අන්තවාදීන් ඇල්ලීමට ඉඩ නොදුන් මුස්ලිම් දේශපාලඥයන් පිරිසක් ගැන පාස්කු ජනපති කොමිසමේදී හෙලිවේ

අන්තවාදීන් ඇල්ලීමට ඉඩ නොදුන් මුස්ලිම් දේශපාලඥයන් පිරිසක් ගැන පාස්කු ජනපති කොමිසමේදී හෙලිවේ

මිලින්ද මොරගොඩගේ පත් කිරීමට එරෙහිව පාර්ලිමේන්තු උසස් බලතල කාරක සභාවට ජාතික සංවිධාන එකමුතුවෙන් පැමිණිල්ලක්

විස්ස ගැන කියන කතා

මං තීරු නීතිය අද (14) සිට

වෙලේ සුදාගේ ගෝලයකු වන ‘අන්නාසිවත්තේ අමිල’ හෙරොයින් සමඟ අත්අඩංගුවට

රුසියානු සරසවි තුනක් (3) ඉවත් කිරීමට ගත් තීරණය වෛද්‍ය සභාව යළි සළකා බලයි

රජයේ ඉදිරි ගමනට ජනපති ‘වියත් මගේ’ සහය ඉල්ලයි

‘ලඩියා’ට අයත් බස් රථ තුනක් (3) සමඟ සැකකරුවන් තුන්දෙනෙකු (3) අත්අඩංගුවට

මත් ජාවාරමින් උපාය ගත් සියලු දේපළ රාජසන්තක කිරීමට පියවර

භූගත දුරකථන රැහැන් කපා සොරකම් කළ හයක් (6) පොලිස් අත්අඩංගුවට

නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙකු අද (14) පත්වීම් ලබයි

රන්දෙණිගල වන සත්ව අභයභූමියේ පරිසර හානියක්

පොහොර සහනාධාරය ඉහළ දැමීමට අවධානය

*********************************************

අන්තවාදීන් ඇල්ලීමට ඉඩ නොදුන් මුස්ලිම් දේශපාලඥයන් පිරිසක් ගැන පාස්කු ජනපති කොමිසමේදී හෙලිවේ

(13.09.2020 – 19:23 +0530 – hirunews.lk/sinhala)

එල්.ටී.ටී.ඊ.ය සමග ගැටීමට බව පෙන්වමින් මුස්ලිම් අන්තවාදීන් 2008 – 2009 කාලයේ පටන් ආයුධ සන්නද්ධ වෙමින් අන්තවාදය ප්‍රචලිත කළ බව එම කාලයේ නැගෙනහිර පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එඩිසන් ගුණතිලක මහතා ප්‍රකාශ කළා.

ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ඊයේ (12) පස්වරුවේ සාක්ෂි ලබාදෙමින්.

2008 – 2009 කාලයේ බිහිව තිබූ ආයුධ සන්නද්ධ අන්තවාදී කණ්ඩායම් 18 න් එකක (1) සහරාන් යන අයෙක් සිටි බව ද එහිදී සාක්ෂිකරු කොමිසමට කියා සිටියා.

හිස්බුල්ලා නැගෙනහිර ප්‍රදේශ වල රටඉඳි ගස් වැවීම ආරම්භ කළ බවත් එම කාලයේ මුස්ලිම් නිකාය භේද ගැටුම් ආරම්භ වූ බවත් මොහු කොමිසම හමුවේ සඳහන් කළා.

රිෂාඩ් බදියුදීන්, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, ඒ.එල්.එම්. අතාවුල්ලා ඇතුළු අමාත්‍ය ධූර දැරූ පිරිසකගේ ආරක්ෂාව ලැබූ මෙම අන්තවාදීන්ට අල්කයිඩා සහ ජිහාඞ් සංවිධානය සමග සම්බන්ධ වී සිටි බවයි සාක්ෂිකරු කියා සිටියේ.

ඔවුන් අන්තවාදින් අත්අඩංගුවට ගැනිමේදී ඊට එරෙහි වූ බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියා.

*********************************************

මිලින්ද මොරගොඩගේ පත් කිරීමට එරෙහිව පාර්ලිමේන්තු උසස් බලතල කාරක සභාවට ජාතික සංවිධාන එකමුතුවෙන් පැමිණිල්ලක්

(13.09.2020 – 11:36 +0530 – lankaleadnews.com)

මිලින්ද මොරගොඩ මහතා ඇමෙරිකානු රජයේ ඔත්තුකරුවෙකු ලෙස ක්‍රියාකොට ඇති බව, ‘Wickileaks’ මඟින් එළිදරව් වූ ඒ මහතාගේ නම සඳහන් කේබල් පණිවිඩ 150 ක් මගින්, තහවුරු වී ඇති බැවින් ඔහු තානාපතිවරයෙකු ලෙස පත් කිරීම් නොකළ යුතු බව ජාතික සංවිධාන එකමුතුව විසින් පාර්ලිමේන්තුවේ උසස් බලතල පිළිබඳ කාරක සභාවට පැමිණිළි කොට ඇත.

ජාතික සංවිධාන එකමුතුව විසින් ඊට අත්සන් තබා ඇත්තේ විධායක සභික වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාය. ඒ මහතා දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම්වරයා ලෙස මිලින්ද මොරගොඩ ප්‍රශ්නය පිළිබඳ ජනමාධ්‍ය වෙත යවා ඇති ලිපියක පිටපතක්ද එම පැමිණිල්ල සමග අමුණා ඇත.

ලේකම්තුමා,
උසස් බල තල පිළිබඳ කාරක සභාව,
ශ්‍රී ලංකා පාර් ලිමේන්තුව,
ජයවර් ධනපුර,
කෝට්ටේ,

ගරු ලේකම් තුමනි,

ඉන්දියානු තානාපති ලෙස පත්කොට ඇති මිලින්ද මොරගොඩ මහතාගේ පත්කිරීමට එරෙහිව විරෝධය පළ කිරීම

මිලින්ද මොරගොඩ මහතා ඇමෙරිකානු රජයේ ඔත්තුකරුවෙකු ලෙස ක්‍රියා කොට ඇති බව 2002 සිට ඇමෙරිකානු තානාපතිවරුන් 4 දෙනෙකු විසින් යවන ලද කේබල් පණිවිඩ 150 කට අධික ප්‍රමාණය විශ්ලේෂණය කිරීමේදී පෙනී යන බව බොහෝ පාර්ශව විසින් හෙළිදරව්කොට ඇත. ‘Wickileaks’ මඟින් එළිදරව් වූ එම පණිවිඩවල ඔහු ඇමෙරිකානු ඔත්තුකරුවෙකු බව සෘජුව සඳහන් නොවේ. නමුත් එම කේබල් බොහෝමයක යටි පෙළ කියවීමේදී ඒ බව ඉතා හොඳින් පැහැදිලිවේ.

ඊට අමතරව ඔහු රාජ්‍ය දේපළ අවතක්සේරු කොට තමාට හිතවාදී පුද්ගලික ආයතන වලට විකිණීම සඳහා තම අමාත්‍ය බල තල අයුතු ලෙස යොදාගෙන ඇති බව නඩු තීන්දු දෙකකින් ප්‍රකාශයට පත්විය. ඊට අනුව ඔහුට විරුද්ධව නඩු දැමිය යුතු බවට අධිකරණය විසින් නීතිපතිවරයාට දන්වා ඇති බැවින් ඕනෑම අවස්ථාවක ඔහු චූදිතයෙකු බවට පත් කොට අධිචෝදනා බාර දීමේ හැකියාව ඇත. එවැනි පුද්ගලයෙකු ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට අදාල ප්‍රබල බලපෑමක් කළ හැකි රටක මහකොමසාරිස්වරයා ලෙස පත්කිරීම මගින් සමස්ථ තානාපති සේවය පිළිබඳ මහජන විශ්වාසය බිඳ වැටෙනු ඇති බැවින් මිලින්ද මොරගොඩ මහතා අදාල පත් කිරීම සඳහා නිර්දේශ නොකරන ලෙස ඉල්ලා සිටිමි. මෙම ගැටළුව පිළිබඳව ජනමාධ්‍ය වලට මා විසින් නිකුත් කළ ලිපියක පිටපතක්ද මේ සමග අමුණා එවමි.

ස්තූතියි,

මේ වගට,

වෛද්‍ය වසන්ත බණ්ඩාර

විධායක කමිටු සාමාජික,
ජාතික සංවිධාන එකමුතුව.

2020.09.13

පිටපත් – සියලුම ජනමාධ්‍ය ආයතන වෙත

සම්පූර්ණ ලිපිය පහතින් :

මිලින්ද මොරගොඩ සාධකය සහ විසෙන් විස නැසීමේ න්‍යාය

(13.09.2020 – 11:33 +0530 – lankaleadnews.com)

රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු විසින් ඇමරිකානු ඔත්තු සේවා සංවිධානයක් බවට චෝදනාවට ලක් කළ ‘පාත් ෆයින්ඩර්’ නම් ප්‍රබල රාජ්‍ය නොවන සංවිධානයයේ ප්‍රමුඛ පෙළේ න්‍යායාචාර්යවරයෙකු අප රටේ විදේශ ලේකම් ලෙස පත්වීම පිළිබඳව දැනුවත් මහජනයා විමතියට පත් විය. එම ලේකම්වරයා අතීතයේ සිටි වෙනත් ලේකම් වරුන්ට වඩා වෙනස් භූමිකාවක් රඟ දක්වන බව ඔහු විසින් වරින් වර මාධ්‍යයට කරනු ලැබූ ප්‍රකාශ වලින් පැහැදිළි විය. අතීතයේ සිටි විදේශ ලේකම්වරු ඒ ආකාරයට රටේ විදේශ ප්‍රතිපත්තියට අදාළ උපායමාර්ගික ප්‍රවේශයන් පිළිබඳව ජනමාධ්‍ය වලට ප්‍රකාශ ලබා දුන්නේ නැත. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ නව විදේශ ප්‍රතිපත්තිය ‘ඉන්දියාව පළමුව’ යන ස්ථාවරය මත පදනම්වන බව ඔහු විසින් ජනමාධ්‍යවලට අදහස් දැක්වීය. එය ජනාධිපතිතුමා විසින් සෞභාග්‍යයේ දැක්ම ලේඛනය මඟින් ප්‍රකාශයට පත් කළ මධ්‍යස්ථ හෙවත් ‘නිව්ට්‍රල්’ විදේශ ප්‍රතිපත්තියට පටහැනි බව පැහැදිළිව පෙනේ. කෙසේ වෙතත් නොබැදි ප්‍රතිපත්තිය වෙනුවට මධ්‍යස්ථ වචනය හදුන්වා දෙන්නේ ‘පාත් ෆයින්ඩර්’ සංවිධානය විසින් බවටද විවාදයක් නැත. ඇමෙරිකාව විසින් නොබැදි ජාතීන්ගේ සංවිධානය දුර්වල කිරීම සඳහා ‘පාත් ෆයින්ඩර්’ සංවිධානය යොදා ගනිමින් මෙහෙයුමක් දියත් කළ බවට ‘විකීලික්ස්’ විසින් හෙළිදරව් කර ඇත.

ඊට අමතරව ජනාධිපතිවරයා හෝ අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කළ යුතු රජයේ ස්ථාවරයන් පිළිබඳව මෙම විදේශ ලේකම්වරයා විසින් ජනමාධ්‍ය වලට ප්‍රකාශ ලබා දී ඇත. උදාහරණ ලෙස කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරීම සඳහා ඉන්දියාව සහ ජපානය සමග අත්සන් කළ සහයෝගිතා ගිවිසුමට වර්තමාන රජය ගරු කළ යුතු බව ඔහු විසින් අවධාරණය කරන්නට යෙදුනි. එසේම ඇමෙරිකාව සමග අත්සන් කිරීමට බල කෙරෙන එම්.සී.සී. ගිවිසුම සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවටද ඔහු විසින් සඳහන් කරන්නට යෙදුනි. විදේශ ලේකම්වරයා විසින් එවැනි ප්‍රකාශ සිදු කිරීමෙන් පසුව ඉන්දියාවේ විවිධ පාර්ශව වලින් ශ්‍රී ලංකාවේ නව ප්‍රතිපත්තිය මත ඉන්දියාවට වාසි සහගත ක්‍රියාමාර්ග ගත යුතු බවට ඉන්දියානු රජයට බලපෑම් එල්ල විය. එය එක්තරා ආකාරයකට රාජ්‍ය තාන්ත්‍රික දෙඹරයකට ගල් ගැසීමක් ලෙස විග්‍රහ කිරීම වරදක් නොවේ. සමහර විට ඔහු ඒ ආකාරයට මානසික බාධකයකින් තොරව ශ්‍රී ලංකාවේ විදේශ සහ ආරක්ෂක උපායමාර්ගික ස්ථාවරයන් පිළිබඳව අදහස් දක්වන්නේ ඊට අදාළ ප්‍රතිපත්තිමය ලේඛනයක් ‘පාත් ෆයින්ඩර්’ සංවිධානය විසින් නව රජයට බාරදී ඇති නිසා විය හැක. එම ලේඛනය පසුගිය යහපාලන ආණ්ඩුවට භාරදීම සඳහා සකස් කළද ජනාධිපතිවරණයෙන් එම ආණ්ඩුව පරාජයට පත් වීම නිසා එය වර්තමාන ජනාධිපතිතුමාට බාරදුන් බවටද වාර්තා පළවිය. කෙසේ වෙතත් ජනාධිපතිතුමා විසින් එම වාර්තාව තම දෑතින් බාර ගත්තද එය නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ලෙස පිළිගන්නා බවට කිසිඳු ප්‍රකාශයක් සිදු කළේ නැත. පසුගිය දිනවල කොවිඩ් වසංගතයෙන් පසුව ආර්ථිකය නැවත පන ගැන්වීම සඳහා උපායමාර්ගික යෝජනාවලියක්ද ‘පාත් ෆයින්ඩර්’ සංවිධානය විසින් ජනාධිපතිතුමාට බාර දෙන ලදී. ඒ සියළු කරුණු නිසා ‘පාත් ෆයින්ඩර්’ සංවිධානය විසින් රජය මෙහෙයවන බවට එම සංවිධානයේ න්‍යායාචාර්යවරු කල්පනා කිරීම පුදුමයට හේතුවක් නොවේ.

විශේෂයෙන්ම අද්මිරල් ජයනාත් කොළඹගේ මහතාට විරුද්ධව ආණ්ඩුවේ පාර්ශව වලින් චෝදනා එල්ල වී තිබියදී ඔහු විදේශ ලේකම් තනතුරට පත් කිරීම නිසා තමාට විශාල දේශපාලන බලයක් තිබෙන බවට ඔහු විසින් කල්පනා කිරීම සාධාරණ විය හැක. තත්වයන් එසේ තිබියදී ‘පාත් ෆයින්ඩර්’ සංවිධානයේ නායක හිටපු අමාත්‍ය මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පත් කිරීම නිසා විමතියට පත් වී සිටි බොහෝ පාර්ශව අන්දමන්ද වී ඇත. විශේෂයෙන්ම රට බෙදීමට කුමන්ත්‍රණය කළ එරික් සොල්හයිම්ලා සමඟ කිට්ටුවෙන් ගනුදෙනු කළ සහ නෝර්වේ රාජ්‍යයෙන් අරමුදල් ලබා ගත් බවට පමණක් නොව රාජ්‍ය බලය අයුතු ලෙස භාවිතා කිරීම පිළිබඳව අධිකරණයේදී චෝදනාවට පාත්‍ර වූ පුද්ගලයෙකු ඉන්දියාව වැනි ශ්‍රී ලංකාවට උපායමාර්ගිකව ඉතා වැදගත් රටක තානාපති ලෙස පත් කිරීම යනු බොහෝ පාර්ශව වලට අදහාගත නොහැකි තත්වයකි. ඊට අමතරව එම තානාපතිවරයා අමාත්‍ය මණ්ඩල සාමාජිකයෙකුගේ නිල බලය සහිතව පත්කළ බවට පුවත්පත් වල වාර්තා පලවීම නිසා සහ ඒවා රජයේ වගකිවයුත්තන් විසින් ප්‍රතික්ෂේප නොකළ නිසා තත්වය තවත් බරපතල විය. එම වාර්තා සත්‍යය නම් මිලින්ද මොරගොඩ නම් වූ තානාපතිවරයාට සහ ඔහුගේ පාර්ශවකරුවෙකු වන විදේශ ලේකම්වරයාට එකට එක්ව විදේශ අමාත්‍යවරයා මඟහැර ජනාධිපතිතුමා සමඟ නිළවශයෙන් ගනුදෙනු කිරීමේ හැකියාව ලැබේ.

ඒ ආකාරයට සමාජයේ ඇති වූ ආන්දෝලනය නිසා සහ එම තත්වය සාධාරණීකරණය කිරීමට උත්තර සොයාගත නොහැකි නිසා මෙම ලියුම්කරු වැනි ගෝඨාභය රජපක්ෂ ජනාධිපතිතුමා වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටි පිරිස් බලවත් අපහසුතාවයට පත් විය. එවැනි එක් වෛද්‍යවරයෙක් නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලයට අභිනවයෙන් පත්වූ ජාතිකවාදී අමාත්‍යවරයෙකුගෙන් පැහැදිළි කිරීමක් ඉල්ලා ඇත. එහිදී එම අමාත්‍යවරයා ලබාදී ඇත්තේ මතුපිටින් ඉතා සරල බව පෙනෙන එහෙත් ප්‍රායෝගික යථාර්තයක් බවට පත්කිරීමේදී ඉතා බරපතල ගැටළු මතුවිය හැකි පැහැදිළි කිරීමකි. එනම් මිලින්ද මොරගොඩ මහතා ඉන්දියාවේ තානාපති ලෙස පත්කරන්නේ ‘ඌරාගේ මාළු ඌරාගේ පිටේ තබා කැපීම’ නැමැති න්‍යායට අනුව බවය. වෙනත් වචන වලින් එම දේශපාලන ස්ථාවරය සමාන කළ හැක්කේ විසෙන් – විස නැසීම නම් වූ න්‍යායටය. එනම් එක් විසක් නැසීමට තවත් විසක් භාවිතා කිරීමය. ඒ අනුව ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල කරනු ලබන විස ප්‍රහාර මිලින්ද මොරගොඩ නම් වූ ඉන්දියානු හිතවාදී පුද්ගලයාගේ රාජ්‍ය තාන්ත්‍රික විස මඟින් සමනය කළ හැකි යැයි ආණ්ඩුව කල්පනා කරන බව පෙනේ.

ආණ්ඩුවේ න්‍යාය ප්‍රායෝගික යථාර්තයක් බවට පත්වනු ඇත් ද යන්න විමසීමට සිදු වන්නේ භාවිතාව තුළිනි. ඒ අනුව ආණ්ඩුවේ උපායමාර්ගික තේරීම වල නිරවද්‍යතාවය අනාගතයේදී ප්‍රත්‍යක්ෂ වනු ඇත. එහෙත් ආණ්ඩුව අපේක්ෂා කරන පරිදි මේ විසෙන් ඒ විස සමනය කිරීමට නොහැකි වුවහොත් ලෙඩා මෙන්ම වෙදාද අමාරුවේ වැටෙන බවට සැකයක් නැත. එනම් රට සහ ආණ්ඩුව යන දෙකම අමාරුවේ වැටීමට ඉඩ ඇත. කෙසේ වෙතත් එසේ විසෙන් විස නැසීමේ න්‍යාය තුල මිලින්ද මොරගොඩ මහතාගේ භූමිකාව කුමක් වුවත් එම තේරීම එම න්‍යායට අනුව නිවැරදි බවට ඇමරිකාවේ හිටපු තානාපති ඇෂ්ලි විල්ස් මහතා සාක්ෂි දරයි. ඔහු විසින් 2003/05/29 දින ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට යවන ලද කේබල් පණිවිඩයක් ‘විකිලික්ස්’ මඟින් එළිදරව් කිරීම නිසා එම සාක්ෂිය කරළියට පැමිණුනි. මිලින්ද මොරගොඩ මහතාගේ භූමිකාව පිළිබඳව එනම් ඔහු ප්‍රතිවිෂක් ලෙස භාවිතා කළ හැකි බව හෙවත් ඔහුගේ භූමිකාව විෂ සහිත බව එම කේබල් පණිවිඩය මඟින් එළිදරව් විය. ඉන් පසුව එළිදරව් වූ කේබල් පණිවිඩ මාලාවක් මගින්ද මිලින්ද මොරගොඩ මහතා ඔත්තු කරුවෙකු ලෙස විවිධ ජාත්‍යන්තර මෙහෙයුම් සඳහා යොදාගෙන තිබෙන බව පැහැදිලිවේ.

ඉහත කේබල් පණිවිඩය මඟින් මිලින්ද මොරගොඩ මහතා මෙසේ වර්ණනාවට ලක් කොට ඇත. “මිලින්ද මොරගොඩ සෘජුව අවධානය යොමු කරන්නේ ඇමරිකාව සහ ඉන්දියාව සමඟ සබඳතා වර්ධනය කිරීමටය. ඉතා හොඳින් සන්නිවේදනය කරන බුද්ධිමත් පුද්ගලයෙකු වන ඔහු වොෂින්ටනයේ ඉපදී ඇති අතර ඇමරිකානු කාන්තාවක් විවාහ කොට ගෙන සිටින ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසියෙකි. ඔහු ‘හෙරිටේජ් ෆවුන්ඩේෂන්’ නම් වූ ඇමරිකානු රාජ්‍ය නොවන සංවිධානයේ වැඩ කරන කාලයේ සිට ඇමරිකාව සමඟ ඉතා හොඳ සබඳතා පවත්වා ගත්තෙකි. ඔහු ඇමරිකාවේ බලවත්කම ඉතා හොඳින් තේරුම් ගෙන සිටින සහ ශ්‍රී ලංකාව ඊට අනුව කටයුතු කළ යුතු යැයි සිතන අයෙකි.” ඒ අනුව ඇමරිකාව පැත්තෙන් බලන විට මිලින්ද මොරගොඩ යනු ඉන්දු – ඇමරිකානු, ජපාන – ඔස්ට්‍රේලියා යන රටවල් හතර එක්ව ගොඩනගා ඇති ඉන්දු පැසිෆික් ආරක්ෂක සංධානයේ උවමනාවන් ඉටු කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට බලපෑම් කළ හැකි හෝ ආණ්ඩුව නොමග යැවිය හැකි ප්‍රබල චරිතයකි. ඒ අනුව ඔහුගේ භුමිකාව ශ්‍රී ලංකාවට එරෙහිව ඔත්තු කරුවෙකු හෙවත් විසක් ලෙස යොදා ගැනීමේ හැකියාව ඇත. දැන් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ උපායමාර්ගයට අනුව ඇමරිකානු ඔත්තුකරුවා ශ්‍රී ලංකාවේ පැත්තට හරවා ගැනීම මඟින් ඔහු ඉන්දු – ඇමරිකානු භූ දේශපාලන උවමනාවන්ට එරෙහිව මෙහෙයවිය යුතුය. විසෙන් – විස නැසීම යන්නෙන් අදහස් වන්නේ එය බව ඉතා පැහැදිළිය.

ආණ්ඩුවේ උපායමාර්ගය වෙනත් ආකාරයකට අර්ථ දැක්වුවහොත් එය වටහාගත හැක්කේ ඉන්දු – ඇමෙරිකානු හිතවාදියෙකු මඟින් ඉන්දු – පැසිෆික් උපායමාර්ගයෙන් ශ්‍රී ලංකාවට ගැලවිය හැකිය යන අහිංසක අපේක්ෂාවක් ලෙසය. කෙසේ වෙතත් ප්‍රතිවිසක් හෝ ද්විත්ව ඔත්තුකරුවෙකු ලෙස මිලින්ද මොරගොඩ මහතා යොදාගත හැකිද යන්න හෙවත් ඔහුගේ උපයෝගීතාවය තක්සේරු කළ හැක්කේ ඔහුගේ අතීත භූමිකාව සැලකිල්ලට ගැනීමෙනි. ඊට අමතරව එසේ රටේ ඉරණමට අදාළව යම් තනි පුද්ගලයෙකුගේ හැකියාවන් පිළිබඳ ආණ්ඩුවක් විසින් විශ්වාසය තබා කටයුතු කරන්නේ නම් එම පුද්ගලයා පිළිබඳ මහජන විශ්වාසයද වැදගත් වේ. එසේ නැතහොත් එම තේරීමට පක්ෂපාතීව මහජන සහය ලබා ගැනීම පහසු වන්නේ නැත. විශේෂයෙන්ම ආණ්ඩුවක් ලෙස එවැනි අනතුරුදායක තීන්දු ගැනීමේදී මහජන විශ්වාසය සහ සහයෝගීතාවය ඉතා වැදගත් වේ.

මිලින්ද මොරගොඩ මහතාගේ අතීත භූමිකාව පිළිබඳ තක්සේරුවක් ලබා ගැනිම සඳහා පරික්ෂාකළ යුතු වැදගත් ලේඛනය අංක 150/2007 දරණ මූලික අයිතිවාසිකම් නඩුවේ නඩු තින්දුවයි. ඊට අමතරව ඒ මහතා සටන්විරාම සමයේදී බෙදුම්වාදී බලවේග සහ නෝවේජියානු මැදිහත්කරුවන් සමඟ පැවැත් වූ රහස් සබඳතා සහ මූල්‍ය ගනුදෙනු පිළිබඳ බොහෝ ඡායාරූප සහ ලේඛන ඇතත් ඒවා 100% කින් තහවුරු කළ නොහැකි බවට තර්ක කළ හැක. නමුත් නඩු තීන්දුවකින් ප්‍රකාශයට පත් වන කරුණු පිළිබඳව මහජනයාට විශ්වාසය තැබිය හැක. එම නඩුවට අදාළව 2009 දී ප්‍රකාශයට පත් කළ තීන්දුව අනුව මිලින්ද මොරගොඩ නම් වූ ආර්ථික ප්‍රතිසංස්කරණ සහ කළමණාකරණ අමාත්‍යවරයාගේ භූමිකාව ඉතා හොඳින් අවබෝධ කර ගත හැකිය. ඊට අනුව 2001 – 2003 කාලයේදී ඔහු යටතේ වූ ‘පර්ක්’ ආයතනයේ ප්‍රධානියා සහ මිලින්ද මොරගොඩ මහතාගේ නියෝග ක්‍රියාත්මක කළ භාණ්ඩාගාර නිලධාරීන් විසින් ඉතා වැදගත් රාජ්‍ය ආයතන විකුණා දැමීමේදී ක්‍රියාකළ ආකාරය පිළිබඳව තමාගේ හාද සාක්ෂිය කම්පා වූ බව විනිසුරුවරුන් තම තීන්දුව ප්‍රකාශ කරමින් අවධාරණය කොට ඇත.

ඇත්ත වශයෙන්ම එසේ විනිසුරුතුමන්ලාගේ හදවත් කම්පා වන්නේ දූෂිත ගනුදෙනු රාෂියක් අතුරෙන් නඩු දෙකකට (2) අදාළ දූෂීත ගනුදෙනු දෙකක් (2) නිසාය. නමුත් එම කාලය තුළ සිදුවූ සියළු ගනුදෙනු අධිකරණයේදී සැලකිල්ලට භාජනය වූවානම් විනිසුරුවරුන්ගේ හදවත් නතර වීමට පවා ඉඩ තිබුණි. එම නඩු තීන්දුවට අදාළ මහා පරිමාන දූෂිත ගනුදෙනු දෙක අතරින් පළමු වැන්න වරායේ නැව් වලට තෙල් ලබාදෙන ඉතා ලාබදායි ‘බන්කරින්’ නම් වූ ව්‍යාපාරයේ නියුක්ත වූ එල්.එම්.එල්. නම් වූ රජයට අයත් ව්‍යාපාරය බරපතල ලෙස අවතක්සේරු කොට පුද්ගලික ආයතනයකට විකුණා දැමීමය. දෙවැන්න ශ්‍රී ලංකාවේ රක්ෂණ වෙළඳපළ තුළ ප්‍රමුඛතමයා වූ රක්ෂණ සංස්ථාව තුට්ටු දෙකට පුද්ගලික සමාගමකට විකුණා දැමීමය. එම ගනුදෙනු වලදී ජාත්‍යන්තර මට්ටමින් එළිදරව් වී ඇති සියළු දූෂිත ක්‍රියා සිදු වූ බව අධිකරණයේදී ඔප්පු වීය. උදාහරණ ලෙස රාජ්‍ය දේපළ විකුණා දැමීමට පෙර බරපතල ලෙස වටිනාකම අවතක්සේරු කිරීම, එම විකිණීම මඟින් රජයට ලැබුණු ආදායම් අහිමි කිරීම, මිලදී ගන්නා පෞද්ගලික පාර්ශව රජයේ ප්‍රබලයින් සමඟ සබඳතා පැවැත්වීම, පොදු මහජන දේපළ පුද්ගලික සින්නක්කර අයිතියට පැවරීම ආදී සියළු අවක්‍රියා එම ගණුදෙණු වලදී සිදු වී ඇත.

ඒ සියල්ල සිදු වූයේ මිලින්ද මොරගොඩ නම් වූ අමාත්‍යවරයාගේ මඟ පෙන්වීම යටතේ බව අධිකරණයේදී ඔප්පු විය. ඔහු විසින් එම තීන්දු ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයෙන් නිසි අනුමැතිය ලබා ගෙන නොමැති බව සහ ඔහුගේ තීන්දු නීතියට පටහැනි බව අධිකරණයේදී ඔප්පු විය. එහිදී රජයට අයත් එල්.එම්.එල්. නම් වූ නැව් වලට තෙල් සැපයීම හෙවත් ‘බන්කරින්’ ව්‍යාපාරයේ නියුක්ත වූ සමාගමේ වටිනාකම අවතක්සේරු කිරීම සඳහා සිතාමතා සහ සැලසුම් ගතව එම වගකීම රජයේ තක්සේරුකරුවන්ට ලබා නොදී පුද්ගලික බැංකුවකට ලබා දී තිබුණි. එම ක්‍රියාවලිය තුළ එම සමාගමේ වටිනාකම 50% කින් අවකත්සේරු කොට ඇති අතර අමාත්‍ය මණ්ඩල තීන්දුවට පටහැනිව යමින් සහ අමාත්‍ය මණ්ඩලය නොමඟ යවමින් අදාළ පෞද්ගලික සමාගමට වෙළඳපළ ඒකාධිකාරිය පමණක් නොව බදු නිදහස් තත්වය සහ වරායෙන් නොමිලේ ඉඩමක් ද ලබා දී තිබුණි. මේ වන විට එම සමාගම අයත් මව් සමාගම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියානු සමාගමක් සමග එක්ව අත්පත් කර ගැනීම සඳහා සූක්ෂම මැදිහත්වීමක් සිදු කරන බවට චෝදනා එල්ල වේ.

ශ්‍රී ලංකාවේ රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වූ රජයට අයත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විකුණා දැමීමේදී අමාත්‍යවරයා විසින් බලයලත් කමිටුවක් පිහිටුවා එහි සභාපති වූ භාණ්ඩාගාරයේ නිලධාරියෙකු ටෙන්ඩර් මණ්ඩලයට පවා පත් කරන්නේ අමාත්‍ය මණ්ඩලයේ අවසරය නොමැතිවය. ඔහු තමාගේ 28/02/2002 අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවෙන් අමාත්‍යමණ්ඩලයට දැනුම් දෙන්නේ ශ්‍රී ලංකා රක්ෂණ සංස්තාවට කළමණාකරන සහ තාක්ෂණික දැනුම නොමැති නිසා පුද්ගලික අංශය සමග තරඟ කිරීමට හැකියාව නොමැති බවය. එහෙත් සත්‍ය තත්වය අනුව ඊට පෙර වසරේ එම ආයතනය රක්ෂණ වෙළඳපළේ නායකයා වී ඇති අතර ඩොලර් මිලියන 10 ක ලාභයක් ලබා රජයට ඇමෙරිකානු ඩොලර් මිලියන 3.5 ක බදු ගෙවා ඇත. ඒ අනුව නඩු තීන්දුව මගින් මිලින්ද මොරගොඩ මහතා අදාල දූෂිත ගණුදෙනු වලට වගකිවයුතු බව ඔප්පු විය. අවසානයේදී ශ්‍රේෂ්ඨාදිකරණය විසින් අදාල ගනුදෙනු අවලංගුකොට අමාත්‍යවරයාට විරුද්ධව අපරාධ නීතිය, පොදු දේපල පනත සහ අල්ලස් සහ දූෂණ පනත යටතේ නඩු පැවරීමේ වගකීම නීතිපතිවරයාට පවරනු ලැබීය.

ඒ අතර 2006 දී පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව විසින් එම දූෂිත ගනුදෙනු පිළිබඳව විභාගකොට 2007 දී වාර්තාවක් නිකුත් කරන ලදි. නමුත් මහින්ද රාජපක්ෂ රජය මිලින්ද මොරගොඩ මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට මැලි වීය. අවසානයේදී 2009 දී නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ පසුව මිලින්ද මොරගොඩ මහතා හෙවත් මහා දූෂිත ගණුදෙනුවකට අදාල විත්තිකරු දේශපාලන පැති මාරුවක් සිදු කොට නව ඇමතිකමක් ලබා ගන්නට යෙදුනි. ඉතිහාසයට සරදම් කරමින් ඔහු විසින් ලබා ගන්නේ ඔහුට විරද්ධව නඩු දැමීමට අදාලව ක්‍රියාත්මකවියයුතු ආයතන පද්ධතිය අයත්වන අධිකරණ සහ අධිකරණ ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයයි. ඒ අනුව මිලින්ද මොරගොඩ මහතාගේ හෘද සාක්ෂිය දූෂිත නව ලිබරල් ආර්ථික මොඩලයේ පොදු උවමනාවක් නියෝජනය කරන බව පැහැදිලිව ඔප්පුවේ. ඒ තුල රට පිළිබඳව , රටේ මහජනයාට අයත් පොදු දේපල පිළිබඳව ඔහුගේ මනෝභාවය පිළිබිඹුවේ.

ජාත්‍යන්තර අද්දැකීම් අනුව යම් ඔත්තකරුවෙකු ද්විත්ව රංගනයක් හෙවත් අසාධාරණයකට ලක් වූ පාර්ශවය වෙනුවෙන් පෙනී සිටීම සදහා පොළඹවා ගතහැක්කේ ඔහුගේ හෘදසාක්ෂියට ආමන්ත්‍රණය කිරීමෙනි. නමුත් ඉහත සඳහන් කළ අත්දැකීමට අනුව මිලින්ද මොරගොඩ මහතා ගේ හෘද සාක්ෂිය ශ්‍රී ලංකාවේ ආණ්ඩුවේ සහ ජනයාගේ අපේක්ෂා නියෝජනය කරනු ඇත්ද යන්න සැක සහිතය. ශ්‍රී ලංකාවේ ඓතිහාසික ශිෂ්ඨාචාරයට සහ එහි උරුමයන්ට අදාලව ඔහුගේ හැඟීම් ප්‍රකාශ වූ අවස්ථා අනුවද එම නිගමනය සාධාරණීයකරනය කළ හැක. පසුගියදා පූජ්‍ය උඩුවේ ධම්මාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවේ මතක් කළ ආකාරයට මිලින්ද මොරගොඩ මහතා යනු පංසලේ පිරිත් දේශනා මහජනයාට විකාශනය කිරීමේ වරදට භික්ෂූන්වහන්සේ නමක් අධිකරණය හමුවට පැමිණවූ පුද්ගලයෙකි. කෙසේ වෙතත් මිලින්ද මොරගොඩ මහතා විවිධ ක්‍රමවේද හරහා රජයට බලපෑම් කළ හැකි යම් නායක ස්වාමීන් වහන්සේලා තම වුවමනාවන් සඳහා යොදා ගන්නා බව ප්‍රකට කරුණකි.

මීට පෙර මේ ආකාරයටම පුද්ගලික සබඳතා හෝ දක්ෂතා මගින් ඉන්දු ඇමෙරිකානු භූ දේශපාලන උපායමාර්ගික තේරීම් වල බලපෑම වෙනස් කළ හැකියැයි විශ්වාස කරමින් ගනු ලැබූ උත්සාහයන් පිළිබඳව අත්දැකීම් ඇත. යුද ජයග්‍රහණයෙන් පසුව ඇමෙරිකාව විසින් ජාත්‍යන්තර මානව හිමිකම් සමුළුව යොදා ගනිමින් ශ්‍රී ලංකාවට එරෙහිව දියත් කෙරනු මෙහෙයුම නැවැත්වීම සඳහා හිටපු නිල නොවන අමාත්‍ය සජින්වාස් ගුණවර්ධන මහතා විසින් මහ බැංකුවේ අරමුදල් යොදා ගනිමින් රුපියල් මිලියන 800 ක් පකිස්තානු ජාතිකයෙකුට අයත් ඇමෙරිකානු මහජන සබඳතා සමාගමකට ගෙවීම සහ ඉන් කිසිදු ප්‍රථිපලයක් නොලැබීම එවැනි එක් අත්දැකීමකි. කෙසේ වෙතත් මිලින්ද මොරගෙඩ මහතාගේ උපයෝගීතාවය හෝ සුදුසුකම් පරීක්ෂාව සඳහා වැඩි කාලයක් ගතවන්නේ නැත. ආණ්ඩුව ඔහුගෙන් අපේක්ෂා කරන ප්‍රථිපලය ලැබෙන්නේ නම්, එසේ නැතහොත් විසෙන් විස නැසිය හැකිනම්, ඔහුට ඉන්දියාව විසින් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉල්ලා බල කිරීම, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් බලාත්මක කිරීම සඳහා බලපෑම් කිරීම සහ ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි සමූහය නීතිවිරෝධීව අත්පත්කරගෙන සිටීම වැනි ගැටලු පමණක් නොව එම්.සී.සී. ගිවිසුම අත්සන් කිරීම සඳහා ඇමෙරිකාව විසින් බලපෑම් කිරීමේ ගැටළුවද විසඳා ගැනීමට හැකි විය යුතුය.

– වෛද්‍ය කේ.එම් වසන්ත බණ්ඩාර

*********************************************

විස්ස ගැන කියන කතා

(13.09.2020 – 21:25 +0530 – hirunews.lk/sinhala)

යෝජිත ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා.

අද (13) පැවතී මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිදු කුමාරතුංග මහතා කියා සිටියේ යෝජිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඇති වැරදි නිවැරදි කරමින් නව කෙටුම්පතක් රජය විසින් සම්පාදනය කරන බවයි.

සමගි ජන බලවේගයේ බන්දුලාල් බන්ඩාරීගොඩ කියා සිටියේ යෝජිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිර්මාණය කළේ කවුරුන්ද යන්න පිළිබඳව ආණ්ඩුවට ප්‍රකාශ කිරීමට නොහැකි වී ඇති බවයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සි. දොලවත්ත මහතා,මාධ්‍යවේදීන් නැඟු ප්‍රශනයකට පිළිතුරු ලබා දෙමින් ප්‍රකාශ කළේ යෝජිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිර්මාණය කළේ කවුරුන්ද යන්න පිලිබඳ තමා නොදන්නා බවත් ආණ්ඩුවක් ලෙස එම ව්‍යවස්ථාව දිරිපත් කිරීමේ වගකීමෙන් තමන්ටද මිදීමට හැකියාවක් නොමැති බවයි.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ ආකරයට යෝජිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට කටයුතු නොකරන බවත් අද වන විට නව ව්‍යවස්ථාව පිළිබඳ සියලු පාර්ශව වලට කරුණු දැක්වීමට අවස්ථාව උදාකර දී ඇති බවත් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පෙන්වා දෙනවා.

මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ, වැඩසටනකට එක්වෙමින් කියා සිටියේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය තුළින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ බවත් යෝජිත නව ව්‍යවස්ථා සංශෝධනයට තම පක්ෂය තදින්ම විරුද්ධව කටයුතු කරන බවත්ය.

කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල මහතා ද අද (13) පැවතී වැඩසටහනකට එක්වෙමින් යෝජිත 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් අදහස් පළ කළා.

අමාත්‍යවරයා කියා සිටියේ වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට සහය දැක්වූවේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන බවට පසු ගිය රජය දුන් පොරෝන්දු මත බවත් පසු ගිය රජය තමන්ව රැවටූ බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරත් ප්‍රකාශ කළේ.

++++++++++++++

(14.09.2020 – 07:40 +0530)

යෝජිත විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යනය කොට වාර්තාවක් සැපයීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පත් කරන ලද කමිටුව එහි සභාපති අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) රැස්වනවා.

එම කමිටුව විසින් සකස් කරනු ලබන වාර්තාව අග්‍රාමාත්‍යවරයා වෙත හෙට (15) භාරදීමට නියමිත අතර, අග්‍රාමාත්‍යවරයා එය අනිද්දා (16) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ඇති.

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කොට වාර්තාවක් සැපයීම සඳහා අග්‍රාමාත්‍යවරයා මැති ඇමතිවරුන් 9 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කරනු ලැබුවා.

අමාත්‍යවරුන් වන උදය ගම්මන්පිල, අලී සබ්රි, නිමල් සිරිපාල ද සිල්වා, විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, එස්. වියාලේන්ද්‍රන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා මෙන්ම ප්‍රේමනාත් සී. දොලවත්ත යන මහත්වරු මෙම කමිටුවේ සෙසු සාමාජිකයින්.

මේ අතර යෝජිත විසිවන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අධ්‍යයනය කිරිමට ශ්‍රී ලංකා නීතීඥ සංගමයද 15 දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් පත් කර ඇති අතර, ජනාධිපති නීතීඥ නිහාල් ජයමාන්න මහතා එහි සභාපතිවරයා ලෙස කටයුතු කරනවා ෴

*********************************************

මං තීරු නීතිය අද (14) සිට

(14.09.2020 – 06:25 +0530 – hirunews.lk/sinhala)

අද (14) සිට මං තීරු නීතිය යළි ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා.

මූලික අදියර යටතේ අද (14) සිට මාර්ග හතරක එය ක්‍රියාත්මක වනු ඇති.

ඒ, අනුව බේස්ලයින් මාර්ගයේ නව කැලණි පාලමේ සිට ඔරුගොඩවත්ත, දෙමටගොඩ, බොරැල්ල, නාරාහේන්පිට හරහා හයිලෙවල් බේස්ලයින් හංදිය දක්වා මං තීරු නීතිය ක්‍රියාත්මක වනවා.

එමෙන්ම ශ්‍රී ජයවර්ධනපුර මාවතේ පොල්දූව හංදියේ සිට රාජගිරිය ගුවන් පාලම, ආයුර්වේද හංදිය, ඩී.එස්. සේනානායක හංදිය, හෝර්ටන් වටරවුම, පුස්තකාල හංදිය සහ ලිබර්ටි වටරවුම දක්වාද මං තීරු නීතිය ක්‍රියාත්මකයි.

ගාලු පාරේ විලියම් මංසන්ධියේ සිට ඩික්මන් පාර හංදිය, බම්බලපිටිය, කොල්ලුපිටිය, ගාලු මුවදොර වටරවුම, එන්.එස්.ඒ. වටරවුම දක්වා වන මාර්ගයේද අද දිනයේ සිට මංතීරු නීතිය ක්‍රියාත්මක කෙරෙනවා.

ඊට අමතරව, හයිලෙවල් මාර්ගයේ නුගේගොඩ අනුලා විද්‍යාලය අසල සිට හයිලෙවල් බේස්ලයින් හංදිය, පාර්ක් පාර හංදිය, තිඹිරිගස්යාය හංදිය, තුම්මුල්ල වටරවුම, ග්ලාස්හවුස් හංදිය, පුස්තකාල හංදිය සහ පිත්තල හංදිය දක්වාද මං තීරු නීතිය ක්‍රියාත්මක බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

+++++++++++

*********************************************

වෙලේ සුදාගේ ගෝලයකු වන ‘අන්නාසිවත්තේ අමිල’ හෙරොයින් සමඟ අත්අඩංගුවට

(14.09.2020 – 07:15 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘සමන්ත කුමාර’ හෙවත් ‘වෙලේ සුදා’ගේ ගෝලයෙකු වන ‘අන්නාසිවත්තේ අමිල’ නමැති පුද්ගලයා හෙරොයින් ග්‍රෑම් 5 ක් සමගින් මීගොඩ – දම්පේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් ග්‍රෑම් 01 ක් සමගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී, ඔහුගෙන් ලද තොරතුරු වලට අනුවයි වෙලේසුදාගේ ගෝලයා මෙලෙස ඊයේ (13) අත්අඩංගුවට ගෙන ඇත්තේ.

වෙලේ සුදාගේ බාල සහෝදරිය ඇතුළු 3 දෙනෙකු ද, කේරළ ගංජා සමඟ හක්මන නගරයේ ලැඟුම්හලකදී පෙරේදා (12) අත්අඩංගුවට ගත්තා.

පොලීසිය පැවසුවේ හක්මන – උඩුපිල්ලගොඩ ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වී යළි පැමිණ අදාළ ලැඟුම්හලේ රැදී සිටියදී ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

https://www.youtube.com/watch?v=_D9-hGKInWQ#t=6

*********************************************

රුසියානු සරසවි තුනක් (3) ඉවත් කිරීමට ගත් තීරණය වෛද්‍ය සභාව යළි සළකා බලයි

(14.09.2020 – 07:59 +0530 – hirunews.lk/sinhala)

රුසියාවේ වෛද්‍ය විද්‍යාල 3 ක් පිළිගත් විශ්වවිද්‍යාල ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගෙන ඇති තීරණය යළි සලකා බැලීමට තීරණය කර ඇති බව එහි සභාපති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ මෙම සතිය තුළ ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විදේශ උපාධි කමිටුව රැස් කිරීමට ලේඛකාධිකාරිවරයාට උපදෙස් ලබා දුන් බවයි.

වෛද්‍ය සභාව අදාල වෛද්‍ය විද්‍යාල පිළිගත් විශ්වවිද්‍යාල ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ගත් තීරණය පසුගියදා සිය නිල වෙබ් අඩවියේ ද පළ කර තිබුණා.

කෙසේ වෙතත්, වෛද්‍ය සභාව ගත් තීරණය බලාත්මක වීම සඳහා ඊට සෞඛ්‍ය අමාත්‍යවරියගේ අනුමැතිය හිමිවිය යුතු වුව ද, වෛද්‍ය සභාව විසින් එවැනි තීරණයක් අමාත්‍යවරිය වෙත ඉදිරිපත් කර නොතිබූ බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එම අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

එවැනි අනුමැතියක් ලැබීමට පෙර එය වෛද්‍ය සභාවේ නිල වෙබ් අඩවියේ පළ වීම සම්බන්ධයෙන් ද මේ වනවිට සොයා බැලීමක් සිදුකරන බව වෛද්‍ය සභාවේ සභාපතිවරයා කියා සිටියා.

++++++++++++++

රුසියාවේ වෛද්‍ය විද්‍යාල තුනක් පිළිගත් විශ්වවිද්‍යාල ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ගත් තීරණය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා වෛද්‍ය සභාවේ නියෝජිතයින් සහ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අතර සාකච්ඡාවක් අද (14) පැවැත්වෙනවා.

අදාළ තීරණය යළි සළකා බැලීමට තීරණය කර ඇති බවයි වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා මහතා කියා සිටියේ.

එසේම වෛද්‍ය සභාවේ විදේශ උපාධි කමිටුවේ හදිසි රැස්වීමක්ද අනිද්දා (16) කැඳවීමට පියවර ගෙන තිබෙනවා.

වෛද්‍ය සභාව අදාළ වෛද්‍ය විද්‍යාල, පිළිගත් විශ්වවිද්‍යාල ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ගත් තීරණය පසුගියදා සිය නිල වෙබ් අඩවියේද පළ කර තිබුණා.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් රුසියානු කේන්ද්‍රය සඳහන් කළේ තම විශ්වවිද්‍යාල තුනක් පිළිගත් විශ්වවිද්‍යාල ලැයිස්තුවෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ගත් තීරණය මගින් දෙරට අතර පවත්නා දිගුකාලීන මිත්‍රත්වයට ඍජුවම අහිතකර බලපෑම් එල්ලවිය හැකි බවයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයන් 5 දෙනාගෙන් එක් අයෙකු සහ නිශේධ බලය දරණ සාමාජික රටක් ලෙස රුසියාව ශ්‍රී ලංකාවට සහය පළ කිරීම සඳහා තුන්වරක්ම නිෂේධ බලය භාවිත කළ බව ද එමගින් පෙන්වාදි තිබුණා ෴

*********************************************

රජයේ ඉදිරි ගමනට ජනපති ‘වියත් මගේ’ සහය ඉල්ලයි

(14.09.2020 – 08:08 +0530 – hirunews.lk/sinhala)

රජයේ ඉදිරි ගමනට සහය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ‘වියත්මග’ සංවිධානයේ වියතුන්ගෙන් ඉල්ලීමක් කරනවා.

දේශපාලන අධිකාරිය මැදිහත්විය යුතු තැන් හඳුනාගෙන ඊට සම්බන්ධ නොවී රටේ ඉදිරි ගමන වෙනුවෙන් සැළසුම් හා ප්‍රතිපත්ති සැකසීමේ වගකීම වියත් මග ඉදිරියේ ඇතැයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු වියත්මග සභාපතිවරයා ලෙස ඊයේ (13) පස්වරුවේ ඇතුල්කෝට්ටේ පිහිටි එම කාර්යාලයේදී පළමුවරට එහි සාමාජිකයන් හමුවෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.

ග්‍රාමීය, නාගරික ඇතුලු සියලු ජන කොටස් ආර්ථික සහ සාමාජීය වශයෙන් නගා සිටුවීමට ප්‍රමුඛත්වය දෙමින් රාජ්‍ය අමාත්‍යාංශ ස්ථාපනය කර තිබෙන බවත් එකී අරමුණු ජයගැනීමට දායකවිය හැකි ආකාරයත් ජනාධිපතිවරයා මෙහිදී වියත් මග විධායක සභාවට පෙන්වාදී තිබෙනවා.

*********************************************

‘ලඩියා’ට අයත් බස් රථ තුනක් (3) සමඟ සැකකරුවන් තුන්දෙනෙකු (3) අත්අඩංගුවට

(14.09.2020 – 08:31 +0530 – hirunews.lk/sinhala)

ඉන්දියාවට පළාගොස් සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘දිනමුල්ල කංකානම්ලාගේ නලින් චතුරංග’ හෙවත් ‘ලඩියා’ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල්වලින් මිලදී ගත් රුපියල් කෝටි 2 ක් පමණ වටිනා බස් රථ 03 ක් සැකකරුවන් තුන්දෙනෙකු (3) සමඟ අතුරුගිරිය පොලිසිය අත්අඩංගුවට ගත්තා.

ලඩියගෙ බස් තුන

ඒ අනුව මොහු විසින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල්වලින් මිලදී ගත් තවත් දේපළ සොයා විමර්ශණ ක්‍රියාත්මකයි.

‘සමයං’ ඝාතනයෙන් පසු ‘අංගොඩ ලොක්කා’ගේ උපදෙස් මත ඉන්දියාවට පලාගොස් සැඟවී සිටින ‘ලඩියා’ මිලදීගත් මෙම බස්රථ තුන (3) ඊයේ (13) සොයාගෙන තිබුණේ පොලිසියට ලද බුද්ධි තොරතුරකට අනුවයි.

‘ලඩියා’ගේ ඥාතියෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදියි අදාළ බස් රථ සොයා ගනු ලැබුවා.

එම අවස්ථාවේ අදාළ බස් රථ සමඟ ‘ලඩියා’ගේ සමීපතමයින් දෙදෙනෙකු (2) ද පොලීසිය අත්අඩංගුවට ගෙන තිබුණා.

අතුරුගිරිය – ජයන්ති පාර, නවගමුව – වදුරම්මුල්ල සහ හෝමාගම යන ප්‍රදේශවලදී සොයාගත් මේවා අතර සුඛෝපභෝගී බස් රථ දෙකක් (2) සහ ලේලන්ඩ් වර්ගයේ බස් රථයක් (1) ද වනවා.

සුඛෝපභෝගී බස් රථ දෙක (2) කුලී පදනම යටතේ ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්තශාලාවල සේවකයින් ප්‍රවාහනය සඳහා යොදවා ඇති අතර, ලේලන්ඩ් වර්ගයේ බස් රථය මාර්ග අංක 138/4 අතුරුගිරිය – පිටකොටුව මාර්ගයේ ධාවනයට එක් කර තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘ආමි කමල්’ නැමැත්තා ඇතුලු තුන්දෙනෙකු (3) හෙරොයින් ග්‍රෑම් 10 ක් සහ හමුදා නිල ඇඳුම් කට්ටල දෙකක් (2) සමඟ වැලිපැන්න – හේන්පිට ප්‍රදේශයේදී අද (14) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුද හමුදාවෙන් ඉවත්වූ ‘ආමි කමල්’ නැමැත්තා සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන්නෙකු බව අනාවරණ වනවා.

එමෙන්ම ගාල්ල – ගල්වල ප්‍රදේශයේ සියලු නිවාස ඉලක්ක කර අද (14) අලුයම සිදුකළ මෙහෙයුමකදී හෙරොයින් 10 යි මිලිග්‍රෑම් 560 ක් සමඟ 46 හැවිරිදි දෙදරු මවක් වන කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ ඇගේ පුත්‍රයෙකු හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින අතර, ඔහුගේ ජාවාරම් මෙම කාන්තාව කාලයක් තිස්සේ සිදුකරගෙන ගොස් ඇති බවටයි.

එසේම හෙරොයින් මිලිග්‍රෑම් 50 පැකට් 100 ක් සමග පුද්ගලයෙකු බදුල්ල නගරයේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

ලද තොරතුරක් මත හාලිඇල පොලිසියේ රථවාහන අංශය ඊයේ (13) සිදුකළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගත් අතර පොලිතින් බෑග්වල අසුරා ඔහු සිය පාදයේ කළවා ප්‍රදේශයේ බැඳ කොළඹ සිට බදුල්ලට මෙම හෙරොයින් ප්‍රවාහනය කර ඇති බවටයි සිදුකල ප්‍රශ්ණ කිරීම්වලදී අනාවරණ වී ඇත්තේ.

30 හැවිරිදි සැකකරු බදුල්ල කටුපැලැල්ලගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 527 ක් සමඟ ඌරගස්මංහන්දිය – කුඹුරුතුඩුව වත්ත ප්‍රදේශයේදිද 30 හැවිරිදි තවත් සැකකරුවෙකු ඊයේ (13) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබුණේ ඇල්පිටිය කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින්.

එසේම හංවැල්ල පොලීසිය විසින් නගරය ආශ්‍රිතව ඊයේ (13) සිදුකළ මෙහෙයුමකදී හෙරොයින් ග්‍රෑම් 12 කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගැනීමට සමත්වුණා.

ඔවුන් හංවැල්ල සහ ඔරුගොඩවත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

මේ අතර දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලබාදුන් වටලා සෝදිසි කිරීමේ නියෝගය යටතේ යක්කලමුල්ල පොලීසිය ඊයේ (13) රාත්‍රියේ සිදුකළ මෙහෙයුමකදී උඩුවැල්ල – කොහුදෙණිය ප්‍රදේශයේදී ගිනි අවි 6 ක් සමඟ සැකකරුවන් හතරදෙනෙකු (4) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බෝර 12 පතොරම් තුවක්කු තුනක් (3) සහ කප් තුවක්කු තුනක් (3) ඊට අයත්.

එසේම තංගල්ල විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් කරන ලද මෙහෙයුමකදී වලස්ගල – දෙමටපිටිය ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පුද්ගලයෙකු ගිනි අවි සහ පතොරම් සමඟ අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ අනුව ඔහු ළඟ තිබී විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වරයක්, බෝර 12 තුවක්කුවක්, වායු රයිෆලයක් සහ බෝර 12 වර්ගයේ පතොරම් හතරක් (4) සොයාගැනීමටයි සමත්වුණේ.

එමෙන්ම කළුතර ප්‍රදේශයේ ඊයේ (13) පැවති උත්සවයකදී බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටියේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් ඉපයූ මුදල් හා දේපළ රාජසන්තක කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි.

*********************************************

මත් ජාවාරමින් උපාය ගත් සියලු දේපළ රාජසන්තක කිරීමට පියවර

(14.09.2020 – 10:53 +0530 – hirunews.lk/sinhala)

මත් ජාවාරම්කරුවන් විසින් මත්ද්‍රව්‍ය ජාවාරමින් උපාය ගත් සියලු දේපළ රාජසන්තක කිරීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරමින් පවතින බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

මේ සම්බන්ධයෙන් වන විශේෂ සකච්ඡාවක් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද (14) පැවැත්වීමට නියමත බව ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියා.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව පවසා සිටියේ කළුතර ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින්.

*********************************************

භූගත දුරකථන රැහැන් කපා සොරකම් කළ හයක් (6) පොලිස් අත්අඩංගුවට

(14.09.2020 – 08:41 +0530 – hirunews.lk/sinhala)

තඹ ලබා ගැනීමේ අරමුණින් බියගම ප්‍රදේශයේ දී භූගත දුරකථන රැහැන් කපා සොරකම් කළ පුද්ගලයින් හයදෙනෙකු (6) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර යුද හමුදා සෙබලුන් දෙදෙනෙකු (2) ද සිටින බවයි පොලිසිය පැවසුවේ.

දුරකථන සමාගමක් විසින් භූගතව අදින දුරකථන රැහැන් සැකකරුවන් විසින් මෙලෙස කපා සොරකම් කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

රාත්‍රී කාලයේ මොවුන් මෙම සොරකම සිදුකර ඇති අතර මෙලෙස සොරකම් කරන ලද දුරකථන රැහැන් වල වටිනාකම රුපියල් ලක්ෂ 06 ට අධික බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

අදාල දුරකථන සමාගමේ සේවකයන් ලෙස පෙනී සිටිමින් ඔවුන් මෙම සොරකම සිදුකර ඇති බව සඳහන්.

සොරකම ආරක්‍ෂිත කැමරාවක පටිගතව තිබූ අයුරු :

*********************************************

නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙකු අද (14) පත්වීම් ලබයි

(14.09.2020 – 12:20 +0530 – hirunews.lk/sinhala)

නව මහාධිකරණ විනිසුරුවරුන් 12 දෙනෙකුට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ පත්වීම් ලබාදී තිබෙනවා. ඒ, ජනාධිපති කාර්යාලයේදියි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ ලංකා ජයරත්න මෙනවියත්, කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ රංග දිසානායක මහතාත් මෙලෙස මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්වීම් ලබා ගත්තා.

ඊට අමතරව මහේස්ත්‍රාත්වරයෙකු ලෙස කටයුතු කළ ඩී.ඒ.ආර්. පතිරණ මහතා මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්කර තිබෙනවා.

ඊට අමතරව දිසා විනිසුරුවරුන් හයදෙනෙකු (6), අතිරේක දිසා විනිසුරුවරයෙකු (1) සහ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතීඥවරියන් දෙදෙනෙකු (2) මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

(328 මාධ්‍ය නිවේදනයේ වේලාව : ප.ව. 11:45 ? නොව පෙ.ව. 11:45 වියයුතුයි – අමරසර)

*********************************************

රන්දෙණිගල වන සත්ව අභයභූමියේ පරිසර හානියක්

(14.09.2020 – 12:54 +0530 – hirunews.lk/sinhala)

රන්දෙණිගල වන සත්ව අභයභූමි රක්ෂිතයේ පරිසරයට අපද්‍රව්‍ය බැහැර කිරීම හේතුවෙන් විශාල පාරිසරික හානියක් සිදුව තිබෙනවා.

කන්දකැටිය – රන්දෙණිගල මාර්ගයේ ගමන් කරන පිරිස් මෙන්ම විනෝද චාරිකා සඳහා පැමිණෙන්නන් ඉවතලන ප්ලාස්ටික් ජල බෝතල් සහ මත්පැන් බෝතල් මෙන්ම පොලිතින් බෑග් මෙලෙස අභයභූමිය තුළට බැහැර කිරීම නිරන්තරයෙන් සිදුවන බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ හේතුවෙන් අභයභූමි රක්ෂිතය තුළ ජීවත්වන අලි ඇතුන් ඇතුලු විවිධ සත්ව කොට්ඨාසවලට ජීවිත තර්ජන මතුව ඇති බවද සඳහන්.

මේ අතර අනුරාධපුර – කහටගස්පිටිය – හෙට්ටිකට්ටිය – තම්මැන්න කන්ද පුරාණ රජමහා විහාරස්ථානයට අයත් අක්කර 100 කට ආසන්න රක්ෂිතයක් ප්‍රදේශවාසීන් විසින් හෙළිපෙහෙළි කරන බවට විහාරාධිපති හිමියන් චෝදනා කරනවා.

එමෙන්ම නකල්ස් රක්ෂිතයේ පන්විල ඉහළ කලාපයේ සිදුකෙරෙන වන විනාශය සම්බන්ධයෙන් සොයාබැලීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් අද (14) එම ප්‍රදේශයට පිටත්ව යාමට නියමිතයි.

පරිසර නීති උල්ලංඝනය කරමින් රක්ෂිතයේ පන්විල ඉහළ කලාපයේ අක්කර 5 ක පමණ භූමි ප්‍රදේශයක් හෙළිපෙහෙලි කර ඇති බවට වාර්තාවීමත් සමඟ එම නිලධාරීන් ඒ පිළිබඳව සොයාබැලීමට යෙදවූ බවයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ඩබ්ලිව්.ඒ.සී. වේරගොඩ මහතා සඳහන් කළේ.

මේ අතර මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවූ ගිනි ගැනීම් තත්ත්වයක් මොණරාගල – දුම්මලහෙළ රජයේ වනයෙන් වාර්තාවනවා.

මොණරාගල අඩවි වන නිලධාරී කාර්යාලය සඳහන් කළේ ඊයේ (13) හටගත් මෙම ගින්නෙන් අක්කර 30 කට ආසන්න ප්‍රදේශයක් විනාශ වී ඇති බවයි.

එමෙන්ම උඩවලව වන රක්ෂිතයට අයත් කොටසක් තණමල්විල – බෝදාගම ප්‍රදේශයේදී ඩෝසර් කිරීමේ සිද්ධියක්ද හිරු ප්‍රවෘත්ති අංශයට වාර්තාවුණා.

කෙසේ වෙතත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා වීරකැටිය ප්‍රදේශයේදී ඊයේ (13) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ වන විනාශයට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක නොකරන නිලධාරීන්ට එරෙහිව දැඩි තීන්දු තීරණ ගන්නා බවයි.

*********************************************

පොහොර සහනාධාරය ඉහළ දැමීමට අවධානය

(14.09.2020 – 13:10 +0530 – hirunews.lk/sinhala)

රජයේ පොහොර සහනාධාරය යටතේ කාබනික පොහොර භාවිතා කරන ගොවියාගේ සහනාධාරය ඉහළ දමා ඔවුන්ගේ නිෂ්පාදන වැඩි මිලට ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

ලබන වසරේ ජනවාරි මස සිට ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මගින් වසර තුනකදී (3) දේශීය කාබනික පොහොර භාවිතය සියයට 30 ක් දක්වා ඉහළ නැංවීමට අපේක්ෂිතයි.

මේ සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහ කාබනික පොහොර නිෂ්පාදන සමාගම් නියෝජිතයින් අතර පසුගියදා සාකච්ඡාවක්ද පවත්වා තිබෙනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

bo වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *