රුසියාවේ සරසවි 4 ක් වෛද්‍ය සභාව ප්‍රතික්ෂේප කරයි

රුසියාවේ සරසවි 4 ක් වෛද්‍ය සභාව ප්‍රතික්ෂේප කරයි

තලවතුගොඩ නිවසක් තුල තිබී පුවත්පත් මාධ්‍යවේදියෙකුගේ මළ සිරුරක් හමුවෙයි

බූස්ස බන්ධනාගාරයේ රැඳවූවන් 40 ක් ආහාර වර්ජනයක

දියවන්නාවේ පා වූ මළ සිරුරේ අනන්‍යතාවය හෙළිවෙයි

ශ්‍රී ලංකා රජයෙන් පාකිස්තානය වෙත පරිත්‍යාගකල කාවන් නමැති අලියාගේ තත්වය යහපත් අතට

ලබන වසරේ පෙළපොත් මුද්‍රණයට රුපියල් මිලියන 3152 ක්

වැල්ලවායේ ගම්මිරිස් වගාවට හඳුනා නොගත් රෝගයක්

වැලිමඩ සහ ඌව පරණගම යා කරන මාරක අත්වැල් පාලම

හිරු අනාවරණයෙන් පසු ගමක් ආක්‍රමණය කළ මැසි උවදුර ගැන බලධාරීන්ගේ අවධානය

ග්ලයිෆොසේට් සමඟ දෙදෙනෙකු (2) අත්අඩංගුවට

ක්‍රීඩා ශිෂ්‍යත්වධාරින් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් වෙයි

*********************************************

රුසියාවේ සරසවි 4 ක් වෛද්‍ය සභාව ප්‍රතික්ෂේප කරයි

(10.09.2020 – 13:09 +0530 – hirunews.lk/sinhala)

රුසියාවේ විශ්වවිද්‍යාල 4 ක් පිළිගත් විශ්වවිද්‍යාල ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තීරණය කර තිබෙනවා.

මෙලෙස ඉවත් කර ඇත්තේ පැටි‍්‍රස් ලුමුම්බා හෙවත් රුසියානු මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලය, දෙවන මොස්කව් වෛද්‍ය ආයතනය, කුරුක්ස් විශ්වවිද්‍යාලය සහ ට්වේර් රාජ්‍ය වෛද්‍ය විශ්වවිද්‍යාලයයි.

මේ සම්බන්ධයෙන් වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය ආනන්ද හපුගොඩ මහතා ගෙන් අප විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ විශේෂඥ මණ්ඩලයක් විසින් වසර 5 කට වරක් සිදුකරන සමාලෝචනයකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

මෙම විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය සම්බන්ධයෙන් පවතින ගැටළු සලකා මෙම තීරණය අදාළ විශේෂඥ මණ්ඩලය විසින් ගෙන ඇති බව ද ඔහු කියා සිටියා.

කෙසේ වෙතත්, ප්‍රශ්නගත විශ්වවිද්‍යාල 4 ලැයිස්තුවෙන් ඉවත් කෙරුණ ද උපාධි පාඨමාලාව සම්පූර්ණ කළ දැනට එම විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන කිසිදු සිසුවෙකුට වෛද්‍ය සභාවේ ලියාපදිංචිවීමට බාධාවක් නොමැති බව ලේඛකාධිකාරීවරයා කියා සිටියා.

රුසියානු සමූහාණ්ඩුව තුළ මෙරට සිසුන් සඳහා වාර්ෂිකව ශිෂ්‍යත්ව පිරිනමන ප්‍රධාන රාජ්‍ය විශ්වවිද්‍යාල 5 ක් පවතින අතර ඒ අතරින් මොස්කව් ප්‍රථම වෛද්‍ය විශ්වවිද්‍යාලය හැර සෙසු විශ්වවිද්‍යාල 4 පිළිගත්වි ශ්වවිද්‍යාල ලැයිස්තුවෙන් ඉවත් කිරීමටයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පියවර ගෙන ඇත්තේ.

*********************************************

තලවතුගොඩ නිවසක් තුල තිබී පුවත්පත් මාධ්‍යවේදියෙකුගේ මළ සිරුරක් හමුවෙයි

(10.09.2020 – 12:56 +0530 – hirunews.lk/sinhala)

තලවතුගොඩ – කුමාරගේ වත්ත පීරිස් මාවතේ නිවසක් තුල තිබී ඉංග්‍රීසි පුවත්පත් මාධ්‍යවේදියෙකුගේ මළ සිරුරක් අද (10) පෙරවරුවේ පොලීසිය සොයා ගත්තා.

60 හැවිරිදි අවිවාහකයෙකු වන මොහු තනිවම නිවසේ රැදී සිට ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙනවා.

දින 5 කට පමණ පෙර මොහු මිය යන්නට ඇති බවට සැක කරන අතර, මළ සිරුර මේ වනවිට නරක් වී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මොහුගේ මරණය සිය දිවි හානි කර ගැනීමක් ද නැද්ද යන්න සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ කර ගැනීමට හැකි වනු ඇති බව පොලීසිය සඳහන් කළා.

*********************************************

බූස්ස බන්ධනාගාරයේ රැඳවූවන් 40 ක් ආහාර වර්ජනයක

(10.09.2020 – 13:10 +0530 – hirunews.lk/sinhala)

බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රදවා සිටින රැඳවූවන් 40 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් අද (10) පෙරවරුවේ සිට ආහාර වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ නීතිඥවරුන් හමුවීමට ලබාදෙන කාලය වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන ඔවුන් මෙම ආහාර වර්ජනය දියත් කර ඇති බවයි.

සංවිධානාත්මක අපරාධකරුවන් වන ‘කොස්ගොඩ තාරක’, ‘පොඩි ලැසී’ මෙන්ම ‘කංජිපානි ඉම්රාන්’ රදවා සිටින්නේ ද බූස්ස බන්ධනාගාරයේ මෙම විශේෂ අංශයේයි.

මේ අතර, සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට බන්ධනාගාර ගත කර සිටින ‘සමන්ත කුමාර’ හෙවත් ‘වෙලේ සුදා’ගේ බිරිඳගේ වැඩිමහල් සොහොයුරිය විවාහ වී සිටි පුද්ගලයා ඇතුළු 3 දෙනෙකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ගාල්ල – ඉමදූව – ඇල්ලගොඩ ප්‍රදේශයේදියි.

ඔවුන් ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 1 යි මිලිග්‍රෑම් 300 ක් සහ මුදලින් රුපියල් 37,500 ක්, ජංගම දුරකථන 4 ක් සහ බැංකු පොතක් ද ඊයේ (09) පොලිස් භාරයට ගනු ලැබුවා.

අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් දෙදෙනා (2) කොහුවල ප්‍රදේශයේ පදිංචිකරුවන්.

එමෙන්ම, දැනට බන්ධනාගාර ගත කර සිටින වෙලේ සුදාට බන්ධනාගාරයට අවශ්‍ය පහසුකම් සැපයීමට මෙම ප්‍රධාන සැකකරු කටයුතු කර ඇති බව දැනට සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

ත්‍රිරෝද රථ රියදුරෙකු ලෙස කටයුතු කර ඇති ඔහු ‘චූටි’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන අයෙක්.

එම සැකකරු අසාමාන්‍ය ලෙස මුදල් පරිහරණය කරන බවට ද තොරතුරු ලැබී ඇති බවයි පොලීසිය කියා සිටියේ.

ඒ අනුව අධිකරණ නියෝගයක් මගින් සැකකරුගේ බැංකු ගිණුම් වාර්තා හා දුරකථන වාර්තා ලබාගෙන ඉදිරි විමර්ශන සිදුකිරීමට පොලීසිය අපේක්ෂා කරනවා.

මොහු සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ දැනට වෙනත් විවාහයක් කරගෙන සිටින ඔහුට පෙර විවාහයෙන් දරුවන් ද සිටින බවයි.

මේ අතර, කොළඹ – කෙසෙල්වත්ත – කුමාර දොරටුව ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100 ක් සමඟ දෙදෙනෙකු (2) කොළඹ මධ්‍යම කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ මත්ද්‍රව්‍ය වැටලීම් ඒකකය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පිටකොටුව ප්‍රදේශයේ ව්‍යාපාර කටයුතුවල නිරත වන මාතලේ පදිංචි පුද්ගලයෙකු අයිස් ග්‍රෑම් 80 ක් සමඟ පළමුව අත්අඩංගුවට ගෙන ඇති අතර, පසුව ඔහුගෙන් අයිස් මත්ද්‍රව්‍ය මිලදී ගත් අනෙක් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වුණා.

ඔවුන් අවුරුදු 34 සහ 50 යන වයස්වල පසුවන්නන්.

ප්‍රධාන ජාවාරම්කරු මරදාන ප්‍රදේශයේ ලැගුම්හල්වල සිට මෙම අයිස් ජාවාරම සිදුකර ඇති බවටයි පොලීසියට තොරතුරු ලැබී ඇත්තේ.

එමෙන්ම බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ ඊයේ (09) පස්වරුවේ සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 60 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (2) මොරටුව ප්‍රදේශයේදීත්, හෙරොයින් ග්‍රෑම් 2 ක් සමඟ විශ්‍රාමික යුද හමුදා කර්නර්වරයෙකු මහරගම පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බවයි.

දෙහිවල – අත්තිඩිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 1 කට වැඩි ප්‍රමාණයක් හා ව්‍යාජ අංක තහඩු සවි කළ යතුරුපැදියක් හා පොලිස් ලෙස සඳහන් කළ ආරක්ෂක හිස් වැසුමක් සමග පොලිස් නිලධාරියෙකු ලෙස ව්‍යාජව පෙනී සිටි පුද්ගලයෙකු ගල්කිස්ස පොලීසිය ඊයේ (09) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු පිලියන්දල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි අයෙක්.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘මොහොමඩ් පාරුක් මොහොමඩ් රිස්වාන්’ නැමැත්තා හෙරොයින් ග්‍රෑම් 5 ක් සමඟ කොළඹ අලුත්කඬේ ප්‍රදේශයේදී පොලීසිය ඊයේ (09) අත්අඩංගුවට ගත්තා.

එසේම, පානදුර – උතුර පොලීසියේ නිලධාරින්ට ලද තොරතුරකට අනුව ගොරකාන ප්‍රදේශයේ ඊයේ (09) සිදුකළ තවත් වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 1 යි මිලිග්‍රෑම් 430 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

30 හැවිරිදි ඔහු කෙසෙල්වත්ත රිවිදෙව්ගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 840 ක් සමග තවත් සැකකරුවෙකු මොරොන්තුඩුව – නුගගොඩ හන්දියේදී පොලීසිය ඊයේ (09) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබූ අතර, සැකකරු වස්කඩුව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙක්.

මේ අතර, දික්වැල්ල – බෝදරකන්ද ප්‍රදේශයේදී අවි ආයුධ කිහිපයක් සමඟ අවුරුදු 19 ත් 62 ත් වයස්වල පසුවන 3 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ඊයේ (09) පස්වරුවේ බෝරකන්ද සහ ඌරුගමුව ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් මොවුන් ලඟ තිබී බෝර 12 වර්ගයේ ගිනි අවියක්, විවිධ වර්ගයේ පිස්තෝල දෙකක්, බෝර 12 පතොරොම් 27 ක්, ටී 56 පතොරොම් 5 ක්, කඩුවක් සහ පිහියක් ද සොයාගෙන ඇති බවයි.

විදේශ රටක නිෂ්පාදිත ගිනි අවි දෙකක් (2) සමග සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (09) පස්වරුවේ අවිස්සාවේල්ල – දෙහි ඕවිට – පිටදෙණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබුණේ සීතාවකපුර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින්.

34 සහ 67 හැවිරිදි සැකකරුවන් මේ වනවිට ඉදිරි විමර්ශන සදහා අවිස්සාවේල්ල පොලීසිය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

එසේම මත්තේගොඩ යුද හමුදා කදවුර ආසන්නයේ පිහිටි නිවසක ජනේල් උළුවස්සේ සඟවා තිබී ටී-56 උණ්ඩ 4 ක් සොයා ගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා ෴

++++++++++++++

(10.09.2020 – 13:43 +0530 – hirunews.lk/sinhala)

වැඩතහනමට ලක්වූ තැපැල් දෙපාර්තමේන්තුවට අයත් සේවකයෙකු හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බත්තරමුල්ල තැපැල් කාර්යාලයට අනුයුක්තව සේවය කළ ලියුම් බෙදන්නෙක්.

බත්තරමුල්ල – අකුරේගොඩ ප්‍රදේශයේදී ඊයේ මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී අයිස් ග්‍රෑම් 10 ක්, හෙරොයින් ග්‍රෑම් 4 ක් සහ මත්පෙති සොයා ගෙන තිබෙනවා.

මීට අමතරව, රුපියල් 43,000 ක මුදලක් ද ඔහු සතුව තිබූ බවයි පොලීසිය සඳහන් කළේ ෴

*********************************************

දියවන්නාවේ පා වූ මළ සිරුරේ අනන්‍යතාවය හෙළිවෙයි

(10.09.2020 – 13:24 +0530 – hirunews.lk/sinhala)

පාර්ලිමේන්තුව අසළ පිහිටි පොල්දූව පාලම ආසන්නයේ දියවන්නාඔයේ තිබී අද (10) පෙරවරුවේ සොයා ගත් මළ සිරුරේ අනන්‍යතාවය මේ වන විට තහවුරු වී තිබෙනවා.

74 හැවිරිදි මිය ගිය පුද්ගලයා හෝකන්දර – සිංහපුර ප්‍රදේශයේ පදිංචි අයෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.

එසේම ඔහු පසුගිය සඳුදා (07) ඥාතීන්ට නොදන්වා නිවසින් පිටව ගොස් ඇති බවට ඔහුගේ පුත්‍රයා එදිනම තලංගම පොලීසියට පැමිණිල්ලක් ද සිදුකර තිබෙනවා.

මෘත ශරීරය සම්බන්ධයෙන් අලුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත්වරයා විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත අතර, වැලිකඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

*********************************************

ශ්‍රී ලංකා රජයෙන් පාකිස්තානය වෙත පරිත්‍යාගකල කාවන් නමැති අලියාගේ තත්වය යහපත් අතට

(10.09.2020 – 14:03 +0530 – hirunews.lk/sinhala)

කාවන් නමැති අලියා පිළිබඳව ලෝකයේම අවධානය යොමුවූයේ එම අලියා ශ්‍රී ලංකාවට නැවත රැඟෙන ඒම පිළිබඳව කතාබහක් ඇතිවීමත් සමගයි.

කාවන් ශ්‍රී ලංකා රජයෙන් පාකිස්තානය වෙත සිදුකරන ලද පරිත්‍යාගයක්.

%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29

එරට සත්වෝද්‍යානයක වසර 35 කට වැඩි කාලයක් රැඳී සිටි කාවන් ඉන් ඉවත් කිරීමට කටයුතු සූදානම් කෙරුණේ එහි පරිපාලනයේ ඇතිවූ අර්බුද හේතුවෙන් සත්වෝද්‍යානය වසා දමන ලෙස අධිකරණ නියෝගයක් ලබාදීමත් සමගයි.

කෙසේ වෙතත් මෙම මාගසාර් සත්වෝද්‍යානයෙන් කාවන් ඉවත්කරගැනීමට සූදානම් වූ අවස්ථාවේ එම අලියා ඇවිදීමේ අපහසුතාවකින් පෙලෙන බවට අනාවරණ වූවා.

ඒ අනුව කාවන් ට නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට තිබූ අවස්ථාව අහිමිව ගියා.

කෙසේ වෙතත් කාවන් පිළිබඳව නවතම තොරතුරු වාර්තාකරමින් විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ එම අලියා මේ වනවිට තරමක් සුව තත්ත්වයේ පසුවන බවයි.

එහි සිටින පශු වෛද්‍යවරයෙකු විසින් ලබාදුන් සංගීතමය ප්‍රතිකාරයක් හේතුවෙන් කාවන් සුව වෙමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

මේ වනවිට දැඩි ප්‍රචණ්ඩ ස්වරූපයකින් සිටි කාවන් අසලට එම පශු වෛද්‍යවරයාට ලඟා වීමට තරම් හැකියාවක් ලැබී ඇති බවයි එහි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් ‘ලොව වඩාත්ම හුදෙකලා අලියා’ නමින් විරුදාවලි ලත් කාවන් තවදුරටත් එලෙස නොවී අනෙක් වන අලියන් අතරින් දැකීම වනජීවීන්ට ආදරය කරන සැමගේ ඒකායන පැතුම වී ඇති බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වාදෙන්නේ.

මෙම තත්ත්වයත් සමග කාවන් කාම්බෝජයට රැගෙන යාමට තීරණය කර ඇති බවටයි විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තාවන්නේ.

ඒ එහි ඇති අභයභූමියක් වෙත කාවන් මුදා හැරීමටයි.

*********************************************

ලබන වසරේ පෙළපොත් මුද්‍රණයට රුපියල් මිලියන 3152 ක්

(10.09.2020 – 14:22 +0530 – hirunews.lk/sinhala)

ලබන වසරේදී පාසල් පෙළ පොත් වර්ග 400 ක් මුද්‍රණය සඳහා රුපියල් මිලියන 3152.72 ක මුදලක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

ඉන් පෙළපොත් වර්ග 106 කින් පිටපත් රුපියල් මිලියන 1093.71 කට රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාවෙන් සහ තවත් පෙළපොත් වර්ග 294 ක පිටපත් රුපියල් මිලියන 2059.01 මුදලකට පෞද්ගලික අංශයෙන් මුද්‍රණය කිරීමටයි නියමිතව ඇත්තේ ෴

*********************************************

වැල්ලවායේ ගම්මිරිස් වගාවට හඳුනා නොගත් රෝගයක්

(10.09.2020 – 14:25 +0530 – hirunews.lk/sinhala)

හඳුනා නොගත් රෝගයක් හේතුවෙන් වැල්ලවාය ප්‍රදේශයේ ගම්මිරිස් වගාව විනාශ වීමේ අවදානමකට මුහුණ දී තිබෙනවා.

ගම්මිරිස් අස්වැන්න ලබා ගැනීමට ආසන්නව පවතින කාලසීමාවකදී මෙලෙස හඳුනා නොගත් රෝගයක් වගාව තුළ පැතිර යාමෙන් තමන් දැඩි අසීරුතාවට මුහුණ දී ඇති බවයි එම ප්‍රදේශයේ ගොවීන් සඳහන් කළේ.

*********************************************

වැලිමඩ සහ ඌව පරණගම යා කරන මාරක අත්වැල් පාලම

(10.09.2020 – 14:44 +0530 – hirunews.lk/sinhala)

වැලිමඩ සහ ඌව පරණගම මැතිවරණ කොට්ඨාශ යාකරමින් දරගල ප්‍රදේශයේ උමාඔය හරහා ඉදිකර ඇති අත්වැල් පාලම මේ වනවිට අබලන් වී තිබෙනවා.

මීට වසර 80 කට පමණ පෙර ඉදිකර ඇති මෙම අත්වැල් පාලම මේ වන විට අබලන්වීම හේතුවෙන් ගම්මාන රැසක ජනතාව දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා.

පාලම සම්බන්ධ කෙරෙන ප්‍රධාන යකඩ කම්බි කිහිපයක් දිරාපත් වී කැඩී ගොස් තිබීම හේතුවෙන් පාලම මත ගමන් කිරීම අතුරේ යෑමකට දෙවැනි නැහැ.

උමා ඔයට අඩි ගණනක් උසින් ඇති පාලම මත ගමන් කිරීමේදී එය එක් පසෙකට ඇලවෙන අතර කඩා වැටීමේ අනතුරක් උද්ඝතව ඇති බවට ජනතාව මැසිවිලි නඟනවා.

*********************************************

හිරු අනාවරණයෙන් පසු ගමක් ආක්‍රමණය කළ මැසි උවදුර ගැන බලධාරීන්ගේ අවධානය

(10.09.2020 – 14:52 +0530 – hirunews.lk/sinhala)

කුකුළු ගොවිපලක් හේතුවෙන් බලපා ඇති මැසි උවදුරක් පිළිබඳව අප පසුගියදා ‘හිරු රතු මිනිත්තුවෙන්’ කළ අනාවරණයකින් පසු ඒ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු වී තිබෙනවා.

වනාතවිල්ලුව – කාටුකුලියන්පුලම ගම්මානය මැස්සන්ගේ ආක්‍රමණයට ගොදුරු වී ඇති බව ‘හිරු රතු මිනිත්තුවෙන්’ අනාවරණ කළේ පසුගිය මස 30 වනදායි.

අක්‍රමවත්ව පවත්වාගෙන යන මහා පරිමාණ කුකුළු ගොවිපලකින් ඉවතලන සත්ව කොටස් නිසි ක්‍රමවේදයකින් තොරව පරිසරයට මුදා හැරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ඝතව ඇති බව අප එහිදී පෙන්වා දුන්නා.

අප කළ අනාවරණයෙන් පසු ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අවධානය ඒ වෙත යොමු වී අදාළ කුකුළු ගොවිපල පරීක්ෂාවට ලක් කෙරුණා.

*********************************************

ග්ලයිෆොසේට් සමඟ දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(10.09.2020 – 15:36 +0530 – hirunews.lk/sinhala)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල පිවිසුමේ අද (2) සිදුකළ වැටලීමකදී ග්ලයිෆොසේට් ඇතුළු තහනම් කෘමි නාශක තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු (2) ලුණුගම්වෙහෙර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම ලොරි රථයේ තිබී ග්ලයිෆොසේට් කිලෝ 100 ක් සහ කාබෝෆියුරාන් කිලෝ දහසක් (1000) සොයා ගත් බවයි සඳහන් කළේ.

මෙම කෘමිනාශක තණමල්විල ප්‍රදේශයට ප්‍රවාහනය කරමින් සිටි බව අනාවරණ වී ඇති අතර, සැකකරුවන් අකුරැස්ස සහ බණ්ඩාරවෙල ප්‍රදේශවල පදිංචිකරුවන්.

*********************************************

ක්‍රීඩා ශිෂ්‍යත්වධාරින් ඇතුළත් කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් වෙයි

(10.09.2020 – 16:18 +0530 – hirunews.lk/sinhala)

ක්‍රීඩා පාසල් සඳහා ක්‍රීඩා ශිෂ්‍යත්වධාරින් ඇතුළත් කිරීම සහ ක්‍රීඩා පාසල් සංවර්ධනයට අදාළ උපදෙස් ඇතුළත් චක්‍රලේඛය මේ වනවිට නිකුත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ක්‍රීඩා පාසල්වලට සිසුන් ඇතුළත් කිරීම, පරිපාලන සහ මූල්‍ය කටයුතු මෙන්ම, ක්‍රීඩා පාසල් සංවර්ධනය පිළිබඳව ද එමගින් අධ්‍යාපන බලධාරින් දැනුවත් කර තිබෙනවා.

දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි මේ වනවිට පිහිටුවා ඇති ක්‍රීඩා පාසල් සංඛ්‍යාව 25 ක්.

ඒ සඳහා සිසුන් ඇතුළත් කිරීම 8 වන ශ්‍රේණියෙන් ආරම්භ කෙරෙන අතර, ක්‍රීඩා පාසල්වල සංවර්ධන කටයුතු සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් ඉදිරියේදී ත්‍රිවිධ හමුදාවේ සහය ද යොදා ගැණෙනු ඇති ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *