නිව් ඩයමන්ඩ් නෞකාව ගැන පරීක්ෂාවට බ්‍රිතාන්‍ය සහ නෙදර්ලන්ත විශේෂඥයින් පිරිසක් අද (06) දිවයිනට

නිව් ඩයමන්ඩ් නෞකාව ගැන පරීක්ෂාවට බ්‍රිතාන්‍ය සහ නෙදර්ලන්ත විශේෂඥයින් පිරිසක් අද (06) දිවයිනට

ගිනිගත් නැව ගැන විමර්ශනයට විශේෂඥයන් පිරිසක් දිවයිනට – නෞකාවෙන් ඉන්ධන කාන්දුවීමේ කිසිදු අවධානමක් නැහැ

නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න සුදු දුමකට සීමා වෙයි – විදේශීය විශේෂඥයන් තව පැය කිහිපයකින් නෞකාව වෙත

නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න පිළිබඳ නීතිපතිවරයා සමාලෝචන සාකච්ඡාවක

නිව් ඩයමන්ඩ් නෞකාවේ ක්‍රියාන්විතයට එක් වූ සියලු දෙනාට අගමැතිගෙන් තුති

විදේශීය විශේෂඥයින් අද (07) ගිනිගත් නෞකාවට, තවත් කණ්ඩායමකුත් දිවයිනට

දේශීය විශේෂඥ කණ්ඩායම් තුනක් (3) ගිනිගත් මුහුදු ප්‍රදේශයේ ජල සාම්පල පරීක්ෂාවට

උණුසුම සහ සුළං නිසා තෙල් නැව යළි ගිනි ගනී

යළි ඇවිලුණු තෙල් නැවේ ගින්න නිවන්න තවදුරටත් මෙහෙයුම් – විශේෂඥ කමිටුවත් යාත්‍රාවල සිට නිරීක්ෂණ කටයුතුවල

නිව් ඩයමන්ඩ් නෞකාවේ ඉදිරි කටයුතු ගැන තවත් සාකච්ඡාවක්

ගිනිගත් නෞකාවේ කාර්ය මණ්ඩලයේ විසිදෙනෙක් (20) ගාල්ලේ හුදකලා මධ්‍යස්ථානයකට

*********************************************

නිව් ඩයමන්ඩ් නෞකාව ගැන පරීක්ෂාවට බ්‍රිතාන්‍ය සහ නෙදර්ලන්ත විශේෂඥයින් පිරිසක් අද (06) දිවයිනට

(06.09.2020 – 07:30 +0530 – hirunews.lk/sinhala)

බොරතෙල් රැගෙන යාත්‍රා කරමින් සිටියදී ගිනි ගැනීමට ලක්වූ එම්.ටී.නිව් ඩයමන්ඩ් නෞකාව අයත් සමාගමේ මැදිහත් වීම මත දස (10) දෙනෙකුගෙන් සමන්විත බ්‍රිතාන්‍ය සහ නෙදර්ලන්ත විශේෂඥයින් කණ්ඩායමක් අද (06) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඔවුන් මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලින් දිවයිනට පැමිණෙන අතර, එම පිරිසට මුදවා ගැනීමේ මෙහෙයුම් විශේෂඥයින්, ආපදා තක්සේරුකරුවන් සහ නීති උපදේශකයෙකු ද ඇතුළත්.

මෙම විශේෂඥ කණ්ඩායම නාවික හමුදාව මගින් කල්මුණේ සිට වේග ප්‍රහාරක යාත්‍රාවක් යොදා ගනිමින් ආපදාවට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශය වෙත රැගෙන යාමටයි සැලසුම් කර ඇත්තේ.

ගොඩබිම සිට නාවික සැතපුම් 40 ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදේ රඳවා ඇති එම්.ටී.නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න පැතිරීම මේ වනවිට පාලනය කර ඇති අතර, තවදුරටත් ගින්න නිවීමේ කටයුතු සිදුවනවා.

ඒ සඳහා නාවික හමුදාවේ සමුදුර, සිදුරල, සහ උදාර යන නෞකා එක්ව ඇති අතර, ඉන්දියාවේ නෞකා 6 ක් ද ඊට එක්ව සිටිනවා.

එසේම, ටග් යාත්‍රා 4 ක්, වෙරළාරක්ෂක බලකායේ නෞකා 2 ක් සහ ඩෝරා යාත්‍රා 3 ක් ද තවදුරටත් ගින්න පාලනය කිරීමේ මෙහෙයුම් වල නිරත වන බව සඳහන්.

ඉන්දීය වෙරළාරක්ෂක බලකාය සඳහන් කළේ නෞකාවෙන් තෙල් කාන්දුවක් වැළැක්වීම දැන් සිදු කෙරෙන මෙහෙයුමේ ප්‍රධාන අරමුණක් බවයි.

එවැනි තෙල් කාන්දුවක් සිදුවුවහොත් එය මාලදිවයින ඇතුලූ ඉන්දීය සාගරයේ රටවල් රැසකට බලපෑමක් සිදුකළ හැකියි.

එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න පාලනය කිරීමෙන් විශාල පාරිසරික ආපදා තත්ත්වයක් වැළැක්වීමට හැකිවූ බව ඉන්දීය වෙරළාරක්ෂක බලකාය වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර නෞකාවේ ගින්න මැඩපැවැත්වීම සඳහා නිසි වේලාවට ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව, වරාය අධිකාරිය සහ ඉන්දීය නාවික බලකාය ඇතුලු සියල්ලන්ටම තුති පුද කරන බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේ.

*********************************************

ගිනිගත් නැව ගැන විමර්ශනයට විශේෂඥයන් පිරිසක් දිවයිනට – නෞකාවෙන් ඉන්ධන කාන්දුවීමේ කිසිදු අවධානමක් නැහැ

(06.09.2020 – 08:09 +0530 – hirunews.lk/sinhala)

බොරතෙල් රැගෙන යාත්‍රා කරමින් සිටියදී ගිනි ගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව පිළිබඳ අනුගමනය කළ යුතු ඉදිරි ආපදා කළමනාකරණ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ලබාදීම සඳහා දස (10) දෙනෙකුගෙන් සමන්විත බ්‍රිතාන්‍ය සහ නෙදර්ලන්ත විශේෂඥ කණ්ඩායම දිවයිනට පැමිණ තිබෙනවා.

අද (06) උදෑසන 06:45 ට මත්තල ගුවන් තොටුපලින් මෙම පිරිස දිවයිනට ළඟාවූ බවයි වාර්තාවන්නේ.

නෞකාව අයත් සමාගමේ මැදිහත්වීමෙන් දිවයිනට පැමිණි මෙම විශේෂඥයන් පිරිසට මුදවා ගැනීමේ මෙහෙයුම් විශේෂඥයන් මෙන්ම ආපදා තක්සේරුකරුවන් සහ නීති උපදේශකයෙකුද ඇතුළත්.

මේ අතර ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධාන ගිනි නිවීමේ නිලධාරින් ඇතුලු කණ්ඩායමක්ද මෙම නෞකාව නිරීක්ෂණය සඳහා අද (06) එක්වීමට නියමිතයි.

ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාව ගොඩබිම සිට නාවික සැතපුම් 40 ක් එනම් කිලෝමීටර් 74 ක් පමණ දක්වා වූ ගැඹුරු මුහුදේ රඳවාගෙන රසායනික ද්‍රව්‍ය සහ ජලය යොදාගෙන ගිනි නිවීම් මෙන්ම සිසිලන ආවරණ ලබාදීම තවදුරටත් සිදු කරමින් පවතිනවා.

ඒ නාවික හමුදාව ප්‍රමුඛ අනෙක් පාර්ශවකරුවන් විසින් බවයි නාවික හමුදාව නිවේදනය කළේ.

එමෙන්ම ඊයේ (05) මධ්‍යම රාත්‍රියේදී ‘ඕෂන් බ්ලිස්’ නම් ටග් යාත්‍රාවක් ද මෙහෙයුමට එක්වී තිබෙනවා.

නාවික හමුදාව නිවේදනය කළේ ඉන්දීය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් තවත් නෞකා දෙකක් (2) වන අමීයා සහ අභීක් මෙම මෙහෙයුම සඳහා ඊයේ (05) දහවල් සිට එක්ව සිටින බවයි.

එමෙන්ම ඉන්දියානු වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ඩ්‍රෝනියර් ගුවන් යානාවක් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් ගුවන්ගත වී ආපදාවට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශයේ නිරීක්‍ෂණ කටයුතුවලට එක්වීමට නියමිතයි.

ඊයේ (05) රාත්‍රී කාලයේදී ආපදාවට පත්ව ඇති නෞකාව ඇති මුහුදු ප්‍රදේශයේ යම් රළු ස්වභාවයක් සහ සුළගේ වැඩි වීමක් පැවතිය ද එම අභියෝග හමුවේ මෙහෙයුම අඛණ්ඩව සිදු කෙරුණා. අද (06) දිනය තුළ ද ‘දහන අපෝෂක රසායන ද්‍රව්‍ය’ යොදා ගනිමින් මෙම ආපදා තත්වය මැඩපැවැත්වීමටයි කටයුතු සූදානම් කර ඇත්තේ.

ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව තුළ මේවන විට ආරක්‍ෂිතව වෙන්කර තබා සිටින ආපදාවට පත් නෞකාවෙන් ගලවා ගත් කාර්යමණ්ඩලයේ නාවිකයන් 20 දෙනා හට අනතුරින් පසු ප්‍රථම වරට දුරකථන මාර්ග ඔස්සේ සිය සහෘදයන් සමඟ සම්බන්ධවීමට අවස්ථාව උදා කිරීමට ද නාවික හමුදාව කටයුතු සැලසුම් කර තිබෙනවා.

නිව් ඩයමන්ඩ් නෞකාවේ වාණිජ හිමිකරු වන ග්‍රීසියේ ඇතෑන්ස් නුවර පිහිටි New Shipping Limited ආයතනය විසින් ආපදා ගැලවුම්කාර පාර්ශවය ලෙස සිංගප්පූරුවේ සිට ක්‍රියාත්මක වන SMIT Singapore Pte Ltd නම් ජාත්‍යන්තර ආයතනය පත් කර තිබෙනවා.

එම ආයතනය විසින් මේ වන විට මෙම ආපදා ගැලවුම් (Salvage) සඳහා බොරතෙල් සම්බන්ධව විශේෂඥ දැනුම ඇති පුද්ගලයින් හා උපකරණ නිව් ඩයමන්ඩ් නෞකාව වෙත යොමු කරමින් පවතින බවයි නාවික හමුදාව සඳහන් කළේ.

නෞකාව සමඟ ඇති ටී.ටී.ටී. 1 (TTT One) නමැති ටග් යාත්‍රාවේ මෙවැනි ආපදාවන් සම්බන්ධව කටයුතු කල හැකි ගලවාගැනීමේ විශේෂඥ ප්‍රධානියෙකු ඇතුළු කණ්ඩායමක් ඇති අතර, එම ටග් යාත්‍රාව හා එකතුවීමට බොරතෙල් නැව් හැසිරවිය හැකි විශාල ප්‍රමාණයේ ටග් යාත්‍රා දෙකක් (2) සිංගප්පූරුව සහ මොරිෂස් යන රටවල් වෙතින් මේවන විටත් පිටත්ව තිබෙනවා.

එමෙන්ම, SMIT Singapore Pvt Ltd ආයතනය විසින් මෙම රැගෙන එන පුද්ගලයින් හා භාණ්ඩ පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදාව දැනුවත් කිරීමට කටයුතු කර ඇති අතර, එම කටයුතු සඳහා අවශ්‍ය සහයෝගය දැක්වීමට සූදානමින් සිටින බව ද නාවික හමුදාව ප්‍රකාශ කළා.

අද (06) උදෑසන කාලයේදී මුදවා ගැනීමේ මෙහෙයුම් විශේෂඥයින්, ආපදා තක්සේරුකරුවන් හා නීතී උපදේශකයෙකු ද ඇතුළු 10 දෙනෙකුත් යුත් බ්‍රිතාන්‍ය හා නෙදර්ලන්ත විශේෂඥයින් පිරිසක් දිවයිනට පැමිණ නෞකාවේ ආපදා කළමණාකරන කටයුතු විමර්ශනය කර ඉදිරි කටයුතු සැළසුම් කළ යුතු ආකාරය පිළිබඳ අවශ්‍ය නිර්දේශ ලබා දීමට නියමිතයි.

මීට අමතරව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධාන ගිණි නිවීමේ නිලධාරී ඇතුළු කණ්ඩායමක්ද මෙම ආපදාවට පත් නෞකාව නිරීක්‍ෂණය සඳහා අද එක්වීමට නියමිතව තිබෙනවා.

මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකා 3 ක්, ඉන්දියානු වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකා 5 ක්, ඉන්දියානු නාවික හමුදාවට අයත් යුධ නෞකාවක්, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගමේ රාවණා සහ වසඹ යන ටග් යාත්‍රා 2 ක්, ආපදාවට පත් නෞකාව අයත් සමාගම මගින් යෙදවූ ALP Winger නම් ටග් යාත්‍රාව සහ ගැඹුරු මුහුදේ මෙහෙයුම් සිදු කරනු ලබන ගිනි නිවීමේ විශේෂඥයින්ගෙන් සමන්විත ටී.ටී.ටී. 1 (TTT One) නමැති ටග් යාත්‍රාව හා ඕෂන් බ්ලිස් (Ocean Bliss) නම් ටග් යාත්‍රාව මෙම ගිනි නිවීමේ මෙහෙයුම සඳහා මේවන විටත් සක්‍රීයව දායකත්වය ලබා දෙමින් සිටිනවා.

මීට අමතරව ශ්‍රී ලංකා නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රා තුනක් (3) සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකා 2 ක් සැපයුම් යාත්‍රාවන් වශයෙන් මෙම මෙහෙයුමට එක්කර තිබෙනවා.

විශේෂඥ උපදෙස් අනුව ක්‍රියාත්මක වන මෙම ඒකාබද්ධ ආපදා මර්දන මෙහෙයුම මගින් නෞකාවේ ගින්න පැතිරයාම මේ වන විට සාර්ථකව පාලනය කර ඇති අතර, එම නෞකාව මගින් සාගරයට තෙල් කාන්දුවීමේ කිසිදු අවධානමක් නොමැති බව ද නාවික හමුදාව අවධාරණය කළා.

*********************************************

නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න සුදු දුමකට සීමා වෙයි – විදේශීය විශේෂඥයන් තව පැය කිහිපයකින් නෞකාව වෙත

(06.09.2020 – 12:44 +0530 – hirunews.lk/sinhala)

ගිනිගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවෙන් මේ වනවිට කිසිදු ගිනි දැල්ලක් දර්ශනය නොවන බව වාර්තාවනවා.

එය සුදු දුමකට පමණක් සීමාවී ඇති බවයි ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රකාශ කළේ.

එය ඩයමන්ඩ් නෞකාවේ එන්ජින් පරිශ්‍රය තුළ තවදුරටත් ප්‍රබල ඉන්ධන දහනයක් නොවන බවට සාධනීය සාධකයක් බවයි නාවික හමුදා තාක්ෂණ විශේෂඥයන්ගේ මතය වී ඇත්තේ.

එමෙන්ම කිසිදු අයුරකින් නෞකාවෙන් ඉන්ධන කාන්දුවක් සිදුවීමට අවකාශයක් නොමැති බවද එම තාක්ෂණ විශේෂඥයන් තහවුරු කර තිබෙනවා.

එමෙන්ම මේ වනවිටත් ගිනි ගත් එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ ගිනි නිවීමේ කටයුතු රසායන ද්‍රව්‍ය උපයෝගී කරගනිමින් තවදුරටත් සිදුවන්නේ යාත්‍රා 20 ක් උපයෝගී කරගනිමින්.

මේ අතර ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධයෙන් ගතයුතු ඉදිරි ආපදා කළමනාකරණ ක්‍රියාමර්ග පිළිබඳ තීරණය කිරීම සඳහා එම නෞකාව අයත් ග්‍රීසියේ ඇතැන්ස් නුවර පිහිටි නිව් ෂිපින් ලිමිටඩ් ආයතනය විසින් ගැළවුම්කාර සිංගප්පූරු සමාගමක් වෙත භාරදෙනු ලැබුවා.

එම ගැළවුම්කාර සමාගමේ නියෝජිතයන් අද (06) උදෑසන මත්තල ගුවන් තොටුපලෙන් දිවයිනට පැමිණියා.

මෙරටට පැමිණි මෙම නියෝජිතයන් පිරිස අතරට මුදාගැනීමේ මෙහෙයුම් විශේෂඥයන්, ආපදා කළමනාකරණ විශේෂඥයන් මෙන්ම නීති උපදේශකයෙකුද ඇතුළත්.

ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රකාශ කළේ මත්තලින් දිවයිනට පැමිණි විදේශීය විශේෂඥයන් පිරිස පී.සී.ආර්. පරීක්ෂණවලට භාජනය කිරීමෙන් පසු නිරෝධායන නීතිරීතිවලට අනුකූලව කල්මුණේ නගරය වෙත රැගෙන යාම මේ වනවිට සිදුවන බවයි.

සිංගප්පූරු ගැළවුම්කාර ආයතනයේ මෙරට නියෝජිත ආයතනයක මැදිහත්වීමෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ අධීක්ෂණය යටතේ ඔවුන් ප්‍රවාහනය කරනු ලබනවා.

ඉන් අනතුරුව කල්මුණේ මුහුදු ප්‍රදේශයෙන් නාවික හමුදාව විසින් විදේශීය විශේෂඥයන් ගිනිගත් නෞකාව වෙත රැගෙන යාමටයි නියමිතව ඇත්තේ.

ඒ අනුව අද (06) පස්වරුව වනවිට ඔවුන් නිව් ඩයමන්ඩ් නෞකාව වෙත ළඟාවනු ඇති බව සඳහන්.

මේ අතර එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවීමේ මෙහෙයුමේ පිරිවැය ගණනය කිරීමේ කටයුතු ඉදිරි දින කිහිපය තුළ සිදුකරන බව ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව පවසනවා.

ගුවන් හමුදාව ගුවන් පැය ගණනින් සිය පිරිවැය ගණනය කිරීමට නියමිත අතර, නාවික හමුදාවද යොදාගත් යාත්‍රා සංඛ්‍යාව, ඉන්ධන පිරිවැය සහ කාර්ය මණ්ඩලය සහිතව පිරිවැය ගණනය කිරීම සිදුකරනු ඇති.

එලෙස ගණනය කර සකස් කරනු ලබන පිරිවැය දත්ත වාර්තා වෙළඳ නෞකා ලේකම් කාර්යාලයට සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට ලබාදීමට නියමිතයි.

ඉන් අනතුරුව රාජතාන්ත්‍රික මට්ටමින් ගැළවුම්කාර රක්ෂණ සමාගම් සමඟ එක්ව ඉදිරි කටයුතු සිදුකරනු ලබන්නේ රාජතාන්ත්‍රික ක්‍රමවේදයන්ට අනුකූලවයි.

පැනමා ධජය යටතේ ලියාපදිංචි එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව කුවේට් හි මීනා අල් අහමදි වරායේ සිට ඉන්දියාවේ ඔඩීෂා හි පරදීප් වරාය වෙත ගමන් ඇරඹුවේ පසුගිය විසි තුන්වනදා (23) යි.

ඒ, බොරතෙල් මෙටි‍්‍රක් ටොන් 2,70,000 ක්ද සහිතවයි. ඒ අතරතුර ශ්‍රී ලංකාවේ නැගෙනහිර සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38 ක් දුරින් ගැඹුරු මුහුදේදී පෙරේදා පෙරවරුවේ නිව් ඩයමන්ඩ් නෞකාවේ එන්ජින් කාමරය තුළ ගින්නක් හටගත්තා.

ඒ, බොයිලේරුවක් පුපුරා යාමෙන්.

මෙම සිදුවීමෙන් නෞකා කාර්ය මණ්ඩලයේ පිලිපීන නාවිකයෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, සෙසු සාමාජිකයන් නිරුපද්‍රිතව බේරාගනු ලැබුවා.

ඔවුන් ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් සිදුරළ නෞකාව තුළ මේ වනවිට ආරක්ෂිතව වෙන්කර තබා සිටිනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රකාශ කළේ එම පිරිස දුරකථන මාර්ග ඔස්සේ සිය පවුලේ ඥාතීන් සමඟ සම්බන්ධ කිරීම අද (06) පස්වරුව වනවිට සිදුකරන බවයි.

*********************************************

නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න පිළිබඳ නීතිපතිවරයා සමාලෝචන සාකච්ඡාවක

(06.09.2020 – 14:48 +0530 – hirunews.lk/sinhala)

එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න සම්බන්ධයෙන් පැන නැගි ඇති කරුණු පිළිබඳව නීතිපතිවරයා විසින් අදාළ අංශ සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඒ, නෞකා අනතුරට අදාළ නීතිමය කරුණු සම්බන්ධයෙන් සමාලෝචනයට සහ අදාළ උපදෙස් ලබාදීමටයි.

නීතිපතිවරයා එහිදී, නාවික හමුදාපතිවරයා, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා, වෙළඳ නැව් අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ සමුද්‍ර පාරිසරික ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයා සමඟ සාකච්ඡා කළ බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිෂාරා ජයරත්න මෙනවිය සඳහන් කළේ.

*********************************************

නිව් ඩයමන්ඩ් නෞකාවේ ක්‍රියාන්විතයට එක් වූ සියලු දෙනාට අගමැතිගෙන් තුති

(06.09.2020 – 19:35 +0530 – hirunews.lk/sinhala)

එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න මේ වන විට පාලනය කර ඇති බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ මෙම නෞකාවේ ගින්න සම්බන්ධයෙන් නීතිපතිවරයා සමඟ අද (06) පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී ඔහු තවදුරටත් කියා සිටියේ නෞකාව පවතින ස්ථානයේ උෂ්ණත්වය මත ගින්න යළිත් ඇති වීමේ අවදානමක් පවතින බවයි.

නාවික සැතපුම් 33 ක් නැගෙනහිර දිශාවට වන්නට නෞකාව ගැඹුරු මුහුදු ප්‍රදේශයේ මේ වන විට රඳවා තිබෙනවා.

නෞකාවේ කාර්ය මණ්ඩලයේ නිලධාරින්ට සිය ඥාතීන් සමඟ දුරකථනයෙන් සම්බන්ධ වීමට අවශ්‍ය පහසුකම් ද අද (06) ලබා දුන් බවයි නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා සඳහන් කළේ.

ගිනි ගැනීමට ලක් වූ නිව් ඩයමන්ඞ් නෞකාවේ වාණිජ හිමිකරු වන ග්‍රීසියේ ඇතෑන්ස් නුවර පිහිටි නිව් ෂිපින් ලිමිටඩ් ආයතනය විසින් ආපදා ගැලවුම්කාර පාර්ශවය ලෙස පත් කර ඇත්තේ සිංග්පුරුවේ සිට ක්‍රියාත්මක වන ස්මිත් සිංගප්පූර් ප්‍රයිවට් ලිමිටඩ් නැමැති ජාත්‍යන්තර ආයතනයක්.

එමෙන්ම, මුදාගැනීමේ මෙහෙයුම් විශේෂඥයින්, ආපදා තක්සේරුකරුවන් හා නීති උපදේශකයෙකු ඇතුළු බ්‍රිතාන්‍ය හා නෙදර්ලන්ත විශේෂඥයින් පිරිසක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටපුලෙන් අද (06) පෙරවරුවේ දිවයිනට පැමිණියා.

ඒ, නෞකාවේ ආපදා කළමනාකරණය කටයුතු විමර්ශනය කර ඉදිරි කටයුතු සැළසුම් කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අවශ්‍ය නිර්දේශ ලබාදීමට නියමිතයි.

විශේෂඥ කණ්ඩායම මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල පරිශ්‍රයේදි පි.සි.ආර්. පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව කල්මුණේ නාවික හමුදා කඳවුරට රැගෙන ගොස් තිබෙනවා.

නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න පාලනය සදහා සැපයුම් සේවා සදහා ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් විශාල නෞකා 5 ක් සහ වේග ප්‍රහාරක යාත්‍රා 10 ක් මෙන්ම ශ්‍රී ලංකා වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකා දෙකක් (2) ද යොදවා තිබෙනවා.

මීට අමතරව ඉන්දියානු වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකා පහක් (5), ඉන්දියානු නාවික හමුදාවට අයත් යුද නෞකාවක්, අපදාවට පත් නෞකාව අයත් සමාගම මගින් යෙදවු ටග් යාත්‍රා 3 ක් මෙම මෙහෙයුමට දායකත්වය වී ඇති සෙසු යාත්‍රායි.

මෙහෙයුම අතරතුර ඉන්ධන නෞකාවෙන් තෙල් විසිරිමක් සිදුවුවහොත් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කළ හැකි ඉන්දීය නාවික හමුදාව සතු නෞකාවක්ද මේ අතර වනවා.

මේ අතර ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක, ගෲප් කපිතාන් දුෂාන්ත් විජේසිංහ මහතා කියා සිටියේ අද (06) දිනයේ බෙල් 212 වර්ගයේ යානයකින් කිලෝග්‍රෑම් 1000 ක රසායනික ද්‍රව්‍ය කුඩු පළමු වතාවට මෙම ඉන්ධන නෞකාවට ඉසිනු ලැබූ බවයි.

ගිනි ගැනීමට ලක්වූ නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශය නිරීක්ෂණය කිරීම සඳහා ඉන්දියානු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ඩ්‍රෝනියර් ගුවන් යානාවක් අද (06) මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් පිටත්ව යාමට නියමිතව තිබුණා.

එමෙන්ම, ඉන්ධන නෞකා හැසිරවිය හැකි විශාල ප්‍රමාණයේ ටග් යාත්‍රා දෙකක් (2) සිංගප්පූරුව සහ මොරිෂස් යන රටවල් වලින් පිටත්ව ඇති අතර ඒවා නෞකාව වෙත ලගා වීමට නියමිතයි.

එම සියලු කටයුතු සදහා ශ්‍රී ලංකා නාවික හමුදාව දායකත්වය ලබා දෙන අතර ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධාන ගිනි නිවීම් නිලධාරියා ඇතුළු කණ්ඩායමක් ද ආපදාවට පත් නෞකාව නිරීක්ෂණය සදහා එක්වුණා.

මේ අතර, නෞකාව සම්බන්ධයෙන් ගත යුතු ඉදරි නීතිමය ක්‍රියාමාර්ග පිළිබද සාකච්ජාවක් නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ ප්‍රධානත්වයෙන් නීතිපති කාර්යාලයේදී පැවැත්වුණා.

ඊට මෙරට හමුදා ප්‍රධානීන් සහ මෙම මෙහෙයුමට සම්බන්ධ සියලු ආයතන ප්‍රධානීන් එක්ව සිටියා.

මේ අතර, අනතුරට පත් නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නිවා දැමීම ක්‍රියාන්විතයට එක්ව සිටි ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සියලුම ආරක්ෂක අංශ සහ වගකිවයුතු ආයතන සාමාජිකයින් සියලු දෙනාට තම ස්තුතිය පිරිනමන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා ෴

*********************************************

විදේශීය විශේෂඥයින් අද (07) ගිනිගත් නෞකාවට, තවත් කණ්ඩායමකුත් දිවයිනට

(07.09.2020 – 07:25 +0530 – hirunews.lk/sinhala)

එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධයෙන් සොයාබැලීමට මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය සහ නෙදර්ලන්ත විශේෂඥයින් පිරිස අද (07) පෙරවරුවේ එම නෞකාව වෙත පැමිණීමට නියමිතයි.

මෙම පිරිස අතර, මුදාගැනීමේ මෙහෙයුම් විශේෂඥයින්, ආපදා තක්සේරුකරුවන් හා නීතී උපදේශකයින් සිටිනවා.

එමෙන්ම තවත් විශේෂඥයින් පිරිසක් මත්තල ගුවන් තොටුපලෙන් ඊයේ (06) දිවයිනට පැමිණියා.

එම කණ්ඩායමට මුදාගැනිමේ මෙහෙයුම් විශේෂඥයින්, නිතී උපදේශකයින් ඇතුළත්ව 11 දෙනෙකු ඇතුළත්.

ඔවුන් ද මේ වනවිට නෞකාව පරික්ෂා කිරිම සඳහා කල්මුණේ බලා පිටත්ව ගොස් තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා කියා සිටියේ ඊයේ (06) රාත්‍රියේදි නෞකාවේ දුමක් හට ගත් අතර, එය ද මේ වනවිට නිවා දමා ඇති බවයි.

මෙම තත්ත්වය සහ මුහුදු රළුවීම හේතුවෙන් මෙම බ්‍රිතාන්‍ය සහ නෙදර්ලන්ත විශේෂඥ පිරිස ඊයේ (06) රාත්‍රි නෞකාව වෙත නොගිය අතර ඔවුන් නෞකාව ආසන්නයේ කුඩා යාත්‍රාවක රැඳී සිටින බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ වනවිට එම නෞකාව දිවයිනේ සිට නාවික සැතපුම් 29 ක් දුරින් ඇති බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

*********************************************

දේශීය විශේෂඥ කණ්ඩායම් තුනක් (3) ගිනිගත් මුහුදු ප්‍රදේශයේ ජල සාම්පල පරීක්ෂාවට

(07.09.2020 – 13:49 +0530 – hirunews.lk/sinhala)

පවතින අධික සුළං සහිත කාලගුණ තත්ත්වයත් සමඟ නිව් ඩයමන්ඩ් නෞකාවේ එන්ජිම පිහිටා ඇති ප්‍රදේශයේ අද (07) පෙරවරුවේද සුළු ගිනි දළු මතුවූ බව ගුවන් හමුදාව ප්‍රකාශ කළා.

එම තත්ත්වයත් සමඟ බෙල් 212 යානයක් උපයෝගි කරගනිමින් අද (07) පෙරවරුවේද රසායන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දහසක් (1000) නැව මත පතිත කිරීමට පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම නාවික හමුදාවේ තාක්ෂණික විශේෂඥයන් පිරිසක් ඊයේ (06) පස්වරුවේ නෞකාවේ එන්ජින් කාමරයට ඇතුලුවීමට උත්සාහ දරා තිබෙනවා.

කෙසේ වෙතත් එය ව්‍යර්ථ වී ඇත්තේ එහි ඇති අධික උණුසුම් තත්වය සහ මුහුදේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන්.

මේ අතර නෞකාවේ ඇති වූ ගින්න සම්පූර්ණයෙන් මැඩපවත්වා තිබුනද නෞකාවේ ඇතුලත පවතින උෂ්ණත්වය හා පාරිසරික බලපෑම් මත මෙම ගින්න නැවත ඇති වීමේ යම් සම්භාවිතාවක් පවතින හෙයින්, ශ්‍රී ලංකා නාවික හමුදාව ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවෙමින් ඕනෑම හදිසි අවස්ථාවක් සඳහා සූදානමින් සිටින බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

මේ අතර නීතිපතිවරයාගේ උපදෙස් මත එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව ගිනිගත් මුහුදු ප්‍රදේශයේ ජල සාම්පල පරීක්ෂා කිරීම සඳහා විශේෂඥ කණ්ඩායම් තුනක් (3) අද (07) එම ස්ථානයට පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ජලජ සම්පත් පරීක්ෂණ හා සංවර්ධන ආයතනය හෙවත් නාරා ආයතනය, සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය හෙවත් මීපා සහ රුහුණු විශ්වවිද්‍යාලයේ නියෝජිත කණ්ඩායමක් ඊට අයත්.

නාරා ආයතනයේ සභාපති මහාචාර්ය ඒ. නවරත්න රාජා මහතා හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ සිය ආයතනය සෙසු ආයතන දෙක (2) හා එක්ව මෙන්ම වෙනම කණ්ඩායමක් ලෙසද විද්‍යාත්මක පර්යේෂණයක් සිදුකරන බවයි.

ශ්‍රී ලංකා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා කියා සිටියේ නීතිපති උපදෙස් මත මුහුදු ජලයෙන් ජල සාම්පල ලබාගනිමින් සිදුකරන පරීක්ෂණ වාර්තාව යළි කඩිනමින් නීතිපතිවරයා වෙත යොමු කිරීමට පියවර ගන්නා බවයි.

මේ අතර ඊයේ (06) රාත්‍රියේ තවත් විදේශීය විශේෂඥයන් පිරිසක් නිව් ඩයමන්ඞ් නෞකාව පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා දිවයිනට පැමිණ තිබෙනවා.

11 දෙනෙකුගෙන් සමන්විත මෙම පිරිස නෞකාව වෙත පිටත්ව යාම සඳහා මේ වනවිට කල්මුණේ ප්‍රදේශයේ රැඳී සිටින බවයි නාවික හමුදාව සඳහන් කළේ.

එමෙන්ම නිව් ඩයමන්ඩ් නෞකාවට වූ හානිය පිළිබඳ තක්සේරු කිරීමට එම නෞකාව අයත් ග්‍රිසියේ නිව් ෂිපින් ලිමිටඩ් නැමති ආයතනය සිය ගැළවුම්කාර සිංගප්පූරු සමාගමේ 10 දෙනෙකුගෙන් යුත් නියෝජිතයන් පිරිසක් ඊයේ (06) උදෑසන මෙරටට එවනු ලැබුවා.

නාවික තාක්ෂණ විශේෂඥයන්, තක්සේරුකරුවන් සහ නීතිවේදීන්ගෙන් මෙම පිරිස සමන්විතයි.

ඉන් හයදෙනෙකු (6) නාවික හමුදාව විසින් මේ වනවිට නිව් ඩයමන්ඩ් නෞකාව ආසන්නයේ මෙහෙයුම් කටයුතුවල නිරත ටග් යාත්‍රාවක් වෙත රැගෙන ගොස් තිබෙනවා.

ඔවුන් මේ වනවිටත් පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.

මෙම පරීක්ෂණවල වාර්තාවන් කඩිනමින් ලබාදීමට නියමිත අතර, නෞකාවේ ගබඩා කර ඇති ඉන්ධන ආරක්ෂිතව ඉන් පිටතට ලබාගැනීමේ ක්‍රමවේදය තීරණය කරනු ලබන්නේ අදාළ වාර්තාවේ නිර්දේශවලට අනුවයි.

*********************************************

උණුසුම සහ සුළං නිසා තෙල් නැව යළි ගිනි ගනී

(07.09.2020 – 18:33 +0530 – hirunews.lk/sinhala)

පාලනයට ලක් කර තිබූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න නැව් තට්ටුවේ දැඩි උණුසුම සහ මුහුදු ප්‍රදේශයේ පවතින සුළං ප්‍රවාහය හේතුවෙන් යළි ඇවිලී ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කළා.

මේ අතර, නෞකාවේ හානිය තක්සේරු කිරීම පැමිණි විශේෂඥ කණ්ඩායම එම නෞකාවේ පවතින උෂ්ණත්වය සමනය වූ වහාම නෞකාව වෙත ගොඩ බැසීමට නියමිතයි.

නෞකාවේ ගැලවුම් කණ්ඩායම වන සිංගප්පූරුවේ ස්මිත් සමාගමේ තවත් 11 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අද (07) දිවයිනට පැමිණි අතර, එම පිරිස ද අනෙක් විශේෂඥයින් සමඟ ගිනි ගත් නෞකාව අවට නිරීක්ෂණ කටයුතු සඳහා එක් වුණා.‍

පසුගිය 3 වැනිදා උදෑසන 07:45 ට ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේදී ගිනි ගැනීමට ලක් වූ එම්.ටී. නිව් ඩයමන් නෞකාවේ ගින්න පැය 80 කට අධික කාලයක් අඛණ්ඩව සිදුකළ මෙහෙයුම් වලින් අනතුරුව සාර්ථකව නිවා දැමීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව සමත් වුණා.

ඒ සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බලකායෙන් සහ නාවික හමුදාවෙන් සක්‍රිය දායකත්වයක් හිමිවුණා.

කෙසේ වෙතත්, පැවති අයහපත් කාළගුණයත් සමග යළි ගින්න හටගෙන ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.

පවතින අයහපත් කාළගුණය හේතුවෙන් මෙම ගින්න නැවත ඇතිවීමේ හැකියාව වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ මෙහෙයුමේ නිරත අනෙක් යාත්‍රා මගින් තවදුරටත් සිසිලනය ලබා දෙමින් පවතිනවා.

*********************************************

යළි ඇවිලුණු තෙල් නැවේ ගින්න නිවන්න තවදුරටත් මෙහෙයුම් – විශේෂඥ කමිටුවත් යාත්‍රාවල සිට නිරීක්ෂණ කටයුතුවල

(08.09.2020 – 08:09 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ ගිනි ගන්නා එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව පරීක්ෂා කිරීම සඳහා මෙරට විශේෂඥ කණ්ඩායම අද (08) අලුයම හම්බන්තොට වරායෙන් එම ස්ථානය බලා පිටත්ව ගොස් තිබෙනවා.

නීතිපතිවරයා ලබාදුන් උපදෙස්වලට අනුව ඔවුන් එම නිරීක්ෂණය සිදුකරනු ලබන්නේ නෞකාව ගිනි ගැනීමෙන් සාගරයට සහ ජලජ ජීවීන්ට හානියක් සිදුව ඇත්දැයි සොයා බැලීම සඳහායි.

මෙම කණ්ඩායමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා, නාරා ආයතනයේ විද්‍යාඥයින් පිරිසක් සහ රුහුණු විශ්වවිද්‍යාලයේ විශේෂඥයින් කණ්ඩායමක් ඇතුළත්.

මේ අතර, නිවා දමා තිබූ නෞකාවේ ගින්න ඊයේ (07) යළි හට ගත් අතර, ගින්න නිවීම සඳහා ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ නෞකා 14 ක් එක්ව සිටිනවා.

+++++++++++++++++++++

(07.09.2020 – 18:39 +0530)
07-09-2020

+++++++++++++++++++++

07-09-2020

+++++++++++++++++++++

මුහුද මැද යළිත් ගිනිගන්නා නිව් ඩයමන්ඩ් නෞකාවේ තවත් දර්ශන (08.09.2020 – 13:19 +0530)

*********************************************

නිව් ඩයමන්ඩ් නෞකාවේ ඉදිරි කටයුතු ගැන තවත් සාකච්ඡාවක්

(08.09.2020 – 15:01 +0530 – hirunews.lk/sinhala)

එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්නෙන් මෙරටට සිදුවන හානිය සහ ඊට අදාළ ඉදිරි පියවර තීරණය කිරීම සඳහා, හදිසි තත්ත්ව කළමනාකරණ කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද (08) පස්වරු 2 ට පැවැත්වෙනවා.

ඒ, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේදියි.

මේ අතර, ඊයේ (07) පස්වරුවේ සිට යළි හට ගත් එම නෞකාවේ ගින්න තවදුරටත් පවතින බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, ඊයේ (07) දිනයට වඩා එහි ගිනි දැල් හා දුමාරය යම් මට්ටමකින් අඩු වී ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළා.

අන්තර් ජාතික තෙල් නැව් හිමිකරුවන්ගේ සංගමයේ සාමාජිකයන් පිරිසක් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ මැදිහත් වීමෙන් මේ වන විට මෙරටට පැමිණ සිටිනවා.

එම අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය කියා සිටියේ ඔවුන් සහ මෙරට සියළු පාර්ශවකරුවන් අතර අන්තර්ජාලය ඔස්සේ සිදුකෙරෙන තවත් සාකච්ඡාවක් ද මේ වන විට පැවැත්වෙන බවයි.

මේ අතර, වියළි රසායන ද්‍රව්‍ය කිලෝ 1500 ක් සමඟ මෙරටට පැමිණි ඉන්දියාවට අයත් අබ්හීක් නෞකාව අද (08) පෙරවරුවේ එම රසායන ද්‍රව්‍ය මෙරට බලධාරීන්ට භාරදුන් බව ඉන්දීය වෙරළාරක්ෂක බලකාය සඳහන් කළා.

එසේම ඉන්දියාවේ ඩෝනියර් යානයක් ද චෙන්නායි සිට ත්‍රිකුණාමලය බලා පිටත් කර ඇත්තේ තවත් වියළි රසායන ද්‍රව්‍ය කිලෝ 700 ක් සමඟයි.

ගින්න නිවීමේ මෙහෙයුමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව තවදුරටත් දායකත්වය ලබාදෙන බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් දුශාන්ත් සෙනෙවිරත්න මහතා කියා සිටියේ ෴

*********************************************

ගිනිගත් නෞකාවේ කාර්ය මණ්ඩලයේ විසිදෙනෙක් (20) ගාල්ලේ හුදකලා මධ්‍යස්ථානයකට

(08.09.2020 – 16:51 +0530 – hirunews.lk/sinhala)

ගිනිගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ කාර්ය මණ්ඩලයේ විසි දෙනෙකු (20) ගාල්ලේ හුදකලා මධ්‍යස්ථානයක් වෙත යොමුකර තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා කියා සිටියේ ඔවුන් හම්බන්තොට වරායට රැගෙන ඒමෙන් අනතුරුව වෙනම රඳවා තබාගැනීම සඳහා ගාල්ලේ හුදකලා මධ්‍යස්ථානයක් වෙත යොමුකළ බවයි.

මේ වනවිට නෞකාවේ ගින්න යම්තාක් දුරට පාලනය කර ඇති බවද ඔහු සඳහන් කළා.

මේ අතර නැවතත් ගිනි ගැනීමට ලක් වූ නිව් ඩයමන්ඩ් නෞකාවේ නවතම ඡායාරූප පෙළක් ගුවන් හමුදාව විසින් මාධ්‍යට නිකුත් කර තිබෙනවා.

එම ඡායාරූප පෙළ පහතින් :

[ http://www.airforce.lk/pages.php?pages=diamond_oil_tanker ]

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *