මැගසින් බන්ධනාගාරයට කුඩු විසි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

මැගසින් බන්ධනාගාරයට කුඩු විසි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

නීතිවිරෝධීව ප්‍රවාහනය කළ තවත් කහ තොගයක් කල්පිටිය්දී අල්ලයි

නීති විරෝධීව ජලය ලබාගත් 5 ක් අත්අඩංගුවට

ගංජා හේන් 3 ක් වටලා සැකකරුවන් 3 ක් අත්අඩංගුවට

ගාල්ල – තොටගොඩ ප්‍රදේශයේ ඉඩමකින් ටී 56 උණ්ඩ 123 ක්

අපනයන භාණ්ඩ පරීක්ෂාවට ස්කෑනර් යන්ත්‍ර

20 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන පක්ෂ විපක්ෂ විවිධ අදහස්

දෙමළ භාෂාව ලොව පළමු භාෂාව බව විග්නේෂ්වරන් යළි කියයි

CCTV කැමරාවේ සටහන් වූ පහරදීම

පාසලක් භූමියේ පිහිටි ඇඟළුම් කම්හලක් නිසා පීඩා විඳින පාසල් ළමුන්

දෙපයින් ඇවිදීමට වාරු ඉල්ලන දියණියක්

අර්තාපල් බීජ මිල ඉහළ යාමෙන් ගොවීන් පීඩාවට

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කළ අටක් (8) අත්අඩංගුවට

ජීවිතයත් මරණයත් අතර සටනක් කළ අලි පැටවා

*********************************************

මැගසින් බන්ධනාගාරයට කුඩු විසි කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

(06.09.2020 – 16:04 +0530 – hirunews.lk/sinhala)

වැලිකඩ – මැගසින් බන්ධනාගාරයට සම්පූර්ණයෙන්ම ආරෝපණය කරන ලද දුරකථන බැටරි 10 ක්, හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 350 ක් සහ මුදලින් රුපියල් 36,000 ක් පාර්සලයක් ලෙස සකස් කොට විසි කිරීමට තැත් කළ පුද්ගලයෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාශයට ලද තොරතුරකට අනුවයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

*********************************************

නීතිවිරෝධීව ප්‍රවාහනය කළ තවත් කහ තොගයක් කල්පිටිය්දී අල්ලයි

(06.09.2020 – 08:58 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධීව කහ කිලෝග්‍රෑම් 800 ක තොගයක් ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තුන්දෙනෙකු (3) කල්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, නාවික හමුදාව සිදුකළ වැටලීමකදියි.

මේ වනවිට වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුවන් කහ තොගයද සමඟ කල්පිටිය පොලීසියට භාරදී තිබෙනවා.

*********************************************

නීති විරෝධීව ජලය ලබාගත් 5 ක් අත්අඩංගුවට

(06.09.2020 – 10:18 +0530 – hirunews.lk/sinhala)

වසර ගණනාවක් පුරා ජාතික ජල සම්පාදන මණ්ඩලයට අයත් ප්‍රධාන නල පද්ධතියෙන් නීති විරෝධීව ජලය ලබාගත් පුද්ගලයන් 5 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලැබුනු තොරතුරකට අනුව ජල සම්පාදන මණ්ඩලයේ දඹුල්ල කාර්යාලයේ වැඩ භාර ඉංජිනේරුවරයා ඇතුලු නිලධාරීන් පිරිසක් විසිනුයි සැකකරුවන් සිය භාරයට ගෙන දඹුල්ල පොලිසියට භාරදී ඇත්තේ.

සැකකරුවන් නිවාස ඉදි කිරීම සඳහා මෙන්ම ගොවිතැන් ඇතුලු දෛනික කටයුතු සඳහා මෙලෙස ජලය ලබාගෙන ඇතැයි අනාවරණ වී තිබෙනවා.

මෙම පුද්ගලයන් කොපමණ කාලයක සිට මෙලෙස ජලය ලබාගෙන ඇත් ද යන්න විමර්ශණය කර ඒ සඳහා රජයට අයවිය යුතු මුදල් සියල්ල අයකර ගැනීමට පියවර ගන්නා බවයි දඹුල්ල ජල සම්පාදන මණ්ඩලයේ වැඩභාර ඉංජිනේරුවරයා සඳහන් කර ඇත්තේ.

*********************************************

ගංජා හේන් 3 ක් වටලා සැකකරුවන් 3 ක් අත්අඩංගුවට

(06.09.2020 – 10:51 +0530 – hirunews.lk/sinhala)

කොස්ලන්ද බලහරුව ප්‍රදේශයේ වගාකර තිබූ ගංජා හේන් 3 ක් වටලා සැකකරුවන් තුන් දෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උඩවලව පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුවයි ඊයේ (05) පස්වරුවේ වැටලීම සිදුකර ඇත්තේ.

අත්අඩංගුවට පත්වූ සැකකරුවන් බලහරුව කිරිඳිවැල සහ රාජාංගණය ප්‍රදේශවල පදිංචි අවුරුදු 33, 41 සහ 55 වයස්වල පසුවන තුන්දෙනෙක්.

වැඩිදුර විමර්ශණ සඳහා කොස්ලන්ද පොලිසියට භාරදී ඇති සැකකරුවන් අද (06) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර උඩවලව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඊයේ (05) පස්වරුවේ කළ තවත් වැටලීමකින් නීති විරෝධී මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා සහ උපකරණ සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බලහරුව ප්‍රදේශයේ කළ එම වැටලීමේදී අත්අඩංගුවට පත්වී ඇත්තේ 32 හැවිරිදි සැකකරුවෙක්.

ඌව කුඩා ඔය ප්‍රදේශයේ පදිංචි සැකකරු කොස්ලන්ද පොලිසියට භාරදී ඇති අතර ඔහු බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මේ අතර වව්නියාව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුව කළ වැටලීමකදී බලපත්‍ර නොමැතිව ගංජා මිශ්‍ර මදන මෝදක කිලෝ 2 යි ග්‍රෑම් 215 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මැදවච්චිය මහකුඹුක්ගොල්ලෑව ප්‍රදේශයේ කළ වැටලීමෙන් අත්අඩංගුවට ගත් සැකකරු වව්නියාව ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු අද (06) වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වව්නියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

*********************************************

ගාල්ල – තොටගොඩ ප්‍රදේශයේ ඉඩමකින් ටී 56 උණ්ඩ 123 ක්

(06.09.2020 – 11:01 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – තොටගොඩ – බැඳිපාර ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක වළදමා තිබූ ටී 56 උණ්ඩ 123 ක් පොලීසිය සොයාගෙන තිබෙනවා.

අදාළ ඉඩමේ සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු සිදුකරමින් සිටියදී එම උණ්ඩ තොගය සොයාගත් බවයි වාර්තාවන්නේ.

ඉන් අනතුරුව පොලීසිය දැනුවත් කර ඇති අතර, ඒ අනුව අදාළ උණ්ඩ තොගය ඉවත් කරගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිටත් කිසිවෙකුත් අත්අඩංගුව ගෙන නොමැති අතර, අක්මීමන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

මේ අතර, ගෙවුණු පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම්වලින් පුද්ගලයින් 358 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් පුද්ගලයින් 105 දෙනෙකු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 482 කට අධික ප්‍රමාණයක් සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.

තවත් 102 ක් සතුව තිබී ගංජා ග්‍රෑම් 349 කට අධික ප්‍රමාණයක් ද සොයාගෙන ඇති අතර, පුද්ගලයින් අටදෙනෙකු (8) සතුව තිබී අයිස් ග්‍රෑම් 3 කට අධික ප්‍රමාණයක් සොයා ගැනුනා.

මීට අමතරව වල්ලපට්ටා කිලෝ එකයි ග්‍රෑම් 135 ක්ද සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.

+++++++++++++

අනුරාධපුර නගරයේ ස්ථාන කිහිපයක අශෝභන ලෙස හැසිරුනු අවුරුදු 14 සහ 15 වයස්වල පසුවන බාලවයස්කාර පෙම්වතුන් ඇතුලු 110 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උපකාරක පන්තිවලට යන බව පවසා නිවෙස්වලින් පැමිණ අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ ස්ථානවල අශෝභන ලෙස හැසිරෙමින් සිටියදී පොලිස් භාරයට ගත් සිසු සිසුවියන් 100 දෙනා තරයේ අවවාද කොට මුදා හැර තිබෙනවා.

ඒ, ඔවුන්ගේ දෙමව්පියන් ඉදිරියේයි.

පොලිස් භාරයට ගත් මෙම සිසු සිසුවියන් අනුරාධපුර නගරයේ වැව් බැම්ම, නව බස් නැවතුම්පොළ සහ දුම්රිය මාර්ගය අසළ රැදී සිටියදී පොලිස් භාරයට ගෙන ඇත්තේ අද උදෑසනයි.

මෙලෙස පොලිස් භාරයට ගෙන මුදා හළ ඇතැම් සිසුන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් බවට ද අනාවරණ වී තිබෙනවා.

*********************************************

අපනයන භාණ්ඩ පරීක්ෂාවට ස්කෑනර් යන්ත්‍ර

(06.09.2020 – 13:06 +0530 – hirunews.lk/sinhala)

ගුවන් මගින් අපනයනය කෙරෙන භාණ්ඩ කඩිනමින් පරීක්ෂා කිරීම සඳහා කටුනායක ගුවන් තොටුපලේ ස්කෑනර් යන්ත්‍ර සවි කිරීමට තීරණය කර තිබෙනවා.

අපනයනකරුවන්ගේ ඉල්ලීමක් අනුව ඒ සඳහා කටයුතු කරන ලෙස සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් ලබාදී ඇත්තේ සංචාරක අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදියි.

විශේෂයෙන් අධිශීත භාණ්ඩ වැඩි වේලාවක් ගුවන් තොටුපලේ නොතබා අපනයනය සඳහා යොමුකිරීමට මෙමඟින් ඉඩ සැළසෙනු ඇති.

පසුගිය වසරේ කටුනායක ගුවන් තොටුපල මගින් මෙටි‍්‍රක් ටොන් 2,61,000 ක ගුවන් භාණ්ඩ මෙහෙයුම් සිදුකර ඇති අතර, ඉන් මෙටි‍්‍රක් ටොන් 1,20,000 ක් අපනයන භාණ්ඩයි.

*********************************************

20 වන ව්‍යවස්ථා සංශෝධනය ගැන පක්ෂ විපක්ෂ විවිධ අදහස්

(06.09.2020 – 13:35 +0530 – hirunews.lk/sinhala)

20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විවිධ අදහස් පළ කළා.

නාමල් උයන නිර්මාතෘ පූජ්‍ය වනවාසී රාහුල හිමියන් මාධ්‍ය හමුවකට එක්වෙමින් කියාසිටියේ ජනාධිපතිවරයාට විධායක බලය ලැබිය යුතු බවයි. විවේචන එල්ල වුව ද එලෙස කටයුතු කර මෙරට විනයක් ඇති නිශ්පාදන ආර්ථිකයක් ඇති රටක් බවට පත් කළ යුතු බවයි උන් වහන්සේ පෙන්වා දුන්නේ.

මේ අතර කතානායක ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා උත්සවයකට එක්වෙමින් කියාසිටියේ මෙය සියලුදේ නිවැරදි කළ යුතු වේලාවක් බවයි. එබැවින් පළමුවෙන්ම ව්‍යවස්ථාව වෙනස් කිරීමට රජය කටයුතු කරන බවයි ඔහු පෙන්වා දුන්නේ.

*********************************************

දෙමළ භාෂාව ලොව පළමු භාෂාව බව විග්නේෂ්වරන් යළි කියයි

(06.09.2020 – 13:40 +0530 – hirunews.lk/sinhala)

දෙමළ භාෂාව ලොව පළමු භාෂාව බවට තමා යළිත් වරක් ප්‍රකාශකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් පවසනවා.

ඔහු මේ බව සදහන් කළේ ඊයේ (05) කිළිනොච්චියේ පැවති දෙමළ මහජන ජාතික සන්ධානයේ පළමු මහජන රැස්වීම අමතමින්.

*********************************************

CCTV කැමරාවේ සටහන් වූ පහරදීම

(06.09.2020 – 13:44 +0530 – hirunews.lk/sinhala)

රාගම – ගැමුණු හංදිය ප්‍රදේශයේදී පිරිසක් කළ පහරදිමකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

පහර කෑමට ලක්වු පුද්ගලයාගේ ඥාතීන් පවසන්නේ මේ සම්බන්ධයෙන් ජා ඇල පොලිසියට පැමණිලි කළද මෙතෙක් නීතිමය පියවර ගෙන නොමැති බවයි.

පහර කැමට ලක්වූ පුද්ගලයා රාගම ගැමුණු හංදිය ප්‍රදේශයේ වෙළඳ සැලකට පැමිණ ඇත්තේ තම නිවසට අවශ්‍ය ද්‍රව්‍ය රැගෙන යාමේ අරමුණින්.

එම අවස්ථාවේදී එහි සිටි පිරිසක් අදාල පුද්ගලයට පහර දෙන ආකාරය ඒ අසල තිබූ CCTV කැමරා වල සටහන්ව තිබුණා.

*********************************************

පාසලක් භූමියේ පිහිටි ඇඟළුම් කම්හලක් නිසා පීඩා විඳින පාසල් ළමුන්

(06.09.2020 – 13:52 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ අධ්‍යාපනය කොට්ඨාශයට අයත් කීර්ති බණ්ඩාරපුර පිහිටි රන්තෙළඹුගල ප්‍රාථමික විද්‍යාලය කඩිනම් මහවැලි ව්‍යාපාරයේ රන්දෙණිගල ජලාශයට යටවූ සැරසුන්තැන්නේ විද්‍යාලය වෙනුවෙන් මේ පාසල ඉදිවන්නේ 1986 වසරේ අගෝස්තු මස 30 වනදායි.

පසුගිය වසර කිහිපය තුළ මේ පාසල දරුවන් දහස් ගණනකගේ නැණස පාදන්නට කටයුතු කර ඇත්තේ ගැටළුකාරී තත්ත්වයන් මධ්‍යයේයි.

ඒ පාසැල් භූමිය තුළම ඉදිකර ඇති පෞද්ගලික ඇගලුම් කර්මාන්ත ශාලාවක් හේතුවෙන්.

එම කර්මාන්ත ශාලාව ඉදි කර තිබෙන්නේ 1998 වසරේදියි.

විදුහලටත් ඇඟලුම් කර්මාන්තශාලාවටත් ඇත්තේ එකම පිවිසුම් මාර්ගයක්.

අදාළ පිවිසුම් මාර්ගය ආරම්භයේ ස්ථාපිත කර තිබෙන්නේ ඇඟලුම් කාර්මාන්ත ශාලාවේ මුරකුටියයි.

මෙම ඇගළුම් කර්මාන්තශාලාව ගම්මානයට පමණක් නොව රටටම ආර්ථිකමය වශයෙන් සම්පතක් වුවත් අද වන විට එය මේ පාසලේ දරුවන්ට නම් නිර්මාණය කර ඇත්තේ අනාරක්ෂිත පරිසරයක්.

*********************************************

දෙපයින් ඇවිදීමට වාරු ඉල්ලන දියණියක්

(06.09.2020 – 13:58 +0530 – hirunews.lk/sinhala)

දෙපයින් ඇවිදීමට වාරු ඉල්ලන දියණියක් පිලිබඳ අපට නොච්චියාගම ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ඒ දුක්බර කතාවේ අයිතිකාරිය උත්පලා සඳරේණු.

නොච්චියාගම රන්කෙත් ගමේ ජීවත්වන සඳරේණුට වයස අවුරුදු 11 ක්.

වෙනත් දරුවන් මෙන් වැටි වැටි නැඟිටින්නට උත්සාහ ගන්නා අවධියේදී සඳරේණුට ඒ සදහා වරම් අහිමී යන්නේ කිසිවෙකුත් බලාපොරොත්තු නොවූ ආකාරයෙන්.

සඳරේණු‍ මේ රෝගී තත්ත්වය වෙනුවෙන් දිගන පුනරුත්ථාපන රෝහලෙන් මීට වසර 6 කට පෙරාතුව ප්‍රතිකාර ලබා ගෙන තිබෙනවා.

එය සඳරේණුට මෙන්ම මේ පවුලේ සාමාජිකයන්ටත් එක්කර ඇත්තේ නැවුම් බලාපොරොත්තුවක්.

නමුත් වැඩි දවසක් යන්නට මත්තෙන් මේ පවුලේ සාමාජිකයන් උපතින්ම උරුම කර ගත් දරිද්‍රතාවය, ඒ බලාපෙරොත්තුවට සරදම් කරන්නට පටන් ගත්තා.

කුලී රැකියාවෙන් පියාට ලැබෙන දවසේ පඩිය, සඳරේණුට දෙපයින් සිටගැනීමට තරම් සවියක් වන්නේ නැහැ.

අනෙක් අය මෙන් තමන්ගේ වැඩපල තමන්ටම සිදු කර ගත හැකි ආකාරයෙන් පොළවේ පය ගසා ජීවත්වීම සඳරේණුගේ අහිංසක බලාපොරොත්තුවයි.

ඒ වෙනුවෙන් සරණක් වන්නට හැකි නම් එය ඔබටද මහඟු පිංකමක් වනු නොඅනුමානයි.

*********************************************

අර්තාපල් බීජ මිල ඉහළ යාමෙන් ගොවීන් පීඩාවට

(06.09.2020 – 14:08 +0530 – hirunews.lk/sinhala)

අර්තාපල් බීජ මිල ඉහළ යාමෙන් වැලිමඩ – ඌව පරණගම ගොවි ජනතාව පීඩාවට පත්ව සිටින බව අපට වාර්තා වුණා.

මේ හේතුවෙන් ගොවීන් මෙවර යල කන්නයේ වගාව අත්හැරීමේ සූදානමක් ද පවතිනවා.

අමෙරිකා එක්සත් ජනපදය නිජබිම කරගත් අර්තාපල් වගාව ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇත්තේ 1850 වර්ෂයේදී සැමුවෙල් බේකර් නමැති බ්‍රිතාන්‍ය ජාතිකයා විසින්.

මෙරට මධ්‍යම කඳුකරය ආශ්‍රිතව අර්තාපල් වගාවට උචිත දේශගුණය, ජලාපවාහන රටාව හා යෝග්‍ය පස ද නිර්මාණය වී තිබෙනවා.

මේ නිසා වැලිමඩ, ඌව පරණගම, බොරලන්ද, ඇටම්පිටිය, නුවරඑළිය හා බන්ඩාරවෙල ප්‍රදේශවල ජනතාව වැඩි වශයෙන් අර්තාපල් වගාවේ නියැලෙන්නේ එය සිය ප්‍රධාන ජීවිකාව කර ගනිමිනුයි.

නමුත් බීජ අර්තාපල් මිළ ඉහල යාම හේතුවෙන් තමන්ට අර්තාපල් වගාව සිදු කළ නොහැකි තත්වයක් මේ වන විට උද්ගත ව ඇතැයි දේශීය අර්තාපල් ගොවීන් මැසිවිලි නඟනවා.

එමෙන්ම අධික මිල ගණන් යටතේ අලෙවි වන එම බීජ නිසි ප්‍රමිතියකින්ද තොර බවට ගොවීන් චෝදනා කරනවා.

බීජ අර්තාපල් වල මිල අධික ලෙස ඉහළ යාම නිසා ප්‍රදේශයේ අර්තාපල් ගොවීන් බොහෝ දෙනෙක් විකල්ප වගාවන් වෙත නැඹුරුවීම හේතුවෙන් ඉදිරියේදී අර්තාපල් වගාව තම ප්‍රදේශයෙන් තුරන්වීමේ අවදානමක් පවතින බව ගොවීන් පෙන්වා දෙනවා.

*********************************************

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් කළ අටක් (8) අත්අඩංගුවට

(06.09.2020 – 14:17 +0530 – hirunews.lk/sinhala)

පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදුකළ පුද්ගලයින් අටදෙනෙකු (8) පුවරසන්කුලම් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී අදාළ පිරිස පෞද්ගලික ඉඩමක මෙලෙස කැණීම් සිදුකර තිබුණා. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 23 ත් 55 ත් අතර පසුවන්නන්.

ඔවුන් පුවරසන්කුලම්, ගම්පහ, කඩවත, අතුරුගිරිය, කටුනායක, වේයන්ගොඩ සහ පාදුක්ක ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.

*********************************************

ජීවිතයත් මරණයත් අතර සටනක් කළ අලි පැටවා

(06.09.2020 – 18:08 +0530 – hirunews.lk/sinhala)

පොළොන්නරුව දිවුලාන විල්ලුවේ මඩ වගුරක වැටී සිටි කුඩා අලි පැටවකු බේරා ගැනීමට පොළොන්නරුව වනජීවී නිලධාරීන් සමත්ව තිබෙනවා .

ඒ පොළොන්නරුව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව සිදුකළ මෙහෙයුමකදියී.

ඊයේ(05) සවස අලි පැටවා මේලෙස අනතුරට ලක්ව තිබෙන බවයි සඳහන් වන්නේ.

එම සත්වයාගේ සිරුරේ වැඩි ප්‍රමාණයක් මඩෙහි එරී තිබූ බවත් තවත් පැය කිහිපයක් ගත වූයේ නම් අලි පැටියා සොයා ගැනීමට නොහැකි වන්නට ඉඩ තිබූ බවත් වනජීවී නිලධාරින් වැඩිදුරත් ප්‍රකාශ කළා.

එලෙස අනතුරට පත්ව ඇත්තේ අවුරුද්දක් පමණ වයසැති අඩි 4 කට ආසන්න උසකින් යුත් පිරිමි සත්වයෙක්.

පැය පහක පමණ මෙහෙයුමකින් අනතුරුව වනජීවී නිලධාරීන් විසින් බේරා ගත් අලි පැටවා මව් ඇතින්න සිටින අලි රංචුව වෙත මුදා හැරීමට කටයුතු කර තිබෙනවා.

+++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *