බණ්ඩාරගම දී පොලීසිය සහ ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්ත්වයක්

බණ්ඩාරගම දී පොලීසිය සහ ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්ත්වයක්

ජර්මනියේ පැවති මළල ක්‍රීඩා තරගාවලියකදී නව ශ්‍රී ලංකා වාර්තාවක්

කොළඹ පහත් බිම් රැසක් ජලයෙන් යටවෙයි

ජංගම දුරකථන ලබාදෙන බව පවසා මුදල් වංචා කළ දෙදෙනෙකු අත්අඩංගුවට

වසර 48,000 කට පෙර මානවයා ජීවත් වූ, ගල් ලෙනක් වලල්ලාවිටින් සොයා ගැනේ

මාතර මහාධිකරණය අසළ දී මත්කුඩු සමඟ 3 ක් අත්අඩංගුවට

මහනුවරින් වාර්තා වූ භූ කම්පනය ගැන සෙවීමට තවදුරටත් පරීක්ෂණ

බලධාරීන්ට නොපෙනෙන අඳුපැලෑන සෞඛ්‍ය මධ්‍යස්ථානය

සරණක් ඉල්ලන බලංගොඩ දරුවා

ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට ඉතිරි ලක්ෂ 8 ගෙවන්නැයි නියෝග

20 වැනි සංශෝධනයේ වැරදි නිවැරදි කරන ලෙස ජාතික සංවිධාන ජනපතිගෙන් ඉල්ලයි

අටළුගම ගංජා වැටලීමේදී පොලීසියට පහරදුන් 4 දෙනෙකු අත්අඩංගුවට – පොලීසියේ 4 කටත් තුවාල

සුරාබදු නිලධාරීන් අයකළ රුපියල් 3,650,000 ක දඩයක් ආපසු ගෙවන්න අධිකරණ නියෝගයක්

*********************************************

බණ්ඩාරගම දී පොලීසිය සහ ප්‍රදේශවාසීන් අතර උණුසුම් තත්ත්වයක්

(09.09.2020 – 12:38 +0530 – hirunews.lk/sinhala)

බණ්ඩාරගම – අටළුගම – මාරාව ප්‍රදේශයේ ගංජා වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් අතර අද (09) පෙරවරුවේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

හිරු වාර්තාකරු සඳහන් කළේ ගංජා ඇති බවට පැවසෙන නිවසක් පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී නිවැසියන් ඊට විරෝධය පළ කර ඇති බවයි.

එම අවස්ථාවේ නිවැසියන් සහ අවට සිටි ප්‍රදේශවාසීන් එක්ව පොලීසියට පහරදීමට උත්සාහ කර තිබෙනවා. ඒ සමඟයි දෙපාර්ශවය අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත්තේ.

සිද්ධියට අදාළව සැකකරුවන් අත්ඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ පවත්වන අතර පොලිස් නිලධාරීන් 4 දෙනෙකු සුළු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

*********************************************

ජර්මනියේ පැවති මළල ක්‍රීඩා තරගාවලියකදී නව ශ්‍රී ලංකා වාර්තාවක්

(09.09.2020 – 08:18 +0530 – hirunews.lk/sinhala)

ජර්මනියේ පැවති මළල ක්‍රීඩා තරගාවලියකදී නව ශ්‍රී ලංකා වාර්තාවක් මෙන්ම දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවීමට යුපුන් අබේකෝන් මහතා ඊයේ (08) සමත් වුණා.

ඒ, මීටර් 100 ධාවන ඉසව්ව තත්පර 10.16 කින් අවසන් කරමින්.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ හිමාෂ එෂාන් මහතා. ඔහු එම වාර්තාව පිහිටුවා තිබුණේ තත්ත්පර 10.22 කින් එම ඉසව්ව නිම කරමින් ෴

*********************************************

කොළඹ පහත් බිම් රැසක් ජලයෙන් යටවෙයි

(09.09.2020 – 09:49 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ පළාත් කිහිපයකට ඊයේ (08) රාත්‍රියේ ඇඳ හැළුණු අධික වැසිත් සමඟ පහත් බිම් සහ මාර්ග රැසක් ජලයෙන් යටව තිබුණා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගෙවුණු පැය කිහිපය තුල වැඩිම වර්ෂාපතනය කොළඹින් දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බවයි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයට මිලිමීටර් 150.8 ක වර්ෂාපතනයක් ඇඳ හැලී තිබෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම වර්ෂාපතනයක් පතින වී ඇත්තේ රත්මලාන සහ කොටුව ප්‍රදේශවලටයි. රත්මලානට මිලිමීටර් 141.1 ක වර්ෂාපතනයක් ඇඳ හැලී ඇති අතර කොටුවට මිලිමීටර් 141 ක වැසි ඇඳ හැලී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊට අමතරව දෙහිවලට මිලිමීටර් 136.8 කත්, අංගොඩට මිලිමීටර් 131.9 කත් වර්ෂාපතනයක් ඇඳ හැලී තිබෙනවා.

දුම්මලසූරියට මිලිමීටර් 115.5 කත්, හොරගස්ගාරට මිලිමීටර් 106.9 ක සහ කිරිඳිවෙලට මිලිමීටර් 104.6 කත් වැසි ඇතිව තිබෙන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඊයේ (08) රාත්‍රියේ සිට අද (09) අළුයම දක්වා ඇඳ හැළුණු වැසි හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ මාළිගාවත්ත, පංචිකාවත්ත, ඔරුගොඩවත්ත, ග්‍රෑන්ඩ්පාස්, කොළොන්නාව, වැල්ලම්පිටිය මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල ප්‍රදේශයේ පහත් බිම් ජලයෙන් යටවූ බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

සුළු වැසි තත්ත්වයකදී පවා නිරන්තරයෙන් යටවන කොළඹ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ ඊයේ (08) රාත්‍රියේ ඇඳ හැළුණු වර්ෂාවට යටවීම විශේෂත්වයක්.

එමෙන්ම වර්ෂාවත් සමඟ කොළඹ මාර්ග රැසක් ද ජලයෙන් යටව තිබුණා. ග්‍රෑන්ඞ්පාස්, වෝඩ් පෙදෙස, මාළිගාවත්ත, කොටහේන, බේස්ලයින් සහ තුම්මුල්ල යන ප්‍රදේශවල මාර්ග මෙලෙස යටවී තිබූ බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

එමෙන්ම කන්ටේනර් රථයක් මාර්ගය හරහා පෙරළී යාමෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ නිට්ටඹුව – කලගෙඩිහේන ප්‍රදේශයෙන් ගමනාගමනයට එල්ල වී තිබූ බාධා මේ වනවිට ඉවත් කර තිබෙනවා.

මාදම්පේ ප්‍රදේශයෙන් ගසක් කඩා වැටී අවහිර වී තිබූ කොළඹ – හලාවත මාර්ගය ද මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මීට අමතරව වර්ෂාවත් සමඟ රත්මලාන දුම්රිය ස්ථානය ආසන්නයෙන් දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීමෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට ද බාධා එල්ල වී තිබුණා.

මේ අතර, පැවති වර්ෂාවත් සමඟ කාසල්රී සහ මාවුස්කැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට පැමිණ තිබුණා.

කාසල්රී ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 03 ක්ද මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 8 ක් ද වශයෙන් අද (09) උදෑසන වනවිට පවතින බවයි ජලාශ භාර ඉංජිනේරුවන් සඳහන් කළේ.

එමෙන්ම, වර්ෂාවත් සමඟ අත්තනුගළු ඔයේ ජල මට්ටම දූනමලේ ප්‍රදේශයෙන් ඉහල යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ කළුතර – ඇලබඩවත්ත ප්‍රදේශයෙන් ධීවර කටයුතු සඳහා මුහුදු ගිය යාත්‍රාවක් පෙරළීමෙන් එහි ගමන් ගත් ධීවරයන් දෙදෙනා බේරා ගැනීමට නාවික හමුදාව අද (09) සමත් වුණා.

ඔවුන් දෙදෙනා කළුතර – නාගොඩ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

*********************************************

ජංගම දුරකථන ලබාදෙන බව පවසා මුදල් වංචා කළ දෙදෙනෙකු අත්අඩංගුවට

(09.09.2020 – 10:16 +0530 – hirunews.lk/sinhala)

නවීන පන්නයේ ජංගම දුරකථන අඩු මුදලට ලබාදෙන බවට අන්තර්ජාලයේ දැන්වීම් පළ කර මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් සහ තවත් අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් එලෙස ජංගම දුරකථන ලබාදෙන බව පවසා බැංකු ගිණුම් වෙත මුදල් බැර කරවාගෙන මෙම ජාවාරම සිදුකර ඇති බවටයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

දකුණු පළාත් පරිගණක අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගත් මොවුන් දෙදෙනාගේ වයස අවුරුදු 36 සහ 26 යන වයස්වල පසුවන මාතර – තලගහ ප්‍රදේශයේ පදිංචිකරුවන්. ඔවුන් ඊයේ (08) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 18 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා ෴

*********************************************

වසර 48,000 කට පෙර මානවයා ජීවත් වූ, ගල් ලෙනක් වලල්ලාවිටින් සොයා ගැනේ

(09.09.2020 – 12:47 +0530 – hirunews.lk/sinhala)

පාහියන් ලෙනට සමාන වසර 48,000 කට පෙර මානවයා ජීවත් වූ බවට සැක කෙරෙන ගල් ලෙනක් වලල්ලාවිට – ගුලවිට ප්‍රදේශයේ කඳු මුදුනකින් සොයාගෙන තිබෙනවා.

ඒ, කළු ගල් කොරියකට බලපත්‍ර ලබාදීම සඳහා කරුණු සෙවීමට ගිය පුරාවිද්‍යා නිලධාරීන් පිරිසක් මෙම ගල්කොරිය ආසන්නයේ පිහිටි අදාළ ලෙන පරීක්ෂා කළ අවස්ථාවේදියි.

පසුව පසුගිය සතියේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් ද මෙම ගල් ලෙන නිරීක්ෂණයට ලක් කරනු ලැබුවා.

සිදුකළ මූලික පරීක්ෂණයේදී ප්‍රාග් ඓතිහාසික මානවයින් පදිංචි වී සිටි බවට ප්‍රමාණවත් තොරතුරු සහ සාක්ෂි හමුවූ බවයි ආචාර්ය නිමල් පෙරේරා මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ෴

*********************************************

මාතර මහාධිකරණය අසළ දී මත්කුඩු සමඟ 3 ක් අත්අඩංගුවට

(09.09.2020 – 12:51 +0530 – hirunews.lk/sinhala)

මාතර මහාධිකරණය අසළ දී රුපියල් ලක්ෂ 6 කට වැඩි මත්ද්‍රව්‍ය සමඟ තුන් දෙනෙකු (3) මාතර කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාතර ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සදහන් කළේ මාතර මහාධිකරණයේ නඩුවකට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන එන රක්ෂිත බන්ධනාගාරගතව සිටින සැකකරුවෙකුට ලබාදීම සඳහා මෙම මත්ද්‍රව්‍ය ගෙන ආ බවට සැක කරන බවයි.

ඒ අනුව සැකකරුවන් සතුව තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 57 යි මිලිග්‍රෑම් 380 ක් සොයාගෙන තිබෙනවා.

මෑත කාලයේදී මාතර ප්‍රදේශයෙන් සොයා ගත් වැඩිම මත්ද්‍රව්‍ය තොගය මෙය බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර, කළුතර – උතුර සිරිලන්ද බන්ධනාගාරයේ නිරෝධායනයට ලක්වෙමින් සිටියදී පළා ගිය කාන්තාව හොරණ ප්‍රදේශයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය හෙරොයින් සම්බන්ධ චෝදනාවකට බන්ධනාගාරගතව සිටි අතර, නිරෝධායනයට ලක්වෙමින් සිටියදී බන්ධනාගාරයෙන් පළා ගොස් තිබුණේ ඊයේ (08) පස්වරුවේයි.

මිරිහාන – කන්දවත්ත ප්‍රදේශයේ ද 42 හැවිරිදි පුද්ගලයෙකු හෙරොයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 260 ක් සමඟ මිරිහාන කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු ‘චූටි බබා’ ලෙස හඳුන්වන බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර, කැකිරාව අවට ප්‍රදේශවල තරුණයන්ට හෙරොයින් අලෙවි කළ සිව් දෙනෙකු (4) අනුරාධපුර කොට්ඨාශ මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (08) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරුවන් සතුව තිබී සොයා ගත් හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 400 ක්.

පාසල් හා පෞද්ගලික උපකාරක පන්ති සිසුන් ඉලක්ක කර ගනිමින් ගලෙන්බිඳුනුවැව – සියඹලාවැව ප්‍රදේශයේ නිවසක් තුළ සිදුකළ මත්කුඩු ජාවාරමක තොරතුරු හෙළි කර ගැනීමට පොලීසිය ඊයේ (08) සමත් වුණා.

දීර්ඝ කාලයක් අදාළ ජාවාරමේ යෙදී සිටි පුද්ගලයෙකු ද මෙහිදී පොලිස් භාරයට ගැනුණු අතර ඔහු 30 හැවිරිදි වියේ පසුවන අනුරාධපුර – උස්ගොල්ලෑව – උපුල්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර, ගංජා ග්‍රෑම් 100 ක් ළඟ තබාගෙන සිටි යුද හමුදා සෙබලෙකු වැලිපැන්න – ලද්දූව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම, හමුදාවෙන් පළා ගිය සෙබලෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ඊයේ (08) අත්අඩංගුවට ගත්තේ වැලිපැන්න – ලෙව්වන්දූව ප්‍රදේශයේදියි.

එමෙන්ම, කන්දකැටිය පොලීසිය විසින් ගංජා මිශ්‍ර බාබුල් මිලිග්‍රෑම් 2000 ක් සමඟ මීගහකිවුල – ගුරුමඩ ප්‍රදේශයේ තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

*********************************************

මහනුවරින් වාර්තා වූ භූ කම්පනය ගැන සෙවීමට තවදුරටත් පරීක්ෂණ

(09.09.2020 – 13:17 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 29 වැනිදා සිට මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකින් භූ කම්පන වාර 4 ක් මේවන විට වාර්තා වී ඇතැයි මහවැලි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ වසන්ත ඇහැලපිටිය මහතා පවසනවා.

අප කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ඒ හේතුවෙන් වික්ටෝරියා ජලාශ වේල්ලේ ආරක්ෂාව පිළිබඳවද නිරත්තර විශ්ලේශණයන් සිදුකරන බවයි.

මහනුවර දිස්ත්‍රික්කයේ අනුරගම, හාරගම, ගුරුදෙණිය, තලාතුඔය, අඹකොටේ සහ අලුත්වත්ත ඇතුළු ප්‍රදේශ කිහිපයකින් ශබ්දයක් සමඟ භූ චලන තත්ත්වයක් පළමුවරට වාර්තා වුණේ පසුගිය 29 වැනිදා රාත්‍රී 08:33 ටයි.

එහිදී ඇතැම් නිවාස ඉරි තැලීමකට ලක්ව ඇති අයුරුද දක්නට ලැබුණු අතර භූ විද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාංශය පැවසුවේ එදිනම පස්වරු 02:17 ට සහ 06:10 ට සුළු පෙර කම්පන කිහිපයක්ද එම ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවයි.

මේ අතර සැප්තැම්බර් 2 වනදා පෙරවරු 07:07 ටත් පසුගිය 29 වැනිදා සිදු වූ කම්පනයට සමාන තවත් සුළු කම්පනයක් අඹකොටේ සහ අලුත්වත්ත යන ප්‍රදේශවලින් වාර්තා වුණා.

ඒ අනුව මේවන විට භූ කම්පනවාර 4 ක් සිදුවූ බවට කොත්මලේ, රන්දණිගල සහ වික්ටෝරියා ජලාශ වේල්ලි මත ඉදි කර තිබූ භූකම්පන මාන උපකරණවල සඳහන් වන බවයි මහවැලි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ වසන්ත ඇහැලපිටිය මහතා ප්‍රකාශ කළේ.

*********************************************

බලධාරීන්ට නොපෙනෙන අඳුපැලෑන සෞඛ්‍ය මධ්‍යස්ථානය

(09.09.2020 – 13:23 +0530 – hirunews.lk/sinhala)

ජනතා මුදල් වැය කරමින් සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම මෙන්ම, ඒවා නිසි පරිදි පවත්වාගෙන යාමත් බලධාරීන්ට මගහැර නොහැකි වගකීමක්.

වසර 18 ක් පුරා බලධාරී ඇස නොගැටුණු මාතෘ හා සෞඛ්‍ය මධ්‍යස්ථානයක් පිළිබඳවයි අද (09) ‘රතු මිනිත්තුවේ’ අවධානය.

2002 වසරේදී ජන සුවය වැඩසටහන යටතේ තංගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රන්න, කදිරාගොඩ, අඳුපැලෑන ගම්මානයට මාතෘ හා ළදරු සෞඛ්‍ය මධ්‍යස්ථානයක් හිමිවන්නේ, එවකට අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන්.

මෙමගින් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 3 ක ජනතාවට සෙත සැලසුණා.

කෙසේ වෙතත්, 2002 වසරෙන් පසුව මෙම මධ්‍යස්ථානය ඉදිකිරීමට මූලිකත්වය ගත් බලධාරීන් ඇතුළු කිසිවෙකුගේ අවධානය මේ වෙත යොමු නොවීම නිසා මේ වනවිට එහි පැමිණෙන පවුල් 500 ක පමණ ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.

ඉන් ප්‍රධාන ගැටලුවක් වන්නේ මෙම සෞඛ්‍ය මධ්‍යස්ථානයට මූලික අවශ්‍යතාවන් වන විදුලිය සහ ජලය සපයා නොතිබීමයි.

පැවතිය යුතු මූලික පහසුකම් හෝ නොතිබීමේ අර්බුදය හමුවේ මෙම සෞඛ්‍ය මධ්‍යස්ථානයේ මේ වනවිට බර කිරීම සහ ත්‍රිපෝෂ ලබාදීමට පමණක් සීමා වී තිබෙනවා.

පවතින තත්ත්වය හමුවේ ප්‍රදේශයේ මව්වරුන්ට සිදුව ඇත්තේ වෙනත් දුර බැහැර සෞඛ්‍ය මධ්‍යස්ථානවලින් සිය අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමටයි.

ජනතා මුදල් විශාල ලෙස වැය කරමින් ගොඩනැගිලි ඉදිකරනවා මෙන්ම, එමගින් ජනතාවට අවශ්‍ය සේවාව ලැබෙන්නේදැයි සොයා බැලීමද බලධාරීන්ගේ වගකීමක්.

අඳුපැලැන සෞඛ්‍ය මධ්‍යස්ථානයෙන් ජනතාවට නිසි සේවාවක් ලැබෙනතෙක් ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

*********************************************

සරණක් ඉල්ලන බලංගොඩ දරුවා

(09.09.2020 – 13:26 +0530 – hirunews.lk/sinhala)

දුක් කම්කටොළු රැසක් මැද ආබාධිත දරුවෙකුද සමග දිවිගෙවන පවුලක් පිළිබඳ මේ පුවත අපට වාර්තා වුණේ බලංගොඩ ප්‍රදේශයෙන්.

මේ බලංගොඩ – තන්ජන්තැන්න ප්‍රදේශයේ පදිංචි සුරංග දර්ශන මහතාගේ නිවහනයි.

පෞද්ගලික අංශයේ රැකියාවක නිරතවූ ඔහු මීට වසර දෙකකට (2) පමණ පෙර ආබාධිත තත්ත්වයට පත්ව තිබෙනවා.

වයස අවුරුදු 5 ක් වන ඔහුගේ බාල දරුවාද උපතින් ආබාධිතයි.

දෙපා සිහින් වීම හේතුවෙන් මේ පුංචි පුතාට දෙපයින් නැඟී සිටීමට පවා නොහැකි තත්ත්වයක් උදාවී තිබෙනවා.

ආබාධිත දරුවා සහ සැමියා රැකබලා ගැනීමට සිදුවීම හේතුවෙන් සුංගගේ බිරිඳටද රැකියාවක් සඳහා නිවසින් බැහැරව යාමට හැකියාවක් නැහැ.

ඔවුන් පවසන්නේ සමෘද්ධි ආධාර හැරෙන්නට ජීවිතය ගැටගසා ගන්නට වෙනත් කිසිදු ආදායම් මාර්ගයක් නොමැති බවයි.

මේ හේතුවෙන් ලබන වසරේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීමට නියමිත වැඩිමහල් දරුවාගේ අධ්‍යාපන කටයුතුවලටද එල්ලවන බාධාව සුළුපටු නැහැ.

හිසට හරිහමන් වහළක් පවා නොමැතිව දිළිඳුකමේ හිනිපෙත්තේ දිවි ගෙවන මේ අසරණ දරු පවුලට සරණක් වන්නට ඔබට හැකි නම් එය උතුම් පිංකමක් වනු නොඅනුමානයි.

***************************************

***************************************

ආනවිලුන්දාව රක්ෂිතයට සිදුවී ඇති හානිය සම්බන්ධයෙන් අධ්‍යයනයට පත් කළ පංච පුද්ගල කමිටු වාර්තාව වනජිවි හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී.රත්නායක අද පාර්ලිමේන්තුවේ සභාගත කරනු ලැබුවා.

*********************************************

ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස්ට ඉතිරි ලක්ෂ 8 ගෙවන්නැයි නියෝග

(09.09.2020 – 14:11 +0530 – hirunews.lk/sinhala)

රිය අනතුරක් සිදුකර පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්කිරීමේ සිද්ධියට අදාළව පැමිණිලි පාර්ශවයට ඉතිරි රුපියල් ලක්ෂ 8 ක මුදල ලබාදෙන ලෙස පානදුර වැඩබලන මහේස්ත්‍රාත් ජයන්ති පීරිස් මහත්මිය අද (09) නියෝග කළා.

එම මුදල බැංකුගත කළ බව ලබාදෙන රිසිට්පත මීළඟ නඩු වාරයේදී ඉදිරිපත් කරන ලෙසයි මීට අදාළ නඩුව අද (09) කැදවූ අවස්ථාවේදී වැඩබලන මහේස්ත්‍රාත්වරිය සැකකරුට නියෝග කළේ.

පානදුර උතුර – හොරේතුඩුව ප්‍රදේශයේ පරණ ගාලුපාරේ දී පසුගිය ජූලි 5 වනදා කුසල් මෙන්ඩිස්ගේ මෝටර් රථයේ ගැටී ජීවිතක්ෂයට පත්වූයේ 64 හැවිරිදි සිව්දරු පියෙක්.

පැමිණිලි පාර්ශවයට රුපියල් ලක්ෂ 10 ක් ගෙවන ලෙස අධිකරණය නියෝග කර තිබූ අතර, රුපියල් ලක්ෂ 2 ක් පැමිණිලි පාර්ශවයට ලබාදීමට කුසල් මෙන්ඩිස් කටයුතු කර තිබුණා.

*********************************************

20 වැනි සංශෝධනයේ වැරදි නිවැරදි කරන ලෙස ජාතික සංවිධාන ජනපතිගෙන් ඉල්ලයි

(09.09.2020 – 14:23 +0530 – lankaleadnews.com)

20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාලව ඇති තාක්ෂණික සහ ප්‍රතිපත්තිමය වැරදි නිවරදි කරන ලෙස ඉල්ලා ජාතික සංවිධාන එකමුතුව විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

එම සංවිධානයේ කැඳවුම්කරු සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර මහතා විසින් යොමු කර ඇති එම ලිපිය පහතින් දැක්වෙයි :

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,
ජනාධිපති කාර් යාලය,
කොළඹ.

ජනාධිපතිතුමනි,

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සහ ඒ ආශ්‍රිත ගැටළු පිළිබඳව

ඔබතුමා විසින් සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් රටට නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බවට සහ ඒ මගින් රාජ්‍ය තුල පුළුල් ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු බවට මහජනයා අතර බලවත් අපේක්ෂාවක් ජනිත කරන ලදි. ඔබතුමාගේ අධිෂ්ඨානය ජනතාව විසින් දෙවරක්ම ඉතා ඉහළින්ම අනුමත කරන ලද්දේ ඒ නිසාය. ඔබතුමා, එදා එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා මෙන්, ඉතිහාසය විසින් යුගයේ ප්‍රබල අවශ්‍යතාවයක් සඳහා නිර්මාණය කරන ලද චරිතයක් හෙවත් භූමිකාවකි. ඒ නිසා නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම මගින් ව්‍යවස්ථා විප්ලවයක් සිදු කිරීම සඳහා මීට වඩා මනරම් අවස්ථාවක් ඉතිහාසය විසින් නිර්මාණය කරනු ඇතැයි සිතිය නොහැක.

අප රටේ අද සිටින සියලු විපක්ෂ බලවේග වලට මහජනයා විසින් ඉතා දරුණු ලෙස දඩුවම් ලබා දෙන්නේ ඔවුන් විසින් සිදු කළ මහා ඓතිහාසික පාවාදීම් වලට එරෙහිව අවසන් ප්‍රතිචාරයක් ලෙස යැයි අපි සිතමු. ඒ නිසා ඔබතුමාට ඉතිහාසයේ අන් කවර පාලකයෙකුටත් වඩා සෑම ක්‍රියාවකදීම පරිස්සම් වීමට සිදු වේ. ඔබතුමා විසින් ඉටු කළ යුතු සහ ඉතිහාසය විසින් ඉල්ලා සිටින ජාතික වගකීම් ඉටු කිරීමේදී මානසික බාධක පනවාගත යුතු බවක් ඉන් අදහස් නොවේ. ඔබතුමාට ජනතාව විසින් මහා ජනවරමක් ලබා දෙන විට අප රටේ දීර්ඝ කාලයක් තිස්සේ පරිහානියට ලක්වූ නිලධාරී තන්ත්‍රය වෙනස් කිරීමක් සිදු වූයේ නැත. ඒ සඳහා ජනවරමේ ගුණය සහ එබතුමාගේ ගුණය එක්කළ දීර්ඝ කාලීන ප්‍රතිකාරයක් අවශ්‍ය වනු ඇත. එතෙක් ඔබතුමාට ගමන යාමට සිදුවන්නේ ඔවුන් විසින් දැනුවත්ව සහ නොදැනුවත්ව කපන ලද බොරු වලවල් මඟ හරිමිනි. ඒ නිසා අප විසින් අවධාරණය කරනු ලබන්නේ ජනතා අපේක්ෂාවන්ට ඉතා තීරණාත්මක ලෙස බලපාන ජාතික වැදගත්කමක් සහිත තීන්දු පිළිබඳව දෙවරක් සිතා බලන ලෙස පමණි. නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය ඉතා බලවත් වන්නේ එම තත්වය නිසාය. එසේම නව ව්‍යවස්ථාවක් සම්මත කරන තෙක් ඔබතුමාට කාර්යක්ෂමව සහ ප්‍රතිඵලදායක ලෙස තීන්දු තීරණ ගැනීම සඳහා ඉඩ සලසන ව්‍යවස්ථා සංශෝධනයක අවශ්‍යතාවය අප පිළිගනිමු.

එහිදී ජනතාව විසින් පරාජයට පත් කළ බලවේග විසින් සිදු කළ වැරදි කිසිවක් ඔබ විසින් නොකළයුතු බවට විවාදයක් නැත. ඔබතුමාට ඉතිහාසය විසින් පවරා ඇති භූමිකාව වන්නේ ඔවුන් විසින් සිදු කළ යහපත් දෙයක් ඇත්නම් එය ආරක්ෂා කරන අතර ඔවුන් විසින් සිදු නොකළ සහ ඔබ අපේක්ෂා කරන යහපත් දේ සිදු කිරීම යැයි අපි විශ්වාස කරමු. එම අර්ථයෙන් අප ඔබතුමාට පහත සඳහන් කරුණු අවධාරණය කරන්නෙමු. ඊට අමතරව නව ව්‍යවස්ථාවක් හෝ ප්‍රතිපත්තියක් සඳහා මහජන කැමැත්ත ලබා ගැනීමේදී එහි අන්තර්ගතය තරමටම එම අන්තර්ගතයට ලඟා වීම සඳහා යොදා ගන්නා ක්‍රමවේදයද ඉතා වැදගත් වන බවද සදහන් කරන්නෙමු.

1. නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට අදාලව මහජන අදහස් ලබා ගැනීමේ යාන්ත්‍රණයක් සකස්කොට සියලු දේශපාලන පක්ෂ සහ බලවේග වලට දේශපාලන හැංගිමුත්තන් කෙලීමට ඉඩ නොදී ඔවුන්ගේ යෝජනා විවෘතව ඉදිරිපත් කිරීමට බල කෙරෙන ක්‍රමවේදයක් හදුන්වාදීම.

2. නව ව්‍යවස්ථාව සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් පවත්වන තෙක් වෙනත් කිසිදු මැතිවරණයක් නොපැවැත්වීම. එහිදී පළාත්සභා මැතිවරණය නව ව්‍යවස්ථාව සම්මත කිරීමෙන් පසුව සිදු කිරීම වැදගත් වන්නේ ඉන් පසුව රටේ ජනතාවට අලුතෙන් සිතන්නට සිදුවීම නිසා මෙන්ම නව ව්‍යවස්ථාවේ නව ප්‍රතිපාදන අනුව එම බල ව්‍යුහයන් වෙනස් වීමට ඉඩ ඇති බැවිනි. (පසුගිය වසර තුනකට අධික කාලයක් තිස්සේ පළාත්සභා රැස් නොවීම පිළිබඳව උතුරේ හෝ දකුණේ කිසිදු විරෝධයක් පැන නැඟුනේ නැත.)

3. 20 වැනි සංශෝධනයට අදාලව පහත සදහන් තාක්ෂණික සහ ප්‍රතිපත්තිමය වැරදි නිවරදි කිරීම. ඊට අමතරව කෙටුම්පත පිළිබඳව ලිඛිතව අදහස් දැක්වීමට අමාත්‍ය මණ්ඩලයට ඉඩ ලබා දීමද වැදගත්වේ. එම කොන්දේසි සැපිරීමෙන් පසුව කෙටුම්පත නැවත සංශෝධනය කොට නව කෙටුම්පතක් ලෙස ගැසට් කිරීමද වැදගත්වේ. ඊට හේතුව එම සංශෝධන පසුව කාරකසභා අවස්ථාවේදී ඇතුල් කිරීමට උත්සාහ කළහොත් 19 වැනි සංශෝධනය සම්මත කිරීමේදී සිදුවූ ආකාරයට කෙටුම්පතේ නොමැති අහිතකර සංශෝධන පවා යෝජනා වීමට ඉඩ තිබීමය.

i. නව පනත් කෙටුම්පතක් ගැසට් කිරීමෙන් පසුව මහජන සංවාදයට ලක්කිරීම සඳහා ලබාදී තිබූ දින 14 ක කාලය දින 7 ක් දක්වා අඩු කිරීමේ වරද නිවැරදි කිරීම.

ii. මහජන සංවාදයට ඉඩ අහුරමින් ‘හදිසි පනත්’ සම්මත කිරීමට ඉඩ සලසන ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රතිපාදනය නැවත ඉවත් කිරීම.

iii. 53 වන වගන්තිය සංශෝධනය කිරීමේදී 7 වැනි උපලේඛනය ඉවත්වීම මගින් නිර්මාණය වී ඇති බෙදුම්වාදයට පක්ෂපාතී ප්‍රතිපාදනය නිවැරදි කිරීම.

iv. ද්විත්ව පුරවැසියන් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීධූර දැරීම වැලැක්වීම සඳහා පනවා තිබූ බාධකය මහබැංකු අධිපති, නීතිපති, පොලිස්පති, විගණකාධිපති, හමුදාපතිවරු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සහ අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුලත් වන ලෙස නැවත පැනවීම.

v. විගණන කොමිසම අහෝසි කිරීමේ වරද සහ යම් රාජ්‍ය ආයතන විගණනයෙන් නිදහස් කිරීමේ වරද නිවැරදි කිරීම.

ඔබතුමාට තෙරුවන් සරණයි

සාහිත්‍යශූරී ගුණදාස අමරසේකර
කැඳවුම්කරු,
ජාතික සංවිධාන එකමුතුව

2020.09.09

*********************************************

අටළුගම ගංජා වැටලීමේදී පොලීසියට පහරදුන් 4 දෙනෙකු අත්අඩංගුවට – පොලීසියේ 4 කටත් තුවාල

(09.09.2020 – 15:24 +0530 – hirunews.lk/sinhala)

බණ්ඩාරගම – අටළුගම – මාරාව ප්‍රදේශයේ නිවසක් තුළ සිදුවන ගංජා ජාවාරමක් වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට එහි සිටි නිවැසියන් විසින් සිදුකළ පහරදීමක් හේතුවෙන් හේතුවෙන් පොලිස් නිලධාරින් 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ පොලිස් නිලධාරින් අතර කාන්තා පොලිස් සැරයන්වරියක් සහ පොලිස් කොස්තාපල්වරියක් ද සිටින බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.

නිවසේ සිටි කාන්තාවන් 4 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 4 දෙනෙකු මෙලෙස පොලිස් නිලධාරින්ට බාධා කරමින් කලහකාරි ලෙස හැසිරී ඇති බව සඳහන්. එහිදී උණුසුම් තත්ත්වයක්ද ඇති වුණා.

පසුව පහරදීමේ සිද්ධියට අදාළව කාන්තාවන් තුන්දෙනෙකු (3) සහ තවත් අයෙකු (1) බණ්ඩාරගම පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තා.

එමෙන්ම, තවත් පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පිරිස ‘අටළුගම 32 කල්ලිය’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වා තිබෙනවා.

දීර්ඝ කාලයක සිට මෙම නිවසේ සිටි පිරිස් ගංජා ජාවාරමේ නිරතව ඇති අතර පසුව සිදුකළ පරීක්ෂා කිරීම්වලදී නිවසේ තිබී කේරළ ගංජා ග්‍රෑම් 500 ක් පමණ සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

පහරදීමෙන් තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු (2), කාන්තා පොලිස් සැරයන්වරියක (1) හා පොලිස් කොස්තාපල්වරිය (1) බණ්ඩාරගම රෝහලෙන් ප්‍රතිකාර ලබාගෙන තිබුණා.

මේ අතර, දැනට රැඳවුම් නියෝග ලබා ගෙන ප්‍රශ්න කරමින් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘මධූෂ් ලක්ෂිත’ හෙවත් ‘මාකඳුරේ මධූෂ්’ට ඇප ලබාදෙන ලෙස ඔහුගේ නීතිඥයින් කළ ඉල්ලීමක් කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ඔහුගේ නීතිඥයින් ඇප ඉල්ලීම කරමින් අධිකරණයට දැනුම් දුන්නේ තම සේවාදායකයා මැයි මාසයේ සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බවයි.

රැඳවුම් නියෝග ලබා ගැනීමේ කාල සීමාව ද ඉක්මවා ඇති බැවින් එය ගැටලුකාරි තත්ත්වයක් බව ද මධූෂ් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට පෙන්වා දුන්නා.

එමෙන්ම, අක්මීමන ප්‍රදේශයේ පැවති ෆේස්බුක් සාදයක් වටලා කේරළ ගංජා සමග පසුගිය 29 වනදා අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටි තරුණයින් 26 දෙනා සහ තරුණියන් දෙදෙනාට (2) අදාළ නඩුව අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබුවා.

එහිදී තවමත් උසස් අධ්‍යාපනය ලබන සිසුන් 5 දෙනෙකුට රුපියල් 1500 බැගින් දඩ මුදලක් ද අනෙක් 21 දෙනාට රුපියල් 5000 බැගින් දඩ මුදලක් ද ගෙවන ලෙස අධිකරණය නියෝග කළා.

මීට අමතරව, අත්අඩංගුවට ගත්, සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයෙකු වන ‘ගනේමුල්ල සංජීව’ නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු වන ‘වැලිපේ සුරාජ්’ ලබන 14 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද (09) පොලීසියට අවසර ලබා දුන්නා.

මේ අතර, රුපියල් ලක්ෂ 65 ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් පොලීසිය මගහැර සිටින සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතනවා.

අනුරාධපුර විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත ලද පැමිණිලි 3 ක් අනුවයි ‘සමන් කුමාර හේරත්’ නමැති එප්පාවල – කෝන්වැව පාර ප්‍රදේශයේ පදිංචි සැකකරුට එරෙහිව චෝදනා ගොනුකර ඇත්තේ.

++++++++++++

(10.09.2020 – 07:54 +0530 – hirunews.lk/sinhala)

බණ්ඩාරගම – අටළුගම – මාරාව ප්‍රදේශයේ නිවසක් තුළ සිදුකළ ගංජා ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට නිවැසියන් සිදුකළ පහරදීම සම්බන්ධයෙන් තවත් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මෙම පහරදීම සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 6 ක්.

සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (09) දිනයේ 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔවුන් අතර කාන්තාවන් 3 දෙනෙකු ද වන බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම පහරදීමෙන් පොලිස් නිළධාරීන් 4 දෙනෙකු තුවාල ලබා ඇති අතර, කාන්තා පොලිස් සැරයන්වරියක් සහ පොලිස් කොස්තාපල්වරියක් ද ඒ අතර වනවා ෴

+++++++++++++++++++++

*********************************************

සුරාබදු නිලධාරීන් අයකළ රුපියල් 3,650,000 ක දඩයක් ආපසු ගෙවන්න අධිකරණ නියෝගයක්

(09.09.2020 – 16:02 +0530 – hirunews.lk/sinhala)

සුරාබදු පනත යටතේ සිදුකළ වරදක් සම්බන්ධයෙන් නීතියෙන් නියම කළ හැකි උපරිම දඩ මුදල ඉක්මවා අය කළ රුපියල් 3,650,000 ක මුදලක් ආපසු ගෙවන ලෙස අභියාචනාධිකරණය සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට අද (09) නියෝග කළා.

ඒ නාවලපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 3 දෙනෙකු විසින් ඉදිරිපත් කළ පෙත්සමක තීන්දුව ලබාදෙමින්.

පෙත්සම්කරුවන් අධිකරණය හමුවේ පෙන්වා දී තිබුණේ තමන් විසින් පවත්වාගෙන ගිය මත්පැන්හලක් වැටලූ සුරාබදු නිලධාරීන් ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 50 ක දඩයක් නියම කර රුපියල් ලක්ෂ 40 ක මුදලක් දඩ වශයෙන් ගෙවන ලෙස නියෝග කළ බවයි.

එහෙත්, සුරාබදු පනත යටතේ අදාළ වරද සඳහා අයකළ හැකි උපරිම දඩ මුදල රුපියල් ලක්ෂ 5 ක් බව පෙන්වා දී ඇති පෙත්සම්කරුවන් ඒ අනුව, තමන්ට නියම කර ඇති දඩය නීතිවිරෝධී බව සඳහන් කර තිබෙනවා.

අදාල කරුණ පිළිගත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාට නියම කර ඇත්තේ එම දඩ මුදලින් රුපියල් 3,650,000 ක මුදලක් පෙත්සම්කරුවන් වෙත ආපසු ගෙවන ලෙසටයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *