පළාත් සභා ඡන්ද එකම දිනයක පැවැත්වීමට අදාල 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරනය කියලා : කතානායක දැනුම් දෙයි

(19.09.2017 – 13:30 +0530 – lankaenews.com)

පසුගිය මැතිවරණ වලදී ජනතාවට දුන් පොරොන්දුවක් ඉටු කිරීම සඳහා එකම දිනයක පළාත් සභා මැතිවරණ සියල්ල පැවැත්වීමට අදාල නීති සකසා ගැනීම වෙනුවෙන් ආණ්ඩුව ගෙන ඒමට හැදූ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනූකූල නොවන බැවින් ඒවා පාර්ලිමේන්තුවේ තුන් දෙකක වැඩි ඡන්දයෙන් සහ ජන මත විචාරණයකින් සම්මත කරගත යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණ විසින් දැනුම් දී ඇති බව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට අද දැනුම් දෙනු ලැබීය.

20 වැනි සංශෝධනය ගෙන ඒමට උත්සාහ කෙළේ එකම දිනයක සියළුම පළාත් සභාවන්හි ඡන්ද පැවැත්වීමට ය.

සබරගමු, උතුරු මැද සහ නැගෙනහිර පලාත් සභාවන්හි නිල කාලය මේ මාසයෙන් අවසන් වීමට නියමිතව තිබිණ. 20 සංශෝධනය ගෙන එන්නේ නැති නම් එකම දිනයක පළාත් සභා ඡන්ද පැවැත්වීමට ද අවශ්‍ය නම් අනෙකුත් පළාත් සභාවන්හි මහ ඇමැතිවරුන් සහ ආණ්ඩුකාර වරුන්ගේ කැමැත්තෙන් එම පළාත් සභාවන් ද ඉහත පළාත් සභා 3 අවසන් වන දිනයේ දී විසිරුවා හැරිය යුතුය. පළාත් සභා පණත අනුව ජනාධිපතිවරයාට පළාත් සභා කාලය සම්පූර්ණ වීමට පෙර විසිරුවිය නොහැකි අතර එය කළ යුත්තේ එම පළාත් සභාවන්හි යෝජනා අනුව මහ ඇමැතිවරයා විසින් ආණ්ඩුකාර වරයාට දැනුම් දීමෙනි. නමුත් අනෙකුත් පළාත් සභා තම නිල කාලයට පෙර ඒවා විසිරුවා ගැනීමට කැමැත්තක් දක්වයිද යන්න සැකය. මන්ද යත් ඒවායේ බහුතරයක බලය තිබෙන්නේ රාජපක්ෂවාදීන්ට බැවිනි.

මේ අතර පසුගියදා ජනාධිපතිවරයා පවසා තිබුනේ පළාත් සභා ඡන්දයද ආසන මට්ටමින් සහ අනුපාත ක්‍රමය මිශ්‍ර වූ පළාත් පාලන ආයතන සඳහා අනුමත කර ගත් නව ඡන්ද ක්‍රමය අනුව පවත්වනු ලබන බවයි.

ආණ්ඩුව ඡන්ද පොරොන්දුවක් අනුව සැමට සෙත සැදෙන ආකාරයෙන් සියළු පළාත් සභා ඡන්ද එකම දිනයක පැවැත්වීමට හැකි වන පරිදි කටයුතු කිරීමට වෙර දරද්දී විරුද්ධවාදීන් චෝදනා කරන්නේ ආණ්ඩුව ඡන්ද වලට බියේ ඡන්ද කල් දැමීමට සූදානම් වනවා කියා ය.

මේ සියළු දෙයින් පෙනෙන්නේ පැරණි ක්‍රමය වෙනස් කර හොඳ ක්‍රමයක් හදා ගැනීම ලේසි පහසු දෙයක් නොවන බවයි ෴

****************************************

ලලිත්-අනුෂ නිදාගන්නේ තජුඩීන් ඝාතක කැප්ටන් තිස්සගේ දෙපැත්තෙන් : ජොස්තර නිර්මලී බන්ධනාගාර රෝහල හෙවත් ‘කළු තානායමේ‘ නැටූ නාඩගම්..!!
(19.09.2017 – 08:32 +0530 – lankaenews.com)

බන්ධනාගාර රෝහලේ ප්‍ර‍ධාන වෛද්‍ය නිලධාරිනිය වූ ජොස්තර නිර්මලී තේනුවර වහා ක්‍රියාත්මක වන පරිදි කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමෙන් පසු බන්ධනාගාර රෝහලේ නිර්මලී තේනුවර විසින් පවත්වාගෙන ගිය ‘කළු තානායම‘ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා සිද්ධි කිහිපයක් මෙසේ අනාවරණය කරමු.

අනුෂ හා ලලිත් දෙදෙනා දැන් නිදාගන්නේ තාජුඩීන් ඝාතනයේ ප්‍ර‍ධාන සැකකරු තිස්ස විමලසේන හෙවත් ‘කැප්ටන් තිස්ස‘ (මහින්ද රාජපක්ෂ ගේ රියදුරු) මැදි කරගෙනය. ‘දෙන්න දෙපැත්තෙන් සාන්ති මැද්දෙන්‘ කියා අනුෂ හා ලලිත් ඩබල තජුඩීන් ඝාතකයා රැක බලා ගනිති.

තාජුඩීන් පැහැරගෙන රැගෙන ගොස් ඇට කටු කඩා, පණ පිටින් ගිණි තබා මරා දැමූ ‘කැප්ටන් තිස්ස‘ ට ‘සිර සැප‘ දෙන්නට පසුගිය මාර්තු 19 දා සිට නිර්මලී ඔහු බන්ධනාගාර රෝහලේ තබා ගත්තා ය.

ලංකා ඉතිහාසයේ තවත් සුවිශේෂ ඝාතනයක සැකකරු වූ පොලිස් දෙපාර්තමේන්තුවේ ‘සනත් චන්ද්‍ර‍‘ මාර්තු 21 දා සිට ද, නාවික හමුදාවේ ‘වික්‍ර‍මසූරිය‘ අගෝ. 12 දින සිට ද ගත කරන්නේ බන්ධනාගාර රෝහලේ ය. මොවුන්ට ඇති ඉහෙන් බහින ලෙඩක් නැත.

ලලිත් අනුෂට විනාඩි 11 න් ටිකට් ලියූ හැටි

ලලිත් හා අනුෂ දෙදෙනා බන්ධනාගාර නියාමක සමරකෝන් හා හෙට්ටියවත්ත විසින් බන්ධනාගාර ප්‍ර‍ධාන දොරටුවෙන් ඇතුලට ගනු ලැබූයේ සැප් 07 දා ප.ව. 4.04 ට ය. ඒ ගැන ජේලර් දුමින්ද සටහන් තබා ඇත. ජොස්තර නිර්මලී තේනුවර විසින් ලලිත් වීරතුංග පරීක්ෂා කරන්නේ ප.ව. 4.15 ට ය. අනූෂ පැල්පිට පරීක්ෂා කොට ඇත්තේ සවස 5 ට ය. ලලිත් බන්ධනාගාරයට ඇතුලුකර විනාඩි 11 තුල නිර්මලී විසින් මහජන මුදල් ලක්ෂ 6000 ක් වනසා ඡන්ද රෙදි බෙදූ දූෂිතයාගේ වෛද්‍ය පරීක්ෂණය සිදු කර ඇත. (ලලිත්- අනුෂ බන්ධනාගාරයට එන්නත් කළින් බන්ධනාගාර රෝහලට ගෙනියන්න ජොස්තර නිර්මලී තේනුවර බලා සිටියා යැයි අප සැප් 08 දා වාර්තා කෙළේ මේ නිසා ය.)

ජොස්තර නිර්මලී විනාඩි කිහිපයකින් මේ දෙදෙනාට ටිකට් ලියූ නමුත් මේ ගැන රටම බලා සිටි නිසා ඒ මොහොතේම දෙදෙනා රෝහල් ගත කිරීමට හැකිවූයේ නැත. මේ නිසාම දොස්තරලා ගේ වෘත්තීයමය විනිශ්චය ප්‍ර‍ශ්න කළ යුතු නොව් ද? නිර්මලී ගේ වාර්තාව අනුව ලලිත් වීරතුංග රෝහල් ගත කරන විට ඉන්සියුලින් මාත්‍රා 4 ක් ලැබී තිබී නැත. ලලිත් එනතුරු ගේටුවල ලඟ බලා සිට විනාඩි 11 ක් තුල ටිකට් ලියූ නමුත් නිර්මලී හිටපු ලලිත්ට ඉන්සියුලීන් එන්නතක් දෙනු වෙනුවට කර ඇත්තේ රෝහලට ඇතුලත් කිරීමේ ලේඛණ කටයුතු ය.

සැප්. 7 දින නිර්මලී ‘ඔන් කෝල්‘ වෛද්‍යවරිය යි. ප්‍ර‍ධාන ජේලර් මොහාන් කරුණාරත්න ඇය කැඳවීමට දුරකතන ඇමතුමක් දී ඇත්තේ 4.35 ට ය. ඒ ඇමතුමෙන් පසුව බන්ධනාගාරයට පැමිණි නිර්මලී සවස ලලිත් පරීක්ෂා කළා යයි තබා ඇති සටහන් වල ඇත්තේ 4.15ට පරීක්ෂා කළ බවයි. එක්කෝ මේ ජොස්තරවරිය ‘කාල තීර්ථ‘ විය යුතුය. නැතිනම් ‘මැජික් කාරියක්‘ විය යුතුය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *