ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදේ පැනමා ධජය සහිත New Diamond තෙල් නෞකාවේ ඇතිවූ ගින්න

ගිනිගැනීමට ලක්වන නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු බේරා ගැනේ

ගිනි ගැනීමට ලක් වූ නෞකාවේ තුවාල ලැබූ කාර්ය මණ්ඩල සේවකයා ගොඩබිමට රැගෙන එයි

ගින්නට හසුවූ නෞකාවේ ගින්න නිවන්න නාවික හමුදාව සමඟ රුසියාව සහ ඉන්දියාවත් එක්වෙයි

මාධ්‍ය නිවේදනය 1 : පැනමා ධජය සහිත New Diamond තෙල් නෞකාවේ ගින්නක් ඇතිවීම

මාධ්‍ය නිවේදනය 2 : පැනමා ධජය සහිත New Diamond තෙල් නෞකාවේ ගින්නක් ඇතිවීම

මාධ්‍ය නිවේදනය 3 : පැනමා ධජය සහිත New Diamond තෙල් නෞකාවේ ගින්නක් ඇතිවීම

මාධ්‍ය නිවේදනය 4 : පැනමා ධජය සහිත New Diamond තෙල් නෞකාවේ ගින්නක් ඇතිවීම

SLAF First to Respond to Distress Call of MT New Diamond Oil Tanker

ගිනිගෙන දැවෙන නෞකාවෙන් තෙල් කාන්දු වීමේ කිසිදු අවදානමක් නෑ

නෞකාවේ ගින්න පාලනයට තවත් නැව් 9 ක් – ශ්‍රී ලංකාවට ඉන්ධන ගලා ඒමේ අවදානමක් තවමත් නැහැ

නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න පාලනය කරයි

ගින්න පාලනය කළ නිව් ඩයමන්ඩ් නෞකාව නාවික සැතපුම් 40 දුරට රැගෙන යයි

*********************************************

ගිනිගැනීමට ලක්වන නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු බේරා ගැනේ

(03.09.2020 – 13:28 +0530 – hirunews.lk/sinhala)

නැගෙනහිර මුහුදේ ගිනිගැනීමට ලක්ව ඇති ‘එම්.ටී. නිව් ඩයමන්ඩ්’ නෞකාවේ සිටින කාර්ය මණ්ඩල සාමාජිකයෙකු මුදා ගත් බව නාවික හමුදාව ප්‍රකාශ කළා.

එහි මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා කියා සිටියේ ගින්නෙන් පිලිස්සුම් තුවාල ලැබූ ඔහු කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් රෝහල් ගත කිරීමට කටයුතු කරන බවයි.

ගින්න ඇතිවන අවස්ථාවේ නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් විසි තුන්දෙනෙකු (23) සිට ඇති අතර, පසුව ඔවුන් නිරුපද්‍රිතව මෙම නෞකාව අසළින් යාත්‍රා කරමින් තිබූ වෙනත් නෞකාවකට රැගෙන ගොස් තිබෙනවා.

මෙම නෞකාවේ බොරතෙල් මෙටි‍්‍රක් ටොන් 2,70,000 ක් පවතින නිසා තෙල් විසුරුමක් සිදුවුවහොත් ඊට මුහුණදීම සඳහා පූර්ව ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.

මෙම නෞකාව නිරීක්ෂණය සඳහා ගුවන් හමුදාවට අයත් නිරීක්ෂණ යානාවක්ද එම ස්ථානයට පිටත්ව ගොස් තිබෙනවා.

එමෙන්ම, නෞකාවේ ගින්න පාලනය කිරීමට හැකියාවක් පවතින්නේ දැයි සොයා බැලීම සඳහා එම්.අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරයක් ද අනුරාධපුර ගුවන් හමුදා කඳවුරෙන් එම ස්ථානයට පිටත් කර ඇති බවයි ගුවන් හමුදාව සදහන් කළේ.

ගින්න නිවීම සඳහා අවශ්‍ය උපකරණ ද එමගින් රැගෙන ගොස් තිබෙනවා.

සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38 ක් දුරින් මුහුදේ යාත්‍රා කරමින් තිබියදී අදාළ නෞකාවේ ගින්න හට ගත්තේ අද (03) උදෑසන කාලයේයි.

+++++++++++++++++++++

*********************************************

ගිනි ගැනීමට ලක් වූ නෞකාවේ තුවාල ලැබූ කාර්ය මණ්ඩල සේවකයා ගොඩබිමට රැගෙන එයි

(03.09.2020 – 17:00 +0530 – hirunews.lk/sinhala)

බොරතෙල් මෙට්‍රික් ටොන් 2,70,000 ක් රැගෙන යාත්‍රා කරමින් සිටියදී නැගෙනහිර මුහුදේ ගිනිගැනීමට ලක්ව ඇති ‘එම්.ටී. නිව් ඩයමන්ඩ්’ නෞකාවේ සිටියදී නාවික හමුදාව මුදා ගත් තුවාල ලබා සිටි කාර්ය මණ්ඩල සාමාජිකයා කල්මුණේට රැගෙන විත් තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා කියා සිටියේ ගින්නෙන් පිලිස්සුම් තුවාල ලැබූ ඔහු කඩිනමින් රෝහල් ගත කිරීමට පියවර ගන්නා බවයි.

ගිනි ගැනීමට ලක්වූ නෞකාවේ කපිතාන්වරයා සහ තවත් කාර්ය මණ්ඩල සාමාජිකයෙකුද මෙහෙයුම සඳහා එක්ව සිටින නාවික හමුදාවේ නෞකාවකින් ගලවා ගත්තා.

එසේම, නෞකාවේ ගින්න මැඩපැවැත්වීම සඳහා සිදුකරන මෙහෙයුම්වලට සහය ලබා ගැනීම සඳහා හම්බන්තොට වරායේ නැංගුරම්ලා තිබූ රුසියානු යුද නෞකා දෙකක් (2) ද පිටත් කර යැවූ බව නාවික හමුදාව ප්‍රකාශ කළා.

ඔවුන්ගෙන් සිදුකළ ඉල්ලීමකට අනුවයි පසුගියදා හම්බන්තොට වරායට සේන්දු වූ ‘අද්මිරාල් ට්‍රිබක්’ සහ ‘අද්මිරාල් විනොග්‍රදොව්’ යන නෞකා මෙම මෙහෙයුම සඳහා එක්ව ඇත්තේ.

ගින්න ඇතිවන අවස්ථාවේ නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් විසි තුන්දෙනෙකු (23) සිට ඇති අතර, ඔවුන්ගෙන් 19 දෙනෙකු නාවික හමුදාවේ උපදෙස් මත වෙළඳ නෞකාවක් මගින් ගලවා ගත්තා.

ඔවුන් මේ වනවිට ත්‍රිකුණාමලය වෙත රැගෙන යමින් සිටිනවා.

සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38 ක් දුරින් මුහුදේ යාත්‍රා කරමින් තිබියදී අදාළ නෞකාවේ ගින්න හට ගත්තේ අද (03) උදෑසන කාලයේයි.

මේ අතර සංගමන්කන්දේ සිට නාවික සැතපුම් 40 ක් පමණ නැගෙනහිරට වන්නට වන මුහුදේ ගිණි ගත් ඉන්ධන නෞකාවේ ඡායාරූප රැසක් ගුවන් හමුදාව විසින් මාධ්‍යට නිකුත් කර තිබෙනවා.

මෙම නෞකාව කුවේට් රාජ්‍යයේ සිට ඉන්දියාව බලා යාත්‍රා කරමින් තිබූ ඉන්ධන රැගත් නෞකාවක් බවයි තොරතුරු වාර්තා වුණේ.

*********************************************

ගින්නට හසුවූ නෞකාවේ ගින්න නිවන්න නාවික හමුදාව සමඟ රුසියාව සහ ඉන්දියාවත් එක්වෙයි

(03.09.2020 – 19:43 +0530 – hirunews.lk/sinhala)

බොරතෙල් මෙට්‍රික් ටොන් 2,70,000 ක් රැගෙන යාත්‍රා කරමින් සිටියදී ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ ‘එම්.ටී. නිව් ඩයමන්ඩ්’ නෞකාවෙන් ඉන්ධන කාන්දුවීම මේ වනවිට ආරම්භ වී ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කළා.

එහි සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා ධීවරයින්ට දැනුම් දෙන්නේ එම නෞකාව පවතින ප්‍රදේශයේ ධීවර කටයුතු සඳහා ගමන් කිරීමෙන් වළකින ලෙසයි.

කෙසේ වෙතත්, ගින්න නිවීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් යාත්‍රා මෙන්ම ඉන්දීය සහ රුසියානු නාවික යාත්‍රාද එක්ව සිටිනවා.

ග්‍රීසියේ නෞකා සමාගමකට අයත් පැනමා රජය යටතේ ලියාපදිංචි මෙම නෞකාව ඉන්දීය ඔයිල් සමාගම විසින් කුලියට ලබාගෙන ඇති බව හින්දු පුවත්පත වාර්තා කළා.

එය කුවේට් හි මිනා අල් අහමදි වරායේ සිට බොරතෙල් රැගෙන ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ පිහිටි පරදීප් වරාය වෙත ගමන් ආරම්භ කර ඇත්තේ පසුගිය 23 වැනිදායී.

දිගින් මීටර් 333 ක් සහ මීටර් 60 ක පළලකින් යුතු මෙම නෞකාවේ එන්ජින් කාමරය තුළ අද (03) පෙරවරු 07:30 ට පමණ ගින්න හටගෙන ඇත්තේ සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38 ක දුරින් ගැඹුරු මුහුදේ යාත්‍රා කරමින් සිටියදීයි.

ඒ බව අසලින් ගමන්ගත් ‘හෙලේන් එම්’ වෙළඳ නෞකාව මගින් ශ්‍රී ලංකා නාවික හමුදාවට දැනුම් දී තිබෙනවා.

අනතුරුව නාවික හමුදාවේ ‘සයුර’ සහ ‘රණරිසි’ නෞකාවන් ත්‍රිකුණාමල වරායෙන් පිටත් කර යැවුණු අතර, ඩෝරා යාත්‍රාවක්ද ඒ දෙසට යැවීමටයි නාවික හමුදාව පියවර ගනු ලැබුවේ.

අද (03) පස්වරුවේ එම මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ‘සිදුරල’ නෞකාවද හම්බන්තොට වරායෙන් පිටත්ව ගියා.

එසේම, පසුගියදා හම්බන්තොට වරායට සේන්දු වූ රුසියාවට අයත් ‘අද්මිරාල් ට්‍රිබක්’ සහ ‘අද්මිරාල් විනොග්‍රදොව්’ යන යුද නෞකා දෙක (2) ද නාවික හමුදාවේ ඉල්ලීම මත එම ස්ථානය වෙත මේ වනවිට පිටව ගොස් තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය අද (03) පස්වරුවේ වාර්තා කළේ ගින්න හටගෙන ඇති නෞකාව දෙසට ඉන්දීය වෙරළාරක්ෂක බලකායට අයත් නෞකා 03 ක් මෙන්ම නිරීක්ෂණ ගුවන් යානයක්ද යොමුකළ බවයි.

එසේම, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එම්.අයි. 17 සහ බෙල් 212 වර්ගයේ යානා දෙකක් (2) ගින්න මැඩ පැවැත්වීමේ මෙහෙයුම් සඳහා එක්කර තිබෙනවා.

අනුරාධපුරයෙන් සහ හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරුවලින් පිටත් වූ එම යානාවලට අමතරව ‘බීච් ක්‍රාෆ්ට්’ ගොඩබිම් නිරීක්ෂණ යානාවක්ද ගින්න ඇති වූ නෞකාවට ඉහළින් මේ වනවිට රඳවා ඇත්තේ නවතම තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහායී.

‘එම්.ටී. නිව් ඩයමන්ඩ්’ නෞකාවේ කාර්ය මණ්ඩලය ග්‍රීක ජාතිකයින් 05 දෙනෙකුගෙන් සහ පිලිපීන ජාතිකයින් 18 දෙනෙකුගෙන් සමන්විත අතර, මේ වනවිට ඉන් විසි දෙදෙනෙකු (22) ගලවාගෙන තිබෙනවා. පිලිපීන ජාතික එක් කාර්ය මණ්ඩල සාමාජිකයෙකු අතුරුදන් වී ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.

ගින්න මුලින්ම දුටු ‘හෙලේන් එම්’ වෙළඳ නෞකාව මගින් ගිනි ගැනීමට ලක්වූ නෞකාවේ සිටි 19 දෙනෙකු ගලවාගත් අතර, ඔවුන් මේ වනවිට ත්‍රිකුණාමලය වෙත රැගෙන එමින් සිටිනවා.

‘එම්.ටී. නිව් ඩයමන්ඩ්’ නෞකාවේ කපිතාන්වරයා සහ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ‘සයුර’ නෞකාව මගින් මුදාගෙන ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා කියා සිටියේ.

‘රණරිසි’ නෞකාව තුවාල ලබා සිටි කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ගලවාගෙන කල්මුණේ වෙත රැගෙනවිත් තිබෙනවා.

ඉන් අනතුරුව ඔහු රෝහල්ගත කිරීමට පියවර ගැනුණා.

මේ අතර, මෙම නෞකාව සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා නාරාහේන්පිට පිහිටි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ අද (03) පස්වරුවේ විශේෂ රැස්වීමක් පැවැත්වුණා.

ඊට ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් නියෝජිතයින් එක්ව සිටියා.

කෙසේ වෙතත්, මීට ටික වේලාවකට පෙර හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා කියා සිටියේ නෞකාවේ ගබඩා කර ඇති ඉන්ධන මුහුදට කාන්දු වීම මේ වනවිට ආරම්භ වී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් විශේෂයෙන් ධීවර කටයුතුවල නිරත ජනතාව අවධානය යොමු කළ යුතු බව ඔහු සඳහන් කළා.

*********************************************

මාධ්‍ය නිවේදනය 1 : පැනමා ධජය සහිත New Diamond තෙල් නෞකාවේ ගින්නක් ඇතිවීම

(03.09.2020 – 18:00 +0530 – navy.lk/si/)

ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38 ක් දුර මුහුදේ යාත්‍රා කරමින් තිබූ නිව් ඩයමන්ඩ් (MT New Diamond) නැමති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ප්‍රධාන යන්ත්‍ර කාමරයේ ‍බොයිලේරුවක සිදුවූ පිපිරුමක් සමඟ ගින්නක් ඇතිවී ඇති බවට ලද ආපදා සංඥාවකට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, එම ඉන්ධන නෞකාව වෙත සහන සැළසීම සඳහා හදිසි සහන සැළසීමේ නෞකා කණ්ඩායමක් එම මුහුදු ප්‍රදේශය වෙත පිටත් කිරීමට අද (2020 සැප්තැම්බර් 03) කටයුතු කරන ලදි.

කොළඹ පිහිටි සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (MRCC) වෙත ලැබුණු මෙම ආපදා සංඥාවට අනුව, නැ‍ගෙනහිර මුහුදේ ආපදාවටපත් මෙම ඉන්ධන ප්‍රවාහන නෞකාවේ කාර්ය මණ්ඩලය ග්‍රීක ජාතිකයන් 05 ක් හා පිලිපීන ජාතිකයන් 18 ක් ඇතුළුව 23 කගෙන් සමන්විත වන අතර පැනමා ධජය යටතේ මෙම නෞකාව ලියාපදිංචි වී ඇත (IMO-9191424). මෙම නෞකාව කුවේට් රාජ්‍යයේ මීනා අල් අහමදි වරායේ සිට ඉන්දියාවේ පරදිප් වරාය වෙත බොරතෙල් මෙට්‍රික් ටොන් 2,70,000 ක් ප්‍රවාහනය කරමින් තිබියදී මෙලෙස ආපදාවට පත්ව ඇති අතර එම නෞකාවේ භාවිතය සඳහා අවශ්‍ය ඩීසල් මෙට්‍රික් ටොන් 1700 ක ප්‍රමාණයක්ද නෞකාවේ ගබඩා කර ඇති බව වාර්තාවී ඇත.

මෙහිදී නාවික හමුදාවට අයත් රණරිසි නෞකාව, ආපදාවට පත් නෞකාව වෙත ළඟාවී නාවික හමුදා මුදවා ගැනීමේ කණ්ඩායම් එම නෞකාව වෙත ගොඩබස්වා අනතුර හේතුවෙන් තුවාල ලබා සිටි පිලිපීන ජාතිකයෙකු වන එම නෞකාවේ තෙවන ඉංජිනේරු නිලධාරියා නෞකාවෙන් මුදවා ගැනීමෙන් අනතුරුව කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රථිකාර සඳහා කල්මුණේ රෝහල වෙත යොමු කිරීමට කටයුතු කරන ලදි. නෞකාව ආපදාවට පත්වන අවස්ථාවේ ඒ අසල යාත්‍රා කරමින් තිබූ විදේශීය නෞකාවක් වන එම්වී හෙලන් එම් (MV Helen M) නෞකාව ආපදාවටපත් නෞකාවේ කාර්යමණ්ඩලයේ ග්‍රීක ජාතිකයින් 03 ක් සහ පිලිපීන ජාතිකයින් 16 ක් බේරා ගැනීමට සමත් වූ අතර, එම බේරාගත් පිරිස නාවික හමුදාව මගින් ආරක්‍ෂිතව ගොඩබිම වෙත රැගෙන ඒමට නියමිතව ඇත. තවද, ආපදාවට පත් නෞකාවේ කපිතාන් සහ තවත් කාර්යමණ්ඩල සාමාජිකයෙකු නාවික හමුදා සයුර නෞකාව මගින් ආරක්‍ෂිතව මුදවාගෙන ඇති අතර, ආපදාවට පත් නෞකාවේ එක් පිලිපීන් ජාතික නාවිකයෙකු අනතුරෙන් පසුව මේ වන තෙක් සොයා ගැනීමට හැකිවී නොමැත.

එසේම මෙම අවස්ථාවේදී ආපදාවට පත් නෞකාව වෙත සහය වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා නෞකාවන් තුනක් (03) සහ වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදවා ඇති අතර, ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ටග් යාත්‍රාවන් දෙකක්ද (02) හම්බන්තොට වරායෙන් මෙම ආපදාවට පත් නෞකාවට සහය වීම සඳහා මේ වන විට පිටත්ව ගොස් ඇත. තවද, පසුගියදා සැපයුම් අවශ්‍යතාවයන් සඳහා හම්බන්තොට වරාය වෙත පැමිණි රුසියානු සමූහාණ්ඩුවට අයත් යුධ නෞකාවන් ද්විත්වයක්ද (02) මෙම මෙහෙයුම සඳහා මේ වන විට හම්බන්තොට වරායෙන් පිටත්වී ඇති අතර, ඉන්දියානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ‘සෞර්යා’ නෞකාව එම ස්ථානයට ළඟාවී ගින්න නිවීම ආරම්භ කර ඇත. තවද, ඉන්දියානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් තවත් නෞකාවක් (01) සහ ඉන්දීය නාවික හමුදාවට අයත් යුධ නෞකාවන් තුනක්ද (03) සහන සැලසීම හා ආපදා කළමණාකරනය සඳහා මෙම ස්ථානයට ළඟා වෙමින් පවතී.

එමෙන්ම, පවතින කොවිඩ් 19 අවධානම් තත්වය යටතේ සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් වලට අනුකූලව මෙලෙස මුදවාගත් ආපදාවට පත් නෞකා කාර්යමණ්ඩලයේ පිරිස් ගොඩබිම වෙත රැගෙන ඒමෙන් පසු නියමිත සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ප්‍රථිකාර සඳහා යොමු කිරීමට සහ හුදෙකලා කිරීමට කටයුතු සූදානම් කර ඇත.

තවද, මෙම ආපදා තත්වය හේතුවෙන් සිදුවිය හැකි තෙල් කාන්දුවීමේ අවධානම අවම කිරීම සහ කළමණාකරනය කිරීම සඳහා නාවික හමුදාව, ‍ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, සමුද්‍රීය පරිසර ආරක්‍ෂක අධිකාරිය ඇතුළු පාර්ශවකරුවන් මේ වන විට අවශ්‍ය පියවර ගනිමින් සිටී.

අන්තර් ජාතික සම්මුතීන් යටතේ ඇති ජාත්‍යාන්තර බැඳීම් අනුව ශ්‍රී ලංකාවට අයත් සාගරික සෙවීම් සහ මුදවා ගැනීම් කළාපය තුල මෙහෙයුම් සිදු කිරීමේ වගකීම ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරී ඇති අතර, මීට පෙරද නාවික හමුදාව මෙම කළාපය තුල ආපදාවට පත් වූ නෞකාවන් සහ යාත්‍රාවන් වෙතින් ලැබුණු ආපදා සංඥා ගණනාවකට ප්‍රතිචාර දක්වමින් එම නෞකා සහ යාත්‍රාවන් වෙත අවශ්‍ය සහය ලබාදීමට කටයුතු කර ඇත.

*********************************************

මාධ්‍ය නිවේදනය 2 : පැනමා ධජය සහිත New Diamond තෙල් නෞකාවේ ගින්නක් ඇතිවීම

(04.09.2020 – 06:00 +0530– navy.lk/si/)

2020 සැප්තැම්බර් 03 වන දින 1800 පැයට ‘පැනමා ධජය සහිත New Diamond තෙල් නෞකාවේ ගින්නක් ඇතිවීම’ යන ශීර්ෂය යටතේ නිකුත් කල මාධ්‍ය නිවේදනය හා සබැ‍ඳේ

ශ්‍රී ලංකා නැගෙනහිර මුහුදු කළාපයේ සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38 ක් දුර මුහුදේ යාත්‍රා කරමින් තිබූ නිව් ඩයමන්ඩ් (MT New Diamond) නැමති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ප්‍රධාන යන්ත්‍ර කාමරයේ ‍බොයිලේරුවක 2020 සැප්තැම්බර් 03 වන දින උදෑසන 0800 පැයට පමණ සිදුවූ පිපිරුමක් සමඟ ඇති වූ ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ඉන්දියානු නාවික හමුදාව සහ ඉන්දීය වෙරළ ආරක්‍ෂක බලකාය ඒකාබද්ධව කටයුතු කරමින් සිටී.

ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් එම්අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මෙම ගින්න පාලනය කිරීම සඳහා ගුවනින් ජලය දැමීමේ ගුවන් මෙහෙයුම් වාර කිහිපයක් පෙර දින හිරු බැස යාම තෙක් සිදු කළ අතර, බීච් ක්‍රාෆ්ට් යානාවක් මගින් වරින් වර ගුවනින් අවශ්‍ය නිරීක්‍ෂණ කටයුතු සිදු කරනු ලබයි. එමෙන්ම ඉන්දියානු වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ඩ්‍රෝනියර් යානයක් ද මෙම ආපදා තත්වය ගුවනින් නිරීක්‍ෂණය කරනු ලැබීය.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සයුර, සිඳුරළ සහ රණරිසි නෞකා සමගින් වේග ප්‍රහාරක යාත්‍රා දෙකක් (2) මෙම ආපදා තත්වය කළමණාකරණය කිරීමේ මෙහෙයුමට යොදවා තිබේ. 2020 සැප්තැම්බර් 03 වන දින සවස් කාලයේදී ආපදාව සිදුවූ නෞකාව අසලට ලඟාවූ ඉන්දීය වෙරළාරක්‍ෂක සෞර්යා (ICGS Shaurya) නෞකාව ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ සමඟ එක්ව ආපදාවට ලක්වූ නෞකාවේ දෙපස සිට සිසිලන ආවරණය ලබාදීම ආරම්භ කරන ලදි. එමෙන්ම අද දින (2020 සැප්තැම්බර් 04) අළුයම් කාලය වන විට හම්බන්තොට වරායෙන් පිටත් වූ රාවණා සහ වසඹ යන ටග් යාත්‍රා දෙක අළුයම 0100 පැය සහ 0300 පැය වන විටත් සහ ආපදාවට පත්වූ නෞකාව අයත් විදේශීය සමාගම මගින් සූදානම් කරන ලද ALP Winger යන ටග් යාත්‍රාවක් අළුයම 0200 පැයට පමණ මෙම මෙහෙයුමට එක්විය. තවද, අද (2020 සැප්තැම්බර් 04) අළුයම 0200 පැයට පමණ ඉන්දියානු නාවික හමුදාවට අයත් යුධ නෞකාවක් වන ශෙහාද්‍රි (INS Sahyadry) නෞකාවද මෙම ආපදා කළමණාකරණ මෙහෙයුමට එක්වූ අතර, තවත් ඉන්දියානු වෙරළ ආරක්‍ෂක නෞකා දෙකක් (02) අද දින දහවල් කාලය වන විට මෙම මෙහෙයුම් සඳහා එක්වීමට නියමිතය. මේ අතර, මෙම ‍ආපදා සහන මෙහෙයුම සඳහා සහභාගී වූ රුසියානු නෞකා ද්විත්වය අවශ්‍ය සහයෝගය ලබා දී 2020 සැප්තැම්බර් 03 වන දින සවස් භාගයේදී එම මුහුදු ප්‍රදේශයෙන් පිටත්ව ‍යන ලදි.

එමෙන්ම හෙලන් එම් (Helen M) වෙළඳ නෞකාවේ රැදී සිටි ආපදාවට පත් ‍නෞකාවේ කාර්යමණ්ඩලයේ 19 දෙනා ඇතළුව 21 දෙනෙකු මේ වන විට නාවික හමුදා නෞකා‍ වෙත රැගෙන සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුව වෙන් කර තබා ඇති අතර, අනතුර හේතුවෙන් තුවාල ලබා සිටි එම නෞකාවේ තෙවන ඉංජිනේරු නිලධාරියා කල්මුණේ රෝහල වෙත යොමුකර ප්‍රතිකාර කිරීමෙන් පසු ඔහුගේ සෞඛ්‍ය තත්වය ස්ථාවරව පවතී. ඒ අනුව, 23 ක් වූ අනතුරට පත් නෞකා කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් අතරින් 22 ක් මුදවා ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්වී ඇති අතර, එම කාර්මණ්ඩලයේ සිටි පිලිපීන් ජාතික නාවිකයෙකු බොයිලෙරු පිපිරීමෙන් මරණයට පත්ව ඇති බව නෞකා කාර්ය මණ්ඩලයේ මූලික තොරතුරු අනුව තහවුරු වී ඇත.

තවද, මෙම නෞකාවේ ඇති වූ ගින්නෙන් එහි ගබඩා කර ඇති මෙට්‍රික්ටෝන් 2,70,000 ක් වූ බොරතෙල් සංචිතයට මේ වන තෙක් කිසිදු බලපෑමක් සිදු වී නොමැති අතර ගින්න එම බොරතෙල් සංචිත ගබඩාවන් වෙත පැතිරයාම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටී. එමෙන්ම මෙම ආපදා තත්වය හේතු කරගෙන එම නෞකාවෙන් මුහුදට තෙල් කාන්දු වීමේ කිසිදු අවදානමක් මේ වන තෙක් ඇති වී නොමැති අතර, තෙල් කාන්දු වීමේ තත්වයක් ඇති වුවහොත්, එයින් සිදු වන හානිය අවම කිරීමට හා එ‍මගින් ඇතිවිය හැකි තත්වයන් පාලනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව, ‍ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, සමුද්‍රීය පරිසර ආරක්‍ෂක අධිකාරිය, ඇතුළු පාර්ශවකරුවන් මේ වන විට අවශ්‍ය පියවර ගැනීමට සූදානම්ව සිටී.

ආපදාවට පත් බොරතෙල් නෞකාව අද උදෑසන 0500 පැය වන විට ආසන්නම ගොඩබිම සිට නාවික සැතපුම් 25 ක් (දල වශයෙන් 50 km) පමණ දුරකින් මීටර් 3100 ක ගැඹුරු මහ මුහුදේ ඇත. අද (04) උදෑසන 0530 පැය වන විට ශ්‍රී ලංකා නාවික හමුදාවේ ප්‍රධාන නෞකා තුනක් (3), වේග ප්‍රහාරක යාත්‍රා දෙකක් (2), ඉන්දීය වෙරළාරක්‍ෂක නෞකාවක්, ඉන්දීය නාවික හමුදා නෞකාවක් සහ ටග් යාත්‍රා තුනක් (3) ආපදාවට ලක් වූ නෞකාව සමීපයේ ඇත. අද (04) දින අළුයම 0530 පැයේ සිට ගුවන් මගින් ද ගිනි නිවන කටයුතු නැවත ආරම්භවීමට නියමිතය. ආපදාවට ලක් වූ නෞකාවේ පසුපස ඇති පාලක මැදිරි කළාපය (Super structure) තවමත් ගිනිගන්නා අතර එය නෞකාවේ බොරතෙල් ගබඩා කර ඇති කළාපයට බලපෑමක් ඇති කර නොමැත. නෞකාවේ සැළැස්ම අධ්‍යනය කර මෙම ගිනි නිවීමේ කටයුතු එම නෞකාවේම ග්‍රීක ජාතික කපිතාන්වරයාගේ උපදෙස් මත මුහුදු ගිනි නිවාරණය පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති නාවික හමුදා කණ්ඩායම් මගින් සිදු කරනු ලැබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව මෙම සිදු වීම පිළිබඳව නැවත තොරතුරු ලබා දීමක් අද (04) දින 1100 පැයට සිදු කරනු ඇත.

+++++++++++++++++++++

(03.09.2020 – 19:43 +0530)

*********************************************

මාධ්‍ය නිවේදනය 3 : පැනමා ධජය සහිත New Diamond තෙල් නෞකාවේ ගින්නක් ඇතිවීම

(04.09.2020 – 11:00 +0530– navy.lk/si/)

2020 සැප්තැම්බර් 04 වන දින 0600 පැයට ‘පැනමා ධජය සහිත New Diamond තෙල් නෞකාවේ ගින්නක් ඇතිවීම’ යන ශීර්ෂය යටතේ නිකුත් කල මාධ්‍ය නිවේදනය හා සබැ‍ඳේ

2020 සැප්තැම්බර් 03 වන දින උදෑසන 0800 පැයට පමණ එම්ටී නිව් ඩයමන්ඩ් (MT New Diamond) නැමති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇති වූ ගින්න පැතිරීම පාලනය කිරීම සඳහා මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ඉන්දියානු නාවික හමුදාව සහ ඉන්දීය වෙරළ ආරක්‍ෂක බලකාය ඒකාබද්ධව තවදුරටත් කටයුතු කරමින් සිටී.

ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් එම්අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මෙම ගින්න පාලනය කිරීම සඳහා ගුවනින් ජලය දැමීමේ ගුවන් මෙහෙයුම් වාර අද (04) උදෑසන සිට නැවතත් අඛණ්ඩව සිදු කරමින් පවතින අතර, බීච් ක්‍රාෆ්ට් යානාව මගින් ගින්නේ පැතිරීම ගුවනින් නිරීක්‍ෂණ කර අවශ්‍ය සහාය තවදුරටත් ලබා දෙමින් සිටී.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ සයුර, සිඳුරළ සහ රණරිසි නෞකා සමගින් වේග ප්‍රහාරක යාත්‍රා දෙකක් තවදුරටත් මෙම ආපදා තත්වය කළමණාකරණය කිරීමේ මෙහෙයුමේ නිරතවන අතර, ආපදාවට පත් නෞකාවේ පසුපස මෙහෙයුම් මැදිරි කොටසේ සිට නෞකාවේ බොරතෙල් ගබඩා සංචිත වෙත ගින්න පැතිරීම මේ වනවිට පාලනය කර ඇත. එමෙන්ම, මෙම ගින්න පාලනය කිරීමෙන් පසු හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයට (Hambanthota International Port Group) අයත් රාවණා හා වසඹ යන ටග් යාත්‍රාවන්ද, ආපදාවට පත්වූ නෞකාව අයත් විදේශීය සමාගම මගින් සූදානම් කරන ලද ALP Winger නම් ටග් යාත්‍රාවද යොදා ගනිමින් මෙම නෞකාව ගැඹුරු මුහුද වෙත රැගෙනයාමට සැළසුම් කර ඇත.

තවද, මෙම නෞකාවේ ඇති වූ ගින්න නෞකාවේ තෙල් සංචිත ගබඩා කර ඇති කොටස වෙත පැතිරීම පාලනය කර ඇති බැවින්, එම නෞකාවෙන් මුහුදට තෙල් කාන්දු වීමේ කිසිදු අවදානමක් මේ වන තෙක් ඇති වී නොමැත. එමෙන්ම ගින්න පාලනය කිරීම සඳහා අවශ්‍ය තවත් ගිනි නිවීමේ රසායනික ද්‍රව්‍ය රැගත් ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකාවක් සහ වේග ප්‍රහාරක යාත්‍රාවක් ආපදාවට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත මේ වනවිට කඩිනමින් ළඟා වෙමින් පවතී.

*********************************************

මාධ්‍ය නිවේදනය 4 : පැනමා ධජය සහිත New Diamond තෙල් නෞකාවේ ගින්නක් ඇතිවීම

(04.09.2020 – ??:00 +0530– navy.lk/si/) (වේලාව නැත)

2020 සැප්තැම්බර් 04 වන දින 1100 පැයට ‘පැනමා ධජය සහිත New Diamond තෙල් නෞකාවේ ගින්නක් ඇතිවීම’ යන ශීර්ෂය යටතේ නිකුත් කල මාධ්‍ය නිවේදනය හා සබැ‍ඳේ

එම්ටී නිව් ඩයමන්ඩ් (MT New Diamond) නැමති ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇති වූ ගින්න පැතිරීම පාලනය කිරීම සඳහා තවදුරටත් ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ඉන්දියානු නාවික හමුදාව සහ ඉන්දීය වෙරළ ආරක්‍ෂක බලකාය ඒකාබද්ධව කටයුතු කරමින් සිටින අතර, මෙම ආපදා සහන මෙහෙයුමට සහය වීම සඳහා ඉන්දීය වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් සාරංග් (ICGS Sarang) නෞකාවද මේ වන විට එම ස්ථානය වෙත ලඟා වී ඇත. ගිනි නිවීමේ උපාංග සහ වෘත්තීය ගිනි නිවීමේ විශේෂඥයින්ගෙන් සමන්විත ගැඹුරු මුහුදේ මෙහෙයුම් සිදු කරනු ලබන ටීටීටී 1 (TTT One) නමැති තවත් ටග් යාත්‍රාවක් සහ තවත් ඉන්දියානු වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකාවක්ද අද සවස් කාලයේ මෙම ආපදා සහන මෙහෙයුමට එක්වීමට නියමිතය.

එමෙන්ම, මෙම හදිසි ආපදා තත්වය ජාතික අවශ්‍යතාවයක් සේ සළකා ශ්‍රී ලංකා වරාය අධිකාරිය හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගම (HIPG), කොළඹ නැව් තඨාකාංගණය (CDL), ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සහ ඉන්දියන් ඔයිල් සමාගම (IOC) යන රාජ්‍ය සහ පෞද්ගලික ආයතනයන් මගින් ගිනි නිවීම සඳහා ලබා දුන් රසායනික ද්‍රව්‍ය රැගත් ශ්‍රී ලංකා නාවික නෞකා සමුදුර නෞකාව ත්‍රිකුණාමලය වරායේ සිටත්, ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක බලකායට අයත් සමුද්‍රාරක්‍ෂා සහ සමාරක්‍ෂා යන නෞකාවන් හම්බන්තොට සහ කොළඹ වරායේ සිටත් ආපදා සහන මෙහෙයුමට දායක වීම සඳහා මේ වන විට පිටත් වී ඇත.

දැනට ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකා තුනක් (03) සහ වේග ප්‍රහාරක යාත්‍රා දෙකක් (02), ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එම්අයි 17 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් සහ බීච් ක්‍රාෆ්ට් යානයක්, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගම (HIPG) අයත් රාවණා හා වසඹ යන ටග් යාත්‍රාවන් මෙන්ම ආපදාවට පත්වූ නෞකාව අයත් විදේශීය සමාගම මගින් සූදානම් කරන ලද ALP Winger නම් ටග් යාත්‍රාව සහ ඉන්දියානු වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකා දෙකක් (02) සහ ඉන්දියානු නාවික හමුදාවට අයත් යුධ නෞකාවක් ආපදාවට පත් නෞකාවේ ගිනි නි‍වීමේ මෙහෙයුමේ තවදුරටත් නිරතව සිටී.

තවද, මෙම එම්ටී නිව් ඩයමන්ඩ් (MT New Diamond) නෞකාවේ ඇති වූ ගින්න සැළකිය යුතු ලෙස පාලනය කළ ඹ්නෑම මොහොතක එම නෞකාව ගැඹුරු මුහුද දෙසට ඇදගෙන යාමට සියළු කටයුතු මේ වන විට සූදානම් කර ඇත. දැනට නෞකාව ගොඩබිමට නාවික සැතපුම් 22 කට ආසන්න දුරකින් (කිලෝමීටර 35) දුරකින් රඳවා තබාගෙන ඇත.

*********************************************

SLAF First to Respond to Distress Call of MT New Diamond Oil Tanker

(04.09.2020 09:21 +0530 – airforce.lk)

The SLAF responded to a distress signal received from the MT New Diamond, an oil tanker sailing 38 nautical miles off Sangamankanda Point east of Sri Lanka yesterday (3rd September 2020). The No 3 Maritime Squadron located at the SLAF Academy in China Bay promptly dispatched a Beech King B200 Aircraft. The SLAF Beechcraft was the first to get to the location and provid live situational updates to the SL Navy and other stake holders of the situation.

The distressed oil tanker in eastern seas was manned by 23 crew members including 5 Greeks and 18 Philippine nationals. Further, the tanker was transporting 270,000 metric tons of crude oil from the port of Mina Al Ahmadi in Kuwait to the Indian port of Paradip, when it faced this unfortunate event. It is also reported that 1700 metric tons of diesel required for the use of the tanker is also stored onboard.

In addition to the Beechcraft, an SLAF MI-17 helicopter was deployed yesterday to conduct “Bambi Bucket” operations. The “Bambi Bucket” operation was conducted continuously until last light yesterday evening. At present the SLAF Beechcraft is continuing is aerial surveillance of the situation while an MI-17 helicopter is conducting “Bambi Bucket” operations continuously to support efforts of dousing the fire.

+++++++++++++++++++++

03.09.2020

04.09.2020

+++++++++++++++++++++

(04.09.2020 – 17:26 +0530)

*********************************************

ගිනිගෙන දැවෙන නෞකාවෙන් තෙල් කාන්දු වීමේ කිසිදු අවදානමක් නෑ

(04.09.2020 – 14:23 +0530 – hirunews.lk/sinhala)

ගිනිගෙන දැවෙන නෞකාව මගින් තෙල් ගලා ඒමේ කිසිදු අවදානමක් නොමැති බව මේ වනවිට ප්‍රකාශ කළ හැකි බව නාවික හමුදාව ප්‍රකාශ කරනවා.

ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින්.

ගුවන් හමුදාව මෙහිදී කියා සිටියේ මේ වනවිට ජලය ලීටර් ලක්ෂයකට අධික ප්‍රමාණයක් නැවේ ගින්න මතට හෙළා ඇති බවයි.

නාවික සැතපුම් 22 ක් දුරින් තිබෙන මෙම නෞකාව මෙරට මුහුදු සීමාවෙන් එහාට තල්ලු කරගෙන යාමට සුදානමක් තිබෙන බවද සමුද්‍රීය පරිසර අධිකාරිය මෙහිදී සඳහන් කළා.

එමෙන්ම ඕනෑම තත්වයකට මුහුණ දීමට හැකිවන පරිදි සුදානමක් තිබෙන බවද ඔවුන් කියා සිටියා.

මේ අතර ඉන්දීය වෙරළාරක්ෂක අධිකාරියේ කපිතාන්වරයා ඔවුන්ගේ මුලස්ථානයට කර ඇති වාර්තා කිරීමක් ගැනද මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා.

එනම් නැවේ බඳේ යම් ඇඹරිමක් සිදුව තිබේ, යන්නයි.

එහිදී නාවික හමුදාවේ අධ්‍යක්ෂ ජෙනරාල් (ක්‍රියාන්විත) අවධාරණය කළේ තමන්ටද එම තොරතුරු ලැබුන බවත්, ඒවා විශ්ලේෂණයේදී, එමගින් නැව කැඩී යා හැකි බවට කිසිදු නිගමනයක් ලබාගත නොහැකි බවයි.

නැවේ මීටර් 20 ක් මුහුදු ජලය යට තිබෙන නිසා, නැව කැඩී යාමේ අනතුරක් නොමැති බව ඔහු ප්‍රකාශ කළා.

මෙම නෞකාවේ තත්ත්වයට වගකිව යුත්තන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද සමුද්‍රීය පරිසර අධිකාරිය මෙහිදී සඳහන් කළා.

යම් ආකාරයකින් නෞකාව බිඳී යාමක් සිදුවුවහොත්, එහි ඇති බොර තෙල් පාලනය කරගැනීමේ හැකියාව ඇති බවද නාවික හමුදාවේ අධ්‍යක්ෂ ජෙනරාල් (ක්‍රියාන්විත) මෙහිදී කියා සිටියා.

එවැනි බිඳී යාමක් සිදුවුවහොත්, නෞකාව වටේට එම බොරතෙල් කොටුකර ගැනීමේ හැකියාව හා උපකරණ ශ්‍රී ලංකාව සතු බවද, ඉන්පසුව ඊට රසායනිකයක් යොදා විනාශ කිරීමේ ක්‍රමවේදයක් ඇති බවද ඔහු ප්‍රකාශ කළා.

ඊට අවශ්‍ය ගුවන් යානයක්, අද (04) සවස මත්තල ගුවන් තොටුපළ වෙත ළඟා වන බවයි නාවික හමුදාවේ අධ්‍යක්ෂ ජෙනරාල් (ක්‍රියාන්විත) පැවසුවේ.

ඒ අනුව ජාත්‍යන්තර උපකාර ලැබෙන බවයි ඔහු සඳහන් කළේ.

*********************************************

නෞකාවේ ගින්න පාලනයට තවත් නැව් 9 ක් – ශ්‍රී ලංකාවට ඉන්ධන ගලා ඒමේ අවදානමක් තවමත් නැහැ

(04.09.2020 – 20:02 +0530 – hirunews.lk/sinhala)

සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 22 ක පමණ දුරින් ගැඹුරු මුහුදේ ගිනි ගනිමින් පවතින එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ ඉන්ධන මෙරටට ගලාඒමේ අවදානමක් නොමැති බව නාවික හමුදාව පවසනවා.

ගින්න පාලනය කිරීමේ මෙහෙයුම් සඳහා මේ වනවිට නෞකා 09 ක් යොදවා ඇති අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක බලකාය, ඉන්දීය නාවික හමුදාව සහ ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ නෞකායි එම ඒකාබද්ධ මෙහෙයුම සඳහා එක්ව ඇත්තේ.

ඊට අමතරව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එම්.අයි. 17 සහ බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානා දෙකක් ගින්න මැඩපැවැත්වීම සඳහා යොදවා ඇති අතර, බී 200 යානයක් සහ වයි 12 වර්ගයේ යානයක් නිරීක්ෂණ කටයුතු සඳහා යෙදවීමට පියවර ගෙන තිබෙනවා.

සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38 ක පමණ දුරින් ගැඹුරු මුහුදේ බොරතෙල් මෙටි‍්‍රක් ටොන් දෙලක්ෂ 70,000 ක් රැගෙන යාත්‍රා කරමින් සිටියදී එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ ඊයේ (03) පෙරවරුවේ හටගත් ගින්න තවදුරටත් පාලනය කර නැහැ.

නෞකාවේ හටගෙන තිබෙන ගින්නෙන් එහි ගබඩා කර ඇති බොරතෙල්වලට හානියක් සිදුනොවීමට ඇති අවකාශය ඉහළ බවයි නාවික හමුදාවේ ක්‍රියාන්විත අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් නන්දන ජයරත්න මහතා කියා සිටියේ.

එම මාධ්‍ය හමුවට එක්වූ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි, නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය කියා සිටියේ කිසියම් ආකාරයකින් ඉන්ධන කාන්දුවක් සිදුවුවහොත් ඊට අදාළව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මේ වනවිට නීතිපති උපදෙස් ලබාගනිමින් සිටින බවයි.

එසේම, එහි මූලික පියවරක් ලෙස තිරුක්කෝවිල් පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බවද ඇය කියා සිටියා.

නාවික හමුදාවේ ක්‍රියාන්විත අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් නන්දන ජයරත්න මහතා ගෙන් මාධ්‍ය හමුවට එක්ව සිටි මාධ්‍යවේදීන් නෞකාවේ සිදුව ඇති පැල්මක් සම්බන්ධයෙන් විමසා සිටියා.

ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ නෞකාව දෙකඩ වීමේ හෝ කොටස්වලට වෙන්වීමේ කිසිදු අවධානමක් නොමැති බවයි.

මේ අතර, පැය 24 පුරා ක්‍රියාත්මක ඒකාබද්ධ මෙහෙයුමක් ඔස්සේ අනතුරට පත් එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවෙන් සමුද්‍රීය පරිසරයට ඇතිවිය හැකි හානිය වළක්වා ගැනීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය යටතේ ඇති සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට ඒ සම්බන්ධයෙන් වන සියලූ මැදිහත්වීම් සිදුකරන ලෙසද අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබාදී ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

+++++++++++++++++++++

*********************************************

නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න පාලනය කරයි

(04.09.2020 – 21:53 +0530 – hirunews.lk/sinhala)

නිව් ඩයමන්ඩ් නෞකාවේ හට ගත් ගින්න මේ වනවිට පාලනය කර ඇති බව නාවික හමුදාව පවසනවා.

මේ අතර නෞකාවේ හට ගත් ගින්න මේ වනවිට පාලනය කර ඇති බව ඉන්දිය වෙරළාරක්ෂක බලකාය ද තහවුරු කළා.

එම බලකායේ ට්විටර් ගිණුමෙහි විශේෂ සටහනක් තබමිනුයි මේ බව කියා සිටියේ.

ශ්‍රී ලංකා නාවික සහ ගුවන් හමුදාව එක්ව සිදු කළ මෙහෙයුමකින් මෙම ගින්න පස්වරු 7 ට පමණ සම්පූර්ණයෙන් පාලනය කිරීමට කටයුතු කළ බව ද එහි දක්වා තිබෙනවා.

අම්පාර – සංගමන්කන්දට ඔබ්බෙන් නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමකට ලක් වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවෙන් මේවන විට එළියට විහිදෙන කිසිදු ගිනි දැල්ලක් දර්ශනය නොවන බව නාවික හමුදාව පවසනවා.

ගින්න නිවීමේ ඒකාබද්ධ මෙහෙයුමට දායකවී සිටින ඉන්දීය වෙරළාරක්ෂක බලකායද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ගින්න පාලනය කිරීමට සමත්ව ඇති බවයි.

කෙසේ වෙතත්, රසායනික ද්‍රව්‍ය යොදාගනිමින් සිදුකෙරෙන ගිනි නිවීමේ ඒකාබද්ධ මෙහෙයුම් අද (04) රාත්‍රියේත් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු කළාපයේ ගැඹුරු මුහුදේ යාත්‍රා කරමින් තිබියදී MT නිව් ඩයමන්ඩ් ඉන්ධන ප්‍රවාහන නෞකාවේ බොයිලේරුවක සිදුවූ පිපිරීමකින් මෙම ගින්න හටගත්තා.

ගින්න හටගන්නා අවස්ථාවේ නෞකාව තිබුණේ වෙරළට නාවික සැතපුම් 38 ක්, නැත්නම් කිලෝ මිටර් 70 ක් පමණ දුරින්.

කෙසේ වෙතත් නෞකාවේ එංජිම ක්‍රියාවිරහිත වීමත් සමඟ එය පැයට නාවික සැතපුම් දශම 7 ක් නැත්නම් කිලෝමිටර් 1.2 ක වේගයකින් ගොඩ බිම දෙසට ගසාගෙන ඒම සිදුවුණා.

ඒ අනුව අද (04) පෙරවරු පෙරවරු 5 වන විට ආසන්නම ගොඩබිමේ සිට කිලෝ මීටර් 50 ක් දක්වා මේ ආකාරයෙන් නෞකාව ළඟා වී තිබුණා.

මධ්‍යහ්න 12 පමණ වද්දී නෞකාව තවත් වෙරළට ආසන්න වෙමින් කිලෝ මිටර් 22 ක් දක්වා අසන්න වී තිබුණා.

*********************************************

ගින්න පාලනය කළ නිව් ඩයමන්ඩ් නෞකාව නාවික සැතපුම් 40 දුරට රැගෙන යයි

(05.09.2020 – 10:44 +0530 – hirunews.lk/sinhala)

බොර තෙල් ප්‍රවාහනය කරමින් සිටියදී ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදු ප්‍රදේශයේදී ගිනි ගැනීමට ලක් එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න සම්පූර්ණයෙන් පාලනය කිරීමෙන් අනතුරුව නාවික සැතපුම් 40 ක් ගැඹුරු මුහුද වෙත රැගෙන ගොස් තිබෙනවා.

ඒ අනුව මෙම නෞකාවේ ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා නෞකාව අයත් රක්ෂණ සමාගම් සහ ජාත්‍යන්තර ගලවා ගැනීමේ සමාගම්වල සිව් (4) දෙනෙකුගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් අද (05) දිවයිනට පැමිණීමට නියමිතයි.

මේ අතර, එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ හටගත් ගින්න පාලනය කිරීම සඳහා තම ජීවිත අවදානමට ලක් කරමින් ක්‍රියාන්විතයේ යෙදුණු ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය සහ ඉන්දීය ආරක්ෂක අංශ වෙත සිය හදපිරි ස්තූතිය පිරිනමන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව අම්පාර සංගමන් කන්ද තුඩුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී ගිනි ගැනීමට ලක් වුණේ පසුගිය 03 වැනිදායි.

නෞකාවේ එන්ජින් කාමරයේ බොයිලේරුවක සිදු වූ පිපිරීමකින් මෙම ගින්න හටගෙන තිබූ අතර ඉන් නෞකාවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ගින්න පිලිබද සැළවීමත් සමග ක්‍රියාත්මක වූ නාවික හමුදාව නෞකාව ස්ථානගතව ඇති මුහුදු ප්‍රදේශයට යාත්‍රා කල අතර එදින පස්වරුවේම ගින්න මැඩ පැවැත්වීමේ කටයුතු ආරම්භකළා.

ඒ ගුවන් හමුදාවේද සහය ඇතිවයි.

පසුව ඉන්දීය නාවික හමුදාව ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය ගිනි නිවීමේ කටයුතුවලට එක් වුණා.

දින එක හමාරක් පමණ සිදු කල දැවැන්ත මෙහෙයුමකින් පසු ඊයේ (04) පස්වරු 7 ට පමණ ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කර තිබෙනවා.

එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න සම්පූර්ණයෙන් පාලනය කිරීමට කටයුතු කල බව ඉන්දීය වෙරළ ආරක්ෂක අධිකාරියද සිය නිළ ට්විටර් ගිණුමේ සටහන් කර තිබුණා.

මේ අතර මෙම මෙහෙයුම සඳහා සහය වීම සඳහා ඉන්දීය නාවික හමුදාවට අයත් නාවිකයින් සහ ඉංජිනේරුවන් 22 කු ඊයේ (04) රාත්‍රීයේ ඉන්දියාවේ විශේෂ ගුවන් යානා දෙකකින් (2) මත්තල ගුවන් තොටු පොලට පැමිණියා.

නෞකාව ශ්‍රී ලංකා වෙරළ දෙසට ගසාගෙන ඒම වැළැක්වීම සදහා පියවර ගෙන ඇති අතර එය මේ වන විට නාවික සැතපුම් 40 ක් ගැඹුරු මුහුද දෙසට රැගෙන ගිය බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *