මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස තිස්දහස ඉක්මවයි

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස තිස්දහස (30,000) ඉක්මවයි

කෝප් සහ කෝපා සාමාජිකයින් නම් කෙරේ

නාවික හමුදා රෝහලට ගෙනා කංජිපානි ඉම්රාන් යළිත් බූස්ස බන්ධනාගාරයට

ජනපති අටමස්ථානය වැඳ ආශිර්වාද ලබා ගනී

හිටපු ඇමති රාජිතගෙන් පාස්කු කොමිසමට පැය 4 ක ප්‍රකාශයක්

එළුවන්කුලමේ වන සංහාරය තවමත් නතරවී නොමැති බව පරිසර සංවිධාන කියයි

ලක්ෂ 15 ක හෙරොයින් සමඟ අයෙක් පුත්තලමේදී අල්ලයි

අධි තාක්ෂණික විශ්වවිද්‍යාල 10 ක් පිහිටුවීමේ තීරණය එලෙසින්ම බව ඇමති බන්දුල කියයි

මත්ලෝලීන් 10,000 ක් පුනරුත්ථාපනය කිරීමේ සැලසුම්

රියදුරු බලපත්‍රවලට රුධිර පරීක්ෂණ අත්‍යවශ්‍ය නැහැ

පොඩි ලැසී, වෙලේ සුදා ඇතුළු රැඳවියන් පිරිසක් ආරම්භ කළ ආහාර වර්ජනය අද (12) සිව්වන (4) දිනටත්

ගම්පොලදී කසල තේ කිලෝ 80,000 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

*********************************************

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස තිස්දහස (30,000) ඉක්මවයි – වැලිහිඳ කලූ සහ ජෝසා රඳවාගෙන ප්‍රශ්න කෙරේ

(11.09.2020 – 19:34 +0530 – hirunews.lk/sinhala)

ආහාර වර්ජනය හේතුවෙන් ඇති වු රෝගි තත්ත්වයන් හේතුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී දැනට බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රදවා සිටින කංජිපානි ඉම්රාන්, රෝහල් ගත කර තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කළේ අද පස්වරුවේ ඔහු බූස්ස දකුණු විදාන නාවික හමුදා රෝහලට ඇතුළත් කළ බවයි.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පතාල කල්ලි සමාජිකයින් වන පොඩි ලැසී සහ වෙලේ සුදා ඇතුළු රැඳවියන් පිරිසක් පෙරේදා සිට ආරම්භ කළ ආහාර වර්ජනය අද තුන්වන දිනටත් ක්‍රියාත්මකයි.

පෙරේදා දිනයේදි ආහාර වර්ජනයේ රැඳවියන් 40 නිරත වුවද මේ වනවිට ඉන් 13 දෙනෙකු එය අතහැර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු කියා සිටියේ ජංගම දුරකථන පහසුකම් ලබාදීම, ඔවුන් හමුවට එන නීතිඥවරුන් හමුවීම සඳහා වැඩි කාලයක් ලබාදීම සහ නඩු කටයුතු සඳහා පිටතට ගොස් යළි බන්ධනාගාර වෙත පැමිණීමේදී සිදුකරන පරීක්ෂා ඉවත් කිරීම ආදී ඉල්ලීම් කිිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් මෙම ආහාර වර්ජනය ආරම්භ කළ බවයි.

මීට පෙර ද පොඩි ලැසී ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී බන්ධනාගාර ගතව සිටි පිරිසක් ඉල්ලීම් කිිහිපයක් මුල් කර ගනිමින් ආහාර වර්ජනයේ නිරත වුණා.

එම අවස්ථාවේදී ඒ පිළිබඳසොයා බැලීම සඳහා බන්ධනාගාර නිලධාරින් පැමිණි අවස්ථාවේදී පොඩි ලැසී ඇතුළු පතාල කල්ලි සමාජිකයින් පිරිස ඔවුන්ට මරණ තර්ජන එල්ල කර තිබුණා.

ඊට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මේ මස 25 වනදා පොඩි ලැසී අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍ර‍්‍රාත්වරයා පසුගියදා නියෝග කළේ.

රැඳවියන් සිදු කරන මෙම වර්ජනය සම්බන්ධයෙන් අප බන්ධනාගර දෙපාර්තමේන්තුවේ පරිපාලන අංශයේ කොමසාරිස් චන්දන ඒකනායකගෙන් විමසිමක් කළා.

එහිදි ඔහු කියා සිටියේ රැඳවියන් ආහාර වර්ජනයක නිරත වි සිදු කරන ඉල්ලිම් සාධාරණ නොමැති බවයි.

මේ අතර, දිවයින පුරා සිදු කළ මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ වැටලිම් වලදී ප්‍රධාන පෙළේ අපරාධ කල්ලි සමාජිකයින්ගේ සමිපතයින්ගේ කිහිපදෙනෙක් ඇතුළු පිරිසක් පොලිසිය අත්අඩංගුවට ගත්තා.

දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාකඳුරේ මධුෂ්ගේ සමීපතමයෙකු වන රණවකගේ ධම්මික නුවන් රණවක හෙවත් වැලිහිඳ කලූ, වැලිගම – දෙණිපිටිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ අත්අඩංගුවට ගත්තා.

ඒ හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලිග්‍රෑම් 960 ක් සමඟයි.

35 හැවිරිදි මෙම සැකකරු, මාකදුරේ මධුෂ් සමඟ ඩුබායි හිදී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන චෝදනාවට එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන පසුගිය වසරේ අප්‍රේල් මාසයේදි මෙරටට පිටුවහල් කළ අයෙකු බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළා.

එසේම, වැලිගම පොලිසියට ලැබුණු තවත් තොරතුරකට අනුව ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටාගේ ගෝලයෙකු වන හසන් චින්තක හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් දෙදෙනා මාතර අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු දින තුනක් රඳවා ගෙන ප්‍රශ්න කිරිමට අධිකරණය අවසර ලබා දුන් බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය හික්කඩුව කුමාරකන්ද ප්‍රදේශයේදි එක්ව සිදු කළ වැටලිමකදි ටී.56 ගිනි අවි 02 ක් සමග සැකකරුවෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු රත්ගම විදුර නමැති අපරාධ කල්ලි සාමාජිකයාගේ සමීපතමයෙකු බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වි රක්ෂිත බන්න්ධාගාර ගතව සිටින බොරැල්ලේ සම්පත් බන්ධනාගාරයේ සිට මෙහෙයවන මත්කුඩු ජාවාරමකට සම්බන්ධ කාන්තාවක සහ පුද්ගලයෙකු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය අත්අඩංගුවට ගත්තා.

ඊයේ වැල්ලම්පිටිය – වෙන්නවත්ත ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 100 යි මිලිග්‍රෑම් 983 ක් සමඟ මෙම සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගනු ලැබුවේ.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබු 42 හැවිරිදි සැකකාරිය බොරැල්ලේ සම්පත්ගේ අනියම් බිරිඳ වන අතර, 27 හැවිරිදි අනෙක් පුද්ගලයා ඇයගේ දියණියගේ සැමියායි.

එසේම, වැලිපැන්න බොන්දුපිටිය මංසන්ධිය අසලදි ද තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකුගේ ගෝලයෙකු වන ජෝශෆ් කුමාර හෙවත් ජෝසා පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගනු ලැබුවා.

ඊයේ සිදු කළ වැටලිමකදි 39 හැවිරිදි සැකකරු හෙරොයින් ග්‍රෑම් 22ක් සමග අත්අඩංගුවට ගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

වැලිපැන්න පොලිසිය කියා සිටියේ මෙම සැකකරු ද දින 7ක් රඳවා ගෙන ප්‍රශ්න කිරිම සඳහා අධිකරණයෙන් අවසර ලබා ගන්නා බවයි.

කොළඹ අපරාධ කොට්ඨාශය තවත් සැකකරුවෙක් හොරොයින් ග්‍රෑම් 02ක් සමග පැලියගොඩදි අත්අඩංගුවට ගත් අතර, ඔහු 55 හැවිරිදි කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ අතර බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ වැටලීම්වලදී විවිධ චෝදනා යටතේ සැකකරුවන් 392 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් 152 ක් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අය බවයි පොලීසිය සඳහන් කළේ.

එසේම, ත්‍රිකුණාමලය – කුච්චවේලි ප්‍රදේශයේ ද හෙරොයින් සමග අද කාන්තාවක් අත්අඩංගුවට ගැණුණේ ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ලද තොරතුරු අනුවයි.

මේ අතර, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න කොළඹ අද පැවැති උත්සවයකදී පාතාල තර්ජන සම්බන්ධයෙන් අදහස් පළකලා.

ඔහු කියා සිටියේ මේ වනවිටත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් ඇතුළු 30,000ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

*********************************************

කෝප් සහ කෝපා සාමාජිකයින් නම් කෙරේ

(11.09.2020 – 19:22 +0530 – hirunews.lk/sinhala)

9 වන පාර්ලිමේන්තුවට අදාළ කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හා කෝපා හෙවත් රාජ්‍ය ගිණුම් කාරක සභාව සඳහා නම් කළ සාමාජිකයින් කථානායකවරයා විසින් අද (11) ප්‍රකාශයට කළා.

එම කාරක සභා සඳහා සාමාජිකයින් විසි (20) දෙදෙනා බැගින් ඇතුළත් වන අතර, ඊට ආණ්ඩු පක්ෂයේ නියෝජිතයින් 14 දෙනෙකු බැගින් සහ විපක්ෂයේ නියෝජිතයින් 8 දෙනෙකු බැගින් ඇතුළත්.

එම කාරක සභා දෙකෙහි සභාපතිවරුන් පත් කිරීම එම කාරක සභාවල පළමු රැස්වීමේදී සිදුකිරීමටයි නියමිතව ඇත්තේ.

මේ අනුව, කෝපා හෙවත් රාජ්‍ය ගිණුම් කාරක සභාව සඳහා අමාත්‍ය උදය ගම්මන්පිල, රාජ්‍ය අමාත්‍යවරුන් වන දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර, ලසන්ත අලගියවන්න, වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ෂෙහාන් සේමසිංහ හා ප්‍රසන්න රණවීර යන මහත්මමහත්මීන් ඇතුළත් වනවා.

එසේම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, මහාචාර්ය තිස්ස විතාරණ, හරීන් ප්‍රනාන්දු, නිරෝෂන් පෙරේරා, ෆයිසාල් කාසිම්, අශෝක් අබේසිංහ, බුද්ධික පතිරණ, කාදර් මස්තාන්, සිවඥානම් ශ්‍රීධරන් යන මහත්මමහත්මීන් රාජ්‍ය ගිණුම් කාරක සභාවට නම් කර තිබෙනවා.

මීට අමතරව, උපුල් ගලප්පත්ති, බී.වයි.ජී. රත්නසේකර, වීරසුමන වීරසිංහ, මහාචාර්ය රංජිත් බණ්ඩාර, මොහොමඩ් මුසම්මිල් සහ ආචාර්ය හරිනි අමරසූරිය යන මහත්මමහත්මීන් රාජ්‍ය ගිණුම්කාරක සභාවට නම් කළ පිරිසට අයත්.

*********************************************

නාවික හමුදා රෝහලට ගෙනා කංජිපානි ඉම්රාන් යළිත් බූස්ස බන්ධනාගාරයට

(11.09.2020 – 20:25 +0530 – hirunews.lk/sinhala)

ආහාර වර්ජනය හේතුවෙන් ඇති වු රෝගි තත්ත්වයන් හේතුවෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී දැනට බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රදවා සිටින කංජිපානි ඉම්රාන්, අද (11) පස්වරුවේ බූස්ස දකුණු විදාන නාවික හමුදා රෝහලට රැගෙන ආවා.

ඒ ඊ.සී.ජී. පරීක්ෂාවක් සඳහායි.

එම පරීක්ෂණයෙන් අනතුරුව ඔහු යළි බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පතාල කල්ලි සමාජිකයින් වන පොඩි ලැසී සහ වෙලේ සුදා ඇතුළු රැඳවියන් පිරිසක් පෙරේදා සිට ආරම්භ කළ ආහාර වර්ජනය අද (11) තුන්වන දිනටත් ක්‍රියාත්මකයි.

පෙරේදා (09) දිනයේදි ආහාර වර්ජනයේ රැඳවියන් 40 නිරත වුවද මේ වනවිට ඉන් 13 දෙනෙකු එය අතහැර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු කියා සිටියේ ජංගම දුරකථන පහසුකම් ලබාදීම, ඔවුන් හමුවට එන නීතිඥවරුන් හමුවීම සඳහා වැඩි කාලයක් ලබාදීම සහ නඩු කටයුතු සඳහා පිටතට ගොස් යළි බන්ධනාගාර වෙත පැමිණීමේදී සිදුකරන පරීක්ෂා ඉවත් කිරීම ආදී ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් මෙම ආහාර වර්ජනය ආරම්භ කළ බවයි.

මීට පෙර ද පොඩි ලැසී ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී බන්ධනාගාර ගතව සිටි පිරිසක් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ආහාර වර්ජනයේ නිරත වුණා.

එම අවස්ථාවේදී ඒ පිළිබඳ සොයා බැලීම සඳහා බන්ධනාගාර නිලධාරින් පැමිණි අවස්ථාවේදී පොඩි ලැසී ඇතුළු පතාල කල්ලි සමාජිකයින් පිරිස ඔවුන්ට මරණ තර්ජන එල්ල කර තිබුණා.

ඊට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා මේ මස 25 වනදා පොඩි ලැසී අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටයි ගාල්ල ප්‍රධාන මහේස්ත්‍ර‍්‍රාත්වරයා පසුගියදා නියෝග කළේ ෴

*********************************************

ජනපති අටමස්ථානය වැඳ ආශිර්වාද ලබා ගනී

(11.09.2020 – 21:23 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඓතිහාසික අනුරාධපුර අටමස්ථානය වැඳ ආශිර්වාද ලබා ගෙන තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ අද (11) පස්වරුවේ අනුරාධපුරයට ගිය ජනාධිපතිවරයා අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරි නිවාස නායක හිමියන් බැහැ දැක පිළිසඳරක ද නිරත වු බවයි.

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්වල නිරත වූ ජනාධිපතිවරයා රැස්ව සිටී ජනතාවගෙන් තොරතුරු විමසා තිබෙනවා.

ඓතිහාසික රුවන්වැලි මහා සෑය විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියන් සමග ද කෙටි පිළිසඳරක නිරත වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රුවන්වැලි මහා සෑ රඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තා.

පුද බිමෙහි රැස්ව සිටී ජනතාව සමග ද ඔහු කතා බහ කර තිබෙනවා.

ජනාධිපතිවරයා ජේතවන විහාරාධිකාරී පූජ්‍ය හල්මිල්ලෑවේ රතනපාල හිමියන් බැහැ දැක ආශිර්වාද ගෙන ආගමික වතාවත්වල නිරත වූ අතර ජේතවන විහාරයේ සංරක්ෂණ කටයුතු කෙරෙහි ද ජනාධිපතිවරයාගේ අවධානය යොමු කෙරුණා.

ගෝඨාභය රාජපක්ෂ මහතා අභයගිරිය විහාරයට ගොස් විහාරාධිකාරී පූජ්‍ය කල්ලංචියේ රතනසිරි හිමියන්ගේ සුව දුක් විමසනු ලැබුවා.

අභයගිරි විහාරය වැඳ පුදාගත් ජනාධිපතිවරයා විහාරයේ සංවර්ධන කටයුතුවල වත්මන් තත්ත්වය ද සොයා බැලූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ ෴

*********************************************

හිටපු ඇමති රාජිතගෙන් පාස්කු කොමිසමට පැය 4 ක ප්‍රකාශයක්

(11.09.2020 – 22:33 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය වෙත හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අද (11) පැය 4ක පමණ කාලයක් ප්‍රකාශ ලබාදුන්නා.

ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න පාස්කු ප්‍රහාරය විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණියේ අද (11) උදෑසන 09:30 ට පමණ.

*********************************************

එළුවන්කුලමේ වන සංහාරය තවමත් නතරවී නොමැති බව පරිසර සංවිධාන කියයි

(11.09.2020 – 22:45 +0530 – hirunews.lk/sinhala)

වනාතවිල්ලුව – එළුවන්කුලම ප්‍රදේශයේ සිදුවන වන සංහාරය මෙතක් නැවතී නොමැති බව පරිසර සංවිධාන පෙන්වා දෙනවා.

පරිසර සංවිධාන ඉල්ලා සිටින්නේ දිගින් දිගටම සිදුවන මෙම වන සංහාරය නතර කිරීමට පියවර ගන්නා ලෙසයි.

වනාතවිල්ලුව එළුවන්කුලම කූරටියාමොහොට්ටේ ප්‍රදේශයේ පිහිටි ඉඩමක ගස් කපා දමමින් විශාල පරිසර විනාශයක් සිදුකර ඇති බවට පසුගියදා අප අනාවරණ කළා.

එහිදී දැකගත හැකි වූයේ වසර සිය ගණනක් පැරණි රූස්ස ගස් කපා ඇති අකාරයයි.

යාන්ත්‍රික කියත් උපයෝගී කර ගනිමින් කපා දමා ඇති පළු ල බුරතල වීර ඇතුළු ගස් වර්ගයන්හි දැව කොටස් රැගෙන ගොස් ඉතිරි වී ඇති කොටස් සඳහා ගිනි තබා ඇති අයුරු දැක ගත හැකි වුණා.

කෙසේ වෙතත් මෙම ඉඩම ශ්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට අයත් වූවක් බවට පසුව අනාවරණ වූ අතර, ඒ පිළිබඳ සොයා බැලීමට සංස්ථාවේ සභාපති ගාමිණී ඒකනායක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

එවන් පසුබිමික වනාතවිල්ලුව එළුවන්කුලම මංගලපුර ග්‍රාමසේවා වසමේ කුරටියාමොහොට්ටේ ප්‍රදේශයේ සිදුවන වන සංහාරය මෙතෙක් නැවතී නොමැති බව වයඹ හඩ පරිසර සංවිධානය පවසනවා.

එහි ගිය පරිසරවේදීන්ට දැක ගැනීමට හැකි වූයේ, ප්‍රදේශයේ තවත් ගස් කපා ඇති ආකාරයයි.

වයඹ හඩ පරිසර සංවිධානය ඇතුළු පරිසර සංවිධාන මංගලපුර ගම්මානයේ ජනතාව සමගද සකච්චා කර ඇති අතර ඔවුන් එහිදී පවසා ඇත්තේ මේ වන විට පොලිස් අත්අඩංගුවටපත්ව ඇත්තේ මේ ග්‍රාමයේ ජිවතුවූ අසරණයන් කීප දෙනෙකු පමණක් බවයි.

මේ අතර, අද (11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ආනවිලුන්දාව රැම්සා අභය භූමියේ පරිසර විනාශය සම්බන්ධයෙන් අමාත්‍ය සී.බී රත්නායක මහතා සහ නිලධාරීන් අදහස් පළ කළා.

*********************************************

ලක්ෂ 15 ක හෙරොයින් සමඟ අයෙක් පුත්තලමේදී අල්ලයි

(12.09.2020 – 06:34 +0530 – hirunews.lk/sinhala)

රුපියල් ලක්ෂ 15 කට අධික හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ පුත්තලමේදී සැකකරුවෙකු ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඔහු සතුව තිබී මෝටර් රථ දෙකක් (2), යතුරුපැදි දෙකක් (2) සහ මුදලින් රුපියල් 2,65,000 ක් සොයාගත් බවයි.

මෙම සැකකරු එල්.ටී.ටී.ඊ. සංවිධානයට ආයුධ සැපයීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහරිනු ලැබූ පුද්ගලයෙක්.

මත්කුඩු ජාවාරමේ නිරත වූ ‘අජිත් ප්‍රියන්ත’ හෙවත් ‘තැඹිලි අජිත්’ නමැත්තා මිද්දෙණිය – ජුලම්පිටිය ප්‍රදේශයේදී ඊයේ (11) පස්වරුවේ අත්අඩංගුවට ගැනීමට තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය සමත් වුණා.

35 හැවිරිදි මොහුට එරෙහිව විවිධ චෝදනා යටතේ නඩු පවතින බව පොලීසිය සඳහන් කළා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු ළඟ තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවියක්, ජීව පතොරමක් සහ හෙරොයින් ග්‍රෑම් 01 යි මිලිග්‍රෑම් 850 ක් සොයා ගෙන තිබුණා.

මේ අතර, මහර බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් විසිකර තිබූ ජංගම දුරකථන 04 ක්, දුම්කොළ පැකට්ටුවක් ඊයේ (11) බන්ධනාගාර නිලධාරින් විසින් සොයා ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා ෴

++++++++++++++

මහර බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් පාර්සලයක් විසිකර ඇති බව එම බන්ධනාගාර නිලධාරීන් පවසනවා.

එම පාර්සලයේ තිබී ජංගම දුරකථන 04 ක් , බැටරි 06 ක් , සිම්පත් 03 ක්, චාජර් 01 හා දුම්කොල තොගයක් හමුව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේ ෴

*********************************************

අධි තාක්ෂණික විශ්වවිද්‍යාල 10 ක් පිහිටුවීමේ තීරණය එලෙසින්ම බව ඇමති බන්දුල කියයි

(12.09.2020 – 07:20 +0530 – hirunews.lk/sinhala)

අධි තාක්ෂණික විශ්වවිද්‍යාල 10 ක් පිහිටුවීමේ තීරණය සම්බන්ධයෙන් යළි ඇගයීමක් අවශ්‍ය නොවන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඒ, හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අභාවය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඊයේ (11) පැවති ශෝක යෝජනා පළ කිරීමේ අවස්ථාවට එක්වෙමින් ෴

*********************************************

මත්ලෝලීන් 10,000 ක් පුනරුත්ථාපනය කිරීමේ සැලසුම්

(12.09.2020 – 07:23 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා පුළුල් ජාතික මෙහෙයුමක් ආරම්භ කිරීමට රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් කමිටුවක් පත් කර තිබෙනවා.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මත්ද්‍රව්‍ය වැරදිවලට බන්ධනාගාර ගත කෙරෙන සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි.

එමෙන්ම, බන්ධනාගාරවල තදබදය වැඩිවීමත් සමඟ ඇතිවී තිබෙන ගැටළුවට විසඳුම් සෙවීමට පුනරුත්ථාපන කටයුතු අරමුණුකර ගත් මූලෝපායික සැලසුම්වලින් යුත් පුළුල් ජාතික සැලැස්මක් සකස් කිරීමට මෙහිදී පියවර ගැනෙනවා.

මෙහි මූලික අදියරේදී රැඳවියන් 10,000 ක පමණ පිරිසක් පුනරුත්ථාපනය සඳහා යොදා ගැනීමට කටයුතු කරන බවයි අමාත්‍යාංශය සඳහන් කළේ.

ඒ අනුව, මත්ද්‍රව්‍යවලට ළමා සහ තරුණ පිරිස යොමුවීම වැළැක්වීම සඳහා ක්‍රීඩාව, සෞන්දර්ය, කලාව, මනෝවිද්‍යා උපදේශන සහ වෘත්තීය පුහුණුව ආදී දිගුකාලීන වැඩපිළිවෙලක් සැකසීම මෙම කමිටුවේ අරමුණයි.

මෙහි ප්‍රගතිය විමසා බැලීම සඳහා ලබන 24 වනදා නැවත කමිටුව රැස්වනු ඇති.

මේ අතර ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ඊයේ (11) හමුවූ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය සමග මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, මිනිස් ජාවාරම ඇතුලු දේශසීමා හරහා සිදුවන අපරධ වැළැක්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

එවැනි අපරාධ වැළැක්වීම සඳහා අවශ්‍ය පුහුණුව ලබාදීමට ඇමරිකාව සූදානම් බවයි තානාපතිනිය එහිදී සඳහන් කර ඇත්තේ.

කොරෝනා වෛරසය මැඩලීමට ලක් රජය ගෙන ඇති ක්‍රියාමාර්ගද එහිදී ඇමරිකානු තානාපතිනියගේ පැසසුමට ලක්වූ බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළා ෴

*****************

අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (12) රාත්‍රියේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව අද (12) රාත්‍රී 10 සිට පැය 12 ක කාලයක් කොළඹ 9, 10, 11, 12, 13, 14 සහ 15 ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටවනු ඇති.

අඹතලේ සිට එලිහවුස් දක්වා ජලය සැපයෙන ප්‍රධාන සම්ප්‍රේෂණ නළයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බවයි ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළේ ෴

*********************************************

රියදුරු බලපත්‍රවලට රුධිර පරීක්ෂණ අත්‍යවශ්‍ය නැහැ

(12.09.2020 – 07:28 +0530 – hirunews.lk/sinhala)

රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී මින් ඉදිරියට කිසිදු හේතුවක් මත රුධිර පරීක්ෂාවන් සැළකිල්ලට නොගන්නා බව ප්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කළා.

ඒ කොළඹ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදි ඔහු වැඩිදුරටත් කියා සිටියේ රුධිර පරීක්ෂණයේදී දියවැඩියාව සහ අධික රුධිර පීඩනය පවතින බවට අනාවරණ වුවද එය රියදුරු බලපත්‍රය නිකුත් කිරීමට බාධාවක් නොවන බවයි.

එමෙන්ම ත්‍රිරෝද රථවල අනවශ්‍ය කොටස් මොනවාද යන්න පිළිබඳව ඉදිරියේදී ගැසට් කරන බවද ඔහු සඳහන් කළා ෴

*********************************************

පොඩි ලැසී, වෙලේ සුදා ඇතුළු රැඳවියන් පිරිසක් ආරම්භ කළ ආහාර වර්ජනය අද (12) සිව්වන (4) දිනටත්

(12.09.2020 – 07:32 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පාතාල කල්ලි සාමාජිකයින් වන පොඩි ලැසී සහ වෙලේ සුදා ඇතුළු රැඳවියන් පිරිසක් ආරම්භ කළ ආහාර වර්ජනය අද (12) සිව්වන (4) දිනටත් ක්‍රියාත්මකයි.

ආරම්භයේදී රැඳවියන් 40 දෙනෙකු ආහාර වර්ජනයේ නිරත වුවද මේ වනවිට ඉන් 13 දෙනෙකු එය අතහැර ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර බූස්ස දකුණු විධාන නාවික හමුදා රෝහලට පරීක්ෂණ කිහිපයක් සඳහා රැගෙන ගිය කංජිපානි ඉම්රාන් නැවත බූස්ස බන්ධනාගාරයේ ඔහු රඳවා සිටි විශේෂ අංශය වෙත යොමුකර තිබෙනවා.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊයේ (11) පස්වරුවේ පපුවේ හට ගත් රෝගී තත්ත්වයක් හේතුවෙන් පරීක්ෂණයක් සිදුකිරීම සඳහා ඔහු එලෙස බූස්ස නාවික හමුදා රෝහලට රැගෙන ගිය බවයි.

එහිදී ඊ.සී.ජී පරීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව යළිත් බූස්ස බන්ධනාගාරය වෙත යොමුකර තිබුණා ෴

+++++++++++++

බූස්ස බන්ධනාගාරයේ ආහාර වර්ජනයේ නිරතව සිටින රැඳවියන්ගේ ඉල්ලීම් ඉෂ්ට කිරීමට නොහැකි ඉල්ලීම් බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.

අද (12) පෙරවරුවේ මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ වර්ජකයින් ඉක්මනින් ආහාර ගැනීම ආරම්භ කරනු ඇති බවට තමන් විශ්වාස කරනු ඇති බවයි.

මේ අතර පුත්තලම නගරයේ සිදුකළ වැටලීමකදී රුපියල් ලක්ෂ 12 ක හෙරොයින් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පුත්තලම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලද තොරතුරක් මත අද (12) අලුයම පුත්තලම නගරයේදී සිදු කල වැටලීමකදී රුපියල් ලක්ෂ 12 ට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

*********************************************

ගම්පොලදී කසල තේ කිලෝ 80,000 ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

(12.09.2020 – 09:40 +0530 – hirunews.lk/sinhala)

ගම්පොල – වෙල්ලම්බඩ ප්‍රදේශයේදී කසළ තේ කිලෝ 80,000 ක් සමඟ සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ අපනයනය සඳහා සූදානම් කර තිබියදී මේවා අත්අඩංගුවට ගත් බවයි.

එම තොගයට අමතරව වියලන ලද තේ කිලෝ 400 ක්, ශ්‍රේණි නොකළ තේ කිලෝ 1,165 ක් සහ රසායනික ද්‍රව්‍ය තොගයක් ද පොලිස් භාරයට ගෙන තිබුණා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *