ජනතාව භුක්ති විඳිමින් සිටින ගැටළු නැති ඉඩම් සඳහා මාස 03 ක් ඇතුළත නිරවුල් ඔප්පු

ජනතාව භුක්ති විඳිමින් සිටින ගැටළු නැති ඉඩම් සඳහා මාස 03 ක් ඇතුළත නිරවුල් ඔප්පු

‘වනජීවී නෝනා’ තම එකම ඉඩම ලංකාගම ඉඩමක් සමග හුවමාරු කරගැනීමට සැරසෙයි

ගාල්ලේ ගම්මානයක් දුම්වැටි හා මත්ද්‍රව්‍ය වලින් තොර කලාපයක් වෙයි

ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට වෙන්ටිලේටර් යන්ත්‍ර 200 ක පරිත්‍යාගයක්

චම්පික රණවකට සම්බන්ධ රාජගිරියේ අනතුර සම්බන්ධයෙන් අද (02) අධිකරණය දුන් නියෝගය

හකීම් පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට කැඳවයි

UNPයේ 38 ක් ගැන තේරීම් භාර නිළධාරීන්ට අභියාචනාධිකරණයෙන් දැනුම්දීමක්

මහනුවර කම්පනය සුළු භූ කම්පන තත්ත්වයක් – භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය

දේශපාලන පළිගැනීම් පිළිබඳ කමිටුවේ මූලික වාර්තාව අගමැතිට

ව්‍යාපාරික නිමල් පෙරේරා හට පනවා තිබූ විදෙස් ගමන් තහනම අත්හිටුවයි

අබුඩාබි හි පිපිරීමකින් මියගිය බව කියන ශ්‍රී ලාංකික තරුණයාගේ ඥාතීන් කියන කතාව

රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන්ට සංකේත පත්වීම් ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන්

භූ කම්පන දෙකේම අපි කේන්ද්‍රය එකම ස්ථානයක

‘හිරු සී.අයි.ඒ.’ හෙළිදරව්ව නවත්වන්න දෙන්න හැදූ අල්ලස

*********************************************

ජනතාව භුක්ති විඳිමින් සිටින ගැටළු නැති ඉඩම් සඳහා මාස 03 ක් ඇතුළත නිරවුල් ඔප්පු

(02.09.2020 – 16:30 +0530 – hirunews.lk/sinhala)

ජනතාව භුක්ති විඳිමින් සිටින ගැටළු නැති ඉඩම් සඳහා මාස 03 ක් ඇතුළත නිරවුල් ඔප්පු දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

අද (02) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති ඉඩම් කළමනාකරණ කටයුතු, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවේදී ජනාධිපතිතුමා විසින් මේ බව සඳහන් කර තිබෙනවා.

දිවයින පුරා චාරිකා කළ තමාට දිස්ත්‍රික්ක රැසක ජනතාවගෙන් ඉදිරිපත් වූ ප්‍රධානතම ගැටළුව වූයේ ඉඩම් ඔප්පු නොතිබීම බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

පරම්පරා ගණනක් පදිංචිව සිටිය ද, වගා කටයුතු කළ ද ඔප්පු නොමැති වීමෙන් ඔවුන් දැඩි පීඩාවට ලක්ව ඇතැයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.

ප්‍රශ්නය විසඳීමට රටට සහ ආර්ථික ප්‍රතිපත්තියට ගැලපෙන ආකාරයට ඉඩම් ප්‍රතිපත්තිය සංශෝධනය විය යුතු යැයි ජනාධිපතිතුමා අවධාරණය කර තිබෙනවා.

ඉඩම් ඔප්පු නොතිබීමෙන් ජනතාව දැඩි අපහසුතාවටත්, සංවර්ධනය දැවැන්ත පසුබෑමකටත් ලක්ව ඇති බවයි ජනපති පෙන්වාදෙන්නේ.

කෘෂි ආර්ථික රටාවක් ගොඩනැගීමේදී ඉඩම් පරිහරණ ප්‍රතිපත්තිය ඉතා වැදගත් බවද ජනාධිපතිතුමා කියා සිටියා.

බදු දී ඇති ඉඩම් සංවර්ධනය කිරීමෙන් පසු ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව හෝ ඉඩම් අයත් ආයතන හෝ ඒවා වෙනත් පාර්ශ්වයන්ට පැවරීමද වගාකරුවන් මුහුණ දී ඇති තවත් ගැටළුවකි.

එවැනි තත්ත්වයන් ඇතිවීමට ඉඩ නොතබන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වගාවට නොගත් ඉඩම් සුදුසු වගාවන් සඳහා භාවිතා කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිතුමා තරුණ ව්‍යවසායකයන්ට ඒවා බදු දීමෙන් ජාතික ආර්ථිකයට දායක කරගත හැකි බව පැවසුවා.

විවිධ රජයන් යටතේ ජනාධිපතිවරු ජනතාවට ඉඩම් බලපත්‍ර ප්‍රදානය කළද පසුකාලීනව බැංකු ණයක් හෝ ආර්ථික ඒකක බවට එම ඉඩම් පත් කරගැනීමේදී ගැටළු රැසකට ජනතාව මුහුණ පා ඇතැයි ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා එහිදී සඳහන් කර තිබෙනවා.

විදේශ ආයෝජකයන්ට ඉඩම් දීමේදී ණය සහ සෙසු පහසුකම් සලසා ගත හැකි පරිදි ගිවිසුම් අත්සන් තැබෙන අතර ඉදිරියේදී ඒ ආකාරයට ජනතාවට ද එවැනි පහසුකම් ගතහැකි පරිදි ඔප්පු සකස් කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා අවධාරණය කර තිබෙනවා.

බදු පදනම මත ඉඩමක නිරවුල්භාවය ගැනීමට ආයතන 20 කට අධික සංඛ්‍යාවක අනුමැතිය ගැනීමට ජනතාවට සිදුවන ආතර ඒ සඳහා වසර ගණනාවක් ගතවන බවද මෙහිදී අනාවරණය වී තිබෙනවා.

මෙවැනි තත්ත්වයන්ට ඉඩ නොතබා සරල කොන්දේසි වලට යටත්ව ඉඩම්වල නිරවුල්භාවය දීමට පියවර ගන්නැයිද ජනාධිපතිතුමා උපදෙස් දී ඇති බවයි සඳහන් වන්නේ.

අනුමැතිය සඳහා රාජ්‍ය ආයතනයකට යොමුකරන ඉල්ලීමකට දින 14 ක් ඇතුළත පිළිතුරු දීමට අවශ්‍ය පසුබිම රාජ්‍ය යාන්ත්‍රණය තුළ සකස් විය යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කර තිබෙනවා.

අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු සහ කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරු සහ රේඛීය ආයතනවල නිලධාරීහූද මෙම සාකච්ඡාවට එක්ව සිටියා ෴

*********************************************

‘වනජීවී නෝනා’ තම එකම ඉඩම ලංකාගම ඉඩමක් සමග හුවමාරු කරගැනීමට සැරසෙයි

(02.09.2020 – 15:10 +0530 – hirunews.lk/sinhala)

මීගමුව සින්නඩිතෝට්ටම් දූපත ආරක්ෂා කරගැනීම වෙනුවෙන් හඬනැගීමත් සමඟ “වනජීවී නෝනා” නමින් රටපුරා ජනප්‍රිය වූ දේවානි ජයතිලක මහත්මිය යළිත් කරළියට පැමිණ තිබෙනවා.

ඒ ඇයගේ ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් සමගින්.

එහිදී ඇය සඳහන් කර ඇත්තේ “ලංකාගම ඉඩමකට මගේ නමින් ඇති එකම ඉඩම හුවමාරු කර එය සිංහරාජයට පැවරීමට කැමතියි. හුවමාරුවට කැමති අය‌ෙක් අමතන්න” යනුවෙනුයි.

සිංහරාජ වනාන්තර සීමාවේ පිහිටා ඇති ලංකාගම දක්වා දිවෙන නව මාර්ගය සම්බන්ධයෙන් පසුගිය දිනවල බොහෝදෙනෙකුගේ කතාබහට ලක්වූවා.

මේ වනවිට ඇය වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගම්පහ කාර්යාලයේ දිසා වනජීවී නිලධාරිනිය ලෙසින් රාජාකාරී සිදුකරනවා.

මීට පෙර ඇය මීගමුව සින්නඩිතෝට්ටම් දූපත සම්බන්ධයෙන් හඬ නැගූ අයුරු පහතින් :

12-02-2020

+++++++++++++++++++++

*********************************************

ගාල්ලේ ගම්මානයක් දුම්වැටි හා මත්ද්‍රව්‍ය වලින් තොර කලාපයක් වෙයි

(02.09.2020 – 15:58 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල තලාපිටිය ගම්මානය දුම්වැටි සහ මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැලක්විමේ අරමුණින් දුම්වැටි විකිණීම, භාවිතය පිටුදැක මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර කලාපයක් බවට පත් කිරිමට ගම්වැසියන් තීරණය කර තිබෙනවා.

මේ බව දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (01) පැවති අතර ඒ සඳහා නබවියා ඉස්ලාමිය තරුණ සංවිධානය, සෞඛ්‍ය උපදේශකයින්, පොලිස් නිලධාරින් සහ ගම්මානයේ සියලුම ජනතාව එක්ව සිටියා.

එහිදී යතුරු පැදි, ත්‍රීවීලර් රථ සහ අනෙකුත් රථ වාහන සහ ගම්මානයේ සියලුම නිවාස සඳහා දුම්වැටියෙන් තොර සමාජයක් උදෙසා දැනුවත් කිරීමේ විශේෂ ස්ටිකරයක් ඇලවීමද සිදු කරනු ලැබුවා.

*********************************************

ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට වෙන්ටිලේටර් යන්ත්‍ර 200 ක පරිත්‍යාගයක්

(02.09.2020 – 16:04 +0530 – hirunews.lk/sinhala)

කොවිඞ් 19 වෛරසයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙලට සහය පළ කරමින් නවීන තාක්ෂණයෙන් යුත් කෘත්‍රිම ස්වශන ආධාරක හෙවත් වෙන්ටිලේටර් යන්ත්‍ර 200 ක් ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා.

කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේ තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිට්ස් විසින් මෙම වෙන්ටිලේටර් යන්ත්‍ර සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත අද (02) එම අමාත්‍යාංශයේදී භාර දුන් බවයි.

ඒවායේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 5.8 කට අධිකයි.

*********************************************

චම්පික රණවකට සම්බන්ධ රාජගිරියේ අනතුර සම්බන්ධයෙන් අද (02) අධිකරණය දුන් නියෝගය

(02.09.2020 – 16:07 +0530 – hirunews.lk/sinhala)

චම්පික රණවකට සම්බන්ධ රාජගිරිය රිය අනතුරේ මුල් නඩු ගොනුව කැඳවන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්.

රාජගිරිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක ඇතුළු සැකකරුවන්ට අදාළ ඇප කොන්දේසි ඉවත් කිරීම සඳහා, මුල් නඩු ගොනුව මහාධිකරණයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට කැඳවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනා ද සිල්වා මහත්මිය අද (02) නියෝග කළා.

ඒ නඩුව සම්බන්ධයෙන් සැකකරුවන්ගේ පාර්ශවයෙන් මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි.

නීතිපතිවරයා විසින් සැකකරුවන්ට අධි චෝදනා ගොනුකර ඇති බැවින් මසකට වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීම ඇතුළු ඇප කොන්දේසි ඉවත් කරන ලෙස ඔවුන්ගේ නීතිඥවරුන් ඉල්ලා තිබෙනවා.

නඩුව යලි ඔක්තෝම්බර් 7 වනදා කැඳවීමට නියමිතයි ෴

*********************************************

හකීම් පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට කැඳවයි

(02.09.2020 – 16:44 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයෙකු වන හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 කට අදාළ විභාගය නොවැම්බර් මස 10 වනදා දක්වා අද (02) කල් තැබුණා.

පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති හිටපු ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න, හිටපු අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක ඇතුළු වග උත්තරකරුවන් කිහිපදෙනෙකු එම ධුරවල කටයුතු නොකරන හෙයින් ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමක් අවශ්‍ය නොවන බවයි නීතිපති දෙපාර්තමේන්තුව අද (02) ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙන්වා දුන්නේ.

ඒ අනුව, අද (02) අධිකරණය හමුවේ පෙනී නොසිටි වගඋත්තරකරුවන් වෙත යළි නොතීසි නිකුත් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා.

මේ අතර, නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍යවරයෙකු වන රංජිත් මද්දුම බණ්ඩාර සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ අද (02) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන ජනපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණ ප්‍රකාශ ලබාදුන්නා.

එසේම, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අනිද්දා (04) එහි පෙනී සිටින්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ට, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව දැනුම් දී තිබෙනවා.

එසේම, පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සහ හිටපු අමාත්‍ය මංගල සමරවීර ද හෙට (03) එහි කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

*********************************************

UNPයේ 38 ක් ගැන තේරීම් භාර නිළධාරීන්ට අභියාචනාධිකරණයෙන් දැනුම්දීමක්

(02.09.2020 – 16:53 +0530 – hirunews.lk/sinhala)

සමගි ජනබලවේගයට සහය පළ කිරීම හේතුවෙන් පක්ෂ සාමාජිකත්වය අහිමි වූ එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයන් 38 දෙනෙකු සම්බන්ධයෙන් ලබන 10 වනදා තෙක් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා ලෙස අභියාචනාධිකරණය දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන්ට දැනුම් දී තිබෙනවා.

ඒ සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට එරෙහිව එජාප පළාත් පාලන නියෝජිතයින් 38 දෙනෙකු ඉදිරිපත් කළ පෙත්සම් අද සලකා බැලීමෙන් පසුවයි ෴

*********************************************

මහනුවර කම්පනය සුළු භූ කම්පන තත්ත්වයක් – භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය

(02.09.2020 – 17:20 +0530 – hirunews.lk/sinhala)

මහනුවර පල්ලෙකැලේ ප්‍රදේශය ආශ්‍රිතව අද (02) ඇතිව තිබූ කම්පන තත්වය සුළු භූ කම්පන තත්වයක් බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කරනවා.

එම කාර්යාංශය සඳහන් කරන්නේ එය පල්ලෙකැලේ සහ මහකනදරාව භූ කම්පන මධ්‍යස්ථානයේ ඉතා සියුම් ලෙස සටහන්ව ඇති බවයි.

මෙම කම්පන තත්වයන් ප්‍රධාන භූතල මායිම් ආශ්‍රිතව ඇතිවූ ඒවා නොවන බවයි එහි සඳහන් වන්නේ.

අදාළ කම්පන ඇතිවීමට හේතු වශයෙන් වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව හටගැනීමට ඉඩ ඇති ප්‍රේරිත භූමි කම්පාවක් හෝ කලාපය තුළ පවතින දුර්වල පාෂාණයක් වන විපරිත හුණුගල් බිඳ වැටීමක් යන අංශ පිළිබඳව මේ වනවිට අවධානය යොමුකර තිබෙනවා.

මීට පෙර පසුගිය සෙනසුරාදා එම ප්‍රදේශවලට කිසියම් කම්පනයක බලපෑමක් ඇති වූ අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරීන් එහි ගොස් සිටින අතරතුරයි මෙම දෙවන කම්පනය සිදුව ඇත්තේ.

මේ වනවිට අදාළ කම්පන තත්වයන් පිළිබඳව වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ භූ භෞතික විද්‍යාඥයින් සහ භූ කම්පන විද්‍යාඥයින් 06 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම් 02 ක් ක්ෂේත්‍ර පරීක්ෂණ සඳහා යොමුකර ඇති බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ෴

*********************************************

දේශපාලන පළිගැනීම් පිළිබඳ කමිටුවේ මූලික වාර්තාව අගමැතිට

(02.09.2020 – 17:36 +0530 – hirunews.lk/sinhala)

දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් පිළිබඳ සොයා බලන කමිටුවේ මූලික වාර්තාව අද (02) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට භාර දී තිබෙනවා.

2015-2019 කාලය තුළ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවයේ පරිපාලනමය වශයෙන් දේශපාලන පළිගැනීම්වලට ලක් වූ පුද්ගලයින් 6952 දෙදෙනෙක් මේ වන විට මෙම කමිටුවට අභියාචනා ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අතුරින් 1152 දෙදෙනෙකුගේ අභියාචානාවලට අදාළ පරීක්ෂා කිරීම්, නිරීක්ෂණ හා ඉදිරි පියවර මෙම වාර්තාවට ඇතුළත් බවයි අග්‍රාමත්‍ය මාධ්‍ය ඒකකය පවසන්නේ.

2015-2019 කාලයේ දේශපාලන පළිගැනීම් සිදුව ඇති ආකාරය, කමිටුවට ඉදිරිපත් වූ අභියාචනා පිළිබඳව සොයා බැලීමේදී හෙළි වූ බව කමිටුවේ සාමාජිකයන් විසින් එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත දැනුම්දී තිබෙනවා.

දේශපාලන වශයෙන් පළිගැනීමට ලක් වූ සියලු දෙනාට සාධාරණය ඉටු කිරීම මෙම කමිටුවේ වගකීමක් බවත්, ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙන කමිටු නිර්දේශ ක්‍රියාත්මක නොවන්නේ නම්, කැබිනට් මණ්ඩය දැනුවත් කොට විෂය භාර අමාත්‍යවරුන් ඔස්සේ වින්දිතයින්ට සාධාරණයක් ඉටු කරන්නැයි අග්‍රාමාත්‍යවරයා විසින් කමිටුවේ සාමාජිකයින්ට එහිදී උපදෙස් දී තිබෙනවා.

කමිටුවට මේ දක්වා අභියාචනා 1152 ක් පරීක්ෂා කර, නිරීක්ෂණ ගොනු 484 ක් විවිධ ආයතනවලට යොමු කර ඇති බවයි සඳහන් වන්නේ.

විමර්ශනය සඳහා කමිටුවට කැඳවා තිබෙන අභියාචානා සංඛ්‍යාව 372 ක්.

කොවිඩ්-19 හේතුවෙන් මාස 3 ක කාලයක් කමිටුවේ කටයුතු ඇණහිට තිබුණ ද මේ දක්වා අඛණ්ඩව සිදුවන විමර්ශනයන්ට අදාළව ආයතන ප්‍රධානීන් 34 දෙනෙකු කමිටුව වෙත කැඳවා ඇති බව දේශපාලන පළිගැනීම් සොයා බැලීමේ කමිටුවේ ලේකම් නීතීඥ චතුරිකා විජේසිංහ මහත්මිය මෙම හමුවේදී පෙන්වා දී තිබෙනවා.

කමිටුවේ සභාපතිවරයා ලෙස මෙයට පෙර කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා කටයුතු කළ අතර කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස කටයුතු කරන්නේ ආරියරත්න අරුමප්පෙරුම, මහින්ද සෙනෙවිරත්න මහත්වරුයි.

මෙම අවස්ථාවට කථානායක මහින්ද යාපා අබේවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් චමින්ද කුලරත්න, දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ (2015-2019) කමිටුවේ සාමාජිකයින් වන ඒ.ආරියරත්න, මහින්ද සෙනෙවිරත්න, කමිටුවේ ලේකම් නීතීඥ චතුරිකා විජේසිංහ මහත්ම මහත්මීන් එක්ව සිටියා.

*********************************************

ව්‍යාපාරික නිමල් පෙරේරා හට පනවා තිබූ විදෙස් ගමන් තහනම අත්හිටුවයි

(02.09.2020 – 17:40 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාපාරික නිමල් පෙරේරා හට පනවා තිබූ විදෙස් ගමන් තහනම අත්හිටුවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක අද (02) නියෝග කළා.

ශ්‍රී ලන්කන් ගුවන් සමගම විසින් එයාර් බස් මිලට ගත් සිද්ධිය ගැන, චෝදනා ලබා සිටින එහි ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වූ ප්‍රියංකා නියෝමාලි විජේනායක යන අයට එරෙහිව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගොනු කර ඇති නඩුවට අදාළව, මෙම විදෙස් ගමන් තහනම පනවා තිබුනා.

මිට පෙර නඩුව කැඳවූ අවස්ථාවේ, නිමල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා, අධිකරණයට ප්‍රකාශ කළේ තම සේවා දායකයාට අයත් යැයි කියන, SABRE VISION LTD නම් ආයතනයේ, සිංගප්පූරු ගිණුමකට, ඩොලර් ලක්ෂ 4 ක මුදලක් කෙසේ තැන්පත් වූයේද යන්න, තම සේවාදායකයා නොදන්නා බවයි.

ඒ ගැන සොයා බැලීමට සිංගප්පූරුවට යාමට අවශ්‍ය බව ඔහු සඳහන් කළා.

එම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, ව්‍යාපාරික නිමල් පෙරේරාට විදේශගත වීමට අවසර ලබා දුන්නා ෴

*********************************************

අබුඩාබි හි පිපිරීමකින් මියගිය බව කියන ශ්‍රී ලාංකික තරුණයාගේ ඥාතීන් කියන කතාව

(02.09.2020 – 18:23 +0530 – hirunews.lk/sinhala)

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගෑස් නලයක් පිපිරීමෙන් සිදුවූ අනතුරකින් ශ්‍රි ලාංකික තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව ඇතිබවට තොරතුරු වාර්තාවී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇති බවට සඳහන් වන්නේ මාතර, වැලිගම, වරකපිටිය ප්‍රදේශයේ පදිංචි සමිත් රංගන (28) නමැති අවිවාහක තරුණයෙක්.

මෙම තරුණයා 2014 වර්ෂයේ මුල්වරට විදෙස්ගතව නැවත 2019 වසරේ මෙරටට පැමිණ එම වසරේම මැයි මස යළි විදෙස්ගතවූ බවයි ඥාතීන් පවසන්නේ.

පසුගිය 31 වනදා එරට සිටින ඔහුගේ මිතුරෙකු දුරකථන ඇමතුමක් ලබාදී නිවසට දැනුම්දී ඇත්තේ අනතුරකින් ඔහු මියගොස් ඇති බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය, විදේශ කටයුතු අමාත්‍යංශය සහ මෙරට හා එරට තානාපති කාර්යාලවලට දන්වා ඇතිමුත් නිශ්චිත තොරතුරක් මෙතෙක් තමන් වෙත ලැබී නොමැති බවයි ඥාතීන් පවසන්නේ.

*********************************************

රාජ්‍ය සේවයට බඳවාගත් උපාධිධාරීන්ට සංකේත පත්වීම් ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන්

(02.09.2020 – 19:02 +0530 – hirunews.lk/sinhala)

‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි ‘රට වෙනුවෙන් වැඩ’ සංස්කෘතියක් ඇති කිරීම සඳහා උපාධිධාරීන් 60,000 ක් බඳවා ගැනීම සංකේතවත් කරමින් තෝරාගත් පිරිසකට පත්වීම් ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුනා.

විනාඩි 25 කට සීමා වූ සරල උත්සවය අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුනා.

උපාධිලාභීන් 50,000 කට රැකියා දීමට ඉල්ලුම්පත් කැඳවුවද ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි 60,000 ක් බඳවාගැනීමට රජය තීරණය කළා.

අද (02) රාජ්‍ය සේවයට එක් වූ උපාධිධාරීන් සංඛ්‍යාව 50,177 කි.

ඉන් 38,760 ක් කාන්තාවෝ වන අතර රැකියාලාභී කලා උපාධිධාරීන් සංඛ්‍යාව 31,172 ක්.

උපාධිලාභීන් වර්ගීකරණයේදි අභ්‍යන්තර උපාධිය ලත් 29,156 ක් සහ භාහිර උපාධිලාභීන් 20,322 ක් පත්වීම් ලැබ සිටින අතර භික්ෂුන් වහන්සේ 1000 කට ද පත්වීම් පිරිනැමීම මෙහිදී සිදුකෙරුනා.

සෙසු උපාධිධාරීන් අතර වාණිජ අංශයේ 1839 ක්, කළමනාකරණ 7278 ක්, විද්‍යා 4494 ක්, දේශීය වෛද්‍ය 143 ක් සම සෞඛ්‍ය 161, පරිගණක තාක්ෂණය 989 ක්, ඉංජිනේරු සහ නීති 233 ක් සහ ගණකාධිකරණ ඩිප්ලෝමාධාරීන් 1906 ක් වනවා.

පත්විම්ලාභීහූ නායකත්ව, කුසලතා සහ ආකල්ප වර්ධන පුහුණුවකට යොමු කෙරෙන අතර වසරක පුහුණුව අවසානයේ ග්‍රාමීය හා වතු පාසල්, ගොවිජන සේවා මධ්‍යස්ථාන, ප්‍රාදේශීය වාරි මාර්ග කාර්යාල, වනජීවි කාර්යාල, දේශීය ආයුර්වේද රෝහල්, ග්‍රාමීය රෝහල්, ඩිස්පැන්සරි, සුළු අපනයන භෝග කාර්යාල වැනි ග්‍රාමීය අංශයට ඝෘජුව සම්බන්ධ ආයතන වෙත අනුයුක්ත කිරීමට සැලසුම් කර තිබෙනවා.

සංවර්ධන ක්‍රියාදාමයට සක්‍රීයව දායකවන ලෙසයි ජනාධිපතිවරයා පත්වීම්ලාභීන්ගෙන් එහිදී ඉල්ලා සිටියේ.

රාජ්‍ය සේවයට වැටුප් උපයාදෙන කෘෂි සහ ධීවර වැනි ක්ෂේත්‍රවල නිරත ජනතාවට බරක් නොවී තමන් ලබන වැටුපට සාධාරණය ඉටුකරන්නැයි එතුමා අවධාරණය කලා.

තම වෘත්තියේ ඉදිරි ගමන උදෙසා පශ්චාත් උපාධි, පරිගණක පුහුණුව සහ අදාළ ක්ෂේත්‍රවල වෙනත් රැකියා අවස්ථා දියුණු කර ගැනීම පත්වීම්ලාභීන්ගේ වගකීමක් බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, චමල් රාජපක්ෂ, ජී.එල්. පීරිස්, බන්දුල ගුණවර්ධන, ජනක බණ්ඩාර තෙන්නකෝන්, කෙහෙලිය රඹුක්වැල්ල, ඩලස් අලහප්පෙරුම, නාමල් රාජපක්ෂ යන අමාත්‍යවරු හා ආර්ථික පුනර්ජීවන පිළිබද ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සහ රාජ්‍ය අමාත්‍යවරු කිහිප දෙනෙක් ද, අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

*********************************************

භූ කම්පන දෙකේම අපි කේන්ද්‍රය එකම ස්ථානයක

(02.09.2020 – 20:33 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – පල්ලේකැලේ ප්‍රදේශය ආශ්‍රිතව අද (02) උදෑසන සිදුවූ භූ කම්පනය, ප්‍රධාන කම්පනය සහ ඊට පෙර වාර්තා වූ පෙර කම්පනවල අපි කේන්ද්‍රය එකම ස්ථානයක පිහිටා ඇති බවට නිරීක්ෂණය කර ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය පවසනවා.

ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරන කණ්ඩායමේ ප්‍රධානී, භූ විද්‍යාඥ නලින් ද සිල්වා මහතා ප්‍රකාශ කළේ වික්ටෝරියා ජලාශයේ ත්වරණ මාපකවල දත්තද අවසන් වාර්තාව සකස් කිරීම සඳහා යොදා ගන්නා බවයි.

පසුගිය සෙනසුරාදා රාත්‍රි 8.32 ට ප්‍රධාන කම්පනය සිදුවූ අතර, එය රික්ටර් මාපාංකයේ සටහන් වූයේ ඒකක 2 ත්, 2.2 ත් අතර අගයකයි.

එය ගුරුදෙනිය, හාරගම, අනුරගම හා මයිලපිටිය යන ප්‍රදේශවල ජනතාවට දැනී තිබුණා.

ඊට පෙර එදිනම දහවල් පෙර කම්පනයක්ද සිදුවූ අතර, අද (02) යළි මෙම ප්‍රදේශ ආශ්‍රිතව පසු කම්පනයක් සිදුවූයේ ප්‍රධාන කම්පනය සිදුව දින 04 කට පසුවයි.

මෙය අඹකොටේ සහ අලුත්වත්ත යන ප්‍රදේශවලට සුළු වශයෙන් දැනී තිබෙනවා.

අද (02) කම්පනය සිදුවන අවස්ථාවේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් මහනුවර ප්‍රදේශයේ රැඳී සිට තිබෙනවා.

*********************************************

‘හිරු සී.අයි.ඒ.’ හෙළිදරව්ව නවත්වන්න දෙන්න හැදූ අල්ලස

(02.09.2020 – 21:54 +0530 – hirunews.lk/sinhala)

‘හිරු සී.අයි.ඒ.’ ඔස්සේ හෙළිදරව් කළ කල්පිටිය, පල්ලිවාසල්තුරේ කඩොලාන විනාශයට සම්බන්ධ පුද්ගලයන්ට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පුත්තලම අඩවි වන නිලධාරී ඩබ්ලිව්. එන්. සී. කේ. වාසල මහතා පවසනවා.

මේ පිළිබඳව සිදුකළ අනාවරණයෙන් පසුව වන සංරක්ෂණ නිලධාරින් හා පොලිසිය අදාළ කඩොලාන විනාශය සිදුකළ භූමිය අද (02) නිරීක්ෂණය කළා.

මේ අතර, අල්ලස් මුදල් ලබාදීමට උත්සාහ කරමින් අදාළ කඩොලාන විනාශය හෙළිනොකරන ලෙසටයි කල්පිටිය සභාපතිවරයා ‘හිරු සී.අයි.ඒ.’ කණ්ඩායමෙන් ඉල්ලා සිටියේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *