ජනතාව බලය දී ඇත්තේ රටට යෝග්‍ය නව ව්‍යවස්ථාවක් සකස් කිරීමටයි – මහා සංඝරත්නය ජනපතිට කියයි

ජනතාව බලය දී ඇත්තේ රටට යෝග්‍ය නව ව්‍යවස්ථාවක් සකස් කිරීමටයි – මහා සංඝරත්නය ජනපතිට කියයි

වෙලේ සුදාගේ සහෝදරිය ඇතුළු 3 දෙනෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

වන සතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දැඩි නීති ඇතුලත් පනතක් සති දෙකක් (2) ඇතුලත පාර්ලිමේන්තුවට

හෙරොයින් කිලෝවක් සමග දෙදෙනෙකු (2) මීගොඩදී අත්අඩංගුවට

අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයට විසිකර තිබූ ජංගම දුරකථන සහ සිම් කාඩ් තොගයක් හමුවෙයි

ගම්මිරිස් වගාවට විසඳුම්

කැළණි විහාරයේ නිල වෙබ් අඩවිය අගමැතිගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

ආහාර වර්ජනයේ නිරත රැඳවියන්ගේ ඉල්ලීම් ඉටු කළ නොහැකි බව, ආරක්ෂක ලේකම් කියයි

කුවේටයේදී ශ්‍රී ලාංකික කාන්තාවක් මරුට

හන්තාන එළිපෙහෙළි කිරීමට මන්ත්‍රී කිරිඇල්ලගේ දියණියකට නඩු

හෝමාගම නිවාස ව්‍යාපෘතියකින් නිවාස ලබා ගත් පිරිසක් ඔප්පු හිමි නොවූ බව පවසමින් විරෝධතාවක

කොච්චිකඩේ ෆේස්බුක් සාදයක් වටලා 30 ක් අත්අඩංගුවට

සංචාරක ප්‍රදේශ පිවිසුම් මාර්ග වැඩිදියුණු කරන්න – අගමැතිගෙන් උපදෙස්

*********************************************

ජනතාව බලය දී ඇත්තේ රටට යෝග්‍ය නව ව්‍යවස්ථාවක් සකස් කිරීමටයි – මහා සංඝරත්නය ජනපතිට කියයි

(12.09.2020 – 15:14 +0530 – hirunews.lk/sinhala)

රටට යෝග්‍ය නව ව්‍යවස්ථාවක් සැකසීමට ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බහුතර බලයක් ලබාදී ඇතැයි මහා සංඝරත්නය පෙන්වා දෙනවා.

ජනතා අපේක්ෂාව පියවරින් පියවර ඉටු කරමින් ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩනැගීමට ජනාධිපතිවරයා යන ගමන දෙස මහත් සතුටින් බලා සිටින බවයි උන්වහන්සේලා ප්‍රකාශ කළේ.

ඓතිහාසික අනුරාධපුරය අටමස්ථානය වැඳ ආශිර්වාද ගත් ජනාධිපතිවරයා අද (12) පෙරවරුවේ ලංකාරාමය, මිරිසවැටිය සහ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථාන වෙත ගිය අවස්ථාවේ ඔහුට ආශිර්වාද කරමින් මහා සංඝරත්නය මෙම අදහස් පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා.

ලංකාරාම විහාරයට ගිය ජනාධිපතිවරයා විහාරාධිකාරී පූජ්‍ය රළපනාවේ ධම්මජෝති හිමියන් බැහැ දැක කෙටි පිළිසඳරක නිරත වුණා.

විහාරස්ථානයේ සංරක්ෂණ කටයුතු නිරීක්ෂණය කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පූජා භූමියට පැමිණ සිටි බැතිමතුන් සමග කථා බහක නිරත වී තිබෙනවා.

එමෙන්ම ජනාධිපතිවරයා, මිරිසවැටිය විහාරාධිකාරී පූජ්‍ය ඊතලවැටුණවැවේ ඥාණතිලක නායක හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත් අතර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයට ගිය ඔහු පූජ්‍ය නුගේතැන්නේ ශ්‍රි පඤ්ඤානන්ද හිමියන් බැහැ දැක සුව දුක් විමසා තිබෙනවා.

*********************************************

වෙලේ සුදාගේ සහෝදරිය ඇතුළු 3 දෙනෙකු කේරළ ගංජා සමග අත්අඩංගුවට

(12.09.2020 – 16:00 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ගම්පොල විදානගේ සමන්ත කුමාර’ හෙවත් ‘වෙලේ සුදා’ගේ බාල සහෝදරිය ඇතුළු 3 දෙනෙකු කේරළ ගංජා සමග හක්මන නගරයේ ලැගුම්හලකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ හක්මන – උඩුපිල්ලගොඩ ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වී යළි පැමිණ අදාළ ලැගුම්හලේ රැදී සිටියදී ඔවුන් අත්අඩංගුවට ගත් බවයි.

32 හැවිරිදි ‘ගම්පොල විදානගේ දිලිනි නිල්මිණී’ හෙවත් වෙලේ සුදාගේ බාල නැගණියට අමතරව, ඇගේ අනියම් සැමියා සහ මෝටර් රථයේ රියදුරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ අදාළ ලැගුම්හලේ සිදුකළ සෝදිසියේදී මෙම රියදුරා සතුව තිබී කේරළ ගංජා ග්‍රෑම් 5 ක් මෙලෙස සොයා ගෙන ඇති බවයි.

ඔවුන්ගෙන් මේ වනවිටත් වැඩිදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකෙරෙනවා.

*********************************************

වන සතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දැඩි නීති ඇතුලත් පනතක් සති දෙකක් (2) ඇතුලත පාර්ලිමේන්තුවට

(12.09.2020 – 16:26 +0530 – hirunews.lk/sinhala)

වන සතුන් ආරක්ෂා කර ගැනීම සඳහා දැඩි නීති ඇතුලත් පනතක් සති දෙකක් (2) ඇතුලත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව වනජීවී අමාත්‍ය සී.බී රත්නායක මහතා පවසනවා.

අමාත්‍යවරයා මේබව කියාසිටියේ අද (12) දහවල් මාවුස්සාකැලේ සමන් දේවාලයේ පැවති විශේෂ ආශීර්වාද පූජාවකට සහභාගී වීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින්.

වනජීවී අමාත්‍යංශය තුල රසායනාගාරයක් ඉදි කිරීමට සහ පශු වෛද්‍යවරුන් ශක්තිමත් කරමින් රෝගකාරක හඳුනා ගැනීමටත් නව නීති සම්පාදනය කරන බව අමාත්‍යවරයා එහිදී කියාසිටියා.

සතුන්ට උගුල් අටවා වැරදිකරුවෙකු වුවහොත් සිර දඩුවම් ලබාදී දඩ මුදල් තුන් (3) ගුණයකින් වැඩි කිරීමට සහ වන සතෙකු ඝාතනය කළ හොත් එම වරදකරුගෙන් අය කෙරෙන දඩ මුදල රුපියල් ලක්ෂය දක්වා වැඩි කර වසරක සිර දඩුවම් ලබාදීමට ද පියවර ගන්නා බවයි අමාත්‍ය සී.බී රත්නායක මහතා කියාසිටියේ.

ඊට අමතරව කැලෑ ගිනි තබන පුද්ගලයන්ට වසර 5 ක සිර දඩුවම් ලබාදීමට ද නීති සම්පාදනය කරන බව ඔහු සඳහන් කළා.

කඩොලාන ශාඛ, මුහුදු අවට සිටින සතුන් මෙන්ම උද්‍යාන තුල සිටින සතුන් ද රැක ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවයි වනජීවී අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

*********************************************

හෙරොයින් කිලෝවක් සමග දෙදෙනෙකු (2) මීගොඩදී අත්අඩංගුවට

(12.09.2020 – 16:36 +0530 – hirunews.lk/sinhala)

මීගොඩ ප්‍රදේශයේදී හෙරොයින් කිලෝවක් සමග පුද්ගලයන් දෙදෙනෙකු (2) පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර ඊයේ (11) රාත්‍රියේ සිට අද (12) අලුයම දක්වා දිවයින පුරා සිදු කළ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් ඇතුලු පුද්ගලයන් 4186 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය සඳහන් කළා.

ඊයේ (11) රාත්‍රී 11 සිට අද (12) අලුයම 3 දක්වා මෙම විශේෂ මෙහෙයුම සිදුකර ඇත්තේ වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් අනුවයි.

ඊට පොලිස් නිලධාරීන් 16,347 ක් සහ නිල සුනඛයන් 45 ක් එක්වී තිබෙනවා.

එහිදී වරෙන්තුකරුවන් 1143 ක් අත්අඩංගුවට ගැනුනා.

සැකපිට පුද්ගලයන් 811 ක් අත්අඩංගුවට පත්වී ඇති අතර මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී මත්පැන් සම්බන්ධයෙන් පුද්ගලයන් 1205 ක් අත්අඩංගුවට පත්වී තිබෙනවා.

බලපත්‍ර නොමැති ගිනි අවි 7 ක් ද මෙහිදී අත්අඩංගුවට ගැනුනා.

ඒ ගාල්ල නිකවැරටිය කිලිනොච්චි සහ පූගොඩ යන ප්‍රදේශවලින්.

විවිධ අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 114 දෙනෙකු මෙම විශේෂ මෙහෙයුමේදී අත්අඩංගුවට පත්වී තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ බීමත්ව රිය පදවා අත්අඩංගුවට ගැනීම් 903 ක් ද සිදුකර ඇති බවයි ෴

*********************************************

අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරයට විසිකර තිබූ ජංගම දුරකථන සහ සිම් කාඩ් තොගයක් හමුවෙයි

(12.09.2020 – 18:48 +0530 – hirunews.lk/sinhala)

අගුණකොලපැලැස්ස බන්ධනාගාරය තුළට විසිකර තිබූ ජංගම දුරකථන 09 ක්, සිම්කාඩ් 18 ක් සහ දුම්කොළ පාර්සලයක් බන්ධනාගාර නිලධාරින් විසින් සොයා ගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, කවුරුන් විසින් මෙලෙස බන්ධනාගාරය තුළට එම ද්‍රව්‍ය විසි කළේ ද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු අනාවරණ වී නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා ෴

*********************************************

ගම්මිරිස් වගාවට විසඳුම්

(12.09.2020 – 18:52 +0530 – hirunews.lk/sinhala)

විවිධ රෝග සහ කෘමි උවදුරු හේතුවෙන් විනාශයට පත්වූ ගම්මිරිස් වගාව යළි නගා සිටුවීමට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර රැසක් ගෙන ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඒ.පී. හීන්කෙන්ද මහතා පවසනවා.

ඔහු ප්‍රකාශ කළේ ‘ඉක්මන් මැලවීමේ රෝගය’ සහ ‘කඳන් පණුවන් විදීම’ වැනි පලිබෝධ උවදුරු වාර්තා වූ ප්‍රදේශවල ගොවීන් සඳහා නව වගා ආරම්භ කිරීමට අවශ්‍ය ආධාර ලබාදීමට ද පියවර ගෙන ඇති බවයි.

මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී ගොවීන් බලධාරින් දැනුවත් කර තිබුණා ෴

*********************************************

කැළණි විහාරයේ නිල වෙබ් අඩවිය අගමැතිගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ

(12.09.2020 – 19:39 +0530 – hirunews.lk/sinhala)

කැළණිය රජමහා විහාරයේ නිල වෙබ් අඩවිය විවෘත කිරීමේ උත්සවය සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (12) එක්වුණා.
( https://kelaniyatemple.lk/ )

මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් එම උත්සවයට එක්ව සිටියා.

මේ අතර, මාළඹේ ශ්‍රී විමලාරාම විහාරස්ථානයේ ඉදිකළ 18 රියන් අවුකන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරුව සහිත ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ උත්සවය හා බුද්ධ මන්දිරය මෙන්ම සංඝාවාසයට මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කිරීමේ උත්සවයට ද අග්‍රාමාත්‍යවරයා අද (12) එක්වුණා.

*********************************************

ආහාර වර්ජනයේ නිරත රැඳවියන්ගේ ඉල්ලීම් ඉටු කළ නොහැකි බව, ආරක්ෂක ලේකම් කියයි

(12.09.2020 – 19:46 +0530 – hirunews.lk/sinhala)

බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රැඳවූවන් පිරිසක් ආරම්භ කළ ආහාර වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක වනවා.

සංවිධානාත්මක අපරාධකරුවන් වන පොඩි ලැසී, වෙලේ සුදා සහ කොස්ගොඩ තාරක ඇතුළු 30 දෙනෙකු තවදුරටත් මෙලෙස ආහාර වර්ජනයේ නිරත වන්නේ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින්.

කෙසේ වෙතත්, ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා කියා සිටියේ බූස්ස බන්ධනාගාරයේ ආහාර වර්ජනයේ නිරතව සිටින මෙම රැඳවියන්ගේ ඉල්ලීම් ඉටු කිරීමට නොහැකි ඉල්ලීම් බවයි.

අද (12) පෙරවරුවේ මහනුවර – බෝගම්බර බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළා.

පාතාල හා හෙරොයින් සිද්ධිවලට අත්අඩංගුවට ගන්නා රැඳවියන් සංඛ්‍යාව ඉහළ යාම නිසා බෝගම්බර බන්ධනාගාරය නැවත සකස් කිරීමේ හැකියාව පිළිබඳව සොයා බැලීම සඳහායි ආරක්ෂක ලේකම්වරයා මෙලෙස එම බන්ධනාගාර භූමියට පැමිණියේ.

උසස් පොලිස් නිලධාරින් වෙනුවෙන් පොලිස් අපරාධ වාර්තා කොට්ටාශයේ ඊයේ (11) පැවති වැඩමුළුවකට ද ආරක්ෂක ලේකම්වරයා එක්වුණා.

මේ අතර, ත්‍රස්තවාදය සහ කොරෝනා වසංගතය පරාජය කළාසේම මත්කුඩු ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් ද රටින් තුරන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ අද (12) පැවති යුද හමුදාවේ විශේෂ බලකායේ විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්.

මේ අතර, සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘සමන්ත කුමාර’ හෙවත් ‘වෙලේ සුදා’ගේ බාල සහෝදරිය ඇතුළු 3 දෙනෙකු කේරළ ගංජා සමග හක්මන නගරයේ ලැගුම්හලකදී අද (12) අත්අඩංගුවට ගත්තා.

පොලීසිය පැවසුවේ හක්මන – උඩුපිල්ලගොඩ ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වී යළි පැමිණ අදාළ ලැගුම්හලේ රැදී සිටියදී ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

32 හැවිරිදි ‘දිලිනි නිල්මිණී’ හෙවත් ‘වෙලේ සුදාගේ බාල නැගණිය’ට අමතරව, ඇගේ අනියම් සැමියා සහ මෝටර් රථයේ රියදුරු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ අදාළ ලැගුම්හලේ සිදුකළ සෝදිසියේදී මෙම රියදුරා සතුව තිබී කේරළ ගංජා ග්‍රෑම් 5 ක් මෙලෙස සොයා ගත් බවයි.

එසේම, හෙරොයින් කිලෝග්‍රෑමයක් සමග මීගොඩ – දාම්පේ පාරේදී පුද්ගලයන් දෙදෙනෙකු (2) අද (12) පස්වරුවේ මීගොඩ පොලීසිය අත්අඩංගුවට ගත් අතර ඔවුන්, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පුද්ගලයෙකුගේ සමීපතමයින් බවට තොරතුරු ලැබී තිබෙනවා.

දඹුල්ල – ලෙනදොර ප්‍රදේශයේදී අද (12) සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 10 කට වැඩි ප්‍රමාණයක් සහ මුදලින් රුපියල් 60,000 ක් සමග අඹුසැමි යුවලක් ඇතුළු 5 දෙනෙකු මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයට අනුයුක්ත කොට්ඨාශ දූෂණ මර්දන අංශය අත්අඩංගුවට ගනු ලැබුවේ උපාය දූතයින් ලෙස වෙස්වලාගෙන සිදුකළ වැටලීමකදීයි.

දඹුල්ල නගරයේ හෙරොයින් ජාවාරමේ නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු (2) ද හෙරොයින් සමග පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවා.

පාසල් ළමයින්ට ගංජා අලෙවි කළ පිය පුතු දෙපලක් සියඹලාන්ඩුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.

පානදුර – මිරිස්වත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මත්ද්‍රව්‍ය අපරාධ රැසකට සම්බන්ධ බවට සැක කරන මිරිස්වත්තේ ටිරෝන් නමැත්තා අත්අඩංගුවට ගත් අතර, පොලීසිය පැවසුවේ ඔහු ළඟ තිබී කේරළ ගංජා ග්‍රෑම් 100 කට අධික ප්‍රමාණයක් සොයා ගත් බවයි.

ඊට අමතරව, ගංජා අලෙවියෙන් උපයා ගත් බවට සැලකෙන රුපියල් 1,16,000 ක මුදලක් ද මෙහිදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

වව්නියාව පොලීසිය ඊයේ (11) රාත්‍රියේ ක්‍රියාත්මක කළ තවත් මෙහෙයුමකදී ගංජා කිලෝ 3 ක් සමග පුද්ගලයෙකු සහ හෙරොයින් සමග පුද්ගලයන් 3 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබුණා.

නාවික හමුදාව සහ සූරියවැව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් එක්ව ඊයේ (11) තණමල්විල – බලහරුව ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී ගංජා හේනක් වටලා සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, යක්කලමුල්ල පොලීසිය සිදුකළ මෙහෙයුමකදී ගිනි අවි 8 ක් සමග සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් වූ අතර, ජර්මනියේ නිෂ්පාදිත ගිනි අවියක්, මෙරට නිෂ්පාදිත අවි 6 ක් සහ බඳින තුවක්කුවක් ඒ අතර වන බව පොලීසිය සඳහන් කළා.

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ 44 හැවිරිදි සැකකරුවෙකු මීටියාගොඩ – ඩග්ලස් ගුරුගේ මාවතේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එසේම, ඊයේ (11) රාත්‍රි 11 සිට දිවයිනම ආවරණ වන පරිදි පැය 4 ක කාලයක් විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක වුණා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ එහිදී හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය වැරදි මෙන්ම විවිධ අපරාධ සම්බන්ධයෙන් 4186 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මෙම මෙහෙයුමට පොලිස් නිලධාරින් 16,347 දෙනෙකු සහ පොලිස් නිල සුනඛයන් 45 දෙනෙකු එක්වුණා.

*********************************************

කුවේටයේදී ශ්‍රී ලාංකික කාන්තාවක් මරුට

(12.09.2020 – 20:09 +0530 – hirunews.lk/sinhala)

කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයේ යෙදි සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් ඇය සේවය කළ නිවසේ හාම්පුතුගේ සහ ඔහුගේ බිරිඳගේ පහරදීමකට ලක්වීමෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය අද වාර්තා කළා.

ඇයගේ සිරුර එරට අම්රි රෝහලේ තබා ඇති බවයි එහි සඳහන් වුණේ.

මෙලෙස මියගොස් ඇත්තේ 46 හැවිරිදි කාන්තාවක්.

සිද්ධියට අදාළව නිවෙස් හිමිකරු සහ එම පුද්ගලයාගේ බිරිඳගෙන් ප්‍රශ්ණ කෙරෙමින් පවතින බව සඳහන්.

මෙම සිද්ධියට තවත් පිරිස් සම්බන්ධ වී ඇත් ද යන්න සොයා විමර්ශණ ක්‍රියාත්මක බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

පිළිස්සුම් සහ කැපුම් තුවාල සහිතව බරපතල තත්වයෙනුයි ඇය රෝහලට ඇතුලත් කර ඇත්තේ.

අනතුරුව හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කර පැය කිහිපයකින් මෙම ශ්‍රී ලාංකික කාන්තාව මරණයට පත්ව තිබෙනවා.

අධිකරණ වෛද්‍ය පරීක්ෂණ සඳහා සිරුර යොමුකර ඇති අතර මෙම මරණයට හේතුව සොයා විමර්ශණ ක්‍රියාත්මකයි.

විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ කුවේටයේදී මෙලෙස ගෘහ සේවිකාවන් මරණයට පත්වූ පළමු අවස්ථාව ද මෙය නොවන බවයි.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ද පිලිපීන ජාතික කාන්තාවක් නිවෙස් හිමිකරුවන්ගේ අපයෝජනයට ලක්වීමෙන් මරණයට පත්වුනා ෴

*********************************************

හන්තාන එළිපෙහෙළි කිරීමට මන්ත්‍රී කිරිඇල්ලගේ දියණියකට නඩු

(12.09.2020 – 20:46 +0530 – hirunews.lk/sinhala)

හන්තාන රක්ෂිතයේ පරිසර සංවේදී භූමි ප්‍රදේශයක් එළිපෙහෙලි කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ල්කෂ්මන් කිරිඇල්ලගේ දියණියකට එරෙහිව නඩු පැවරීමට මධ්‍යම පරිසර අධිකාරිය කටයුතු කර තිබෙනවා.

මේ අතර හන්තාන පාරිසරික ප්‍රදේශයට අයත් නොවන තවත් තවත් අක්කර 30 ක පමණ භූමි භාගයක් කිසියම් පිරිසක් විසින් හෙළි පෙහෙළි කර ඇති බවට අපට වාර්තා වුණා.

මහනුවර සෙංකඩගල රාජධානිය පැවති යුගයේ පටන් බ්‍රිතාන්‍ය පාලන යුගයේදී හා අද දක්‌වාම හන්තාන, දෙස් විදෙස් බොහෝ දෙනා අතර ප්‍රචලිත ගමනාන්තයක් බවට පත්ව තිබෙනවා.

ජෛව විවිධත්වයෙන් හා සෞම්‍ය දේශගුණයෙන් ද අතිශය පොහොසත් හන්තාන, සෙංකඩගලට අද්විතීය වටිනාකමක්‌ ලබාදෙන කඳුවැටියක්.

අක්කර 30 කින් යුක්ත වූ මේ භූමියේ සැලකිය යුතු ප්‍රදේශයක් මේ වන විට කිසියම් පුද්ගලයෙක් විසින් එලිපෙහෙලි කර ඇති බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.

මේ අතර හන්තාන රක්ෂිතයේ මීටර් 3000 ට ඉහළ පරිසර සංවේදී භූමි ප්‍රදේශයක් එළිපෙහෙළි කර ඇති බවට හන්තාන සුරැකීමේ සංවිධානය පසුගියදා අනාවරණ කළා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සදහන් කළේ සිද්ධියට අදාල ඉඩම 1990 වසරේදී තමා විසින් මිලදී ගත් බවයි.

අදාල නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ නව රජය පත්වීමෙන් පසු වගා කටයුතු පිළිබද රට තුල ඇති කළ උද්යෝගයත් සමග මීට පෙර තේ හා ගම්මිරිස් වගා කර තිබූ ඉඩමට ඇතුලු වීමට පැවති අපහසුතාව හේතුවෙන් එහි වැවී තිබූ තණකොළ පමණක් අඩු කළ බවයි.

කෙසේ වෙතත් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එම ඉඩම හිමි තැනැත්තියට එරෙහිව නඩු පැවරීමට තීරණ කළ බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

*********************************************

හෝමාගම නිවාස ව්‍යාපෘතියකින් නිවාස ලබා ගත් පිරිසක් ඔප්පු හිමි නොවූ බව පවසමින් විරෝධතාවක

(12.09.2020 – 22:42 +0530 – hirunews.lk/sinhala)

හෝමාගම – ජල්තර ප්‍රදේශයේ නිවාස ව්‍යාපෘතියකින් ලක්ෂ ගණනින් මුදල් ගෙවා නිවාස ලබා ගත්තද තමන්ට මෙතෙක් එම නිවාස සඳහා ඔප්පු හිමි නොවූ බව පවසමින් පිරිසක් අද (12) විරෝධතාවක නිරත වුණා.

උද්ඝෝෂකයින් සඳහන් කළේ නිවාස සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක අදාළ නිවාස ඉදිකර තිබීම හේතුවෙන් යලි මුදල් ගෙවීමට සිදුව ඇති බවයි.

අදාළ නිවාස ව්‍යාපෘතියෙන් නිවාස ලබාගත් මෙම පිරිස උද්ඝෝෂණයේ නිරත වූයේ එම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළ සමාගම ඉදිරිපිටදී.

ඔවුන් චෝදනා කළේ මීට වසර කිහිපයකට පෙර රුපියල් ලක්ෂ 50 හා 80 වැනි ඉහළ මිල ගණන් යටතේ තමන් අදාළ ව්‍යාපෘතියෙන් නිවාස මිලදී ගත් බවයි.

කෙසේ වෙතත් මේ වනතෙක් සිය නිවාස වලට අදාළ හිමිකම් ඔප්පු ලබා නොදුන් බවට ඔවුන් චෝදනා කරනවා.

+++++++++++++

හෝමාගම, ජල්තර, රනාල ප්‍රදේශයේ ‘ග්‍රීන්වැලි’ නිවාස ව්‍යාපෘතියේ පදිංචිකරුවන් බත්තරමුල්ලේ දී විරෝධතාවක

(12.09.2020 – news24.lk)

රනාල, ‘ග්‍රීන්වැලි’ නිවාස ව්‍යාපෘතියේ පදිංචිකරුවන් බත්තරමුල්ල ප්‍රදේශයේ විරෝධතාවක නිරතව තිබෙනවා.

ඒ, ව්‍යාපෘතියේ නිවාස 350 වෙනුවෙන් නිසි පවරා දීමක් සිදුකර නොමැති බවට චෝදනා කරමින්.

හෝමාගම, ජල්තර, රනාල ප්‍රදේශයේ ග්‍රීන්වැලි නිවාස ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ 2016 වසරේදීයි.

ඒ, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘතියක් ලෙසින් බවයි පදිංචිකරුවන් පවසන්නේ.

බත්තරමුල්ල ප්‍රදේශයේ පුද්ගලික ආයතනයකට ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව භාර දී තිබුණා.

ඒ අනුව නිවාස ඒකකයක් වෙනුවෙන් අවම මිල දක්වා ඇත්තේ රුපියල් ලක්ෂ 48 ක් ලෙසයි.

ජාතිය ගොඩනැගීමේ බද්ද සහ ඔප්පු ගාස්තු ද ඇතුළත්ව තවත් රුපියල් ලක්ෂ 3 කට අධික මුදලක් නිවැසියන් විසින් ගෙවා තිබෙනවා.

නිවාස ව්‍යාපෘතිය අවසන් කොට වසර දෙකක් (2) පමණ ගතව ඇතත් මේ වන තෙක් ඔප්පු ලබා දී නොමැති බවටයි පදිංචිකරුවන් චෝදනා කරන්නේ.

ඒ අනුව නිවැසියන් ලබා දී ඇති රුපියල් කෝටි 12 කට අධික මුදලක් වසර දෙකක් (2) තිස්සේ පුද්ගලික සමාගම සතුව පවතින බව ද විරෝධාතාවට එක් වූ නියෝජිතයෙකු සඳහන් කළා.

+++++++

+++++++

++++++++++

Green Valley Apartments by Homelands Skyline

( https://www.homelandsskyline.lk/ )

++++++++++

*********************************************

කොච්චිකඩේ ෆේස්බුක් සාදයක් වටලා 30 ක් අත්අඩංගුවට

(13.09.2020 – 07:11 +0530 – hirunews.lk/sinhala)

මීගමුව කොච්චිකඩේ කම්මල්තොට ප්‍රදේශයේ උත්සව ශාලාවක ෆේස්බුක් සාදයක් පැවැත්වූ 30 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අවුරුදු 18 සහ 20 අතර වයස්වල පසුවන්නන් අතර ගංජා සහ මත්පැන් ඔවුන් සතුව තිබී සොයාගෙන ඇති බවයි පොලිසිය කියාසිටියේ.

ඊයේ (12) සිදුකළ මෙම වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් වෙන්නප්පුව, දංකොටුව සහ මාරවිල ප්‍රදේශවල පදිංචිකරුවන්.

+++++++++++++++

බස්නාහිර පළාතේ මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් ඉලක්ක කර ඊයේ (12) පැය දෙකක (2) කාලයක් තුල විශේෂ මෙහෙයුමක් සිදුකර තිබෙනවා.

එම මෙහෙයුම සහ ගතවූ පැය 24 තුල සිදු කළ දූෂණ මර්දන වැටලීම්වලින් සැකකරුවන් 699 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි බස්නාහිර පළාත් භාර ජෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ.

ඊයේ (12) රාත්‍රී 7 සිට 9 දක්වා පැය දෙකක (2) කාලය තුල මෙහෙයුම සිදුකර ඇත්තේ බස් නැවතුම් පොළ, දුම්රිය ස්ථාන, සුසාන භූමි වැනි පොදු ස්ථානවල මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් ඉලක්ක කර ගනිමිනුයි.

හෙරොයින් සමග සැකකරුවන් 261 ක්, ගංජා සමග සැකකරුවන් 184 ක්, නීති විරෝධී මත්පැන් සමග සැකකරුවන් 166 ක්, ගෝඩා සමග සැකකරුවන් 10 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 32 ක් අත්අඩංගුවට පත්වූ පිරිස අතර වනවා ෴

++++++++++++++

පාසල් ළමයින් ඉලක්ක කර ගනිමින් සිදුකළ තූල් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් කිරුළපන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අඹුසැමි යුවල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට (14) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කොළඹ අවට පාසල් ඉලක්ක කර ගනිමින් ඔවුන් මෙම ජාවාරම සිදුකර තිබූ අතර, අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී ඔවුන් සතුව තිබී ගංජා මිශ්‍ර දුම්කුඩු ග්‍රෑම් 284 කට අධික ප්‍රමාණයක් දුම්කොළ කිලෝ 1 යි ග්‍රෑම් 943 ක්, අලුහුණු ග්‍රෑම් 750 ක් සහ අදාළ ද්‍රව්‍ය ඇඹරීමට යොදා ගන්නා යන්ත්‍රයක් ද පොලිස් භාරයට ගෙන තිබුණා.

මේ අතර, අනුරාධපුර – ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේදී හෙරොයින් ළඟ තබාගෙන සිටි කාන්තාවක පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවා.

ඇය සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 60 ක්, රුපියල් 95,000 කට අධික මුදලක් සහ බැංකු පොත් කිහිපයක් ද පොලීසිය සොයා ගෙන තිබෙනවා.

අදාළ කාන්තාව යකල්ල ධීවර ගම්මානයේ පදිංචිකාරිනියක් බවයි පොලීසිය සඳහන් කළේ.

මීට දින කිහිපයකට පෙර හෙරොයින් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු සමග මෙම කාන්තාව සමීප සම්බන්ධතාවයක් පවත්වා ඇති බවට ද තොරතුරු අනාවරණ වී තිබෙනවා.

අදාළ පුද්ගලයා මේ වනවිට අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින බවයි පොලීසිය කියා සිටියේ.

එසේම, පසුගියදා පුත්තලම ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 75 කට අධික ප්‍රමාණයක් සහ රුපියල් ලක්ෂ දෙකකට (2) අධික ප්‍රමාණයක් සමග මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 5 ක රැඳවුම් නියෝග ලබාගෙන තිබෙනවා.

අදාළ සැකකරු සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ෴

*********************************************

සංචාරක ප්‍රදේශ පිවිසුම් මාර්ග වැඩිදියුණු කරන්න – අගමැතිගෙන් උපදෙස්

(13.09.2020 – 07:20 +0530 – hirunews.lk/sinhala)

දේශීය හා විදේශීය සංචාරකයින්ගේ ආකර්ෂනය වැඩි වශයෙන් දිනා ගත් සංචාරක පුරවර සඳහා පිවිසීමට ඇති මාර්ග වැඩිදියුණු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාළ අමාත්‍යාංශවල නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව සංචාරක කර්මාන්තය වැඩි දියුණු කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

ඒ අනුව, දැනට සංචාරක පුරවර සඳහා පිවිසීමට ඇති මාර්ග හා අබලන් තත්ත්වයේ පවතින සියලුම මාර්ග අලුත්වැඩියා කිරීමේ කටයුතු ද කඩිනමින් සිදුකරන ලෙසයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබාදී ඇත්තේ.

කොවිඩ් 19 වසංගතයේ අවදානම අවම වීමෙන් පසු දේශීය සංචාරකයන් ද දැන් සක්‍රියවී සිටිනවා.

එමෙන්ම විදෙස් සංචාරකයින් අතර ශ්‍ර‍්‍රී ලංකාව සංචාරය කිරීමට සුරක්ෂිත රටක් ලෙස අවධානය යොමුව ඇති පසුබිමක රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වන සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ගුවන්තොටුපල විවෘත කිරීමෙන් පසුව විදේශීය සංචාරකයින් මෙරටට පැමිණීම හා සංචාරක ක්ෂේත්‍රය නගා සිටුවීමේ පෙර සූදානමක් ලෙස මෙම මාර්ග පිළිසකර කිරීමේ හා අලුත්වැඩියා කිරීමේ කටයුතු ආරම්භ කරන ලෙසයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දැනුම්දී ඇත්තේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ a New constitution, I too agree that the main reason that the public voted so overwhelming in favor of the new President GR and SLPP is to enable them to formulate and bring into effect a new Constitution that is beneficial to the country and the public. The current one and enforced amendements over the years have leached the life blood out of the extant constitution; it is toxic and inhibits progress and developments, encourages partisan and ethnic conflicts. We request the new government not to be intimidated by the threats from the dissenters and anti-national elements that are pandering to the foreigners, and so, to go ahead speedily and to bring out a new constitution.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *