මිලින්ද මොරගොඩට 2005 දීත් නෝර්වේ රාජ්‍යය මුදල් ගෙවලා ?

මිලින්ද මොරගොඩට 2005 දීත් නෝර්වේ රාජ්‍යය මුදල් ගෙවලා ?

හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් කථිකාචාර්යවරු 5 කට තුවාල

පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට රංජිත් මද්දුමබණ්ඩාර සහ ආශු මාරසිංහ පැමිණෙයි

මහනුවර – හාරගමට යළි කම්පන තත්ත්වයක්

උපාධිධාරින්ට පත්වීම් ලිපි ප්‍රධානයේ සංකේතාත්මක උත්සවය පස්වරුවේ

අදත් (02) ප්‍රදේශ රැසක මත්ද්‍රව්‍ය වැටලීම්

දෙදෙනෙකුට මරු කඳවූ මට්ටකුලිය අනතුරේ CCTV දර්ශණ

අගලවත්තට මිලිමීටර් 344 ක වර්ෂාපතනයක් – නිවාස 197 කටත් හානි

දඹුල්ල රෝහලේ මකුණු උවදුරක්

නව දෙමුහුන් පොල් ප්‍රභේදයක් හඳුන්වාදෙයි

ප්‍රේමලාල් ජයසේකරගේ මන්ත්‍රී ධුරය ; නීතිපතිට එරෙහිව දොලවත්ත

වසර ගණනකින් පිළිසකර නොකළ දෙහිඕවිට මාහිංකන්ද මාර්ගය

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ

සපුගස්කන්දේදී අත්අඩංගුවට ගත් සැකකරු, CCD නිලධාරියෙකුගේ සහෝදරයෙක්

*********************************************

මිලින්ද මොරගොඩට 2005 දීත් නෝර්වේ රාජ්‍යය මුදල් ගෙවලා ?

(02.09.2020 – 07:47 +0530 – lankaleadnews.com)

නෝර්වේ රාජ්‍යයේ විදෙස් අමාත්‍යාංශය විසින් 2005 වර්ෂයට අදාලව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සංවිධානව වලට සහ ක්‍රියාකාරී පුද්ගලයන්ට ගෙවන ලද මුදල් සම්බන්ධයෙන් කරන ලද ගෙවීම් පිළිබඳව නෝර්වේ රාජ්‍යය කරනු ලැබූ පසු විපරම් වාර්තාවක යැයි පැවසෙන පිටුවක ඡායාරූපයක් අන්තර්ජාල පරීශීලකයන් අතර හුවමාරු වෙමින් පවතී.

එම ලියවිල්ලට අනුව ශ්‍රී ලංකාවේ නෝර්වේ ගෙවීම් ලද පුද්ගලයන් අතර වැඩිම මුදලක් ගෙවූ පුද්ගලයා වන්නේ මිලින්ද මොරොගොඩ යි. ඔහුට ගෙවා ඇති මුදල නෝර්වේජියන් ක්‍රෝන 8,400,000 ක් හෙවත් ශ්‍රී ලංකාවේ රුපියල් 154,547,046.75 ක් ලෙස එකී වාර්තාව පෙන්නුම් කරයි.

එකී ලියවිල්ලට අනුව උපුල් ජෝසප් ප්‍රනාන්දු සහ රන්ජිත් ආනන්ද ජයසිංහ යන අයද නෝර්වේ ආධාර ලැබූ ලයිස්තුවේ සිටී. එම ලියවිල්ල පවසා සිටින පරිදි මෙම පුද්ගලයන් තිදෙනා හැරුණු විට ඉතිරි මුදල් සියල්ල ගෙවා ඇත්තේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක රාජ්‍යය නොවන සංවිධාන වලටයි.

එසේ ගෙවීම් ලැබූ සියළු සංවිධාන කොටි හිතවාදී බෙදුම්වාදී සංවිධාන වීමද විශේෂත්වයකි ෴

*********************************************

හෙරොයින් සමඟ කාන්තාවක් අත්අඩංගුවට

(02.09.2020 – 07:47 +0530 – hirunews.lk/sinhala)

මහනුවර රෝහල් පටුමගේදී හෙරොයින් ග්‍රෑම් 51 ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය සතුව තිබී රුපියල් 50,000 කට අධික මුදලක් ද සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකාරිය මිනීමැරුම් චෝදනාවකට වසර 9 ක් බන්ධනාගාර ගතව සිට නිදහස ලබා පැමිණ මෙම ජාවාරමේ නිරතවී ඇති බවටයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

බන්ධනාගාරගතව සිටියදී හඳුනාගත් කාන්තාවක් හරහා ඇය මෙම හෙරොයින් ජාවාරමට සම්බන්ධ වී ඇති බව සඳහන්.

මේ අතර ගම්පහ මිනුවන්ගොඩ ප්‍රදේශයේදී නිධානයකින් ගත් බවට සැක කෙරෙන පෞරාණික භාණ්ඩ කිහිපයක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුඩා මැණික් ගල් කිහිපයක්, බුදු පිළිම දෙකක් සහ දඹ රන් හෝ රන් ආලේපිත සුරුවමක් ඇතුලු තවත් පෞරාණික භාණ්ඩ කිහිපයක් මෙහිදී සොයාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරු එම ප්‍රදේශයේ තාවකාලික කාමර පහසුකම් ලබාදෙන ආයතනයක් පවත්වාගෙන ගොස් ඇති අතර, එම ස්ථානයේ කාන්තාවන් මුදලට අලෙවි කර ඇති බවටද තොරතුරු ලැබී තිබෙනවා ෴

+++++++++++++

මීගමුව – දළුවාකොටුව ප්‍රදේශයේදී මීගමුව කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිළධාරීන් සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 300 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (01) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි අවුරුදු 43 ක පුද්ගලයෙක්.

මේ අතර, කළුතර – උතුර – අළුබෝඹුල්ල ප්‍රදේශයේදී සහ කළුතර බන්ධනාගාරය අසළ දී හෙරොයින් සමඟ 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් අවුරුදු 23 ත්, 42 ත් අතර වයස්වල පසුවන රජවත්ත, දොඩම්ගොඩ සහ පමුණුගම ප්‍රදේශවල පදිංචිකරුවන් ෴

++++++++++++

බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය සහ විවිධ චෝදනා සම්බන්ධයෙන් 433 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 440 ක්, ගංජා කිලෝග්‍රෑමයක් ඇතුළු තවත් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇති බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ.

මේ අතර නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරි කන්ඩායමක් විසින් මීගස්තැන්නේ යටියන්තොට දී මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ අවියක් හා සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

++++++++++++

කොටහේන – සුමිත්‍රාරාමපුර ප්‍රදේශයේදී හෙරොයින් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

38 හැවිරිදි ඇය හෙරොයින් ජාවාරමේ නිරත වී ඇති බවටයි සිදුකරන ලද මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

අත්අඩංගුවට ගත් හෙරොයින් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂයකට ආසන්න බව පොලීසිය කියා සිටියා ෴

++++++++++++

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වූ ප්‍රධාන ජාවාරම්කාරියක් ලෙස සැලකෙන ‘දිනේෂා සඳමාලි’ හෙවත් හෙවත් ‘කුඩු සඳා’ නමැත්තිය නව කොළොන්නා ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 26 ක්, ජංගම දුරකථන 6 ක් සහ ATM කාඩ්පත් 10 ක් පොලිස් බාරයට ගෙන තිබෙනවා ෴

*********************************************

මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් කථිකාචාර්යවරු 5 කට තුවාල

(02.09.2020 – 09:51 +0530 – hirunews.lk/sinhala)

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන් පස් දෙනෙකු (5) ගමන් ගත් මෝටර් රථයක් අද (02) අලුයම 02:50 ට පමණ අනතුරට ලක්ව තිබෙනවා.

බදුල්ල – මහියංගනය මාර්ගයේ සොරණාතොට ප්‍රාදේශීය සභාව ආසන්නයේ දී අඩි 40 ක් පමණ ප්‍රපාතකට පෙරළී අනතුර සිදුව ඇතැයි බදුල්ල පොලිසිය පැවසුවේ.

අනතුරින් කථිකාචාර්යවරියන් සිව්දෙනෙකු (4) හා කථිකාචාර්යවරයෙක් (1) තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබෙන අතර තුවාල ලැබු කථිකාචාර්යවරියන් අතර ගැබිනියක් ද වන බව අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවේ.

මෝටර් රථය පැදවූ කථිකාචාර්යවරයාට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදු වෙන්න ඇතැයි පොලිස් විමර්ශනවලින් අනාවරණ වී ඇති අතර අනතුර සම්බන්ධයෙන් බදුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

*********************************************

පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට රංජිත් මද්දුමබණ්ඩාර සහ ආශු මාරසිංහ පැමිණෙයි

(02.09.2020 – 09:54 +0530 – hirunews.lk/sinhala)

නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍යවරයෙකු වන රංජිත් මද්දුම බණ්ඩාර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ අද (02) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන ජනපති කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණියා.

ඒ එම කොමිසම ඔවුන්ට කළ දැනුම්දීමකට අනුවයි. අද (02) පෙරවරු 09:40 ට පමණ ඔවුන් එම ඒකකය වෙත පැමිණි අතර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ පැයකට පමණ පසු එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සහ හිටපු අමාත්‍ය මංගල සමරවීර හෙට (03) දිනයේදී මෙම කොමිසමේ පොලිස් ඒකකය වෙත කැඳවා තිබෙනවා.

ඒ අනුව, දැනට මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ඒමට නියමිත බවයි වාර්තා වන්නේ.

*********************************************

මහනුවර – හාරගමට යළි කම්පන තත්ත්වයක්

(02.09.2020 – 12:40 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – හාරගම ප්‍රදේශයට යළිත් වතාවටත් කම්පන තත්ත්වයක් දැනී තිබෙනවා.

මිට පෙරද මෙවැනි කම්පන තත්ත්වයක් පිළිබඳ වාර්තා වූ අතර එය පරික්ෂා කිරීම සඳහා නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් සිටියදී මෙම තත්ත්වය දැනී ඇති බවයි වාර්තා වන්නේ ෴

*********************************************

උපාධිධාරින්ට පත්වීම් ලිපි ප්‍රධානයේ සංකේතාත්මක උත්සවය පස්වරුවේ

(02.09.2020 – 12:45 +0530 – hirunews.lk/sinhala)

උපාධිධාරීන් 51,135 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සංකේතවත් කරමින් අද (02) පස්වරු 3 ට ජනාධිපති කාර්යාලයේදී විශේෂ උත්සවයක් පැවැත්වෙනවා.

ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වෙන බවයි.

මේ අතර, දිළිඳු පවුල් ලක්ෂයක් රැකියා සඳහා බඳවා ගැනීමේ වැඩපිළිවෙල ද අද (02) සිට ආරම්භ වනවා.

බඳවා ගැනීම් සහ තෝරා ගැනීම් ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සිදුකෙරෙන බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

රජය විසින් පිහිටුවා ඇති බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බලකාය මගින් අඩු ආදායම්ලාභී සහ නිපුණතාවයක් රහිත ජන කොටස් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීම මෙම වැඩසටහනෙහි අරමුණයි.

කිසිදු අධ්‍යාපනයක් නොලද හෝ සාමාන්‍ය පෙළට අඩු අධ්‍යාපනික මට්ටමක සිටින නුපුහුණු ශ්‍රමිකයන් වීම, අයදුම්පත් කැදවනු ලබන අවසන් දිනට අවුරුදු 18 ත් 45 ත් අතර වයසේ පසුවීම සහ සමෘද්ධි සහනාධාරය ලැබීමට සුදුසු එහෙත් නොලබන පවුලක රැකියා විරහිත සාමාජිකයෙකු වීම යන සුදුසුකම් වලට අනුව මේ සඳහා රැකියාලාභීන් තෝරාගෙන තිබෙනවා ෴

*********************************************

අදත් (02) ප්‍රදේශ රැසක මත්ද්‍රව්‍ය වැටලීම්

(02.09.2020 – 12:49 +0530 – hirunews.lk/sinhala)

මීගමුව – දළුවාකොටුව ප්‍රදේශයේදී මීගමුව කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිළධාරීන් සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 300 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

43 හැවිරිදි ඔහු දේවගැතිවරයෙකු බවට ප්‍රකාශ කර ඇති අතර, සැකකරු දළුවකොටුව ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

මේ අතර, ගොලු පුද්ගලයෙකු විසින් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකළ මත්පැන් ජාවාරමක තොරතුරු තලංගම පොලීසිය විසින් අනාවරණ කර ගෙන තිබෙනවා.

ඊයේ (01) සිදුකළ වැටලීමේදී බලපත්‍ර නොමැතිව ළඟ තබා ගත් මත්පැන් බෝතල් 260 ක් ද අත්අඩංගුවට ගැණුනා.

මීට අමතරව, හෙරෝයින් ග්‍රෑම් 25 ක් සමඟින් ‘දිනේෂා සඳමාලි’ හෙවත් ‘කුඩු සඳා’ නමැත්තිය නව කොළොන්නාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තොටලඟ – ස්ටේස් පාර ප්‍රදේශයේ පදිංචි ඇය ඊයේ (01) අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදි හෙරෝයින් වලට අමතරව ජංගම දුරකතන 06 ක් සහ ඒ.ටී.එම්. කාඩ්පත් 10 ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, කොටහේන – සුමිත්‍රාරාමපුර ප්‍රදේශයේදී රුපියල් ලක්ෂයක් පමණ වටිනා හෙරොයින් තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

38 හැවිරිදි ඇය හෙරොයින් ජාවාරමේ නිරත වී ඇති බවටයි සිදුකරන ලද මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

කළුතර – උතුර – අළුබෝඹුල්ල ප්‍රදේශයේදී සහ කළුතර බන්ධනාගාරය අසළ දී හෙරොයින් සමඟ පුද්ගලයින් 3 දෙනෙකු ද අත්අඩංගුවට ගැණුනා.

මොවුන් අවුරුදු 23 ත්, 42 ත් අතර වයස්වල පසුවන රජවත්ත, දොඩම්ගොඩ සහ පමුණුගම ප්‍රදේශවල පදිංචිකරුවන්.

මේ අතර, බස්නාහිර පළාතේ ඊයේ (01) සිදුකළ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය සහ විවිධ චෝදනා සම්බන්ධයෙන් පුද්ගලයින් 433 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 440 ක්, ගංජා කිලෝග්‍රෑමයක් ඇතුළු තවත් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැණුනා ෴

++++++++++++++++

බියගම – සපුගස්කන්ද ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 23 ක් සමග සැකකරුවෙකු අද (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මීගහවත්ත පොලීසියට ලද තොරතුරක් අනුවයි ෴

*********************************************

දෙදෙනෙකුට මරු කඳවූ මට්ටකුලිය අනතුරේ CCTV දර්ශණ

(02.09.2020 – 12:54 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ ස්ථාන කිහිපයක සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් 4 දෙනෙකු මියගොස් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මඩකලපුව – කල්මුණේ ප්‍රධාන මාර්ගයේ තාලන්කුඩා ප්‍රදේශයේ ඊයේ (01) රාත්‍රියේ සිදුවූ අනතුරකින් තරුණයන් දෙදෙනෙකු (2) ජිවිතක්ෂයට පත්ව වුණා.

අක්කරෙයිපත්තුවේ සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගි බස් රථයක ඔවුන් දෙදෙනා ගමන් කල යතුරුපැදිය ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

එහිදී මියගියේ 20 හැවිරිදි සහ 22 හැවිරිදි පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙක් (2). අනතුරෙන් පසු බස් රථයේ රියදුරු සහ රිය සහායකවරයා පලාගොස් ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම, මට්ටක්කුලිය – මැදපාර ප්‍රදේශයේදී අද (02) උදෑසන සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් සහ තවත් අයෙකු ජිවිතක්ෂයට පත්වුණා.

පොලීසිය සඳහන් කළේ ලොරි රථයක්, වේගය පාලනය කර ගත නොහැකි වීමෙන් ඉදිරියෙන් ගමන් කළ ත්‍රිරෝද රථ දෙකක (2) ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි. අනතුරෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු (2) තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

මියගිය කාන්තාව මහබැංකුවේ සේවයේ නියුතු අයෙකු බවටයි වාර්තා වන්නේ.

මේ අතර, බදුල්ල – මහියංගනය මාර්ගයේ සොරනාතොට ප්‍රාදේශීය සභාව ආසන්නයේදී මෝටර් රථයක් අද (02) අලුයම අඩි 40 ක පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරුන් 5 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

මෝටර් රථය පැදවූ කථිකාචාර්යවරයාට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය කියා සිටියේ.

තුවාල ලැබූ කථිකාචාර්යවරියන් 4 දෙනා සහ මෝටර් රථය පැදවූ කථිකාචාර්යවරයා මේ වනවිට බදුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබනවා.

තුවාල ලැබූවන් අතර, ගැබිණි කථිකාචාර්යවරියක් ද සිටින බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

*********************************************

අගලවත්තට මිලිමීටර් 344 ක වර්ෂාපතනයක් – නිවාස 197 කටත් හානි

(02.09.2020 – 13:19 +0530 – hirunews.lk/sinhala)

දිවයින අවට පහළ වායුගෝලයේ පවතින කැළඹිලි සහිත ස්වභාවයේ බලපෑම තවත් සතියක පමණ කාලසීමාවක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මේ හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ ද වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

ගත වූ පැය 24 තුළ මිලිමීටර් 344 ක වැඩිම වර්ෂාපතනය, අගලවත්ත ප්‍රදේශයෙන් වාර්තා වන අතර, වළල්ලාවිට ප්‍රදේශයට මිලිමීටර් 290 ක් ද, කෙසෙල්හේන ප්‍රදේශයට මිලිමීටර් 252 ක වර්ෂාපතනයක් සහ මීගහතැන්න ප්‍රදේශයට මිලිමීටර් 241 ක වර්ෂාපතනයක් ඇද හැලී තිබෙනවා.

එමෙන්ම, ගාල්ල – වදුරඹ ප්‍රදේශයට මිලිමීටර් 233 ක්, ගම්පහ – පතුලගෙදර ප්‍රදේශයට මිලිමීටර් 245 ක වර්ෂාපතනයක්, හංවැල්ල ප්‍රදේශයට මිලිමීටර් 270 ක වර්ෂාපතනයක් සහ වරකාපොල ප්‍රදේශයට මිලිමීටර් 196 ක වර්ෂාපතනයක් ගත වූ පැය 24 තුල ලැබී තිබෙනවා.

මේ අතර, ප්‍රදේශ කිහිපයකට බලපෑ දැඩි සුළං හේතුවෙන් නිවාස 5 කට පූර්ණ හානි සිදුව ඇති අතර, අර්ධහානි සිදුවී ඇති නිවාස සංඛ්‍යාව 197 ක්. ඉන් පවුල් 210 කට අයත් පුද්ගලයින් 633 දෙනෙකුට බලපෑම් එල්ල වී තිබෙනවා.

ඇදහැලුණු වර්ෂාපතනයත් සමඟ ගාල්ල, බදුල්ල, ත්‍රිකුණාමලය, වව්නියාව සහ මන්නාරම දිස්ත්‍රික්කවල මාර්ග රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වනවා.

අධික වර්ෂාවත් සමඟ ගාල්ල, කළුතර, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට පැනවූ නායයාම් අනතුරු ඇඟවීම තවදුරටත් ක්‍රියාත්මක බවයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.

මහනුවර ප්‍රදේශ කිහිපයකට අද (02) පෙරවරුවේ සුළු භූ චලනයක් සිදුවී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළා. එම කම්පනය මහකනදරාව ප්‍රදේශයේ පිහිටි භූ කම්පනමානයේ ද සටහන් වී තිබෙනවා.

මීට පෙර ද මහනුවර – තලාතුඔය ප්‍රදේශයට ද සුළු භූ කම්පන තත්ත්වයක් වාර්තා වුණා.

කන්කසන්තුරේ සිට මන්නාරම හරහා කොළඹ දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම සුළං තත්ත්වය ගාල්ල සිට හම්බන්තොට සහ මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා වූ මුහුදු ප්‍රදේශවලට ද බලපා හැකි බවයි එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ද විටින් විට පැයට කිලෝමීටර් 50 ත් 55 ත් දක්වා ඉහළ යා හැකි බව ද සඳහන්.

මේ හේතුවෙන් ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙසට ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මේ අතර, කොළඹ සිට කළුතර දක්වා වෙරළේ සිට කිලෝමීටර් 17 ක් පමණ දුරින් වූ මුහුදේ ජලය තද කොළ පැහැවීමේ තත්ත්වය සම්බන්ධයෙන් නාරා ආයතනය කළ පරීක්ෂණ වාර්තාව අද (02) පස්වරුවේ එම ආයතනයේ සභාපතිවරයා වෙත ලබාදීමට නියමිතයි.

*********************************************

දඹුල්ල රෝහලේ මකුණු උවදුරක්

(02.09.2020 – 13:20 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල මුලික රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් සහ කාර්ය මණ්ඩලය මකුණු ගහනයක් හේතුවෙන් දැඩි පීඩාවකට ලක්ව තිබෙනවා.

රෝහලේ මෙට්ට, ඇදන් සහ ඇතිරිලි මත වැඩි වශයෙන් මකුණන් සිටිම හේතුවෙන් තමන් දැඩි පීඩාවට පත්ව ඇති බවයි රෝහලට ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණ සිටින රෝගීන් පවසන්නේ.

දඹූල්ල මුලික රෝහලේ ශල්‍ය වාට්ටු වලද වැඩි වශයෙන් මකුණු ගහනය පවතිනවා.

මීට පෙර අවස්ථාවකද මෙම රෝහලේ මකුණන් මර්දනය සදහා විශාල මුදලක් වැය කලද එය සාර්ථක වුයේ නැහැ.

කෙසේ වෙතත්, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ (01) පස්වරුවේ මෙම තත්ත්වය සොයා බැලීම සදහා රෝහල පැමිණියා.

*********************************************

නව දෙමුහුන් පොල් ප්‍රභේදයක් හඳුන්වාදෙයි

(02.09.2020 – 13:23 +0530 – hirunews.lk/sinhala)

අඩු කාලයකින් වැඩි ඵලදාවක් ලබාදෙන නව දෙමුහුන් පොල් ප්‍රභේදයක් අද ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයේදී හඳුන්වාදෙනු ලැබුවා.

‘සී.ආර්.අයි.එස්.එල්. විස්සයි විස්ස’ ලෙස මෙය නම් කර තිබෙනවා ෴

*********************************************

ප්‍රේමලාල් ජයසේකරගේ මන්ත්‍රී ධුරය ; නීතිපතිට එරෙහිව දොලවත්ත

(02.09.2020 – 13:32 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුවේ නියෝග වලට අභියෝග කිරීමට නීතිපතිවරයාට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී. දොලවත්ත මහතා පවසනවා.

ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් දැරිය නොහැකි බවට වූ නීතිපතිවරයාගේ ස්ථාවරය පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

***************************************

*********************************************

වසර ගණනකින් පිළිසකර නොකළ දෙහිඕවිට මාහිංකන්ද මාර්ගය

(02.09.2020 – 13:49 +0530 – hirunews.lk/sinhala)

මේ දෙහිඕවිට මාහිංකන්ද මාර්ගයයි.

ප්‍රදේශයේ පවුල් 160 ක පමණ පුද්ගලයන් 500 කට වැඩි පිරිසකට මෙම මාර්ගයේ ගමන් පහසුකම් සලසාගන්නවා.

දෙහිඕවිට සිට මාහිංකන්ද දක්වා කිලෝ මීටර් 4 ක පමණ දුරක් ඇති මෙම මාර්ගය වසර ගණනාවකින් පිලිසකර කර නැහැ.

ඒ හේතුවෙන් මාර්ගය දැන් පවතින්නේ දැඩි ලෙස අබලන් තත්ත්වයකයි.

මාර්ගය අබලන් වීම හේතුවෙන් දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ දිවි ගෙවන මේ ජනතාවට ආසන්නතම නගරය වන දෙහිඕවිට දක්වා ගමන් කිරීමට සිදුව ඇත්තේද විශාල පිරිවැයක් දරමින්.

මාර්ගය අබලන්වීම හේතුවෙන් ගම්මානයේ තිබූ පාසලද මේ වනවිට වැසී ගොස් තිබෙනවා.

තමන් මුහුණදෙන අපහසුතා පිළිබඳ බලධාරීන් නෑසුකන්ව සිටින බව ප්‍රදේශවාසීන්ගේ චෝදනාවයි.

දිළිඳුකමින් පෙලෙමින් දිවි සරි කරගැනීමට දෛනිකව බොහෝ දුෂ්කරතා විඳින මාහිංකන්ද ප්‍රදේශවාසීන්ට නිසි මාර්ග පහසුකම් සැපයීමට බලධාරීන්ගේ දෑස් යොමුවන තෙක් ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

*********************************************

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ

(02.09.2020 – 14:02 +0530 – hirunews.lk/sinhala)

20 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, ජනමත විචාරණයක් පැවැත්වීමෙන් තොරව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයෙන්සම්මත කළ හැකි බව නීතිපතිවරයා, අධිකරණ අමාත්‍යංශයේ ලේකම් වෙත දන්වා තිබෙනවා.

+++++++++++++++++++++

*********************************************

සපුගස්කන්දේදී අත්අඩංගුවට ගත් සැකකරු, CCD නිලධාරියෙකුගේ සහෝදරයෙක්

(02.09.2020 – 14:19 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින් කිලෝග්‍රෑම් 23 ක් සමඟ සපුගස්කන්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු, කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරියෙකුගේ සහෝදරයෙකු බවට ද අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව, අදාළ නිලධාරියා ද ඊට සම්බන්ධදැයි සෙවිම සඳහා විමර්ශනයක් ද ආරම්භ කර තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *