ජාතික බුද්ධි සේවය පිළිබඳ කොමිසමේදී හෙළි වූ දේ

ජාතික බුද්ධි සේවය පිළිබඳ කොමිසමේදී හෙළි වූ දේ

ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රිවරයාගේ දිවුරුම්දීම, පාර්ලිමේන්තුවේදී අදත් (11) සංවාදයට

ඉතිහාසයට එක් වන කලුතර ගුලවිට ලෙන

ගව මස් පිළිකා කාරකයක් – GMOA

මිනිසුන් නැති, ලග්ගල සුපිරි සති පොළ

පොලිස් නිලධාරීන්ට සහ සැකකරුවන් ගැන තොරතුරු ලබාදෙන්නන්ට ගෙවන ත්‍යාග මුදල් ඉහළ නංවයි

බීමත් මෝටර් රථ රියදුරා කළ අනතුරේ CCTV දර්ශන

මහවැලි ගඟට වැටුණු තරුණියගේ සිරුර සොයා ගනී – දිවි නසා ගන්නට ඇතැයි සැකයක්

වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරින් වර්ජනයකට සැරසේ

පාසල් ළමුන්ගේ පෝෂණය ඉහළ දැමීමට අගමැතිගෙන් යෝජනාවක්

කැකිරාව බමුණුගම ප්‍රදේශයේදී වන අලියෙකු විදුලි සැර වැදීමෙන් මරුට

සිංහරාජයට යාබදව හෝටල් සංකීරණය ඉදිවේ – වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක

කඩුවෙල හිටපු මහේස්ත්‍රාත් ධම්මික හේමපාලට ජනපති කොමිසමෙන් දැඩි අවවාද

අදත් (11) රුසියාවෙන් නිවේදනයක් – වෛද්‍යවරුන්, වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය ප්‍රශ්න කරයි

*********************************************

ජාතික බුද්ධි සේවය පිළිබඳ කොමිසමේදී හෙළි වූ දේ

(11.09.2020 – 13:11 +0530 – hirunews.lk/sinhala)

ත්‍රස්තවාදි කටයුතු වැලැක්වීම සදහාම විශේෂයෙන් ස්ථාපිත කරන ලද පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සහරාන් හෂීම් අත්අඩංගුවට ගනිවි යැයි තමන් බලාපොරොත්තු වුවද පාස්කු ප්‍රහාරය එල්ල කරන තෙක්ම ඔවුන් එසේ කිරීමට අසමත් වු බව හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතා පවසනවා.

පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ශය කරන ජනාධිපති කොමිසම හමුවේ ඔහු ඊයේ (10) තෙවන (3) දිනටත් සාක්ෂි ලබාදුන් අතර එහිදී ඔහු පැවසුවේ ආවේක්ෂණ රාජකාරී සඳහා ජාතික බුද්ධි සේවයට සිටියේ නිලධාරීන් 22 කු පමණක් බවයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල වු අවස්ථාවේ මෙරට ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස කටයුතු කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා සාක්ෂි ලබාදීම සදහා ඊයේ (10) ජනාධිපති කොමිසම හමුවට පැමිණියේ තුන්වන (3) දිනටයි.

එහිදි ජනාධිපති කොමිසමේ සමාජික විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ප්‍රශ්න කර සිටියේ බුද්ධි තොරතුරු රැස් කිරීම සදහා බුද්ධි නිලධාරින් ආවේක්ශන රාජකාරි සඳහා යොදවා තිබුණේද යන්නයි.

සිසිර මෙන්ඩිස් – හිටපු ජාතික බුද්ධි ප්‍රධානී :
“මට එහෙම ආවේක්ෂන රාජකාරි සදහා යෙදවීමට බුද්ධි නිලධාරින් හෝ තොරතුරුකරුවන් සිටියේ නැහැ. මගේ කාර්යය මණ්ඩලයටම හිටියේ නිලධාරින් 22 යි. ඒකෙන් දෙදෙනෙක් (2) රියදුරන්. තොරතුරු ලබාගැනීම සදහා බුද්ධි නිලධාරින් සහ තොරතුරුකරුවන් පවත්වාගෙන යන්නේ රාජ්‍ය බුද්ධි සේවය. ඔවුන් තමයි බුද්ධි තොරතුරු රැස් කරන රටේ ප්‍රධානතම ආයතනය. තොරතුරුකරුවන් පවත්වාගෙන යන්න අපිට මූල්‍ය ප්‍රතිපාදන තිබුණෙත් නැහැ”

මෙහිදි රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකරුවෙත ලේඛනයක් පෙන්වා සිටියා.

රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය :
“සහරාන් සිය සමාජ ජාලා ගිණුම් ඔස්සේ අන්තවාදය පතුරුවන බවට රාජ්‍ය බුද්ධි සේවයේ එවකට අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා විසින් ඔබව දැනුවත් කර තිබුණා ද ?”

සිසිර මෙන්ඩිස් – හිටපු ජාතික බුද්ධි ප්‍රධානී :
“ඔව් දැනුවත් කර තිබුණා. මට වගේම පොලිස්පති, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වගේම බුද්ධි සමාලෝචන රැස්වීම්වලත් ඒ පිළිබදව දැනුවත් කර තිබුණා “

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු :
“ඒ තොරතුරු ලැබුණම ඔබ මොකද කළේ ?”

සිසිර මෙන්ඩිස් – හිටපු ජාතික බුද්ධි ප්‍රධානී :
“අපි මීට පෙර සාමාන්‍යයෙන් විශේෂ කණ්ඩායම් සහ විශේෂ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට වෙනම කණ්ඩායම් පත්කර තිබුණා. පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය පිහිටවනු ලැබුවේම එවැනි කාර්යවලට. එය සෘජුවම තිබුනේ පොලිස්පති යටතේ. සහරාන් සම්බන්ධ තොරතුරු පොලිස්පතිවරයාටත් ගොස් තිබූ නිසා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විශේෂ කණ්ඩායමක් යොදා මේ සැකකරු අත්අඩංගුවට ගනි කියලා මම බලාපොරොත්තු වුණා. ඔවුන් සහරාන් හෂීම්ගේ බිරිදගේ කැකුණුගොල්ලේ නිවසටත් ගොස් තිබුණා. ඉතිං මම බලාපොරොත්තු වුණා ඔවුන් වැඩේ ඉන්නවා කියලා.”

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු :
“ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස ඔබ ඒ පිළිබද සොයා බැලීමක් කළාද ?”

සිසිර මෙන්ඩිස් – හිටපු ජාතික බුද්ධි ප්‍රධානී :
“ඔව් මම සොයා බැලීමක් කළා. ඒ වන විට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ සහකාර පොලිස් අධිකාරිවරයාගෙන් මම ඇහුවම කිව්වේ ඔවුන් ඒ සම්බන්ධයෙන් කටයුතු කරගෙන යනවා කියලා “

ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු :
“සහරාන් හෂිම් ඇතුළු කණ්ඩායම නේපාලය, කිරිකිස්තානය සහ කසකස්තානය වැනි රටවල දුරකථන සිම්පත් භාවිත කර තිබූ බවට හිටපු අමාත්‍ය රවුෆ් හකිම් මහතා කොමිසම හමුවේ පසුගිය දා සඳහන් කළා. එවැනි තොරතුරක් ගැන ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස ඔබ දැනුවත්ව සිටියද ?”

සිසිර මෙන්ඩිස් – හිටපු ජාතික බුද්ධි ප්‍රධානී :
“මට එවැනි තොරතුරක් ලැබී තිබුණු බවට මතකයක් නෑ. නමුත් රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට එවැනි තොරතුරක් ලැබී තිබුණු බවට මතකයි.

ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු :
“ඇයි ඒ ගැන නොසෙව්වේ ?

සිසිර මෙන්ඩිස් – හිටපු ජාතික බුද්ධි ප්‍රධානී :
“පැහැදිළිව ඒක මට ලැබුණේ නැ. ඒ ගැන මගේ අවධානයට යොමු වුනේ පාස්කු ප්‍රහාරයට පසුව.”

මේ අතර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් ජනාධිපති කොමිසම හමුවේ මීට පෙර ලබාදී තිබු සාක්ෂි වලට අදාළව හරස් ප්‍රශ්න විමසීම සඳහා සමස්ථ ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය ඇතුළු මුස්ලිම් සංවිධාන 10 ක් කර තිබු ඉල්ලීම අනුව ඊයේ (10) රාත්‍රියේ තුන්වන (3) දිනටත් හරස් ප්‍රශ්න විමසීම සිදුකෙරුණා

කෙසේ වෙතත් සමස්ථ ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය නියෝජ්‍ය කරමින් පැමිණ පෙරේදා (09) දින ජනාධිපති කොමිසමේ සාක්ෂි පටිගත කරමින් සිටියදි හසුවු එහි වැඩබලන ලේකම් මව්ලවිවරයා හෝ ඔහුට සහය දැක්වු කණිෂ්ඨ නීතිඥවරයා ඊයේ (10) දින ජනාධිපති කොමිසමට පැමිණ නොතිබීම විශේෂත්වයක්.

මෙහිදි සමස්ථ ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ ජාවිඩ් යූසුෆ් මහතා පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නම් ලැයිතුවක් සහිත ලේඛනයක් පෙන්වා සිටියා.

නීතීඥ ජාවිඩ් යූසුෆ් – සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය වෙනුවෙන් :
“ඔබවහන්සේ කියලා තියෙනවා සමස්ථ ලංකා ජමෙයිතුල් උලමා සංවිධානයේ විධායක සභාව වහබ්වාදින්ගෙන් පිරිලා කියලා. මෙම ලැයිස්තුවේ එවැනි මතධාරින් සිටිනවා කියා ඔබ වහන්සේට පෙන්වා දෙන්න පුළුවන්ද?”

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි :
“ඔය ලැයිස්තුවේ සිටින සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානයේ සභාපති ලෙස හැදින්වෙන අෂ්ශෙයික් රිස්වි කියන්නේ තබ්ලික් මතධාරියෙක්. උප සභාපති අෂ්ශෙයික් අගාර් මොහොමඩ් කියන්නේ ජමාතේ ඉස්ලාම් මතධාරියෙක්. විධායක සභාවේ සිටිනවා යැයි මේ ලැයිස්තුවේ නම් සඳහන් වන එම්.එම් මුබාරක්, අෂ්ශෙයික් මුර්ෂිඩ්, අෂ්ශෙයික් තාසිම් යන අයත් වහබ්වාදි මතධාරින්. මේවගේ සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය තුළ සිටින්නන්ගෙන් 50% ක්ම වහබ්වාදය යටතට ගැනෙන තබ්ලික් මතධාරින්. ඒ වගේම කිංග්ස්බරි හෝටලයට බෝම්බය ගැහුවෙත් එවැනිම තබ්ලික් ජමාත් මතධාරියෙක් “

නීතීඥ ජාවිඩ් යූසුෆ් – සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය වෙනුවෙන් :
“හරි 50% ක් තබ්ලික් මතධාරින් කියමුකෝ, එහෙම ඉන්න එකේ වරද මොකක්ද ?”

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි :
“වරද තමයි, කෙමෙන් කෙමෙන් මේ රට ඉස්ලාමිය රාජ්‍යයක් කරා ගෙනයනවා. වෙන වරදක් නැහැ. මෙරට නීතියට එරෙහි සිදුවීම් රැසක් පසුගිය සමය තුළ අටළුගම වැනි ප්‍රදේශවලින් වාර්තා වුණා. සෞදි අරාබියේ රියාද් නගරයේ මුද්‍රණය කළ වහබ්වාදි පොත්පත් මේ රටට ඇවිල්ලා තියෙනවා. මේවා සුළගින් එන්න බැහැනේ. මේ පොත්පත් මෙරට ජීවත්වන සාම්ප්‍රදායික සුෆි මුස්ලීම්වරුන් සිංහල සමාජයෙන් වෙන්කරලා වහබ්වාදය වෙත ගෙනයාමට හේතුවෙනවා. මෙන්න මේ වගේ තැනකටයි ඔය කියන සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය මේ රටේ මුස්ලීම් ජනතාව ගෙනියන්නේ. සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානයේ ඔය කියන සභාපතිතුමා අඩුම තරමේ දවටගහ පල්ලියටවත් යන්නේ නැහැ. සොහොන් වන්දනාව තියෙනවා කියලා.”

නීතීඥ ජාවිඩ් යූසුෆ් – සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය වෙනුවෙන් :
“ඔබ වහන්සේලා හලාල් නිෂ්පාදනවලට විරුද්ධ ඇයි ? “

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි :
“හලාල් කියන්නේ මුස්ලීම් ජනතාවගේ අයිතියක්. අපිට ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. අපිට ප්‍රශ්නය තියෙන්නේ හලාල් සම්බන්ධයෙන් ඇති ක්‍රියාවලිය ගැන. දත් බුරුසුවට මොකටද හලාල් ලාංජන? ඇයි වෙනම බැංකු ක්‍රම. ඇයි වෙනම ආහාර පාන. උලමාවරු කොහොමද සහතික නිකුත් කරන්නේ. පාරිභෝගික භාණ්ඩවලට හලාල් ලාංජන ඕනේ නැහැ. SLS සහතිකය තිබ්බාම හොදටම ඇති.”

මේ අතර හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් මහතාගෙන් මේ වන විට ජනාධිපති කොමිසම සිව්වන (4) දිනටත් සාක්ෂි විමසමින් සිටිනවා.

*********************************************

ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රිවරයාගේ දිවුරුම්දීම, පාර්ලිමේන්තුවේදී අදත් (11) සංවාදයට

(11.09.2020 – 12:56 +0530 – hirunews.lk/sinhala)

මරණ දඬුවම නියමවී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රිවරයෙකු ලෙස පසුගියදා පාර්ලිමේන්තුවේදී දිවුරුම්දීම සම්බන්ධව අදත් (11) පාර්ලිමේන්තුවේදී සංවාදයක් ඇතිවුණා.

මේ අතර 9 වන පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයට අදාළව කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව සහ කෝපා හෙවත් රජයේ ගිණුම් කාරක සභාව සඳහා නම් කළ සාමාජිකයින් කථානායකවරයා විසින් අද (11) ප්‍රකාශයට කළා.

එම කාරක සභා සඳහා සාමාජිකයින් විසි දෙදෙනා බැගින් ඇතුළත් වන අතර, ස්ථාවර කාරක සභාව සහ මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව සඳහා සාමාජිකයින් නම් කිරීමද අද (11) පාර්ලිමේන්තුවේදී සිදුවුණා.

ඒ අනුව කෝප් කමිටුවේ සාමාජිකයින් ලෙස අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන යන මහත්වරු නම් කර තිබෙනවා.

රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, ජයන්ත සමරවීර, දිලුම් අමුණුගම, ඉන්දික අනුරුද්ධ, සරත් වීරසේකර, නාලක ගොඩහේවා, ඩී.වී. චානක, අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරු ද ඊට ඇතුළත්.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවුෆ් හකීම්, අනුර කුමාර දිසානායක, පාඨලී චම්පික රණවක, ජගත් පුෂ්පකුමාර, ඉරාන් වික්‍රමරත්න, රන්ජන් රාමනායක, නලින් බණ්ඩාර, ප්‍රේමනාත් සී දොළවත්ත, ශානක්‍යා රාසමානික්කම්, මහාචාර්ය චරිත හේරත් සහ එස්. එම්. මරික්කාර් යන මහත්වරු ද කෝප් කමිටුව නියෝජනය කරන සාමාජිකයින් වනවා.

එසේම පසුගියදා අභාවප්‍රාප්ත වූ හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමාන් මහතා වෙනුවෙන් වන ශෝක යෝජනාව විවාදයට ගැනීමද අද (11) පාර්ලිමේන්තුවේදී සිදුවනවා.

******************

*********************************************

ඉතිහාසයට එක් වන කලුතර ගුලවිට ලෙන

(11.09.2020 – 13:18 +0530 – hirunews.lk/sinhala)

ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් පාහියන් ලෙනට සමාන ඓතිහාසික පසුබිමක් ඇති තවත් සුවිශේෂි ගල් ලෙනක් පිළිබඳව කලුතර වලල්ලාවිට ප්‍රදේශයෙන් හමුව තිබෙනවා.

මෙරට ඉතිහාසය පිළිබඳ නව පරිච්ඡේදයකට මුල පුරන එම ස්ථානය ගැනයි මේ විමසා බැලීම.

නූතන මානවයා මීට වසර 48,000 කට පෙර ජීවත්වූ බවටයි පාහියන්ගල ආශ්‍රිතව සාක්ෂි හමුවී ඇත්තේ.

එම ප්‍රාග් ඓතිහාසික යුගයට සමාන ඓතිහාසික පසුබිමක් ඇති මෙම සුවිශේෂී ගල් ලෙන පිළිබඳව තොරතුරු හමුව ඇත්තේ කලුතර වලල්ලාවිට ගුලවිට ප්‍රදේශයෙන්.

ගල් කොරියක් සදහා බලපත්‍ර ලබාදීම පිලිබඳව කරුණු සොයා බැලීමට ගිය පුරා විද්‍යා නිලධාරීන්ට අදාළ ගල් කොරිය ආසන්නයේ පිහිටා ඇති මෙම ගල් පර්වතය නිරීක්ෂණය වී තිබෙනවා.

ඉන් අනතුරුවයි අදාළ ස්ථානය සම්බන්ධයෙන් වැඩිදුර පර්යේෂන ආරම්භ වී ඇත්තේ.

මෙහි මතුපිට පරීක්ෂා කිරීම්වලදී ශිලා මෙවලම් ප්‍රාග් ඓතිහාසික මානවයින්ගේ ආහාර කොටස්වල අවශේෂ, ගල් ආයුධ ආදිය මෙහිදී හමුව තිබෙනවා.

එමෙන්ම මෙහි පිහිටා ඇති ගල් ඇන්දෙහි පස් තට්ටුවල ප්‍රාග් ඓතිහාසික සාධක පවතින බැවින් එයද වසර 48,000 ක කාල සීමාවකට පෙර ප්‍රාග් ඓතිහාසික මානවයන් ජීවත් වූ නවාතැන්පලක් බවටයි මේ වනවිට විශ්වාස කෙරෙන්නේ.

මානව ඉතිහාසය සම්බන්ධයෙන් වැදගත් සාක්ෂි සාධක රැසක් හමුව ඇති මෙම ගල් ලෙන සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමට නියමිතයි.

*********************************************

ගව මස් පිළිකා කාරකයක් – GMOA

(11.09.2020 – 13:23 +0530 – hirunews.lk/sinhala)

මෙරට තුළ ගව ඝාතනය තහනම් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කර ඇති යෝජනාව කිසිසේත් ආපස්සට හැරවීමට ඉඩ නොතබන බව මහා සංඝරත්නය පවසනවා.

මේ අතර, මේ සම්බන්ධයෙන් සංඝ රත්නය ඇතුළු පාර්ශ්ව කිහිපයක් අදහස් පළ කළා.

ගව ඝාතනය තහනම් කිරීමට අදාළ යෝජනාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගියදා පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට ඉදිරිපත් කර තිබු අතර ඊට ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ අනුමැතිය හිමිව තිබුණා.

මෙම යෝජනාව සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡාකර මසක් ඇතුළත එකඟතාවයකට පැමිණෙන බවයි අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ.

*********************************************

මිනිසුන් නැති, ලග්ගල සුපිරි සති පොළ

(11.09.2020 – 13:37 +0530 – hirunews.lk/sinhala)

මිනිසුන් නොගැවසෙන පාලු ස්ථානයක අංග සම්පූර්ණව ස්ථාපිත කළ සතිපොළ භූමියක් පිළිබඳව අපට මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල ප්‍රදේශයෙන් වාර්තා වුණා.

අද (11) ‘රතු මිනිත්තුව’ දිගහැරෙන්නේ ඒ පිළිබඳවයි.

මේ මාතලේ දිස්ත්‍රික්කයේ – ලග්ගල නව නගරයේ ස්ථාපිත කර ඇති ලග්ගල සතිපොලයි.

මොරගහකන්ද සහ කළුගඟ ජලාශ ඉදිකිරීමත් සමඟ ලග්ගල නව නගරය ස්ථාපිත කෙරෙනවා.

ඒ, ජලාශය ඉදිකිරීමත් සමඟ ගම් බිම් අහිමි වූ ජනතාව වෙනුවෙන්.

ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා බව පවසමින් මෙම සතිපොළ ජනතා අයිතියට පත් කෙරෙන්නේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 2019 ජනවාරි මස 08 වැනිදායි.

රුපියක් කෝටි ගණනකට අධික මුදලක් වැයකර නවීනතම ආකාරයට මෙන්ම ‘5 එස්’ ක්‍රමයට අනුව නිර්මාණය කළ මෙම සුපිරි සතිපොළට අත්ව ඇති ඉරණමයි මේ…

ප්‍රධාන නගරයේ සිට මීටර් 500 ක් පමණ දුරින් ස්ථාපිත කර ඇති මෙම සතිපොළ වෙත ඒමට ප්‍රවාහන පහසුකම් පවා නොමැති බවයි ජනතාව පවසන්නේ.

මේ හේතුවෙන් වසම් 37 ක ගොවි පවුල් එක්දහස් ගණනක් පත්ව ඇත්තේ ඉතා අසීරුතාවකටයි.

ජනතා මුදල් විශාල ප්‍රමාණයක් වැය කරමින් නුසුදුසු ස්ථානයක ඉදිකළ මෙම සතිපොළ මේ වනවිටත් සතුන්ගේ වාස භූමියක් බවට පත්ව අවසන්.

ජනතාවගේ බදු මුදල් රුපියල් කෝටි ගණනක් වැයකර ඉදිකළ සතිපොළක් මෙලෙස වල් වැදීමට ලක්වන්නේ කාගේ වරදින්ද?

මෙවැනි අසාර්ථක ව්‍යාපෘති වෙනුවෙන් වැය කළ ජනතා මුදලට වගකියන්නේ කවුරුද්ද?

රතු මිනිත්තුව අවධානයෙන්.

*********************************************

පොලිස් නිලධාරීන්ට සහ සැකකරුවන් ගැන තොරතුරු ලබාදෙන්නන්ට ගෙවන ත්‍යාග මුදල් ඉහළ නංවයි

(11.09.2020 – 14:13 +0530 – hirunews.lk/sinhala)

නීතිවිරෝධී ගිනි අවි සහ අත්බෝම්බ සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම්වලදී පොලිස් නිලධාරීන් සහ පෞද්ගලික ඔත්තුකරුවන් සඳහා ගෙවනු ලබන ත්‍යාග මුදල් ඉහළ නැංවීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව සැකකරුවෙකු සමඟ ටී 56 ගිනි අවියක් අත්අඩංගුවට ගැනීමේදී පොලිස් නිලධාරීන් සහ පෞද්ගලික ඔත්තුකරුවන් සඳහා රුපියල් 2,50,000 ක් බැගින් ත්‍යාග මුදල් ලබා දෙනු ඇති.

සැකකරුවෙකු නොමැතිව ටී 56 ගිනි අවියක් සොයාගනු ලැබුවහොත් පොලිස් නිලධාරියෙකු සඳහා රුපියල් ලක්ෂ 2 ක මුදලක් ගෙවනු ලබන අතර, පෞද්ගලික ඔත්තුකරුවෙකු සඳහා 2,50,000 ක මුදලක් හිමිවන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

මීට අමතරව රිපීටර් තුවක්කු, පතොරම් තුවක්කු පිස්තෝල, රිවෝල්වර ඇතුලු ගිනි අවි මෙන්ම අත්බෝම්බ සඳහාද ලබාදෙන ත්‍යාග මුදල් වැඩි කර තිබෙනවා ෴

***************

පාසල් ළමයින් ඉලක්ක කරගනිමින් සිදුකරගෙන ගිය තූල් නැමති මත්ද්‍රව්‍ය විකිණීමේ ජාවාරමක නිරත වූ අඹුසැමි යුවළක් කිරුළපන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බම්බලපිටිය පොලීසිය සඳහන් කළේ ඔවුන් සතුව තිබී තූල් නැමති මත්ද්‍රව්‍ය පැකට් 20 ක් සොයා ගත් බවයි.

එමෙන්ම, එම මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා භාවිත කරන දුම්කොළ ඇතුලු තවත් ද්‍රව්‍ය කිහිපයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අදාළ යුවළගේ මව විසින් දීර්ඝ කාලයක සිට මෙම ජාවාරම සිදුකර ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකාර මව නිවසේ සිට නැහැ ෴

***************

කංජිපානි ඉම්රාන් බූස්ස නාවික රෝහලට

(11.09.2020 – 15:34 +0530 – hirunews.lk/sinhala)

බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මොහොමඩ් නජීම් මොහොමඩ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් බූස්ස නාවික හමුදා රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඒ ඔහුගේ පපුව ආශ්‍රිතව හට ගත් අසනීප තත්ත්වයක් හේතුවෙන්.

ඊයේ (10) පෙරවරුවේ සිට කංජිපානි ඉම්රාන්, පොඩි ලැසී සහ වෙලේ සුදා ඇතුළු රැඳවියන් කිහිපදෙනෙකු බන්ධනාගාරයේ ආහාර වර්ජනයේ නිරත වනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ජංගම දුරකථන පහසුකම් ලබාදීම, තමන් හමුවට එන නීතිඥවරුන් හමුවීම සඳහා වැඩි කාලයක් ලබාදීම සහ නඩු කටයුතු සඳහා පිටතට ගොස් යළි බන්ධනාගාර වෙත පැමිණීමේදී සිදුකරන පරීක්ෂා ඉවත් කිරීම ආදී ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් මෙම ආහාර වර්ජනය ආරම්භ කර ඇති බවයි.

මීට පෙර ද පොඩි ලැසී ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී බන්ධනාගාර ගතව සිටි පිරිසක් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ආහාර වර්ජනයේ නිරත වුණා.

ඒ පිළිබඳ සොයා බැලීම සඳහා බන්ධනාගාර නිලධාරින් පැමිණි අවස්ථාවේදී පොඩි ලැසී ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින් පිරිස ඔවුන්ට මරණ තර්ජන එල්ල කරනු ලැබුවා.

ඊට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මේ මස 25 වනදා පොඩි ලැසී අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පසුගියදා නියෝග කළේ ෴

*********************************************

බීමත් මෝටර් රථ රියදුරා කළ අනතුරේ CCTV දර්ශන

(11.09.2020 – 14:25 +0530 – hirunews.lk/sinhala)

වැලිමඩ – උඩුපුස්සැල්ලාව මාර්ගයේ ගමේතැන්න ප්‍රදේශයේදී බීමත් රියදුරෙකු විසින් අපරීක්ෂාකාරී ලෙස පැදවූ මෝටර් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයක ගැටී අනතුරක් සිදු වූ අතර එම අනතුර අසල පිහිටි සී.සී.ටී.වී කැමරාවක සටහන්ව තිබුණේ මෙලෙසින්.

*********************************************

මහවැලි ගඟට වැටුණු තරුණියගේ සිරුර සොයා ගනී – දිවි නසා ගන්නට ඇතැයි සැකයක්

(11.09.2020 – 15:59 +0530 – hirunews.lk/sinhala)

කටුගස්තොට කුඩා පාලම අසල ප්‍රදේශයේදී මහවැලි ගඟේ ගිළුණු තරුණියකගේ සිරුර ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන තිබෙනවා.

අද (11) පෙරවරුවේ මෙම තරුණිය ගඟට වැටී දඟලමින් සිටිනු දැක ඇති අසල සිටි තරුණ පිරිසක් එක්ව, ඇය බේරාගැනීමට මහත් පරිශ්‍රමයක් දැරූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

කෙසේවෙතත් ඒ වන විට එම තරුණිය ජීවිතක්ෂයට පත්ව ඇති අතර මහවැලි ගඟට එකතු වන පිඟා ඔයේ තිබී සිරුර සොයා ගත් බව සඳහන්.

සිත් තැවුලක් හේතුවෙන් මෙම තරුණිය සිය දිවි නසා ගෙන ඇති බවට පොලීසිය සැක පළ කරනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කටුගස්තොට යහලතැන්න ප්‍රදේශයේ පදිංචි ඇඟළුම් කම්හලක සේවය කළ 21 හැවිරිදි තරුණියක්.

මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ කටුගස්තොට පොලීසිය විසින් සිදු කරනවා.

*********************************************

වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය වෙනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරින් වර්ජනයකට සැරසේ

(11.09.2020 – 16:06 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට කටයුතු නොකළහොත් සැප්තැම්බර් 21 වනදායින් ආරම්භ වන සතිය තුළ දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ විධායක සභාව ඊයේ (10) රැස්වී එම තීරණයට එළඹ ඇති අතර, ඉදිරියේදී හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් ද කැඳවීමටයි තීරණය කර ඇත්තේ.

වෛද්‍ය සේවාවේ ගුණාත්මකභාවය සහ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ආරක්ෂා කර ගැනීම සඳහා ඇති රාජ්‍ය ආයතනය වන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වසර 90 ක කාලයක් ස්වාධීනව පැවති අතර, එය දේශපාලනීකරණය කිරීමට සහ දුර්වල කිරීමට ක්‍රියා කළ එකම අමාත්‍යවරයා රාජිත සේනාරත්න බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසන්නේ ෴

*********************************************

පාසල් ළමුන්ගේ පෝෂණය ඉහළ දැමීමට අගමැතිගෙන් යෝජනාවක්

(11.09.2020 – 17:08 +0530 – hirunews.lk/sinhala)

පාසල් ළමුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ දැමීම සඳහා දෛනිකව බිත්තරයක් ලබාදීම පිළිබඳව සොයා බලන්නැයි අධ්‍යාපන අමාත්‍යවරයාට උපදෙස් ලබා දී ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

බේකරි හිමියන්ගේ සංගමය හා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය අද (11) හමු වූ අවස්ථාවේදීයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

බේකරි නිෂ්පාදන සඳහා බිත්තර මිල බලපාන ආකාරය පිළිබඳ බේකරි නිෂ්පාදකයින්ගේ සංගමය විසින් මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් කර තිබෙනවා.

බිත්තර නිෂ්පාදනයේදී වැයවන අධික පිරිවැය සම්බන්ධයෙන් බිත්තර නිෂ්පාදකයන් එහිදී කරුණු පැහැදිළි කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

දිවයිනේ සියලුම බේකරි නිෂ්පාදන ආයතන සඳහා ස්ථාවර තොග මිලකට බිත්තර ලබාදීමට හැකි බව බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය මෙම හමුවේදී අවධාරණය කර තිබෙනවා.

ඒ අනුව පාරිභෝගිකයන්ට සහනයක් සැලසෙන අයුරින් සංගම් දෙක අතර ගිවිසුම්ගත සම්මුතියකට පැමිණෙන ලෙසටයි අග්‍රාමාත්‍යවරයා අදාළ නියෝජිත පිරිසට දන්වා ඇත්තේ.

කුකුළු පැටවකුගේ මිල රුපියල් 175-200 අතර මිලකට පහත හෙළීම පිළිබඳව සහ බිත්තර නිෂ්පාදකයන් සහ බේකරි හිමියන් සඳහා වන ගිවිසුම් ගත එකඟතාවයට මැදිහත්වන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විෂය භාර අමාත්‍යවරුන්ට මෙම හමුවේදී උපදෙස් ලබාදී තිබෙනවා.

මේ අතර රටේ නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කිරීමට නව රජය කැපවී කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

කොළඹ හෙද විදුහලේ හෙද සිසුන් 298 දෙනෙකු සඳහා සේවය ඇගයීමේ උළෙලකට අරලියගහ මන්දිරයේදී අද (11) එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා ෴

*********************************************

කැකිරාව බමුණුගම ප්‍රදේශයේදී වන අලියෙකු විදුලි සැර වැදීමෙන් මරුට

(11.09.2020 – 18:36 +0530 – hirunews.lk/sinhala)

කැකිරාව බමුණුගම ප්‍රදේශයේදී අනවසර පෞද්ගලික විදුලි වැටක විදුලි සැර වැදීමෙන් වන අලියකු මියගොස් තිබෙනවා.

එලෙස මරණයට පත්වී ඇත්තේ උස අඩි 08 ක් පමණ වන වයස අවුරුදු 25 ක අලියෙකු බවයි වාර්තා වන්නේ.

එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සිය වගා බිම වටා ඉදිකර තිබූ අනවසර පෞද්ගලික විදුලි වැටකට අමතර උපකරණ සම්බන්ධ කර අධිවිදුලි ධාරිතා සැපයීමට කටයුතු කර ඇති බව සිදුකරන ලද මූලික විමර්ශණවලදී අණාවරණය වී තිබෙනවා

එම විදුලි සැර වැදීමෙන් එම අලියා මිය ගොස් ඇති බවයි අද (11) දහවල් පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී පශු වෛද්‍යවරයා තහවුරු කර ඇත්තේ.

වන අලියාගේ ඝාතනය සම්බන්ධයෙන් අදාළ වගාබිමේ හිමිකරු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වගා බිම වටා ඉදිකර තිබූ අනවසර විදුලි වැටට සවිකර තිබූ උපකරණ ද වනජීවි නිලධාරින් සිය භාරයට ගෙන තිබෙනවා.

සැකකරු සහ නඩු භාණ්ඩ කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් රිටිගල වනසත්ව අඩවි කාර්යාලය මගින් වැඩිදුර විමර්ශණ සිදුකරනවා ෴

*********************************************

සිංහරාජයට යාබදව හෝටල් සංකීරණය ඉදිවේ – වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක

(11.09.2020 – 19:00 +0530 – hirunews.lk/sinhala)

පුත්තලම ආනවිළුන්දාව රක්ෂිතය බෑකෝ යාන්ත්‍ර යොදාගනිමින් විනාශ කිරීමට කටුතු කළ අයට සහයෝගය දුන් දේශපාලඥයන් සිටිනවානම් ඔවුන්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කරණ බව වන ජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසනවා.

සියල්ල නොසඟවා රටට කියන හිරු ඇත්ත සමඟ එක්වෙමින් ඔහු මෙම අදහස් පැවැසුවා.

පුත්තලම ආනවිළුන්දාව රක්ෂිතයේ කිසිදු ඉස්සන් කොටුවක් මින් පසු කිසිවෙකුටත් බදු දීමට ඉඩ නොදෙන බවද ඔහු පවසනවා.

ජාතික උරුමයක් වන සිංහරාජයට යාබදව ඉදිවෙමින් ඇති මාර්ගය පිළිබඳවත් ඇමැතිවරයා මෙහිදී කරුණු පැවැසුවා.

එම මාර්ගය ඉදිකිරීම් නතර කිරීමට නොහැකි හේතු පිළිබඳවත් පැවසු සී.බී. රත්නායක මහතා සිංහරාජයට යාබදව ඉදිවෙන හෝටල් සංකීරණයක් පිළිබඳව ද කරුණු පැවැසුවා.

ඇමතිවරයා හිරුට පැවසු සම්පුර්ණ අදහස් පහතින් :

*********************************************

කඩුවෙල හිටපු මහේස්ත්‍රාත් ධම්මික හේමපාලට ජනපති කොමිසමෙන් දැඩි අවවාද

(11.09.2020 – 19:03 +0530 – hirunews.lk/sinhala)

වැඩ තහනමට ලක්ව සිටින කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාලට දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අද (11) දැඩි ලෙස අවවාද කළා.

එම කොමිසම හමුවේ ප්‍රථම වරට ඔහු අද (11) පෙනී සිටි අවස්ථාවේ කොමිසම චෝදනා කළේ ඔහු අධිකරණ ක්‍රියාවලිය හෑල්ලූවට ලක් කරමින් ජනතා විශ්වාසය කඩ වන ආකාරයට කටයුතු කර ඇති බවටයි.

“ඉසුරුමත් නිවාස වැඩසටහන යටතේ සහනාධාර මුදල් ලබා දීම සහ දිවිනැගුම දෙපාර්තමේන්තුවක් බවට පත් කිරිමේදී, ස්වේච්ඡාවෙන් ඉවත්වූ සේවකයින්ට වන්දි සහ පාරිතෝෂිත දීමනා ලබා දීමේ සිද්ධීන් වලට අදාලව තමා අත්ඩංගුවට ගැනීම, දේශපාලන බලපෑම් මත සිදු වූවක් බව නිහාල් ජයතිලක මහතා කොමිසමට පැමිණිළි කර තිබුණා.

එම පැමිණිල්ලට අදාළව වග උත්තරකරුවන් ලෙස නම් කර සිටි හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර සහ මලික් සමරවික්‍රම යන අය ඊයේ (10) කොමිසමට කැඳවා තිබුණා.

එහිදී යහපාලන රජයේ අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද ජාතික විධායක සභාව පිළිබඳව කොමිසමේ සභාපති විනිසුරුවරයා, මංගල සමරවීරගෙන් විමසූ අතර සාක්ෂි දෙමින් ඔහු ප්‍රකාශ කළේ ජාතික විධායක සභාව පිළිබඳව තමන් මේ වන තෙක්ම කිසිවක් නොදැන සිටි බවයි.

ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයකු වශයෙන් දූෂණ විරෝධී කමිටුව පත් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව පිළිබඳව නොදැන සිටියේ කෙසේ දැයි කොමිසමේ සභාපති හිටපු ශේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ප්‍රශ්න කළා.

“අදාළ කැබිනට් රැස්වීමට සහභාගි වූයේ ද නැද්ද යන්න පිළිබඳව මට හරියාකාර මතකයක් නැහැ” යනුවෙන් හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළා. තමන් කැබිනට් රැස්වීමට සහභාගි වූවත් නැතත් එවැනි තීන්දුවක් අනිවාර්යෙන්ම තමා අතට පත්විය යුතු බව ද සමරවීර කොමිසමේදී පිළිගත්තා. දූෂණ විරෝධී කමිටුව යටතේ ක්‍රියාත්මක වූ ක්ෂණික ප්‍රතිචාර කමිටුව පිළිබඳවද තමා දැන නොසිටි බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

එමෙන්ම ජාතික විධායක සභාව යටතේ පැවැති අනු කමිටුවක සභාපතිවරයා වශයෙන් තමා පත්කර ඇති බව අදාල ලේඛනවල පවා සඳහන් වුවද එය ද තමන් දැන නොසිටි බවයි ඔහු කොමිසම හමුවේ අවධාරණය කළේ.

එහිදී කොමිසමේ සභාපති විනිසුරුවරයා විමසා සිටියේ වගකිව යුතු අමාත්‍යවරයෙක් ලෙස තමන් කටයුතු කළේද යන්නයි.

තමන් එලෙස වැඩ කළේ යැයි සිතන බව මංගල සමරවීර පිළිතුරු දෙමින් පැවසුවා.

කැබිනට් මණ්ඩලයට ඉහළින් ජාතික විධායක සභාවක් ඇතිවීම පිළිගත හැකි දැයි මෙහිදී කොමිසම ප්‍රශ්න කළ අතර ඊට පිළිතුරු දෙමින් මංගල සමරවිර පැවසුවේ සෑම රජයක්ම පත් වන්නේ දූෂණය පිටුදැකීම මූලික කරගෙන බවයි.

කෙසේ වෙතත් අවසානයේ තම රජයෙන්ද සිදු වුයේ පැවති ක්‍රමවේදයම පවත්වාගෙන යාම බව කලකිරීමෙන් ඔහු ප්‍රකාශ කළා.

විනිසුරු චන්ද්‍රා ජයතිලක මහතා එහිදී විමසුවේ කැබිනට් පත්‍රිකාව පිළිබඳව නොදැන සිටීම සාමූහික වගකීම කඩ කිරීමක් නොවේද යන්නයි.

කැබිනට් පත්‍රිකාවට විරුද්ධව කතා කළේ නම් එය සාමූහික වගකීම කඩ කිරීමක් වන බවත් එහෙත් එය නොදැන සිටීම සාමූහික වගකීම් උල්ලංඝනය කිරීමක් නොවන බවත් මංගල සමරවීර කියා සිටියා.

කිසිම රජයක මීට පෙර ඔබ මෙවැනි කැබිනට් තීරණයක් දැක තිබේ දැයි සභාපති විනිසුරුවරයා මෙහිදී විමසා සිටියා. මංගල සමරවීර ඊට පිළිතුරු දෙමින්, සමහරවිට ඒ තිබුණු ආණ්ඩු මේ තරම් මෝඩ නැතිව ඇති යනුවෙන් ප්‍රකාශ කළා.

දූෂණ වංචා සම්බන්ධයෙන් යුක්තිය පසිඳලීමට අධිකරණය තිබියදී වෙනත් නෛතික නොවන ආයතනයක් හරහා යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය පිළිගත හැකි දැයි සභාපති විනිසුරු නැවත විමසා සිටියා.

එවිට සමරවීර ප්‍රකාශ කළේ දැන් ඉස්සරහට විසි වැනි සංශෝධනය ගෙනාවත් සිද්ධවෙන්නේ ඕකම තමයි යනුවෙන්.

එවිට සභාපති විනිසුරු විසිවැනි සංශෝධනය පිළිබඳව පසුව එන රජයකින් කතා කරමු යැයි ප්‍රකාශ කළා. වෛද්‍ය නිහාල් ජයතිලක මහතා වැනි රාජ්‍ය නිලධාරීන් සම්බන්ධව දේශපාලන පළිගැනීම් සිදු කිරීම පිළිබඳව ද නීතිඥ සෙනරත් ජයසුන්දර මහතා මංගල සමරවීර ගෙන් විමසා සිටියා. “අපි කැබිනට් පත්‍රිකාවක් දාලා ක්‍රියා කළේ මෝරු අල්ලන්න මිසක හාල් මැස්සන් අල්ලන්න නොවෙයි. එහෙත් අන්තිමේදී වෙලා තියෙන්නෙ මෝරු අල්ලන්න ගිහින් හාල් මැස්සන් අල්ලන එක විතරයි” ලෙස ඔහු කියා සිටියා.

මේ අතර, පාවෙන අවි ගබඩාවක් සම්බන්ධයෙන් චෝදනා කිරීමට අදාළව දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනපති කොමිසමට රත්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපතිවරයා කළ පැමිණිල්ලකට අනුව වගඋත්කරුවෙකු ලෙස නම් කෙරුණු හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ද කොමිසම හමුවේ පෙනී සිටියා.

*********************************************

අදත් (11) රුසියාවෙන් නිවේදනයක් – වෛද්‍යවරුන්, වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය ප්‍රශ්න කරයි

(11.09.2020 – 19:16 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට කටයුතු නොකළහොත් සැප්තැම්බර් 21 වනදායින් ආරම්භ වන සතිය තුළ දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ විධායක සභාව ඊයේ (10) රැස්වී එම තීරණයට එළඹ ඇති අතර, ඉදිරියේදී හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් ද කැඳවීමටයි තීරණය කර ඇත්තේ.

වෛද්‍ය සේවාවේ ගුණාත්මකභාවය සහ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ආරක්ෂා කර ගැනීම සඳහා ඇති රාජ්‍ය ආයතනය වන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වසර 90 ක කාලයක් ස්වාධීනව පැවති අතර, එය දේශපාලනීකරණය කිරීමට සහ දුර්වල කිරීමට ක්‍රියා කළ එකම අමාත්‍යවරයා රාජිත සේනාරත්න බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කොළඹ අද (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.

මේ අතර, රුසියාවේ විශ්වවිද්‍යාල 3 ක් පිළිගත් විශ්වවිද්‍යාල ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් රුසියානු සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ සංස්කෘතික මධ්‍යස්ථානය අදත් (11) නිවේදනයක් නිකුත් කර තිබුණා.

එම නිවේදනයේ දැක්වෙන්නේ රුසියාව සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ වසර 60 කට අධික ඉතිහාසයක් පවතින අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවේ සිසුන්ට වෛද්‍ය ක්ෂේත්‍රයේ උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කර තිබෙන බවයි.

පසුගිය වසර පුරාම ශ්‍රී ලංකාවට පැමිණි රුසියානු විශ්වවිද්‍යාල නිලධාරින් සමග වෛද්‍ය සභාව රැස්වීම් කිහිපයක් පවත්වා තිබියදී පෙර දැනුම්දීමකින් තොරව, අදාළ විශ්වවිද්‍යාල අනුමත ලැයිස්තුවෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ද තම රජයේ අවධානය යොමුව ඇති බවයි රුසියානු තානාපති කාර්යාලය සංස්කෘතික මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මෙම තීරණය හේතුවෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ශිෂ්‍යත්ව සඳහා බලපෑමක් නොවනු ඇති බව තම අපේක්ෂාව බවත්, එසේවුවහොත් ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට ප්‍රමුඛ පෙලේ රුසියානු විශ්වවිද්‍යාලවල නොමිලේ උසස් අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්ථාව අහිමිවී යනු ඇති බවත්, එහි සඳහන්.

ඊයේ (10) දිනයේදී ද රුසියානු මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ප්‍රධානතම තේ ගැණුම්කරුවා ලෙස ඉදිරියේදී මේ හේතුවෙන් තේ මිලදී ගැනීම නැවැත්වීමට ද ඉඩ ඇති බවයි.

රුසියානු වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳව පැන නැගී ඇති ප්‍රමිතිය සම්බන්ධයෙන් අප කොළඹ ජාතික රෝහලේ හිටපු අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හෙක්ටර් වීරසිංහ මහතා ගෙන් විමසීමක් කළා.

අද (11) පැවති මාධ්‍ය හමුවේදී රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේ රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි සමයේ සිදුකළ බලපෑම් මත වෛද්‍ය සභාව දේශපාලනීකරණය වී ඇති බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *