ජනපති කොමිසමට අදත් (05) හඬපට – විජයකලාටත් සිතාසි

ජනපති කොමිසමට අදත් (05) හඬපට – විජයකලාටත් සිතාසි

රස පරීක්ෂක වාර්තා ප්‍රමාදයෙන් නඩු 8,000 ක් අතරමග – රිමාන්ඩ් තදබදය අවම කිරීම ගැන සොයන්න කමිටුවක්

දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල 300 න් 170 ක් ප්‍රයෝජනයට නොගන්නා බවට චෝදනා

ශ්‍රී ලංකාවෙන් ඈත් කළ නිව් ඩයමන්ඩ් නෞකාවෙන් තෙල් කාන්දුවේ දැයි අඛන්ඩ නිරීක්ෂණ

නෞකාවේ ගින්න මැඩපැවැත්වීමේ මෙහෙයුම ගැන විමසා බැලීමක්

රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ටයිල් චමින්දගේ වාහන පරීක්ෂා කරයි

බැකෝ යන්ත්‍රයක් මාර්ගය හරහා පෙරලීමෙන් හැටන් – බලංගොඩ මාර්ගයේ ගමනාගමනයට බාධා

රේගුවේ බහාලුමකින් කහ කිලෝ 18,000 ක් සොරකම් කරයි – සැකකරුවන් 9 දෙනෙකු රුපියල් කෝටි හතරහමාරක් (4½) සමග අත්අඩංගුවට

පදික වේදිකා මත නවතා තබන වාහනවලට එරෙහි නීතිය දැඩිව ක්‍රියාත්මක කෙරේ

සිය ධූර කාලය තුළ සෞඛ්‍ය සම්පන්න ජාතියක් බිහිකරන බවට ජනපතිගෙන් ප්‍රතිඥා

පොලිසියට අවශ්‍යව සිටි CCD කොස්තාපල්වරයා දකුණු ඉන්දියාවේදී අත්අඩංගුවට

කුලී පදනම මත රථ වාහන ලබා ගෙන මුදල් වංචා කරන ජාවාරමක් හෙළිවෙයි

මස් පිණිස මී ගවයන් අලෙවි කරන මහා පරිමාණ ජාවාරමක සුළ මුළ හෙළිවෙයි

*********************************************

ජනපති කොමිසමට අදත් (05) හඬපට – විජයකලාටත් සිතාසි

(05.09.2020 – 19:17 +0530 – hirunews.lk/sinhala)

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව උපදෙස් දෙනු ලැබුවේ හිටපු ආරක්ෂක ලේකම් වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බවට ප්‍රකාශ කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අවස්ථා ගණනාවකදී තමන්ට බලපෑම් කළ බව කර්නල් ශම්මි කුමාරරත්න අනාවරණය කළා.

ඒ දේශපාලන පලිගැනීම් පිලිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින්.

ඔහු එහිදී සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර යහපාලන රජයෙන් හිමිව තිබූ අසීමිත බලය භාවිත කරමින් යුද හමුදා බුද්ධි අංශ අඩපණ කිරීමට මෙන්ම රාජපක්ෂවරුන් යළි බලයට පැමිණීම වැළැක්වීම සඳහා දැඩිව ක්‍රියා කළ බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක සහ ශානි අබේසේකර විවිධ නඩු සම්බන්ධයෙන් සාකච්ඡා කරන හඬපටයක් ද මෙහිදී කොමිසම හමුවේ ඉදිරිපත් කෙරුණා.

කර්නල් ශම්මි කුමාරරත්න මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ 2019 ජනාධිපතිවරණයට මසක කාලයක් තිබියදී තමන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ බවයි.

“ප්‍රගීත් එක්නැලිගොඩගේ සිද්ධිය සම්බන්ධයෙන් එදා ඉඳලා දුන්නෙත් එකම උත්තරය. අද කියන්නෙත් ඒ උත්තරයමද” යනුවෙන් විමර්ශන නිලධාරින් තමන්ගෙන් තර්ජනාත්මකව විමසූ බව ඔහු කොමිසමට ප්‍රකාශ කළා.

අවසන් මොහොතේ හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමට වැළැක්වීමට යහපාලන ආණ්ඩුව කටයුතු කළ බව ඉන් තමාට ගම්‍ය බව වන කර්නල් ශම්මි කුමාරරත්න කොමිසම හමුවේ වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර, යුද හමුදා බුද්ධි බලකායේ විශ්‍රාමික කෝප්‍රල් එස්.එම්. රවීන්ද්‍ර රූපසේන කළ පැමිණිල්ලකට අදාළව ඔහු අද (05) දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දුන්නා.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමානායක රාමනායක හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර අතර සිදුවූ දුරකථන සංවාදයක් කොමිසමට ඉදිරිපත් කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්තද සිල්වා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අතර සිදු වූ දුරකථන සංවාදයක්ද මෙහිදී කොමිසමට ඉදිරිපත් කෙරුණා.

යහපාලන රජයේ දේශපාලඥයින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් සමඟ පැවැත්වූ සමීප සම්බන්ධතාවයන් මෙම හඬ පට තුලින් ගම්‍ය වන බව සාක්ෂි දෙමින් යුද හමුදා බුද්ධි බලකායේ විශ්‍රාමික නිලධාරියා කොමිසම හමුවේ කියා සිටියා.

මේ අතර හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාගේ ක්‍රියකලාපය සම්බන්ධයෙන් ද කොමිසම හමුවේ අද (05) අනාවරණයක් සිදුකළා.

ඒ චුන්නාගම් පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල් ඥානලිංගම් මයුරන් විසින්.

ඔවුන් නිසා තමා ඇතුළු පොලිස් නිළධාරින් 05 දෙනෙකුට වසර 10 ක සිරදඩුවම් නියමවී ඇතැයි ඔහු ප්‍රකාශ කළා.

ඔහු සඳහන් කළේ එක් අවස්ථාවක විද්‍යා දැරිය සමූහ ලෙස දූෂණය කර ඝාතනයට ලක් කිරීමේ ප්‍රධාන සැකකරුවෙකුවූ මහා ලිංගම් ශෂිකුමාර් හෙවත් සුවිස් කුමාර් සිද්ධියෙන් මුදවා ගැනීම සඳහා විජයකලා මහේෂ්වරන් සෘජුවම මැදිහත් වූ බවයි.

ඔහු කොමිසමට පෙන්වා දුන්නේ පසුව චුන්නාකම් පොලිස් බල ප්‍රදේශයේ 2011 වසරේදී සිදු වූ කොල්ලකෑමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවෙකු, පොලිස් අත් අඩංගුවෙන් මිදී පලා යෑමේ දී දියේ ගිලී මිය යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් තමා ඇතුළු නිලධාරින් 05 දෙනෙකු වසර 10 කාලයක් සදහා සිර ගත කළේද විජයකලා මහේෂ්වරන්ගේ බලපෑම මත විය හැකි බවයි.

මේ සියලු සිදුවීම් හිටපු අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ගේ බලපෑම මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා විසින් සිදුකල බව ද සාක්ෂිකරු ප්‍රකාශ කළා.

එම කරුණු සලකා බැලූ කොමිසම හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් හා 2015 පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් ජාතික අපේකෂකයෙක් ලෙස ඉදිරිපත් වූ කුමරන් සර්වානන්දන්ට ද සැප්තැම්බර් 17වන දා කොමිසම හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කළා.

*********************************************

රස පරීක්ෂක වාර්තා ප්‍රමාදයෙන් නඩු 8,000 ක් අතරමග – රිමාන්ඩ් තදබදය අවම කිරීම ගැන සොයන්න කමිටුවක්

(05.09.2020 – 13:11 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඞ් භාරයට පත් කරන රැඳවියන්ගේ තදබදය අවම කරගැනීම සඳහා අවශ්‍ය නීතිමය තත්වයන් හා ඊට අදාළ ක්‍රියාමාර්ග සොයාබැලීමට අධිකරණ අමාත්‍යවරයා විසින් සත්පුද්ගල (7) කමිටුවක් පත් කර තිබෙනවා.

සති තුනක් (3) ඇතුළත ඒ පිළිබඳ වාර්තාව ලබාදෙන ලෙසයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි දැනුම්දී ඇත්තේ.

අධිකරණ අමාත්‍යාංශයේ නීති කටයුතු පිළිබඳ අතිරේක ලේකම්වරියක වන පියුමන්ති පීරිස්ගේ ප්‍රධානත්වයෙන් යුත් අදාළ කමිටුවේ සෙසු සාමාජිකයින් ලෙස රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමය නියෝජනය වන පරිදි පත්කර තිබෙනවා.

රිමාන්ඞ් භාරයට පත්වන රැඳවියන්ගේ අධික තදබදය හමුවේ බන්ධනාගාර තුළ හටගෙන ඇති ගැටළුකාරී තත්වය සම්බන්ධයෙන් පසුගිය 3 වනදා අධිකරණ අමාත්‍යාංශයේදි විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබුණේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ සම්බන්ධීකරණයෙන්.

එහිදී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්වන රැඳවියන් පුනරුත්ථාපනය සඳහා යොමු කිරීම පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ වාර්තා ප්‍රමාදවීම හේතුවෙන් ඇතැම් නඩු ඉදිරියට පවත්වාගෙන යාමේ ගැටළුකාරී තත්වයන් නිර්මාණය වී ඇති බව එහිදී නිරීක්ෂණය වී ඇති අතර, ඊට අදාළ රැඳවියන් තවදුරටත් රිමාන්ඞ් භාරයේ තැබීමට ද සිදුව ඇති බව සඳහන්.

එවැනි නඩු 8,000 කට වැඩි ප්‍රමාණයක් පවතින බැවින් ඒ පිළිබඳ අදාළ සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමුවූ බවයි බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර තංගල්ල පැරණි බන්ධනාගාර සංකීර්ණය, රඳවාතැබීමේ ස්ථානයක් ලෙස ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව එය සිදුකර ඇති බවයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ෴

*********************************************

දුම්රිය එන්ජින් සහ බලවේග කට්ටල 300 න් 170 ක් ප්‍රයෝජනයට නොගන්නා බවට චෝදනා

(05.09.2020 – 13:14 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය දෙපාර්තමේන්තුව සතුව එන්ජින් සහ බලවේග කට්ටල 300 ක් පැවතියද ධාවනය වන්නේ ඉන් 130 ක් පමණක් බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසනවා.

එහි ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා, හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ බලවේග කට්ටල හා දුම්රිය එන්ජින් 150 ක් පමණ දැනට ගාල් කර ඇති අතර, ධාවනයේ යෙදවෙන්නේ බලවේග කට්ටල 70 ක් සහ එන්ජින් 60 ක් පමණක් බවයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ දුම්රිය දෙපාර්තමේන්තුව සතුව මෙතරම් සම්පත් පැවතියද ඒවා ප්‍රයෝජනයට නොගැනීම සම්බන්ධයෙන් බලධාරීන් වගකිව යුතු බවයි ෴

*********************************************

ශ්‍රී ලංකාවෙන් ඈත් කළ නිව් ඩයමන්ඩ් නෞකාවෙන් තෙල් කාන්දුවේ දැයි අඛන්ඩ නිරීක්ෂණ

(05.09.2020 – 15:02 +0530 – hirunews.lk/sinhala)

එම්.ටී.නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න පාලනය කොට ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරයෙන් නාවික සැතපුම් 40 ඉක්මවූ දුරකට රැගෙන යාමෙන් පසු ද ඒ අවට මෙහෙයුම් සඳහා යාත්‍රා 11 ක් යොදවා ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කළා.

ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ නෞකාව ද අද (05) මෙහෙයුමට එක්වී ඇති අතර, මත්තල සිට නික්මුණු ඩෝනියර් වර්ගයේ නිරීක්ෂණ යානයක් ද එහි පැමිණ තිබෙනවා.

එමගින් තෙල් කාන්දුවක් ඇතිවීමේ අවදානමක් පවතින්නේ ද යන්න තවදුරටත් නිරීක්ෂණය කරන බවයි ඉන්දීය වෙරළාරක්ෂක බලකාය සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත්තේ.

කෙසේ වෙතත්, නෞකාවෙන් මෙතෙක් එවැනි තෙල් කාන්දුවක් වාර්තා නොවන බව ඉන්දීය වෙරළාරක්ෂක බලකාය ප්‍රකාශ කළා.

බොරතෙල් ප්‍රවාහනය කරමින් සිටියදී ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදේදී ගිනිගැනීමට ලක්වූ මෙම නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න මැඩපැවැත්වීමෙන් අනතුරුව, මේ වනවිට දිවයිනට ඔබ්බෙන් නාවික සැතපුම් 40 ක් පමණ ගැඹුරු මුහුද වෙත රැගෙන ගොස් තිබෙනවා.

පැනමා ධජය යටතේ ලියාපදිංචි එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව කුවේට් හි ‘මිනා අල් අහමදි’ වරායේ සිට ඉන්දියාවේ ඔඩීෂා හි පරදීප් වරාය වෙත ගමන් ඇරඹුවේ පසුගිය මස 23 වනදායි.

දිගින් මීටර් 333 ක් සහ පළල මීටර් 60 කින් යුත් මෙම නෞකාව බොරතෙල් මෙටි‍්‍රක් ටොන් 2,70,000 ක් රැගෙන ඉන්දියාවේ පරදීප් වරාය වෙත ළගාවීමට නියමිතව තිබුණේ අද (05) දිනයේදීයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ නැගෙනහිර සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38 ක් දුරින් ගැඹුරු මුහුදේ යාත්‍රා කරමින් සිටියදී පෙරේදා පෙරවරු 07:45 ට පමණ නෞකාවේ එන්ජින් කාමරය තුළ ගින්නක් හට ගත් අතර එහි බොයිලේරුවක සිදුවූ පිපිරීමකින් ගින්න හට ගෙන තිබුණා.

ඉන් නෞකාවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු ජිවිතක්ෂයට පත්වූ අතර, සෙසු පිරිස නිරුපද්‍රිතව මුදා ගැනීමටයි නාවික හමුදාව සමත් වුණේ.

ගින්න පිළිබඳව සැළවීමත් සමඟ ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නාවික හමුදාව, නෞකාව ස්ථානගතව ඇති මුහුදු ප්‍රදේශයට යාත්‍රා කළ අතර, පැය 35 කට අධික කාලයක් තුළ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් පසු ඊයේ (04) රාත්‍රි 7 පමණ වනවිට නෞකාවේ හට ගත් ගින්න නිවා දැමීමට සමත් වුණා.

ඒ ගුවන් හමුදාවේ ද සහය ඇතිවයි. මෙම මෙහෙයුම සඳහා ඉන්දීය නාවික හමුදාව, ඉන්දීය වෙරළාරක්ෂක බලකාය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය ද එක්ව තිබුණා.

නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට කටයුතු කළ බව ඉන්දීය වෙරළාරක්ෂක අධිකාරියද සිය නිල ට්විටර් ගිණුමේ සටහන් කර තිබුණා.

ගින්න මුළුමනින්ම නිවා දැමීමෙන් අනතුරුව මෙහෙයුමට, එක්වූ ටග් යාත්‍රාවක් ආධාරයෙන් නෞකාව ගැඹුරු මුහුද වෙත ඇදගෙන යාම ආරම්භ කළේ ඊයේ (04) රාත්‍රියේදී බවයි නාවික හමුදාව සඳහන් කළේ.

එහිදී දිවයිනට කිලෝමීටර් 22 ක දුරකින් පාවෙමින් තිබූ නෞකාව ටග් යාත්‍රාව ආධාරයෙන් දිවයිනට නාවික සැතපුම් 40 ක් දුරින් පිහිටි ගැඹුරු මුහුදට අද (05) පෙරවරුව වනවිට රැගෙන ගොස් ස්ථානගත කර තිබෙනවා.

අදාළ නෞකාව සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමේ බලය හිමිවන්නේ වරාය හා නාවික අමාත්‍යාංශයේ වෙළඳ නාවික ලේකම් කාර්යාලයටයි.

මේ අතර, මෙම නෞකාව සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහඳපුර මහත්මිය සහ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා අදහස් දක්වමින් කියා සිටියේ ඊට අදාළව වන්දි ලබාදීම සදහා වන කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බවයි.

මේ අතර එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න මැඩපැවැත්වීම සඳහා තම ජීවිත අවදානමට ලක් කරමින් ක්‍රියාන්විතයේ යෙදී සිටි ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව, වරාය අධිකාරිය සහ ඉන්දීය ආරක්ෂක අංශ වෙත තම හද පිරි ස්තූතිය පුදකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළා.

+++++++++++++++++++++

*********************************************

නෞකාවේ ගින්න මැඩපැවැත්වීමේ මෙහෙයුම ගැන විමසා බැලීමක්

(05.09.2020 – 20:00 +0530 – hirunews.lk/sinhala)

දින දෙකකට (2) ආසන්න කාලයක් පැවති නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න මැඩ පැවැත්වීමට හැකිවුණේ ශ්‍රී ලංකා නාවික හමුදා, ගුවන් හමුදාව මෙන්ම ඉන්දීය ආරක්ෂක අංශවල ඉමහත් පරිශ්‍රමය හේතුවෙන්.

රාත්‍රී දෙකක් (2) නිදි වර්ජිතව සිදුකළ එම මෙහෙයුම පිළිබඳයි මේ විමසා බැලීම.

ගෙවුණු දින දෙක (2) තුළ ලෝකයේ බොහෝ දෙනෙකුගේ අවධානය ශ්‍රී ලංකාවේ සංගමන්කන්ද තුඩුව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයට යොමුවුණේ, ගිනි ගනිමින් තිබූ නිව් ඩයමන්ඩ් ඉන්ධන ප්‍රවාහන නෞකාව හේතුවෙන්.

නාවික හමුදාවේ සමුද්‍රීය ගලවාගැනීමේ සහ සොයාබැලීමේ මධ්‍යස්ථානයට මේ පිළිබඳ තොරතුරු වාර්තා වුණේ පසුගිය 3 වැනිදා උදෑසන 08:05 ට පමණ.

එසැණින් ක්‍රියාත්මක වුණු නාවික හමුදාව මෙම නෞකාව පිළිබඳ සොයා බැලීමේ කටයුතු සඳහා යොමු කරන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් සයුර සහ රණරිසි නෞකා දෙකයි (2).

ඒ අතරතුර නෞකාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ගුවන් හමුදාව තමන් සතු ‘බීච් ක්‍රාෆ්ට්’ ආවේක්ෂණ යානාවක් ගුවන්ගත කළා.

නාවික හමුදාව වෙත නෞකාව සම්බන්ධයෙන් ඉතා වැදගත් තොරතුරු ලබා දෙන්නේ ඒ හරහායි.

ඒ අතරතුර ශ්‍රී ලංකා නාවික හමුදාවේ සිඳුරළ නෞකාවත් මෙම මෙහෙයුමට එක්වුණා.

සුළු ගින්නකින් ඇරඹී ව්‍යාප්ත වෙමින් පැවැති ගින්න පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවට ක්‍රියාමාර්ග රැසක් ගැනීමට සිදුවනවා.

ඒ ඉන්ධන මෙට්‍රික් ටොන් 270,000 ක් රැගෙන ගමන් ගන්නා මෙම නෞකාව අතිශයින්ම ගිනි ඇවිලෙන සුළුවීම නිසායි.

රාවණා සහ වසඹ ටග් යාත්‍රා මෙම මෙහෙයුමට දායකත්වය ලබා දෙන්නේ අදාළ සිසිලනය කිරීමේ ක්‍රමවේදය ඔස්සේයි.

නමුත් බෙහෝ දෙනෙකු සමාජ මාධ්‍ය හරහා කතා බහ කළ මාතෘකාවක් වන්නේ නෞකාවේ පසුපස කොටස ගිනිගනිද්දී නැවේ බඳ කොටසට ජල ප්‍රහාර එල්ල කරන්නේ මන්ද යන්නයි.

සාමාන්‍යයෙන් ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ඉදිකිරීමේදී ආරක්ෂක උපාය මාර්ග රැසක්ම අනුගමනය කරනවා.

නෞකාවේ ඉන්ධන ගබඩාකරන මෙම කොටස වටා ජල ස්ථරයක් පිරවිය හැකි කොටසක් නිර්මාණය කිරීම ඉන් එක් උපාය මාර්ගයක්.

ඒ හරහා නෞකාවේ බඳ කොටස උණුසුම් වුවද එම උණුසුම ඉන්ධන වෙත පැතිරීම වළක්වනවා.

මෙම නෞකාවේ ගින්න හටගත් අවස්ථාවේ එහි උණුසුම ඉන්ධන වෙත පැතිරයාම වැළැක්වීමේ අරමුණ ඇතිවයි මෙලෙස නෞකාවේ බඳ කොටස සිසිලනය කිරීම සිදුකෙරුණේ.

නෞකාවේ ගින්නටත්, බඳ කොටසටත් ජලය පොම්ප කරන අතර නෞකාවට මදක් ඈතින් මැහැද දෙසෙටම ලෙය පොම්ප කරන ආකාරයත් දැකගත හැකි වුණා.

ඒ අනුව නෞකාව සිසිලනය කිරීමේ කටයුතු ටග් යාත්‍රා දෙකේ ආධාරයෙන් සිදු කරද්දී එහි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ යානයක් යොදවන්නේ එම මෙහෙයුම තවදුරටත් තීව්‍ර කිරීමේ අරමුණින්.

මෙම සියළු මෙහෙයුම් සිදුවන අතරතුර ශ්‍රී ලංකාව ඉන්දියාවේ සහයද පතන්නේ මෙම ගින්න මැඩ පැවැත්වීමේ අරමුණින්.

ඒ අනුව ඉන්දීය යුද නෞකාවක් වන ශෙහාද්‍රි නෞකාවේ සහය ඊට හිමිවනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණ සිටි රුසියානු යුද නෞකා දෙකක්ද (2) මෙම මෙහෙයුමට සිය දායකත්වය ලබා දුන්නා.

ALP WINGER ටග් යාත්‍රාවද නෞකාව අයත් සමාගම විසින් මෙහෙයුම ස දහා එක් කරන්නේ ඒ අතර තුරයි.

ඒ අනුව ගින්න මැඩ පැවැත්වීමේ මෙහෙයුම සඳහා මේ වන විට නෞකා ඇතුළු යාත්‍රා 11 ක් මෙන්ම ශ්‍රී ලාංකා ගුවන් හමුදාවේ යානා 2 ක් එක්ව සිටිනවා.

දින දෙකක (2) ගිනි නිවීමේ මෙහෙයුම සාර්ථක අවසානයක් දක්වා පැමිණ තිබෙන්නේ ඒ සියලු අංශවල දායකත්වයෙන්.

+++++++++++++++++++++

*********************************************

රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ටයිල් චමින්දගේ වාහන පරීක්ෂා කරයි

(05.09.2020 – 16:03 +0530 – hirunews.lk/sinhala)

අධිකරණ නියෝග මත මිනුවන්ගොඩ පොලීසියේ රඳවාගෙන සිටින ‘ටයිල් චමින්ද’ නමැත්තා හෙරොයින් ජාවාරම් කිරීම සඳහා යොදා ගත් බවට සැක කෙරෙන වාහන 6 ක් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් විසින් පරීක්ෂාවට ලක් කළා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් සමග එක්ව හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

ඒ අනුව රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් මිනුවන්ගොඩ පොලීසිය භාරයේ ඇති නවීන පන්නයේ මෝටර් රථ දෙකක් (2), වෑන් රථයක්, කැබ් රථයක්, ටිපර් රථයක් සහ ත්‍රිරෝද රථයක් මෙලෙස පරීක්ෂාවට ලක් කර තිබෙනවා.

එම වාහනවල හෝ ඒවායේ රහස් කුටිවල හෙරොයින් තැවරී ඇත්ද යන්න සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස අධිකරණය මීට පෙර නියෝග කර තිබුණා.

මේ අතර, අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කෙසෙල්වත්තේ දිනුකගේ ගෝලයෙකු වන 23 හැවිරිදි ‘කෙසෙල්වත්තේ කසුන්’ දින 7 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය පොලීසියට අවසර ලබාදී තිබෙනවා.

ඒ සැකකරු අද මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

මේ අතර, පදිකවේදිකා මත වාහන නවතා තැබීම සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් රථ වාහන මූලස්ථානය භාර අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා පොලීසියේ 154 වන සංවත්සරය නිමිත්තෙන් මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් පැවති දානමය කටයුත්තකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ ෴

*********************************************

බැකෝ යන්ත්‍රයක් මාර්ගය හරහා පෙරලීමෙන් හැටන් – බලංගොඩ මාර්ගයේ ගමනාගමනයට බාධා

(05.09.2020 – 17:04 +0530 – hirunews.lk/sinhala)

හැටන් බලංගොඩ ප්‍රධාන මාර්ගයේ පින්නවල පුදුකාඩු ප්‍රදේශයේදී බැකෝ යන්ත්‍රයක් මාර්ගය හරහා පෙරළී යාමෙන් ගමනාගමනයට බාධා මතුවී තිබෙනවා.

අද (05) දහවල් අනතුර සිදුව ඇති අතර මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන් ඇණහිට ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

පින්නවල පුදුකාඩු ප්‍රදේශයේ මාර්ගය පුලුල් කිරීමේ කටයුත්තකට යොදාගෙන තිබු බැකෝ යන්ත්‍රයක් මෙලෙස මාර්ගය හරහා පෙරලී ගොස් තිබෙනවා.

අනතුරින් කිසිවෙකුටත් හානියක් සිදුවී නැහැ.

මේ හේතුවෙන් හැටන්, බලංගොඩ, බගවන්තලාව, මාරතැන්න, වාලෙයිබොඩ මෙන්ම ඇඹිලිපිටිය යන ප්‍රදේශ දක්වා ගමනාගමනය සම්පූර්ණයෙන් ඇණහිට තිබෙනවා.

බැකෝ යන්ත්‍රය ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර ගමනාගමන කටයුතු කඩිනමින් යථා තත්වයට පත්කරන බවයි පොලිසිය සඳහන් කර ඇත්තේ.

*********************************************

රේගුවේ බහාලුමකින් කහ කිලෝ 18,000 ක් සොරකම් කරයි – සැකකරුවන් 9 දෙනෙකු රුපියල් කෝටි හතරහමාරක් (4½) සමග අත්අඩංගුවට

(05.09.2020 – 17:11 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා රේගුව මගින් පවත්වාගෙන යන ග්‍රෑන්ඩ්පාස් – ගේ‍්‍රලයින් 2 බහාලුම් අංගනයට ඇතුළු වී එහි බහාලුමක රේගු මුද්‍රාව ඉවත් කර ප්‍රතිඅපනයනය සඳහා රඳවා තිබූ කහ කැබලි කිලෝ 18,180 ක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 28 වනදා මෙම සොරකම සිදුව තිබූ අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් මගින්.

කොළඹ 11, පස්වන (5) හරස් වීදියේ පෞද්ගලික ආයතනයක් විසින් මෙම කහ තොගය ආනයනය කර ඇති අතර, ඒවා ආනයනය තහනම් කර තිබියදී මෙරටට ගෙන්වා තිබූ බැවින් ශ්‍රී ලංකා රේගුව එහි විමර්ශන සිදුකරමින් සිටියදීයි මෙම සොරකම සිදුව ඇත්තේ.

ඒ අනුව මූලික විමර්ශනයේදී එක් සැකකරුවෙකු පසුගිය 29 වනදා අත්අඩංගුවට ගෙන ඇති අතර, 30 වනදා තවත් සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

ඊට අමතරව, මෙම අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවන් 5 දෙනෙකු පසුගිය 31 වනදා අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

විමර්ශනයේදී සැකකරුවන් එම කහ විකිණීමෙන් උපයා ගත් රුපියල් 4,51,12,032 ක මුදලක් ද සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත්ව තිබෙනවා.

එසේම, සැකකරුවන් කහ විකිණීමෙන් උපයා මුදලින් මිලදී ගත් නවීන මෝටර් රථයක්, සොරකම් කිරීම සඳහා භාවිත කරන ලද වෑන් රථ දෙකක් (2), ලොරි රථයක් සහ කහ කැබලි කිලෝ 20 ක් සහ කුඩු කරන ලද කහ කිලෝ 12 යි ග්‍රෑම් 500 ක් ද සොයා ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළා.

සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කර ඇත්තේ ෴

*********************************************

පදික වේදිකා මත නවතා තබන වාහනවලට එරෙහි නීතිය දැඩිව ක්‍රියාත්මක කෙරේ

(05.09.2020 – 17:17 +0530 – hirunews.lk/sinhala)

පදික වේදිකා මත වාහන නවතා තැබීම සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් රථ වාහන මූලස්ථානය භාර අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා ප්‍රකාශ කළා.

දොඹකර හෝ යම් ආධාරක යොදා ගනිමින් පදික වේදිකාවල නවතා ඇති වාහන ඉවත් කිරීමට සිදුවන අවස්ථාවලදී ඒ සඳහා වැය වන මුදල වාහනයේ හිමිකරු විසින් දැරිය යුතු අතර, වාහනයට යම් අලාභ හානියක් සිදුවුවහොත් එය ද හිමිකරු විසින් දැරිය යුතු බවයි ඔහු කියා සිටියේ.

ශ්‍රී ලංකා පොලීසියේ 154 වන සංවත්සරය නිමිත්තෙන් මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් පැවති දානමය කටයුත්තකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ ෴

*********************************************

සිය ධූර කාලය තුළ සෞඛ්‍ය සම්පන්න ජාතියක් බිහිකරන බවට ජනපතිගෙන් ප්‍රතිඥා

(05.09.2020 – 18:02 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 වසංගතය අපට උගන්වන වැදගත් පාඩමක් වන්නේ මධ්‍යගත සෞඛ්‍ය සේවා පද්ධතියක් පවත්වාගෙන යාමේ තීරණාත්මක අවශ්‍යතාව සනාථ කිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

සෞඛ්‍ය සේවාව පළාත් සභාවලට මුළුමනින් පවරා තිබුණේ නම් කොවිඩ් 19 වසංගතය හමුවේ ශ්‍රී ලංකාව දැක්වූ ප්‍රතිචාරයේ කාර්යක්ෂමතාව බොහෝ සෙයින් වෙනස් වන්නට තිබූ බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

ඔහු මෙම අදහස් පළ කළේ කැලණිය බොල්ලෑගල, මානෙල්වත්ත නාගානන්ද අන්තර්ජාතික බෞද්ධ අධ්‍යයන ආයතනයේ දී අද (05) ආරම්භ වූ ‘යහපත් සීමාවාසිකයා’ දෙදින වැඩුමුළුවේ ආරාධිත දේශනයසිදු කරමින්.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සංවිධාන කළ වැඩමුළුවට සීමාවාසික පුහුණුවට තෝරාගනු ලැබ සිටින ආධුනික වෛද්‍යවරු 680 ක් සහභාගී වනවා.

අද (05) ආරම්භ වූයේ මෙවැනි වැඩසටහන් මාලාවක 08 වැන්න වන අතර එහිදී සියයකට අධික මහාචාර්යවරු සහ විශේෂඥ වෛද්‍යවරු දේශන සිදු කිරීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ බොහෝ රෝහල් පාලනය පළාත් සභාවලට පවරා තිබුණද සෞඛ්‍ය අර්බුදයකදී පහසුවෙන් ප්‍රයෝජනයට ගත හැකි රෝහල් ප්‍රමාණවත් සංඛ්‍යාවක් සෞඛ්‍ය අමාත්‍යාංශ කළමනාකාරිත්වය යටතේ දිවයින පුරා පවතිනවා.

ඇතැම් කාර්යයන් විෂයයෙහි මධ්‍යම ආණ්ඩුවේ වගකීම පවත්වාගැනීමේ වැදගත්කම මෑතකාලීන අත්දැකීම්වලින් තහවුරු වූ අතර, අධ්‍යාපනය එසේ හඳුනාගත හැකි තවත් ක්ෂේත්‍රයක් බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී කියාසිටියේ.

ජනාධිපතිවරයා සිය කථාව ආරම්භ කරමින් කොවිඩ් 19 වසංගතය සාර්ථකව පාලනය කිරීමට ශ්‍රී ලංකාවට හැකි වූයේ රජයේ විවිධ අංශ ගත් තීරණාත්මක හා කඩිනම් පියවර සහ අපේ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ විශිෂ්ඨ ප්‍රයත්නය හේතුවෙන් බවයි පෙන්වා දුන්නේ.

මේ ව්‍යායාමයට දායක වූ සියලුම සෞඛ්‍ය සේවා වෘත්තිකයනට ඔහු සිය කෘතඥතාව සහ උපහාරය පුද කළා.

“ලෝකයේ ඇතැම් සංවර්ධිත රටවල් පවා සාර්ථක ලෙස වසංගතයට ප්‍රතිචාර දැක්වීමට සමත් වූයේ නැහැ. ප්‍රමාද වී ප්‍රතිචාර දැක්වීම සහ සර්වජන සෞඛ්‍ය ආරක්ෂණ පද්ධතියක් නොතිබීම ඊට ප්‍රධාන හේතුවක්. පෙර සූදානමක් නොතිබීමත්, ප්‍රමාණවත් තරම් පරීක්ෂණ නොකිරීමත් ඊට බලපෑවා. ප්‍රතිඵලය ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව ඉහළ යාමයි. කොවිඩ් ආසාදිත බවට සැක කෙරෙන එක් රෝගියෙකු හෝ අප ආපසු හරවා යැවූයේ නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය සහ යුනිසෙෆ් වැනි අන්තර්ජාතික සංවිධාන සේම බොහෝ රටවල් අප අත්කරගත් සාර්ථකත්වය ගැන ප්‍රශංසා කළා. සංවර්ධනය වෙමින් පවතින රටක් වුවද ශ්‍රි ලංකාවට මේ ප්‍රගතිය හිමිකර ගැනීමට හැකි වූයේ අපේ නිදහස් සෞඛ්‍ය පද්ධතිය නිසා බව මම ප්‍රකාශ කරන්නේ ආඩම්බරයෙන්” යනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියා සිටියා.

කොවිඩ් 19 වසංගතය කළමනාකරණය අතින් ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය අපේ මහජන සෞඛ්‍ය සේවාවේ ශක්තිමත්භාවයට සහ කාර්යක්ෂමතාවට ප්‍රබල සාක්ෂියක්.

එසේ තිබියදී අපේ රට වැසියන් බොහෝ දෙනෙක් බාහිර සෞඛ්‍ය සේවා සොයා යන්නේ මන්ද යන්න තමාට ප්‍රහේළිකාවක් බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.

රාජ්‍ය සෞඛ්‍ය සේවා පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ගැන සැකයක් නොමැති අතර රජය උත්පාදනය කරන අරමුදල් මහජන සෞඛ්‍ය සේවා අභිවෘද්ධිය පිණිස වැය කරන නිර්මාණශීලි ප්‍රවේශයකට කාලය එළැඹ තිබෙනවා.

එවැනි ක්‍රියාදාමයක අවසාන ප්‍රතිලාභය පුරවැසියාට බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේ.

එමෙන්ම පාර්ලි‍මේන්තු මැතිවරණයේදී ජනතාව රජයට දුන් ජනවරම සිහිපත් කරමින් ජනාධිපතිවරයා කියාසිටියේ ජනතාව සංවර්ධන පිපාසයෙන් පසුවන අතර, නිදහසට හේතු දැක්වීම්වලින් වෙහෙසට පත්ව සිටින බවයි.

“නිරෝගී ජනගහණයක් සිටීම සංවර්ධනයේ මුලික කුළුණු වලින් එකක්. නිශ්චිත මහජන සෞඛ්‍ය ඉලක්ක සාක්ෂාත් කර ගැනීම රජයේ වගකීමයි. මගේ ධූර කාලය තුළ සෞඛ්‍ය සම්පන්න ජාතියක් නිර්මාණය කිරීමට මම අධිෂ්ඨාන කරගෙන සිටිනවා”, යනුවෙන් ජනාධිපතිවරයා කියා සිටියා.

වෛද්‍යවරයෙකු හමුවීම සඳහා බොහෝ දුර ගමන් කිරීමට සිදුව ඇති ගම්බද ජනතාව පිළිබඳ අවධානය යොමු කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ සක්‍රීය ප්‍රායෝගික දෘෂ්ටියකින් බලා ගැටළු විසඳීමට හැකි බවයි.

නව සංකල්ප හඳුන්වාදීමට දැන් කාලය පැමිණ තිබෙනවා. සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණවත් නොමැති ගම්මානවල සුවසේවා සැලසීමට දායකවීමට මහජන සෞඛ්‍ය හෙදියනට හැකියාව පවතිනවා. ග්‍රාමීය බෙහෙත් ශාලා නැවත පණ ගැන්වීම තවත් විසඳුමක්.

වෛද්‍ය ක්ෂේත්‍රය පුද්ගලයෙකුට පිවිසීමට හැකි උතුම් වෘත්තීන්ගෙන් එකක් බවයි ‘යහපත් සීමාවාසිකයා’ වැඩමුළුවට එක්ව සිටින තරුණ වෛද්‍ය උපාධිධාරීන් විශේෂයෙන් ආමන්ත්‍රණය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කියාසිටියේ.

“රෝගීන්ගේ ජිවිතය කෙරෙහි වෛද්‍යවරයාට ඇත්තේ විශාල වගකීමක්. පුද්ගලයෙකුගේ ජීවිතය හෝ මරණය තීරණය වන්නේ ඔබ එළැඹෙන නිගමනය අනුව. ඔබේ වගකීම සුළුකොට තැකීමට පිළිවන්කමක් නැහැ”, යනුවෙන් ජනාධිපතිවරයා සඳහන් කළා.

දේශනය අවසන් කරමින් ‘ආරෝග්‍යා පරමාලාභා’ යන බුද්ධ වචනය සිහිපත් කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය සේවාවේ ඉහළම ප්‍රමිතීන් සාක්ෂාත් කර ගනිමින් සහෝදර ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා කැප වන ලෙසටයි ආධුනික වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක් කළේ.

*********************************************

පොලිසියට අවශ්‍යව සිටි CCD කොස්තාපල්වරයා දකුණු ඉන්දියාවේදී අත්අඩංගුවට

(05.09.2020 – 18:54 +0530 – hirunews.lk/sinhala)

සපුගස්කන්ද ප්‍රදේශයෙන් හෙරොයින් කිලෝ 23 ක් සොයා ගැනීමේ සිද්ධියට අවශකර සිටි කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් කොස්තාපල්වරයා දකුණු ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.

මේ අතර සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ‘කෙසෙල්වත්ත දිනුක’ගේ ගෝලයෙකුවන ‘කෙසෙල්වත්තේ කසුන්’ නමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ හෙරොයින් ජාවාරමෙන් උපයා ගත් බවට සැකකෙරෙන රුපියල් මිලියන 183 කට අධික මුදලක්ද ඔහුගේ බැංකු ගිණුම් කිහිපයක සංසරණය වී ඇති බවට අනාවරණය වී ඇති බවයි.

‘කෙසෙල්වත්තේ කසුන්’ නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයා ඊයේ (04) රාත්‍රීයේ අත්අඩංගුවට ගත්තේ පොලිස් විශේෂ කාර්ය බලකාය එඬේරමුල්ල ප්‍රදේශයේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී.

පොලීසිය පැවසුවේ ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 5 කට අධික ප්‍රමාණයක්, කඩු 3 ක්, කිනිස්සක්, ඩෙකර් පිහියක්, මෙන්ම මිල අධික යතුරුපැදි 3 ක් සහ ලොරි රථයක් පොලිස් භාරයට ගත් බවයි.

23 හැවිරිදි සැකකරු සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ‘කෙසෙල්වත්ත දිනුක’ගේ ගෝලයෙක්ද වන බවට මූලික විමර්ශනවලදි අනාවරණ වී තිබෙනවා.

සැකකරු තල්දියවත්ත, උස්වැටකෙයියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පොලිසිය පැවසුවේ, සැකකරුගේ ගිණුම් 2 ක මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැකකෙරෙන රුපියල් මිලියන 183 කට ආසන්න මුදලක් සංසරණය වී ඇති බවද සොයාගත් බවයි.

මේ අතරල පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් පානදුර දකුණ කුරුප්පුමුල්ල ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී හෙරොයින් සන්තකයේ තබාගත් සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් එක් පුද්ගලයෙකු සතුව තිබී හෙරොයින් ග්‍රැම් 424 කට අධික ප්‍රමාණයක්ද, අනෙක් සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 3 කට අධික ප්‍රමාණයක්ද සිය භාරයට ගත් බව පොලීසිය සඳහන් කළා.

පොලිසිය පැවසූවේ ඔවුන් සන්තකයේ තිබී සොයාගත් හෙරොයින් වල වටිනාකම රුපියල් ලක්ෂ 50 ඉක්මවන බවයි.

සැකකරුවන් අවුරුදු 28 සහ 30 යන වයස්වල පසුවන පානදුර – කුරුප්පුමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මේ අතර, ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධීව මෙරටට ගෙන එන ලද බීඩි කොළ කිලෝ ග්‍රෑම් 500 කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් 6 දෙනෙකු හලාවත – මාරවිල මුහුදු තීරයේදී අත්අඩංගුවට ගැනිමට නාවික හමුදාව සමත් වුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් තිදෙනෙකු (3) මන්නාරම – පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, අනෙක් තිදෙනා (3) පන්නල ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මන්නාරම ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් තිදෙනා විසින් අදාළ බීඩි කොළ තොගය ගැඹුරු මුහුදේ සිට ගොඩබිම දක්වා රැගෙන ආ බෝට්ටුවද නාවික හමුදා නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

අනෙක් සැකකරුවන් තිදෙනා (3) බීඩි කොළ තොගය ප්‍රවාහනය කිරීම සඳහා පැමිණ ඇති අතර, ඔවුන් පැමිණි ලොරි රථයද පොලිස් භාරයට ගත්තා.

පොලීසිය සඳහන් කළේ මෙම බීඩි කොළ තොගය තිහාරිය ප්‍රදේශය දක්වා රැගෙන යාමට සූදානම් කර තිබූ බවයි.

මේ අතරල පයාගල – ගොඩැල්ලවත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 29 කට අධික ප්‍රමාණයක් සමඟින් 30 හැවිරිදි සැකකරුවෙකු පයාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්යය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් සීදූව නගරයේදී සිදු කළ වැටලීමකදී කේරළ ගංජා සහ මත් පෙති සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත්තා.

පොලිසිය පැවසූවේ ඔහු සන්තකයේ තිබී මත්පෙති 250 ක් පමණ හමුවූ බවයි.

මේ අතර, කඹුරුපිටිය විටියල ප්‍රදේශයේ නිවසක ගසක් මුල සඟවා තිබූ ටී.56 මැගසින් එකක් සහ උණ්ඩ 29 ක් කඹුරුපිටිය පොලිසිය සොයාගෙන තිබෙන්නේ අදාල නිවෙස් හිමියන් විසින් ලබා දුන් තොරතුරු මතයි.

එමෙන්ම විදෙස් රටක නිෂ්පාදිත බෝර 12 ගිනි අවි 3 ක් යක්කලමුල්ල, අවිස්සාවේල්ල සහ තිරුක්කෝවිල් ප්‍රදේශ වල කළ මෙහෙයුම් වලදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ අතරල පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් මීගහතැන්න – යගිරල ප්‍රදේශයේ කල වැටලීමකදී බෝර 12 ගිනි අවි සඳහා යොදන පතරොම් 12 ක් සමඟ වන ක්ෂේත්‍ර සහායකයෙකු අත්අඩංගුවට පත්වුණා.

සැකකරු සන්තකයේ තිබී කිණිසි 2 ක්, සේවා නූල් සහ ගිනි අවි පිරිසිදු කිරීමට යොදාගන්නා උපකරණයක්ද පොලිස් භාරයට ගත්තා.

බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය නිවේදනය කළේ අද (05) අලුයම 5 ට අවසන් වූ පැය 24 ක කාලය තුළ බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම්වලදී හෙරොයින් ග්‍රැම් 141 කට වැඩි ප්‍රමාණයක්, ගංජා ග්‍රෑම් 343 කට අධික ප්‍රමාණයක්, නීතිවිරෝධී මත්පැන් බෝතල් 400 කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇති බවයි.

මේ අතර, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කරන රැඳවියන්ගේ තදබදය අවමකිරීම සඳහා අවශ්‍ය නීතිමය සහ අනෙකුත් ක්‍රියාමාර්ග පිළිබඳව සොයා බැලීමට සත් පුද්ගල කමිටුවක් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් පත්කර තිබෙනවා.

අමාත්‍යවරයා දැනුම්දී ඇත්තේ සති 3 ක් ඇතුළත ඒ පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙසටයි.

අදාළ කමිටුවට සාමාජිකයන් පත්කර ඇත්තේ අධිකරණ අමාත්‍යාංශය, රස පරීක්ෂක දෙපාර්තමේන්තුවල පොලිස් දෙපාර්තමේන්තුවල බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය නියෝජනය වන පරිදියි.

*********************************************

කුලී පදනම මත රථ වාහන ලබා ගෙන මුදල් වංචා කරන ජාවාරමක් හෙළිවෙයි

(05.09.2020 – 20:21 +0530 – hirunews.lk/sinhala)

කුලී පදනම මත රථ වාහන ලබා ගෙන මුදල් වංචා කරන කණ්ඩායමක් පිලිබඳව හෙලිකර ගැනීමට පොලිසිය සමත්වී තිබෙනවා.

ඒ කුලී පදනම මත රැගෙන ගිය වාහනයක් නැවත ලබා දීම සදහා කප්පම් මුදලක් ලබා ගැනීමට තැත්කිරීමක් පිලිබඳව බියගම දෙල්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වූ තොරතුරු අනුවයි.

රථ වාහන කුලී පදනම මත ලබා ගන්නා බව පවසා සංවිධානාත්මක පිරිසක් මුහුණු පොත හරහා දැන්වීම පළ කර තිබෙනවා.

එසේම මෙම පුද්ගලයන් කල්බදු ගෙවා ගැනීමට නොහැකි වූ රථ වාහනද නියමිත පරිදි කල්බදු ගෙවන බවට පොරොන්දු ලබා දෙමින් විවිධ පුද්ගලයන්ගෙන් ලබා ගෙන තිබුණා.

කැකිරාවේ පදිංචි පුද්ගලයෙකු ඔහු සතු වැගන් ආර් වර්ගයේ මොටර් රථයක් කුලී පදනම මත ජුනි මාසයේදී මෙම පිරිසට ලබා දී තිබුණේ ඒ අනුවයි.

*********************************************

මස් පිණිස මී ගවයන් අලෙවි කරන මහා පරිමාණ ජාවාරමක සුළ මුළ හෙළිවෙයි

(05.09.2020 – 22:43 +0530 – hirunews.lk/sinhala)

අභිජනනය සදහා කොළඹට රැගෙන එන මුවාවෙන් මස් පිණිස මී ගවයන් අලෙවි කරන මහා පරිමාණ ජාවාරමක සුළ මුළ හෙළිකර ගැනීමට ‘හිරු සී.අයි.ඒ.’ ට හැකිවුණා.

නාවික හමුදා බුද්ධි අංශය සමග කළ විමර්ශනයකදී හෙළිකරගත් එම තොරතුරු මත අදාල ජාවාරම වැටලීමට සුරියවැව විශේෂ කාර්ය බලකා නිලධාරීන් ක්‍රියා කළා.

අද (05) ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණය ඒ පිළිබඳවයි.

පසුගිය කාලය පුරා දකුණු පළාතේ විවිධ ප්‍රදේශවලින් සත්ව පාලනයට මී ගවයින් රැගෙන එන බවට තොරතුරු ඉදිරිපත් කරමින් සතුන් රැසක් බස්නාහිර පළාතේ කදාන ප්‍රදේශයට රැගෙන විත් තිබෙනවා.

එහෙත් ‘හිරු සී.අයි.ඒ.’ කණ්ඩායම සිදුකළ සොයාබැලීමේදී හෙළිවුයේ සතුන් ප්‍රවාහනය කරන ස්ථානය නිශ්චිතව දක්වා නොමැති බවයි.

අදාල අයදුම් පතේ ප්‍රවාහන ගමනාන්තය බටේපොල දක්වා පමණක් සඳහන් කර ඇති අතර, එහි දක්වා තිබු සතුන්ගේ විස්තර ද සම්පුර්ණයෙන්ම ව්‍යාජ ඒවායි.

එසේම තමන්ට අවශ්‍ය ඕනෑම මී ගවයෙකු රැගෙනයාම සදහා ජාවාරම්කරුවන් රජයේ පශු වෛද්‍යවරුන් භාරයේ නිල වශයෙන් තබා ගැනෙන සතුන්ගේ අනන්‍යතාව සලකුණු කරන ටැග් හා එම උපකරනද නීති විරෝධීව රැගෙන යන බවට ද අප තොරතුරු අනාවරණය කර ගත්තා.

ඒ අනුව නාවික හමුදා බුද්ධි අංශ හා ‘හිරු සී.අයි.ඒ.’ කණ්ඩායම ලබාදුන් තොරතුරු මත සැකකටයුතු ලෙස මී ගවයින් ප්‍රවාහනය කරනා ලොරියක් පසුගියදා තණමල්විල – සුරියආර ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් වටලනු ලැබුවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *