සොහොයුරු රිල්වාන් විසින් ටී-56 ගිනි අවිය පරිහරණය කිරීමේ ප්‍රායෝගික පුහුණුවක් සහ අත්බෝම්බ සෑදීම පිළිබඳ දේශන පැවැත්වීම සිදුකර ඇති බවද සාක්ෂිකරු පැවසීය.

මෙහිදි රජයේ අධිනීතිඥවරිය ප්‍රශ්න කර සිටියේ අදාළ මද්‍රසා පාසල තුළ සිටි පිරිමි දරුවන් 36 දෙනාවම සහරාන් ඇතුළු පිරිස අන්තවාදය පිළිබඳ දේශනවලට සම්බන්ධ කරගෙන තිබේද යන්නය.

එයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ ‘සේව් ද පර්ල්’ නැමැති සංවිධානයක් විසින් මෙම මද්‍රසා පාසලට ඇතුළත් කරනු ලැබු දරුවන් 26 දෙනෙකු පමණක් සහරාන් හෂීම් මෙම අන්තවාදී දේශන සහ වැඩමුළු සඳහා සහභාගි කරගෙන ඇති බව වාර්තා වේ.

එසේම අදාළ දරුවන් මට්ටක්කුලිය, මාදම්පේ සහ පුත්තලම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් ඔවුන් බහුතරයක් අඩු ආදායම්ලාභි පවුල්වල දරුවන් බවත්, විමර්ශන නිලධාරියා කොමිසමට ප්‍රකාශ කළේය.

*********************************************

ආගමික මධ්‍යස්ථානයක මුවාවෙන් ගාල්ල – තිත්තගල්ලේ පවත්වාගෙන යන භාවනා මධ්‍යස්ථානයට ජනතා විරෝධය

(01.09.2020 – 22:12 +0530 – lankacnews.com)

ආගමික මධ්‍යස්ථානයක වුවාවෙන් භාවනා මධ්‍යස්ථානයක් වශයෙන් පවත්වාගෙන යන ‘හරි පුදුව ආගමික මාධ්‍යස්ථානය’ සම්බන්ධයෙන් ජනතාව විරෝධය ප්‍රකාශ කරති.

ගාල්ල, තිත්තගල්ල ‘මෙත් බෝ සෙවන භාවනා මධ්‍යස්ථානය’ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කර මෙම ආගමික මධ්‍යස්ථානය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව යම් තිරණයක් ගතයුතු යැයි, ගාල්ල දිස්ත්‍රික්කයේ බෞද්ධ ආගමික මධ්‍යස්ථාන විහාරස්ථානවල නායක හිමිවරු, අනුනායක හිමිවරු, විහාරාධිපතිවරු හා විහාරාධිකාරි හිමිවරු ප්‍රමුඛ ගිහි පැවිදි උත්තමයෝ වත්මණ් ආණ්ඩුවෙන් ඉල්ලා සිටිති.

මේ සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ නායකයන්ගේ මෙන්ම, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ද අවධානය යොමු කරන මෙන් මෙම අවස්ථාවට එක් වු ආගමික නායකයන් මෙන්ම ගිහි පිරිසද ඉල්ලා සිටියහ.

මෙම ආගමික දහම් හමුව පැවතියේ පසුගිය 31 වන දින හැන්දෑවේය. එය තිත්තගල්ල ශ්‍රි විජයසුන්දරාම විහාරස්ථානයේ දී පැවැත්වුයේ රට පුරා ආගමික බෞද්ධ නායකයන් උගතුන් බුද්ධිමතුන්ගේ ප්‍රධානත්වයෙනි. මෙම අවස්ථාවට දහසකට ආසන්න පිරිසක් එක් ව සිටියහ.

තිත්තගල්ල ශ්‍රි විජේසුන්දරාරාම විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රාස්ත්‍රාර්ය පූජ්‍ය මේධානන්ද නායක හිමියෝ :

“මෙත් බෝ සෙවන නමින් පවත්වාගෙන යන මේ ආගමික ස්ථානය සම්බන්ධයෙන් බරපතල ප්‍රශ්ණයක් තියනවා. මෙහි සිදුවන්නේ කුමක්ද? මෙම මධ්‍යස්ථානයෙන් ගමේ හෝ ප්‍රදේශයේ කිසිදු කෙනෙකුට මෙම ගොඩනැගිලි සමුහයට ඇතුලු වන්නට නොහැකියි. ඉබි යතුරු දමා ගේට්ටු දමා තිබෙනවා. ඇතුලේ සිදුවන්නේ කුමක් ද ? කියලා දන්නේ නැ. මේය රාජ්‍ය ආරක්ෂාවට මහා හානියක්. සිවුරු දමාගත් පිරිස්ද , පච්ච කෙටු සිවුරු දරාගත් පිරිස් ද, කරාබු දමා ගත් පිරිස් ද, හිස මුඩුකර ගත් කහ පාට වස්ත්‍ර ඇඳගත් පිරිස් ද, සාමණේර හිමිවරුන්ද, කාන්තාවන් විශාල පිරිසක් ද සිටිනවා.

විවිධ වයස්වල සිල්මාතාවන් ද සිටිනවා. ඒ අය අතර කසාවන් ඇඳගෙන සිටින පිරිස්ද සිටිනවා. මෙහෙනින් වහන්සේලා යැයි කියා ගන්නා වු කාන්තාවෝ ද විශාල පිරිසක් සිටිනවා. මෙයට අමතරව කොණ්ඩ වවා ගත් තරුණයන් විශාල පිරිසක් සිටිනවා. මේ සියලු දෙනා සිටින්නේ එකම ගොඩනැගිලි පරිශ්‍රයකයි. ඉහත සියලුදෙනා භාවනා කරනවා කියමින් මෙහි සිටිනු දැකිය හැකියි.

මෙම ආගමික මධ්‍යස්ථානය ලියා පදිංචි කර නැති බව කියනවා. මෙහි සිටින හිමිවරුන්ගේ නිකාය කුමක් ද? පැවිදි වුයේ කුමන හිමිවරුන්ගේ අනුශාසනා පරිදිද? මේ අය බෞද්ධ භික්ෂුන් වශයෙන් පෙනි සිටින්නේ කෙසේ ද? මේ අයට රාජ්‍ය නොවන ආයතන වලින් ආධාර ලැබෙන්නේ ද?

තෝරාගත් දෙස් විදෙස් පිරිස් වලට පමණයි මේ ආගමික මධ්‍යස්ථානයට ඇතුලු වන්නට හැකියාවතක් තිබෙන්නේ.

මගුලට, මරණයට, දානයට, හෝ කිසිදු ආගමික කටයුත්කට මේ ‘මෙත් බෝ සෙවන’ නම් වු ආගමික මධ්‍යස්ථානයෙන් කිසිදු සේවාවක් සිදු වන්නේ නෑ. කරන්නේ කුමක්ද කෙරෙන්නේ කුමක්ද කියා දන්නේ නෑ. දිවා රාත්‍රි විවිධ පුද්ගලයන් මෙහි එනවා යනවා. මේ එන්නේ ඉතා සුඛෝපභෝගි වාහන වලින්. සිංහල, දමිල, මුස්ලිම් අය මෙන්ම විදෙස් රටවල පිරිස් ද මෙහි එනවා. මේ අය එන්නේ භාවනා කරන්න, භාවනා කරන්න උපදෙස් ගන්න හා විවිධ වැඩ සටහන් වලට බව කියනවා. මේ කිසිවෙක් පිළිබඳව සොයන්ට බලන්නට කෙනෙක් නෑ. මෙමගින් මහා ව්‍යවසනයක් සිදුවෙයිද, වෙනත් ආගමික මතවාදයක් පතුරුවනවා ද ? යන්න සැක සහිතයි.

ගමේ ජනතාවට පහර දිම් සිදු කරනවා. ඉඩම් බලහත් කාරයෙන් අල්ලාගෙන සිටිනවා. පන්සල ආරක්ෂා කරන්න මැරවර පිරිසක් ද සිටිනවා. මේ අයගෙන් බේරි මේ ‘බෝ සෙවන මධ්‍යස්ථානය’ට ඇතුලු වන්නට හැකියාවක් නෑ.

අහංගම පොලිසියේ නිලධාරින්ටද මේ ගොඩනැගිලි වලට ඇතුලු වන්නට මේ අය ඉඩ දෙන්නේ නේ නැ. රාජකාරිකරන්න ඉඩ දෙන්නේ නෑ. ගම්මුන්ට පහර දෙනවා. මේ භාවනා මධ්‍යස්ථානයේ, කුඩු – ගංජා බිලා වාගේ සිටින තරුණ පිරිස් ගම්මුන්ට පහර දෙනවා. මෙය මහා හිසරදයක්. පොලිසියට පැමිණිල කර තියනවා. සාමය කඩවන ආකාරයට කටයුතු කිරීම, අවට වනාන්තරයේ හා මිල දි ගන්නා ඉඩම්වල ගහකොල බලහත්කාරයෙන් කාපා විකිණීම, ගම්මානවලට ජලය ලබාදෙන ජල මුලාශ්‍ර අවහිරකිරීම සිදුකරනවා. මේ නිසා ජනජීවිතයට බාධා සිදුවෙනවා. ආගමික මධ්‍යස්ථානයක් වශයෙන් පෙන්වා මුදල් උපයනවා. මේය දෙස් විදෙස් වශයෙන් මහා පරිමාන ආකාරයට ක්‍රියාත්මක වෙනවා. මෙය ලියා පදිංචි කර නෑ. ගාල්ල සම්බෝධි ආයතනය සතු ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගෙන තිබෙනවා.”

ගාල්ල වැල්ලබඩ පත්තුවේ ප්‍රධාන සංඝනායක හබරාදුව හප්පාවන රේවත නායක හිමියෝ :

“මේ භාවිනා මධ්‍යස්ථානය තුළ සිදුවන්නේ කුමක් ද ? ඉඩකඩම් වාහන මිල් දි ගන්නේ කෙසේද? සතර පේරුවේ දායක දායිකාවන් නැතිව ඈත ගම්වල සිටින දායකයන් හා දෙස්විදෙස් සම්බන්ධතා මතයි මේ මධ්‍යස්ථානය පවත්වාගෙන යන්නේ. මෙහි යම් අන්‍ය ආගමික මතවාදයක් හෝ යම් වෙනත් ව්‍යවසනයන් සිදු කරන්න කටයුතු කරනවාද කියා අපට සැකැයි. මේ සම්බන්ධයෙන් ආණ්ඩුව, ආරක්ෂක අංශ යම් පියවරක් ගත යුතුයි මහා විනාශයක් සිදුවන්නට පෙර. ‘අපි දන්නේ නැ’ කියා කිසිවෙකුට ගැලවෙන්නට හැකියාවක් නෑ. ඒ නිසා ආගමික මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන යන මේ විපරීත මධ්‍යස්ථානය සම්බන්ධයෙන් යම් පියවරක් ගන්න සොයා බලන්න කියා මා ආගමේ නාමයෙන් මහින්ද රාජපක්ෂ අගමැතිතුමාගෙන් ඉල්ලා සිටින්නට කැමැතියි.”

මෙම ආගමික මධ්‍යස්ථානය අසල නිවසේ ජීවත්වන අසංක තිලකසිරි (39) මහතා :

“ගමේ අහිංසක මිනිසුන්ට පහර දීම් සිදු කරනවා. බලහත්කාරයෙන් ආගමික මධ්‍යස්ථානය අවට තිබෙන ඉඩම් ඉල්ලනවා. දෙන්න බෑ කීවාම මැර පිරිස් දමා බියපත් කරනවා. පන්සල අසලින් යන්න තිබෙන පාරවල් වහනවා. වාහන පාර හරහා නවතා පාවරවල්වලින් ගමට යන්න ඉඩ දෙන්නේ නෑ. මැරයන් වාගේ තමයි මෙහි සිටින තරුණ පිරිස් හැසිරෙන්නේ. මා මේ සම්බන්ධයෙන් අහංගම පොලිසියට පැමිණිල කරා. ඒ අනුව තමයි යන්න අවසරයක් දුන්නේ. නමුත් පාරවල් වහපු බාධක ඉවත් කළේ නෑ. පයින් යන්න හැකි පරිදි තමයි අපේ ගෙවල් වලට යන්න ඉඩ කඩ දුන්නේ. මට බියක් තියනවා. මාගේ දරුවන් බිරිද මරා දමන්නට තරම් මේ අය මහා බියකරු ආකාරයට කටයුතු කරනවා. මට ආරක්ෂාව දෙන්න කියා මා ඉල්ලා සිටිනවා.”

තුෂාර තිත්තගල්ල (35) මහතා :

“මේ භාවනා මධ්‍යස්ථානය මගින් ගමට කිසිදු සෙතක් නෑ. ගමේ ජනතාවට කරදර කරනවා. පහර දීම් සිදු කරවා. ගිහි පැවිදි පිරිස්, හිස මුඩුකර ගත් පිරිස්, ටැටු ගහපු කරාබු දමාගත් පිරිස්, හිස මුඩුකළ කාන්තාවන් තරුණියන් මෙහි සිටිනවා. ගමේ කාටවත් මේ මධ්‍යස්ථානයට එන්න දෙන්නේ නෑ. මහා බියකරු රහස් යමක් සිදුවනවාද කියා අපට හිතෙනවා. මේ සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් කරන්න. බෞද්ධාගමේ සිවුරුට මුවා වි යම් වෙනත් ආගමික මතවාදයක් පතුරුවනවා ද ? කියා අපට සැකැයි. මේ සම්බන්ධයෙන් යම් පියවරක් ගන්න නියා අපි ගමේ ජනතාව වෙනුවෙන් ඉල්ලා සිටිනවා.”

රුවන් සිරිවිජේසිරි (45) මහතා :

“මෙය ගමට තිබෙන පන්සලක් නොවෙයි. විදෙස් ජාතිකයන්ට, විදෙස් පිරිස්වලට හා පිට පළාත් වලින් හා කොළඹ සිටින මහා මුදලාලිලා වාගේ ලොකු වාහනවලින් එන අයට විතරයි මෙතැනට යන්න හැකි වන්නේ. ගමේ මළ ගෙදරට දානයට හෝ කිසිදු ආගමික සමාජ වැඩකට එන්නේ නෑ. මේය මත්ද්‍රව්‍ය බෙදාහරින මධ්‍යස්ථානයක්ද කියා අපට සැක හිතෙනවා. වාහන එනවා යන්වා විදෙස් ජාතිකයන් කාන්තාවන් තරුණ පිරිස් තමයි එන්නේ යන්නේ. මොකක් ද කරන්නේ කියා හිතා ගන්නත් බෑ. මෙය මහා බියකරු ස්ථානයක්. මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් කරන්න. මෙය සහරාන්ගේ තවත් මධ්‍යස්ථානයක්ද කියා ජනතාවට සැක හිතෙනවා.”

කොළඹ සිට පැමිණි තම නම කියන්නට අකමැති වු තරුණයෙක් කී අපුරු කතාව නිසා සභාවම අන්ද මන්ද විය. (අදාළ තරුණයාගේ ඡායාරූපය හා හඩපටිය, වීඩියෝ දසුන්න අප සතුයි)

“අපි කොළඹ. මගේ නංගි මේ භාවනා මධ්‍යස්ථානයට ආවා. මෙහි හිමිවරුන්ගෙන් භාවනා කරන්නට උපදෙස් ගන්න කොළඹ ඉඳන් ආවේ. අපේ තාත්තා එක්ක මේ ආගමික මධ්‍යස්ථානෙය් හිමිවරු කථාබහ කර තිබුනා. පසුව, මගේ නංගි තාත්තාට කියා තියනවා ‘මම ගෙදර එන්නේ නැ. මම භාවිනා මධ්‍යස්ථානයේ නවතිනවා. මම මහන වෙනවා’ කියලා. කාන්තා මෙහෙනින් වහන්සේලාද මෙහි ඉන්වා. තරුණ ගැහැණු ළමයින්ද සිටිනවා. තරුණ පිරිමි ළමයින් ද සිටිනවා. සිවුරු දමා ගත් පිරිමි සහ ගැහැණු ඉන්නවා. ‘මම ආයේ එන්නේ නෑ’ කියා තාත්තාට නංගි ලිපියක් ලියා දී මෙහි තැවතුනා. දින කිහිපයක් ගත උනා. අපිට මගේ නංගි පෙන්නන්නේ නෑ. බලන්න දෙන්නේ නෑ. ‘අද පෙන්වනවා – හෙට පෙන්නවා’ කියා කියනවා. අපි අසරණයි. අපට යම් විසදුමක් දෙන්න. මේ ආකාරයේ තවත් තරුණ ගැහැණු පිරිම් ළමයි මෙහි බලහත්කාරයෙන් රඳවාගෙන සිටිනවා කියා කියනවා. මේ සම්බ්න්ධයෙන් යම් පියවරක් ගන්න අපට සහයවෙන්න. මේ අය මගේ නංගිව සඟවාගෙන සිටිනවා. ඇය මෝහෝනයට පත් කර සිටිනවා විය හැකියි.”

හබරාදුව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක හබරාදුව ප්‍රාදේශිය සභාවේ සභාපති දිල්ෂාන් විදානගමගේ මහතා :

“තිත්තගල්ල ‘මෙත් බෝ සෙවණ භාවනා මධ්‍යස්ථානය’ සම්බන්ධයෙන් අපටත් විවිධ නරක ආරංචී රැසක් ලැබි තියනවා. මේ දහම් සභාවේ දී ආගමික නායකයන් සහ මේ ගමේ පිරිස් මේ ආගමික මධ්‍යස්ථානය පිළිබඳව පැවසු කරුණු අනුව යම් යම් අකටයුතුකම් සිදුවන බව අපටත් හැඟී යනවා. මම මේ සම්බන්ධයෙන් අතිගරු ජනාධිපති තුමාගේ හා අගමැතිතුමාගේ අවධානය යොමු කරන්නට පියවර ගන්නවා. මේ භාවනා මධ්‍යස්ථානය සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදුකරන්නට අදාළ ඉහළ අංශ වලට දැනුම් දෙනවා”

ඉමදුව ප්‍රාදේශිය සභාවේ සභාපති ඒ.වී සරත් කුමාර මහතා :

“ගමට – ප්‍රදේශයට – පළාත්ට මේ ආගමික මධ්‍යස්ථානයෙන් සිදුවෙන වැරදි වැඩ සම්බන්ධයෙන් අපටත් යම් පියවරක් ගත හැකියි. මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කරන්නට අප ඉදිරියේ දී පියවර ගන්නවා.”

අහංගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක මංචුල සිල්වා මහතා :

“මම මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්නට යෑමේ දී මට ද නිලධාරින්ටද විහාරවාසි හිමිවරු හා මැර පිරිස් තර්ජනය කරා. කෙසේ නමුත්, ගමකට යන මාර්ගය වසා අවහිර කිරීම සම්බන්ධයෙන්, මාර්ගය යළි විවෘත කර මාර්ග බාදක ඉවත් කර කලහකාරි ආකාරයෙන් භාවනා මධ්‍යස්ථානයේ සිටි තරුණ පිරිසගෙන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තා. පසුගිය 31 වන දින ඇප මත නිදහස්කර ති‍බෙනවා.”

කෙසේ නමුත්, මේ සිද්ධිය සම්බ්න්ධයෙන් උරණ වු භාවනා මධ්‍යස්ථානයේ ගිහි පැවිදි ගැහැණු – පිරිමි, හිස මුඩුකර ගත් කාන්තාවන්, තරුණ – තරුණියන්, පච්ච කොටු (ටැටු) පිරිස් අහංගම පොලිසියේ නිලධාරින් දුෂිතයන් බවත්, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවන් අල්ලන්නේ නැති බවත් කියමින් පොලිස් නිලධාරිහු අපහසුතාවයට පත්වන ආකාරයට සමාජ මාධ්‍ය ජාල මගින් දැවන්ත මඩ ප්‍රචාරයක් ගෙනයමින් පවතින බව පොලිසිය පවසයි.

මහා පරිමාන හෙරොයින්, මත්කුඩු තොග අල්ලමින් හා අහංගම පොලිස් බල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මහා සංහාරයක් සිදුකරමින් කටයුතු කරන බව ද අහංගම පොලිස් ස්ථානාධිපතිවරයා කීය.

මෙම දහම් සභාවට ගාල්ල දිස්ත්‍රික්කයෙන් පැමිණ සිටි විහාරස්ථාන 250 ක නායක හිමිවරුන් පෙන්වා දුන්නේ අහංගම පොලිස් ස්ථානාධිපතිවරයා හා නිලධාරින් සම්බන්ධයෙන් ගෙනයන වැරදි මත ප්‍රතිෂේප කරන බවත්, නීතිය හරියට සිදුකරන අහංගම පොලිස් ස්ථානාධිපතිවරයා හා නිලධාරින් සම්බන්ධයෙන් ආගමික නායකයන් වශයෙන් උන්වහන්සේලා සැහීමකට පත්වෙන බවයි. ආගමික නායකයන් වශයෙන්, අහංගම පොලිස් ස්ථානාධිපතිවරයාට හා නිලධාරින්ට සහතිකයක් ලබාදෙන බව අප හිමිවරු පැවසුහ.

මේ අතර භාවනා මධ්‍යස්ථානයේ ශ්‍රමණ වේශධාරීන් පවසන්නේ මෙවන් කතාන්දරයකි :

ගාල්ල මෙත් බෝ සෙවන භාවනා මධ්‍යස්ථානයේ තිත්තගල්ලෙ අනන්දසිරි පවසන්නේ අහංගම පොලිස් ස්ථානධිපති වරයා ප්‍රමුඛ පිරිස තම භාවනා මධ්‍යස්ථානයට අරියදු කරන බවයි. මේ සම්බන්ධයෙන් ගාල්ල පොලිස් ස්ථානායේ ඉහළ නිලධාරින්ටද කරුණු පෙන්වා දුන් බවද උන්දෑ පවසයි.

“අප ආගමික භාවනා මධ්‍යස්ථානයක් වශයෙන් මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන යනවා. සමහරු මෙයට අකමැති නිසා මේ ආකාරයේ අකටයුතුකම් අපට සිදු කරනවා”

කෙසේ නමුත්, 31 වන දින මෙම භාවනා මධ්‍යස්ථානය අසල ජනතාව විරෝධතාවයක් පැවැත් වු අතර සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කරන නිසා වහා ම විසිර යන ලෙස අහංගම පොලිසිය දැනුම් දිමෙන් පසුව පිරිස විසිර ගියේය.

නමුත් එයට සමගාමිව තිත්ගල්ල ශ්‍රි විජේසුන්දාරාම විහාරස්ථානයේ ද මෙම භාවනා මධ්‍යස්ථානය සිදුකරන ක්‍රියා සම්බන්ධයෙන් මහා විරෝධාතාවක් සමගින් ගිහි පැවිදි පිරිස් එක්ව දැවැන්ත ආගමික හමුවක් පැවැත්වුහ. මෙහි දී ජනපති අගමැති තුමාන්ලාව දැනුවත් කර පරික්ෂණයක් සිදුකරන මෙන් ඉල්ලා සිටීමට මෙම අවස්ථාවට එක්වු අය තිරණය කළහ.

අනුරාධපුර, ජේතවනාරාමය මගින් භික්ෂු භාවය අහෝසිකල ශ්‍රමණ වේශධාරියෙකු විසින් පවත්වා ගෙන යන බව කියන අහංගම තිත්තගල්ල මෙත් බෝ සෙවන නමින් වු මන්දිරයේ ශ්‍රමණ වේශධාරීන් ගම්වාසීන් හට තර්ජන කරන බවද තිත්තගල්ල ජනතාව පෙන්වා දෙති.

මෙම ශ්‍රමණ වේශධාරීන් තරුණියන් මහන කරවා විහාර මන්දිරයේ අනෙක් පසින් නවාතැන්දීගෙන සිටි. තිත්තගල්ල හවුපේකන්ද වත්‍ත ගම්වාසීන්ට මෙම විහාර භුමිය වෙත ඇතුළු විම තහනම් කර තිබිම විශේෂත්වයකි.

මෙම විහාරාධිපතියා ගම්වාසින් වසර හැටක් පමණ භාවිත කල මාර්ගය ගම්වාසීන්ට යාමට නොහැකි අයුරින් ට්‍රැක්ටර්යක් දමා මග හරස් කර කලහාකාරි තත්ත්වයක් නිර්මාණය කරඇත.

පසුගිය 30 වනදා ගම්වාසීන් තම මාර්ගය අවහිර කිරිමට එරෙහිව විරෝධතා පැවැත්වීමට සුදානම් වෙද්දී අහංගම පොලිසිය එහි ගොස් ගැටුමක් ඇති නොවන අයුරින් ගම්වාසීන්ව දැනුවත් කර මාර්ගය වසා දමා කලහකාරී තත්ත්වයක් නිර්මාණය කරන්නට ගිය විහාරය තුල සිටි පුද්ගලයන් දෙදෙනකු අත් අඩංගුවට ගත් බව අහංගම පොලිසිය පැවසීය.

එයින් පසුව ‘ෆේස්බුක් ලයිව්’ හරහා සමාජ ජාල මෙහෙයුමක් ඇරඹූ ශ්‍රමණ වේශධාරීන් දානයට යන්නට පොලිසිය ඉඩ නොදුන් බව කියමින් ප්‍රචාරයක් ඇරඹීය.

කෙසේ වෙතත්, මෙත්බෝසෙවන භාවනා මධ්‍යස්ථානය සහ අහංගම පොලිසිය අතර මතුව තිබෙන ගැටළුව ගැන රටට කියන්න, තිත්තවැල්ලේ ආනන්ද මේ වන විට, 18 වතාවක් ‘එෆ්.බී ලයිව්’ පැමිණ ඇත.

ෆේස්බුක් හරහා තම නිරුවත හා ඇත්ත වසන් කරන්නට ගියද තිත්තගල්ල මෙත්බෝ සෙවනේ ශ්‍රමණ වේශධාරීන්ට එරෙහිව ගමේ විහාරස්ථාන සියල්ලේම හිමිවරුන් අහංගම පොලිසිය වෙත පැමිණ ඇත්ත හෙලිකරන්නට වුහ.

අහංගම ගම්වාසීන්ද මෙත් බෝ සෙවන හිම්වරුන් ගේ බොරු ෆේස්බුක් ප්‍රහාරයට විරෝධය පෑමට එක්ව සිටියෝය. භාවනා මධ්‍යස්ථානය අසළ විශාල පිරිසක් විරෝධතාවයකටද එක්ව සිටියෝ ය.

මෙත් බෝ සෙවනේ ශ්‍රමණ වේශධාරීන් පොලු අරන් ගමට චණ්ඩි පාට් දමන අයුරු හා උන්ට එරෙහිව ගමේ විහාරස්ථාන වල හිමිවරුන් විරෝධය පලකරන ආකාරය අපකළ සංචාරයේ දි දැකගත හැකි විය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *