ගැලවීමේ කණ්ඩායමක් නිව් ඩයමන්ඩ් නෞකාවට

ගැලවීමේ කණ්ඩායමක් නිව් ඩයමන්ඩ් නෞකාවට

ගිනිගත් නැව් පතුලට කිමිදුම්කරුවන් යැවීමට නාවික හමුදාව සැරසෙයි

තෙල් නැව අවට මුහුදේ සාම්පල අද (10) රස පරීක්ෂක වෙත

නෞකාව මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කර ගන්නැයි දැනුම් දීමක් – ජල සාම්පල් වාර්තාව සඳුදා (14)

තෙල් නෞකාව අවට සාම්පල රස පරීක්ෂකට – අදත් (10) නීතිපති දෙපාර්තමේන්තුවේ සාකච්ඡා

නිව් ඩයමන්ඩ් නෞකාවේ නවතම ඡායාරූප

නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් ගාල්ලට රැගෙන එයි

නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් ගාල්ලේ හුදෙකලා කෙරේ

ගිනි ගත් නෞකාව අසළ තෙල් පැල්ලම් ගැන සොයන්න නාවික හමුදාවෙන් කිමිදුම් කණ්ඩායමක්

ගිනිගත් නෞකාවෙන් ඉන්ධන සාම්පල ලබාගැනීමට සහ කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ ලබා ගැනීමට අධිකරණයෙන් අවසර

ඉන්ධන නෞකාවේ ගින්න නිවීමට එක් වූ වසභ මාගම්පුර වරායට

ගිනිගත් නෞකාවෙන් මුහුදට දැවි තෙල් කාන්දු වූ සිදුර වසා දැමේ

*********************************************

ගැලවීමේ කණ්ඩායමක් නිව් ඩයමන්ඩ් නෞකාවට

(09.09.2020 – 12:02 +0530 – hirunews.lk/sinhala)

අයහපත් කාලගුණයත් සමඟ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ දෙවන වර හට ගත් ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර තිබෙනවා.

නැව ආසන්නයේ ටග් යාත්‍රාවක සිට පරීක්ෂණ ආරම්භ කළ විදේශීය විශේෂඥ කණ්ඩායමේ 3 දෙනෙකු අද (09) දහවල් නෞකාව මතට ගොඩ වූ බවයි නාවික හමුදාව සඳහන් කළේ.

එමෙන්ම, ඉන්දීය වෙරළාරක්ෂක බලකාය සමඟ එක්ව නාවික හමුදාවේ සෙබලුන් කණ්ඩායමක් අද (09) දිනයේ නෞකාවට ඇතුළුවීමට සූදානමින් සිටින බව වාර්තා වනවා.

කෙසේ වෙතත්, පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එම කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.

මේ අතර, අද (09) පෙරවරුවේ ගිනි ගත් නෞකාව මෙරට වෙරළේ සිට නාවික සැතපුම් 41 ක් දුරට රැගෙන ගොස් තිබෙනවා.

ඩයමන්ඩ් නෞකාව තුළ ගබඩා කර ඇති ඉන්ධන තොගය ආරක්ෂිතව පිටතට ගැනීම සඳහා තවත් විදේශීය නෞකාවක් පැමිණෙමින් සිටින බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ.

මේ අතර, නෞකාව ආශ්‍රිතව ඉන්ධන පැල්ලමක් පෙන්නුම් කරන මුහුදු ප්‍රදේශයේ ජල සාම්පල ඊයේ (08) ගොඩබිමට රැගෙන විත් තිබෙනවා.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතිඥ දර්ශනී ලහඳපුර මහත්මිය කියා සිටියේ අද (09) පෙරවරුවේ එම සාම්පල රසායනාගාර වෙත යොමු කළ බවයි.

එමෙන්ම, ගිනි ගත් නෞකාවේ හිමිකාරත්වය දරණ ග්‍රීසියේ ඇතෑන්ස් නුවර පිහිටි ආයතනය සහ ජාත්‍යන්තර රක්ෂණායතනය සමඟ හානි පූර්ණ සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ අද (09) සාකච්ඡාවක් පවත්වන බව ද ඇය කියා සිටියා.

මේ අතර, නෞකාව සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර පිලිබදව විශේෂ සාකච්ඡාවක් නීතිපති දෙපාර්තමේන්තුවේදී අද (09) පැවැත්වෙනවා.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, ජලජ සම්පත් සංවර්ධන අධිකාරිය සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

+++++++++++++++++++++

ගිනිගත් තෙල් නැව මෙරට මුහුදු සීමාවෙනුත් ඉවතට

(09.09.2020 – 07:35 +0530 – hirunews.lk/sinhala)

අයහපත් කාලගුණයත් සමග වර්ධනය වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ ගින්න ඒකාබද්ධ ආපදා කළමනාකරණ කණ්ඩායම්වල මෙහෙයුම් මගින් අද (09) අලුයම වන විට සාර්ථකව පාලනය කිරීමට හැකි වී ඇති බව නාවික හමුදාව ප්‍රකාශ කළා.

ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මේ වන විට නෞකාවෙන් ගිනි දැල් නිකුත්වීමක් හෝ දුම් පිටවීමක් නිරීක්ෂණය නොවන බවයි.

කෙසේ වෙතත් ටග් යාත්‍රාවක් යොදා ගනිමින් ආපදාවට පත් නෞකාව නැවතත් ගැඹුරු මුහුද වෙත ඇදගෙනයාම සිදුකරමින් පවතින බව ද නාවික හමුදාව ප්‍රකාශ කළා.

ඒ අනුව අදාළ නෞකාව මේ වන විට සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 37 ක් ගැඹුරු මුහුදට රැගෙන ගොස් ඇති අතර එම මුහුදු ප්‍රදේශයේ පවතින ඉතාමත් රළු ස්වභාවය සහ දැඩි සුළං ප්‍රවාහය ද හමුවේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක වනවා.

නෞකාවට කිලෝමීටරයක් පමණ දක්වා වූ ප්‍රදේශයේ විහිදී තිබූ ඩීසල් ඉන්ධන පැල්ලමක් පෙර දින සවස් කාලයේ නිරීක්ෂණය කර ලද අතර ඒ සඳහා ඉන්දීය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ඩෝනියර් වර්ගයේ ගුවන් යානයක් යොදා ගනිමින් අදාළ ඩීසල් ඉන්දන පැල්ලම තිබූ ප්‍රදේශය වෙත විශේෂිත රසායන ද්‍රව්‍යයක් ඉසීමට කඩිනමින් කටයුතු කළ බව ද නාවික හමුදාව සදහන් කළා.

එමෙන්ම ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිත ආයතනයට අයත් සමුද්‍රිය පර්යේෂණ නෞකාවක් එම මුහුදු ප්‍රදේශය වෙත ළගා වී වැඩිදුර පරීක්ෂණ කටයුතුවල නිරත වනවා.

එමෙන්ම නෞකාවේ පවතින ආපදා තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය වීමෙන් පසුව නෞකාවට ඇතුළු වී එහි තත්ත්වය නිරීක්ෂණය කිරීම හා අවශ්‍ය ඉදිරි කටයුතු සොයා බැලීම සදහා නාවික හමුදාපතිවරයාගේ උපදෙස් මත ආපදා කළමනාකරණය පිලිබද විශේෂඥ පුහුණුවක් ලත් තවත් කණ්ඩායමක් අද (09) එම මුහුදු ප්‍රදේශය වෙත නික්ම යාමට නියමිතයි ෴

*********************************************

ගිනිගත් නැව් පතුලට කිමිදුම්කරුවන් යැවීමට නාවික හමුදාව සැරසෙයි

(09.09.2020 – 19:56 +0530 – hirunews.lk/sinhala)

එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ ඉන්ධන කාන්දුවක් සිදු වී ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසනවා.

එහි සාමාන්‍යාධිකාරී ටර්නි ප්‍රදීප් කුමාර මහතා කියා සිටියේ නෞකාව පිහිටි ස්ථානයේ සාගරයෙන් ලබාගත් සාම්පල අනුව එය නෞකාව යාත්‍රා කිරීම සඳහා භාවිත කිරීමට යොදා ගන්නා ඉන්ධන නොවන බවට විශ්වාස කරන බවයි.

අදාළ කළු පැහැති තෙල් පැල්ලම නෞකාවේ සිට සැතපුම් දෙකක් (2) පමණ දුරකට විහිදී තිබෙනවා.

පෙරේදා (07) පස්වරුවේ මෙම නෞකාවේ යළි දෙවන වරට ගින්නක් හටගත් අතර, එය අද (09) අලුයම් කාලයේදී මුළුමනින්ම පාලනය කිරීමට හැකියාව ලැබුණේ දිවයිනට බලපා තිබූ අයහපත් කාලගුණ තත්ත්වය මධ්‍යයේයී.

විදේශයන් හි සිට පැමිණි 17 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙම නෞකාවේ වත්මන් තත්ත්වය පරීක්ෂා කිරීමට පැමිණි අතර, අද (09) දහවල් ඉන් 3 දෙනෙකු නැව තුළට පැමිණ අදාළ පරීක්ෂණ කටයුතු සිදුකරනු ලැබුවා.

අදාළ නෞකාව මේ වනවිට නාවික සැතපුම් 40 ත්, 41 ත් අතර දුරක රඳවා තිබෙන බවයි කොළඹ අද (09) පැවති මාධ්‍ය හමුවකදී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, කපිතාන් ඉන්දික ද සිල්වා කියා සිටියේ.

මුහුදේ තත්ත්වය යහපත් වූ විගස කිමිඳුම්කරුවන් යොදා නැව සහ අවට පරීක්ෂා කිරීම ආරම්භ කරන බව ද ඔහු සඳහන් කළා.

අද (09) සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය සහ රුහුණු විශ්වවිද්‍යාලයේ සාගර විද්‍යා අංශයේ පරීක්ෂණ කණ්ඩායම් ඉන්ධන කාන්දුව සිදුව ඇති ප්‍රදේශයට ගොස් සාම්පල ලබාගත්තා.

ඉන් අනතුරුව එම සාම්පල අද (09) පස්වරුවේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, නීතිපතිවරයා වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී දෙපාර්ශවය අතර නෞකාවේ ගින්නෙන් ශ්‍රී ලංකාවට සිදුවී ඇති හානිය සම්බන්ධයෙන්ද සාකච්ඡාවක් පැවැත්වුණා.

එම සාකච්ඡාවෙන් අනතුරුව එහි සාමාන්‍යාධිකාරී ටර්නි ප්‍රදීප් කුමාර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ අදාළ සාම්පලවල වාර්තා දින දෙකක් (02) ඇතුළත ලබාගැනීමට හැකි බවයි.

මේ අතර, අදාළ සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කරන ලෙසයි නීතිපතිවරයා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට උපදෙස් ලබාදී ඇත්තේ.

*********************************************

තෙල් නැව අවට මුහුදේ සාම්පල අද (10) රස පරීක්ෂක වෙත

(10.09.2020 – 07:59 +0530 – hirunews.lk/sinhala)

එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ රඳවා තිබෙන මුහුදු ප්‍රදේශයෙන් ලබාගත් සාම්පල අද (10) පෙරවරුවේ රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියමිතයි.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ටර්නි ප්‍රදීප් කුමාර මහතා කියා සිටියේ සිය අධිකාරිය සතු රසායනාගාරය මගින් එම සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

දින දෙකක් (2) ඇතුළත එම සාම්පලවල වාර්තා ලබා ගැනීමට හැකිවන බවද ඔහු සඳහන් කළා.

නීතිපතිවරයාගේ උපදෙස් අනුවයි අදාළ සාම්පල රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට කටයුතු කරනු ලබන්නේ.

අදාළ නෞකාව මේ වනවිට නාවික සැතපුම් 50 ක දුරක රඳවා තිබෙන අතර, නෞකාවේ සිට සැතපුම් දෙකක් (2) පමණ දුරකට කළු පැහැති තෙල් පැල්ලම විහිදී තිබෙනවා.

පසුගිය සඳුඳා (07) මෙම නෞකාවේ යළි දෙවන වරට ගින්නක් හටගත් අතර, එය ඊයේ (09) අලුයම් කාලයේදී මුළුමනින්ම පාලනය කෙරුණා ෴

*********************************************

නෞකාව මෙරට මුහුදු සීමාවෙන් ඉවත් කර ගන්නැයි දැනුම් දීමක් – ජල සාම්පල් වාර්තාව සඳුදා (14)

(10.09.2020 – 13:13 +0530 – hirunews.lk/sinhala)

ගිනි ගත් එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව මෙරට මුහුදු සීමාවෙන් කඩිනමින් ඉවත් කර ගන්නා ලෙස නැවෙහි හිමිකාරීත්වය ඇති ආයතනයට අද (10) දිනය තුළ දැනුම් දීමට නියමිතව තිබෙනවා.

සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ මෙරට වෙරළ තීරයට හානි වීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපතිවරයා දුන් උපදෙස් අනුව ඉදිරි කටයුතු සිදුකරන බවයි.

මේ අතර, නැව ගිනි ගත් මුහුදු සීමාවෙන් ලබා ගත් ජල සාම්පල් මෙන්ම මුහුදු ජලයට මිශ්‍ර වී තිබූ ඉන්ධන සාම්පල් පිළිබද වාර්තාව සති අන්තයේදී ලැබීමට නියමිතයි.

සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ අදාළ පරීක්ෂණ වාර්තා ලබන සඳුදා නීතිපතිවරයා වෙත යොමු කිරීමට නියමිත බවයි.

අදාළ නෞකාව මේ වනවිට නාවික සැතපුම් 50 ක දුරක රඳවා තිබෙන අතර, නෞකාවේ සිට සැතපුම් දෙකක් (2) පමණ දුරකට කළු පැහැති තෙල් පැල්ලම විහිදී තිබෙනවා.

පසුගිය සඳුඳා මෙම නෞකාවේ යළි දෙවන වරට ගින්නක් හටගත් අතර, එය ඊයේ (09) අලුයම් කාලයේදී මුළුමනින්ම පාලනය කෙරුණා.

මේ අතර, නාවික හමුදාව පවසන්නේ අද (10) දිනය තුළ නැව අභ්‍යන්තරයේ ඉන්ධන කාන්දුවක් සිදුවන්නේ ද යන්න සොයා බැලීමට කිමිදුම්කරුවන් යෙදවීමට කටයුතු කරන බවයි.

එය මේ වන තුරුත් ප්‍රමාද වී ඇත්තේ නැව අනතුරට පත් ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණ තත්ත්වයයි.

එමෙන්ම, නැවේ ගින්න පාලනය කිරීමේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට වැය වූ පිරිවැය ගණනය කිරීමේ කටයුතු මේ වන විට අවසන් කර ඇති බව වාර්තා වනවා.

මේ අතර, එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡාවක් වරාය හා නාවික කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (09) පැවැත්වුණා.

මෙම හමුවට නාවික හමුදාව, ගුවන් හමුදාව, වෙළඳ නාවික ලේකම් කාර්යාලය සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්වූ බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.

*********************************************

තෙල් නෞකාව අවට සාම්පල රස පරීක්ෂකට – අදත් (10) නීතිපති දෙපාර්තමේන්තුවේ සාකච්ඡා

(10.09.2020 – 15:28 +0530 – hirunews.lk/sinhala)

ගිනි ගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව අවට මුහුදෙන් ලබා ගත් ජල සාම්පල් සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් අද (10) පස්වරුවේ රජයේ රස පරීක්ෂකවරයා වෙත ලබාදී තිබෙනවා.

එමෙන්ම, නෞකාව මෙරට මුහුදු සීමාවෙන් කඩිනමින් ඉවත් කර ගන්නා ලෙසට ද, එහි හිමිකාරීත්වය ඇති ආයතනයට ලිඛිතව දැනුම්දීමට අවශ්‍ය පියවර ගත් බවයි සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ.

අද (10) පස්වරුවේ ද, ගිනි ගැනීමට ලක්වූ නෞකාවේ වර්තමාන තත්ත්වය සහ ඒ පිළිබඳව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡාවක් නීතිපති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණා.

මෙරට පරිසරයට සිදුවිය හැකි හානිය වළක්වා ගැනීම පිලිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.

මෙරට වෙරළ කලාපයෙන් බැහැරට නෞකාව රැගෙන යාමේදී කලාපීය හා අන්තර්ජාතික නීතින්ට අනුකූලව කටයුතු කිරීම සම්බන්ධයෙන් ද අදාළ සාකච්ඡාවේදී අවධානය යොමුකළ බවයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ.

මේ අතර ගිනිගැනීම හේතුවෙන් මේ වනවිට නෞකාවේ සමබරතාව ගිලිහීම පිළිබඳ ගැටලු පැන නැගී ඇති බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

අදාළ නෞකාව මේ වනවිට ගොඩබිම සිට නාවික සැතපුම් 50 ක දුරක රඳවා තිබෙන අතර, නෞකාවේ සිට සැතපුම් දෙකක් පමණ දුරකට කළු පැහැති තෙල් පැල්ලම විහිදී තිබෙනවා.

*********************************************

නිව් ඩයමන්ඩ් නෞකාවේ නවතම ඡායාරූප

(10.09.2020 – 16:28 +0530 – hirunews.lk/sinhala)

ගිනි ගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ නවතම ඡායාරූප පෙළක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් මාධ්‍යට නිකුත් කර තිබෙනවා.

මේ අතර ගිනි ගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව අවට මුහුදෙන් ලබා ගත් ජල සාම්පල් අද (10) පස්වරුවේ සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් රජයේ රස පරීක්ෂකවරයා වෙත ලබාදී තිබෙනවා.

එමෙන්ම ගිනි ගත් එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව මෙරට මුහුදු සීමාවෙන් කඩිනමින් ඉවත් කර ගන්නා ලෙස නැවෙහි හිමිකාරීත්වය ඇති ආයතනයට අද (10) දිනය තුළ දැනුම් දීමට නියමිතව තිබෙනවා.

සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ මෙරට වෙරළ තීරයට හානි වීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපතිවරයා දුන් උපදෙස් අනුව ඉදිරි කටයුතු සිදුකරන බවයි.

අදාළ නෞකාව මේ වනවිට නාවික සැතපුම් 50 ක දුරක රඳවා තිබෙන අතර, නෞකාවේ සිට සැතපුම් දෙකක් (2) පමණ දුරකට කළු පැහැති තෙල් පැල්ලම විහිදී තිබෙනවා.

පසුගිය සඳුඳා මෙම නෞකාවේ යළි දෙවන වරට ගින්නක් හටගත් අතර, එය ඊයේ (09) අලුයම් කාලයේදී මුළුමනින්ම පාලනය කෙරුණා.

මේ අතර, නාවික හමුදාව පවසන්නේ අද (10) දිනය තුළ නැව අභ්‍යන්තරයේ ඉන්ධන කාන්දුවක් සිදුවන්නේ ද යන්න සොයා බැලීමට කිමිදුම්කරුවන් යෙදවීමට කටයුතු කරන බවයි.

එය මේ වන තුරුත් ප්‍රමාද වී ඇත්තේ නැව අනතුරට පත් ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණ තත්ත්වයයි.

එම නෞකාවේ නවතම ඡායාරූප පහතින් :

+++++++++++++++++++++

*********************************************

නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් ගාල්ලට රැගෙන එයි

(10.09.2020 – 19:52 +0530 – hirunews.lk/sinhala)

නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් වරයා කල්මුනේට රැගෙන එමෙන් අනතුරුව ගාල්ල වෙත රැගෙන ගොස් තිබෙනවා.

මේ අතර, ගිනිගැනීමට ලක්වූ එම්.ටී.නිව් ඩයමන්ඩ් නෞකාව මෙරට මුහුදු සීමාවෙන් කඩිනමින් ඉවත් කර ගන්නා ලෙස එම නෞකාව අයත් සමාගමට සහ ගැලවුම්කාර සමාගමට දැනුම් දෙන බව සමුද්‍රීය පරිසර අධිකාරිය සදහන් කරනවා.

මේ අතර, නෞකාව ආශ්‍රිතව අදත් (10) තෙල් පැල්ලමක් නිරීක්ෂණය වන බවයි ගුවන් හා නාවික හමුදා කණ්ඩායම් පවසන්නේ.

එම්.ටී.නිව් ඩයමන්ඩ් නෞකාවේ සිට විහිදුණු ඉන්ධන පැල්ලම් දෙකක් (2) ඊයේ (09) සහ පෙරේදා (08) දිනයේ දර්ශනය වූ අතර රසායනික සංයෝගයක් ඉසිමින් ඒවා පාලනය කිරීමට කටයුතු කළා.

එම ඉන්ධන පැල්ලම්වල වත්මන් තත්ත්වය නිරීක්ෂණය කිරීමට අදත් (10) නාවික හමුදාව හා ගුවන් හමුදාව කටයුතු කළා.

අද (10) දිනයේත් නෞකාවේ සිට ඉන්ධන කාන්දුවක් සිදු වී ඇති බව නිරීක්ෂණය කර තිබෙනවා.

ඒ අනුව අදත් (10) ඉන්දීය වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ගුවන් යානාවක් මගින් ඉන්ධන පැල්ලම ඇති ප්‍රදේශයට විශේෂ රසායනික ද්‍රව්‍ය ඉසිම සිදු කළා.

මේ අතර නෞකාව අයිති සමාගම විසින් එය ගලවාගැනිමේ කර්ය භාර දි ඇති ස්මිත් මැරිටයිම් සමාගමේ විශේෂඥ කණ්ඩායමක් අද (10) නෞකාවේ පරික්ෂණ කටයුතු සිදුකර තිබෙනවා.

සිව් (4) දෙනෙකුගෙන් යුත් නාවික හමුදාවේ විශේෂඥ කණ්ඩායමක්ද අද (10) නැවට ප්‍රවිශ්ඨ වූ බවයි නාවික හමුදාව සඳහන් කළේ.

එමගින් නෞකාවේ එන්ජින් කාමරයේ පිරි ඇති ජලය ඉවත් කිරීම සඳහා සිංගප්පූරුවට අයත් ටග් යාත්‍රාවක්ද නෞකාව අසලට යාත්‍රා කර තිබෙනවා.

මේ අතර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය හා රුහුණු විශ්ව විද්‍යාලයේ සාගර විද්‍යා අංශය එක්ව අදාළ ඉන්ධන පැල්ලම පිහිටි මුහුදු ප්‍රදේශයේ සාම්පළ ලබා ගැනිම මිට පෙර සිදුකර තිබුණා.

එලෙස ලබා ගත් සාම්පල අද පස්වරුවේ රජයේ රස පරීක්ෂකවරයා වෙත ලබාදුන්නේ ඊයේ (09) නීතිපතිවරයා ලබාදී තිබූ උපදෙස් මතයි.

ඒ අනුව එම ආයතනය විසින් අද (10) පස්වරුවේ අදාළ සාම්පළ රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දිම සිදු කළා.

+++++++++++++++++++++

10-09-2020

*********************************************

නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් ගාල්ලේ හුදෙකලා කෙරේ

(11.09.2020 – 09:12 +0530 – hirunews.lk/sinhala)

ගිනි ගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා ගාල්ලට රැගෙන ඒමෙන් අනතුරුව හුදෙකලා මධ්‍යස්ථානයක් වෙත යොමුකර තිබෙනවා.

කොරෝනා මාර්ගෝපදේශවලට අනුව ඔහු කල්මුණේ සිට ගාල්ලට රැගෙන ඒමේ කටයුතු සිදුකළ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ.

ඒ අනුව කපිතාන්වරයා නාවිකයන් රඳවන හුදෙකලා මධ්‍යස්ථානයේ රඳවා සිටින අතරතුර නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ නීතිමය තත්ත්වයන් පිළිබඳව කටයුතු සිදුකෙරෙනු ඇති.

පැනමා ධජය යටතේ ලියාපදිංචි එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව කුවේට් හි ‘මිනා අල් අහමදි’ වරායේ සිට ඉන්දියාවේ ඔඩීෂා හි ප්‍රදීප් වරාය වෙත ගමන් කරමින් සිටියදී ශ්‍රී ලංකාවේ සංගමන්කන්ද තුඩුවේ සිට නාවික සැතපුම් 38 ක දුරින් ගැඹුරු මුහුදේදී ගිනි ගැනීමට ලක්වුණා.

නෞකාවේ එන්ජින් කාමරය තුළ ගින්නක් හට ගත් අතර එහි බොයිලේරුවක සිදුවූ පිපිරීමකින් ගින්න හට ගෙන තිබුණා.

ඉන් නෞකාවේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු ජිවිතක්ෂයට පත්වූ අතර, සෙසු පිරිස නිරුපද්‍රිතව මුදා ගැනීමට නාවික හමුදාව සමත් වුණා.

මේ අතර, නෞකාවේ සිට පිළිස්සුම් තුවාල ලබා කල්මුණේ රෝහලට ඇතුළත් කළ නෞකා කාර්ය මණ්ඩල සාමාජිකයා කොළඹ පෞද්ගලික රෝහලක් වෙත ඇතුළත් කර තිබෙනවා.

නෞකාව මෙරට මුහුදු සීමාවෙන් කඩිනමින් ඉවත් කර ගන්නා ලෙසට සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය අදාළ නෞකාවේ හිමිකාරීත්වය ඇති ආයතනයට දැනුම්දීමට ඊයේ (10) කටයුතු කළ බවයි එම අධිකාරියේ සාමාන්‍යාධිකාරී, ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ.

මෙරට වෙරළ කලාපයෙන් බැහැරට නෞකාව රැගෙන යාමේදී කලාපීය හා අන්තර්ජාතික නීතින්ට අනුකූලව කටයුතු කිරීම සම්බන්ධයෙන් ඊයේ නීතිපති දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවකදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්කර තිබුණා.

ගිනිගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව මේ වනවිට ශ්‍රී ලංකාවේ නැගෙනහිර පිහිටි කල්මුණේ නගරයට නාවික සැතපුම් 50 ක්, එනම් කිලෝමීටර 93 ක් පමණ ඈතින් ස්ථානගතව පවතිනවා.

එමෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාවේ, වෙරළාරක්ෂක බලකායේ, ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ සහ ඉන්දීය නාවික හමුදාවේ නෞකා 9 ක්, වෙරළාරක්ෂක යාත්‍රා දෙකක් (2), අධිවේගී ප්‍රහාරක යාත්‍රා 3 ක්, ටග් යාත්‍රා 6 ක් ගිනිගත් එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව ආශ්‍රිතව තවදුරටත් මෙහෙයුම්වල නිරතවනවා.

එමෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ‘වයි ටුවෙල්’ යානයක් මගින් මීටර 10 සිට 30 දක්වා පළල නාවික සැතපුමක් පමණ දිගට විහිදුනු තෙල් පැල්ලමක් නිරීක්ෂනය කර ඇති අතර, ඉන්දීය වෙරළාරක්ෂක යාත්‍රා මගින් එම ප්‍රදේශයේ ප්‍රති රසායනික විසුරුමක් සිදුකර තිබෙනවා.

+++++++++++++++

11-09-2020

*********************************************

ගිනි ගත් නෞකාව අසළ තෙල් පැල්ලම් ගැන සොයන්න නාවික හමුදාවෙන් කිමිදුම් කණ්ඩායමක්

(11.09.2020 – 12:44 +0530 – hirunews.lk/sinhala)

ගිනි ගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඞ් නෞකාව අවට මුහුදෙන් මතුවූ තෙල් පැල්ලම් පිළිබඳ සොයාබැලීමට නාවික හමුදාවේ කිමිදුම්කරුවන් කණ්ඩායමක් අද (11) යෙදවූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ නෞකාවේ ගිනි ගැනීමට ලක්වූ කොටසේ තිබූ යම් ඉන්ධන ප්‍රමාණයක් මෙලෙස මුහුදට එක්වී ඇත්දැයි සොයාබැලීම සඳහා ඔවුන් විමර්ශන සිදුකිරීමට නියමිත බවයි.

ඊයේ (10) දිනයේදී මේ පිළිබඳ සොයාබැලීමට අදාළ කිමිදුම් කණ්ඩායම යෙදවීමට තීරණය කර තිබුණද අයහපත් කාලගුණය හේතුවෙන් එය කල් දැමුණා.

මේ අතර අදාළ තෙල් පැල්ලම් මතට ඉන්දීය වෙරළාරක්ෂක බලකාය මගින් ගුවන් යානා යොදාගනිමින් අන්තර්ජාතිකව අනුමත රසායනිකයක් යෙදවීමට පියවර ගත් අතර, අද (11) වනවිට තුන්වරක් (3) එම රසායනිකය අදාළ තෙල් පැල්ලම් මතට යොදා ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

ගිනිගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව මේ වනවිට ශ්‍රී ලංකාවේ නැගෙනහිර පිහිටි කල්මුණේ නගරයට නාවික සැතපුම් 50 ක්, දුරින් ස්ථානගතව පවතිනවා.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ, වෙරළාරක්ෂක බලකායේ, ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ සහ ඉන්දීය නාවික හමුදාවේ නෞකා, වෙරළාරක්ෂක යාත්‍රා, අධිවේගී ප්‍රහාරක යාත්‍රා, ටග් යාත්‍රා ගිනිගත් එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව ආශ්‍රිතව තවදුරටත් මෙහෙයුම්වල නිරතවනවා.

නෞකාවේ ගළවාගැනීමේ මෙහෙයුම් සඳහා පැමිණි විශේෂඥ කණ්ඩායමද තවදුරටත් මෙහෙයුම්වල නිරත අතර, ශ්‍රී ලංකා නාවික හමුදාවේ අධීක්ෂණයට යටත්ව එම සියලු ක්‍රියාකාරකම් සිදුවන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

එමෙන්ම එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ හටගත් ගින්න නිවා දැමීම සඳහා යොදාගත් ‘ස්ලූරෝ ප්‍රෝටීන්’ නම් රසායනිකය සඳහා පමණක් රුපියල් ලක්ෂ 18 ක මුදලක් වැය වී තිබෙනවා.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ඉල්ලීම මත ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය මගින් අදාළ රසායනිකය ලබාදුන් බවයි එහි සභාපති හා කළමනාකරණ අධ්‍යක්‍ෂ මොහොමඩ් උවයිස් මොහොමඩ් සඳහන් කළේ.

ගිනි ගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව අවට මුහුදෙන් ලබා ගත් ජල සාම්පල් සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් ඊයේ (10) පස්වරුවේ රජයේ රස පරීක්ෂකවරයා වෙත ලබාදුන්නා.

එහි වාර්තාවද ඉදිරි සතියේදී ලැබෙනු ඇති බවයි එම අධිකාරිය සඳහන් කළේ.

මේ අතර නෞකාවේ කපිතාන්වරයා ගාල්ලට රැගෙන ඒමෙන් අනතුරුව ඊයේ (10) හුදෙකලා මධ්‍යස්ථානයක් වෙත යොමු කරනු ලැබුවා.

කොරෝනා මාර්ගෝපදේශවලට අනුව ඔහු කල්මුණේ සිට ගාල්ලට රැගෙන ඒමේ කටයුතු සිදුකළ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ.

ගාල්ලට රැගෙන ඒමෙන් අනතුරුව ඔහු පී.සී.ආර් පරීක්ෂාවකට ලක් කර ඇති අතර, එහි වාර්තාව අද (11) දිනයේ ලැබීමට නියමිතයි.

*********************************************

ගිනිගත් නෞකාවෙන් ඉන්ධන සාම්පල ලබාගැනීමට සහ කාර්ය මණ්ඩලයෙන් ප්‍රකාශ ලබා ගැනීමට අධිකරණයෙන් අවසර

(11.09.2020 – 16:31 +0530 – hirunews.lk/sinhala)

පරීක්ෂණ සඳහා නිව් ඩයමන්ඩ් නෞකාවේ ඉන්ධන සාම්පල ලබා ගන්නා ලෙස අධිකරණය අද (11) සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට නියෝග කළා.

එසේම, එහි කපිතාන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ද ලබා දුන්නා.

ඒ ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කළ කරුණු දැක්වීම් සැලකිල්ලට ගනිමින්.

මේ අතර, ගිනි ගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව අවට මුහුදෙන් මතුවූ තෙල් පැල්ලම් පිළිබඳ සොයාබැලීමට නාවික හමුදාවේ කිමිදුම්කරුවන් කණ්ඩායමක් අද (11) යෙදවූ බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ නෞකාවේ ගිනි ගැනීමට ලක්වූ කොටසේ තිබූ යම් ඉන්ධන ප්‍රමාණයක් මෙලෙස මුහුදට එක්වී ඇත්දැයි සොයාබැලීම සඳහා ඔවුන් විමර්ශන සිදුකිරීමට නියමිත බවයි.

ගිනිගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාව මේ වනවිට ශ්‍රී ලංකාවේ නැගෙනහිර පිහිටි කල්මුණේ නගරයට නාවික සැතපුම් 50 ක්, දුරින් ස්ථානගතව පවතිනවා.

*********************************************

ඉන්ධන නෞකාවේ ගින්න නිවීමට එක් වූ වසභ මාගම්පුර වරායට

(11.09.2020 – 20:41 +0530 – hirunews.lk/sinhala)

එම්.ටී. නිව් ඩයමන්ඩ් බොරතෙල් නෞකාවේ ගින්න නිවීමට මෙරටින් එක් වූ රාවන සහ වසභ යන ටග් යාත්‍රා ද්විත්වයෙන් වසභ යාත්‍රාව ඊයේ (10) අළුයම නැවත මාගම්පුර වරායට පැමිණියා.

‘හිරු ටී.වී.’ කණ්ඩායමක් වසභ සොයා හම්බන්තොට – මාගම්පුර වරායට ගියා.

*********************************************

ගිනිගත් නෞකාවෙන් මුහුදට දැවි තෙල් කාන්දු වූ සිදුර වසා දැමේ

(12.09.2020 – 12:32 +0530 – hirunews.lk/sinhala)

ගිනිගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවෙන් මුහුදට කාන්දු වී ඇත්තේ දැවි තෙල් බවට හඳුනාගැනීමෙන් අනතුරුව එම කාන්දුවට හේතුවූ සිදුරු වසා දැමීමට නාවික හමුදාව පියවර ගෙන තිබෙනවා.

නාවික හමුදා කිමිදුම්කරුවන් යොදවා එම හානිවූ සිදුරු වසා දැමීමට කටයුතු කළ බවයි නාවික හමුදාව සඳහන් කළේ.

කිමිදුම්කරුවන් යොදවා සිදුකළ නිරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ නෞකාව තුළට මුහුදු ජලය ලබාගන්නා විවර දෙකකට සම්බන්ධ අභ්‍යන්තර නළ පද්ධතියකට හානිවී ඇති බවටයි.

නෞකාවේ දකුණු පසින් මුහුදු ජලය ඇතුළට ලබාගන්නා විවරයට සම්බන්ධ වූ අභ්‍යන්තර නළ පද්ධතිය තුළින් දැවිතෙල් මිශ්‍ර ජලය මුහුදට කාන්දුවෙමින් තිබූ බවටද එහිදී හඳුනා ගැනුනා.

නෞකාව මේ වනවිට ශ්‍රී ලංකාවේ නැගෙනහිර – සංගමන් කන්ද තුඩුවට නාවික සැතපුම් 56 ක්, දුරින් ස්ථානගතව පවතින බවයි නාවික හමුදාව සඳහන් කළේ. තවදුරටත් ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකා සහ යාත්‍රා මෙන්ම ටග් යාත්‍රා කිහිපයක්ද මෙහෙයුමට සම්බන්ධව සිටිනවා.

එමෙන්ම ඉන්දීය වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් ඩෝනියර් වර්ගයේ ගුවන් යානයක්ද අවශ්‍යතා මත යොදාගැනීම සඳහා මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ස්ථාන ගතකර ඇති බවද නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළා.

ගුවන් හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ අවශ්‍යතාවන් මත මෙහෙයුම් දියත් කිරීම සඳහා හෙලිකොප්ටර් යානාද තවදුරටත් සූදානමින් පවතින බවයි.

මේ අතර පරීක්ෂණ සදහා නිව් ඩයමන්ඞ් නෞකාවේ ඉන්ධන සාම්පල ලබා ගන්නා ලෙස අධිකරණය ඊයේ (11) සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට නියෝග කළා.

එසේම, එහි කපිතාන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ද ලබා දුන්නා.

ඒ ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කළ කරුණු දැක්වීම් සැලකිල්ලට ගනිමින් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *