සහරාන්ගේ අලුත් වීඩියෝ පටියක් ගැන අනාවරණයක්

සහරාන්ගේ අලුත් වීඩියෝ පටියක් ගැන අනාවරණයක්

CCTV කැමරාවක සටහන් වූ පොල්තෙල් සොරකම

20 ගැන අධ්‍යයනය කිරීමට පත්කළ කමිටුව ලබන සඳුදා (14) රැස්වෙයි

FCIDය සිදුකළ විමර්ශන බල රහිත බවට ප්‍රකාශයක්

ගෝඨාභය දක්‍ෂ දේශපාලඥයෙක් නොවේ.. මහින්දගේ සෙවනැල්ල නැතිව ඔහුට සාර්ථක ගමනක් නෑ..

සාමාන්‍ය පෙළ ලියන්න අවසර ඉල්ලන 6 වසරේ සිසුවිය ගේ කතාව

20 වැනි සංශෝධනය හමුවේ විදේශ බලපෑම් – කීර්ති වර්ණකුලසූරිය

20 කෙටුම්පතට විමල්ගේ විරෝධය.. ගැසට් කල 20 පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව කියයි..

දිළිඳු පවුලකට කරුණා ඇස යොමුකළ පාසලක්

මත්තල ගුවන් තොටුපලෙන් සහන රැසක්

මැටි මිල පාලනය කරන්න යන රාජ්‍ය ඇමති ප්‍රසන්න

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා ආරක්ෂක උපදේශකට ඩයස්පෝරාවෙන් විරෝධයක්

*********************************************

සහරාන්ගේ අලුත් වීඩියෝ පටියක් ගැන අනාවරණයක්

(12.09.2020 – 12:43 +0530 – hirunews.lk/sinhala)

යහපාලනය පිහිටුවීමට දායක වූ දේශපාලන නියෝජිතයින් පිරිසක්, සහරාන් හෂීම් සමඟ දීර්ඝ සාකච්ඡාවක නිරත වන වීඩියෝ පටියක් පිළිබඳ තොරතුරු පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේදී පළමුවරට අනාවරණය කෙරුණා.

ඒ,ඊට එක්වූ දේශපාලන නියෝජිතයකු කොමිසමේදී සාක්ෂි දුන් අවස්ථාවේදීයී.

මේ අතර, පාස්කු ප්‍රහාරයෙන් පසු අන්තවාදී මුස්ලිම් සංවිධාන හයක් (6) තහනම් කරන ලෙසට රාජ්‍ය සහ යුද හමුදා බුද්ධි අංශ එවක ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දුන්නද, තහනම් කර ඇත්තේ සංවිධාන තුනක් (3) පමණක් බව ද ජනාධිපති කොමිසමේදී හෙළිවුණා.

ඒබව හෙළිවූයේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ණය කෙරෙන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ ඊයේ (11) දිනයේ කළ සාක්ෂි විමසීමේදීයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සිව්වන (4) දිනටත් සාක්ෂි ලබාදීම සඳහා ජාතික බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් මහතා ඊයේ (11) පැමිණියා.

පාස්කු ඉරිදා ප්‍රහාර එල්ල කළ ත්‍රස්තයන් හා සම්බන්ධ අන්තවාදී මුස්ලිම් සංවිධාන පිළිබඳව කොමිසමේ අවධානයට යොමුකරමින් රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය සාක්ෂිකරුගෙන් විමසුවේ, පාස්කු ප්‍රහාරයට පසු එවැනි සංවිධාන තහනම් කිරීමට පියවර ගැනුනේද යන්නයි ෴

*********************************************

CCTV කැමරාවක සටහන් වූ පොල්තෙල් සොරකම

(12.09.2020 – 10:36 +0530 – hirunews.lk/sinhala)

කැප්පෙටිපොළ නගරයේ පිහිටි කුළු බඩු වෙළෙඳ සැලකින් කිසියම් පුද්ගලයෙකු පොල් තෙල් පිරවූ කෑන් එකක් සොරා ගන්නා ආකාරය අසළ පිහිටි වෙළඳසැලක ආරක්‍ෂිත කැමරාවක පටිගත වී තිබෙනවා.

එම වෙළෙඳසැල ආසන්නයේ මඳ වෙලාවක් රැදී සිටින අදාළ සැකකරු වෙළෙඳසැලට පැමිණ එහි දොරටුව ළඟ රැදී සිටිනවා.

අනතුරුව සැකකරු විසින් එක්වරම ලීටර් 20 ක පමණ පොල් තෙල් පිරවූ කෑන් එකක් ඔසවාගෙන යන ආකාරය එම CCTV දර්ශන වල සටහන් වී තිබෙනවා.

කෙසේවෙතත් එම සොරකම සිදුකළ සැකකාර පුද්ගලයා මෙතෙක් හදුනා ගැනීමට හැකි වී නැහැ.

*********************************************

20 ගැන අධ්‍යයනය කිරීමට පත්කළ කමිටුව ලබන සඳුදා (14) රැස්වෙයි

(12.09.2020 – 12:38 +0530 – hirunews.lk/sinhala)

යෝජිත 20 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා අග්‍රාමාත්‍ය වරයා විසින් පත්කළ 09 දෙනෙකුගෙන් සමන්විත කමිටුව ලබන සඳුදා (14) රැස් වීමට නියමිතයි.

එම කමිටුවේ සභාපති අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කලේ එහි වාර්ථාව ලබන බදාදා (16) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරණ බවයි

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති විවිධ අදහස් හා මතවාද අධ්‍යයනය කර ඒ පිළිබඳව තමන්ට වාර්ථා කිරීම සඳහා අත්‍රාමාත්‍ය වරයා විසින් පසුගියදා මෙම කමිටුව පත් කළා ෴

*********************************************

FCIDය සිදුකළ විමර්ශන බල රහිත බවට ප්‍රකාශයක්

(12.09.2020 – 12:50 +0530 – hirunews.lk/sinhala)

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හෙවත් FCIDය සිදුකළ විමර්ශන මෙන්ම එම ආයතනය ගනු ලැබූ තීන්දු තීරණ නීතිය ඉදිරියේ ශුන්‍ය හා බල රහිත බව දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිෂන් සභාව ප්‍රකාශ කළා.

ඒ, දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අතිරේක අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා ඊයේ (11) කොමිසමට කළ කරුණු දැක්වීමේදීයි.

දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් සොයාබලන ජනාධිපති කොමිසම සාක්ෂිකරුගෙන් විමසා සිටියේ පොලිස් ආඥා පනත අනුව පොලිස්පතිවරයාට FCID ය වැනි විශේෂ පොලිස් කොට්ඨාශයක් පත් කිරීමේ හැකියාව තිබේද යන්නයි.

පොලිස් ආඥා පනතේ 55 වැනි වගන්තිය අනුව එසේ කළ නොහැකි බව සාක්ෂිකරු පැවසුවා ෴

*********************************************

ගෝඨාභය දක්‍ෂ දේශපාලඥයෙක් නොවේ.. මහින්දගේ සෙවනැල්ල නැතිව ඔහුට සාර්ථක ගමනක් නෑ..

(12.09.2020 – 15:00 +0530 – lankacnews.com)

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට පරිපාලකයකු ලෙස දක්ෂ වුවත් දේශපාලකයෙකු ලෙස අත්දැකීම් අඩු අයෙක් බව ‘සිංහලේ’ සංවිධානයේ සභාපති පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියෝ සඳහන් කරති.

මහින්ද රාජපක්ෂ මහතාට ඇති දේශපාලන සවිඥානිකත්වය ගෝඨාභය රාජපක්ෂ මහතාට නැති බවද උන්වහන්සේ පෙන්වා දෙති.

ජාතික සංවිධාන පැත්තකට විසිකර දමමින් වියත්මග වැනි තමන්ගෙ හිතවතුන් පිරිවරාගෙන යන ගමන එතරම් සුබදායී ගමනක් නොවනු ඇතැයි ජනාධිපතිවරයා පවසා සිටින බවද උන්වහන්සේ පැවසූහ.

20 වෙනි සංශෝධනය සම්මත වුවද නැතද මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන සෙවනැල්ල නැතිව ගෝඨාභය රාජපක්ෂ මහතාට සාර්ථක දේශපාලන ගමනක් නැති බවද උන්වහන්සේ පැවැසූහ.

කොළඹ පැවති මාධ්‍ය හමුවේදී ඒ හිමියෝ මෙම අදහස් පල කරන ලදී.

*********************************************

සාමාන්‍ය පෙළ ලියන්න අවසර ඉල්ලන 6 වසරේ සිසුවිය ගේ කතාව

(11.09.2020 – 16:29 +0530 – lankaleadnews.com)

“මම ඉගෙනගන්නේ හතරවෙනි (4) වසරේ. මට 6 වසරේදී ‘ඕ ලෙවල්’ ලියන්න අවස්ථාව දෙන්න.” මේ ඉල්ලීම 9 හැවිරිදි දියණියක ගෙනි. ඇය පොළොන්නරුවේ, අරලගංවිල චෙනුලි ලෙහන්සා ය.

ඇය පවසන්නේ හය (6) වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබුවද අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ‘ඒ සමාර්ථ’ නවයක් (9) ලබාගැනීමට තමාට හැකියාව ඇති බවය.

සිංහල, ඉංග්‍රීසි සහ ගණිත විෂයට පමණක් නොව සත්ත්ව විද්‍යාවට ද, විශේෂ හැකියාවක් දක්වන ලෙහන්සා, තත්පර කිහිපයක් තුළ ආවර්තිතා වගුව එක හුස්මට කියාගෙන යන්නේ කවුරුත් පුදුම කරමිනි.

ඇය ඉගෙනුම ලබන්නේ දිඹුලාගල අරලගංවිල, විලයාය ප්‍රාථමික විද්‍යාලයේය.

චෙනුලි පළමු වසරට ඇතුළත් කරන විටත් ඉංග්‍රීසි භාෂාව චතුරව හැසිරවීමට සමත්කම් දැක්වු බව ඇයගේ දෙමව්පියෝ පවසති.

සිංහල මාධ්‍යයෙන් පමණක් අධ්‍යාපනය හදාරන ඇය ඉංග්‍රීසි භාෂාව මෙතරම් දක්ෂ ලෙස හැසිරවීම සැබවින්ම මවිතයට කරුණකි.

ගණිතය විෂයට ද විශ්මිත දස්කම් දක්වන ඇය බිලියන හා ට්‍රිලියන ගණන් කටපාඩමින් ගණනය කරන අයුරු අදහාගන්නට බැරි තරම්ය.

“මට 6 වසරේදී සාමන්‍ය පෙළ කරන්න ඕනේ. හැම විශේෂකටම A සාමාර්ථ ගන්න පුලුවන්, මට චෙස්, ගණිතය, ඉංග්‍රීසි සහ සත්ව විද්‍යාව වැනි බොහෝ දේ කරන්න පුළුවන්, මට උදව් කරන්න කෙනෙක් ඉන්වා නම්, මගේ ලංකාව වෙනුවෙන් බොහෝ ජයග්‍රහණ ලබාගන්න පුළුවන්” යනුවෙන් චෙනුලි ලිහන්සා පැවසීය.

*********************************************

20 වැනි සංශෝධනය හමුවේ විදේශ බලපෑම් – කීර්ති වර්ණකුලසූරිය

(12.09.2020 – divaina.com)

විසිවැනි සංශෝධනය සම්බන්ධයෙන් දැන් අර්බුදයක් මතුවී ඇත. ද්විත්ව පුරවැසි බව තහනම එලෙසම තිබිය යුතු යැයි අදහසක් පවතින අතර එම තහනම අහෝසි කළ යුතු බවට මතයක් ඉදිරිපත් වී තිබේ. මෙම ද්විත්ව පුරවැසි බව නිසා මන්ති‍්‍රනී ගීතා කුමාරසිංහට සිය මන්තී‍්‍ර ධුරය අහිමි විය. ඇගේ මන්තී‍්‍ර ධුරය අහිමි කිරීම පසුබිමේ සිටි ශී‍්‍රලනිප දේශපාලකයාව ජනතාව පරාජය කරනු ලැබීය. මේ පසුබිම මැද ද්විත්ව පුරවැසිභාවය මෙරටට අවශ්‍ය ද? ඉන්දියාවේ කොංග‍්‍රස් නායිකාව සිටි සෝනියා ගාන්ධිට සිය ඉතාලි පුරවැසි බව අහෝසි කරගන්නාතුරු ඡන්දයට ඉදිරිපත්වීමට හෝ පක්‍ෂයේ නායකත්වයට පැමිණීමට නොහැකි විය. ඇය කොංග‍්‍රස් නායිකාව වූයේ ඉතාලි පුරවැසි බව අහෝසි කර ගැනීමෙන් පසුවය. ඔස්ටේ‍්‍රලියාවේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු තිදෙනෙකු ද්විත්ව පුරවැසියන් බව හෙළිවීම නිසා ඔවුන් මන්තී‍්‍ර ධුරවලින් ඉල්ලා අස්වූහ. එසේ වුවත් යහපාලන රජය ද්විත්ව පුරවැසි බවට එරෙහිව තහනමක් පැනවූයේ සිය විරුද්ධවාදී දේශපාලකයන්ගෙන් පළිගැනීම සඳහායි. එහෙත් ඒ තහනම ඉහළ ධුරවලට පත් කළ පිරිසට බලපෑවේ නැත. මහ බැංකුවේ ප‍්‍රධානියා වූයේ සිංගප්පූරු ජාතික අර්ජුන් මහේන්ද්‍රන් ය. ඔස්ටේ‍්‍රලියාවේ තානාපති ධුරයට පත් කරන ලද්දේ ඔස්ටේ‍්‍රලියානු පුරවැසියෙකි. නෝර්වේ රාජ්‍යයේ ශී‍්‍ර ලංකා තානාපතිනි ලෙසද ද්විත්ව පුරවැසි කාන්තාවක් පත්කෙරුණි. මේ පත්වීම්වලට එරෙහිව විරෝධතා එල්ල වූයේ නැත. අර්ජුන් මහේන්ද්‍රන් මෙයට පෙර ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ ප‍්‍රධානියා විය. එම සමයේද ඔහු සිංගප්පූරු පුරවැසියෙකි.

මහේන්ද්‍රන් ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස පත් කළ එජාප රජය පරාජයට පත්වීමෙන් පසු ඔහු සිංගප්පූරුවට පැන ගියේය. ඔහුගේ පාලන සමයේදී කොටි සංවිධානයට බදුවලින් තොරව කන්ටේනර්වලින් භාණ්ඩ විශාල තොගයක් ලබාදීමට කි‍්‍රයා කළ බවට හමුදාවට තොරතුරු හෙළි වුවත් පසුව බලයට පත් රජය ඒ ගැන විමර්ශනය කළේ නැත. කොටින්ට කන්ටේනර් යැවීමේ සිද්ධිය පිළිබඳ රහස් පොලිසිය වෙත තොරතුරු යොමුවූවත් එදා කි‍්‍රයාත්මක වූයේ යහපාලන රජය සමයේ කි‍්‍රයාත්මක වූ රහස් පොලිසියට සමාන රහස් පොලිසියක් නිසා පරීක්‍ෂණ යටපත් විය. මින් සනාථ වූයේ ද්විත්ව පුරවැසියකුට ඕනෑම තක්කඩි හා වංචනික කි‍්‍රයාවක් සිදු කර රටින් පැන යෑමේ හැකියාවයි. මෙම ද්විත්ව පුරවැසි බව ගැන රුසියානු ජනපති ව්ලැඞ්මිර් පුටින් පැවසුවේ එය රටක ජාතික ආරක්‍ෂාවට බරපතළ ලෙස බලපාන බවයි. අපි ද්විත්ව පුරවැසියන්ට රට තුළ කි‍්‍රයාත්මක වීමට ඉඩ නොදෙන්නෙමු යැයි පුටින් වරක් පවසා තිබිණි.

මේ පසුබිම මැද ද්‍රවිඩ සන්ධානයේ දේශපාලකයන් රැසක් ද ද්විත්ව පුරවැසියන් වේ. එහෙත් ඔවුන්ට ද්විත්ව පුරවැසි බව දුන් රටවල් ඒ බව හෙළි කර නැත. පාර්ලිමේන්තු මන්තී‍්‍රවරු ද්විත්ව පුරවැසියන් නම් අනිවාර්යයෙන්ම රටට හෙළි කළ යුතු වේ. ආගමන විගමන ආරංචි මාර්ග පැවසුවේ ද්‍රවිඩ දේශපාලකයන් ද්විත්ව පුරවැසියන් බවට හඳුනා ගැනීමේ තොරතුරු කිසිදු රටක් ලබාදී නැති බවයි. එහෙත් කැනඩාව – බි‍්‍රතාන්‍යය සහ නෝර්වේ යන රටවල් ද්‍රවිඩ සන්ධාන දේශපාලකයන්ට ද්විත්ව පුරවැසි බව ලබාදී තිබේ. මෑතකදී පත් කළ මන්තී‍්‍ර ධුරයකට පත්වු සුරේන් රාගවන් කැනඩාවේ පුරවැසියෙකි. ඔහු සිය ද්විත්ව පුරවැසි බව අහෝසි කරගනු ලැබුවේ පසුගිය ජුනි මස යැයි වාර්තා විය. එසේ වුවත් රාගවන් උතුරේ ආණ්ඩුකාරයා ලෙස කි‍්‍රයා කළේය. මේ අනුව ද්විත්ව පුරවැසි තහනම මන්තී‍්‍රවරුන්ට පමණක් නොව, තානාපතිධුර සහ ආණ්ඩුකාර ධුරවලට පත් කරන සියලු පාර්ශ්ව වෙත කි‍්‍රයාත්මක විය යුතුයි. එසේ වුවත් මෙරට ආණ්ඩු ඒ ගැන කි‍්‍රයා කර නැත.

මෑතකදී වත්මන් රජය ද කදිරගාමර් ආයතනයේ අධ්‍යක්‍ෂවරයකු ලෙස සිංගප්පූරු පුරවැසියකු පත් කරනු ලැබීය. මෙවැනි කි‍්‍රයාදාමයන් ජනතාව අනුමත කරනු ඇතැයි රජය සිතන්නේද? මේ ද්විත්ව පුරවැසියන් රටට ආදරය දක්වන්නන් නොවේ.

මෙවන් පසුබිම මැද ද්විත්ව පුරවැසි බව තහනම එලෙසම කි‍්‍රයාත්මක විය යුතු අතර එය රජයේ සියලුම නිලධාරීන්ට කි‍්‍රයාත්මක විය යුතුයි. එහෙත් යහපාලන රජය පාර්ලිමේන්තුවෙන් දොට්ට දැමුවේ ගීතා කුමාරසිංහ පමණකි. මේ අතර 19 වැනි සංශෝධනය යටතේ පත් කළ ස්වාධීන යැයි හඳුන්වාගත් කොමිෂන් සභා තවදුරටත් කි‍්‍රයාත්මක විය යුතුද? යන ප‍්‍රශ්නය ජනතාව හමුවේ පවතී. යහපාලන රජය ව්‍යවස්ථාදායක සභාව, මැතිවරණ කොමිසම සහ කොමිෂන්වලට රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන් පත් කර තිබිණි. රත්නජීවන් හූල් සහ ජාවඩ් යුසුප් ඊට නිදසුන් ය. එසේම අතුරුදන් වූවන්ගේ කොමිසමට නිමල්කා ප‍්‍රනාන්දු, මරික් රහිම් වැනි රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන් පත් කර තිබිණි. මොවුන්ගේ වැටුප රුපියල් 75,000 කි. ඊට අමතරව දුරකථන බිල් සහ ප‍්‍රවාහන දීමනා ද ගෙවනු ලබමින් සිටින රහිම් නමැත්තා පාක්‍යසෝති සවරිමුත්තු මෙහෙයවන විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රයේ කි‍්‍රයාකාරයෙකි.

අතුරුදන් වූවන්ගේ කොමිසම පසුගියදා එක්සත් ජාතීන් වෙත වාර්තාවක් යවමින් අතුරුදන් වී ඇති අය ගැන සංඛ්‍යාලේඛන හෙළි කළේය. මෙය නීතිවීරෝධී කි‍්‍රයාවකි. මෙය ඕ.එම්.සී හෙවත් අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ පැහැර හැරීම නොහැකි වගකීමක් බව පැවසුවේ හිටපු ජනපති මෛති‍්‍රපාල සිරිසේනගේ කාර්යාලයේ සේවය කළ රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරියෙකි.

එහෙත් අතුරුදන් වූවන් විශාල පිරිසක් රටවල් රැසක සිටින අතර ඔවුන්ගේ අනන්‍යතාවය එම රටවල් හෙළි කර නැත.

ඉරාකයේ පමණක් ලක්‍ෂයකට අධික සංඛ්‍යාවක් අතුරුදන්වී ඇති අතර ඇමරිකාව සහ බි‍්‍රතාන්‍ය එකතුවී ඉරාකයේ අතුරුදන්වූවන්ගේ කාර්යාලයක් ස්ථාපිත කර නැත. එසේ වුවත් මෙරට අතුරුදන් වූවන්ගේ කාර්යාලය ඇමරිකානු මෙහෙයුමකි. එම තත්ත්වය මත අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ නඩත්තු කිරීමට වැය වන්නේ ජනතාවගේ බදු මුදල්ය. එබැවින් රාජ්‍ය නොවන සංවිධාන කි‍්‍රයාකාරීන්ගේ යහපත උදෙසා පවත්වාගෙන යන අතුරුදන් වූවන්ගේ කාර්යාලය වහාම අහෝසි කළ යුතු වේ. මෙම කාර්යාලය පිහිටු වූ දින සිට අතුරුදන් වූවන් කිසිවෙක් සොයාගෙන නැත. එහෙත් අතුරුදන් වූවන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණ සිටින අයුරු අපි සියැසින් දුටුවෙමු.

මේ අතර රජය නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට තීරණය කර ඇත. යහපාලන රජය යටතේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම පසුබිමේ සිටියේ ඇමරිකාවයි. ෆෙඩරල් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සඳහා එම්. කේ. සුමන්තිරන් නමැත්තා ද ඊට මුල් විය. මේ ෆෙඩරල් ව්‍යුහයට මුල් වූ පත් කළ මන්ති‍්‍රවරයකු වූ ජයම්පති වික‍්‍රමරත්න අද ස්විට්සර්ලන්තයේ වාසය කරයි.

ස්විස් රජය ද පි‍්‍රබුග් පෙඩරල් ආයතනයේ සිටි විශේෂඥයන් තිදෙනකු යාපනයට එවා උතුරේ ෆෙඩරල් පාලනයක් ආරම්භ කිරීම ගැන උපදෙස් ලබා දුන්නේය.

එහෙත් හැට නව ලක්‍ෂයක් ඡන්දය හමුවේ සුමන්තිරන් ඇතුළු ෆෙඩරල් කල්ලියේ සැලසුම ව්‍යර්ථ විය.

මේ අතර පසුගිය මහා මැතිවරණයේදී රටේ ජනතාව සිවිල් සංවිධාන යැයි හඳුන්වාගත් රාජ්‍ය නොවන සංවිධාන ජාලය මුළුමනින්ම පරාජය කරනු ලැබීය.

මේ සංවිධාන අද ලැජ්ජා නැතිව 20 වැනි සංශෝධනයට එරෙහි වී තිබේ.

මෙරට විධායක ජනපතිවරයෙක් නොසිටියේ නම් කොටි සංවිධානය පරාජය කළ නොහැකි විය. එකල සිවිල් සංවිධානකරුවන් සහාය දැක්වූයේ කොටි කි‍්‍රයාකාරීන්ටය. මෙවන් තත්ත්වයක් මැද රජයේ අවශ්‍යතාවය වී ඇත්තේ 20 වැනි සංශෝධනය සම්මත කර ගැනීමයි. මේ සඳහා එරෙහි වී ඇත්තේ පසුගිය රජයට සම්බන්ධ එන්.ජී.ඕ. කි‍්‍රයාකාරීන් සහ හිටපු දේශපාලකයන්ය. යහපාලන රජය සමයේ 19 වැනි සංශෝධනය ජනතාවගෙන් විමසන්නේ නැතිව සම්මත කරගනු ලැබීය. ඊට එරෙහිවූ එකම මන්තී‍්‍රවරයා රියර් අද්මිරාල් සරත් වීරසේකර පමණි.

මේ අතර අධිකරණය, පොලිසිය සහ මැතිවරණ දෙපාර්තමේන්තුව යන ආයතන ස්වාධීන විය යුතු බවට ජනමතයක් ඇති වූ බවත් උඩරට විරුද්ධ පක්‍ෂ මන්තී‍්‍රවරයෙක් මෑතකදී පවසා තිබිණි. තොප්පිගල කැලෑවක් යැයි පැවසුවේද මොහුය. එහෙත් ස්වාධීන කොමිෂන් ස්ථාපති කළ යුතුබව පැවසුවේ ජනතාව නොව එන්.ජී. ඕ. කාරයන්ය. පොලිස් කොමිසම කි‍්‍රයාත්මක වන අවස්ථාවේ හිටපු රහස් පොලිස් ප‍්‍රධානියා මන්තී‍්‍රවරයෙක් සමග දුරකථන සංවාදයක යෙදුණි. ඒ ගැන පොලිස් කොමිසම අද වනතුරු පියවරක් ගත්තේ නැත. රහස් පොලිසියේ හිටපු පොලිස් පරීක්‍ෂක නිශාන්ත සිල්වා ස්විට්සර්ලන්තයට පැනගියේය. ඔහු පැනගියේ කෙසේ දැයි පොලිස් කොමිසම වැඩබලන පොලිස්පතිගෙන් විමසීමට පියවර ගත්තේ නැත. එසේම රහස් පොලිසියේ ලේඛන මකා දමා ඇති අතර රහස් ලියවිලි ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ද ලැබී තිබිණි. මේ සියලු සිදුවීම් ගැන වාර්තා වන අවස්ථාවේ පොලිස් කොමිසම නිහඬ විය. එම තත්ත්වය මත පොලිස් කොමිසම ස්වාධීන වූයේ කෙසේද? මේ හැර විධායක ජනපති තමාට හිතවත් අය රජයේ උසස් තනතුරුවලට පත් කරන බවට මතයක් පැවැති බවද උඩරට ප‍්‍රදේශයේ සමගි ජන බලවේගයේ මන්තී‍්‍රවරයෙක් තවදුරටත් පවසා තිබේ. එසේ නම් අර්ජුන් මහේන්ද්‍රන්, පාස්කරලිංගම් සහ ඔස්ටේ‍්‍රලියාවේ ශී‍්‍ර ලංකා තානාපති ලෙස රාජකීය විදුහලේ අධ්‍යාපනය ලත් ස්කන්ධරාජා පත්වූයේ කෙසේද?

ඊට පෙර අර්ජුන් මහේන්ද්‍රන්ගේ පියා වූ චාලි මහේන්ද්‍රන් ද තානාපති ධුරයකට පත්විය. එසේම බිතාන්‍ය මහ කොමසාරිස්වරිය ලෙස පත්වූයේ ද මෑතකදී පරාජය වූ දේශපාලකයකුගේ ඥාතියෙකි.

මේ හැර යහපාලන රජය සමයේ පත්වූ පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හමුදාපති මහේෂ් සේනානායක ව්‍යවස්ථාදායක සභාව හරහා පත්වූ බවට එම මන්තී‍්‍රවරයා පැවසුවත් ඔවුන් ස්වාධීන අය ද?

නාවික හමුදාපති ට‍්‍රැව්ස් සින්නයියා නාවික හමුදාවෙන් ඉල්ලා අස්වී ඇමරිකානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක ප‍්‍රධානියා විය. ඉන්පසු තමා දේශපාලන පළිගැනිමට ලක්වූ බව පවසා ඔහු නාවික හමුදාපති විය.

මේ අතර 20 වැනි සංශෝධනයට එරෙහිව යහපාලන රජයට සම්බන්ධව සිටි රාජ්‍ය නොවන සංවිධාන ජාලය සිය විරෝධතා දියත් කර ඇත. ඊට සමගාමීව ඉතාලිය, නෙදර්ලන්තය, ප‍්‍රංශය , රුමේනියාව සහ ජර්මනිය යන රටවල් විදේශ ඇමැති හමුවී රජය ගෙන එන සංශෝධන පිළිබඳව විමසා ඇත.

ස්විට්සර්ලන්තයේ සිටින හිටපු මන්තී‍්‍ර ජයම්පති වික‍්‍රමරත්න ද ප‍්‍රජාතන්ත‍්‍රවාදය යැයි පවසමින් හඬක් නඟා තිබේ. යහපාලන රජයේ උග‍්‍ර ආධාරකරුවකු වූ පාක්‍යසෝනි සරවනමුත්තුද 20 වැනි සංශෝධනයට විරෝධය දක්වා ඇත. එහෙත් රටේ ජනතාවගෙන් 2/3 ක් බලය දුන්නේ කුමකටද?

රටට හිතැති යම් සංශෝධනයක් ගෙන ඒමට මේ විරෝධතාකරුවන්ගේ අදහස්වලට කන්දිය යුතු නැත. එම යහපාලන රජය සමයේ සංහිඳියා කාර්ය සාධක බළකායේ ප‍්‍රධානියකු වූයේ පාක්‍යසෝති සරවනමුත්තුයි. ඔහු ශී‍්‍ර ලංකාවේ හමුදාවට එරෙහිව හයිබි‍්‍රඩ් අධිකරණයක් ස්ථාපිත කළ යුතු යැයි නිර්දේශ කළේය. මේ පසුබිම මැද රාජ්‍ය නොවන සංවිධාන යුරෝපා සංගමය වෙත පෙත්සම් තොග පිටින් යවා ඇතැයි හෙළි විය. එම පෙත්සම්වලින් දන්වා ඇත්තේ 20 වැනි සංශෝධනය කෙසේ හෝ අත්හිටුවන ලෙසයි. මින් තහවුරු වන්නේ විදේශ රටවල් මෙරටට එල්ල කරන බලපෑම් දිගටම සිදුවන බවයි.

යුරෝපා සංගමයට අයත් රටවල්වලට ශී‍්‍ර ලංකා රජයේ අභ්‍යන්තර කටයුතුවලට කිසිසේත් මැදිහත් විය නොහැක. එතේ වියානා සම්මුතිය උල්ලංඝනය කරමින් කොළඹ බටහිර තානාපතිවරු මෙරට කටයුතුවලට මැදිහත්වී ඇත.

එය තවදුරටත් සනාථ වන්නේ ඇමරිකානු තානාපතිනි ඇලෙයිනා ටෙප්ලිට්ස් සිරගෙවල්වල තදබදය ගැන කරුණු විමසීමයි. මේ අතර ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය ද විසිවැනි සංශෝධනයට එරෙහි විය. මෙහිදී මේ ආයතනයට ලැබෙන විදේශ අරමුදල් කොපමණදැයි අනිවාර්යයෙන් ම විමර්ශනයට ලක් කළ යුතුව තිබේ.

කීර්ති වර්ණකුලසූරිය

*********************************************

20 කෙටුම්පතට විමල්ගේ විරෝධය.. ගැසට් කල 20 පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව කියයි..

(12.09.2020 – 22:02 +0530 – lankacnews.com)

දැනට ඉදිරිපත් කර ඇති 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතෙහි ගැටලු කීපයක් ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

තමන්ද ඇතුළු ආණ්ඩුවේ පක්ෂ නායකයන් විසින් ඒ බව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට දැනුවත් කළ බව ද ඔහු පැවසීය.

ඒ අනුව මෙම කෙටුම්පත සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත් කරන ලද බවත් එම කමිටුවේ නිර්දේශ ලැබෙන තුරු දැනට ගැසට් කර ඇති විසිවෙනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බවත් ඔහු සඳහන් කළේය.

අදාල කමිටුවේ නිර්දේශ මත නව ගැසට් පත්‍රයක් ඉදිරිපත් කර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සිදු වන බවද ඇමැතිවරයා පැවැසුවේය.

දැනට ඉදිරිපත් වී ඇති පනත් කෙටුම්පතට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ද කනස්සල්ල පල කර ඇති බවත් ඒවා නිවැරදි කරගෙන ඉදිරිපත් කළ පසු තුනෙන් දෙකක බහුතර ලබා ගැනීම කිසිදු ගැටලුවක් ඇති නොවනු ඇති බවච ඇමතිවරයා තවදුරටත් කියා සිටියේය.

ඔහු මෙම අදහස් පළ කළේ උත්සව සභාවකට සහභාගිවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පලකරමිනි.

+++++++++

+++++++++

*********************************************

දිළිඳු පවුලකට කරුණා ඇස යොමුකළ පාසලක්

(12.09.2020 – 12:55 +0530 – hirunews.lk/sinhala)

දරුවන්ගේ කුස පිරවීමත් ඇස් පෑදිමත් සෑම දෙමව්පියෙකුගේම ප්‍රධානතම බලාපොරොත්තුවයි.

ඒ බලාපොරොත්තු දෙකම සුන් වූ දිළිඳු පවුලකට කරුණා ඇස යොමුකළ පාසලක් පිළිබඳව ගිනිගත්හේන ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා.

මේ ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයයි.

වෙනදා මෙන් පාසල් පැමිණි 6 ශ්‍රේණියේ දියණියක් පාසලේ නියෝජ්‍ය විදුහල්පතිනියට මේ ලිපිය භාරදුන්නා.

එය ලියා තිබුණේ සිසුවියගේ මව විසින්.

දෑස් හරිහැටි නොපෙනන තමාට දරුවන්ගේ කුස පිරවීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවයි එම ලිපියේ සඳහන් වුණේ.

දරුවන් හෙට දිනයේ පාසල් එවීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවත් මේ අසරණ මව සඳහන් කර තිබුණා.

ඒ කඳුළු සටහන දුටු පාසලේ ආචාර්ය මණ්ඩලය එදිනම ඒ දරුවන්ගේ නිවස සොයා ගියා.

*********************************************

මත්තල ගුවන් තොටුපලෙන් සහන රැසක්

(12.09.2020 – 13:02 +0530 – hirunews.lk/sinhala)

මත්තල ගුවන් තොටුපල හරහා භාණ්ඩ අපනයන කරන සමාගම් වෙනුවෙන් බදු හා වෙනත් සහන රැසක් ලබා දෙන බව මත්තල ගුවන් තොටුපළේ අධ්‍යක්ෂවරයා සඳහන් කරනවා.

ඔහු මේ බව සඳහන් කළේ මත්තල ගුවන් තොටුපොළේ සේවාවලට දේශීය අපනයනකරුවන් සහ ජාත්‍යන්තර වෙළෙඳ සමාගම් නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වෙමින්.

මත්තල ගුවන් තොටුපල අපනයන සඳහා වඩාත් පුළුල් ලෙස යොදා ගැනීමේ අරමුණින් වෙළඳ නියෝජිතයින් දැනුවත් කිරීම සඳහා මෙම වැඩසටහන සංවිධානය කර තිබුණා.

ඒ සඳහා දේශීය සහ ජාත්‍යන්තර වෙළෙඳ සමාගම් නියෝජිතයින් රැසක් සහභාගී වුණා.

*********************************************

මැටි මිල පාලනය කරන්න යන රාජ්‍ය ඇමති ප්‍රසන්න

(12.09.2020 – 13:07 +0530 – hirunews.lk/sinhala)

මැටි මිල පාලනය කර එම කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරිමට කඩිනමින් පියවර ගන්නා බව වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසනවා.

ඔහු මේ අදහස් පළකළේ බියගම පිහිටි මැටි කර්මාන්ත කෞතුගාරය සහ එම ගම්මානයේ ගැටලු පිළිබඳ සොයා බලීමට පැමිණි අවස්ථාවේදී.

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා ඊයේ (11) පස්වරුවේ අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක්ද සමග බියගම පිහිටි මැටි කර්මාන්ත කෞතුකාගාරය හෙවත් ‘කුඹල් ගෙදර’ට පැමිණියේ, එම කර්මාන්තයේ නියැලෙන්නන් මුහුණ දී සිටින ගැටලු පිළිබඳව සොයා බැලීමටයි.

‘කුඹල් ගෙදර’ මෙරට පිහිටි එකම මැටි කර්මාන්ත කෞතුකාගාරය වන අතර, ඒ අවට ප්‍රදේශයේ මැටි කර්මාන්තකරුවන් රැසක් සිටිනවා.

මෙහිදී රාජ්‍ය අමාත්‍යවරයා මැටි භාණ්ඩ නිෂ්පාදනය කෙරෙන ආකාරය නිරීක්ෂණය කළා.

*********************************************

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා ආරක්ෂක උපදේශකට ඩයස්පෝරාවෙන් විරෝධයක්

(12.09.2020 – 13:18 +0530 – hirunews.lk/sinhala)

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ස්වර්ණ බෝතොට මහතා අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා කොටි හිතවාදී දෙමළ ඩයස් පෝරාව විසින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කාර්යාලය ඉදිරිපිට ඊයේ (11) උද්ඝෝෂණයක් පවත්වා තිබෙනවා.

විරෝධතාව සඳහා විසි පහක (25) පමණ පිරිසක් විරෝධතා පුවරු අතැතිව එක්වූ බවයි වාර්තාවන්නේ.

මේ සම්බන්ධයෙන් මොවුන් පසුගියදා බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු ලේකම්වරයා වෙත ඒකාබද්ධ ලිපියක්ද යොමුකර තිබූ අතර, ඊට ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් ඊයේ (11) මෙලෙස විරෝධතාවයේ නිරතවී ඇති බව සඳහන්.

කෙසේ වෙතත් බ්‍රිගේඩියර් ස්වර්ණ බෝතොට මහතා ලබන ඔක්තෝම්බර් මාසයේදී තම සේවා කාලය අවසන් කර යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර, එවන් පසුබිමක් තුළයි කොටි හිතවාදී දෙමළ ඩයස් පෝරාව මෙලෙස විරෝධතාවක නිරතව ඇත්තේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *