20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන විමල් කී කතාව

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන විමල් කී කතාව

අඟුලාන, කළුතර සහ හලාවත ආශ්‍රිත මුහුද කොල පැහැයට

නෙලීමට පෙර ගිනිතබා දැමූ පොළොන්නරුවේ වී අස්වැන්න

වසර තුනක (3) ට පෙර ගංවතුරේ ගසාගෙන ගිය පාළම ලැබෙනතුරු මරු කටේ යන ගම්වැසියෝ

අනාගතය දකින්න සිප් සතර හදාරන්න ජීවිත අවධානමක් ගන්න රත්මලේ දරුවෝ

වැරදිකරුවකු නීතියෙන් බැහැරවීමට වඩා, නිවැරදිකරුවෙකු නිරපරාදේ දඬුවම් විඳින්නේ නම්, එය විශාල පාපයක්

ආනයනික භාණ්ඩවලින් පිරුණු රටක් වෙනුවට අපනයන වෙළඳපොළ ජයගත් මිනිසුන්ගෙන් පිරුණු රටක්…

යහපාලන සමයේ ආන්දෝලනාත්මක නඩු තීන්දු යළි විමසීමට විශේෂ කොමිසමක් අවශ්‍යයි – සිංහලේ සංවිධානය

ඇමරිකාවේ, චීන තහනම Port City ව්‍යාපෘතියටත් බලපායිද ?

කෙසෙල්වත්තේ දිනුකගේ ගෝලයෙකු වන කෙසෙල්වත්තේ කසුන් STF අත්අඩංගුවට

කුලියාපිටිය බන්ධනාගාරයෙන් සිරකරුවන් හතර (4) දෙනෙකු පැන යයි

CID නිලධාරීන් ෂම්මි කුමාරරත්නට කළ බලපෑම

බතික් කර්මාන්තකරුවන් දැඩි අසීරුතාවයක

පැල්මඩුල්ල, මාරපන ගම්වැසියන් පානීය ජල ගැටලුවක

*********************************************

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන විමල් කී කතාව

(04.09.2020 – 14:16 +0530 – hirunews.lk/sinhala)

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතා අද අදහස් පළ කළා.

*********************************************

අඟුලාන, කළුතර සහ හලාවත ආශ්‍රිත මුහුද කොල පැහැයට

(04.09.2020 – 14:34 +0530 – hirunews.lk/sinhala)

අඟුලාන, කළුතර සහ හලාවත ආශ්‍රිත මුහුදු ප්‍රදේශවල පාවෙමින් තිබෙන කිසියම් කොල පැහැ ඝන තරලයක් හේතුවෙන් ධීවර කටයුතුවල නියැලීම අසීරු වී ඇති බවට ධීවරයින් චෝදනා කරනවා.

මේ සම්බන්ධයෙන් නාරා ආයතනය සිදුකළ මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ ඒවා ඇල්ගි විශේෂයක් බවයි.

*********************************************

නෙලීමට පෙර ගිනිතබා දැමූ පොළොන්නරුවේ වී අස්වැන්න

(04.09.2020 – 14:40 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව ප්‍රදේශයේ කුඹුරු අස්වනු නෙලීමටත් පෙර එම අස්වැන්න ගිනිතැබීමේ පුවතක් වාර්තාවනවා.

ගොවීන් පවසන්නේ ගොවිජන සේවා නිලධාරීන් විසින් තමන්ට බිත්තර වී ලෙස පවසමින් ලබා දුන් බාල වී වර්ගයක් නිසා තම වගාවන් විනාශ වී ඇති බවයි.

*********************************************

වසර තුනක (3) ට පෙර ගංවතුරේ ගසාගෙන ගිය පාළම ලැබෙනතුරු මරු කටේ යන ගම්වැසියෝ

(04.09.2020 – 14:45 +0530 – hirunews.lk/sinhala)

තෙවසරක සිට ගමනා ගමනයට පාලමක් නොමැතිකමින් අපහසුතා රැසකට මුහුණ දෙන පිරිසක් පිළිබඳ පුවතක් අපට මාතර පිටබැද්දරින් වාර්තා වුණා.

මේ දෙණියාය ආසනයට අයත් සියඹලාගොඩ, කොස්නිල්ගොඩ ගම්මාන යාකරමින් පැවති මාතර, පිටබැද්දර පහුරුතොට පාලමයි.

නිල්වලා ගඟ හරහා ඉදිව තිබූ මෙම පාලම පසුගිය 2017 වර්ෂයේ මැයි මාසයේ දී පැවති ගංවතුර හේතුවෙන් මුළුමනින්ම විනාශයට පත්ව තිබෙනවා.

තෙවසරක් ගතවුවත් මෙම පාලම කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු නොවීම හේතුවෙන් ප්‍රදේශවාසීන් මේ වන විට ඉතා අවධානම් ගමනක නිරතව සිටිනවා.

ඔවුන් පවසන්නේ මෙතෙක් එය නැවත ඉදිනොකිරීමට බලධාරීන් කටයුතු කිරීම හේතුවෙන් කෘෂි නිෂ්පාදන වෙළඳ පොළට ගෙනයාම, දරුවන්ට පාසල් යාමට නොහැකිවීම ඇතුළු අපහසුතා රැසක් මතුව ඇති බවයි.

*********************************************

අනාගතය දකින්න සිප් සතර හදාරන්න ජීවිත අවධානමක් ගන්න රත්මලේ දරුවෝ

(04.09.2020 – 14:50 +0530 – hirunews.lk/sinhala)

මාතර රත්මලේ පිහිටි තලහිටියාගොඩ පරාක්‍රම විද්‍යාලය හැටතුන් (63) වසරක ඉතිහාසයකට හිමිකම් කියන අතර මෙම පාසල දරුවන් දහස් ගණනකගේ නැණස පාදන්නට කටයුතු කර තිබෙනවා.

පළමු ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වා දරුවන් 103 දෙනෙකු අද වන විට මෙහි සිප් සතර හදාරනවා.

ඒ ජීවිත අවධානමක්ද තම හිසට ඉහළින් දරා ගනිමිනුයි.

2015 වසරේ පටන්, දැඩි අවධානම් තත්ත්වයක පවතින අබලන් ගොඩනැගිල්ල පිලිබඳව අධ්‍යාපන බලධාරීන්ට කොතෙකුත් දැනුම් දුන්නද මේ වන තුරුත් ඊට නිසි විසදුම් ලැබී නැහැ.

*********************************************

වැරදිකරුවකු නීතියෙන් බැහැරවීමට වඩා, නිවැරදිකරුවෙකු නිරපරාදේ දඬුවම් විඳින්නේ නම්, එය විශාල පාපයක්

(03.09.2020 – 11:49 +0530 – hirunews.lk/sinhala)

වැරදිකරුවකු නීතියෙන් බැහැරවීමට වඩා, නිවැරදිකරුවෙකු නිරපරාදේ දඬුවම් විඳින්නේ නම්, එය විශාල පාපයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව සඳහන් කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ නඩු තීන්දුව ගැන මාධ්‍යවේදියෙකු විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගේ තීන්දුවට අදාළ වන්නා වූ නඩුකාරවරුන්, විවිධ දේශපාලනඥයන් සමග සාකච්ඡා කළ බව ඔප්පු වී ඇතැයිද ඔහු කියා සිටියා.

එම නිසා ඒ සාකච්ඡාවන් ඒ නඩු තීන්දුවට බලපෑවාද යන්න, නැවත විමර්ශනයක් කිරීම සුදුසු බව, නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දිය නොහැකි බවට නීතිපතිගේ ස්ථාවරය, නොපිළිගන්නා බව නීතිඥවරයා සඳහන් කළ අවස්ථාවේ, මාධ්‍යවේදියෙකු නැගූ තවත් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, ඔහු තවදුරටත් කරුණු පැහැදිලි කළා.

මාධ්‍යවේදියා විමසුවේ, දුමින්ද සිල්වා මහතාගේ තීන්දුවද, එවැනි තීන්දුවක් වන නිසා, ඒ සිද්ධිය ගැන ඉදිරියේදී කුමනාකාරයේ පියවරක් අනුගමනය කරන්නේද යන්නයි.

රන්ජන් රාමනායක සමග, ඒ තීන්දුව දුන් නඩුකාරවරුන් සාකච්ඡා කළ අන්දම දෙස බලන විට, ඒ සාකච්ඡාවන් එම නඩු තීන්දුවට බලපෑවේද යන්න කොමිෂන් සභාවක් හරහා හෝ නැවත විමර්ශනය කර, එය නිවැරදි කිරීමේ හැකියාවක් තිබිය හැකි බවද, දොලවත්ත මහතා ප්‍රකාශ කළා.

වැරදිකරුවකු නීතියෙන් බැහැරවීමට වඩා, නිවැරදිකරුවෙකු නිරපරාදේ දඬුවම් විඳින්නේ නම්, එය විශාල පාපයක් බවද නීතිඥවරයා කියා සිටියා.

පාර්ලිමේන්තුවේ නියෝගවලට අභියෝග කිරීමට නීතිපතිවරයාට නොහැකි බවද පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

*********************************************

ආනයනික භාණ්ඩවලින් පිරුණු රටක් වෙනුවට අපනයන වෙළඳපොළ ජයගත් මිනිසුන්ගෙන් පිරුණු රටක්…

(04.09.2020 – 16:40 +0530 – lankacnews.com)

ශ්‍රී ලංකාව මතු අනාගතයේ දී ආනයනික භාණ්ඩවලින් පිරුණු රටක් වෙනුවට අපනයන වෙළඳපොළ ජයගත් මිනිසුන්ගෙන් පිරුණු රටක් බවට පත් කිරීමට අවශ්‍ය තාක්ෂණය, ඊට අදාළ මානසිකත්වය හා සංස්කෘතිය නිර්මාණය කිරීමට කැප වන ලෙස කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළ සියලු පිරිස් වෙතින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඉල්ලා සිටියි.

ගාලු පාර, කොළඹ 03 යන ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ පැවැති ‘ජාත්‍යන්තර සාධාරණ වෙළෙඳ සංකල්පය’ පිළිබඳව දේශීය රෙදිපිළි නිෂ්පාදකයන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවෙහි ප්‍රධාන දේශනය පවත්වමින් ඒ මහතා එසේ ඉල්ලා සිටියේය.

“කොරෝනා වසංගතයට පෙර දේශීය රෙදිපිළි නිෂ්පාදකයන් සමඟ පැවැති සාකච්ඡාවක දී ඔවුනට තම නිෂ්පාදන අපනයනය පිළිබඳව මතුව ඇති ගැටලු රැසක් සාකච්ඡාවට බඳුන් වූවා. ඒ අනුව ‘ජාත්‍යන්තර සාධාරණ වෙළෙඳ සංකල්පය’ ඇතුළු අපනයනයට අදාළ දැනුම සහ අපනයන වෙළෙඳපොළ ජයග්‍රහණය කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දීමට මෙවැනි වැඩමුළුවක් මා විසින් යෝජනා කරනු ලැබුවා.

දේශීය රෙදිපිළි නිෂ්පාදකයාට අපනයන වෙළෙඳපොළ ජය ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම ජනතාවාදී රජයක් ලෙස අප කළ යුතුව තිබුණා. අපනයන සංවර්ධන මණ්ඩලය සහ වෙනත් දේශීය රෙදිපිළි කර්මාන්තයට අදාළ ප්‍රවීණයන් පිරිසක් යොදා ගනිමින් ඒ වගකීම තමයි අපි මෙසේ ඉටු කරනු ලබන්නේ. අපේ රජය දේශීය රෙදිපිළි කර්මාන්තය පිළිබඳව දැඩි උනන්දුවක් දක්වන නිසා තමයි ඒ සඳහා වෙනමම රාජ්‍ය අමාත්‍යාංශයක් ද පිහිටුවනු ලැබුවේ. කර්මාන්ත විෂය භාර කැබිනට් අමාත්‍යවරයා ලෙස මට දැක ගත හැකියි, දේශීය රෙදිපිළි කර්මාන්තය පිළිබඳව පමණක් නොවෙයි, සියලු ග්‍රාමීය කර්මාන්තයන් කෙරෙහි විශාල ජනතා උද්යෝගයක් ඇති වී තිබෙන බව. දේශීය පාරිභෝගිකයා අද දේශීය නිෂ්පාදන මිලදී ගැනීමේ ප්‍රවණතාවක් ඇති වෙමින් තිබෙනවා. එම වාතාවරණය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ වගකීම අප වෙත පැවරී තිබෙනවා.

වාද අවකාශය යාවත්කාලීන නොවීම

එම දේශීය කර්මාන්ත ප්‍රවර්ධනය කිරීමේ මහා මෙහෙයුමේ දෙවන පියවර තමයි දේශීය රෙදිපිළි කර්මාන්තය ඇතුළු සියලු දේශීය කර්මාන්ත සඳහා අපනයන වෙළෙඳපොළ දක්වා යාමට අවශ්‍ය කරන උනන්දුව හා උද්යෝගය ඇති කර දීම. නමුත් අවාසනාවට ඊට අවශ්‍ය ‘වාද අවකාශය’ හෙවත් ‘සාකච්ඡාවල නිමිති’ යාවත්කාලීන වී නැහැ. අපේ රටේ මාධ්‍ය වුවත් තවමත් වඩා වැඩියෙන් උද්දීපනය කරන්නේ ඍණාත්මක සිදුවීම් පිළිබඳ ප්‍රවෘත්ති මිස මෙවැනි ‘දේශීය කර්මාන්ත පණ ගැන්වීම’ වැනි ධනාත්මක මාතෘකා සහිත ප්‍රවෘත්ති නෙවෙයි. ඒ නිසා කර්මාන්තකරුවා, ව්‍යවසායකයා දිරි ගන්වන, අපනයන වෙළඳපොළ ජයගන්නා දිරිය මිනිසුන් ගැන ප්‍රවෘත්තිවලට මාධ්‍යවලින් ලැබෙන්නේ අඩු ඉඩක්. අපරාධයක් සිදුවුවහොත් ‘හෙඩ් ලයින්’ දා ගන්න පුළුවන් වුවත් ව්‍යවසායකයකු අපනයන වෙළඳපොළේ විශාල පරාසයක් දිනා ගත්තා කියා ‘හෙඩ් ලයින්’ දාගන්න අපේ රටේ මාධ්‍යවල ඉඩකඩක් නිර්මාණය වී නැහැ. අන්න ඒ මාධ්‍ය සංස්කෘතියත් අපි වෙනස් කර ගත යුතුව තිබෙනවා.

අධ්‍යාපනය සහ දේශීය කර්මාන්ත

මාධ්‍ය තුළ එවැනි වෙනසක් ඇති කළහොත් අපේ අනාගත පරපුර නව කර්මාන්ත බිහි කිරීම ගැන සිතාවි. එමගින් අපනයන වෙළෙඳපොළ ජය ගැනීමට සූදානම් වේවි. ඒ ‘ගුණය’ අපි ඇති කළ යුතුයි. මහින්ද රාජපක්ෂ පාලනය තාක්ෂණ විෂය ධාරාව උසස් පෙළ සඳහා හඳුන්වා දී පිරිසකට ඒ හරහා උසස් අධ්‍යාපනයට දොරටු විවෘත කර තිබෙනවා. එසේ අධ්‍යාපනය ලැබූ පිරිස් දැන් රැකියා වෙළෙඳපොළ වෙත එමින් සිටිනවා. නමුත් අපේ අධ්‍යාපනය තුළ දේශීය කර්මාන්ත පිළිබඳව පමණක් නොව කෘෂි කර්මාන්තය පිළිබඳව ද දක්වා තිබෙන අවධානය ප්‍රමාණවත් නැහැ. අපි පාසල් යන අවදියේ මැටි වැඩ, ලී වැඩ, ලෝහ වැඩ වැනි විෂයයන් තිබුණත් අද ඒ කිසිදු වැඩක් පාසල් විෂය ධාරාවේ නැහැ.

පාසල් අධ්‍යාපනය තුළින් දේශීය කර්මාන්ත පිළිබඳව දැනුම්වත් බවකින් යුත් දරුවකු බිහි කරනවා නම් ඔහු ත්‍රීවිල් රියදුරකු වීමේ දිසාවට ඇදී යන එකක් නැහැ. ඉමහත් උනන්දුවෙන් දේශීය කර්මාන්තකරුවකු වීමේ දිසාවට ගමන් කරාවි. එවැනි පෞරුෂයක් දරුවකු තුළ ගොඩනංවන අධ්‍යාපනයක් අද අපේ රටට උවමනා වී තිබෙනවා. සෑම ක්ෂේත්‍රයකම පූර්ණ ගුණාත්මක වෙනසක් සිදු වෙමින් තිබෙන මේ මොහොතේ දේශීය රෙදිපිළි කර්මාන්තය තුළ ද එවැනි වෙනසකට අවශ්‍ය ඥානය සහ දැනුම ලබා දීමට මෙම වැඩමුළුව සංවිධානය කළ නිලධාරී මහත්ම මහත්මීන්ට මාගේ කෘතවේදීත්වය පළ කරනවා.

‘අපේ රට මතු අනාගතයේ දී ආනයනවලින් පිරුණු රටක් වෙනුවට අපනයන වෙළඳපොළ ජයගත්තු මිනිසුන්ගෙන් පිරුණු රටක් බවට පත් කිරීමට අවශ්‍ය තාක්ෂණය, ඒ මානසිකත්වය, සංස්කෘතිය නිර්මාණය කිරීම සඳහා අපි සියලු දෙනාම කැපවෙමු’ කියා ඉල්ලා සිටිනවා”

මේ අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා මහතා, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමා ඇතුළු නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
කර්මාන්ත අමාත්‍යාංශය

*********************************************

යහපාලන සමයේ ආන්දෝලනාත්මක නඩු තීන්දු යළි විමසීමට විශේෂ කොමිසමක් අවශ්‍යයි – සිංහලේ සංවිධානය

(04.09.2020 – 20:22 +0530 – hirunews.lk/sinhala)

යහපාලන ආණ්ඩුව සමයේ ලබාදුන් ඇතැම් නඩු තීන්දු සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර එම නඩු යළි විභාගයට ගත යුතු බව සිංහලේ සංවිධානය පවසනවා.

එම සංවිධානය මේබව ප්‍රකාශ කළේ අද (04) කොළඹදී කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී.

*********************************************

ඇමරිකාවේ, චීන තහනම Port City ව්‍යාපෘතියටත් බලපායිද ?

(04.09.2020 – 21:26 +0530 – hirunews.lk/sinhala)

චීන ජනරජයට අයත් රාජ්‍ය ව්‍යාපාර කිහිපයකට සහ විධායක නිලධාරීන් පිරිසකට වීසා සීමා කිරීම් ඇතුළු තවත් සීමා පැනවීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.

මෙරට වරාය නගර ව්‍යාපෘතියේ ඉදිකිරීම් සමාගමේ මව් සමාගම වන සී.සී.සී.සී. සමාගම මගින් පාලනය වන සමාගම් කිහිපයක් ඇතුළුව චින ජනරජයට අයත් රාජ්‍ය ව්‍යාපාර 24 ක් මෙම සීමා පැනවීමට ඇතුළත්.

මෙම සීමා කිරීම් හරහා වරාය නගර ව්‍යාපෘතියට බලපෑමක් ඇද්ද යන්නත් අප සොයා බැලුවා.

කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේ දකුණු චීන මුහුදේ සිදුකරන අහිතකර ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අවධානය යොමුකර අමෙරිකාව මෙම සීමා පැනවීමට තීරණය කළ බවයි.

ඒ අනුව එම පුද්ගලයින්ට අමෙරිකාවට ඇතුළුවීමට නොහැකිවන අතර, ඔවුන්ගේ ආසන්නතම පවුලේ සාමාජිකයින්ටද එම වීසා සීමාවන් බලපෑමට ඉඩ ඇති බව එම නිවේදනයේ සඳහන්.

ඒ අනුව ‘චයිනා කමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් කම්පනි’ හෙවත් සී.සී.සී.සී. සමාගමේ පරිපාලිත සමාගම් කිහිපයක් ඇතුළු රාජ්‍ය ව්‍යාපාර 24 ක් අමෙරිකානු වානිජ දෙපාර්තමේන්තුව මගින් සම්බාධක පැනවෙන ලැයිස්තුවට ඇතුළත් කර තිබෙනවා.

ඒ අනුව, එම ලැයිස්තුගත සමාගමකට භාණ්ඩ ලබාදීමට පෙර විශේෂ බලපත්‍ර ලබාගැනීමට අවශ්‍ය විය හැකියි.

අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයෙන් චීන ජනරජය වෙත චෝදනාවක්ද සිදුකර තිබෙනවා.

ඒ චීනය 2013 වසරේ පටන් තම රාජ්‍ය ව්‍යාපාර යොදාගනිමින් දකුණු චීන මුහුදේ අක්කර 3000 ක් ඉක්මවන ප්‍රමාණයක මුහුදු පත්ලේ රොන් මඩ ඉවත් කිරීම සහ නීතිවිරෝධී අන්දමින් ගොඩකිරීම එම කලාපය අස්ථාවර කිරීමටත්, සිය අසල්වාසීන්ගේ ස්වෛරී අයිතිවාසිකම් පාගා දැමීමටත් කටයුතු කර ඇති බවටයි.

එය විශාල පාරිසරික විනාශයක් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මීට නායකත්වය දෙන්නේ සී.සී.සී.සී. සමාගමට අනුබද්ධ ඉදිකිරීම් සමාගමක් බව පෙන්වා දෙන අමෙරිකාව ලොව පුරා දූෂණ ක්‍රියා, කොල්ලකාර මූල්‍යකරණය, පරිසරික විනාශය සහ අනෙකුත් අනිසි ක්‍රියා සඳහාද සී.සී.සී.සී. සමාගමට අනුබද්ධ ආයතන සම්බන්ධ වී ඇති බව පවසනවා.

ඒ අනුව, එවැනි සමාගම් සමග සිදුකරන ගනුදෙනු පරීක්ෂා කිරීමට අදාළ රටවල් ක්‍රියාකරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවද අමෙරිකාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

කොළඹ වරාය සමීපයේ හෙක්ටයාර 269 ක් පුරා ඉදිකෙරෙන කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සඳහා සම්බන්ධවී සිටින්නේ ‘චයිනා කමියුනිකේෂන් කන්ස්ට්‍රක්ෂන් කම්පනි’ හෙවත් සී.සී.සී.සී. සමාගම බැවින් අමෙරිකාවේ මෙම නිවේදනය සම්බන්ධයෙන් ඔවුන්ගේ ප්‍රතිචාරය අප විමසා සිටියා.

*********************************************

කෙසෙල්වත්තේ දිනුකගේ ගෝලයෙකු වන කෙසෙල්වත්තේ කසුන් STF අත්අඩංගුවට

(04.09.2020 – 22:07 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 183 ක මුදල් හුවමාරු වූ බැංකු ගිණුමක් සමඟ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කෙසෙල්වත්තේ දිනුක’ගේ ගෝලයෙකු වන 23 හැවිරිදි ‘කෙසෙල්වත්තේ කසුන්’ එඬේරමුල්ල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු සතුව හෙරොයින් ග්‍රෑම් 06 ක් පමණ තිබී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් භාරයට ගනු ලැබුවා.

මොහු ‘කෙසෙල්වත්ත දිනුක’ගේ මත්ද්‍රව්‍ය විකුණා ලබා ගන්නා මුදල් සිය බැංකු ගිණුම හරහා හුවමාරු කරනු ලබන බවයි වාර්තා වන්නේ.

හෙරොයින් වලට අමතරව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මොහු සතුව තිබී කඩු 2 ක්, ඇතුළු ආයුධ සහ ලොරි රථයක් ද විශේෂ කාර්ය බලකායේ බුද්ධි අංශ නිලධාරින් භාරයට ගෙන තිබෙනවා.

+++++++++++++

හෙරොයින් ග්‍රෑම් 422 ක් සමඟ සැකකරුවන් හතරදෙනෙකු (4) පානදුර ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ (04) රාත්‍රියේ සිදුකළ විශේෂ මෙහෙයුමකදි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

මේ අතර පයාගල, ග්‍රෑන්ඞ්පාස්, අම්බලන්තොට සහ ගල්කිස්ස – බඩෝවිට ප්‍රදේශවලදී හෙරොයින් සමඟ පුද්ගලයින් හතරදෙනෙකු (4) පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ග්‍රෑන්ඞ්පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10 කට වැඩි ප්‍රමාණක් සහ පයාගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 29 ක් සොයාගත් බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ ෴

+++++++++++++

ඉන්දියාවෙන් මුහුදු මාර්ගය ඔස්සේ නිතීවිරෝධි ලෙස මෙරටට ගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 500 සමඟ සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හලාවත – මාරවිල මුහුදු ප්‍රදේශයේදී අද (05) අලුයම නාවික හමුදාව මෙම අත්අඩංගුවට ගැනිම සිදු කර ඇති බව සඳහන්.

කුඩා යාත්‍රාවක් තුළ පොලිතින් අසුරුම් 16 ක බහා තිබු මෙම බිඩි කොළ තොගය සොයා ගැනිමෙන් අනතුරුව එහි සිටි පුද්ගලයින් තුන්දෙනෙකු (3) නාවික හමුදාව අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුව ඔවුන්ගෙන් ලද තොරතුරුවලට අනුව බීඩි කොළ තොගය රැගෙන යාමට පැමිණි ලොරි රථයේ රියදුරු සහ තවත් පුද්ගලයින් දෙදෙනෙක් (2) අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ ෴

*********************************************

කුලියාපිටිය බන්ධනාගාරයෙන් සිරකරුවන් හතර (4) දෙනෙකු පැන යයි

(05.09.2020 – 11:50 +0530 – hirunews.lk/sinhala)

කුලියාපිටිය බන්ධනාගාර සිර මැදිරියේ රඳවා සිටි හෙරොයින් ඇබ්බැහිකරුවන් හතර (4) දෙනෙකු සිරමැදිරියේ වහලය කඩාගෙන පැනගොස් ඇති බව කුලියාපිටිය පොලිසිය පවසනවා.

එසේ පැනගොස් ඇත්තේ කබුරපොල, ගල්පොල, නාරංගොඩ හා අලහිටියාව ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්.

අදාළ සැකකරුවන් හෙරොයින් සන්තකයේ තබාගැනීමේ චෝදනා මත කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය මගින් විභාගවන නඩු 4 කට අදාලව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ වන විට සැකකරුවන් සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් විසින් විමර්ශන කියාත්මක බවයි කුලියාපිටිය පොලිසිය සඳහන් කළේ .

බන්ධනාගාරයට සහය පිණිස මේ වනවිටත් මාර්ග බාධක ද යොදවා තිබෙනවා ෴

*********************************************

CID නිලධාරීන් ෂම්මි කුමාරරත්නට කළ බලපෑම

(05.09.2020 – 12:34 +0530 – hirunews.lk/sinhala)

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව උපදෙස් දෙනු ලැබුවේ හිටපු ආරක්ෂක ලේකම්, වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බව පවසන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තමාට අවස්ථා ගණනාවකදී බලපෑම් කළ බව කර්නල් ෂම්මි කුමාරරත්න මහතා අනාවරණයක් සිදුකළා.

ඔහු මේ බව සඳහන් කළේ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින්.

යහපාලන රජය සමයේ තමාට දේශපාලන පළිගැනීම් සිදුව ඇති බවට රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලයේ කර්නල් ෂම්මි කුමාරරත්න මහතා කර ඇති පැමිණිල්ලකට අදාළව සාක්ෂි ලබාදීම සඳහා ඔහු ඊයේ (04) ඒ සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ පෙනී සිටියා.

එහිදී ඔහු සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර යහපාලන රජයෙන් හිමිව තිබූ අසීමිත බලය පාවිච්චි කරමින් යුද හමුදා බුද්ධි අංශය අඩපන කිරීමට මෙන්ම රාජපක්ෂවරුන් නැවත බලයට පැමිණීම වළැක්වීම සඳහා දැඩිව ක්‍රියාකළ බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක හා ශානි අබේසේකර විවිධ නඩු සම්බන්ධයෙන් සාකච්ඡා කරන හඬ පටයක්ද එහිදී කොමිසම හමුවේ වාදනය කෙරුණා.

මෙහිදී ෂම්මි කුමාරරත්න මහතා වැඩිදුරටත් කියා සිටියේ 2020 ජනාධිපතිවරණයට මසක කාලයක් තිබියදී තමාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ බවයි.

*********************************************

බතික් කර්මාන්තකරුවන් දැඩි අසීරුතාවයක

(05.09.2020 – 12:45 +0530 – hirunews.lk/sinhala)

පාරම්පරික දේශීය බතික් කර්මාන්තයේ අමුද්‍රව්‍යවල මිල ඉහළයාම හේතුවෙන් තමන් කර්මාන්තයේ නියලෙන්නන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව පවසනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ මේ සඳහා රජය මැදිහත් වී ඉක්මන් විසඳුමක් ලබාදෙන ලෙසයි.

ශ්‍රී ලංකාවේ පාරම්පරික දේශීය කර්මාන්තයක් වශයෙන් බතික් කර්මාන්තයට දිගුකාලීය ඉතිහාසයක් හිමියි.

කෙසේ වෙතත් බතික් කර්මාන්තයේ නියලෙන්නන් පවසන්නේ බතික් නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හිඟයක් මේ වන විට පවතින බවයි.

බතික් කර්මාන්තයේ නිෂ්පාදන සඳහා අවශ්‍ය රෙදි සහ වර්ණ බහුලව ආනයනය කරන්නේ චීනය සහ ඉන්දියාව වැනි රටවලින් වන අතර කොරෝනා වසංගත තත්ත්වයත් සමඟ මේ වන විට එම අමුද්‍රව්‍ය ආනයනයද අඩාල වී තිබෙනවා.

පවතින තත්ත්වය හමුවේ ගුණාත්මකභාවයෙන් තොර වර්ණක වෙළදපොලේ අලෙවියට ඇති අතර කර්මාන්තයේ නියලෙන්නන් පෙන්වා දෙන්නේ එම නිසා බතික් නිෂ්පාදනවල ගුණාත්මකභාවයට බලපෑම් එල්ල වී ඇති බවයි.

බතික් කර්මාන්තයේ ඉදිරි දියුණුව සඳහා එම කර්මාන්තයේ නියලෙන්නන් ඔවුන්ගේ යෝජනා කිහිපයක්ද ඉදිරිපත් කළා.

*********************************************

පැල්මඩුල්ල, මාරපන ගම්වැසියන් පානීය ජල ගැටලුවක

(05.09.2020 – 12:49 +0530 – hirunews.lk/sinhala)

ජලය මූලික මිනිස් අවශ්‍යතාවක් වුවත් එය අහිමිව දුෂ්කරතා රැසකට මුහුණ පා සිටින ගම්මානයක් පිළිබඳ අපට වාර්තා වුණා.

අද (05) ‘රතු මිනිත්තුවේ’ අවධානය යොමුවන්නේ, පැල්මඩුල්ල, මාරපන ගම්වැසියන් මුහුණ දෙන මෙම පානීය ජල ගැටලුව පිළිබඳවයි.

පැල්මඩුල්ල මැතිවරණ කොට්ඨාසයට අයත්, මාරපන ගම්මනයේ ජීවත්වන පවුල් 150 ක් පමණ ජනතාව ජල ගැටලුවට මුහුණ පා සිටින්නේ වසර ගණනාවක සිටයි.

සිය ගැටලුවට විසඳුම් ලබාදීම, දේශපාලනඥයින් විසින් මැතිවරණ කාලයේදී කට වචනයකට පමණක් සීමා කරන බවට ඔවුන් චෝදනා කරනවා.

ගම්මානයේ පිහිටි ලිං කිහිපයකින් එදිනෙදා ජල අවශ්‍යතා සපුරා ගත්තද, එම ජලයද බොර පැහැයෙන් යුක්ත වීම හේතුවෙන් මෙම ගම්වැසියන් පානීය ජලය සපයා ගැනීමට දරන්නේ දැඩි පරිශ්‍රමයක්.

***************************************

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *