ශානි අබේසේකර බොරු සාක්ෂි හැදූ හැටි ජනපති කොමිසමේදීත් හෙලි වෙයි

ශානි අබේසේකර බොරු සාක්ෂි හැදූ හැටි ජනපති කොමිසමේදීත් හෙලි වෙයි

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

පාර්ලිමේන්තුව රැස්වීම් පැවැත්වෙන කාලසීමාව සංශෝධනය කෙරේ

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තම විශ්වවිද්‍යාල කිහිපයක් ඉවත් කිරීම මිත්‍රත්වයට හානිකර වනු ඇතැයි රුසියාව කියයි

කංජිපානි, පොඩි ලැසී, කොස්ගොඩ තාරක සහ වෙලේ සුදා ඇතුළු 40 කගේ ආහාර වර්ජනය තවදුරටත්

ජනපති විස්ස ගැන කතා කරයි

දෙවනගල පුදබිම අවට තොරතුරු සොයන රහසිගත කැමරා යළිත් ක්‍රියාත්මකයි

මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 50% ක් දේශීයව නිෂ්පාදනයට සැලසුම්

ජාතික පාසල් සංඛ්‍යාව දහස (1000) දක්වා වැඩි කිරීමට රජයේ අවධානය

පාලමක් කඩාවැටී පුත්තලම – අනුරාධපුර මාර්ගයේ ගමනාගමනයට බාධා

තිරසර සංවර්ධන අරමුණු පිළිබඳව පංච පුද්ගල කමිටු වාර්තාව අගමැතිට

බන්ධනාගාරයේ සිට මෙහෙයවන මත්කුඩු ජාවාරමකට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

වසා දැමුණු රජරට විශ්වවිද්‍යාලයේ පීඨ කිහිපයක් විවෘත කෙරේ

*********************************************

ශානි අබේසේකර බොරු සාක්ෂි හැදූ හැටි ජනපති කොමිසමේදීත් හෙලි වෙයි

(10.09.2020 – 20:38 +0530 – hirunews.lk/sinhala)

මොහොමඞ් සියාම් ඝාතන සිද්ධියේදී හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන අත්අඩංගුවට ගැනීමට අදාළව අවි ආයුධ සොයා ගැනීමේ සිද්ධිය, ශානි අබේසේකර ඇතුළු කණ්ඩායමක් විසින් නිර්මාණය කළ සිදුවීමක් බවට අද (10) තවදුරටත් අනාවරණ කෙරුණා.

ඒ, පොලිස් පරික්ෂක ඉරෝෂ් විල්ලවආරච්චි දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දුන් අවස්ථාවේදියි.

නැගෙනහිර බුද්ධි බලකායේ හිටපු දෙවන අණදෙන නිලධාරී ලු‍තිනන් කර්නල් ප්‍රබෝධ සිරිවර්ධන දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම් සභාව හමුවේ සිදුකළ පැමිණිල්ලකට අනුවයි අද (10) කොමිසම හමුවේ පොලිස් පරීක්ෂක ඉරෝෂ් විල්ලවආරච්චි සාක්ෂි ලබාදිම සිදු කරනු කළේ.

එහිදී ශානි අබේසේකර සහ පොලිස් සැරයන් මෙන්ඩිස් නමැත්තා ද කොමිසම හමුවේ පෙනී සිටියා.

එහිදි සාක්ෂිකරු ප්‍රකාශ කළේ බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධයක තොරතුරු වසන් කිරීම යටතේ තමා 2014 පෙබරවාරි 26 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් බවයි.

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සමඟ සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගෙන් (2) ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව තමා ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ අත්අඩංගුවට ගෙන දින 90 ක රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කළ බව ඔහු කොමිසම හමුවේ සඳහන් කළා.

ඔහු කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවක සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකරගේ ප්‍රධානත්වයෙන් ස්ථානාධිපති මුණසිංහ, පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා, උප පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක සහ සැරයන් මෙන්ඩිස් යන අයගේ ප්‍රධානත්වයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ නඩුවට සම්බන්ධ විමර්ශන කටයුතු සිදුකළ බවයි.

එමෙන්ම තමා අත්අඩංගුවට ගැනීමෙන් පසුව දිගින් දිගටම වාස් ගුණවර්ධනගේ අවි ආයුධ පිළිබඳ අවස්ථා ගණනාවකදී විමසු බවත් සාක්ෂිකරු සඳහන් කළා.

ඔහු පැවසුවේ එක් අවස්ථාවකදී එවක සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකර සහ අනෙකුත් නිලධාරීන් සිටි ස්ථානයකට නීතීඥ ආනන්ද හෙට්ටිආරච්චි පැමිණි අතර ශානි අබේසේකර තමන්ට පවසා සිටියේ මෙම නීතිඥවරයා වාස් ගුණවර්ධන විසින් තමා හමුවීමට එවූ බවයි.

එහිදී සාක්ෂිකරු ශානි අබේසේකරගෙන් ඉල්ලා ඇත්තේ පුද්ගලිකව එම නීතිඥවරයා තමන්ට හමුවීමට අවශ්‍ය බවයි.

එම අවස්ථාව තමාට ලබාදී ශානි අබේසේකර එම ස්ථානයෙන් පිටව ගිය බව පොලිස් පරීක්ෂක ඉරෝෂ් විල්ලවආරච්චි මහතා කොමිසම හමුවේ ප්‍රකාශ කළා.

“උඹගේ තරුණ ජීවීතේ නිකන් විනාශ වෙනවා. මේ කට්ටිය කියන දේට එකඟ වෙන්න. නැත්තම් මොහොමඞ් සියාම් ඝාතනයේ හත්වෙනි සැකකරු බවට උඹ පත්වෙයි” යනුවෙන් එම නීතිඥවරයා තමාට ප්‍රකාශ කළ බව සාක්ෂිකරු කොමිසම හමුවේ සඳහන් කළා.

ඉන් තමා තැතිගැන්මට පත්වූ බව සඳහන් කළ සාක්ෂිකරු “මම ඒක බලාගන්නම්. ඕනෑම අවස්ථාවක ඕනෑම අධිකරණයක මම මේක බලාගන්නම්. මේ කට්ටිය කියන දේ කියලා එළියට යන්න” යනුවෙන් නීතිඥවරයා තමන්ට පවසා පිටව ගිය බව ද ප්‍රකාශ කළා.

ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා “වාස්ගේ වත්තට ආයුධ දාලා ඒවා හොයාගන්න විදිහ අපි පෙන්නන්නම්” ‍යනුවෙන් තමාට පැවසූ බවද සාක්ෂිකරු සඳහන් කළා.

පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන්ගේ බලපෑම මත මොහොමඞ් ෂියාම් ඝාතනය සම්බන්ධ නඩුවට බොරු සාක්ෂි ලබාදීමට තමා එකඟ වූ බව සාක්ෂිකරු කොමිසම හමුවේ අනාවරණ කළා.

පෙර එකඟ වූ පරිදි වේයන්ගොඩ රනිස්වල වත්ත ප්‍රදේශයේ නිවස සහිත ඉඩමට ශානි අබේසේකර, නිශාන්ත සිල්වා, උප පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක සහ පොලිස් සැරයන් මෙන්ඩිස් යන නිලධාරීන් සමඟ වෑන් රථයක නැගී පිටව ගිය බවත් එහිදී එම නිවස අයිති තම මිතුරාගේ ඉඩමට ආයුධ දැමීමට ඔහුව එකඟ කර ගත් බවත් සාක්ෂිකරු සඳහන් කළා.

ඔහු ප්‍රකාශ කළේ, ශානි අබේසකර ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ මඟපෙන්වීම යටතේ අත්බෝම්බ , ආර්.පී.ජී. සහ ගිනි අවි ඇතුළු පතොරොම් කිහිපයක් පොහොර උරවල දමා මිතුරාගේ ඉඩමේ අතහැර දැමූ කාමරයකට දැමූ බවයි.

ඉන් අනතුරුව එම නිලධාරීන්ම ඒවා එම ස්ථානයෙන් සොයා ගත් ආයුධ ලෙසම නැවත් ඒවා අත්අඩංගුවට ගත් අතර එම අවස්ථාවේ ශානි අබේසේකර එම අවි ආයුධ තම ජංගම දුරකථනයෙන් ඡායාරූප ගත කළ බවත් වැඩිදුරටත් සාක්ෂි ලබාදෙමින් සාක්ෂිකරු ප්‍රකාශ කළා.

පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තම මිතුරාගෙන් සහ ඔහුගේ බිරිඳගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් ඔහු සඳහන් කළා.

කෙසේ වෙතත් තම නිර්දෝෂීභාවය සැලකිරීම සඳහා අවස්ථා කීහිපයකදී පොලිස්පතිවරුන් කිහිප දෙනෙකුට ලිඛිතව දන්වා අවස්ථාවක් ලබා ගැනීමට අපේක්ෂා කළද එයට කිසිදු පිළිතුරක් නොලැබුණු බවද ඔහු කොමිසම හමුවේ අවධාරණය කළා.

තමාට පොලිස්පතිවරුන් හමුවීමට අවස්ථාවක් ලැබුණේ නම් මෙම තත්ත්වය හාත්පසින්ම වෙනස්වීමට ඉඩ තිබූ බව සඳහන් කළ සාක්ෂිකරු තමන් දේශපාලන පළිගැනීමකට වඩා දීර්ඝ කාලීනව පොලිස් දෙපාර්තමේන්තුව තුළ තමාව පළිගැනීමට ලක්වූ බව කොමිසම හමුවේ ප්‍රකාශ කළා.

මේ අතර, ප්‍රකාශ ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මංගල සමරවීර සහ මලික් සමරවික්‍රම, අදත් (10) දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයන ජනාධිපති කොමිසම වෙත පැමිණියා.

*********************************************

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(10.09.2020 – 16:51 +0530 – hirunews.lk/sinhala)

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එළඹෙන අනිද්දා (12) පැය 12 ක කාලයක් කොළඹ 10, 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනවා.

එදින (12) රාත්‍රී 10 සිට පසුදා (13) පෙරවරු 10 දක්වා එය ක්‍රියාත්මක බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කළේ ෴

*********************************************

පාර්ලිමේන්තුව රැස්වීම් පැවැත්වෙන කාලසීමාව සංශෝධනය කෙරේ

(10.09.2020 – 18:43 +0530 – hirunews.lk/sinhala)

නිෂ්පාදන බදු විශේෂ විධි විධාන පනත යටතේ වන වගන්ති කිහිපයක් සහ සුරාබදු ආඥා පනතේ වන වගන්ති කිහිපයක් අද (10) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනුණා.

එම විවාදයේදී ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා සහ පසුගිය යහපාලන ආණ්ඩුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන්ද අදහස් පළ වුණා.

මේ අතර, පාර්ලිමේන්තුව රැස්වීම් පැවැත්වීමේ කාලසීමාව උදෑසන 10 සිට පස්වරු 05:30 දක්වා සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව එළැඹෙන 22 වනදා අඟහරුවාදා සිට එය ක්‍රියාත්මක වනු ඇති.

*********************************************

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තම විශ්වවිද්‍යාල කිහිපයක් ඉවත් කිරීම මිත්‍රත්වයට හානිකර වනු ඇතැයි රුසියාව කියයි

(10.09.2020 – 19:31 +0530 – hirunews.lk/sinhala)

රුසියානු වෛද්‍ය විද්‍යාල 4 ක් පිළිගත් විශ්වවිද්‍යාල ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගෙන ඇති තීරණය මගින් ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවත්නා දිගුකාලීන මිත්‍රත්වයට ඍජුවම අහිතකර බලපෑම් ඇතිවිය හැකි බව රුසියානු කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙනවා.

එහි දැක්වෙන්නේ 1957 වසරේ සිට රුසියාව ශ්‍රී ලංකාව සමඟ ඉතා සමීප මිත්‍රත්වයක් පවත්වාගෙන ආ අතර, ජාත්‍යන්තර කටයුතුවලදී අවශ්‍ය ආධාර සහ සහාය ලබා දුන් බවයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් 5 දෙනාගෙන් එක් අයෙකු සහ නිශේධ බලය දරණ සාමාජික රටක් ලෙස රුසියාව ශ්‍රී ලංකාවට සහය පළ කිරීම සඳහා තුන්වරක්ම නිෂේධ බලය භාවිත කළ බව පෙන්වා දෙන රුසියානු කේන්ද්‍රය මේ දක්වා රුසියානු රජය ශ්‍රී ලංකාවට ශිෂ්‍යත්ව 40 ක් පිරිනමා ඇති බවයි සඳහන් කළේ.

අදාළ විශ්වවිද්‍යාල ඉවත් කිරීමත් සමඟ එම ශිෂ්‍යත්ව අවලංගු කිරීමටත්, අනාගතයේ එවැනි ශිෂ්‍යත්ව පිරිනැමීම අවලංගු කිරීමටත් ඉඩ ඇති බව රුසියානු කේන්ද්‍රය පෙන්වා දෙනවා.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ තේ අපනයනය කෙරෙන ප්‍රධාන රටක් ලෙස රුසියාව හැදින්විය හැකි අතර මෙම තීරණයත් සමඟ ශ්‍රී ලංකාවේ තේ මිලදී ගැනීමෙන් ඉවත් වීමට හැකියාවක් ඇති බවයි රුසියානු කේන්ද්‍රය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට ද එම තීරණය අහිතකර ලෙස බලපෑ හැකි බව එම කේන්ද්‍රය පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, රුසියානු වෛද්‍ය විද්‍යාල 4 ක් පිළිගත් විශ්වවිද්‍යාල ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගෙන ඇති තීරණයට මේ දක්වා සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අත්සන් තබා නැහැ.

එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු අප කළ විමසීමකදී සඳහන් කළේ මෙරට වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එවැනි නිර්දේශයකට එළඹුණ ද එය සෞඛ්‍ය අමාත්‍යවරියගේ අනුමැතියට යටත්ව බලපැවැත්වෙන බවයි.

කෙසේ වෙතත්, අමාත්‍යවරිය මේ දක්වා අදාල නිර්දේශය අනුමත කර නොමැති බැවින් වෛද්‍ය සභාවේ තීරණය බලාත්මක වීම පිළිබඳ ගැටලුකාරි තත්ත්වයක් පැන නැගී ඇති බව අප කළ විමසීමකදී රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කියාසිටියා.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සමඟ එළඹි බඳවා ගැනීමේ ප්‍රමිතීන් පිළිබඳ කොන්දේසි කඩ කිරීම හේතුවෙන් පැට්‍රිස් ලුමුම්බා හෙවත් රුසියානු මහජන මිත්‍රත්ව විශ්වවිද්‍යාලය, දෙවන මොස්කව් වෛද්‍ය ආයතනය, කුර්ක්ස් විශ්වවිද්‍යාලය සහ ට්වේර් රාජ්‍ය වෛද්‍ය විශ්වවිද්‍යාලය පිළිගත් විශ්වවිද්‍යාල ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තීරණය කර තිබුණා.

වෛද්‍ය සභාව එළඹි තීරණය සම්බන්ධයෙන් වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය ආනන්ද හපුගොඩ මහතා ගෙන් අප විමසීමක් කළ අතර, ඔහු කියා සිටියේ විශේෂඥ මණ්ඩලයක් විසින් වසර 5 කට වරක් සිදුකරන සමාලෝචනයකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

කෙසේ වෙතත්, ප්‍රශ්නගත විශ්වවිද්‍යාල 4 ලැයිස්තුවෙන් ඉවත් කෙරුණ ද උපාධි පාඨමාලාව සම්පූර්ණ කළ සහ දැනට එම විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන කිසිදු සිසුවෙකුට වෛද්‍ය සභාවේ ලියාපදිංචිවීමට බාධාවක් නොමැති බව ලේඛකාධිකාරීවරයා ප්‍රකාශ කළා.

*********************************************

කංජිපානි, පොඩි ලැසී, කොස්ගොඩ තාරක සහ වෙලේ සුදා ඇතුළු 40 කගේ ආහාර වර්ජනය තවදුරටත්

(10.09.2020 – 20:02 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී දැනට බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රදවා සිටින කංජිපානි ඉම්රාන්, කොස්ගොඩ තාරක, පොඩි ලැසී සහ වෙලේ සුදා ඇතුළු රැඳිවියන් 40 දෙනෙකු අද (10) උදෑසන ආරම්භ කළ ආහාර වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ජංගම දුරකථන පහසුකම් ලබාදීම, ඔවුන් හමුවට එන නීතිඥවරුන් හමුවීම සඳහා වැඩි කාලයක් ලබාදීම සහ නඩු කටයුතු සඳහා පිටතට ගොස් යළි බන්ධනාගාර වෙත පැමිණීමේදී සිදුකරන පරීක්ෂා ඉවත් කිරීම ආදී ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් මෙම ආහාර වර්ජනය ආරම්භ කර ඇති බවයි.

මීට පෙර ද කොස්ගොඩ තාරක, පොඩි ලැසී ඇතුළු පිරිසක් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ආහාර වර්ජනයේ නිරත වුණා.

එම අවස්ථාවේදී ඒ පිළිබඳ සොයා බැලීම සඳහා බන්ධනාගාර නිලධාරින් පැමිණි අවස්ථාවේදී කොස්ගොඩ තාරක සහ පොඩි ලැසී ඔවුන්ට මරණ තර්ජන එල්ල කර තිබුණා.

ඊට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මේ මස 25 වනදා පොඩි ලැසී අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පසුගියදා නියෝග කළේ.

මේ අතර, සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට බන්ධනාගාර ගත කර සිටින සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාගේ බිරිඳගේ වැඩිමහල් සොහොයුරිය විවාහ වී සිටි පුද්ගලයා ඇතුළු 3 දෙනෙකු ද හෙරොයින් සමඟ අත්අඩංගුවට ගත්තා.

ඒ, ගාල්ල – ඉමදූව – ඇල්ලගොඩ ප්‍රදේශයේදියි. ඔවුන් ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 1 යි මිලිග්‍රෑම් 300 ක් සහ මුදලින් රුපියල් 37,500 ක්, ජංගම දුරකථන 4 ක් සහ බැංකු පොතක් ද ඊයේ (09) පොලිස් භාරයට ගනු ලැබුවා.

දැනට බන්ධනාගාර ගත කර සිටින වෙලේ සුදාට බන්ධනාගාරයට අවශ්‍ය පහසුකම් සැපයීමට මෙම ප්‍රධාන සැකකරු කටයුතු කර ඇති බව විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

ත්‍රිරෝද රථ රියදුරෙකු ලෙස කටයුතු කර ඇති ඔහු ‘චූටි’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන අයෙක්.

එම සැකකරු අසාමාන්‍ය ලෙස මුදල් පරිහරණය කරන බවට ද තොරතුරු ලැබී ඇති බවයි පොලීසිය කියා සිටියේ. වැඩිදුර පරීක්ෂණ සඳහා ඔහු දින 14 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි ගාල්ල අධිකරණය අද (10) පොලීසියට නියෝග කළේ.

මේ අතර, අයිස් ග්‍රෑම් 10 ක්, හෙරොයින් ග්‍රෑම් 4 ක් සහ මත්පෙති සමඟ වැඩතහනමට ලක්වූ බත්තරමුල්ල තැපැල් කාර්යාලයේ සේවකයෙකු පොලීසිය අත්අඩංගුවට ගත්තා.

පරීක්ෂණවලින් අනාවරණ වූයේ සැකකරු බත්තරමුල්ලේ බන්ටි නමැති සංවිධානාත්මක අපරාධකරුගේ ප්‍රධාන ගෝලයෙකු බවටයි.

+++++++++++++

(11.09.2020 – 06:30 +0530 – hirunews.lk/sinhala)

‘මාකඳුරේ මධුෂ්’ ගේ ගෝලයෙකු වන ‘නුවන් රණවක’ හෙවත් ‘වැලිහිඳ කලූ’ නැමැත්තා හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු වැලිගම දෙනිපිටිය ප්‍රදේශයේදී පොලිසි විශේෂ කාර්ය බලකාය විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවටයි වැඩිදුර තොරතුරු වාර්තාවන්නේ ෴

+++++++++++++

11-09-2020

*********************************************

ජනපති විස්ස ගැන කතා කරයි

(10.09.2020 – 20:21 +0530 – hirunews.lk/sinhala)

සරල ආරම්භයකින් විශාල වෙනසක් සිදු කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ රාජ්‍ය අමාත්‍යවරුන් සමඟ ජනාධිපති කාර්යාලයේ අද (10) පැවැති හමුවකදීයි.

මෙහිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර සම්බන්ධයෙන් විපක්ෂය නඟන චෝදනා සම්බන්ධයෙන් ද අදහස් පළ කළා.

ජනාධිපතිවරයා 20 වන සංශෝධනය සම්බන්ධයෙන් මෙහිදි අදහස් දක්වා සිටියා.

ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ “සියල්ල එකවර වෙනස් කරන්න බැහැ. ඊට විශාල කාලයක් ගත වෙනවා. විවිධ අදහස් ඉදිරිපත් කර තිබෙනවා. 19 වැනි සංශෝධනයේ ඇතැම් ලක්ෂණ එසේම තබාගන්න අපට අවශ්‍යයි. මූලික අරමුණ ජනාධිපති ධුර කාලය නොවෙනස්ව පවත්වා ගනිමින් ඉදිරි වැඩ කරගෙන යාම” බවයි.

එමෙන්ම, පසුගියදා පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන් ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා පිළිබඳවද ජනාධිපතිවරයා අදහස් පළ කළා.

එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ “බලපෑම් කරනවානම් කළ යුතුව තිබුණේ මහාධිකරණයට එවැන්නක් කිසිවිටෙකත් සිදුවූයේ නැහැ. අධිකරණ තීන්දුව දුන් විනිසුරුවරයා පත් කළේ ව්‍යවස්ථා සභාව.එහි සිටියේ කරූ ජයසූරිය,සජිත් ප්‍රේමදාස,තලතා අතුකෝරාළ ඇතුළු පිරිසක්. විපක්ෂයට එක් තීන්දුවක් හොඳයි අනෙක නරකයි” යන්නයි.

*********************************************

දෙවනගල පුදබිම අවට තොරතුරු සොයන රහසිගත කැමරා යළිත් ක්‍රියාත්මකයි

(10.09.2020 – 21:22 +0530 – hirunews.lk/sinhala)

මාවනැල්ල ඓතිහාසික දෙවනගල පුරාවිද්‍යා ස්මාරකයේ භාරකාරීත්වය දරණ පූජ්‍ය මැදිරිගිරියේ පුන්‍යසාර හිමි වැඩවසන ආවාස ගෙය නිරීක්ෂණයට කිසියම් පිරිසක් සී.සී.ටී.වී. කැමරාවක් සවිකර ඇති බව අද (10) හෙළි වුණා.

ඒ, ‘හිරු සී.අයි.ඒ.’ අනාවරණයෙන් පසුව දෙවනගල ඉඩම් ගැටලුව නිරාකරණය කිරීම සඳහා සීමා මායිම් සලකුණු කරන අතරතුරයි.

මේ පිළිබඳව ‘හිරු සී.අයි.ඒ.’ හරහා අප සිදුකළ අනාවරණයෙන් අනතුරුව මාවනැල්ල පොලිසිය මේ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර අදාළ කැමරා පද්ධතිය පොලිස් භාරයට ගෙන තිබුණා.

පසුව තාහිර් හාජ්ජියාර් නම් පුද්ගලයා අත්අඩංගුවට ගෙන මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු රුපියල් ලක්ෂයක ශරීර ඇපමත නිදහස් කෙරෙන ලෙසයි නියෝග කෙරුණේ.

ඉන්අනතුරුව දෙවනගල භාරකාර හිමියන් වැඩවසන ආවාස ගෙයට යන එන පුද්ගලයන් නිරීක්ෂණය කිරීම සඳහා තවත් පුද්ගලයෙකු විසින් සී.සී.ටී.වී. කැමරා පද්ධතියක් සවිකර තිබූණේ මෙලෙසින්.

*********************************************

මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 50% ක් දේශීයව නිෂ්පාදනයට සැලසුම්

(10.09.2020 – 21:37 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි වසර 3 තුළ, මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 50% ක් දේශීයව නිෂ්පාදනයට සැලසුම් කර තිබෙනවා.

විදේශ වෙළෙඳපොළට සහ ජනතාවට අවශ්‍ය ප්‍රමිතියෙන් යුතු ඖෂධ දැරිය හැකි මිලකට ලබාදීම එහි ඉලක්කයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ සහ ප්‍රමිතීන්ට අනුකූලව සියලු නිෂ්පාදන සිදු කෙරෙනු ඇති.

මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 85% මේවන විට ආනයනය කරනු ලබනවා.

ඒ සඳහා වාර්ෂිකව වැය කෙරෙන මුදල රුපියල් බිලියන 130 ක්.

මෙරට ඖෂධ අවශ්‍යතාව දේශීයව සපුරා ගැනීමෙන් වාර්ෂිකව රුපියල් බිලියන 60 ක් රටට ඉතිරි වන අතර අදාළ ඉලක්ක ජය ගැනීමට හැකි බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේ.

ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබද අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව කියසිටියා.

දැනට ආසියානු කලාපය තුළ වැඩියෙන්ම ඖෂධ ආනයනය කරන රට ශ්‍රී ලංකාව වන අතර වහාම මෙම තත්ත්වය වෙනස් කළ යුතු බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ.

ඊට දායක වීමට මහා පරිමාණ දේශීය ආයෝජකයන් කැමැත්ත පල කර තිබෙන බව ද ඔහු සඳහන් කළා.

විදේශීය වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් ඖෂධ නිෂ්පාදනය සඳහා අක්කර 400 ක ආයෝජන කලාපයක් හම්බන්තොට කර්මාන්ත පුරවරයේ ස්ථාපනය කිරීමට නියමිතයි.

ඊට එක්වීමට ලොව ඉහළ පෙළේ ඖෂධ නිෂ්පාදන සමාගම් දැනටමත් ඉදිරිපත්ව සිටින බව මෙහිදී සඳහන් කෙරුණා.

අප්‍රිකානු සහ අග්නිදිග ආසියානු කලාපයේ ඖෂධ සඳහා විශාල ඉල්ලුමක් පවතින අතර එම වෙළෙඳපළ අවස්ථා අත්කර ගැනීම ද ඉලක්කක්.

රාජ්‍ය අංශය දියුණු කරන අතර පෞද්ගලික අංශයේ ව්‍යවසායකයින් ද ශක්තිමත් කිරීමට රජය බැඳී සිටින අතර ඖෂධ නිෂ්පාදනය සඳහා ආයෝජනයට එක්වන ලෙසටයි ජනාධිපතිවරයා ඖෂධ නිෂ්පාදන ආනයන සමාගම් වෙත විවෘතව ආරාධනා කළේ.

දේශීය අයෝජකයන් සඳහා අයෝජන කලාපයක් අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේ අක්කර 100 ක භූමි භාගයක ඉදි කිරීමට සැලසුම් කර තිබෙනවා.

මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් 25 දෙනෙක් ඇමරිකානු ඩොලර් මිලියන 300 කට වැඩි ආයෝජනයක් කිරීමට සූදානම්ව සිටින බව සඳහන්.

වත්මන් රජය යටතේ මෙරට ඖෂධ නිෂ්පාදනයේ සුවිශේෂ ප්‍රගතියක් පෙන්නුම් කර ඇති අතර මේ වන විට රට තුළ අත්‍යාවශ්‍ය ඖෂධවල හිඟයක් නොමැති බවටයි අනාවරණය කෙරුණේ.

සෑම මසකටම එක් නව ඖෂධයක් රට තුළ නිෂ්පාදනය ආරම්භ කර ඇති අතර ඉදිරි වසරේදී සති දෙකකට වරක් නව ඖෂධයක් නිෂ්පාදනය ඉලක්කයි.

මිට පෙර ඖෂධ නිෂ්පාදන ලියාපදිංචියට වසරකට ආසන්න කාලයක් ගත වුව ද එම ප්‍රමාදය මගහැරීමට අවශ්‍ය නෛතික සංශෝධන කඩිනමින් හඳුන්වාදීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කර තිබෙනවා.

ඖෂධ නියාමන අධිකාරිය තුළ දේශීය ඖෂධ ලියාපදිංචිය ඇතුළු ගැටලු නිරාකරණය සඳහා වෙනම ඒකකයක් ස්ථාපනයට ද තීරණය කර තිබෙනවා.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ නිෂ්පාදන ජනතාවට පහසු මිලට ලබාගැනීම සඳහා දිවයින පුරා සතොස සහ සමූපකාර සුපිරි වෙළෙඳසැල්වල ඖෂධ අළෙවිසැල් 100 ක් ස්ථාපනය කිරීමට ද සාකච්ඡා වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

නිවාස වෙතම ඖෂධ සැපයීමේ වැඩපිළිවෙළක් පිළිබඳව ද අවධානය යොමු වී තිබෙනවා ෴

*********************************************

ජාතික පාසල් සංඛ්‍යාව දහස (1000) දක්වා වැඩි කිරීමට රජයේ අවධානය

(10.09.2020 – 22:50 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ සමස්ත ජාතික පාසල් සංඛ්‍යාව දහස (1000) දක්වා වැඩි කිරීමට සහ මෙතෙක් නමට පමණක් සීමා වී ඇති ජාතික පාසල් කඩිනමින් සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සියලු රාජ්‍ය අමාත්‍යවරුන් සමග අද (10) ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකදීයි.

මේ අතර පාසල් පද්ධතියේ දියුණුව පිණිස දිස්ත්‍රික් අධ්‍යාපන කමිටු පත් කිරීමටද ජනාධිපතිතුමා ප්‍රමුඛ රාජ්‍ය අමාත්‍යවරු තීරණය කළ බව සඳහන්.

අධ්‍යාපන කලාප කාර්යාල සහ කොට්ඨාශ කාර්යාල අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමට ද එකඟත්වය පළ වී තිබෙනවා.

එහිදී ගුරු මාරු සහ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීම හැර පාසල් පද්ධතියේ දියුණුවට ඉවහල්වන සෑම කාර්යයකටම හවුල් වීමේ අවස්ථාව දේශපාලනඥයන්ට විවෘතව පවතින අතර එය පොදු යහපත අරමුණු කරගත්තක් මිස දේශපාලන ඇඟිලි ගැසීමක් නොවන බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.

මේ අතර දිවයිනේ පාසල්වල විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා වැඩබලන විදුහල්පතිවරු පත්කිරීම පිළිබඳව ද අවධානය යොමු වී තිබෙනවා.

ගුරු ව්‍යවස්ථාව අනුව වසරක් පතා ගුරු විභාග පැවැත්විය යුතුය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේ විදුහල්පති පුරප්පාඩුවට ප්‍රධාන හේතුව එය විධිමත්ව සිදු නොවීම බවයි.

එහිදී පාසල්වල සිටින දක්ෂ සහ පළපුරුදු ගුරුවරුන් වැඩබලන විදුහල්පතිවරු ලෙස පත් කිරීමට ඇති ඉඩ කඩ විමසා බැලීමට ද තීරණය වූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරත් දැක්වෙන්නේ ෴

***************************************

11-09-2020

*********************************************

පාලමක් කඩාවැටී පුත්තලම – අනුරාධපුර මාර්ගයේ ගමනාගමනයට බාධා

(11.09.2020 – 07:39 +0530 – hirunews.lk/sinhala)

පුත්තලම – අනුරාධපුර මාර්ගයේ කිලෝමීටර තිස් අටේ (38) කණුව ආසන්නයේ පාලමක් කඩාවැටීමෙන් ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ත්‍රිකුණාමලය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ කන්ටේනර් රථයක් පාලම මතින් ගමන් කරන අවස්ථාවේදී එම පාලම කඩාවැටුණු බවයි.

මේ නිසා විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා.

මෙම පාලමේ වසර දෙකහමාරක (2½) පමණ කාලයක සිට කිසිදු අලුත්වැඩියාවක් සිදු නොවූ බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%B8+-+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29

+++++++++++++++++++++

*********************************************

තිරසර සංවර්ධන අරමුණු පිළිබඳව පංච පුද්ගල කමිටු වාර්තාව අගමැතිට

(11.09.2020 – 07:44 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍යවරයා සහ නෙදර්ලන්න තානාපතිනිය අතර හමුවක් ඊයේ (10) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී සිදුවුණා.

මේ අතර තිරසර සංවර්ධන අරමුණු පිළිබඳ පංච පුද්ගල කමිටු වාර්තාව එම කමිටු සාමාජිකයින් විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබුවා.

විදේශ කටයුතු අමාත්‍යවරයාගේ උපදෙස් මත පත් කළ මෙම පංච පුද්ගල කමිටුවේ සභාපති ලෙස විදේශ කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් අහමඩ් ජාවිඩ් මහතා කටයුතු කළ අතර කමිටුවේ සෙසු සාමාජිකයින් වුයේ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ඇන්ටන් පෙරේරා, අචාර්ය ලොයිඩ් ප්‍රනාන්දු, මහාචාර්ය සී. එස්. වීරරත්න යන මහත්වරුන් සහ චාමින්ද්‍රි සපරමාදු මහත්මියයි.

විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත 2030 ගෝලීය තිරසර සංවර්ධන ඉලක්කවලට අදාළ ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන අරමුණු සොයා බැලීමට මෙම පංච පුද්ගල කමිටුව පත් කර තිබුණා.

****************

(11.09.2020 – 08:04 +0530 – hirunews.lk/sinhala)

උතුරු කළුතර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක විදුහල්පතිවරයෙකු කළ පහරදීමකින් සිසුවෙකු රෝහල්ගත කර තිබෙනවා.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ අදාළ පාසලේ 7 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් 06 දෙනෙකු බවයි වාර්තාවන්නේ.

ඉන් එක් සිසුවෙකු පහරකෑමෙන් අනතුරුව රෝහල්ගතකර ඇති බවයි සඳහන් වන්නේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් මේ වනවිට උතුරු කළුතර පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා ෴

*********************************************

බන්ධනාගාරයේ සිට මෙහෙයවන මත්කුඩු ජාවාරමකට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

(11.09.2020 – 09:41 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර රැඳවියෙකු මෙහෙයවන මත්කුඩු ජාවාරමකට සම්බන්ධ කාන්තාවක ඇතුලු දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැල්ලම්පිටිය – වෙන්නවත්ත ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 100 යි මිලිග්‍රෑම් 983 ක් සමඟ මෙම සැකකරු සහ සැකකාරිය සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ (10) දිනයේදියි.

මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් දැනට බන්ධනාගාර ගතව ‘බොරැල්ලේ සම්පත්’ නැමති පුද්ගලයා මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ගෝලයෙකු පසුගියදා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව, ඔහුගේ සමීපතමයින් වන මෙම කාන්තාව සහ අනෙක් සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා.

ඔවුන් 27 සහ 42 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේම පදිංචිකරුවන්.

මේ අතර බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ වැටලීම්වලදී විවිධ චෝදනා යටතේ සැකකරුවන් 392 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් 152 ක් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අය බවයි පොලීසිය සඳහන් කළේ ෴

*********************************************

වසා දැමුණු රජරට විශ්වවිද්‍යාලයේ පීඨ කිහිපයක් විවෘත කෙරේ

(11.09.2020 – 12:39 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් වසා දැමුණු රජරට විශ්වවිද්‍යාලයේ පීඨ කිහිපයක අධ්‍යයන හා විභාග කටයුතු ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව සමාජයීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ දේශන සමාලෝචන සහ විභාග කටයුතු ලබන 16 වනදා ආරම්භ කරන බවයි එම විශ්වවිද්‍යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

එමෙන්ම කළමනාකරණ අධ්‍යයන පීඨයේ කටයුතු මේ මස 28 වනදා ආරම්භ වන අතර, 2016, 2017 සහ 2018 අධ්‍යයන වර්ෂවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පමණක් මේ මස 16 වන දින සිට අධ්‍යයන කටයුතු ආරම්භවීමට නියමිතයි.

එම පීඨවල නේවාසිකාගාර පහසුකම් ලබන සිසුන් 15 වනදා පස්වරු හතරට පෙර නේවාසිකාගාරවලට පැමිණිය යුතු බවයි එම විශ්වවිද්‍යාලය නිවේදනය කළේ.

ඊයේ (10) දිනයේදී ආසාදිතයින් 08 දෙනෙකු වාර්තාවූ අතර, ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 3,155 ක්.

එම ආසාදිතයන් මාලදිවයිනේ සිට පැමිණි පස්දෙනෙකු (5) සහ කුවේට්, සිංගප්පූරු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් සිට පැමිණි අය වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

මේ අතර අද (11) උදෑසනින් අවසන් වූ පැය 24 තුළ තවත් නව ආසාදිතයන් 96,551 ක් වීමත් සමඟ ඉන්දියාවේ සමස්ත කොරෝනා වෛරස් ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 45 ඉක්මවා තිබෙනවා.

එමෙන්ම ගතවූ පැය 24 තුළ තවත් කොරෝනා මරණ 1,209 ක් ඉන්දියාවෙන් වාර්තාවී ඇති අතර, ඒ අනුව එරට කොරෝනා මරණ සංඛ්‍යාව 76,304 දක්වා ඉහළ යනවා.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ ‘ඇස්ට්‍රා – සෙනෙකා’ කොරෝනා එන්නතේ අත්හදාබැලීම් තාවකාලිකව අත්හිටවුවද වෛරසයට එරෙහි එන්නතක් සංවර්ධනය කිරීමේ ප්‍රයත්නය අධෛර්යමත් නොවිය යුතු බවයි.

බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය ප්‍රමුඛව සංවර්ධනය කෙරුණු එම එන්නත කොරෝනා වෛරසයට එරෙහිව මෙතෙක් නිපදවූ සාර්ථකම එන්නත ලෙස සැළකුණද එමඟින් ස්නායු පද්ධතියේ රෝගී තත්ත්වයන් වර්ධනය වීමත් සමඟ එහි අත්හදාබැලීම් නතර කෙරුණා.

එමෙන්ම චීනය කොරෝනා වෛරසයට එරෙහිව සංවර්ධනය කර ඇති නාස් කුහරයට ලබාදෙන දියර ඉසිරුම් එන්නතෙහි අත්හදාබැලීම් සඳහා එරට නියාමනයේ අනුමැතිය හිමිව ඇති බව සඳහන් ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *