පොලිස් නිළ සුනඛ වෙන්දේසිය නවතී

පොලිස් නිළ සුනඛ වෙන්දේසිය නවතී

වස්කඩුවේ හෝටලයක සිදුකළ මත්ද්‍රව්‍ය ජාවාරමක් වටලයි

තේ කර්මාන්තය නඟා සිටුවීම පැතිකඩ කිහිපයකින්

රුපියල් මිලියන 04 කට අධික මත් පෙති තොටළඟ දී අල්ලයි

ඉන්දියාවේ තෙවන විශාලතම තොරතුරු තාක්ෂණ සමාගමේ පළමු ගෝලීය බෙදා හැරීමේ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ

කුලී පදනම මත වාහන ලබාගෙන, කප්පම් ගත් ජාවාරම්කරුවන් කොටුවෙයි

නීතිවිරෝධීව සෞදියේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට සහනයක්

හිටපු පළාත් සභා මන්ත්‍රී සිබ්ලි ෆාරුක් පාස්කු කොමිසමේදී කළ පරස්පර ප්‍රකාශ

දරුවාගේ අත බේරාගැනීමට කළ පැය අටේ (8) ශල්‍යකර්මය

‘හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක්’ ගැන කොමිසමේදී වැඩ බලන පොලිස්පතිගෙන් විමසයි

බුදුපුත් සුරක්ෂා – බෞද්ධ ස්වාමින්වහන්සේලා වෙනුවෙන් සෞඛ්‍ය රක්ෂණාවරණයක්

විද්‍යා අංශයෙන් උසස් පෙළ සමත් සිසුන්ට වැදගත් නිවේදනයක්

අනතුරු කිහිපයකින් ජීවිත 6 ක් අහිමියි

සේවකයන් 14,000 යි – වෘත්තීය සමිති 103 යි – පාඩුව රු. බි 7 යි – මේ ශ්‍රී ලංකා දුම්රිය සේවයයි

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත කිරිපිටි චීනයට – බටර් ජපානයට – පැල්වත්ත කිරි සමාගමේ මීළඟ පියවර

එතෙර මුදල් මෙතර අදින හැටි… දේශීය කර්මාන්ත පනගන්වන්නේ කොහොමද… ඩී.එස්.අයි. සමූහ ව්‍යාපාරයේ සභාපති කුලතුංග රාජපක්ෂ

*********************************************

පොලිස් නිළ සුනඛ වෙන්දේසිය නවතී

(08.09.2020 – 08:27 +0530 – hirunews.lk/sinhala)

මින් ඉදිරියට පොලිස් නිළ සුනඛ වෙන්දේසි නතර කිරීමට තීරණය කර තිබෙනවා.

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා වෙත ඊට අදාළ උපදෙස් ලබාදී ඇති බවටයි වාර්තා වන්නේ.

පොලිස් නිල සුනඛ කොට්ඨාශයට අයත් සේවයෙන් ඉවත් කළ සුනඛයින් වෙන්දේසියක් පසුගිය මස 15 වන දා මහනුවර දී පැවැත්වුණා.

එහිදී වයස අවුරුදු 10 ඉක්ම වූ නිල සුනඛයින් 25 දෙනෙකු වෙන්දේසි වී තිබුණා.

එහිදී සමාජ මාධ්‍යයේ ඒ පිළිබදව කතාබහට ලක්වූ අතර, ඊට දැඩි විරෝධයක් ද එල්ල වුණා.

කෙසේ වෙතත්, මින් ඉදිරියට එලෙස සේවයෙන් ඉවත් කළ සුනඛයින් වෙන්දේසි නොකරන ලෙසටත් එම සතුන්ට සුදුසු පරිදි පහසුකම් ලබාදී පොලිස් නිළ සුනඛ කොට්ඨාශය විසින් රැක බලා ගැනීම සිදුකළ යුතු බවට ද ආරක්ෂක ලේකම්වරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

*********************************************

වස්කඩුවේ හෝටලයක සිදුකළ මත්ද්‍රව්‍ය ජාවාරමක් වටලයි

(08.09.2020 – 06:46 +0530 – hirunews.lk/sinhala)

කළුතර උතුර, වස්කඩුව ප්‍රදේශයේ හෝටලයක් තුල සිදුකළ මත්ද්‍රව්‍ය ජාවාරමක් පොලිසිය විසින් වටලා සැකකරුවන් සිව්දෙනෙකු (4) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී අයිස් ග්‍රෑම් 15 ක්, ගංජා ග්‍රෑම් 22 ක්, මත්පෙති 27 ක් සහ ගංජා පැලයක්ද සොයා ගැනීමට හැකි වූ බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් 64,000 ක මුදලක් ද සොයා ගෙන තිබෙනවා ෴

*********************************************

තේ කර්මාන්තය නඟා සිටුවීම පැතිකඩ කිහිපයකින්

(08.09.2020 – 06:55 +0530 – hirunews.lk/sinhala)

බරපතල පසුබැසීමකට ලක්ව ඇති තේ කර්මාන්තය නඟා සිටුවීම පැතිකඩ කිහිපයක් ඔස්සේ සිදුවිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ වතු ආශ්‍රිත බෝග වගා, තේ කර්මාන්තශාලා නවීකරණය හා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව ඊයේ (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

කර්මාන්තයේ බිඳ වැටීමට හේතු වූ සාධක හඳුනාගෙන ලෝක වෙළෙඳපොළෙහි ශ්‍රී ලංකා තේ සඳහා තිබූ ඉහළ ඉල්ලුම නැවත අත්කර ගැනීම ඉලක්කය විය යුතු බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

පාඩු ලබන වතු නිරීක්ෂණය කර තේ අපනයනය සහ ආදායම නැංවීමට දිගු, මධ්‍ය සහ කෙටි කාලීන සැලසුම් ක්‍රියාත්මක කළ යුතු බවටයි ඊට එක්ව සිටි ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් පෙන්වා දුන්නේ.

ප්‍රධාන වතු සමාගම් 20 න්, 10 ක් අක්‍රිය වී තිබෙනවා.

කුඩා තේ වතු ඉහළ නිෂ්පාදනයක් අත් කර ගන්නා විට වතු සමාගම්වල නිෂ්පාදන ධාරිතාව සීග්‍රයෙන් පහත වැටී ඇති බවටයි එහිදී අනාවරණ වී ඇත්තේ.

පාඩු ලැබීමට සහ අකර්මන්‍යයට හේතු කෙටි කලකදී හඳුනාගෙන ස්ථීර විසදුම් ලබාදෙන ලෙසට ද එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබාදුන්නා.

ඉහළ අස්වැන්නක් සඳහා තේ වතු ප්‍රතිසංස්කරණය කොට නැවත වගාව ක්‍රමවත් කිරීමේ අවශ්‍යතාවය ද එහිදී සාකච්ඡාවට බදුන් වී තිබෙනවා.

කොවිඩ් වසංගතය හමුවේ ඇඳිරි නීතිය පනවා තිබූ කාලසීමාවේදී රජය ගත් තීරණ හේතුවෙන් 4,21,000 කට ආසන්න කුඩා තේ වතු හිමියන් ආරක්ෂා වූ බව පැවසූ එම වතු හිමියන් ඒ පිළිබදව ජනාධිපතිවරයාට ප්‍රශංසාව පළ කර තිබෙනවා ෴

*********************************************

රුපියල් මිලියන 04 කට අධික මත් පෙති තොටළඟ දී අල්ලයි

(08.09.2020 – 07:03 +0530 – hirunews.lk/sinhala)

රුපියල් මිලියන 4.7 කට අධික වටිනාකමකින් යුත් මත් පෙති 18,900 ක් ලොරි රථයකින් ප්‍රවාහනය කළ තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ තොටළඟ ප්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි ෴

++++++++++++

පැය දෙකක් (2) තුළ බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම් වලින් මත්ද්‍රව්‍ය භාවිත කළ 547 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

එහිදී හෙරොයින් පානයකරමින් සිටි පුද්ගලයින් 265 ක්,අයිස් මත්ද්‍රව්‍ය භාවිත කළ පුද්ගලයින් 27 ක්, ගංජා පානය කරමින් සිටි 136 ක් මාවා නැමැති මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි සිව් දෙනෙක් සහ නීති විරෝධී මත්පැන් පානය කරමින් සිටි පුද්ගලයින් 107 ක් ඒ අතර වනවා.

බස්නාහිර පළාතේ බස් නැවතුම්පොළවල්, දුම්රිය ස්ථාන, පොදු වැසිකිළි, සුසාන භූමි ඇතුළු ස්ථාන මූලික කරගනිමින් මෙම වැටලීම් සිදුකර තිබෙනවා.

ඊයේ (07) සවස 6 සිට රාත්‍රී 8 දක්වා කාලය තුල මෙම මෙහෙයුම් සිදුකළ බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ ෴

+++++++++++++

(08.09.2020 – 09:1 +0530)

මෝටර් රථයකින් රත්‍රං කිලෝ ග්‍රෑම් 10ක් ප්‍රවහනය කළ පුද්ගලයෙක් කල්පිටිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම රත්‍රං තොගය පාර්සල් 08 ක අසුරා තිබූ බවයි වාර්තා වන්නේ. අත්අඩංගුවට ගත් සැකකරු 34 හැවිරිදි අයෙක් ෴

*********************************************

ඉන්දියාවේ තෙවන විශාලතම තොරතුරු තාක්ෂණ සමාගමේ පළමු ගෝලීය බෙදා හැරීමේ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ

(08.09.2020 – 07:32 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව ගෝලීය නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් බවට පත් කිරීම සඳහා නව රජය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයට ප්‍රමුඛත්වය දී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ඉන්දියාවේ තෙවැනි විශාලතම තොරතුරු තාක්ෂණ සමාගමේ පළමු ගෝලීය බෙදා හැරීමේ මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමේ අවස්ථාවට ඊයේ (07) එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

පුරවැසි කේන්ද්‍රීය ඩිජිටල්කරණය වූ රජයක් පිහිටුවීම, තොරතුරු තාක්ෂණ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම ඇතුළු තවත් බොහෝ වැඩසටහන් සඳහා නව රජය කටයුතු කරමින් සිටින බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ ෴

*********************************************

කුලී පදනම මත වාහන ලබාගෙන, කප්පම් ගත් ජාවාරම්කරුවන් කොටුවෙයි

(08.09.2020 – 08:12 +0530 – hirunews.lk/sinhala)

කුලී පදනම මත රථ වාහන ලබාගෙන මහා පරිමාණයෙන් මුදල් වංචා කරන කණ්ඩායමක් සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ අනාවරණයත් සමඟ ඊට සම්බන්ධ සැකකරුවන් තුන් දෙනෙකු (3) පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කුලී පදනම මත රැගෙන ගිය වාහනයක් යළි හිමිකරුට ලබාදීම සඳහා ඔහුගෙන් කප්පම් මුදලක් ලබා ගැනීමට තැත් කිරීමක් සම්බන්ධයෙන් බියගම -දෙල්ගොඩ ප්‍රදේශයෙන් තොරතුරු වාර්තා වී තිබුණා.

රථ වාහන කුලී පදනම මත ලබා ගන්නා බව පවසා මෙම පිරිස සංවිධානාත්මක ලෙස මුහුණු පොත හරහා දැන්වීම් පළ කර තිබුණා.

මීට අමතරව ඔවුන් කල් බදු ගෙවා ගැනීමට නොහැකි රථ වාහන ද නියමිත පරිදි කල් බදු ගෙවන බවට පොරොන්දු ලබාදෙමිනුයි දිවයිනේ විවිධ ප්‍රදේශවලින් එලෙස වාහන ලබාගෙන තිබුණේ.

ඒ අනුව කැකිරාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු ඔහු සතු මෝටර් රථයක් කුලී පදනම මත පසුගිය ජුනි මාසයේදී මෙම පිරිසට ලබාදී තිබූ අතර, එය යළි ලබාදීම සඳහා එම සංවිධානාත්මක පිරිස ඔහුගෙන් කප්පම් මුදල් ඉල්ලා තිබුණා.

ඒ පිළිබදව එම මෝටර් රථය අයිති පුද්ගලයා පොලීසිය දැනුවත් කොට කප්පම් මුදල් ලබාදීම සඳහා දෙල්ගොඩ – ඉන්ධන පිරවුම්හල අසළට පැමිණෙන ලෙස පසුගිය සෙනසුරාදා දැනුම් දී තිබෙනවා.

ඒ අනුව කප්පම් මුදල් ඉල්ලූ පුද්ගලයන් එම ස්ථානයට පැමිණ මෝටර් රථයේ හිමිකරුගෙන් කප්පම් මුදල් ලබාගැනීම සඳහා කටයුතු කළ අවස්ථාවේදී පොලීසිය ක්‍රියාත්මක වීමත් සමඟ මෙම පිරිස පැමිණි මෝටර් රථයෙන් පළා ගොස් තිබුණා.

එය සී.සී.ටී.වී. කැමරාවල ද සටහන් වී තිබූ අතර, එය පසුගිය සෙනසුරාදා රාත්‍රී 06:55 ‘හිරු ටී.වී. ප්‍රවෘත්ති’ ඔස්සේ ද විකාශය කරනු ලැබුවා.

කෙසේ වෙතත්, මීගහවත්ත පොලීසිය ඒ පිළිබදව සිදුකළ විමර්ශනවලදීයි ඊට අදාළ සැකකරුවන් තුන් දෙනෙකු (3) අත්අඩංගුවට ගනු ලැබුවේ. එමෙන්ම, ඔවුන් සතුව තිබී මෝටර් රථ 3 ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මේ අතර, හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින කොළඹ අපරාධ කොට්ඨාශයේ පොලිස් කොස්තාපල්වරයා ඉන්දියාවේ රාමේෂ්වරන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14 ක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඔහු පසුගිය සෙනසුරාදා ඉන්දියාවේ තමිල්නාඩුවේදී ධනුෂ්කොඩි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

සපුගස්කන්ද ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 23 ක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව මොහුට චෝදනා එල්ල වී ඇති අතර, සිද්ධියට අදාළව ඔහුගේ සොහොයුරෙකු ද අත්අඩංගුවට ගෙන සිටිනවා ෴

*********************************************

නීතිවිරෝධීව සෞදියේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට සහනයක්

(08.09.2020 – 08:03 +0530 – sinhala.adaderana.lk)

වීසා බලපත් කල් ඉකුත්වීම හේතුවෙන් සෞදි අරාබියේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට කිසිදු ගාස්තුවක් හෝ දඩ මුදලක් ගෙවීමකින් තොරව එරටින් පිටවීම සඳහා සෞදි අරාබි රජය අවසර ලබා දී තිබේ.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞදි අරාබියේ පිටවීමට නොහැකි වු ශ්‍රී ලාංකිකයින් මුහුණදෙන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් සෞදි අරාබි රජය මෙම තාවකාලික පියවර ගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.

දෙරට අතර දැනට පවතින ශක්තිමත් ද්වීපාර්ශවික සබදතාවන්හි ප්‍රතිඵලයක් ලෙස සෞදි අරාබි රජය මෙම සහනය ලබා දී තිබේ.

ඒ අනුව වලංගු හෝ කල්ඉකුත් වූ සංචාරක වීසා බලපත්‍රයක් නැවත ඇතුළුවීමේ වීසා බලපත්‍රයක් හෝ අවසාන පිටවීමේ වීසා බලපත්‍රයක් ඇති ඔනෑම ශ්‍රී ලාංකිකයෙකුටම එරටින් පිටත්ව යන විට දී කිසිදු ගාස්තුවක් හෝ දඩ මුදලක් ගෙවීමකින් තොරව පිටවීමට අවසර හිමිවනු ඇත ෴

*********************************************

හිටපු පළාත් සභා මන්ත්‍රී සිබ්ලි ෆාරුක් පාස්කු කොමිසමේදී කළ පරස්පර ප්‍රකාශ

(07.09.2020 – 22:58 +0530 – sinhala.adaderana.lk)

2015 මහ මැතිවරණයට පෙර සහරාන් හෂීම් ඉදිරිපත් කළ ප්‍රතිපත්ති මාලාවකට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පක්ෂ කිහිපයක් එකඟත්වය පළ කර තිබූ බව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමසා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ අද (07) අනාවරණ වුණි.

ඒ නැගෙනහිර පළාත් සභා හිටපු මන්ත්‍රි සිබ්ලි ෆාරුක් අද (07) කොමිසමට ප්‍රකාශ කළ කරුණු අනුවය.

මේ අතර කොමිසමේ ප්‍රශ්න කිරීම් හමුවේ සාක්ෂිකරු පරස්පර පිළිතුරු ලබා දීම ද විශේෂත්වයකි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව එල්ල කළ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම්ට නැගෙනහිර පළාත තුළ දේශපාලන අනුග්‍රහය ලබාදුන් බවට මෙම කොමිසම හමුවේ මින් පෙර නම කියවුණු ශ්‍රී ලංකා මුස්ලීම් කොංග්‍රසයේ හිටපු නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී සිබ්ලි ෆාරුක් අද (07) මෙහි කැඳවා තිබුණි.

ඔහු පැවසුවේ 2015 මහ මැතිවරණයේදී සහාය පළ කිරීම සඳහා දේශපාලන පක්ෂ කිහිපයකට සහරාන් සිය කොන්දේසි ඉදිරිපත් කර තිබූ බවය.

ඊට ශ්‍රී ලංකා මුස්ලීම් කොංග්‍රසය වෙනුවෙන් එකඟත්වය පළ කළේ තමන් බව සිබ්ලි ෆාරුක් කියා සිටියේය.

එහිදී කොමිසම, සාක්ෂිකරු වෙත සහරාන්ගේ සොහොයුරු රිල්වාන් තුවාල ලබා රෝහල්ගතව සිටින සහ හිටපු අමාත්‍ය රවුෆ් හකීම් සහ සාක්ෂිකරු ඔහුගේ සුවදුක් විමසන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් සහ ඡායාරූප පෙළක් ප්‍රදර්ශනය කළේය.

එහිදී සාක්ෂිකරු පැවසුවේ 2015 අගෝස්තු මස 21 වන දා එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලාට ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරයක් ලැබීමෙන් පසු ආධාරකරුවන් පිරිසක් අතර ඇති වූ ගැටුමකින් සිව් (4) දෙනෙකු තුවාල ලබා තිබූ බවය.

තමා පක්ෂ නායක රවුෆ් හකීම් සමග, තුවාල ලබා සිටි තම පාක්ෂිකයෙකුගේ ගර්භනී බිරිඳ බැලීමට රෝහලට ගිය බවත්, එහිදී තුවාල ලබා සිටි රිල්වාන්ද රෝහලේ සිටි අතර හකීම් සමග ඔහු ද බැලීමට ගිය බවත් සාක්ෂිකරු පැවසීය.

එම අවස්ථාව පමණක් ඡායාරූපයට නැගී ඇති බව සිබ්ලි ෆාරුක් සඳහන් කළේය.

මෙහිදි කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කළේ ඔබ බැලීමට ගියේ ඔබේ පාක්ෂිකයෙකුගේ බිරිඳනම් ඇයව නොබලා පළමුව රිල්වාන්ව බැලුවේ මන්ද යන්නය.

එය සැලසුම් සහගතව සිදු නොකළ බවත් කාන්තා වාට්ටුව තිබෙන පෙදෙසට යාමට පෙර තමන් ඇතුළු පිරිස රිල්වාන්ව දුටු බව ඔහු පැවසීය.

මෙහිදී සභාපතිවරයා යළි ප්‍රශ්න කළේ තුවාල ලබා සිටි රිල්වාන් සහරාන්ගේ සොහොයුරා බව ඔබ දැන නොසිටියේද යන්නය.

එයට පිළිතුරු දෙමින් සාක්ෂිකරු කියා සිටියේ පාස්කු ප්‍රහාරය එල්ල වන තුරුම තමන් ඒ බව නොදැන සිටි බවය.

ඔබ පවසන්නේ සත්‍යමදැයි කොමිසම යළි යළිත් විමසූ අවස්ථාවේ සාක්ෂිකරු පැවසුවේ 2017 මාර්තු මසයේදී සිදුවූ ආලියාර් ගැටුමට සහරාන් හෂීම් සහ ඔහුගේ සොහොයුරු රිල්වාන් හෂීම් සම්බන්ධ වී සිටි බැවින් ඔවුන් දෙදෙනා (2) සහෝදරයන් බව තමන් දැන සිටි බවය.

එසේනම් කොමිසම හමුවේ ව්‍යාජ සාක්ෂි ලබාදුන්නේ මන්දැයි සභාපතිවරයා විමසූ විට තමන් ව්‍යාජ සාක්ෂි ලබාදුන් බව සිබ්ලි ෆාරුක් පිළිගෙන තිබේ.

මෙහිදී කොමිසම ‘අද දෙරණ’ ප්‍රවෘත්ති විකාශය ඔස්සේ විකාශය කරන ලද සහරාන් හෂීම් සමග හිටපු අමාත්‍ය රවුෆ් හකීම් සහ සාක්ෂිකාර සිබ්ලි ෆාරුක් සාකච්ඡාවක නිරත වන විඩියෝ දර්ශනය ප්‍රදර්ශනය කර ඇත.

එහිදි කොමිසමේ සභාපතිවරයා ප්‍රශ්න කළේ අදාළ ස්ථානය කුමක්ද යන්නය.

එයට පිළිතුරු දෙමින් සිබ්ලි ෆාරුක් සඳහන් කළේ මෙය ජාතික තවුහිද් ජමාත් පල්ලියක් බවය.

එහිදි සභාපති විනිසුරුවරයා විමසුවේ එම පල්ලිය සහරාන් හෂීම්ගේ බව ඔබ කළින් දැන සිටියේද යන්නය.

එහිදී පළමුව නැත යනුවෙන් සාක්ෂිකරු පිළිතුරු දුන්නද, පසුව තමන් ඒ බව දැන සිටියේ යැයි සඳහන් කළේය.

මේ අතර අද නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා පැයක 6 ක කාලයක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පැය 4ක කාලයක් අද කොමිසමේ පොලිස් එකකයට ප්‍රකාශ ලබාදුනි.

මේ අතර ශ්‍රී ලංකා මුස්ලීම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් අද කොමිසම හමුවට කැඳවූ අතර ඔහු මේ වන විටත් කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් සිටී.

*********************************************

දරුවාගේ අත බේරාගැනීමට කළ පැය අටේ (8) ශල්‍යකර්මය

(07.09.2020 – 22:14 +0530 – hirunews.lk/sinhala)

මව්පියන් නිවසේ නැති අතරේ සිඟිති දරුවෙකුට සිදුවූ බරපතළ අනතුරක් පිළිබඳ සංවේදී පුවතක් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් ‘අද දෙරණට’ වාර්තා වුණි.

වෛද්‍යවරුන්ගේ කැපවීම මත දරුවා සුවපත් කෙරුණත්, දරුවන්ගේ ආරක්ෂාව ගැන දෙමාපියන් සතු වගකීම මේ ප්‍රවෘත්තියෙන් යළි යළිත් අවධාරණය කෙරෙනවා.

හදිසි අනතුරකට ලක් වුණු තුන් (3) හැවිරිදි ඒ පුංචි දරුවා කොළඹ ‘රිජ්වේ ආර්යා ළමා රෝහල’ට ඇතුළත් කෙරෙන්නේ ඊයේ (07) රාත්‍රී 7 ට පමණ.

ඒ දකුණු අතට සිදුවු බරපතළ කැපුම් තුවාල සමගිනි.

මාපියන් ගෙදර නැති අතරේ එම පුංචි පුතා, වඩේ සෑදීමට මිශ්‍රණය සකසන යන්ත්‍රය ක්‍රියාත්මක කර තිබේ.

ඒ සමගම ඊට අසු වූ සිඟිත්තාගේ අතේ අත්ල කොටස, කොටස් කිහිපයකට කැපී යන්නේ අස්ථිවලටත් දැඩි හානි කරමිනි.

ළමා රෝහලේ ප්ලාස්ටික් සැත්කම් අංශය දරුවාගේ අත සකස් කිරීමේ බාරදූර වගකීම බාර ගන්නේ සැණින් ක්‍රියාත්මක වෙමිනි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්ලාස්ටික් ශෛල්‍ය විශේෂඥ වෛද්‍ය අරුණජිත් අමරසිංහ මහතා දරුවාට ප්‍රතිකාර කළ ආකාරය පැහැදිලි කරමින් පැවසුවේ, “වඩේ මැෂින් එක කපන්න යන්ත්‍රයක් තිබුණෙ නෑ. නේවි එකේ දෙන්නෙකුගේ උදව් ගත්තා. පැය අටක (8) මෙහෙයුමක් කළා. දැන් දරුවා සුවෙන් ඉන්නවා” යනුවෙනි.

දිනෙන් දින වැඩෙන පුංචි දරුවන් අත්හදා බැලීම් කරන්නට නිතර උත්සාහ කරන වග අමුත්තක් නොවෙයි. එබැවින් කෙතරම් රාජකාරී තිබුණ ද දරුවන් ආරක්ෂා කර ගැනීම මාපියන් සතු වගකීමකි.

*********************************************

‘හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක්’ ගැන කොමිසමේදී වැඩ බලන පොලිස්පතිගෙන් විමසයි

(07.09.2020 – 21:58 +0530 – sinhala.adaderana.lk)

දැනට වැඩ තහනමකට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගේ සේවය යළි පිහිටුවීම සම්බන්ධයෙන් තමාගේ විරුද්ධත්වයක් නොමැති බව වැඩබලන පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා අද (07) දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් වූ නිර්දේශ ඉදිරි දිනකදී පොලිස් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කිරීමට ද කටයුතු කරන බවය.

යාපනයේ විද්‍යා දැරියගේ ඝාතන සිද්ධියට සම්බන්ධ ‘මාලිංගම් ශෂිකුමාර්’ට පළා යාමට ආධාර අනුබල ලබාදීම සහ කහවත්ත ඝාතන සිද්ධියේ වරදකරුවකු වන ප්‍රේමලාල් ජයසේකරගේ නම ඉවත් කරන ලෙස පොලිස් ස්ථානාධිපතිවරයාට බලපෑම් කළැයි යන චෝදනාවලට දැනට වැඩ තහනමට ලක්ව සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමට පැමිණිල්ලක් සිදුකර තිබුණි.

වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අද (07) කොමිසම හමුවට කැඳවනු ලැබුවේ එම පැමිණිල්ලට අදාළව සාක්ෂි විමසීම සඳහාය.

තමාව යළි සේවයේ පිහිටුවන්නැයි අවස්ථා දෙකකදීම ජාතික පොලිස් කොමිෂන් සභාවට ලලිත් ජයසිංහ මහතා අභියාචනා ඉදිරිපත් කළ ද, එය ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මෙලෙස ඔහුව කැඳවා තිබුණි.

ලලිත් ජයසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහේෂ් කොටුවැල්ල මහතා දැනට පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළම ස්ථානයේ සිටින්නේ කවුරුන්දැයි විමසූ විට ඊට පිළිතුරු දුන් වැඩබලන පොලිස්පතිවරයා පැවසුවේ පළමුව තමාත්, දෙවනුව ලලිත් ජයසිංහ මහතාත් ජ්‍යෙෂ්ඨත්වය අතින් ඉදිරියෙන් සිටින අතර තමා එකොළොස් (11) වතාවක් වැඩබලන පොලිස්පති ධුරයේ කටයුතු කර ඇති බවය.

එමෙන්ම ඔහු වැඩ තහනමකට ලක් නොවී සේවයේ රැඳීසිටියානම් පොලිස්පතිධුරයට පවා පත්වීමට හැකියාව තිබූ බව වික්‍රමරත්න මහතා සඳහන් කළේය.

මෙහිදී කොමිසමේ සභාපති විනිසුරුවරයා පෙන්වා දුන්නේ වැඩ තහනමකට ලක්ව සිටි පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා කළ ඉල්ලීම සලකා බලා ඔහු යළි සේවයේ පිහිටුවීමට නිර්දේශයක් පොලිස් කොමිසම වෙත ඉදිරිපත් කළ අයුරින්ම ලලිත් ජයසිංහ මහතා සම්බන්ධයෙන් වික්‍රමරත්න මහතා ක්‍රියා නොකිරීම ගැටලුසහගත බවය.

එලෙස කටයුතු නොකළේ තමන් සමග පොලිස්පති ධුරයට තරගයක් දීමට සිටි ඊළග ජ්‍යෙෂ්ඨ නිලධාරීයා ලලිත් ජයසිංහ වන නිසා දැයි පැමිණිල්ලේ නීතිඥවරයා සාක්ෂිකරුගෙන් විමසා සිටියේය.

මෙය ඍජු ලෙසම දේශපාලන පළිගැනීම මත කළ ක්‍රියාවක් යැයි පෙනී යන බව සභාපති විනිසුරුවරයාද මෙහිදී පෙන්වා දුනි.

ලලිත් ජයසිංහ මහතා සේවයේ පිහිටුවන්නැයි ඉදිරිපත් කළ අභියාචනා සැලකිල්ලට ගනිමින් ඔහු සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය විමසූ බවත් ලලිත් ජයසිංහ මහතා යළි සේවයේ පිහිටුවීම සුදුසු නොවන බව ඊට පිළිතුරු ලිපියක් යොමු කරමින් නීතිපතිවරයා තමන්ට දැනුම් දුන් බවත් වික්‍රමරත්න මහතා පැවසීය.

ආයතන සංග්‍රහයට අනුව පරිපාලනමය තීරණ ගැනීමේ මූලික වගකීම වැඩබලන පොලිස්පතිවරයා ලෙස තමන්ට තිබියදී නීතිපතිවරයාගේ මතය විමසුවේ ඇයි දැයි සභාපති විනිසුරු යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දුන් වික්‍රමරත්න මහතා තමා යම් තීරණ ගැනීමේ දී නීතිපතිවරයාගෙන් උපදෙස් විමසන බව ප්‍රකාශ කළේය.

මෙහිදී සභාපති විනිසුරුවරයා දැඩි ස්වරයෙන් ප්‍රශ්න කළේ මෙම නඩුවලට අදාළව අධිචෝදනා ගොනු කළ නීතිපති දෙපාර්තමේන්තුවෙන්ම ජයසිංහ මහතා යළි සේවයේ පිහිටුවීම පිළිබඳ මතය විමසීම ‘හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක්’ නොවේද යන්නය.

වැඩබලන පොලිස්පතිවරයා එවිට ප්‍රකාශ කළේ ලලිත් ජයසිංහ මහතා නැවත සේවයේ පිහිටුවීම ප්‍රමාදවීම ඇතැම්විට පරිපාලන දෝෂයක් විය හැකි බවය.

එමෙන්ම දණ්ඩ නීතී සංග්‍රහයේ 296 යටතේ චෝදනා ගොනු කෙරුණු නියෝමාල් රංගජීව යළි සේවයේ පිහිටු වීමත් , දණ්ඩ නීතී සංග්‍රහයේ 209 යටතේ චෝදනා ගොනු කෙරුනු ලලිත් ජයසිංහ මහතාට සේවය ලබානොදීමත් ගැටලු සහගත බව කොමිසම ප්‍රකාශ කළේය.

එහිදී වැඩබලන පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ ලලිත් ජයසිංහ මහතා යළි සේවයේ පිහිටුවීම තුළින් ඔහුගේ නඩු විමර්ශනය කරන පොලිස් නිලධාරීන්ට ඒ තුළින් යම් කිසි බලපෑමක් එල්ල විය හැකි බැවින් ඔහු නැවත සේවයේ පිහිටු වීම පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් පවතින බවය.

නමුත් හෘද සාක්ෂියට අනුව ජයසිංහ මහතාව නැවත සේවයේ පිහිටුවීමට තමාගේ විරෝධයක් නොමැති බව ඔහු පැවසීය.

සාක්ෂි විමසීම අවසානයේ කොමිසම තීරණය කළේ ලලිත් ජයසිංහ මහතා සේවය පිහිටුවීම සම්බන්ධයෙන් නිර්දේශ පොලිස් කොමිසමට ඉදිරිපත් කිරීම සඳහා වැඩබලන පොලිස්පතිවරයාට යම්කිසි කාලයක් ලබාදීමට නියමිත බවය.

මේ පිළිබඳ වැඩිදුර විභාගය සැප්තැම්බර් 18 දක්වා කල් තැබුණි.

මේ අතර දිවිනැගුම හිටපු අධ්‍යක්ෂ ආර්.ඒ.ඒ.කේ. රණවක මහතා දේශපාලන පළිගැනීම් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ සිදුකළ පැමිණිල්ලකට අනුව අද දින කොමිසම හමුවේ පෙනී නොසිටි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, සරත් ෆොන්සේකා, ආර්. සම්බන්දන්, එම්.ඒ.සුමන්තිරන්, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සහ නීතීඥ ජේ.සී.වැලිඅමුණ යන මහත්වරුන්ට සැප්තැම්බර් 19 වන දා කොමිසම හමුවේ පෙනී සිටින්නැයි කොමිසම සිතාසි නිකුත් කළ බව අප වාර්තාකරු පැවසීය.

*********************************************

බුදුපුත් සුරක්ෂා – බෞද්ධ ස්වාමින්වහන්සේලා වෙනුවෙන් සෞඛ්‍ය රක්ෂණාවරණයක්

(07.09.2020 – 21:21 +0530 – sinhala.adaderana.lk)

මෙතෙක් ක්‍රියාත්මක නොවූ බෞද්ධ ස්වාමින්වහන්සේලා 15,000 ක් ආවරණය වන ‘බුදුපුත් සුරක්ෂා’ සෞඛ්‍ය රක්ෂණාවරණ වැඩසටහන ඔක්තොම්බර් පළමුවන දා (01) සිට ආරම්භ කරන ලෙස බුද්ධ ශාසන අරමුදලේ සභාපති, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී උපදෙස් දී තිබේ.

අගමැතිවරයා එම උපදෙස ලබාදුන්නේ බුද්ධ ශාසන අරමුලේ 84 වැනි පාළක මණ්ඩල රැස්වීමෙදීය. එය ඔහුගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී අද (07) පැවැත්වුණි.

ඒ අනුව ‘බුදුපුත් සුරක්ෂා’ සෞඛ්‍ය රක්ෂණාවරණ වැඩසටහනට බුද්ධ ශාසන අරමුදලෙන් රුපියල් මිලියන 40 ක මුදලක් ප්‍රදානය කිරීමට ද, අග්‍රමාත්‍යවරයා උපදෙස් දී තිබේ.

මීට අමතරව සාමණේර හිමිවරුන්ට ලබා දෙන ශිෂ්‍යත්ව සංඛ්‍යාව 800 සිට 1500 දක්වා ඉහළ දමා එම ශිෂ්‍යත්ව මුදල ඉහළ දැමීම, අඩු පහසුකම් සහිත විහාරස්ථානවල සනීපාරක්ෂක කටයුතු වෙනුවෙන් ලබා දුන් රුපියල් ලක්ෂයේ මුදල රුපියල් එක් ලක්ෂ පනස්දහස (1,50,000) දක්වා වැඩිකිරීමටත් මෙහිදී තීරණය කරනු ලැබීය.

මෙම අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එක්ව සිටියේය.

*********************************************

විද්‍යා අංශයෙන් උසස් පෙළ සමත් සිසුන්ට වැදගත් නිවේදනයක්

(07.09.2020 – 20:56 +0530 – sinhala.adaderana.lk)

රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍යපීඨ වෙත ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව 350 කින් ඉහළ නැංවීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

එම තීරණය ගෙන ඇත්තේ මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති සාකච්ඡාවක දීය.

මෙම තීරණය ගෙන ඇත්තේ ඒ සඳහා අවශ්‍ය පසුබිම සහ හැකියාව සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ වෛද්‍යපීඨ සහිත සියලු රජයේ විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් සහ පීඨාධිපතිවරුන් සමඟ කළ සාකච්ඡා කිහිපයකින් අනතුරුවය.

සිසුන් වැඩි පිරිසක් රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍යපීඨ සඳහා එකවර මෙපමණ සිසුන් සංඛ්‍යාවක් ඇතුළත් කරගැනෙන ප්‍රථම අවස්ථාව ද මෙයයි.

ඒ අනුව, 2019 වසරේ පවත්වන ලද අධ්‍ය්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලවල වෛද්‍යපීඨ සඳහා සිසුන් ඇතුළත් කිරීමේ දී පසුගිය වර්ෂවලට සාපේක්ෂ ව වැඩි සිසුන් ප්‍රමාණයකට ප්‍රවේශ අවස්ථා ලබාදීමත්, ඒ තුළින් රටේ මානව සම්පතට එක්වන අනාගත වෛද්‍යවරුන් සංඛ්‍යාව ඉහළ නැංවීමත් මෙහි අරමුණ බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි ෴

*********************************************

අනතුරු කිහිපයකින් ජීවිත 6 ක් අහිමියි

(07.09.2020 – 13:22 +0530 – sinhala.adaderana.lk)

දිවයිනේ ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් 6 දෙනෙකු මිය ගොස් තිබේ.

කුරුකුලාව දළුපිටිය මාර්ගයේ දෙල්පෙ හන්දිය අසල දී කැබ් රථයක ගැටීමෙන් 71 හැවිරිදි පදිකයෙකු මිය ගොස් තිබේ.

අනතුරින් මාර්ගයේ ගමන්ගත් තවත් කාන්තාවක් ද තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි.

මේ අතර පැල්මඩුල්ල නෝනාගම මාර්ගයේ මාදම්පෙ ප්‍රදේශයේ දී කැබ් රථයක් හා යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවු අනතුරකින් 21 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් තිබේ.

ත්‍රීකුණාමලය – පුත්තලම මාර්ගයේ රන්පත්විල ප්‍රදේශයේ දී ද කැබ් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවු අනතුරකින් 41 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් ඇත.

මේ අතර යාපනය – මන්නාරම මාර්ගයේ තනන්කිලප්පු ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තිබේ. ටිපර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව ඇති අතර මියගොස් ඇත්තේ යතුරුපැදිය පැදවූ 44 හැවිරිදි කාන්තාවක් බව පොලීසිය පැවසුවේය.

මේ අතර ත්‍රීකුණාමලය – මඩකලපුව මාර්ගයේ ආරුමුත්තාන් ප්‍රදේශයේ දී ටිපර් රථයක පාපැදියක් ගැටීමෙන් සිදුවු අනතුරකින් පාපැදිකරුවෙකු මියගොස් තිබේ.

ඊයේ (06) රාත්‍රීයේ කඩුවෙල කොල්ලුපිටිය මාර්ගයේ බත්තරමුල්ල ප්‍රදේශයේ දී කැබ් රථයක ගැටි පදිකයෙකු මිය ගොස් ඇත. මිය ගොස් ඇත්තේ 58 හැවිරිදි බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනතුරට සම්බන්ධ රියදුරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවේය.

+++++++++++++++

බත්තරමුල්ල ප්‍රදේශයේ පාලම් තුන හන්දිය ආසන්නයේ සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (06) රාත්‍රී 07:10 ට පමණ මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.

‘පාලම් තුන හන්දිය’ දෙසට ධාවනය වු කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පදික වේදිකාවේ ගමන්කළ පදිකයෙකුගේ හා විදුලි කණුවක ද ගැටී අනතුර සිදුව තිබේ.

අනතුරින් තුවාල ලැබු පදිකයා තලංගම රෝහලට ඇතුළත් කිරීමේ දී මියාගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 58 ක් වු එම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, තලංගම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

*********************************************

සේවකයන් 14,000 යි – වෘත්තීය සමිති 103 යි – පාඩුව රු. බි 7 යි – මේ ශ්‍රී ලංකා දුම්රිය සේවයයි

(06.09.2020 – 21:52 +0530 – sinhala.adaderana.lk)

දිනපතා නගරයට ඇදී එන විශාල මගීන් ප්‍රමාණයකට ප්‍රවාහන පහසුකම් සපයමින් ශ්‍රී ලංකා දුම්රිය සේවය සිදු කරනු ලබන්නේ අසීමිත මහජන සේවයකි.

දුම්රිය සේවය වසර 162 ක ඉතිහාසයකට උරුමකම් කියයි. එහි වර්තමාන සේවක සංඛ්‍යාව 14,096 කි.

නමුත් නාස්තිය සහ දූෂණය ඉහ වහා ගොස් ඇති රාජ්‍ය ආයතනයක් ලෙස ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව හඳුන්වා දීමට බොහෝ අය පෙළඹෙති.

සමහරුන්ට අනුව ශ්‍රී ලංකා දුම්රිය සේවය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල බරකි.

ඒ, මෙරට දුම්රිය සේවය පවත්වාගෙන යනු ලබන්නේ වාර්ෂිකව රුපියල් බිලියන හතක (7) අලාභයක් ලබමින් බැවිනි.

එයින් පෙනී යන්නේ, මහජනයාට සිය සේවය කාර්යක්ෂමව ලබාදීමට අසමත් වී ඇති ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව එහි වියදම් අඩු කර ගැනීමට ද අසමත් වී ඇති බවය.

ඊට හොඳම උදාහරණය වන්නේ එම දෙපාර්තමේන්තුවේ සේවකයින්ගේ මුළු මාසික වැටුප් පිරිවැයෙන් සියයට 50 ක් තරම් අතිවිශාල ප්‍රමාණයක් රජය වැය කර ඇත්තේ සේවක අතිකාල දීමනා සඳහා බව දත්ත අනුව පෙනී යාමෙනි.

මේ වසරේ ජනවාරී මස අතිකාල දීමනා වශයෙන් වැය වී ඇති මුදල රුපියල් මිලියන 460 කි.

එසේම, රාජ්‍ය ගිණුම් කාරක සභා වාර්තාවට අනුව 2019 වසරේ දුම්රිය දෙපාර්තමේන්තුවේ අලාභය රුපියල් මිලියන 7,000 කි.

දැනට ක්‍රියාත්මක දෛනික දුම්රිය ගමන් වාර සංඛ්‍යාව 400 කට ආසන්න වන අතර එදිනෙදා දුම්රිය භාවිත කරන මගීන් ගණන ලක්ෂ තුන (3) ඉක්මවයි.

මගීන් පවසන්නේ, අධික තදබදයක් පවතින කාර්යාල දුම්රිය වල පහසුකම් ඉතාමත්ම අල්ප බවය. බොහෝ දුම්රිය මැදිරි ඉතා අපිරිසිඳු ය.

අනෙක් ප්‍රධාන ගැටලුව වන්නේ නිතරම සිදුවන දුම්රිය ප්‍රමාදයයි. එය අත්නොවිඳපු මගියෙක් මෙරට නොමැති තරම්ය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලන වාර්තාවට අනුව 2017 දී දුම්රිය ප්‍රමාද වී ධාවනය කළ ප්‍රතිශතය 56% කි. එය තවදුරටත් වර්ධනය වෙමින් 2018 දී දුම්රිය ප්‍රමාදය 59% ක් ලෙස වර්ධනය වී තිබේ.

සේවයේ ගුණාත්මකභාවය කෙසේ වුවද එහි සේවකයෝ සිය වෘත්තීය අයිතිවාසිකම් ගැන දක්වන්නේ දැඩි උනන්දුවක් බව දුම්රිය මගීන් පෙන්වා දෙයි.

දුම්රිය දෙපාර්තමේන්තුව තුළ වෘත්තීය සමිති සංඛ්‍යාව 103 ක් තිබීමෙන් එය පැහැදිලි වේ.

දෙපාර්තමේන්තුවේ සෑම අංශයකම වෘත්තීය සමිතියක් ක්‍රියාත්මක වෙයි.

*********************************************

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත කිරිපිටි චීනයට – බටර් ජපානයට – පැල්වත්ත කිරි සමාගමේ මීළඟ පියවර

(07.09.2020 – biz.adaderana.lk)

මේ වන විට තම සමාගම සතුව කිරි අතිරික්තයක් ඇති බවත් ඒවා කිරිපිටි ලෙස චීනයට සහ බටර් ලෙස ජපානයට අපනයනය කිරීම සඳහා ඇති අවස්ථා සොයා බලන ලෙස අපනයනය සංවර්ධන මණ්ඩලයට දැනුම් දී ඇති බවත් පැල්වත්ත කිරි සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා පවසයි. ‘අද දෙරණ Biz’ සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් පැලවත්ත කිරි සභාපතිවරයා මේ බව අනාවරණය කළේය.

“අපට දැන් කිරි අතිරික්තයක් තියෙනවා. මේ වෙන කොට මම EDB (අපනයන සංවර්ධන මණ්ඩලය) එකට කියලා තියෙනවා, මට අවස්ථාව හොයලා දෙන්න ජපානයට බටර් යවන්නත්, චීනයට කිරිපිටි යවන්නත්. ළඟදිම වෙලාවක අපි කිරි පිටි, බටර් යවනවා. අපි ලඟ අතිරික්තයත් තිබෙනවා. මං ගාව හැමදාම ටොන් 20 ක් 25 ක් එලියට විකුණන ගමන් කිරිපිටි, ටොන් 75 ක් 100 ක් ස්ටෝරුවේ තියෙනවා.”

“සුපර්මාර්කට් එකකට ගිහිං බැලුවොත් රාක්කවල දේශීය දියර කිරි වර්ග 20 ක්වත් තියෙනවා. ඒ කියන්නේ රටේ මිනිසුන්ට ඕනෑවට වඩා කිරි තියෙනවා. අපිට පිටරටින් කිරි අවුන්සයක්වත් ගේන්න ඕනේ නැහැ”, යනුවෙන් පැල්වත්ත කිරි සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා වැඩිදුරටත් කියා සිටියේය ෴

පැල්වත්ත කිරි සමාගමේ සභාපති ආරියශීල වික්‍රමනායක මහතා

[ https://pelwattedairy.com/ ]

*********************************************

එතෙර මුදල් මෙතර අදින හැටි… දේශීය කර්මාන්ත පනගන්වන්නේ කොහොමද… ඩී.එස්.අයි. සමූහ ව්‍යාපාරයේ සභාපති කුලතුංග රාජපක්ෂ

(06.09.2020 – divaina.com)

• කාන්තාවන් මැදපෙරදිග යවා රැගෙන ආ, අහිමි වීමට නියමිත විදේශ විනිමය රැගෙන ආ හැක්කේ දේශීය කර්මාන්තකරුවාට පමණයි !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ‘ශ‍්‍රී ලංකාවේ නිපැයුම් යුගයක්’ යන සංකල්පය ඉදිරියට ගෙන එමින් 1977 න් පසුව දේශීය නිෂ්පාදන මත පදනම් වන ආර්ථිකයකට සීරු මාරු වීමට උත්සාහ කරන්නේ කොවිඩ් 19 වසංගතය ලෝකය පුරා පැතිරීම හේතු කොටගෙන ලෝකයේ බොහෝ රටවල් ‘දේශීය නිෂ්පාදන’ කෙරෙහි දැඩි අවධානයක් යොමු කර ඇති මොහොතකයි. එවැනි ලෝක තත්ත්වයක් යටතේ ජනාධිපති තුමාගේ මේ ප‍්‍රවේශය යථාර්ථයක් විය හැකිද?

ඩී.එස්.අයි. සමූහ ව්‍යාපාරයේ සභාපති කුලතුංග රාජපක්ෂ මහතා

මෙය ඉතාම කාලෝචිත මෙන්ම ගත යුතුම ප‍්‍රවේශයක්. මෙය අද ඊයේ ආපු සංකල්පයක් නොවෙයි. තිස්ස කාරියවසම් මහත්තයා ගොඩනැගුව ‘සියරට දේ සිරි සැප දේ’ කියා පැමිණි සංකල්පයේ නව ප‍්‍රවේශයක් හැටියට ජනාධිපතිතුමාගේ මේ ප‍්‍රවේශය හැඳින්වූවාට කිසි වරදක් නැහැ. එදා එම සංකල්පීය පදනම මත අපි මේ රට ගොඩ නැගුවා නම් රටක් ලෙස අපි ලෝකයේ ඉන්නේ ගොඩක් ඉදිරියෙන්. දේශීය රෙදිපිළි විශේෂයෙන්ම අත්යන්ත‍්‍ර රෙදිපිළි කර්මාන්තය දියුණු වූයේ මෙම සංකල්පය යටතේ. සළුසල වැනි ආයතන දියුණු වූයේ මේ සංකල්පය යටතේ. අවාසනාවකට ඒ ක‍්‍රමවේදය දිගටම රැගෙන යෑමට නොහැකි වූවා. 1977 දී අපි රටක් ලෙස විවෘත ආර්ථිකය කිසිදු සීමාවකින් තොරව කරපින්නා ගත්තයින් පස්සේ රටේ කර්මාන්තවල තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වූවා. එයින් සිදු වුණේ ලෝකයේ සෑම රටකම තිබුණු අතිරික්ත භාණ්ඩ විතරක් නොවෙයි පළුදු වූ භාණ්ඩ වගේම භාවිතයෙන් ඉවත් කළ භාණ්ඩ වලින් පවා අපේ රටේ වෙළෙඳ පොළ පිරී ඉතිරී යන්නට පටන් ගත්තා. මෙම භාණ්ඩ අපේ රටට ආවේ ඒවායේ සැබෑ වටිනාකමට වඩා ඉතා අඩු මිලකට. එයින් සිදුවුණේ ලංකාවේ සුළු හා මධ්‍ය කර්මාන්ත විතරක් නොවෙයි මහා කර්මාන්ත පවා වෙළෙඳ පොළ තරගයට මුහුණ දී ගත නොහැකිව වසා දැමීමට සිදු වූවා. මේ හේතුවෙන් 1977 න් පසුව තිබූ කර්මාන්ත වලින් අතලොස්සක් පමණයි 1977 පස්සේ වසර කිහිපයකට පසුව ඉතිරි වූයේ. උදාහරණයක් ලෙස 1977 ට පෙර ලංකාවේ තිබුණු අල්පෙනිති හදන කර්මාන්තශාලා එකක්වත් අද නැහැ. අල්පෙනිති අද ඉතාම අඩු මුදලට අද අපේ වෙළෙඳ පොළට එනවා. මෙහිදී සිද්ධ වෙච්ච නරකම දේ තමයි අපේ විශ්වවිද්‍යාල වලින් පිටවුණු ආර්ථික විශේෂඥයෝ යැයි කියා ගන්නා උදවිය ලෝකයේ කොහේ හෝ රටකින් අඩු මුදලට මිලදීගත හැකි භාණ්ඩ රටට ගෙනා යුතු යැයි කියන මුග්ධ සංකල්පයක් ගෙන ආවා. ඒ අනුව තමන්ගේ රටවල කර්මාන්ත දියුණු කර ගත යුතු යැයි හිතන පාලකයෝ සිටි රටවල් අපනයන සඳහා විශාල වශයෙන් දිරි ගන්වන ක‍්‍රමවේද හඳුන්වා දෙමින් අපේ රටේ පහසුවෙන් නිපදවා ගත හැකි භාණ්ඩ ලංකාවට අපනයනය කළා. ඊට සරිලන ‘වසල’ වෙළෙඳ කුලයකුත් අපේ රටේ අලූතින් නිර්මාණය වුණා. මේ ක‍්‍රියාදාමය ඇතුළේ අපේ රටේ නිපදවා ගත්ත ‘යුනික්’රේඩියෝව ‘උපාලි ෆියට්’, ‘උපාලි මැස්ඩා’ කාර් නැත්තටම නැති වෙලා ගියා. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රැගෙන තිබෙන මේ පියවර නිවැරැදිව පණ පිහිටුවා ගත්තොත් ‘යුනික්’ රේඩියෝව වගේ අපේම සන්නාම අලුතින් සිය ගණනක් නිමාණය කර ගත හැකියි.

ජනාධිපති තුමාගේ සංකල්පය කර්මාන්ත ඇමැතිවරයා වන අමාත්‍ය විමල් වීරවංශ මහතා දැඩිව ග‍්‍රහණය කරගෙන සිටින බවක් බැලූ බැල්මට පෙනෙන්නට තිබෙනවා. වාලච්චේන කඩදාසි කම්හල නැවත ආරම්භ කිරීම සුළු හා මධ්‍යම කර්මාන්තකරුවාගේ ප‍්‍රශ්න ඉදිරිපත් කිරීමට වෙනම දිනයක් වෙන් කිරීම ආදිය මගින් ඔහුගේ උනන්දුව පෙන්නට තිබෙනවා. මේ සම්බන්ධව ඔබතුමාගේ අදහස කුමක්ද?

සත්‍යය වශයෙන්ම එතුමා හොඳ ජවයකින් මෙන්ම එළැඹි සිහියෙන් යුතුව ජනාධිපති තුමාගේ ආර්ථිකය සම්බන්ධයෙන් වූ දැක්ම ඉදිරියට ගෙන යෑමට කටයුතු කරනවා. අපේ කුඩා කාලයේදී එක කොළ කැබැල්ලක් පාරේ විසි කරනු ලැබුවේ නැහැ. ඒවා සියල්ල එකතු කර වාලච්චේන කඩදාසි කර්මාන්තශාලාවට අරගෙන යනවා. ඒවා ප‍්‍රතිචක‍්‍රීකරණයට ලක් කර නිපදවන කඩදාසි වලින් තැනූ පොත පත අපි පරිශීලනය කරනු ලැබුවා. ඒ විතරක් නොවෙයි, අපේ සාමාන්‍ය පෙළ, උසස් පෙළ ප‍්‍රශ්න පත‍්‍ර පවා අච්චු ගසා තිබුණේ අපි එකතු කර යැවූ කඩදාසි වලින්. අවාසනාවකට පසුගිය ආණ්ඩුවේ හිටියේ වෙළෙඳ හා කර්මාන්ත ඇමැති වරයෙක්. එතුමා කඩදාසි වෙළෙඳාම පහසු කිරීමට කඩදාසි කර්මාන්තශාලාව යකඩ වලට විකිණීමට තීරණය කර තිබුණා කියායි මට හැඟුනේ. නව කර්මාන්ත ඇමැති ලෙස වාලච්චෙන කඩදාසි කර්මාන්ත ශාලාව නැවත පණ ගන්වන්නට විමල් වීරවංශ ඇමැතිවරයා කටයුතු කිරීමෙන් විද්‍යමාන වන්නේ එතුමාගේ දේශීය කර්මාන්ත සම්බන්ධව තිබෙන දැනුම, ඒ කෙරෙහි වන ආදරය මෙන්ම ජනාධිපති තුමාගේ ප‍්‍රවේශය ජයග‍්‍රහණය කරවීම පිණිස වන දැඩි උනන්දුව කියලයි මම හිතන්නේ. ඊළඟට එතුමා කර්මාන්තකරුවන්ට වෙනම දිනයක් වෙන් කිරීමෙන් පැහැදිලියි එතුමා තුළ දේශීය කර්මාන්තකරුවාගේ ගැටලුව සම්බන්ධයෙන් වන දැක්ම. එතුමාට අවබෝධයක් තිබෙනවා ‘රටක ආර්ථික දේහයේ ශක්තිමත්ම වැදගත්ම අංගය වන්නේ සුළු හා මධ්‍යම කර්මාන්ත’ බව. තවමත් අපේ රටට විශාලම විදේශ විනිමය රැගෙන එන කණ්ඩායම වන්නේ මැදපෙරදිග ගෘහ සේවිකාවන් ලෙස සිය දහදිය මුගුරු පමණක් නොවෙයි තම රුධිරය පවා හෙලන අපේ කාන්තාවන්. දැන් ලෝකය මුහුණ දෙන නව කොවිඩ් 19 වසංගත තත්වය නිසා විදේශ විනිමය රැගෙන එන අපේ කාන්තාවගේ රැකියා අහිමි වීමට නියමිතයි. ඒ අහිමි වන විදේශ විනිමය රැගෙන ඒමට හැකියාව තිබෙන ශක්තිමත්ම කණ්ඩායම අපේ රටේ සුළු හා මධ්‍යම කර්මාන්තකරුවායි. ජපානයේ නිපදවන ටොයෝටා මෝටර් රථ සමාගම මෝටර් රථ නිපදවන්නේ නැහැ. ටොයෝටා සමාගම කරන්නේ කොටස් එකලස් කිරීම පමණයි. මෝටර් රථයේ සියලු කොටස් සුළු හා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත කරුවන් විසිනුයි නිපදවන්නේ. අපේ රටේත් සිටිනවා අති විශිෂ්ට ලෙස මෝටර් රථ වල ආසන නිපදවන කර්මාන්ත කරුවන්. ඒ අනුව සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවාගේ ගැටලු හඳුනා ගැනීමටත් එම ගැටලු තමන්ගේ ගැටලු ලෙස සලකා විසඳුම් සෙවීමටත් ආයතන ව්‍යුහයන් සකස් කිරීමටත් විමල් වීරවංශ අමාත්‍යවරයා ගන්නා උත්සාහය ප‍්‍රශංසනීයයි.

රාජ්‍ය නොවන සංවිධාන සහ සමහර විද්වතුන් සහ උගතුන් පවසනවා ආරක්ෂණවාදී ආර්ථික ක‍්‍රමවේදය අත්හළ යුතුය කියා. ඒ වගේම ඔවුන් පවසනවා මේ ආරක්ෂණවාදී ආර්ථික ක‍්‍රමවේද මගින් විදේශීය තත්ත්වයෙන් උසස් නිෂ්පාදන පාරිභෝගිකයාට පරිභෝජනය කිරීමට ඇති අවස්ථාව අහිමි වනවා කියා. ඒ අනුව ආරක්ෂණවාදී ආර්ථික උපාය මාර්ගය අප රට අනුගමනය කිරීම සම්බන්ධව ඔබගේ අදහස කුමක්ද?

පසුගිය ආණ්ඩුවේ අදහස වූවේත් පිටරටින් ලාබෙට ගෙන්වන්න පුළුවන් දේ අපේ රටේ නිෂ්පාදනය නොකළ යුතු බවයි. එම ආණ්ඩුවේ සමහර ඇමැතිවරු ගණන් හිලව් ඇතිව පෙන්වා දුන්නා වී වගා කරන ගොවියාට පොහොර සහනාධාරය වැනි සහනාධාර නිසාත් රජය ලොකු පිරිවැයක් දරන බව. ඒ අනුව ඔවුන්ගේ අදහස වූවේ අවශ්‍ය සහල් පිටරටින් ආනයනය කළ යුතු බවයි. නමුත් ඔවුන්ගේ කීමට ගොවියා ගොවිතැන අතහැර තිබුණා නම් පසුගිය කොවිඩ් 19 වෛරසය පැතිරී යන සමයේ අපේ රට බරපතළ ආහාර අහේනියකට මුහුණ දෙනවා. ඒ අනුව ආරක්ෂණවාදී උපක‍්‍රමයක් අනුගමනය කළ නිසා තමයි අපි ආහාර අහේනියක් නැතිව බේරී සිටියේ. මා පිටරටින් ආනයනය කරන සියලු දේ ආනයනය නැවැත්විය යුතු යැයි පවසන්නේ නැහැ. මා පවසන්නේ පිටරටින් හොඳ දේ ආනයනය කරන්න. හැබැයි ඒ ආනයනය කරන සියලු දේ අපේ රටේ නිපදවනවානම් එම නිෂ්පාදන කඩා වැටෙන මට්ටමේ මිලකට ඒවා අපේ වෙළෙඳපොළට එන එක නැවැත්වීමට බදු ඇතුළු වෙනත් බාධක පනවන්න කියන දෙයයි. පිටරට හොඳ නිෂ්පාදන සමග තරගයක් දීමෙන් පමණයි අපේ රටේ නිෂ්පාදන උසස් තත්ත්වයට පත් වන්නේ. උදාහරණයක් විදියට වැසිකිළි පෝච්චිවල ලාංකික නිෂ්පාදනයේ මිල රුපියල් 1200.00 ක් පමණ වෙනවා. නමුත් ඉන්දියාව එවැනි වැසිකිළි පෝච්චියක් අපනයනය කිරීමට නිෂ්පාදනය කරන විට දෙනු ලබන බදු සහන හේතුවෙන් ඉන්දියාවේ නිෂ්පාදිත වැසිකිළි පෝච්චියක් දේශීය වෙළෙඳ පොළේ රුපියල් 900.00 කට පමණ අලෙවි වෙනවා. ඉතින් අපි කියන්නේ එවැනි භාණ්ඩ ආනයනය කරන්නේ නම් එවැනි භාණ්ඩ වලට බද්දක් එකතු කර එම බද්ද දේශීය නිෂ්පාදකයා වෙත සෘජුව හෝ වක‍්‍රව ලැබෙන වැඩ පිළිවෙළක් සැකසිය යුතුයි කියායි.

සිරිල් මැතිව් මහතා කර්මාන්ත ඇමැතිවරයාව සිටින කාලයේ ජපන් රටෙන් වතුර මෝටර් 2500 ක් නොමිලේ ලබා දීමට හැකි බව දන්වා සිටියා. ඒ වන විටත් ජිනසේන සමාගම තත්ත්වයෙන් උසස් වතුර මෝටර දේශීය වෙළෙඳ පොළට නිකුත් කරමින් හිටියා. සිරිල් මැතිව් ඇමැතිවරයා මේ ප‍්‍රදානය සම්බන්ධයෙන් ජිනසේන සමාගම විමසා සිටියා. ඔවුන් පවසා සිටියා අපේ සමාගම වසරකට වතුර මෝටර 250 ක් පමණ නිෂ්පාදනය කරන බවත් ජපානයේ එම ප‍්‍රදානය බාර ගන්නේ නම් ජිනසේන සමාගම වසර 10 කට වසා දමන බවත් සේවකයන්ගේ වගකීම රජයට භාර ගන්නා ලෙසත් පවසා සිටියා. ඒ අනුව සිරිල් මැතිව් මහතා ඒ ප‍්‍රදානය ප‍්‍රතික්ෂේප කර ඒ වෙනුවට අත් ට‍්‍රැක්ටර් ලබාදෙන ලෙස ඉල්ලා සිටියා. අන්න එහෙමයි ආරක්ෂණවාදී ක‍්‍රියා මාර්ග අතීත ඇමැතිවරු අරගෙන තිබෙන්නේ. ඒ අනුව රාජ්‍යය නොවන සංවිධාන වල මෙන්ම ඔබ පවසන ආකාරයේ උගතුන්ගේ බුද්ධිමතුන්ගේ එවැනි විනාශකාරී යෝජනා මා තරයේ ප‍්‍රතික්ෂේප කරනවා. දැන් කහ ආනයනය තහනම් කර තිබෙනවා. ඒ නිසාම හැම ගෙදරකම කහ වගා කරනවා. ලබන අවුරුද්ද වෙනකොට අපේ රට කහවලින් ස්වයං පෝෂිත රටක් වේවි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමා කහ සම්බන්ධයෙන් ගත් ආරක්ෂණවාදී ක‍්‍රමවේදය නිසයි එවැනි ජයග‍්‍රහණයක් රටට ලැබීමට නියමිතව තිබෙන්නේ.

වෙළෙඳ පොළ ප‍්‍රශ්නය විසඳීමෙන් තොරව වැඩමුළු ණය සහන යටිතල පහසුකම් ආදිය පමණක් දීමෙන් සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවා ආරක්ෂා කර ගත හැකිද?

ඔබ නිවැරදියි වැඩ මුළු ණය සහනාධාර යටිතල පහසුකම් පමණක් දීමෙන් කර්මාන්තකරුවා නගා සිටුවන්නට බැහැ. උදාහරණයක් ලෙස විදුලි බල මණ්ඩලය දැන් භාවිත කරන ඩිජිටල් විදුලි මීටරය ප‍්‍රථමයෙන්ම නිර්මාණය කළේ ශ‍්‍රී ලාංකික නිර්මාණ කරුවෙක්. ඔහු ඔහුගේ නිෂ්පාදනය මිලදී ගන්නා ලෙස විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක් කළා. විදුලි බල මණ්ඩලය ඉල්ලා සිටියා ඔහුගේ සමාගමට වසර දහයක අත්දැකීම් ඇති බවට පෙන්වන ලෙස. ඒවන විට ලෝකයේ කිසිම සමාගමකට ඩිජිටල් විදුලි මීටර නිපදවා වසර දහයක අත්දැකීම් තිබුණේ නැහැ. නමුත් ඔවුන් ලාංකීය නිපැයුම්කරුවා අතහැර විදෙස් සමාගම් වලින් ඩිජිටල් විදුලි මීටර මිලදී ගත්තා; අදටත් මිලදී ගන්නවා. අඩුම තරමින් ලාංකීය නිපැයුම්කරුවාගෙන් 0.01% ක් මිලදීගෙන තිබුණා නම් අද අපිට කීර්තිමත් නිෂ්පාදකයෙක් සිටිනවා. නමුත් සිරිල් මැතිව් කර්මාන්ත ඇමැතිවරයාව සිටින කාලයේදී නීතියක් තිබුණා යම්කිසි භාණ්ඩයක් රජය මිලදී ගන්නවානම් දේශීය නිෂ්පාදනයේ මිල විදෙස් නිෂ්පාදනයේ මිලට වඩා 15% කින් වැඩි වුවත් එම භාණ්ඩය මිලදී ගත යුතුයි කියා. ඒ අනුව සියලු දේට වඩා අපේ රටේ සුළු හා මධ්‍යම පරිමාණයේ කර්මාන්තකරුවා ඉහළ නැංවීමට ලොකුම මිලදී ගන්නා වන රජය සුළු හා මධ්‍යම පරිමාණයේ කර්මාන්තකරුවාගේ නිෂ්පාදන අනිවාර්යෙන්ම මිලදී ගත යුතුයි.

2006 වර්ෂයේදී දේශීය නිෂ්පාදන වලට මුල්තැන දිය යුතුය කියා මිලදී ගැනීමේ උපදේශන සංග‍්‍රහයේ සඳහන් වී තිබුණා. නමුත් ප‍්‍රසම්පාදන මාර්ග උපදේශන ලේඛනයේදී එය ඉතා සූක්ෂම ලෙස දියාරු වී තිබුණා. ඒ අනුව ප‍්‍රසම්පාදන මාර්ග උපදේශන ලේඛනය පරිහරණය කරන අදාළ නිලධාරියාට බහුජාතික සමාගම් වල නිෂ්පාදන අලෙවි කරන දේශීය ඒජන්තයන්ගේ කොමිස් වලට වෙනත් වරදාන වලට ලොල්වී දේශීය නිෂ්පාදන මිලදී ගැනීම අතහැර විදේශීය නිෂ්පාදන මිලදී ගන්නා දිශාවට තල්ලුවීම වළක්වනු බැහැ. 2019 වර්ෂයේ නිකුත් වූ නව මාර්ග උපදේශන සංග‍්‍රහයේත් කිසිදු වෙනස්කමක් සිදුවී නැහැ. ඒ අනුව එම තත්ත්වය වෙනස් කිරීමට දේශීය නිෂ්පාදකයන් ලෙස අමාත්‍ය විමල් වීරවංශ මහතා සමඟ සාකච්ඡා කළා. එතුමා ඒ සම්බන්ධයෙන් කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතයි. නමුත් සමහර රාජ්‍යය නිලධාරීන් මේවාට අකුල් හෙළීමට ඉඩ තිබෙනවා. එහෙම වුවහොත් නිපැයුම්කරුවන් ලෙස අපේ හඬ අවදි කරනවා. එපමණක් නොවෙයි මේ වන විට බහු ජාතික සමාගම් අපේ රටේ සිල්ලර වෙළෙඳාමටත් අත ගසා තිබෙනවා. ඔබ දන්නවා ලංකාවේ සෑම නගරයකම ‘මාතර බත් කඩ’ තිබෙනවා. එහි විකුණන්නේ බත් නමුත් දැන් මැක්ඩොනල්ඩ්ස් වෙළෙඳ ජාලය බත් විකුණන්නට පටන් අරන්. මේවා වහාම තහනම් කළ යුතුයි. අපේ හාලින් අපේ බත් කඩේ විකුණන බත් පිටරට බහු ජාතික සමාගමකට සිල්ලරේ විකුණන්නට ඉඩ දිය යුතු නැහැ.

අවසාන වශයෙන් සුළු හා මධ්‍යම මට්ටමේ කර්මාන්ත කරුවා ඵලදායි ලෙස ජාතික ආර්ථිකයට අවශෝෂණය කිරීමට ඔබ කරන යෝජනා මොනවාද?

මා නැවතත් අවධාරණය කරනවා සුළු හා මධ්‍යම පරිමාණ නිෂ්පාදකයා තමයි දේශීය ආර්ථිකයේ කොඳු නාරටිය. ඔහු ආරක්ෂා කර ගැනීම ජාතියේ වගකීමක්. රටේ වාසනාවට ඉහළම බල අධිකාරිය වුණු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ තත්ත්වය හොඳින්ම තේරුම් ගෙන තිබෙනවා. ඔහුගේ දැක්ම යථාර්ථයක් කළ හැකි ජව සම්පන්න කර්මාන්තකරුවා දෙස විශ්වාසය තබා ඇති ඇමැතිවරයෙක් අපට ලැබී තිබෙනවා. ඒ අනුව මෙම දෙපළ එකතුවී මා මුලින් සඳහන් කළ කරුණු කෙරෙහි අවධානය යොමු කර තවදුරත් කටයුතු කිරීම කළ යුතු වෙනවා. එතැනින් නොනැවතී වෙළෙඳ පොළේ මිල විකෘතිය ඇති කිරීමට ගෙන ඇති සමහර ක‍්‍රියා මාර්ග කොන්දේසි විරහිතව පරාජය කළ යුතු වෙනවා. එසේම ඒවා වෙනස් කිරීමට බාධා පමුණුවන නිලධාරීන් ඇතුළු සියලුම තරාතිරම්වල පුද්ගලයන් හෙළිදරව් කිරීමත් වැදගත්. බොහෝ උගතුන් සුළු හා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත නගා සිටුවීමේදී අවධානය යොමු කරන්නේ සැපයුම පිළිබඳ පමණමයි. ඉල්ලුම පිළිබඳව වුවමනාවෙන්ම අවධානය යොමු කිරීම මග හරිනවා. ඒ මගින් කූට වෙළෙඳුන් ඇතිකරන වෙළෙඳපොළ මිල විකෘතිය දෙස නෑසූකන් ඇතිව බලා සිටිනවා. අද මේ වනවිට පාම් තෙල් ගෙන්වන වෙළෙඳුන් ඔවුන්ගේ මුදල් බලය යොදා ගෙන හෝ වෙනත් ක‍්‍රම අනුගමනය කර පොල්තෙල් මිලෙහි මිල විකෘතියක් පමණක් නොවෙයි ජනතාවට විෂ කැවීමටත් කටයුතු කර තිබෙනවා. පාම් තෙල් සඳහා අනිවාර්යෙන්ම බදු පැනවිය යුතුයි. එසේ කළහොත් පමණයි පොල් තෙල් නිෂ්පාදකයා ආරක්ෂා වෙන්නේ. ආනයනික කිරිපිටි වලටත් එසේම කළ යුතු වෙනවා. මේවාට බදු පැනවීමෙන් අපේ ජනයා පිළිකා ඇතුළු බෝ නොවන රෝග වලින් බේරා ගැනීමටත් හැකියාව ලැබෙනවා. මක් නිසාදයත් ආනයනික කිරි පිටි සහ පාම් ඔයිල් යන දෙවර්ගයම බෝ නොවන රෝග ඇතිකරන රෝග කාරක බව අද වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වී තිබෙන නිසා. ඒ අනුව මිල විකෘතිය ඇති කිරීම, පිටරටින් ගෙන්වන අපේ රටේ නිපදවා ගත හැකි නිෂ්පාදන වලට ලබා දෙන බදුසහන, බාල අමුද්‍රව්‍ය මිශ‍්‍ර කර නිපදවන භාණ්ඩ, බදු වංචාව ආදිය සඳහා ශක්තිමත් නීති හඳුන්වා දීම කළ යුතු වෙනවා. මේ සඳහා රේගු දෙපාර්තමේන්තුව, ශ‍්‍රී ලංකා ප‍්‍රමිති කාර්යාංශය පමණක් නොවෙයි දේශීය කර්මාන්තකරුවන්ගෙන් සමන්විත ප‍්‍රමිති මණ්ඩලයක් මේ සඳහා නිර්මාණය කළයුතු වෙනවා. අපේ අසල්වැසි රට වූ ඉන්දියාවෙන් හොඳ ආදර්ශයන් ගත යුතුයි. ටාටා බෙන්ස් බස් රථ ටාටා වූ ආකාරය හීරෝ හොන්ඩා බයිසිකලය හීරෝ වූ ආකාරය, කවසාකි බජාජ් බයිසිකලය බජාජ් වූ ආකාරය සම්බන්ධයෙන් ගැඹුරින් අධ්‍යයනය කළ යුතු වෙනවා. ඊළඟට ඉන්දියාවේ ගිනි පෙට්ටි, ඉටි පන්දම්, ඇඳ ඇතිරිලි ආදිය සුළු හා මධ්‍යම පරිමාණයේ කර්මාන්තකරුවන් අතින් පමණක් නිපදවීම තුළ ඉන්දියාව පුරා කර්මාන්තකරුවන් බිහිවීමට කටයුතු කර ඇති ආකාරය හැදෑරිය යුතු වෙනවා. අනිත් අතට ඉන්දියාවේ දියර කිරි කර්මාන්තය ලෝකයේ දියුණුම කිරි කර්මාන්තය බවට පත් කළේ නවසීලන්තයෙන් හෝ ඔස්ටේ‍්‍රලියාවෙන් දෙනුන් ආනයනය කරමින්ද නැතිනම් දේශීය කිරි ගොවියා දේශීය කිරි හරකා භාවිත කරද කියා සොයා බලා සිහි නුවණින් කටයුතු කළ යුතු වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා විරුද්ධ වෙද්දී ඉන්දියාවට ඔස්ටේ‍්‍රලියාවෙන් සහ නවසීලන්තයෙන් ආනයනය කරන කිරිපිටි වලට 65% ක් තරම් ඉහළ බදු පනවා ඉන්දියාව ලබාගත් ජයග‍්‍රහණය අපි ආදර්ශයට ගත යුතු වෙනවා. ශ‍්‍රී ලංකාව මෙතරම් දුෂ්කර තත්ත්වයක් යටතේත් බටර් වලින් ස්වයංපෝෂිත කිරීමට ශ‍්‍රී ලාංකීය සමාගම් වලට හැකි වූවා නම් රටට අවශ්‍ය කිරිපිටි සහ යෝගට් දේශීය කිරිගොවියාට නවසීලන්ත හෝ ඔස්ටේ‍්‍රලියානු කිරිදෙනුන් නොමැතිව නිෂ්පාදනය කර ගත හැකි බව ජාතියක් ලෙස අපි අපටම අවධාරණය කර ගත යුතු වෙනවා.

සාකච්ඡා කළේ ජීවන්ත ජයතිස්ස

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *