දෙවනගල ඓතිහාසික පුදබිමේ සීමා මායිම් ලකුණු කිරීම ඇරඹෙයි

දෙවනගල ඓතිහාසික පුදබිමේ සීමා මායිම් ලකුණු කිරීම ඇරඹෙයි

20 ගැන පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් කියන කතා

හෙරොයින් පැකට්ටුවක මිල තුන් ගුණයකින් ඉහළට

ගනේමුල්ල සංජීවගේ ගෝලයෙකු අත්අඩංගුවට

මහ කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව සපයන්න – ජනපති

වෑන් රථයක් කුළියට ගෙන සූදු ක්‍රීඩාවේ යෙදුණු කාන්තාවන් 8 අල්ලයි

වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි දරුවන් 14 දෙනෙකුගේ පියෙකු අත්අඩංගුවට

රට පුරා මහා ඉඩම් කොල්ලයක් – අන්තවාදී කල්ලිවල සංවිධානාත්මක වැඩක්දැයි සැකයක්…

රැම්සා තෙත්බිම වැනසීම ගැන වාර්තාවේ නිර්දේශ 13 ක්

කන්ටේනර් රථයක් පෙරලී කොළඹ – නුවර මාර්ගයේ ගමනා ගමනයට බාධා

ජාතික බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියා පළමු වරට පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශන කොමිසමට

නිරෝධායනයට ලක්වෙමින් සිටි හෙරොයින් සම්බන්ධයෙන් චෝදනා ලැබූ කතක් පළා යයි

*********************************************

දෙවනගල ඓතිහාසික පුදබිමේ සීමා මායිම් ලකුණු කිරීම ඇරඹෙයි

(08.09.2020 – 20:05 +0530 – hirunews.lk/sinhala)

පසුගිය කාලය පුරා ඉඩම් ආක්‍රමණිකයන්ගේ ගොදුරක් බවට පත්ව තිබූ දෙවනගල ඓතිහාසික පුදබිමට අයත් පළමු පිඹුරු පතේ මැනුම් කටයුතු අවසන් කොට එහි සීමා මායිම් ලකුණු කිරීම අද (08) සිදු කෙරුණා.

ඒ, ‘හිරු සී.අයි.ඒ.’ මෙම ඉඩම් කොල්ලය පිළිබඳව දිගින් දිගටම සිදුකළ අනාවරණවල ප්‍රතිඵලයක් ලෙසයි.

සබරගමුව පළාතට අයත් මාවනැල්ල ප්‍රදේශයේ පිහිටා ඇති දෙවනගල ඓතිහාසික පුදබිම පුරාවිද්‍යා ස්ථානයක් ලෙසයි නම් කර ඇත්තේ.

බොදු බැතිමතුන් ජීවමාන බුදුන් ලෙස සලකන ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ මහනුවරට වැඩම කරවන අතරතුර එක් දිනක් මේ දෙවනගල පුදබිමට වැඩම කරවූ බවටයි ශාසන ඉතිහාසයේ සඳහන් වන්නේ.

එවන් ඓතිහාසික වටිනාකමකින් යුත් මෙම පුදබිමේ ඉඩම් පසුගිය කාලය පුරා අන්‍යාගමික පිරිස්වල දැඩි ග්‍රහණයට නතුව තිබුණා.

කෙසේ වෙතත්, ‘හිරු සී.අයි.ඒ.’ මේ පිළිබඳව දිගින් දිගටම රටට අනාවරණ කළා.

‘හිරු සී.අයි.ඒ.’ අනාවරණයෙන් පසුව රාජ්‍ය බලධාරීන් මැදිහත්වීමෙන් දෙවනගල ඉඩම් ගැටලුව නිරාකරණය කිරීමට අවස්ථා කිහිපයකදී සාකච්ඡා වට කිහිපයක් පවත්වනු ලැබුවා.

පසුව මිනින්දෝරු දෙපාර්තමේන්තුව පසුගිය සති කිහිපය පුරා මෙහි මැනුම් කටයුතු සිදුකළා.

ඒ අනුව හඳුනා ගත් ඉඩම් වපසරිය සඳහා දෙවනගල පුදබිමේ පළමු පිඹුරු පතේ මැනුම් කටයුතු අවසන් කර මෙලෙස සීමා මායිම් සලකුණු කරනු ලැබුවේ පොලිස් ආරක්ෂාව මධ්‍යයේයි.

මෙම පළමු මැනුමට අනුව දෙවනගල විහාරයේ රාජකාරී ඉඩකඩම් නිරවුල් වන බවයි පුදබිමේ භාරකාරී පූජ්‍ය මැදිරිගිරියේ පුන්‍යසාර හිමියන් ප්‍රකාශ කළේ.

*********************************************

20 ගැන පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් කියන කතා

(08.09.2020 – 17:14 +0530 – hirunews.lk/sinhala)

යෝජිත නව ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් විසින් අදහස් පළ කළා.

යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධනය මේ රට තුල ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය තීරණය කර ඇති බවත්, එහි ඇති යම් යම් අඩු පාඩුකම් සකස් කරගනිමින් එම සංශෝධනය තුළින් රට ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බවත්, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ප්‍රකාශ කරනවා.

මේ අතර අද (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා කියා සිටියේ, 20 වන ව්‍යවස්ථා සංශෝධනය, මෙරට ජනතාවට නිදහසේ ජිවත් වීමට ඇති අයිතිය නැති කිරීමක් වැනි බවයි.

එමෙන්ම රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මාධ්‍යට අදහස් දක්වමින් ප්‍රකාශ කළේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් පසු ගිය ආණ්ඩුව, ආණ්ඩු 3 ක් ලෙස ක්‍රියාත්මක වූ බවයි.

20 වන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරාජය කිරීමට සමගි ජන බලවේගය ලෙස කටයුතු කරන බවයි එහි පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේ.

මේ අතර ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රබුක්වැල්ල මහතා මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් කියා සිටියේ ඕනෑම පාර්ශවයකට 20 වන ව්‍යවස්ථාව පිලිබඳ අධිකරණයට හේතු දැක්වීමට අයිතියක් පවතින බවයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් ඇතිකළ කොමිෂන් සභා දේශපාලනීකරණය වූ බවයි රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ.

මේ අතර රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ද ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ අදහස් පළ කළා.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ යෝජිත නව ව්‍යවස්ථාව තවත් අවුරුදු දෙකක් (2) වැනි කෙටි කලකින් ගෙන ඒමට කටයුතු කරන බවයි.

*********************************************

හෙරොයින් පැකට්ටුවක මිල තුන් ගුණයකින් ඉහළට

(08.09.2020 – 19:04 +0530 – hirunews.lk/sinhala)

දිගින් දිගටම ආරක්ෂක අංශ සිදුකරන වැටලීම්වල ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට හෙරොයින් පැකට්ටුවක මිල තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇතැයි පොලීසිය පවසනවා.

ඒ හේතුවෙන් හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් අතර සංසරණය වීම අඩුවී ඇති අතර, එහිදී ප්‍රතිඵලයක් ලෙස ගංජා භාවිතය ඉහළ ගොස් ඇති බවට ද තොරතුරු අනාවරණ වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා කොළඹ අද (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.

මේ අතර නාවික හමුදාව විසින් පසුගිය දිනවලදී මුලතිව් – උදයාර්කට්ටු සහ කටුගස්තොට – කහල්ල ප්‍රදේශවල සිදුකරන ලද විශේෂ මෙහෙයුම්වලදී පුපුරණ ද්‍රව්‍ය කිහිපයක් සොයාගෙන තිබෙනවා. උදයාර්කට්ටු ප්‍රදේශයේ සිදුකරන ලද සෝදිසි මෙහෙයුමේදී විවිධ ප්‍රමාණයේ බෝම්බ 16 ක් සොයාගැනුනා.

කටුගස්තොට – කහල්ල ප්‍රදේශයේ සිදුකරන ලද මෙහෙයුම්වලදී ආරක්ෂිත ෆියුස් රෝල් අටක් (8) සොයාගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ. ඔවුන් විසින් ත්‍රිකුණාමලය, සීදූව සහ පුත්තලම ප්‍රදේශවල සිදුකරන ලද තවත් සෝදිසි මෙහෙයුම්වලදී කේරළ ගංජා ප්‍රභේදයට අයත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 12 කට අධික තොගයක් සමඟ පුද්ගලයින් හයදෙනෙකුද (6) අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් ෴

*********************************************

ගනේමුල්ල සංජීවගේ ගෝලයෙකු අත්අඩංගුවට

(08.09.2020 – 19:46 +0530 – hirunews.lk/sinhala)

රක්ෂිත බන්ධනාගාරගතකර සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකුගේ ගෝලයෙකු හෙරොයින් සහ ගිනි අවි සමඟ මිනුවන්ගොඩදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රක්ෂිත බන්ධනාගාරගතකර සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තාගේ ගෝලයෙකු වන වැලිපේ සුරාජ් නමැත්තායි.

25 හැවිරිදි මෙම සැකකරු ඝාතන ඇතුළු චෝදනා රැසක් එල්ල වූ පුද්ගලයෙක්.

විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසය ඔහුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 4 යි මිලිග්‍රෑම් 360 ක්, කඩු 3 ක්, වායු රයිෆලයක් සහ ජංගම දුරකතන 3 ක්ද සොයාගෙන තිබෙනවා.

එම ස්ථානයේ තිබූ මෝටර් රථයක්ද පොලිස් භාරයට ගනු ලැබුවා.

මේ අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් භාවිත කරන අධි මාත්‍රාවෙන් යුත් වේදනා නාශක පෙති 18,900 ක් තොටළඟ ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

මෝදර පොලීසිය පැවසුවේ එහි වටිනාකම රුපියල් ලක්ෂ 47 කට අධික බවයි.

ඒවා ප්‍රවාහනය කළ ලොරි රථයද සමගින් සැකකරුවන් තිදෙදෙනකු (3) ද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කළුතර, වස්කඩුව ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ස්ථානයක සිදුකළ වැටලීමකදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14 යි මිලිග්‍රෑම් 200 ක්, කේරළ ගංජා ග්‍රෑම් 22 ක්, මත්පෙති 27 ක්, මත්ද්‍රව්‍ය පානයට යොදාගන්නා උපකරණ සහ රුපියල් 64,000 ක මුදල් මෙන්ම, දෙමටගොඩ ප්‍රදේශයේ සිට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථයද පොලිස් භාරයට ගැනුණා.

මේ අතර, බස්නාහිර පළාත් ජෙයෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය ඊයේ (07) පස්වරු 6 සිට පස්වරු 8 දක්වා සිදුකළ පැය දෙකක (2) මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිටි පුද්ගලයින් 547 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ බස් නැවතුම්පොළ, දුම්රිය ස්ථාන, පොදු වැසිකිලි සහ පාළු ස්ථාන ඉලක්ක කරගෙන මෙම වැටලීම් සිදුකළ බවයි.

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ සහය ඇතිව සිදුකරගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු (4), ගල්කිස්ස ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය සහ හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 150 ක් සහ කේරල ගංජා කිලෝග්‍රෑම් 70 කට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවන් සිව් (4) දෙනෙකු, පුත්තලම, කරඹපුලිඳිවයිල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ පොලිස් නිල සුනඛයින්ගේද සහය ඇතිව සිදුකළ මෙහෙයුමකදී.

කොළඹ සිට ප්ලාස්ටික් භාණ්ඩ රැගෙන එන මුවාවෙන් මෙම මත්ද්‍රව්‍ය පුත්තලමට රැගෙන විත් ඇති බව අනාවරණ වී තිබෙනවා.

මිනුවන්ගොඩ පොලීසිය ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී, මිනුවන්ගොඩ, බොරගොඩවත්ත ප්‍රදේශයේ දී සැකකරුවන් තිදෙනෙකු (3) අත්අඩංගුවට ගෙන ඇත්තේ, ගිනි අවියක්, බෝර 12 උණ්ඩ 7 ක් , ටී.56 උණ්ඩ 3 ක් සමඟයි.

පුත්තලම, පාලවියේ සිට කල්පිටිය ප්‍රදේශයට වැගන්ආර් රථයක රහසිගතව සඟවා රැගෙන යමින් තිබූ රත්‍රන් කිලෝග්‍රැම් 10 කට අධික තොගයක් විශේෂ කාර්ය බලකාය කල්පිටිය, තිහලිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා.

එහිදී සැකකරුවෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, පොලීසිය පෙන්වා දෙන්නේ, ගත වූ සතිය තුළ සිදුකළ වැටලීම්වලදී හෙරෝයින් කිලෝග්‍රෑම් 25 යි ග්‍රෑම් 872 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 111 ක්, ගංජා කිලෝග්‍රෑම් 82 ක් සහ නීතිවිරෝධී ගිනි අවි 41 ක්ද සොයාගත් බවයි.

*********************************************

මහ කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව සපයන්න – ජනපති

(08.09.2020 – 20:56 +0530 – hirunews.lk/sinhala)

මහ කන්නයට අවශ්‍ය පොහොර හිඟයකින් තොරව සැපයීමට වහාම පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ඒ රජය, ඉදිරි මහ කන්නයේදී මෙරට කෘෂි ඉතිහාසයේ වගා පෙරළියක් අපේක්ෂාවෙන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.

මේ වසරේ ආනයනය කළ පොහොර සඳහා නිසි පරිදි ගෙවීම් කර ඇති බවත් වතුවලට හා ගොවියාට අවශ්‍ය පොහොර නියමිත ප්‍රමාණයට, කලට වේලාවට සහ ඉහළ ප්‍රමිතියකින් සපයා දිය යුතු බවත් ජනධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

පොහාර නිෂ්පාදන හා සැපයුම්, රසායනික පොහොර හා කෘමිනාශක භාවිත නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

*********************************************

වෑන් රථයක් කුළියට ගෙන සූදු ක්‍රීඩාවේ යෙදුණු කාන්තාවන් 8 අල්ලයි

(08.09.2020 – 21:51 +0530 – hirunews.lk/sinhala)

ත්‍රීකුණාමලය ප්‍රදේශයේ දී රුපියල් 10,000 ක් ගෙවා වෑන් රථයක් කුළියට ගනිමින් සූදු ක්‍රීඩාවේ යෙදුණු කාන්තාවන් 8 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලීසිය සඳහන් කළේ ඒ අතර වයස අවුරුදු 8 ක කුඩා ගැහැණු දරුවෙක්ද සිටින බවයි.

මොවුන් මීට දින දෙකකට (2) පෙරද මෙලෙස සූදු ක්‍රීඩාවේ නිරතවෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කළ කාන්තාවන් පිරිසක්.

*********************************************

වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි දරුවන් 14 දෙනෙකුගේ පියෙකු අත්අඩංගුවට

(08.09.2020 – 22:49 +0530 – hirunews.lk/sinhala)

වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් රෝගීන්ට වෛද්‍ය උපදෙස් ලබාදුන් පුද්ගලයෙකු හැටන් පොලීසිය මඟින් අද (08) සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

46 හැවිරිදි සැකකරු පුත්තලම ප්‍රදේශයේ පදිංචි දරුවන් 14 දෙනෙකුගේ පියෙකු වන බවත්, ඔහු සතුව වෛද්‍යවරයෙක් ලෙස පෙනි සිටීමට අදාළ කිසිදු පිළිගත් සහතිකයක් හෝ අවසර පත්‍රයක් නොතිබුණු බවත් හැටන් පොලීසිය පැවසුවා.

*********************************************

රට පුරා මහා ඉඩම් කොල්ලයක් – අන්තවාදී කල්ලිවල සංවිධානාත්මක වැඩක්දැයි සැකයක්…

(08.09.2020 – 21:34 +0530 – lankaleadnews.com)

මේ වන විට හොරොව්පතාන, පදවිය, වනාතවිල්ලුව ආදී ප්‍රදේශ ගනනාවක රක්ෂිත කැලෑ ඉඩම් සහ අවශේෂ කැලෑ ඉඩම් අක්කර සිය දහස් ගණනින් කපා දමා පුද්ගලයින් පදිංචි කිරීමේ සංවිධානාත්මක ක්‍රියාවලියක් දියත් කරමින් ඇති බව වාර්තාවේ.

එම ක්‍රියාවලිය පිටුපස සංවිධානාත්මක ආගමික කල්ලි සිටින බවට ද වාර්තාවේ.

විඩියෝව පහතින් :

***************************************

ආර්ථික ඝාතක උපදේශකයින් සමග රට ගොඩනැගිය හැකිද? – වෛද්‍ය වසන්ත බණ්ඩාර (31.08.2020)

*********************************************

රැම්සා තෙත්බිම වැනසීම ගැන වාර්තාවේ නිර්දේශ 13 ක්

(09.09.2020 – 07:45 +0530 – hirunews.lk/sinhala)

ආනවිලුන්දාව රැම්සා අභය භූමියට හානි කිරීම සම්බන්ධයෙන් වන පංච පුද්ගල වාර්තාව ඊයේ (08) විෂයභාර අමාත්‍ය සී.බී. රත්නායක මහතා වෙත භාරදී තිබෙනවා.

ඒ, එම කමිටුවේ සභාපති, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශ ලේකම් බන්දුල හරිස්චන්ද්‍ර මහතා විසින්. ඒ අනුව අදාළ වාර්තාව නිර්දේශ 13 කින් සමන්විත වනවා. අදාළ භූමිය ඉදිරියටත් ආරක්ෂා කරගන්නා ආකාරයද එහි සඳහන් කර තිබෙනවා.

මේ අතර ආනවිලුන්දාව රැම්සා අභය භූමිය හෙළිපෙහෙළි කළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයා සහ බැකෝ යන්ත්‍රයේ රියදුරු ලබන 18 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා ෴

*********************************************

කන්ටේනර් රථයක් පෙරලී කොළඹ – නුවර මාර්ගයේ ගමනා ගමනයට බාධා

(09.09.2020 – 07:52 +0530 – hirunews.lk/sinhala)

කන්ටේනර් රථයක් මාර්ගය හරහා පෙරළී යාමෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව – කලගෙඩිහේන ප්‍රදේශයෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කළේ අද (09) උදෑසන මෙම අනතුර සිදුව ඇති බවයි.

මේ හේතුවෙන් සැහැල්ලු වාහන පමණක් එම ස්ථානයෙන් ගමන් කිරීමට හැකියාව පවතින බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

එමෙන්ම, මාදම්පේ ප්‍රදේශයෙන් ගසක් කඩා වැටී අවහිර වී තිබූ කොළඹ – හලාවත මාර්ගය මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.

මේ අතර වර්ෂාවත් සමඟ රත්මලාන දුම්රිය ස්ථානය ආසන්නයෙන් දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීමෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇති විය හැකි බවයි දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළේ.

+++++++++++++++++++++

*********************************************

ජාතික බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියා පළමු වරට පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශන කොමිසමට

(09.09.2020 – 07:55 +0530 – hirunews.lk/sinhala)

ජාතික බුද්ධි සේවයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් ඊයේ (08) පළමුවරට පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නා.

එසේම ඊයේ (08) දිනයේදී අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ද කොමිසම හමුවේ පෙනී සිටියා.

මේ අතර, මීට පෙර කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ද ඊයේ (08) පස්වරුවේ කොමිසම වෙත පැමිණ තිබුණේ පෙර ලබාදුන් සාක්ෂි මගින් අගතියක් සිදුවූ බවට මුස්ලිම් සංවිධාන 10 ක් කොමිසමට කර තිබූ දැනුම්දීමක් මත උන්වහන්සේගෙන් හරස් ප්‍රශ්න විමසීමට කළ ඉල්ලීමකට අනුවයි.

එමෙන්ම, නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ඊයේ (08) දෙවන දිනටත් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටියා.

මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර ද ඊයේ (08) ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත ප්‍රකාශ ලබාදීම සඳහා පැමිණ තිබුණේ පෙර කර තිබූ දැනුම්දීමකට අනුවයි.

*********************************************

නිරෝධායනයට ලක්වෙමින් සිටි හෙරොයින් සම්බන්ධයෙන් චෝදනා ලැබූ කතක් පළා යයි

(09.09.2020 – 08:12 +0530 – hirunews.lk/sinhala)

කළුතර – උතුර සිරිලන්ද බන්ධනාගාරයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි හෙරොයින් සම්බන්ධයෙන් චෝදනා ලැබූ කාන්තාවක් පළාගොස් තිබෙනවා.

48 හැවිරිදි කාන්තාවක් මෙලෙස පළාගොස් ඇති අතර මේ සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව ගංජා ග්‍රෑම් 100 ක් ළඟ තබාගෙන සිටි යුද හමුදා සෙබලෙකු වැලිපැන්න – ලද්දූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම, හමුදාවෙන් පළා ගිය සෙබලෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ඊයේ (08) අත්අඩංගුවට ගත්තේ වැලිපැන්න – ලෙව්වන්දූව ප්‍රදේශයේදියි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • About the encroaching of public assets that should be under the supervision and administration of Foresetry Department. Why the offcials are sleeping while religious extremsts groups or crooked buisnessmen were clearing these forests and encroaching? Are the offcials being bribed? The authorities should investigate immediately, arrest and bring all parties involved in this land grab to the Courts to be dealth by the law.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *