සිතුල්පව්ව විහාරස්ථානයේ පුරාවිද්‍යා කැණීම් ගැන නීතිමය පියවර

(19.09.2017 – 14:45 +0530 – hirunews.lk/sinhala)

ඓතිහාසික සිතුල්පව්ව රජමහා විහාරස්ථානයට අයත් ගල්ලෙන් වල බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කිරීම සඳහා කැණීම් සිදුකිරිම සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් ඊ.පී. මණ්ඩාවල මහතා පවසනවා.

පුරාවිද්‍යා වටිනාකමක් ඇති කුඩා සිතුල්පව්වට යන මාර්ගයේ ගල්කුඩය අසල කටාරම් සහිත ගල් ලෙන් දෙකක බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කිරීමට කිසිදු අවසරයක් නොගෙන කැණීම් කටයුතු සිදුකර ඇති බවට තිස්සමහාරාම පුරාවිද්‍යා කලාප කාර්යාලයට පැමිණිලි ලැබී තිබුණා.

ඒ අනුව ඊයේ දිනයේදී පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්වරයා ඇතුළු නිළධාරීන් පිරිසක් විසින් එම ස්ථානය නිරීක්ෂණය කිරීම සඳහා ගොස් තිබෙනවා.

අනතුරුව සිතුල්පව්ව විහාරාධිපති පූජ්‍ය මැටරඹ හේමරතන හිමියන් සමඟ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සිදුකල සාකච්ජාවෙන් පසු තීරණය කර ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවසර නොගෙන කැණීම් සිදුකිරිම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට සිදුවන බවයි.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සිතුල්පව්ව විහාරාධිපති මැටරඹ හේමරතන හිමියන්ගෙන් විමසිමක් කළා.

‘‘කුඩා සිතුල්පව්ව යන පාරේ දිගටම තියෙනවා ගල් ලෙන්. රහතන් වහන්සේලා වැඩසිටපු ගල් ලෙන්. ඔය ගල් ලෙන් සමහර දවස්වලදි නොගැලපෙන දේවල් වලට ලක්වෙනවා. ඒ ගල් ලෙන නොහොබිනා වැඩ වලටත් යෙදවෙනවා. ඉතින් මම කිහිප විටක්ම අපේ පොලිසියයි හමුදාවත් දාල වන්දනාවේ වැඩි පිරිසක් එන දවස්වල නැවත්තුවා එක හැමදාම කරන්න බැ. ඒ නිසා මං කල්පනා කලා මේකේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කලොත් ඔය වැඩ කෙරෙන්නේ නැ කියලා බුද්ධ ප්‍රතිමාවක් නැන්පත් කලා. තැන්පත් කරලා එතන ගල් ලෙනයි පාරයි දෙක තියෙන්නේ උස් පහත්ව. ඉතින් ඒ නිසා මං පාර සකස් කරන්න ගල් ටික ගැලෙව්වා. එතන පුරාවස්තු කිසිවක් නැ. ඒ පාර 1987 අවුරුද්දෙදි අපේ හාමුදුරුවන්ලා හැදුවේ එක පුරාවස්තු පාරක් නෙමෙයි. ජනවාරි මාසේ 17 වගේ මං ලියමක් යැව්වා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට දැනුම්දුන්නා. දැනුම් දිලා අනුමැතියෙන් කලේ.’’

කෙසේ නමුත්, පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් ඊ.පී. මණ්ඩාවල මහතා ඒ සම්බන්ධයෙන් දක්වන්නේ මෙවන් ප්‍රතිචාරයක්.

‘‘හාමුදුරුවෝ කියන්නේ ලියමනක් දාලා උත්තරයක් ආපු නිසා හමුදුරුවෝ එක කලා. ලංකාවේ ඔක්කොම ගල් ගුහා වල ඕක කරන්න ගියොත් අන්තිමට අපේ පුරාවිද්‍යා සාධක මුකුත් රැකෙන්නේ නැ. එක පුරාවිද්‍යා රක්ෂිතයක් ඒ අයිතිය තියෙන්නේ පුරාවිද්‍යා දේපාර්තමේන්තුවට. එතකොට හාමුදුරුවන්ට අයිතියක් නැති දෙයක් මේ කරලා තියෙන්නේ. හාමුදුරුවෝ කියන්නේ පාර විතරයි ඉවත් කලේ කියලා. ඒ ගල් ගුහා වල තිබුනු පස් මට්ටම් වෙනස් කරලා ඒ විතරක් නෙමෙයි එක ගුහාවක් ඉදිරිපිට පොකුණක් හදාලා තියෙනවා ඔය වගේ වෙනස් කම් කරලා. හමුදුරුවෝ අයිති නැති දේකට මැදිහත් වෙලා තියෙනවා.’’

තමන් වහන්සේ මේ වසරේ ජනවාරි මාසයේදී බුදුපිළිම වහන්සේ නමක් තැන්පත් කිරිම සම්බන්ධයෙන් ලිඛිතව දන්වා සිටිය ද ඊට නිසි ප්‍රතිචාරයක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නොදැක්වූ බව සිතුල්පව්ව විහාරාධිපති පූජ්‍ය මැටරඹ හේමරතන හිමියන් වැඩිදුරටත් පවසනවා.

‘‘මගේ අදහස පුරාවිද්‍යා ස්ථානයට හානි කිරිමක් වත් මෙතන තියෙන සංස්කෘතික පරිසරය විනාශ කිරිමක් වත් නෙමෙයි මටත් ඕන මෙතන පෞරානිකත්වය ආරක්ෂා කරන විදියට කටයුතු කරන්න. අර චෛත්‍යය කනු අපි තනිකරම ගල් වලින් හැදුවා. පුරාවිද්‍යා අයත් එකතු කරගෙන. මං ලිපියේ යැව්වේ මං වියදම් දරන්නම් මට ශිල්පින් විතරක් දෙන්න කියලා. නමුත් එවා ලැබුන්නේ නැ. ඒ නිසා මට හරි වේදනාකාරියි. මං ගල්ගේ විනාශ කරනවා ඒ නිසා මං උත්තරයක් අවේත් නැ කරන්න පුලූවන් දේ කලා ආරක්ෂා කරගන්න ඕන නිසා.’’

ලිපියක් යොමුකල ද අවශ්‍ය දැනුම්දීම් සිදුකරන තෙක් කිසිදු කැණීිම් කටයුත්තක් සිදුකිරිමට සිතුල්පව්ව විහාරාධිපති හිමියන්ට අවසර නොමැති බවයි පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනාරාල්වරයා හිරු ප්‍රවෘත්ති අංශය සමග අදහස් දක්වමින් වැඩිදුරටත් සදහන් කළේ.

‘‘මොන ලියමන ඉදිරිපත් කලා වුනත් අනුමැතිය දෙනකම් කරන්න බැනේ. ලියමනක් ඉදිරිපත් කලා නම් ඒ සම්බන්ධයෙන් හාමුදුරුවන් අවශ්‍ය කටයුතු කරන්න ඕන. නිලධාරින් එක්ක සම්බන්ධ වෙලා කටයුතු කරන්න ඕන. ඔයවගේ පුරාවිද්‍යා ස්ථානයකට හානි කලා නම් එක කවුරු කලත් වැරදියි. මං ගිහින් බලලා ඔය ටික විවෘතව කිව්වා හමුදුරුවන්ට.ලියුම් එව්වා කිව්වා. ඉතින් සම්පුර්ණයෙක් වෙනස් දෙයක් කරලා තියෙන්නේ අයති නැති දෙයක්. මේ සම්බන්ධයෙන් සියලූ වාර්තා ජායරුප සමග එවන්න කියලා මං නිලධාරින්ට කිව්වා මේකට ඉදිරි නිති කටයුතු සදහා නිතිපතිට යවනවා.’’

**********************************

කරාපිටිය රෝහලේ වෛද්‍යවරියක් ඩෙංගු රෝගය වැළදීමෙන් මියයයි
(19.09.2017 – 14:54 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල කරාපිටිය රෝහලේ වෛද්‍යවරියක් ඩෙංගු රෝගය වැළදීමෙන් මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ හබරාදූව ගිනිගල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි වෛද්‍ය එම්.අනෝමා ජයවර්ධන නමැති තිදරු මවක්.

ඇය ඉකුත් බදාදා (13) දින රෝහල්ගතකර ඇති අතර මියයන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියා.

එම වෛද්‍යවරියගේ වෛද්‍ය ශිෂ්‍යාවක් වන දියණියද ඩෙංගු වැළඳීමෙන් කරාපිටිය රෝහලේ අංක 17 වාට්ටුවේ ප්‍රතිකාර ලබා අද (19) දින පිටව ගොස් ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙම වෛද්‍යවරිය ගාල්ල නුගදූව ප්‍රදේශයේ පෞද්ගලික සායනයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඇය දිනයේ වැඩි කාලයක් එම ස්ථානයේ සිටින නිසා එහි දී ඩෙංගු වැලදී ඇති බවයි ඇයගේ සැමියා සැක කරන්නේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *