නවක වදයට එරෙහිව බුද්ධි අංශ සීරුවෙන්

නවක වදයට එරෙහිව බුද්ධි අංශ සීරුවෙන්

ඉන්දියාවෙන් මෙරටට ගෙන ඒමට සූදානම් කර තිබූ කහ තොගයක් හමුවෙයි

කැවුමාට ආයුධ සැපයූ දෙදෙනෙකු (2) අත්අඩංගුවට

නීතිය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම්ගේ සාක්ෂිය

කැලයට ගිය වැලිගම ආර්ථික මධ්‍යස්ථානය

අක්‍රමවත් කැලිකසළ බැහැර කිරීම් නිසා ගිරිතලේ රක්ෂිතයේ සුන්දරත්වයට දැඩි බලපෑම්

නායයාමේ අධි අවදානමේ සිටි පිරිසකට ඉදිකළ නිවාස ව්‍යාපෘතියකට විරෝධය

මංතීරු නීතිය හෙට (14) සිට

මඩකලපුවේ ජනතාව බිය වැද්දූ ධනූගේ කල්ලියේ තවත් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

අධිවේගී මාර්ගයේ පාපැදියකින් ගමන් කළ පුද්ගලයා සොයා විමර්ශන

ත්‍රිරෝද රථ අනතුරකින් හත් (7) දෙනෙකුට බරපතල තුවාල – පාසල් සිසුන් තිදෙනෙකුත් (3) ඒ අතර

L.T.T.E. මතවාද යළි හිස ඔසවන්නේ නැහැ – සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්)

*********************************************

නවක වදයට එරෙහිව බුද්ධි අංශ සීරුවෙන්

(13.09.2020 – 12:51 +0530 – hirunews.lk/sinhala)

විශ්වවිද්‍යාලවල නවක වදය මර්දනය කිරීම සඳහා බුද්ධි අංශවල සහයෝගය ලබාගැනීමට තීරණය කර තිබෙනවා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ තමන් මේ පිළිබඳව ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලීමක් කර ඇති බවයි.

ඊට පූර්ණ සහය ලබාදීමට ආරක්ෂක ලේකම්වරයා එකඟතාව පළ කර තිබෙනවා.

ඒ අනුව විශ්වවිද්‍යාල තුළ සිදුවන සියලුම ආකාරයේ නවක වද සිද්ධීන් පිළිබඳව බුද්ධි අංශ මගින් අවධානය යොමු කරනු ඇති.

එමඟින් හඳුනාගන්නා සැකකරුවන් නීතිය හමුවට ගෙන ඒමට පියවර ගන්නා බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

නීතියට අනුව විශ්වවිද්‍යාලයකට නවක සිසුවෙකු ඇතුලුවූ විට ඔහු හෝ ඇය අකමැති ඕනෑම දෙයක් සිදුකිරීමට බලකිරීම නවක වදය ලෙස අර්ථ දැක්විය හැකියි.

එමඟින් සිසුන්ට සිදුවන හානිය කායික හා මානසික ලෙස දෙඅංශයකින් වර්ගීකරණය කිරීමටද හැකියාව පවතිනවා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසන්නේ නවක වදය හේතුවෙන් මෙරට විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවගේ අධ්‍යාපන කටයුතුවලට දැඩි බාධා එල්ලවන අතර, එමඟින් ජාතික අධ්‍යාපනයට සිදුවන ආර්ථික සහ සමාජයීය අලාභය අතිවිශාල බවයි.

ආරක්ෂක ලේකම්වරයා විසින් මීට අදාළ මූලික පියවර පිළිබඳ මේ වනවිටත් නිර්දේශ ලබා දී ඇති අතර, ඒ සඳහා සියලු විශ්වවිද්‍යාල උප කුලපතිවරුන්ගේ සහයෝගය ලබාදීමට එකඟවී ඇති බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේ ෴

*********************************************

ඉන්දියාවෙන් මෙරටට ගෙන ඒමට සූදානම් කර තිබූ කහ තොගයක් හමුවෙයි

(13.09.2020 – 08:19 +0530 – hirunews.lk/sinhala)

තමිල්නාඩු ප්‍රාන්තයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට සූදානම් කර තිබූ කහකැබලි කිලෝ දහසක් (1000) සමග සැකකරුවන් 3 දෙනකු මණ්ඩපම් – වේදාලේ ප්‍රදේශයේදී ඉන්දීය වෙරළාරක්ෂක බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොහොර බෑග් 34 ක මෙම කහ කැබලි අසුරා ලොරි රථයකින් වේදාලෙයි වෙරළබඩ ප්‍රදේශයට රැගෙනවිත් තිබූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

කහ කිලෝවක් එහි අලෙවි වන්නේ ඉන්දීය රුපියල් 95 ක් වැනි මිලකටයි.

එබැවින් මෙම කහ තොගය නීතිවිරෝධීව මන්නාරම් බොක්ක හරහා මුහුදු මාර්ගයෙන් ශ්‍රී ලංකාවට රැගෙනවිත් වැඩි මිලට අලෙවි කිරීම සැකකරුවන්ගේ අරමුණ වන්නට ඇති බවට ඉන්දීය පොලීසිය සැක පළ කරනවා.

*********************************************

කැවුමාට ආයුධ සැපයූ දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(13.09.2020 – 09:47 +0530 – hirunews.lk/sinhala)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ‘මාකඳුරේ මධුෂ්’ගේ ප්‍රධාන ගෝලයෙකු වන ‘දොඩම්දූව වඩුගේ කැළුම් ඉන්දික’ නොහොත් ‘කැවුමා’ට ආයුධ සැපයූ පුද්ගලයින් දෙදෙනෙකු (2) තිස්සමහාරාම සහ කොහුවල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සිදුකළ වැටලීමකදියි.

මොවුන් පොළොන්නරුවේ සිට සහල් අසුරණවල සඟවා ගිනි අවි සහ ජීව උණ්ඩ විශාල ප්‍රමාණයක් ලොරි රථවලින් ගෙනවිත් කොළඹ සහ දකුණේ පාතාල කල්ලි සාමාජිකයින්ට ලබාදී ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

ඔවුන් අවස්ථා කිහිපයකදීම ඉතා සූක්ෂම ලෙස මෙලෙස රැගෙන ආ ගිනි අවි හෝමාගම ප්‍රදේශයේ නිවසක සඟවා තබා තිබෙනවා.

එමෙන්ම, අදාළ අවි ආයුධ රැගෙන පැමිණි ලොරි රථ සඳහා ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන්ද මොවුන්ට චෝදනා එල්ල වන බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

කෙසේ වෙතත්, අදාළ ගිනි අවි සඟවා තැබූ බව පැවසෙන හෝමාගම නිවස මේ වනතෙක් සොයාගෙන නොමැති අතර, අදාළ නිවස පිළිබඳව තොරතුරු ලබාගැනීම සඳහා අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන් දෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා.

මෙම සැකකරුවන් ‘මාකඳුරේ මධුෂ්’ගේ දියමන්ති කොල්ලය සම්බන්ධයෙන් මීට පෙර පොලිස් අත්අඩංගුවට පත්වී ඇප මත නිදහස් වී සිටින අය බවටද වාර්තාවනවා.

මේ අතර මිලියනයකට අධික මත්ද්‍රව්‍ය සමඟ කාන්තාවන් තුන්දෙනෙකු (3) කොළඹ අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සතුව තිබී හෙරොයින් ප්‍රමාණය ග්‍රෑම් 90 ක්, මාවා කිලෝ හතරක් (4) සහ කේරළ ගංජා පැකට් 29 ක් ද එහිදී පොලිස් බාරයට ගෙන තිබෙනවා.

වැඩිදුර පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ මොවුන් කළක සිට දිවයිනේ ප්‍රදේශ රැසකට මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරතව සිට ඇති බවයි.

එමෙන්ම, බස්නාහිර පළාතේ පොදු ස්ථාන ඉලක්ක කරගනිමින් සිදුකළ මෙහෙයුමකදී මත්කුඩු සහ මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයන් 699 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පිරිස අතර හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයන් 261 ක්, ගංජා ළඟ තබාගත් සැකකරුවන් 184 ක්, නීතිවිරෝධී මත්පැන් ප්‍රවාහනය කළ සැකකරුවන් 166 ක් සිටින බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

මේ අතර, මීගමුව – කොච්චිකඩේ – කම්මල්තොට ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවැත්වූ ෆේස්බුක් සාදයක් වටලා වයස අවුරුදු 18 ත් 20 ත් අතර තරුණයන් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.

ඊයේ (12) සිදුකළ මෙම වැටලීමේදී මොවුන් සතුව තිබී ගංජා සහ මත්පැන් තොගයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් වෙන්නප්පුව, දංකොටුව සහ මාරවිල ප්‍රදේශවල පදිංචිකරුවන්.

++++++++++++++++

බස්නාහිර පළාතේ ඉදිකිරීම් වැඩබිම්වල සේවයේ නිරත ශ්‍රමිකයන්ට මත්ද්‍රව්‍ය ලබාදෙන පුද්ගලයන් සොයා කළ වැටලීමකදී සැකකරුවන් 48 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලැබුනු තොරතුරකට අනුව ඊයේ (12) දහවල් 11 සිට සවස 2 දක්වායි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

එහිදී පුද්ගලයන් 6568 ක් පරීක්ෂාවට ලක්කර ඇති අතර එහිදී හෙරොයින්, ගංජා සහ නීති විරෝධී මත්පැන් ළග තබාගත් පුද්ගලයන් 48 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ශ්‍රමිකයන්ට මත්ද්‍රව්‍ය ලබාදෙන කොන්ත්‍රාත්කරුවන් සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ ෴

++++++++++++++

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ දේපළ අත්පත් කරගැනීම වෙනුවෙන් නව නීති සකස් කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුවී තිබෙනවා.

පසුගිය මාස කිහිපය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්ට අයත් රුපියල් කෝටි ගණනක් වටිනා ඉඩම්, වාහන ඇතුලු තවත් දේපළ රැසක් පොලිස් භාරයට ගනු ලැබුවා.

එමෙන්ම ඔවුන්ගේ බැංකු ගිණුම්වල තිබී මේ වනවිට අනාවරණ කරගෙන ඇති මුදල්වල වටිනාකම රුපියල් මිලියන 2,000 කට අධිකයි.

මෙම මුදල් රාජසන්තක කිරීමේදී දැනට පවතින නීතිරීතිවල අඩුපාඩු දක්නට ලැබෙන බව නිරීක්ෂණය වී තිබෙනවා.

එය මත්ද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහිව පියවර ගැනීමේදීද බාධාවන අවස්ථා පවතින බවයි උසස් පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී සඳහන් කළේ.

මේ වනවිටත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතිවිරෝධීව රැස් කළ දේපළ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ විශේෂ ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා.

සංශෝධනය විය යුතු නව නීතිරීති සම්බන්ධයෙන් සහ සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩලීමේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ නීති අංශ අතර සාකච්ඡාවක් ද හෙට දිනයේ පැවැත්වීමට නියමිතයි ෴

++++++++++++++

****************

ඊයේ (12) පැය දෙකක (2) කාලයක් තුල බස්නාහිර පළාතේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකින් රියදුරු බලපත්‍ර නොමැතිව සහ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කළ පිරිසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (12) පෙරවරු 10 සිට 12 දක්වා කාලය තුලදීයි මෝටර් රථ පරීක්ෂකවරුන් සමග එක්ව පොලිසිය මෙම වැටලීම සිදුකර ඇත්තේ.

එහිදී ටිපර් රථ 827 ක්, වෙනත් බර වාහන 630 ක් ඇතුලුව වාහන 4337 ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

රියදුරු බලපත්‍ර නොමැතිව ධාවනය කළ 29 ක්, විවිධ දෝෂ සහිත වාහන පැදවූ 8 දෙනෙකු සහ මත්ද්‍රව්‍ය භාවිත කර රිය ධාවනය කළ 7 දෙනෙකු මෙහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මාරක රිය අනතුරු අවම කර ගැනීම වෙනුවෙන් මෙවැනි මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන බවයි බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය සඳහන් කළේ ෴

*******************

*********************************************

නීතිය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම්ගේ සාක්ෂිය

(13.09.2020 – 13:57 +0530 – hirunews.lk/sinhala)

ආරක්ෂක මණ්ඩල රැස්වීම්වලදී මුස්ලිම් අන්තවාදය සම්බන්ධයෙන් කරුණු අනාවරණය වුවද මුස්ලිම් ජාතිකයින් අත්අඩංගුවට ගතහොත් අන්තර්ජාතික වශයෙන් බලපෑම් එල්ල වේ යැයි සිතා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඒ ගැන සොයා බැලිය යුතු බවට තීරණය කළ බව ජනාධිපති කොමිසමේදී අනාවරණය වුණා.

ඒ පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනපති කොමිසම හමුවේ නීතිය හා සාමය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජගත් පී. විජේවීර මහතා සාක්ෂි දුන් අවස්ථාවේදී.

එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ අන්තවාදය සම්බන්ධයෙන් සෘජු තීරණ ගැනීම සදහා පැවති රජයට ශක්තිමත් පිටකොන්දක් නොතිබූ අතර එම තීරණ ගැනීම් පිටුපස මුස්ලිම් අමාත්‍යවරුන් සිටින බවට හැඟී ගිය බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සක්ෂි ලබාදිමට එවක නීතිය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වර්තමානයේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලේස කටයුතු කරන ජගත් පී.විජේවීර මහතා පැමිණියේ ඊයේ (12) පස්වරුවේයි.

මේහිදි කොමිසමේ ප්‍රධාන විනිසුරු සාක්ෂිකරැගෙන් විමසා සිටියේ නීතිය හා සාමය අමාත්‍යාංශයට රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් පැවරි ඇති වගකිම කුමක්ද යන්නයි.

රටේ ගැටලුකාරී තත්වයන් වලදි පොලිසිය සහ පොලිස්පති සමග සාකච්ඡා කර අම්‍යවරයා දැනුවත් කරමින් කටයුතු කල බව සාක්ෂිකරු එහිදි සදහන් කළා.

*********************************************

කැලයට ගිය වැලිගම ආර්ථික මධ්‍යස්ථානය

(13.09.2020 – 14:10 +0530 – hirunews.lk/sinhala)

මාතර වැලිගම ප්‍රදේශයේ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයක් ඉදි කිරීම සඳහා එවක පැවති රජය වැඩ අරඹන්නේ 2013 වසරේදී.

වැලිගම දෙණිපිටිය ප්‍රදේශයේ පිහිටා තිබූ ලන්දේසී යුගයේ ඉදි කල වසර 300ක් පැරණි ගොඩනැගිල්ලක්ද කඩා ඉවත් කරන්නේ මෙම ආර්ථික මධ්‍යස්ථානය ඉදි කිරීමට බව පවසමින්.

එවකට සමූපාකාර හා අභ්‍යන්තර වෙළද නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම ආර්ථික මධ්‍යස්ථානය ඉදි කිරීම ආරම්භ කළද 2015 වසරේදී යහපාලන රජය පත් වීමත් සමග මෙහි ඉදි කිරීම් නතර වී තිබෙනවා.

නව ආර්ථික මධ්‍යස්ථානයක් ඉදි කිරීමට පැරණි ගොඩනැගිල්ලද කඩා දැමීම හේතුවෙන් මෙම ස්ථානයේ වෙළදාම් සිදු කරන වෙළෙදුන් පත්ව ඇත්තේ දැඩි අපහසුතාවකටයි.

මහජන මුදල් මිලියන ගණනින් අපතේ යවමින් මෙලෙස විනාශ මුඛයට හැර දමා ඇති ගොඩනැගිල්ල සම්පූර්ණ කර ජනතාවට සහන සළසන තෙක් හිරු රතු මිනිත්තුව අවධානයෙන්.

*********************************************

අක්‍රමවත් කැලිකසළ බැහැර කිරීම් නිසා ගිරිතලේ රක්ෂිතයේ සුන්දරත්වයට දැඩි බලපෑම්

(13.09.2020 – 14:21 +0530 – hirunews.lk/sinhala)

දිනෙන් දින සිදුකරන අක්‍රමවත් කැලිකසළ බැහැර කිරීම් නිසා මින්නේරිය ගිරිතලේ රක්ෂිතයේ දියබෙදුම ප්‍රදේශයේ සුන්දරත්වයට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.

ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මිය ගිය සතුන්ගේ සිරුරු ද විවිධ පාර්ශ්වයන් විසින් රක්ෂිතයට ගෙනැවිත් දමන බවටයි.

ගිරිතලේ සිට බකමූණ දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය මේ රක්ෂිතය හරහා වැටී තිබෙනවා.

*********************************************

නායයාමේ අධි අවදානමේ සිටි පිරිසකට ඉදිකළ නිවාස ව්‍යාපෘතියකට විරෝධය

(13.09.2020 – 14:33 +0530 – hirunews.lk/sinhala)

නායයාමේ අධි අවදානම් ප්‍රදේශයක ජීවත්වන පිරිසකට නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියකට විරෝධය පළ කරමින් බණ්ඩාරවෙල – වටබැද්ද ගම්මානයේ ජනතාව උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

මේ අතර විපතට පත් ජනතාව විරෝධතාවක නිරත වුණේ හැකි ඉක්මනින් සිය නිවාස ගැටළුවට විසඳුමක් ලබා දෙන ලෙස ඉල්ලමින්.

හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බණ්ඩාරවෙල මලිත්ත වටබැද්ද ගම්මානයේ ජනතාව ඉඩම් ගැටළුවක් මුල්කර ගනිමික් ආරම්භ කල මාරාන්තික උපවාසය දෙවන (2) දිනටත් පැවැත්වෙනවා.

නාය යාමේ අධි අවධානම් ප්‍රදේශයක පදිංචිව සිටින පවුල් 10 කට නිවාස ඉදිකිරීම සදහා දේශපාලන බලධාරින්ගේ උවමනාව මත ප්‍රදේශයේ පාසල් ක්‍රීඩා පිටිය වෙන් කර ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

මේ අතර මලිත්ත කටුගහ ප්‍රදේශයේ නාය යාමේ අධි අවදානම් ප්‍රදේශයේ පදිංචිව සිටි පවුල් තමන්ට සුදුසු ස්ථානයකින් නිවාස ලබා දෙන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

*********************************************

මංතීරු නීතිය හෙට (14) සිට

(13.09.2020 – 15:11 +0530 – hirunews.lk/sinhala)

කොළඹ සහ තදාසන්න ප්‍රදේශයන්හි රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණින් මංතීරු නීතිය හෙට (14) සිට ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා.

මාර්ග 4 ක් ඔස්සේ මංතීරු නීතිය ක්‍රියාත්මක බවයි රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිලිබඳ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා ප්‍රකාශ කළේ.

ඒ අනුව, ගාලුපාර, හයිලෙවල් මාර්ගය, බේස්ලයින් පාර සහ ශ්‍රී ජයවර්ධනපුර මාර්ගය කේන්ද්‍ර කර ගනිමින් මංතීරු නීතිය ක්‍රියාත්මක වනු ඇති.

මෙහි පෙරහුරු වැඩසටහන පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේදී අද (13) පැවැත්වුණා.

බේස්ලයින් මාර්ගයේ නව කැළණි පාලමේ සිට ඔරුගොඩවත්ත, දෙමටගොඩ, බොරැල්ල, නාරාහේන්පිට හරහා හයිලෙවල්, බේස්ලයින් හන්දිය දක්වා

ශ්‍රී ජයවර්ධනපුර මාවතේ පොල්දූව මන්සන්ධියේ සිට රාජගිරිය ගුවන් පාලම, ආයුර්වේද වටරවුම, ඩී.එස්.සේනානායක මන්සන්ධිය, හෝර්ටන් වටරවුම, පුස්තකාල හන්දිය සහ ලිබර්ටි වටරවුම දක්වා

ගාලුපාරේ විලියම් මංසන්ධියේ සිට ඩික්මන් පාර මන්සන්ධිය, බම්බලපිටිය, කොල්ලුපිටිය, ගාලුමුවදොර වටරවුම, එන්.එස්.ඒ වටරවුම දක්වා

හයිලෙවල් මාර්ගයේ අනුලා විද්‍යාලය ආසන්නයේ සිට බේස්ලයින් මන්සන්ධිය, පාර්ක් පාර මන්සන්ධිය, තිඹිරිගස්යාය මන්සන්ධිය, තුම්මුල්ල වටරවුම, ග්ලාස් හවුස් සහ පිත්තල හන්දිය දක්වා

මංතීරු නීතිය ක්‍රියාත්මක වනවා.

*********************************************

මඩකලපුවේ ජනතාව බිය වැද්දූ ධනූගේ කල්ලියේ තවත් දෙදෙනෙකු (2) අත්අඩංගුවට

(13.09.2020 – 15:36 +0530 – hirunews.lk/sinhala)

මඩකලපුව ප්‍රදේශයේ ජනතාව බිය වද්දමින් විවිධ ප්‍රචන්ඩ ක්‍රියා සිදුකළ ධනුරාජ් හෙවත් ධනූගේ කල්ලියේ තවත් දෙදෙනෙකු (2) පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීට පෙර මෙම කල්ලියේ නායක ධනූ අත්බෝම්බයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවන්නේ.

පොලීසිය සඳහන් කලේ මොහුගෙන් අනාවරණය කරගත් තොරතුරුවලට අනුව තවත් දෙදෙනෙකු (2) ඊයේ (12) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මඩකලපුව – මාන්කේනි හා ඌරනී යන ප්‍රදේශවල ජනතාව බියට පත් කරමින් විවිධ ප්‍රචන්ඩ ක්‍රියාවල මොවුන් නිරත වූ බවට පොලීසියට පැමිණිලි ලැබී තිබුණා ෴

*********************************************

අධිවේගී මාර්ගයේ පාපැදියකින් ගමන් කළ පුද්ගලයා සොයා විමර්ශන

(13.09.2020 – 15:38 +0530 – hirunews.lk/sinhala)

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත ප්‍රදේශයේදී කතරගම සිට කොළඹ දෙසට ගමන් කරන මංතීරුවෙහි පාපැදියකින් ගමන් කළ පුද්ගලයෙකු සොයා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මොහු පාපැදියකින් ගමන් කරන ආකාරය හිරු ටී.වී. දහවල් ප්‍රවෘත්ති ප්‍රකාශය ඔස්සේ ද විකාශය කරනු ලැබුවා.

*********************************************

ත්‍රිරෝද රථ අනතුරකින් හත් (7) දෙනෙකුට බරපතල තුවාල – පාසල් සිසුන් තිදෙනෙකුත් (3) ඒ අතර

(13.09.2020 – 18:23 +0530 – hirunews.lk/sinhala)

නුවරඑළිය – හැටන් මාර්ගයේ ගමන්ගත් ත්‍රිරෝද රථයක් පතන මංසන්ධියේදී බස් මගී ආවරණයක ගැටී අද (13) සවස සිදු වු අනතුරකින් පුද්ගලයන් හත් (7) දෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු (3) හා බස් නැවතුම්පොළ තුළ රැදී සිටි පාසල් සිසුන් තිදෙනෙකු (3) හා කාන්තාවකුයි (1) එලෙස අනතුරට ලක්ව ඇත්තේ.

අනතුරින් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ආගරපතන ප්‍රදේශයේ සිට කොටගල නගරයට අධික වේගයෙන් ධාවනය වූ මෙම ත්‍රිරෝද රථය, එහි රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය විසින් සිදුකරන ලද මුලික පරීක්ෂණවලදී අනාවරණය වූ බව සඳහන්.

අනතුරින් ත්‍රිරෝද රථයට හා බස් මගී ආවරණයට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7++%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+-+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%92+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29

*********************************************

L.T.T.E. මතවාද යළි හිස ඔසවන්නේ නැහැ – සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්)

(13.09.2020 – 20:33 +0530 – hirunews.lk/sinhala)

අද ‘හාඩ් ටෝක්’ විශේෂාංගය තුළින් සෘජුවම ප්‍රශ්න කෙරෙන්නේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේශතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ගෙන්.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *