බදාදා මහජන ගැටළු සඳහා පමණක් වෙන් කරන්න – ජනපතිගෙන් දැනුම්දීමක්

බදාදා මහජන ගැටළු සඳහා පමණක් වෙන් කරන්න – ජනපතිගෙන් දැනුම්දීමක්

ඉරණවිල මුහුදේ හිමිකරුවෙකු නොමැති යාත්‍රා දෙකක් පාවෙයි

පාස්කු කොමිසමේදී හිටපු ජනපති මෛත්‍රීට එරෙහිව චෝදනා

කේරළ ගංජා කිලෝග්‍රෑම් 38 ක් සමඟින් සැකකරුවන් හතරදෙනෙකු (4) අත්අඩංගුවට

එලිපෙහෙලි කළ හන්තානේ ඉඩම තම පෞද්ගලික ඉඩමක් බව කිරිඇල්ල කියයි

මරුවා සමග ජීවත්වන මොරලිය වතුයායේ ජනතාව

දේශීය මැටි කර්මාන්තකරුවාගේ නොවිසඳුන ගැටළුව

පිල්ලෙයාන් ගෙන් පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට පැය පහක (5) ප්‍රකාශයක්

මත්ද්‍රව්‍ය නඩු 2000 කට අධි චෝදනා

20 වන සංශෝධනය ගැසට් කෙරේ – අමාත්‍ය මණ්ඩල සීමා ඉවතට – පාර්ලිමේන්තුව විසුරුවන කාලයත් අඩු වේ

පාස්කු කොමිසමේ සාක්ෂිවල පිටපත් අධිකරණයට කැඳවන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

රුපියල් කෝටි 06 ක කහ, බේරුවල ධීවර වරායෙන් හමුවේ

අපයෝජන සිද්ධියකට වයඹ පළාතේ පාසලක මුරකරුවෙකු අත්අඩංගුවට

නඩු 600 කට වඩා ගොඩගැසී ඇති මහාධිකරණ 4 කට තවත් රජයේ අධි නීතිඥවරයෙක්

*********************************************

බදාදා මහජන ගැටළු සඳහා පමණක් වෙන් කරන්න – ජනපතිගෙන් දැනුම්දීමක්

(03.09.2020 – 14:09 +0530 – hirunews.lk/sinhala)

මහජන දිනය ලෙස බදාදා දිනය හදුනාගෙන ඇති බැවින් වෙනත් කටයුතු කිසිවක් යොදා නොගෙන ජනතාවගේ ගැටළු වලට විසදුම් ලබාදීමට ඇමතිවරුන් සහ රාජ්‍ය නිලධාරින් ක්‍රියාකළ යුතු බව ජනාධිපතිවරයා දැනුම් දි තිබෙනවා.

සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සදහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (03) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදී ජාතික වෙළද ප්‍රතිපත්තියක් ඇති කිරීම සදහා විද්වත් කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවද ඔහු සඳහන් කළා.

ශ්‍රී ලංකාවේ ස්වභාවික වායු පිළිබද ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම සදහා තමන් ඉදිරිපත් කල ප්‍රතිපත්තියට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බවද ඔහු සඳහන් කළා ෴

*********************************************

ඉරණවිල මුහුදේ හිමිකරුවෙකු නොමැති යාත්‍රා දෙකක් පාවෙයි

(03.09.2020 – 13:50 +0530 – hirunews.lk/sinhala)

ඉරණවිල මුහුදේ පාවෙමින් තිබූ හිමිකරුවෙකු නොමැති යාත්‍රා දෙකක් (2) මාරවිල පොලීසිය අද (03) සොයාගත්තා.

ඒ, ප්‍රදේශවාසීන් ලබාදුන් තොරතුරකට අනුවයි.

එම යාත්‍රාවල ලියාපදිංචි අංක මකා දමා තිබූ අතර, කෙසේ වෙතත් පසුව ධීවරයින් විසින් යාත්‍රාවේ තිබූ වෙනත් අංක කිහිපයකින් ඒවායේ අනන්‍යතාව පිළිබඳව හෝඩුවාවක් ලබාදී තිබෙනවා.

ඒ අනුව එම යාත්‍රා දෙක මීගමුවේ ලියාපදිංචි කර ඇති බවටයි තොරතුරු ලැබී ඇත්තේ.

මෙම යාත්‍රා කිසියම් නීතිවිරෝධී ද්‍රව්‍යයක් ප්‍රවාහනය කිරීම සඳහා යොදාගත්තේද යන්න සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර, මීට පෙරද මාරවිල සහ තලවිල මුහුදේ පාවෙමින් තිබූ යාත්‍රා 3 ක් පොලීසිය සොයාගෙන තිබුණා.

අධිවේගී මාර්ගයේ ධාවනය වන බස්රථවලින් පොල් ගෙඩි තුළ සඟවා සිදුකළ හෙරොයින් ජාවාරමක තොරතුරු අනාවරණ කරගැනීමට පොලීසිය සමත්වී තිබෙනවා.

ඒ, මොරගහහේන – උඩුව ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 4 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (2) ඊයේ (02) අත්අඩංගුවට ගැනීමත් සමගයි.

අවුරුදු 43 සහ 24 යන වයස්වල පසුවන සැකකරුවන්ගෙන් මොරගහහේන පොලිසිය කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වන බස් රථවල නැගී පින්නදූව ප්‍රදේශයට ගොස් හෙරොයින් ලබාගන්නා බවයි.

ඒ අනුව පොලිසිය පින්නදූව – බඹරගොල්ල සහ අක්මීමන ප්‍රදේශවලදී සැකකරුවන් තුන්දෙනෙකු (03) අත්අඩංගුවට ගනු ලබනවා.

ඔවුන් පොල්ගෙඩි බිඳ, ඒ තුළට හෙරොයින් සහිත පොලිතින් බෑග් දමා යලි ඒවා අලවා ප්‍රවාහනය කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

එම සැකකරුවන් අධිවේගී මාර්ගයේ බස් රථවල ගමන් කරමින් එම මත්ද්‍රව්‍ය වෙන්නප්පුව සහ හලාවත ප්‍රදේශවලට ප්‍රවාහනය කර ඇති බවටද ප්‍රශ්න කිරීම්වලදී තොරතුරු අනාවරණ වී තිබෙනවා.

එක් පොල් ගොඩියක හෙරොයින් ග්‍රෑම් 100 ක් පමණ බහා මෙලෙස ප්‍රවාහනය කර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා (5) අතර කාන්තාවන් දෙදෙනෙකු (2) ද වන බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර ගල්කිස්ස, රත්මලාන, මොරටුව, දෙහිවල යන ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරතවූ ‘බඩෝවිට වසා’ නැමති පුද්ගලයා ගල්කිස්ස පොලීසිය ඊයේ (02) අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු සතුව තිබී එම අවස්ථාවේදී හෙරොයින් ග්‍රෑම් 4 ක් සහ රුපියල් ලක්ෂ 3 කට ආසන්න මුදලක්ද සොයාගෙන තිබෙනවා.

එසේම නාවික හමුදාව සහ කතරගම පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 699 ක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු ඊයේ (02) අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, තිස්සමහාරාමය, පන්නේගමුව සහ දෙබරවැව ප්‍රදේශවලදියි.

+++++++++++++++++++++

(04.09.2020 – 10:16 +0530 – hirunews.lk/sinhala)

නොරෝච්චෝල ඉලන්තඩිය වෙරළට නාඳුනන යාත්‍රාවක කොටසක් ඊයේ (03) සවස ගොඩ ගසා ඇති බව නොරෝච්චෝල පොලිසිය පවසනවා.

මෙම යාත්‍රාවේ කොටසක් කැඩි ගොස් තිබූ බවත් මෙය ශ්‍රී ලංකාව තුළ භාවිතා නොවන යාත්‍රාවක් බවට පොලිසිය අනාවර්ණය කරගෙන තිබෙනවා.

පොලිසිය පවසන්නේ මෙම යාත්‍රාව ඉන්දියානු යාත්‍රාවක් බවට සැක කරන බවයි.

මෙය දිගින් අඩි 50 කට ආසන්න බවත් ඉන්දීය ධිවරයින් විසින් ධිවර කටයුතු සදහා මෙවැනි යාත්‍රා යොදා ගන්නා බවද ඉලන්තඩිය ධීවරයින් පවසනවා.

අඩක් කැඩි ගිය අදාල යාත්‍රාව ඉලන්තඩිය වෙරළට ගොඩ ගසන අවස්ථාවේදී කිසිදු දෙයක් ඒ තුළ නොතිබු බවත් හිස් යාත්‍රාව පමනක් තිබු බවත් පොලිසිය පවසනවා.

ඊයේ (03) අලුයම තවත් නාදුනන යාත්‍රා දෙකක් මෙලෙසම හලාවත ඉරණවිල වෙරළට ගොඩගසා තිබු අතර එය ශ්‍රී ලංකාව තුළ භාවිතා කරන යාත්‍රාවක් බවට හලාවත පොලිසිය සනාථ කර ගෙන තිබෙනවා.

කෙසේ නමුත් මේ වන විට ඉන්දියාව තුළ කොරෝනා රෝග තත්වය සිග්‍රයෙන් වැඩිවෙමින් පවතින සමයක මෙලෙස වයඹ මුහුදු තිරයට මෙවැනි අභිරහස් යාත්‍රා ගොඩ බිමට පැමිනිම බරපතල සැක සහිත බවත් ඇතැම් විට එසේ ඉන්දියාවේ සිටින පිරිස් මෙලෙස මෙරටට රැගෙන එන ජාවාරමක කොටසක් දැයි පරික්ෂණ පවත්වන කණ්ඩායම් සැක පළ කරයි ෴

*********************************************

පාස්කු කොමිසමේදී හිටපු ජනපති මෛත්‍රීට එරෙහිව චෝදනා

(03.09.2020 – 14:20 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් පසුව හෝ මෙරට වහාබ්වාදීන්ගේ ක්‍රියාකාරකම් නැවැත්වීමට තිබූ අවස්ථාව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තීරණ හේතුවෙන් අහිමි ව ගිය බවට මුස්ලිම් මව්ලවීවරයෙකු පවසනවා.

පාස්කු ප්‍රහරය පිළිබඳ සොයාබලන ජනාධිපති විමර්ශන කොමිසම ඉදිරියේ සාක්ෂි ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළා.

*********************************************

කේරළ ගංජා කිලෝග්‍රෑම් 38 ක් සමඟින් සැකකරුවන් හතරදෙනෙකු (4) අත්අඩංගුවට

(03.09.2020 – 14:43 +0530 – hirunews.lk/sinhala)

කේරළ ගංජා කිලෝග්‍රෑම් 44 ක්, හෙරොයින් ග්‍රෑම් 5 ක් සහ අයිස් ග්‍රෑම් 4 ක්, සමඟ සැකකරුවන් තුන්දෙනෙකු (3) පොලිසිය අද (03) අත්අඩංගුවට ගත්තා.

ඔවුන් යාපනයේ සිට මීගමුව දක්වා මෙම කේරළ ගංජා තොගය සුඛෝපභෝගි වෑන් රථයකින් සහ ප්‍රවාහනය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඔවුන් සතුව තිබී රුපියල් ලක්ෂ 10 ක පමණ මුදලක්ද සොයාගෙන තිබෙනවා.

මේ අතර, පොල් ගෙඩි තුළ සැඟවූ හෙරොයින් සමඟ අධිවේගී මාර්ගයේ ධාවනය වන බස්රථවලින් ප්‍රවාහනය කිරීමේ ජාවාරමට අදාළව අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා (2) ඇතුළු සැකකරුවන් තුන්දෙනා (3) රඳවාගෙන ප්‍රශ්න කිරීමට අපේක්ෂා කරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනෙකු (2) මොරගහහේන – උඩුව ප්‍රදේශයේදී ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබුණා. එමෙන්ම, අලුත්ගම – කාරවිල ප්‍රදේශයේදී ද, හෙරොයින් මිලිග්‍රෑම් 2200 ක් සමඟින් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (02) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, වැලිකඩ ප්‍රදේශයේදී හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත් ‘දිනේෂ් සඳමාලි’ හෙවත් ‘කුඩු සඳා’ගේ ජංගම දුරකථනයේ තිබූ තොරතුරු උපයෝගි කර ගනිමින් තවත් හෙරොයින් ජාවාරම්කරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගත්තා.

‘ඊසිකෑෂ්’ ක්‍රමයට මුදල් ලබා ගනිමින් හෙරොයින් ජාවාරමේ නිරත වූ ‘චමින්ද රොෂාන්’ හෙවත් ‘චව්වා’ ඇතුළු සිව් (4) දෙනෙකු ද හෙරොයින් ග්‍රෑම් 19 ක් සමඟ ඊයේ (02) අත්අඩංගුවට ගත්තේ පාදුක්ක ප්‍රදේශයේදීයි.

ඊට අමතරව, දඹුල්ල පොලීසිය අද සිදුකළ වැටලීමකදී හෙරොයින් ජාවාරමේ නිරත වූ පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගත්තා.

*********************************************

එලිපෙහෙලි කළ හන්තානේ ඉඩම තම පෞද්ගලික ඉඩමක් බව කිරිඇල්ල කියයි

(03.09.2020 – 14:48 +0530 – hirunews.lk/sinhala)

විපක්ෂය නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලනඥයෙකුගේ බලපෑම මත හන්තාන රක්ෂිතයේ පරිසර සංවේදී භූමි ප්‍රදේශයක් එළිපෙහෙලි කර ඇති බවට පරිසර සංවිධාන පසුගියදා චෝදනා කළා.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසන්නේ එලෙස එලිපෙහෙලි කර ඇත්තේ තමන්ට අයත් පෞද්ගලික ඉඩමක් බවයි.

*********************************************

මරුවා සමග ජීවත්වන මොරලිය වතුයායේ ජනතාව

(03.09.2020 – 14:57 +0530 – hirunews.lk/sinhala)

රුවන්වැල්ල – මොරලියවතුයායේ හත්මත්ත කොටසේ පවුල් 84 ක පුද්ගලයන් 384 දෙනෙකු ජීවත්වන නිවාස මේ වනවිට අබලන් තත්වය පැමිණ තිබෙනවා.

වසර 150 කට වඩා පැරණි මෙම පේලි හා තනි නිවාස බොහෝමයක අත්තිවාරම් දිරාගොස් බිත්ති පුපුරා ඇති අතර ඇතැම් නිවාසවල බිත්ති ලී මුක්කු මත රැඳී ඇති ආකාරය එහිදී දැකගත හැකියි.

මෙම කුඩා නිවසක් තුළ පවුල් 3, 4 බැගින් ජීවත් වෙමින් පරම්පරා ගණනක් ඉදිරියට පැමිණියද ඔවුන්ගේ නිවාස පහසුකම් ඒ හා සමානව පුළුල්වීමක් හෝ සංවර්ධනය වීමක් සිදු වී නෑ.

*********************************************

දේශීය මැටි කර්මාන්තකරුවාගේ නොවිසඳුන ගැටළුව

(03.09.2020 – 15:00 +0530 – hirunews.lk/sinhala)

මැටි කියූ සැණින් බොහෝ දෙනාගේ සිහියට නැගෙන්නේ යහපත් ආකල්පයන් නොවෙයි.

එය දේශීය මැටි කර්මාන්තයේ ඉදිරි පැවැත්මටද බාධාවක් වී තිබෙනවා.

සමාජය තුළ ඇති ආකල්ප සහ නිෂ්පාදනයේදී අමුද්‍රව්‍ය සපයාගැනීමට ඇති අපහසුතාව හේතුවෙන් දේශීය මැටි කර්මාන්තකරුවා මුහුණදෙන ගැටලු පිළිබඳවයි මේ අනාවරණය.

*********************************************

පිල්ලෙයාන් ගෙන් පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට පැය පහක (5) ප්‍රකාශයක්

(03.09.2020 – 15:16 +0530 – hirunews.lk/sinhala)

ප්‍රකාශයක් ලබාදීම සඳහා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන ජනපති කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඉන් පිටව ගොස් තිබෙනවා.

ඒ, පැය පහකට (5) පමණ ආසන්න කාලයක් කොමිසමේ පොලිස් ඒකකය වෙත ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුවයි.

*********************************************

මත්ද්‍රව්‍ය නඩු 2000 කට අධි චෝදනා

(03.09.2020 – 15:43 +0530 – hirunews.lk/sinhala)

නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින් ගත වූ මාස 15 තුල මත්ද්‍රව්‍ය නඩු 2480 කට අදාළ ඉදිරි පියවර ගෙන තිබෙනවා.

ඊට අදාළව මහාධිකරණය හමුවේ අධි චෝදනා 2000 ක් ගොනුකර ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරීනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ.

එසේම, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටින සිරකරුවන් හේතුවෙන් රිමාන්ඩ් බන්ධනාගාරයේ ඇති වි තිබෙන තදබදය අඩු කිරිම සම්බන්ධයෙන් සොයා බැලිමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නිතිඥ අලි සබ්‍රිගේ උපදෙස් අනුව කමිටුවක් පත් කර තිබෙනවා.

සති තුනක් (3) තුළ ඒ පිළිබඳව සොයා බලා අතුරු වාර්තාවක් ලබා දෙන ලෙස එම කමිටුවට උපදෙස් ලබා දි ඇති බව සඳහන්.

*********************************************

20 වන සංශෝධනය ගැසට් කෙරේ – අමාත්‍ය මණ්ඩල සීමා ඉවතට – පාර්ලිමේන්තුව විසුරුවන කාලයත් අඩු වේ

(03.09.2020 – 16:09 +0530 – hirunews.lk/sinhala)

අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවු යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාල කෙටුම්පත අද (03) ගැසට් කෙරුණා.

ඒ අනුව 19 වන වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සමග සංසන්දනය කිරීමේදී මෙහි වෙනස්කම් කිහිපයක්ම දක්නට ලැබෙනවා.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇතුළත් වූ පරිදි නව පාර්ලිමේන්තුවක් තෝරා පත් කරගැනීමෙන් පසු වසර හතර හමාරක් (4½) යනතුරු එය විසුරුවා හැරිමට ජනාධිපතිවරයාට අවස්ථාවක් හිමිවන්නේ නැහැ.

කෙසේ වෙතත්, නව සංශෝධනයට අනුව වසරක (1) කාලයක් ඉක්ම ගිය පසු ජනාධිපතිවරයාට ස්වකීය අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකියි.

ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් විය හැකි වයස් සීමාව ලෙස මෙතෙක් පැවති 35 වයස් සීමාව ඉවත් කර ඇති අතර, වයස අවුරුදු 30 යන්න ආදේශ කර තිබෙනවා.

කිසියම් විෂය පථයක් සදහා අමාත්‍යවරයෙකු නම් නොකරන ලද අවස්ථාවක දී එම අමාත්‍යාංශය හෝ ස්වකීය අභිමතය පරිදි යම් අමාත්‍යාංශයක් හෝ පවරා ගැනීමටද 20 වන ව්‍යස්ථා සංශෝධනයෙන් ජනාධිපතිවරයාට බලතල ලබාදීමට යෝජනා කර තිබෙනවා.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එවැනි බලතල හිමි නොවු අතර එලෙස පත් කරනු නොලැබු අමාත්‍යාංශයක් හෝ තාවකාලිකව ඉවත් කරනු ලැබු අමාත්‍යාංශයක් සදහා වැඩ බලන අමාත්‍යවරයෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පත් කිරීමටයි එහි විධිවිධාන සලසා තිබුනේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරිමෙන් පසුවද නව පාර්ලිමේන්තුවක් තෝරා පත්කරගන්නා තුරු කථානායකවරයා සහ විපක්ෂ නායකවරයා ගේ ධූර කාලය එලෙසම වලංගු වන අතර, අමාත්‍ය මණ්ඩලයටද රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ට ද නව පාර්ලිමේන්තුවක් තෝරා පත් කරගන්නා තුරු එම තනතුරු වල කටයුතු කිරීමටද නව සංශෝධනයෙන් අවසර හිමිව තිබෙනවා.

එමෙන්ම, පාර්ලිමේවන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කිරීමට අදාළව මෙතෙක් නුදුසුකමක් ලෙස සටහන් වුණු ද්විත්ව පුරවැසිභාවය නව සංශෝධනයෙන් ඉවත් කර තිබීම විශේෂත්වයක්.

මේ අතර, මෙතෙක් පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කර ඒ සදහා පාර්ලිමේන්තු සභාවක් පත් කිරීමට ද යෝජනා කර තිබෙනවා.

එහි සමාජිකයින් ලෙස දක්වා ඇත්තේ අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, විපක්ෂනායකවරයා, අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයෙකු සහ විපක්ෂනායකවරයාගේ නියෝජිතයෙක්.

ස්වාධීන කොමිසන් සභා 09 අතුරින් විගණන සේවා කොමිසන් සභාව සහ ජාතික ප්‍රසම්පාදන කොමිසන් සභාව ඉවත් කිරීමට මෙමගින් යෝජනා කර තිබෙනවා.

එම ගැසට් නිවේදනය :

[ http://www.documents.gov.lk/files/bill/2020/9/22-2020_S.pdf ]

*********************************************

පාස්කු කොමිසමේ සාක්ෂිවල පිටපත් අධිකරණයට කැඳවන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

(03.09.2020 – 16:32 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ජනාධිපති කොමිසම හමුවේ කැඳවා ඇති සාක්ෂිවල පිටපත් සහ ලේඛන ශ්‍රේෂ්ඨාධිකරණයට කැඳවන ලෙස කළ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය අද (03) ප්‍රතික්ෂේප කළා.

පාස්කු ප්‍රහාරයට අදාළව අධිකරණය හමුවේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට අදාළව එම පිටපත් ශ්‍රේෂ්ඨාධිකරණයට කැඳවන ලෙස ඉල්ලීමක් කර තිබුණේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ නීතිඥ මෝදිත ඒකනායකයි.

ඒ අනුව, අදාළ සාක්ෂි තුළින් ප්‍රහාරයට වගකිව යුතු පුද්ගලයන්, ප්‍රහාරය වළක්වාලීමේ වගකීම පැවති පුද්ගලයින් සහ ඊට වගකිව යුතු විවිධ සංවිධාන පිළිබඳ තොරතුරු අනාවරණ වී ඇති බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙන්වා දුන්නේ.

එම තොරතුරු මහජන යහපත සඳහා බෙහෙවින් ඉවහල් වන බැවින් අදාළ සාක්ෂි පිටපත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට කැඳවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙම සිද්ධියට අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ නීතිඥ මෝදිත ඒකනායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා ද එම ඉල්ලීම අනුමත කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වනු ලැබුවා.

මෙහිදී පෙත්සම්වල වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ එම සාක්ෂි පිටපත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට කැඳවන්නේ නම් ඒ සම්බන්ධයෙන් මැදිහත් වී පරීක්ෂාවන් සිදුකිරීමට සහ ඒ පිළිබඳ කරුණු දැක්වීමට තම සේවාදායකයාට ද අවස්ථාවක් තිබිය යුතු බවයි.

වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි නිතීඥවරයා මෙහිදී කියා සිටියේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විමර්ශන සම්පූර්ණයෙන්ම අවසන් වීමෙන් පසු එම සාක්ෂි පිටපත් කැඳවීම සුදුසු බවයි.

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ද එම ප්‍රකාශය අනුමත කළා.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ෆර්සානා ජමීල් සඳහන් කළේ ජනාධිපතිවරයා විසින් පත් කරන මෙවැනි කොමිසමක විමර්ශන වාර්තා අතරමැදි පාර්ශවයක් වෙත ලබාදීමට එම කොමිසමට හැකියාවක් නොමැති බවයි.

කරුණු සලකා බැලූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ සත්පුද්ගල විනිසුරු මඩුල්ල අදාළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.

මේ අතර, ප්‍රකාශයක් ලබාදීම සඳහා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයාබලන ජනපති කොමිසමේ පොලිස් ඒකකය වෙත අද පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් පැය 5 ක පමණ ප්‍රකාශයක් ලබා දිමෙන් අනතුරුව ඉන් පිටව ගියා ෴

*********************************************

රුපියල් කෝටි 06 ක කහ, බේරුවල ධීවර වරායෙන් හමුවේ

(03.09.2020 – 16:34 +0530 – hirunews.lk/sinhala)

මුහුදු මාර්ගය ඔස්සේ නීතිවිරෝධි ලෙස මෙරටට රැගෙන රුපියල් කෝටි 6 ක් පමණ වටිනා කහ කිලෝ ග්‍රෑම් 2230 ක් අද බේරුවල ධිවර වරායේ යාත්‍රාවක තිබී සොයා ගත්තා.

කහ කැබලි කිලෝ 1070 ක් සහ කහ කුඩු කිලෝ 1160 ක් ඒ අතර තිබූ බව සඳහන්.

*********************************************

අපයෝජන සිද්ධියකට වයඹ පළාතේ පාසලක මුරකරුවෙකු අත්අඩංගුවට

(03.09.2020 – 17:03 +0530 – hirunews.lk/sinhala)

වයඹ පළාතේ පාසලක 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියන් තුන්දෙනෙකු (3) අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන් එම දැරියන් ඉගෙනුම ලබන පාසලේ මුරකරු ළමා රක්ෂක අධිකාරියේ පොලිස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙකු ළමා රක්ෂක අධිකාරියේ සභාපතිවරයා වෙත ලිපියක් මඟින් කළ දැනුම් දීමකට අනුවයි.

මෙම දැරියන් වැඩිදුර පරීක්ෂාව සඳහා කුරුණෑගල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කර ඇති අතර 39 හැවිරිදි සැකකරු බාල වයස්කාර දැරියන් තුන්දෙනාට (3) ලිංගික අතවර සිදු කිරීමේ චෝදනාව යටතේ නිකවැරටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා ෴

*********************************************

නඩු 600 කට වඩා ගොඩගැසී ඇති මහාධිකරණ 4 කට තවත් රජයේ අධි නීතිඥවරයෙක්

(03.09.2020 – 17:33 +0530 – hirunews.lk/sinhala)

කළුතර, මිගමුව, මාතර හා හෝමාගම මහාධිකරණවල නඩු 600 කට වඩා ගොඩගැසී ඇති නිසා, නීතිපති දෙපාර්තමේන්තුව ඒ සඳහා අතිරේක රජයේ අධි නීතිඥවරයෙක් යෙදවීමට තීරණය කර තිබෙනවා.

දැනට එක් රජයේ අධි නීතිඥවරයෙක්, නීතිපති දෙපාර්තමේන්තුව විසින් මහාධිකරණ සඳහා පත් කර සිටින අතර නීතිපතිවරයාගේ නව තීරණයත් සමග එම මහාධිකරණ 4 සඳහා, තවත් රජයේ අධි නීතිඥවරයෙක් යොදවන බව, නීතිපති සම්බන්ධීකාරිනී රජයේ අධි නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවා.

ගොඩගැසී ඇති නඩු සංඛ්‍යාව අවම කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට ගත හැකි පියවරක් ලෙස මෙම නව තීරණය හඳුන්වා දිය හැකියි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *