ලබාදුන් පත්වීම්, බලපෑම් හමුවේ වෙනස් කරන්නේ නැහැ – ජනපති කියයි

ලබාදුන් පත්වීම්, බලපෑම් හමුවේ වෙනස් කරන්නේ නැහැ – ජනපති කියයි

යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට

සිය දරුවාට කෘත්‍රිම පාදයක් ලබාගැනීමට සහය දෙන්නැයි මවක් ඉල්ලයි

තමන්ට ලැබී ඇත්තේ ගැළපෙනම අමාත්‍යාංශය බව ඇමති ප්‍රසන්න රණවීර කියයි

පිළිකා සෛල නැසීමට මී මැසි විෂ

තිස්සමහාරාම, පන්නෙගමුව සහ දෙබරවැව වැටලීම්වලින් අයිස් සමග 4 ක් අත්අඩංගුවට

නව ව්‍යවස්ථාවක මූලික කෙටුම්පත සකස් කිරීමට විශේෂඥ කමිටුවක්

පෙළ පොත් කට්ටල 1017ක් කහවත්තේ පොත්හලකින් හමුවේ

නැගෙනහිර මුහුදේ ඉන්ධන නෞකාවක ගින්නක්

03.09.2020 දින කැබිනට් මාධ්‍ය හමුව

*********************************************

ලබාදුන් පත්වීම්, බලපෑම් හමුවේ වෙනස් කරන්නේ නැහැ – ජනපති කියයි

(03.09.2020 – 07:32 +0530 – hirunews.lk/sinhala)

මෑතකදී රජය විසින් සිදුකරන ලද යම් යම් පත්වීම් ගැඹුරින් සිතා බලා කරන ලද ඒවා බැවින් අදාළ තනතුරු වෙනස් කර විවිධ බලපෑම් නිසා වෙනත් පුද්ගලයින් ඒ සඳහා යෙදවීමට කිසිදු අපේක්ෂාවක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

එබැවින් යම් පත්වීමකට විරුද්ධව එය වෙනස් කරන ලෙස, තමන්ට හෝ රජයට බලපෑම් නොකරන ලෙසයි ජනාධිපතිවරයා සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේ.

අදාළ පත්වීම් සියල්ල සිදුකරන ලද්දේ අප රටේ ස්වෛරීත්වය, ජාතික ආරක්ෂාව හා සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීම වැනි සුවිශේෂී කරුණු සලකා බලමින්.

එමෙන්ම, පත්වීම් ලද පුද්ගලයින්ගේ ජාති හිතෛෂී බව, සුදුසුකම් සහ පසුබිම පරීක්ෂා කොට අවස්ථාවෝචිත පරිදි රජයේ ප්‍රතිපත්ති සාර්ථකව ඉදිරියට ගෙන යෑමට හැකි ආකාරයට අදාළ පත්වීම් සිදුකර ඇති බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

මෙම පත්වීම්වලට විරුද්ධව මත ප්‍රකාශ කිරීම තුළින් සිදුවන්නේ එසේ තෝරාපත් කරගත් පුද්ගලයින්ට භාරදෙන ලද කාර්යය හා කර්තව්‍යයන් නිසිපරිදි ඉටු කිරීමට නොහැකි වීමයි.

සමාජය තුළ එම පුද්ගලයින් අවතක්සේරුවට ලක් කිරීමෙන්, රජය ගෙන යන වැඩපිලිවෙලද දුර්වල වනු ඇතැයි ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා ෴

*********************************************

යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට

(03.09.2020 – 07:40 +0530 – hirunews.lk/sinhala)

යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ගැසට් කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත යොමුකර තිබෙනවා.

රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ මහත්මිය සඳහන් කළේ අද (03) දිනය තුළ ඊට අදාළ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කරන බවයි.

ඊයේ (02) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ද මෙම කෙටුම්පතට අනුමැතිය හිමිවුණා.

මීට අදාල යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ අධිකරණ අමාත්‍ය අලි සබ්රි විසින්.

ගැසට් නිවේදනය නිකුත් කිරීමෙන් පසු අදාළ කෙටුම්පත සති දෙකකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයෙන් සම්මත කර ගත හැකි බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දැනුම් දී තිබෙනවා.

ඔහු එහිදී කියා සිටියේ ඒ සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවයි ෴

*********************************************

සිය දරුවාට කෘත්‍රිම පාදයක් ලබාගැනීමට සහය දෙන්නැයි මවක් ඉල්ලයි

(03.09.2020 – 08:03 +0530 – hirunews.lk/sinhala)

පාදයක ආබාධයක් සහිතව උපන් දරුවෙකු යකඩවලින් සකස් කරන ලද ආධාරකයක් සවිකරගෙන පාසල් යන පුවතක් දඹුල්ල – ඇරැව්වල ප්‍රදේශයෙන් ‘හිරු ප්‍රවෘත්ති’ අංශයට වාර්තා වුණා.

දැඩි ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ ‘දසුන් නාමන්ත’ නමැති මෙම දරුවා ඉගෙනුම ලබන්නේ දඹුල්ල ඩී.එස්. සේනානායක මහා විද්‍යාලයේ 06 වන ශ්‍රේණියේයී.

තම දරුවාට කෘත්‍රිම පාදයක් ලබාදීමට නොහැකි නිසා මෙම තත්ත්වය උදාවී ඇති බවයි මව සඳහන් කළේ.

යකඩ ආධාරකයක් සිය ආබාධිත පාදයේ සවිකරගෙන ඇවිදීම දරුවාට අපහසු වුවත් එය විඳ දරාගෙන ඔහු සිය අධ්‍යයන කටයුතු සිදුකරන බවයි ඇය කියා සිටියේ.

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා දරුවාගේ මවගේ දුරකථන අංකය වන 076 209 0069 වෙත අමතන්න.

දරුවාගේ මවගේ දුරකථන අංකය : 076 209 0069

*********************************************

තමන්ට ලැබී ඇත්තේ ගැළපෙනම අමාත්‍යාංශය බව ඇමති ප්‍රසන්න රණවීර කියයි

(03.09.2020 – 08:01 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිවරයා විසින් තමන්ට ලබාදුන් අමාත්‍යාංශය තමන්ට ගැලපෙනම අමාත්‍යාංශය බව වේවැල්, පිත්තල, මැටි, ලී බඩු හා ග්‍රාමීය ආර්ථීකය ප්‍රවර්ධනය කිරීමේ අමාත්‍යය ප්‍රසන්න රණවීර මහතා පවසනවා.

‘හිරු ඇත්ත’ සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පැවැසුවා.

බොහෝදෙනා මැටි කර්මාන්තය ඈඳාගෙන තමන්ට අපාහාස කළාට මැටි කර්මාන්තයට අපහාස නොකරණ ලෙස ද ප්‍රසන්න රණවීර මහතා ඉල්ලා සිටිනවා.

ග්‍රාමීය ආර්ථීකය වැඩි දියුණ කිරීම තුළින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම තම අරමුණ බවද හෙතෙම පවසනවා.

වේවැල්, පිත්තල, මැටි, ලී බඩු කර්මාන්තවල නිරතවී සිටින ජනතාව මේවන විටත් සිය අමාත්‍යංශයට ගෙන්වා සාකච්ඡා කර ඇති බවද ඔහු පවසනවා.

අමාත්‍යය ප්‍රසන්න රණවිර මහතා දැක්වූ සම්පූර්ණ අදහස් පහතින් :

*********************************************

පිළිකා සෛල නැසීමට මී මැසි විෂ

(03.09.2020 – 08:34 +0530 – hirunews.lk/sinhala)

මී මැස්සන් දෂ්ඨ කිරීමේදී නිකුත් කරන විෂවලට පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාවක් පවතින බවට ඕස්ට්‍රේලියාවේ විද්‍යාඥයින් පිරිසක් සිදුකළ පර්යේෂණවලදී අනාවරණ වී තිබෙනවා.

විශේෂයෙන් පියයුරු පිළිකා සෛල විනාශ කිරීමේ හැකියාවක් මෙම විෂවලට පවතින බවටයි ඔවුන් සිදුකළ පර්යේෂණයෙන් හෙළිවී ඇත්තේ.

විද්‍යාගාරයක් තුළ පිළිකා වර්ග දෙකක් සඳහා මොවුන් මී මැස්සන් නිකුත් කරන විෂ උපයෝගී කරගෙන පර්යේෂණ සිදුකර තිබෙනවා.

එම පර්යේෂණ මේ වනවිට සාර්ථක බවයි ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ.

එහිදී වැඩිදුරටත් සඳහන් වන්නේ මිනිත්තු 60 ක් වැනි කෙටි වෙලාවක් තුළ මෙම විෂ මගින් පිළිකා සෛල විනාශ කිරීමට සමත්වන බවයි.

එහෙත් තවදුරටත් මෙය වැඩිදියුණු කළ යුතු බවද ඔවුන් ප්‍රකාශ කළා.

ලොව කාන්තාවන්ට වැඩියෙන්ම වැළඳෙන පිළිකා වර්ගය බවට පියයුරු පිළිකා හඳුනාගෙන තිබෙනවා ෴

*********************************************

තිස්සමහාරාම, පන්නෙගමුව සහ දෙබරවැව වැටලීම්වලින් අයිස් සමග 4 ක් අත්අඩංගුවට

(03.09.2020 – 09:09 +0530 – hirunews.lk/sinhala)

තිස්සමහාරාම – පන්නෙගමුව සහ දෙබරවැව යන ප්‍රදේශයන්වලදී අයිස් මත්ද්‍රව්‍යග්‍රෑම් 696 ක් සමග සිව් දෙනෙකු (4) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ (02) සිදුකළ වැටලීමකදී අත්අඩංගුවට ගත් මොවුන් තිස්සමහාරාම, දෙබරවැව සහ පන්නෙගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් ෴

*********************************************

නව ව්‍යවස්ථාවක මූලික කෙටුම්පත සකස් කිරීමට විශේෂඥ කමිටුවක්

(03.09.2020 – 10:29 +0530 – hirunews.lk/sinhala)

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට අදාළ මුලික කෙටුම්පත සකස් කිරීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා ගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සාමාජිකයින් සංඛ්‍යාව 9ක්.

එම කමිටුවේ සාමාජිකයන් පහතින් :

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා – සභාපති
ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා
ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා
ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා
ජනාධිපති නීතිඥ නසීමා කමුර්දීන් මහතා
ආචාර්ය සර්වෙස්වරන් මහතා
ජනාධිපති නීතිඥ සමන්ත රත්වත්තේ මහතා
ජනාධිපති නීතිඥ වසන්ත සෙනෙවිරත්න මහතා
ජනාධිපති නීතිඥ ජී එච් පීරිස් මහතා

*********************************************

පෙළ පොත් කට්ටල 1017ක් කහවත්තේ පොත්හලකින් හමුවේ

(03.09.2020 – 10:32 +0530 – hirunews.lk/sinhala)

රජය විසින් පාසල් දරුවන් සඳහා නොමිලේ බෙදා දෙන පෙළ පොත් කට්ටල 1075 ක් පොලිස් විශේෂ කාර්ය බලකාය සොයාගෙන තිබෙනවා. ඒ කහවත්ත – නගරයේ පිහිටි පැරණි පොත් සහ පුවත්පත් මිලදී ගැනීම් සහ විකිණීම් සිදු කරන ස්ථානයකදීයි.

දෙමළ පාසල්වල හයේ (6) සිට 11 වන ශ්‍රේණි දක්වා 2020 පාසල් වාරය සඳහා ලබා දීමට මෙම පෙළපොත් මුද්‍රණය කර ඇත්තේ 2019 වසරේ බවයි හෙලිව ඇත්තේ.

අදාළ අලෙවිසැලේ හිමිකරු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ සඳහා කහවත්ත පොලිස් ස්ථානය වෙත බාර දී තිබෙනවා ෴

*********************************************

නැගෙනහිර මුහුදේ ඉන්ධන නෞකාවක ගින්නක්

(03.09.2020 – 11:01 +0530 – hirunews.lk/sinhala)

සංගමන්කන්දේ සිට නාවික සැතපුම් 40 ක් පමණ නැගෙනහිරට වන්නට වන මුහුදේ කුවේට් රාජ්‍යයේ සිට ඉන්දියාව බලා යාත්‍රා කරමින් තිබූ ඉන්ධන රැගත් නෞකාවක ගින්නක් හටගෙන තිබෙනවා.

නාවික හමුදාව සඳහන් කළේ පැනමා රාජ්‍යයට අයත් නෞකාවක මෙම ගින්න හටගෙන ඇති බවයි.

ඒ අනුව අදාළ මුහුදු ප්‍රදේශයට නෞකා 3 ක් පිටත් කර යැවූ බව නාවික හමුදාව කියා සිටියා ෴

+++++++++++++++++++++

*********************************************

03.09.2020 දින කැබිනට් මාධ්‍ය හමුව

(03.09.2020 – 10:01 +0530 – sinhala.adaderana.lk)

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව මේ වනවිට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වේ.

සමකැබිනට් ප්‍රකාශවරුන් වන අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, අමාත්‍ය උදය ගම්මන්පිල හා අමාත්‍ය රමේෂ් පතිරණ යන මහත්වරු මාධ්‍ය හමුවට එක්ව සිටි.

එහි සජීවි දර්ශන පහතින් දැක්වෙයි :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *