ආරක්ෂක ලේකම්වරයා විසින් රචිත ග්‍රන්ථ දෙකක් (2) ජනපතිගේ ප්‍රධානත්වයෙන් එළිදකී

ආරක්ෂක ලේකම්වරයා විසින් රචිත ග්‍රන්ථ දෙකක් (2) ජනපතිගේ ප්‍රධානත්වයෙන් එළිදකී

බන්ධනාගාර නිලධාරින්ට තර්ජනය කිරීම ගැන, පොඩි ලැසී සහ කොස්ගොඩ තාරකගෙන්, ප්‍රකාශ ගන්නැයි උපදෙස්

‘බඩෝවිට අසංක’ ගේ සමීපතමයන් තිදෙනෙකු (3) අත්අඩංගුවට

හිරු අනාවරණයෙන් පසු සිමෙන්ති සංස්ථා සභාපති ඇතුළු පිරිසක් වනාතවිල්ලුවට

විස්සෙත් පිළිගත නොහැකි කරුණක් ගැන පොහොට්ටු මනත්‍රීගෙන් චෝදනා

නවගමුවේ තාප්පයක් කඩාවැටී දියණිය මරුට – මව සහ සහෝදරයාට තුවාල

ආචාර්ය පාලිත කොහොන චීනයේ ශ්‍රී ලංකා තානාපති ලෙස නිර්දේශ කෙරේ

වැලිගම – කප්පරතොටින් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක් ගැඹුරු මුහුදේ දී අනතුරකට ලක්වෙයි

නුවරඑළියේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි පුද්ගලයෙකු මියයයි

ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු යන්න අවසර

පාසල් සිසුන් අපයෝජන කළ ව්‍යාපාරිකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

රනිල්, ඇතුළු පිරිසකට දේශපාලන පළිගැනීම් ගැන සොයන ජනපති කොමිසමෙන් සිතාසි

*********************************************

ආරක්ෂක ලේකම්වරයා විසින් රචිත ග්‍රන්ථ දෙකක් (2) ජනපතිගේ ප්‍රධානත්වයෙන් එළිදකී

(06.09.2020 – 19:55 +0530 – hirunews.lk/sinhala)

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත ග්‍රන්ථ දෙකක් (2) එලි දැක්වීම කොළඹ ආනන්ද විද්‍යාලයේ කුලරත්න ශාලාවේදී අද (06) සිදුකෙරුණා.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ආරක්ෂක ලේකම්වරයා විසින් රචිත ‘ගෝඨාභය’ ග්‍රන්ථයේ ඉංග්‍රීසි පරිවර්තනය මෙන්ම සත්‍ය සිද්ධීන් සමුදායක් පාදක කර ලියා ඇති ‘පාතාලය’ නව කථාව ද මෙහිදී එලි දැක්වුණා.

මේ අතර, අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතාගේ වර්ෂ පූර්ණ ගුණානුස්මරණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර උයන්වත්ත ක්‍රීඩාංගනයේදි අද (06) පැවැත්වුණා.

*********************************************

බන්ධනාගාර නිලධාරින්ට තර්ජනය කිරීම ගැන, පොඩි ලැසී සහ කොස්ගොඩ තාරකගෙන්, ප්‍රකාශ ගන්නැයි උපදෙස්

(06.09.2020 – 19:41 +0530 – hirunews.lk/sinhala)

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවන් වන ‘ජනිත් මධුසංක ද සිල්වා’ හෙවත් ‘පොඩි ලැසී’ සහ ‘කීර්ති තාරක පෙරේරා විජේසේකර’ හෙවත් ‘කොස්ගොඩ තාරක’ගෙන්, ප්‍රකාශ සටහන් කරගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ, බූස්ස බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ බන්ධනාගාර නිලධාරීන් 5 දෙනෙකුට සහ එම බන්ධනාගාර අධිකාරීවරයාට මරණ තර්ජනය කිරීම මෙන්ම රාජකාරියට බාධා කිරිම යන චෝදනා සම්බන්ධයෙන්.

පසුගිය ජූනි මාසයේ බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් තම පහසුකම් වැඩි කරන ලෙස ඉල්ලමින් උපවාසයක නිරත වූ අතර ඒ පිළිබඳ සොයාබැලීම සඳහා බන්ධනාගාර මූලස්ථානයේ නිලධාරීන් පස් දෙනෙකු සහ බූස්ස බන්ධනාගාර අධිකාරීවරයා එහි ගොස් තිබුණා.

එම අවස්ථාවේදී ‘පොඩි ලැසී’ සහ ‘කොස්ගොඩ තාරක’ අදාල නිලධාරීන්ට මෙන්ම ජනාධිපතිවරයාට සහ ආරක්ෂක ලේකම්වරයාට මරණ තර්ජන එල්ල කර ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම, වැලිකඩ – මැගසින් බන්ධනාගාරයට සම්පූර්ණයෙන්ම ආරෝපණය කරන ලද දුරකථන බැටරි 10 ක්, හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 350 ක් සහ මුදලින් රුපියල් 36,000 ක් පාර්සලයක් ලෙස සකස් කොට විසි කිරීමට තැත් කළ පුද්ගලයෙකු අද (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළොන්නාව සාලමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මොහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී අනාවරණ වුණේ මීට පෙර ද මොහු මෙම ක්‍රියාව සිදුකර ඇති බවටයි.

මීට පෙර ද අවස්ථා ගණනාවකදී වැලිකඩ බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් ජංගම දුරකථන සහ මත්ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් විසි කිරීම සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වුණා.

මේ අතර, වව්නියාව – පුවරාසකුලම් – අර්ෆානගර් ප්‍රදේශයේ නිධන් හාරමින් සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු 8 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම උප පොලිස් පරීක්ෂකවරයා කොළඹ අපරාධ වාර්තා කොට්ඨාශයට අනුයුක්තව සේවය කරන අයෙක්.

සැකකරුවන් සුඛෝපභෝගී මෝටර් රථ දෙකක පැමිණ නිධන් හාරමින් සිටි අවස්ථාවේදියි පොලීසිය ඊයේ (05) අත්අඩංගුවට ගනු ලැබූ අතර, එම අවස්ථාව වන විටත් ඔවුන් සතුව තිබී පුරාවස්තු කිහිපයක් සහ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සැඟවූ බවට පැවසෙන රන් ආභරණ කිහිපයක් සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු සියළු දෙනා කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවටයි වාර්තා වන්නේ.

*********************************************

‘බඩෝවිට අසංක’ ගේ සමීපතමයන් තිදෙනෙකු (3) අත්අඩංගුවට

(06.09.2020 – 20:06 +0530 – hirunews.lk/sinhala)

දැනට ඩුබායි හි සැඟව සිටින බවට පැවසෙන පාතාල කල්ලි සාමාජික ‘බඩෝවිට අසංක’ නැමැත්තාගේ ගෝලයන් තුන් දෙනෙකු (3) හෙරොයින් සමඟ බොරලැස්ගමුව ප්‍රදේශයේදී ඊයේ (05) අත්අඩංගුවට ගත්තා.

ඒ අතර කාන්තාවන් දෙදෙනෙකු (2) ද සිටින බවයි පොලීසිය සඳහන් කළේ. මොවුන් බඩෝවිට ප්‍රදේශයේ සිට ත්‍රිරෝද රථයකින් හෙරොයින් ජාවාරමේ නිරත වන අවස්ථාවේදියි පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඒ වන විට ඔවුන් සතුව හෙරොයින් ග්‍රෑම් 60 කට වැඩි ප්‍රමාණයක් තිබී ඇති අතර, දීර්ඝ කාලයක සිට මෙලෙස මොවුන් හෙරොයින් ජාවාරමේ නිරත වී ඇති බවටයි දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.

මේ අතර, සපුගස්කන්ද ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 23 ක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව චෝදනා එල්ල වී සිටියදී තමිල්නාඩුවේදී අත්අඩංගුවට ගත් කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් කොස්තාපල්වරයා ඉදිරි දිනකදී මෙරටට රැගෙන ඒමට නියමිතයි.

අනතුරුව ඔහු නිරෝධායන ක්‍රියාවලියට ලක් කිරීමෙන් පසු පරීක්ෂණ ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

30 හැවිරිදි සැකකරු දැනට ධනුෂ්කොඩි සමුද්‍රිය පොලිස් ස්ථානයේ රඳවා සිටිනවා.

පසුගිය දෙවනදා රුපියල් කෝටි 23 කට අධික වටිනාකමකින් යුත් මෙම හෙරොයින් තොගය සැකකරුවෙකු සමඟ අත්අඩංගුවට ගත් අතර, ඔහු කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරියෙකුගේ සහෝදරයෙකු බවටයි පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වුණේ.

අදාළ නිලධාරියා විසින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇති බවට ද පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වූ අතර, ඒ අනුවයි සැකකරු සොයා මෙහෙයුම් ආරම්භ කළේ ෴

*********************************************

හිරු අනාවරණයෙන් පසු සිමෙන්ති සංස්ථා සභාපති ඇතුළු පිරිසක් වනාතවිල්ලුවට

(06.09.2020 – 20:33 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට අයත් වනාතවිල්ලුව – එළුවන්කුලම – කූරටියාමොහොට්ටේ ප්‍රදේශයේ ඉඩමක සිදුවන දැවැන්ත පරිසර විනාශයක් පිළිබඳ හිරු දහවල් ප්‍රවෘත්ති විකාශයෙන් අප අනාවරණ කළා.

ඒ පිළිබඳව සොයා බැලීම සඳහා සිමෙන්ති සංස්ථා සභාපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අද (06) පස්වරුවේම එහි සංචාරයක නිරත වුණා.

*********************************************

විස්සෙත් පිළිගත නොහැකි කරුණක් ගැන පොහොට්ටු මනත්‍රීගෙන් චෝදනා

(06.09.2020 – 14:15 +0530 – lankaleadnews.com)

20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ රටට අවශ්‍ය නොවන කරුණු කිහිපයක් අඩංගු බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.

ද්විත්ව පුරවැසියන්ට මහජන නියෝජිතයින් ලෙස පත්වීමට පනවා ඇති සීමා ඉවත් කිරීම සුදුසු නොවන යෝජනාවක් බව ඔහු පෙන්වා දෙයි.

පිළිගත නොහැකි සහ අඩුපාඩු සහිත තවත් කරුණු කිහිපයක් විසි වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතේ අඩංගු බව ද පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එහිදී “පසුගිය අවුරුදු 05 පුරා ගෙනාපු රටට හානිකර විවිධ අණ පනත්වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ දී ඒ අණ පනත්වල තියෙන ව්‍යවස්ථානුකූල භාවය ගැන ප්‍රශ්න කිරීමට ලැබී තිබූ අවකාශය අපිට විශාල ශක්තියක් වුණා. එතකොට අපිට ආධාර උපකාර වෙච්ච ව්‍යවස්ථා ප්‍රතිපාදන වෙනස් කරන්න කටයුතු කරනවා නම් ඒ ගැන ගැඹුරින් අවධානය යොමු කරන්න අවශ්‍යයි.” යනුවෙන් සඳහන් කළා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කුමාරතුංග මහතා මේබව කියා සිටියේය ෴

*********************************************

නවගමුවේ තාප්පයක් කඩාවැටී දියණිය මරුට – මව සහ සහෝදරයාට තුවාල

(07.09.2020 – 07:18 +0530 – hirunews.lk/sinhala)

නවගමුව කොතලාවල පාසල් මාවතේ නිවසක් මතට තාප්පයක් කඩා වැටී ඊයේ (06) රාත්‍රි සිදුවූ අනතුරකින් දියණිය මියගොස් මව සහ සහෝදරයා තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

මියගිය දියනියගේ වයස අවුරුදු 22 ක්.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක 5 ක් සඳහා නායයෑමේ අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

ඒ, කොළඹ, ගාල්ල, කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහායි.

මේ අතර, ඊයේ (06) දිනයේදී ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150 ක තද වැසි ඇතිවීමත් සමඟ ප්‍රදේශ රැසක පහත් බිම් ජලයෙන් යටව තිබුණා.

කොළඹ නගරයේ මාර්ග රැසක් ද වැසි ජලය හේතුවෙන් යට වී තිබු බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

එමෙන්ම, දිවයින හරහා විටින් විට තද සුළං ද ඇතිවීමත් සමඟ මාර්ග කිහිපයකට ගස් කඩා වැටීම් නිසා බාධා ද එල්ල වුණා.

*********************************************

ආචාර්ය පාලිත කොහොන චීනයේ ශ්‍රී ලංකා තානාපති ලෙස නිර්දේශ කෙරේ

(07.09.2020 – 10:24 +0530 – hirunews.lk/sinhala)

චීනයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ආචාර්ය පාලිත කොහොන මහතා පත් කිරීමට නිර්දේශ කර තිබෙනවා.

එම නිර්දේශය උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව වෙත යොමුකළ බවයි ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ.

ආචාර්ය පාලිත කොහොන මහතා විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු ලෙස මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයෙකු ලෙස කටයුතු කරනු ලැබුවා.

එමෙන්ම ඉන්දියාවේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ පත් කිරීමටයි නිර්දේශ කර ඇත්තේ.

එම නිර්දේශය ද උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව වෙත යොමුකර තිබෙනවා ෴

*********************************************

වැලිගම – කප්පරතොටින් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක් ගැඹුරු මුහුදේ දී අනතුරකට ලක්වෙයි

(07.09.2020 – 11:00 +0530 – hirunews.lk/sinhala)

ධීවර නීති උල්ලංඝනය කරමින් වැලිගම, කප්පරතොට පෙදෙසෙන් ධීවර කටයුතු සඳහා ගිය බහුදින ධීවර යාත්‍රාවක් ගැඹුරු මුහුදේ දී අනතුරකට ලක්ව තිබෙනවා.

එහිදී එම යාත්‍රාවේ සිටි පිරිස පිහිනාවිත් ඊයේ (06) රාත්‍රියේ ගොඩබිමට පැමිණ ඇති අතර ඔවුන් රෝහල් ගත කිරීමට පියවර ගත් බවයි ධීවර හා ජලජ සමිපත් දෙපාර්තමේන්තුවේ මාතර දිස්ත්‍රික් කාර්යාලය පවසන්නේ.

ධීවර දෙපාර්තමේන්තුවේ මඟින් පවතින කාලගුණික තත්ත්වය සම්බන්ධ අනතුරු ඇඟවීම් නිකුත්කර තිබියදීත් ලබාදී ඇති එම උපදෙස් සහ ධීවර නිති උල්ලංඝනය කරමින් මෙම බහුදින ධීවර යාත්‍රාව ඊයේ (06) පස්වරුවේ මුහුදු ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වැලිගම, කප්පරතොට පෙදෙසේ පදිංචි අවුරදු 22 – 40 යන වයස් සීමාවේ පසුවූ පුද්ගලයින් 05 දෙනෙක් අනතුරට පත් යාත්‍රාවේ සිට ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.

යාත්‍රාව අනතුරට පත්වූ පසු මෙම ධීවරයන් පිරිස මිරිස්ස, ගිරාගල වෙරළට පිහිනාගෙන පැමිණ ඇති අතර එම අවස්ථාවේ පාමුර සංචාරයේ යෙදි සිටි මිරිස්ස වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔවුන් මාතර මහ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබෙනවා.

අනතුරින් යාත්‍රාවට දැඩි ආලභ හානි සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට යාත්‍රාවේ හිමිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බවයි වාර්තා වන්නේ ෴

*********************************************

නුවරඑළියේ නිරෝධායන මධ්‍යස්ථානයක සිටි පුද්ගලයෙකු මියයයි

(07.09.2020 – 11:15 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළියේ හෝටලයක නිරෝධායනයට ලක් වෙමින් සිටි පුද්ගලයෙකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

56 හැවිරිදි ජාඇළ – කොටුගොඩ ප්‍රදේශයේ පදිංචි මොහු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට දිවයිනට පැමිණ ඇත්තේ පසුගිය 31 වනදායි.

පාදයක තුවාලයකින් විෂබීජයක් ශරීරගතවීම සහ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු පසුගිය 2 වනදා නුවරඑළිය මූලික රෝහලට ඇතුළත් කෙරුණා.

මෙම පුද්ගලයා මෙරටට පැමිණීමට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මසක පමණ කාලයක් රෝහල් ගතව සිටි බවයි වාර්තාවන්නේ.

රෝහල් ගතකිරීමෙන් අනතුරුව සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී මෙම පුද්ගලයාට කොරෝනා වෛරසයට ආසාදනය වී නොතිබූ බව නුවරඑළිය මූලික රෝහලේ අධ්‍යක්‍ෂවරයා සඳහන් කළා.

*********************************************

ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු යන්න අවසර

(07.09.2020 – 11:24 +0530 – hirunews.lk/sinhala)

මරණ දඬුවම නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තු සභාවාරවලට සහභාගි වීම සඳහා අවසර ලබා දෙන ලෙස අභියාචනාධිකරණය අද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කළා.

මන්ත්‍රීවරයා ගොනුකළ රිට් පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් මහතා ඇතුලු විනිසුරු මඩුල්ල නියෝග කළේ මන්ත්‍රීවරයාව පාර්ලිමේන්තුවට රැගෙන යාමට අවශ්‍ය පහසුකම් සළසන ලෙසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු ලෙස ප්‍රේමලාල් ජයසේකර තේරි පත්වීම නීතිවිරෝධි බවට මෙතෙක් අධිකරණ තීරණයක් ප්‍රකාශයට පත්වී නොමැති බව එහිදී අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා විවෘත අධිකරණයේ කියා සිටියා.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකුලව පෙත්සම්කරුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හිමිවිය යුතු සියළු හිමිකම් භුක්ති විඳීමට නීතිමය බාධාවක් නොමැති බව පෙන්වා දුන් අභියාචනාධිකරණයේ සභාපතිවරයා, ඔහුට මන්ත්‍රීවරයෙකු වශයෙන් දිවුරුම් දීමට නීතිමය බාධාවක් පවතින බව පෙනී නොයන බවද සඳහන් කළා.

ඒ අනුව පෙත්සම් විභාගය සඳහා අවසර ලබාදෙන බවයි අභියාචනාධිකරණය සඳහන් කළේ.

පෙත්සම යළි මේ මස 29 වනදා කැඳවීමට අධිකරණය නියෝග කළ අතර, එදිනට වගඋත්තරකරුවන් වන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා, වැලිකඩ බන්ධනාගාරයේ අධිකාරිවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කළා.

*********************************************

පාසල් සිසුන් අපයෝජන කළ ව්‍යාපාරිකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

(07.09.2020 – 12:29 +0530 – hirunews.lk/sinhala)

පාසල් සිසුන් කිහිප දෙනෙකුට බරපතල ලිංගික අපයෝජන සිදුකිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයෙකු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ බටදුව ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි ව්‍යාපාරිකයෙක්.

සැකකරු සිය වෙළඳසැලට පැමිණෙන එම ප්‍රදේශයේ පාසලක බාල වයස්කාර සිසුන් කිහිප දෙනෙකුට විවිධ වර්ගයේ ආහාර පාන ලබාදී වෙළඳසැල තුලට කැඳවාගෙන ගොස් ලිංගික අතවර කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

සිසුන් සරුංගල් යැවිමට ගිය අවස්ථාවේ ඒ අසල තිබූ එළවලු කොරටුවකට සිසුන් කැඳවාගෙන ගොස් සැකකරු විසින් එම සිසුන්ට ලිංගික අතවර කර ඇති බවටද කරුණු අනාවරණය වී තිබෙනවා.

මෙලෙස අපයෝජනයට ලක්වු 13 හැවිරිදි එක් සිසුවෙකුගේ මවක් විසින් කරන ලද පැමිණිල්ලක් අනුවයි සැකකාර ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ෴

+++++++++++++

සුදු ඉර මතින් පාර මාරුවෙමින් සිටි කාන්තාවක් යට කර පලාගිය පොලිස් කොස්තාපල්වරයෙකු අද (07) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කිරිබත්ගොඩ නගරයට ආසන්නයේ ඊයේ (06) සිදුවූ මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූයේ 59 හැවිරිදි කාන්තාවක්.

සිය පුත්‍රයා සමඟ සුදු ඉරෙන් පාර මාරුවෙමින් සිටියදී අධික වේගයෙන් පැමිණි මෙම යතුරුපැදිය ඇගේ ශරීරයේ ගැටී ඇති අතර, අනතුරුව යතුරුපැදිය පැදවූ පොලිස් කොස්තාපල්වරයා පලාගොස් තිබෙනවා.

කෙසේ වෙතත් යතුරුපැදියේ ඉදිරිපස අංක තහඩුව මාර්ගයේ වැටී තිබියදී සොයාගෙන ඇති අතර, ඒ වනවිට පොලිස් කොස්තාපල්වරයා කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකාර පොලිස් කොස්තාපල්වරයා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ආරක්ෂාවේ යෙදි සිටින අයෙකු බව සඳහන් ෴

*********************************************

රනිල්, ඇතුළු පිරිසකට දේශපාලන පළිගැනීම් ගැන සොයන ජනපති කොමිසමෙන් සිතාසි

(07.09.2020 – 12:56 +0530 – hirunews.lk/sinhala)

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් සහ මන්ත්‍රීවරුන් තුන්දෙනෙකුට (3) දේශපාලන පළිගැනීම් පිලිබඳ සොයන ජනපති කොමිසම අද (07) සිතාසි නිකුත් කරනු ලැබුවා.

ඒ, හිටපු දිවි නැගුම අධ්‍යක්‍ෂ ආර්.ඒ.ඒ.කේ. රණවක එම කොමිසම හමුවේ සිදුකළ පැමිණිල්ලකට අනුව අද (07) පෙනී නොසිටීම හේතුවෙන්.

කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට මෙලෙස සිතාසි නිකුත් කරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන්නේ රවුෆ් හකීම්, එම්.ඒ. සුමන්දිරන් සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකායි.

එසේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්නට සහ නීතීඥ ජේ.සී. වැලිඅමුණ ටද සිතාසි නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ලබන 19 වනදා පෙනී සිටින ලෙසයි මෙම කොමිසම මොවුන්ට සිතාසි නිකුත් කරමින් දැනුම්දී ඇත්තේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *