සංහිඳියාවට ප්‍රමුඛත්වය ලබාදීම වරදක් – හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස්

සංහිඳියාවට ප්‍රමුඛත්වය ලබාදීම වරදක් – හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස්

කඩුවෙල හිටපු මහේස්ත්‍රාත් ධම්මික හේමපාලට දේශපාලන පලිගැනීම් ගැන සොයන කොමිසමෙන් රතු එළියක්

ණය ලබාදීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නැයි අගමැතිගෙන් රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට උපදෙස්

මොරවැවදී වන ජීවී භූමියක් ගිනි තැබූ හැටි හිරු CIA කැමරාවේ

මවුලවිවරයෙකු රහසිගතව පාස්කු කොමිසමේ සාක්ෂි පටිගත කළ හැටි එළියට

මහනුවර කම්පන ගැන යළි පරීක්ෂණ

ගව ඝාතනය නවත්වන යෝජනාව මසකින් අමාත්‍ය මණ්ඩලයට

දික්වැල්ලේ දී ආයුධ සමඟ තුන් දෙනෙකු (3) අත්අඩංගුවට

රජයේ ආයතනවල මහජන දිනය සඳුදා දිනයට ගෙන එයි

මඩ පොහොර නොමිලේ – අනෙක් බෝග සඳහා පොහොර කිලෝ 50 මිටියක් 1500 කට

ධනංජයගේ සොහොයුරා පියාගේ ඝාතකයන්ට පහරදෙයි

ඇප කොන්දේසි ලිහිල් කරන්නැයි රිෂාඩ්ගේ සොහොයුරා ඉදිරිපත් කළ අයදුම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

රෝහල් ආහාරයේ, රස ගුණ සුරකින නව ව්‍යාපෘතියක්

*********************************************

සංහිඳියාවට ප්‍රමුඛත්වය ලබාදීම වරදක් – හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස්

(09.09.2020 – 21:25 +0530 – hirunews.lk/sinhala)

තමන් ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස කටයුතු කළ පසුගිය යහපාලන ආණ්ඩු කාලය තුළ ජාතික ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබා නොදි සංහිඳියාවට ප්‍රමුඛත්වය ලබාදීම වරදක් බව හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා පිළිගත්තා.

ඒ, පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ඔහු පළමු වරට සාක්ෂි ලබාදුන් අවස්ථාවේදියි.

*********************************************

කඩුවෙල හිටපු මහේස්ත්‍රාත් ධම්මික හේමපාලට දේශපාලන පලිගැනීම් ගැන සොයන කොමිසමෙන් රතු එළියක්

(09.09.2020 – 19:38 +0530 – hirunews.lk/sinhala)

වැඩතහනමට ලක්වූ කඩුවෙල හිටපු මහේස්ත්‍රාත් ධම්මික හේමපාල ලබන 11 වනදා දේශපාලන පලිගැනීම් පිලිබඳ සොයා බැලෙන ජනාධිපති කොමිසම හමුවේ පෙනී නොසිටියහොත් කොමිසමට අපහාස කිරීම යටතේ ඔහුට එරෙහිව ක්‍රියාකරන බව එහි සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා සඳහන් කළා.

ඒ ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා කළ පැමිණිල්ලක් අද (09) එම කොමිසම හමුවේ කැඳවූ අවස්ථාවේදීයි ෴

+++++++++++

*********************************************

ණය ලබාදීමේදී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නැයි අගමැතිගෙන් රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට උපදෙස්

(09.09.2020 – 20:18 +0530 – hirunews.lk/sinhala)

විවිධ අර්බුදයන්ට ලක්ව සිටින ජනතාව ඉන් මුදා ගැනීම සදහා ණය ලබාදීමේදි ලිහිල් ප්‍රතිපත්තියක් අනුමනය කරන්නැයි මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට අද (09) උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ, එම අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින්.

*********************************************

මොරවැවදී වන ජීවී භූමියක් ගිනි තැබූ හැටි හිරු CIA කැමරාවේ

(09.09.2020 – 21:35 +0530 – hirunews.lk/sinhala)

වන ජීවී දෙපාර්තමේන්තුවට අයත් බවට දැන්වීම් පුවරු සවිකර ඇති භූමියක් ගිනි තබා විනාශ කරන බවට ‘හිරු සී.අයි.ඒ.’ තොරතුරු වාර්තා වුණා.

ඒ අනුව වහා ක්‍රියාත්මක වු ‘හිරු සී.අයි.ඒ.’ කණ්ඩායම හොරොව්පතාන – මොරවැව ප්‍රදේශයේ ගිනි තබා ඇති වන ජීවී ඉඩම සොයා ගියා.

අප එහි ලගා වනවිටත් තැන තැන ගිනි ගැනීම් දක්නට ලැබුනේ මෙලෙසයි.

*********************************************

මවුලවිවරයෙකු රහසිගතව පාස්කු කොමිසමේ සාක්ෂි පටිගත කළ හැටි එළියට

(09.09.2020 – 22:46 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනපති කොමිසමේ සාක්ෂි විමසීමක් ජංගම දුරකථනයකින් රහසිගතව රූගත කළ මවුලවිවරයෙකුගෙන් සහ නීතිඥයෙකුගෙන් ප්‍රකාශ ලබා ගන්නා ලෙස කොමිසමේ සභාපති විනිසුරුවරයා එහි පොලිස් විමර්ශන ඒකකයට නියෝග කර තිබෙනවා.

මෙලෙස රහසිගතව සාක්ෂි විමසීම පටිගත කර තිබුණේ සමස්ත ලංකා ජමියියතුල් උලමා සංවිධානයේ වැඩබලන ලේකම්වරයෙක්.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා සමස්ත ලංකා ජමෙයියතුල් උලමා සංවිධානය නියෝජනය කළ නීතිඥවරුන්ට සිය බලවත් අප්‍රසාදය පළ කළකර තිබෙනවා.

+++++++++++++

(10.09.2020 – 12:07 +0530)

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සාක්ෂි ලබාදෙන ආකාර රූගත කළ සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානයේ ලේකම්වරයෙකු වන මව්ලවිවරයාට සහ ඔහුට සහය දුන් නීතිඥවරයාට අභියාචනාධිකරණය හමුවේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පාස්කු කොමිසමේ සභාපති විනිසුරු, එහි ලේකම්වරයාට නියෝග කර තිබෙනවා.

එමෙන්ම ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විනය කමිටුවට දන්වා සුදුසු ක්‍රියමාර්ග ගන්නා ලෙස ද සභාපති විනිසුරුවරයා කොමිසමේ ලේකම්වරයාට නියෝග කර ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ වනවිට කොමිසමේ රැදී සිටින නීතිඥවරුන්ට මෙහිදී සභාපති විනිසුරුවරයා අවවාද කළේ තම අනාගතය සම්බන්ධයෙන් සිතාබලා නීත්‍යානුකුල ලෙස කොමිසමේදී කටයුතු කරන ලෙසයි.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (09) සාක්ෂි ලබා දෙන අවස්ථාවේදී එය සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානයේ වැඩබලන ලේකම්වරයෙකු වන මව්ලවිවරයෙකු රහසිගත ලෙස රූගත කර තිබුණා.

පසුව, කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරින් ඔහුව පිටතට රැගෙන ආ අතර, ඒ පිළිබඳව ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගන්නා ලෙස ද කොමිසමේ සභාපති විනිසුරුවරයා ඊයේ (09) එහි පොලිස් ඒකකයට නියෝග කරනු ලැබුවා.

++++++++++++++++

ජනපති කොමිසමේ සාක්ෂි පටිගත කළ මවුලවිවරයා, උලමා සංවිධානයෙන් ඉල්ලා අස්වෙයි

(11.09.2020 – 07:23 +0530 – hirunews.lk/sinhala)

බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සාක්ෂි ලබාදෙන ආකාරය පටිගත කිරීමේ සිද්ධියකට චෝදනා එල්ල වූ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ සහකාර මහ ලේකම්වරයාගේ ක්‍රියාව සම්බන්ධයෙන් එම සංවිධානය දැඩි අප්‍රසාදය හා කණස්සල්ල පළ කර තිබෙනවා.

එමෙන්ම, තම සංවිධානයෙන් ඔහු තාවකාලිකව ඉල්ලා අස්වූ බවටයි නිවේදනයක් නිකුත් කරමින් සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය සඳහන් කළේ.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පෙරේදා (09) සාක්ෂි ලබා දෙන අවස්ථාවේදී එය සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ සහකාර මහ ලේකම්වරයා රහසිගත ලෙස පටිගත කර තිබුණා.

පසුව, කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරින් ඔහුව පිටතට රැගෙන ආ අතර, ඒ පිළිබඳව ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගන්නා ලෙස ද කොමිසමේ සභාපති විනිසුරුවරයා එහි පොලිස් ඒකකයට නියෝග කරනු ලැබුවා.

එමෙන්ම, සහකාර ලේකම්වරයාට සහ සහය දුන් නීතිඥවරයාට අභියාචනාධිකරණය හමුවේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි පාස්කු කොමිසමේ සභාපති විනිසුරු, එහි ලේකම්වරයාට නියෝග කළේ.

කෙසේ වෙතත්, මෙම සිදුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ විධායක කමිටු රැස්වීමක් ඊයේ (10) කැඳවූ අතර, එහිදී ඔවුන් විසින් තීරණය කර ඇත්තේ තම සංවිධානයේ ව්‍යවස්ථාවට අනුකූලව සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක්ද පත් කිරීමටයි ෴

*********************************************

මහනුවර කම්පන ගැන යළි පරීක්ෂණ

(10.09.2020 – 07:57 +0530 – hirunews.lk/sinhala)

පසුගිය 29 වැනිදා සිට දින කිහිපයක් තුළ මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ඇති වූ භූ කම්පනවල පැලුම් සහ භූගත ජලය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ප්‍රකාශ කළා.

එහි ඛනිජ සමීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ නලින්ද සිල්වා මහතා කොළඹ ඊයේ (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ එම ප්‍රදේශවල මීට වසර කිහිපයකට ඉහතදීද භූ කම්පන සිදුවී ඇති බවයි.

ප්‍රදේශයේ සිදුකරන ඛනිජ සම්පත් කැණීම්වලදී මෙම කම්පන තත්ත්වයන් ඇතිවන බවයි ඔහු ප්‍රකාශ කළේ.

මේ අතර, මහවැලි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ වසන්ත ඇහැලපිටිය මහතා ඊයේ (09) මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ එම ප්‍රදේශවල සවිකර ඇති මාපකවල භූ කම්පන සටහන් වී ඇති බවයි.

කෙසේ වෙතත්, වික්ටෝරියා ජලාශ වේල්ලේ ආරක්ෂාව පිළිබඳව විශ්ලේෂණයක් සිදුකරන බවද ඔහු සඳහන් කළා.

අවස්ථා කිහිපයකදී මහනුවර දිස්ත්‍රික්කයේ අනුරගම, හාරගම, ගුරුදෙනිය, තලාතුඔය, අඹකොටේ සහ අලුත්වත්ත ඇතුළු ප්‍රදේශ කිහිපයකින් මෙම භූ කම්පන තත්ත්වයන් වාර්තා වුණා ෴

++++++++++++

මහනුවර ඇතිවූ සුළු භූ කම්පන ගැන අනියත බියක් ඇතිකරගත යුතු නෑ

(10.09.2020 – 14:38 +0530 – hirunews.lk/sinhala)

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ඇති වූ සුළු භූ කම්පන සහ පැලුම් සම්බන්ධයෙන් අනියත බියක් ඇති නොකරගත යුතු බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කරනවා.

එම කාර්යංශයේ නිලධාරීන් මේ බව සඳහන් කළේ කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින්.

*********************************************

ගව ඝාතනය නවත්වන යෝජනාව මසකින් අමාත්‍ය මණ්ඩලයට

(10.09.2020 – 09:22 +0530 – hirunews.lk/sinhala)

මෙරට තුළ ගව ඝාතනය තහනම් කිරීමට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව තවත් මාසයකින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

අදාළ කැබිනට් පත්‍රිකාව විෂය භාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරනු ඇති බවයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ.

මෙරට තුළ ගව ඝාතනය තහනම් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව පසුගියදා පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමටද ඉදිරිපත් කෙරුණා.

අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ එම යෝජනාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ අනුමැතියද හිමි වූ අතර, අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සකස් කිරීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් සිදුවනු ඇති.

මේ අතර, ගව ඝාතනය තහනම් කිරීමට ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් මහා සංඝරත්නය ප්‍රසාදය පළ කරනවා.

*********************************************

දික්වැල්ලේ දී ආයුධ සමඟ තුන් දෙනෙකු (3) අත්අඩංගුවට

(10.09.2020 – 09:49 +0530 – hirunews.lk/sinhala)

දික්වැල්ල – බෝදරකන්ද ප්‍රදේශයේදී අවි ආයුධ කිහිපයක් සමඟ 3 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ඊයේ (09) ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී අත්අඩංගුවට ගත් මොවුන් ලඟ තිබී බෝර 12 වර්ගයේ ගිනි අවියක්, විවිධ වර්ගයේ පිස්තෝල දෙකක්, බෝර 12 පතොරොම් 27 ක්, ටී 56 පතොරොම් 5 ක්, කඩුවක් සහ පිහියක් ද සොයාගෙන ඇති බවයි.

මොවුන් අවුරුදු 19 ත් 62 ත් අතර වයස්වල පසුවන බෝරකන්ද සහ ඌරුගමුව ප්‍රදේශවල පදිංචිකරුවන්.

++++++++++++++

(10.09.2020 – 07:20 +0530 – hirunews.lk/sinhala)

කෙසෙල්වත්ත ප්‍රදේශයේදී අයිස් ග්‍රෑම් 100 ක් සමඟ දෙදෙනෙකු (2) පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ ඊයේ (09) පස්වරුවේ සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 60 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (2) මොරටුව ප්‍රදේශයේදීත්, හෙරොයින් ග්‍රෑම් 2 ක් සමඟ විශ්‍රාමික යුද හමුදා කර්නර්වරයෙකු ඊයේ (09) මහරගම පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බවයි ෴

++++++++++++++

(10.09.2020 – 10:07 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට බන්ධනාගාර ගත කර සිටින ‘සමන්ත කුමාර’ හෙවත් ‘වෙලේ සුදා’ගේ බිරිඳගේ වැඩිමහල් සොහොයුරිය විවාහ වී සිටි පුද්ගලයා ඇතුළු 3 දෙනෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගාල්ල – ඉමදූව – ඇල්ලගොඩ ප්‍රදේශයේදියි.

ඔවුන් ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 1 යි මිලිග්‍රෑම් 300 ක් සහ මුදලින් රුපියල් 37,500 ක්, ජංගම දුරකථන 4 ක් සහ බැංකු පොතක් ද ඊයේ (09) පොලිස් භාරයට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් දෙදෙනා (2) කොහුවල ප්‍රදේශයේ පදිංචිකරුවන් ෴

++++++++++++++++

අවිස්සාවේල්ල – දෙහිඕවිට ප්‍රදේශයේදී විදේශ රටක නිෂ්පාදිත ගිනි අවි දෙකක් (2) සමඟ දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඊයේ (09) පස්වරුවේ මෙම වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකරුවන් සතුව තිබූ බෝර 12 වර්ගයේ සහ බෝර 16 වර්ගයේ විදේශ රටවල නිෂ්පාදිත ගිනි අවි දෙක (2) පොලිස් භාරයට ගත් බවයි.

සැකකරුවන් අවුරුදු 34 සහ 67 වයස්වල පසුවන අවිස්සාවේල්ල – පිටදෙනිය සහ දෙහිඕවිට ප්‍රදේශවල පදිංචිකරුවන් ෴

*********************************************

රජයේ ආයතනවල මහජන දිනය සඳුදා දිනයට ගෙන එයි

(10.09.2020 – 10:21 +0530 – hirunews.lk/sinhala)

මහජනතාවට රාජ්‍ය ආයතනවලින් සිය සේවාවන් ඉටු කර ගැනීමට සඳුදා දිනය වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව මෙතෙක් පැවති බදාදා දිනය වෙනස් වන අතර මින් ඉදිරියට රාජ්‍ය ආයතනවල නිලධාරීන් මහජන අවශ්‍යතා ඉටු කිරීම පිණිස සඳුදා දිනයේදී කාර්යාලයේ අනිවාර්යයෙන්ම රැදී සිටිය යුතු වනවා.

*********************************************

මඩ පොහොර නොමිලේ – අනෙක් බෝග සඳහා පොහොර කිලෝ 50 මිටියක් 1500 කට

(10.09.2020 – 10:31 +0530 – hirunews.lk/sinhala)

මහ කන්නය සඳහා අවශ්‍ය මඩ පොහොර සියල්ල නොමිලේ ලබාදෙන බවත් අනෙකුත් බෝග වගාවන් සඳහා අවශ්‍ය පොහොර කිලෝ 50 ක මිටියක් රුපියල් 1500 ක මුදලකට ලබාදෙන බවත් සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙම වසර තුළදී අමතර පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂ 3 ක් මෙරටට ආනයනය සඳහා ද කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

+++++++++++++++++++++

*********************************************

ධනංජයගේ සොහොයුරා පියාගේ ඝාතකයන්ට පහරදෙයි

(10.09.2020 – 11:14 +0530 – hirunews.lk/sinhala)

​ඝාතනයට ලක්වූ දෙහිවල – ගල්කිස්ස නගර සභාවේ හිටපු මන්ත්‍රී රංජන් ද සිල්වා මහතාගේ පුත් සාවිත්‍ර ද සිල්වා පුද්ගලයෙකුට පහර දෙන ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා.

මේ සම්බන්ධයෙන් අප සාවිත්‍ර ද සිල්වාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ, සිය පියා ඝාතන සිද්ධියේ සැකකරුවෙකුට තමන් මෙලෙස පහර දුන් බවයි.

*********************************************

ඇප කොන්දේසි ලිහිල් කරන්නැයි රිෂාඩ්ගේ සොහොයුරා ඉදිරිපත් කළ අයදුම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

(10.09.2020 – 11:34 +0530 – hirunews.lk/sinhala)

මන්නාරම ප්‍රදේශය ඉඩම් නඩුව සම්බන්ධයෙන් ඇප කොන්දේසි ලිහිල් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සහෝදර රිෆ්කාන් බදියුදීන් ඉදිරිපත් කළ අයදුම්පත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කර තිබෙනවා.

*********************************************

රෝහල් ආහාරයේ, රස ගුණ සුරකින නව ව්‍යාපෘතියක්

(10.09.2020 – 12:23 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ට නොමිලේ ලබාදෙන ආහාර පාන වල රස හා ගුණ ඉහල නංවන විශේෂ වැඩපිලිවෙලක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත, ක්‍රියාත්මක කිරීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය බලාපොරොත්තු වන බව ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසනවා.

මෙහිදී ඒ ඒ රෝහල් වල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ පෝෂණ සහ සෞඛ්‍ය අවශ්‍යතා පිළිබඳව සැලකිලිමත් වන අතර විශේෂයෙන් සැලකිලිමත් විය යුතු අවස්ථාවලදී අවශ්‍ය බලධාරීන්, විශේෂඥයින් සමගද සාකච්ජා කරනවා.

රෝහල් බලධාරීන්, අදාල තාක්ෂණික කාර්‍ය මණ්ඩල, ආහාර නිරීක්ෂිකාවන් මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන්, පෝෂණවේදීන් එක්කර ගනිමින් විශේෂ පුහුණු වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර මෙම පුහුණුව සඳහා දිවයිනේ දක්ෂ සූපවේදීන්ද සහභාගී කර ගනු ඇති.

කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ව්‍යාපෘතියේ සියලු කරුණු මහජන අදහස් අනුව සැලසුම් කිරීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය බලාපොරොත්තු වනවා.

මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීමට වැදගත්වන අදහස් හා යෝජනා ඔක්තෝබර් 30 වනදා මධ්‍යහන 12 ට පෙර ලබාදෙන මෙන් කාරුණිකව ඉල්ලීමක් කරන අතර, සාමාන්‍ය තැපෑලෙන් හෝ විද්‍යුත් තැපෑලෙන් මෙම යෝජනා හෝ අදහස් යොමුකල හැකියි.

අදහස් හා යෝජනා යොමු කරන සියලුදෙනා තෝරාගත් දිනයකදී විශේෂ සාකච්ජාවක් සඳහා කැඳවීමටද ව්‍යාපෘති කාර්යාලය බලාපොරොත්තු වනවා.

ලිපිනය :
ප්‍රාථමික සෞඛ්‍ය සේවා සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය
අංක 191, තෙවැනි මහල, ජේ.ආර්.ජයවර්ධන කේන්ද්‍රය
කොළඹ 07

විද්‍යුත් ලිපිනය :
psspmoh.lk@gmail.com

විමසීම් : 011 268 0549 (තනුජා)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *