වැරදි තීන්දුවක් දුන් බවට පසුව ඔප්පු වුවහොත් එම නඩුව ගැන යළි විමසා බලන්නැයි ඉල්ලීමක් කළ හැකියි – අධිකරණ ඇමති

වැරදි තීන්දුවක් දුන් බවට පසුව ඔප්පු වුවහොත් එම නඩුව ගැන යළි විමසා බලන්නැයි ඉල්ලීමක් කළ හැකියි – අධිකරණ ඇමති

දේශීය දියර කිරි අවශ්‍යතාව සපුරන්න ජනපතිගෙන් සැලැස්මක්

මංතීරු නීතිය අද (15) දෙවන (2) දිනටත්

පුදිකුඩිඉරිප්පු ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් කේරළ ගංජා සහ කහ තොගයක් සොයාගැනේ

ලක්ෂ්මන් කිරිඇල්ල සහ රිෂාඩ් බදියුදීන් පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට

බෝදාගම රක්ෂිතයේ අක්කර 40 ක් ඩෝසර් කරයි

පොලිස් නිලධාරියෙකු බව පවසමින් ජනතාවගේ මුදල් වංචා කළ අයෙකු අත්අඩංගුවට

මෙරට සිදුකළ ඇති පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව දෙලක්ෂ පනස් දහස (2,50,000) ඉක්මවයි

20 වන සංශෝධනය අධ්‍යයනයට පත්කළ කමිටුවේ වාර්තාව අගමැතිට

තලතා අතුකෝරාළ ජනපති කොමිසම හමුවේ දුන් සාක්ෂිය

මංගලට මැඬිල්ලේ හිමියන්ගෙන් පිළිතුරු

විදුලිය නොමැතිව අඳුරේම දිවිගෙවන රිදිමාලියද්ද ජනතාව

වැලිමඩ හරිතාගාර ආශ්‍රිත මයිටා උවදුර

නිදා සිටි තම පෙම්වතියට පෙට්‍රල් දමා ගිනි තැබූ පෙම්වතා

*********************************************

වැරදි තීන්දුවක් දුන් බවට පසුව ඔප්පු වුවහොත් එම නඩුව ගැන යළි විමසා බලන්නැයි ඉල්ලීමක් කළ හැකියි – අධිකරණ ඇමති

(15.09.2020 – 09:46 +0530 – sinhala.adaderana.lk)

යම් විනිසුරුවරයෙක් වැරදි තීන්දුවක් දුන් බවට පසුව ඔප්පු වුවහොත් ඒ පිළිබඳ ප්‍රතිශෝධනයක් ඉදිරිපත් කර එම නඩුව ගැන යළි විමසා බලන්නැයි ඉල්ලීමක් කළ හැකි බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ‘හිරු ටී.වී සලකුණ’ දේශපාලන වැඩසටහන සමග ඊයේ (14) රාත්‍රී එක්වෙමින්.

පද්මිණි රණවක විනිසුරුවරිය ඇතුළු ඇතැම් විනිසුරුවරුන්, රන්ජන් රාමනායක සමඟ කළ දුරකථන සංවාද ප්‍රසිද්ධ වී ඇති බවත් ඒවායේ ඇතැම් නඩු තීන්දු දුන් ආකාරය ගැන සඳහන් වන බවත්, එවැනි අවස්ථාවන් පිළිබඳ කුමන ක්‍රියාමාර්ග ගත හැකිද යන්නත්, අධිකරණ අමාත්‍යවරයාට ප්‍රශ්නයක් යොමු වුණා.

එහිදී ඔහු ඉහත කරුණ සඳහන් කළ අතර අදාළ දුරකථන සංවාද සිද්ධිය ගැන, තමා දන්නා තරමින් අධිකරණ සේවා කොමිසම විමර්ශනයක් කරමින් සිටින බවද කියා සිටියා.

නීතියේ පාලනයට අත්‍යවශ්‍ය වන්නේ ස්වාධින අධිකරණයක් බවයි අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මෙහිදී අවධාරණය කළේ.

+++++++++++++

*********************************************

දේශීය දියර කිරි අවශ්‍යතාව සපුරන්න ජනපතිගෙන් සැලැස්මක්

(15.09.2020 – 08:17 +0530 – hirunews.lk/sinhala)

දේශීය දියර කිරි අවශ්‍යතාවය සපුරාලීමට රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ සහ කුඩා පරිමාණ ගොවීන්ගේ එකතුවෙන් කෙටි සහ දිගු කාලීන සැලැස්මක් දියත් කරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

තෘණ වගාව, කිරි ගවයන් බෝ කිරීම සහ පර්යේෂණ ආයතන සේවා වැඩි දියුණු කර කඩිනමින් ඉලක්ක සාර්ථක කර ගැනීමේ අවශ්‍යතාවය පවතින බවටයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

පශු සම්පත්, ගොවිපල ප්‍රවර්ධන හා කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ ජනාධිපති කාර්යාලයේ ඊයේ (14) පැවති සාකච්ඡාවකට එක්වෙමිනුයි ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ.

මෙරට වාර්ෂික කිරි අවශ්‍යතාවයෙන් දේශීයව නිෂ්පාදනය කරනු ලබන්නේ සියයට 40 කට අඩු ප්‍රමාණයක්.

ඉදිරි දශකය තුළ දියර කිරි නිෂ්පාදනය, ඉහළ නැංවීමට පියවර ගන්නා බව සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ජනාධිපතිවරයා ප්‍රතිඥා දී තිබුණා.

රටේ විවිධ ප්‍රදේශවලට ගැලපෙන කිරිගව ප්‍රභේද හඳුන්වාදීමට අවශ්‍ය පර්යේෂණ පුළුල් කිරීමට රජය අපේක්ෂා කරනවා.

කිරි නිෂ්පාදනය වර්ධනය, අරමුණු කොට ගෙන වතු සමාගම් 15 ක් දායක කර ගනිමින් කිරිගවයින් 15,000 ක් ඇති කිරීමට පියවර ගෙන ඇති බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා එහිදී සඳහන් කළේ.

කුකුළු මස් සහ බිත්තර නිෂ්පාදනය පුළුල් කිරීම හා මහා පරිමාණ නිෂ්පාදකයින් අපනයන වෙළඳපොලට යොමු කිරීම පිළිබඳව ද එහිදී වැඩි වශයෙන් සාකච්ඡා වී තිබෙනවා.

බිත්තර, කුකුළු මස් සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් මේ වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 16 ක විදේශ විනිමයක් ඉපයීමට ද අපේක්ෂා කරන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ඊයේ (14) පැවති එම සාකච්ඡාවට එක්වෙමින් පෞද්ගලික අංශයේ ආයෝජකයන් සඳහන් කළේ.

*********************************************

මංතීරු නීතිය අද (15) දෙවන (2) දිනටත්

(15.09.2020 – 08:38 +0530 – hirunews.lk/sinhala)

කොළඹ නගරයේ ප්‍රධාන මාර්ග 04 ක් කේන්ද්‍රකරගනිමින් රථවාහන තදබදය අවම කිරීම සඳහා පනවා ඇති මංතීරු නීතිය අද (15) දෙවන දිනටත් ක්‍රියාත්මකයි.

ඒ, අනුව බේස්ලයින් මාර්ගයේ නව කැළණි පාලමේ සිට ඔරුගොඩවත්ත, දෙමටගොඩ, බොරැල්ල, නාරාහේන්පිට හරහා හයිලෙවල්, බේස්ලයින් හන්දිය දක්වා මෙන්ම, ශ්‍රී ජයවර්ධනපුර මාවතේ පොල්දූව මංසන්ධියේ සිට රාජගිරිය ගුවන් පාලම, ආයුර්වේද වටරවුම, ඩී.එස්.සේනානායක මංසන්ධිය, හෝර්ටන් වටරවුම, පුස්තකාල හන්දිය සහ ලිබර්ටි වටරවුම දක්වා මංතීරු නීතිය ක්‍රියාත්මක වනවා.

මීට අමතරව ගාලුපාරේ විලියම් මංසන්ධියේ සිට ඩික්මන් පාර මංසන්ධිය, බම්බලපිටිය, කොල්ලුපිටිය, ගාලුමුවදොර වටරවුම, එන්.එස්.ඒ. වටරවුම දක්වා වන මාර්ගයේ ද මංතීරු නීතිය ක්‍රියාත්මකයි.

මීට අමතරව අනුලා විද්‍යාලය ආසන්නයේ සිට හයිලෙවල් මාර්ගයේ, බේස්ලයින් මංසන්ධිය, පාර්ක් පාර මංසන්ධිය, තිඹිරිගස්යාය මංසන්ධිය, තුම්මුල්ල වටරවුම, ග්ලාස් හවුස් සහ පිත්තල හන්දිය දක්වා ද මංතීරු නීතිය ක්‍රියාත්මක වනවා.

++++++++++++

(15.09.2020 – 10:22 +0530)

මංතීරු නීතිය යටතේ හෙට (16) සිට බස් රථ, ත්‍රිරෝද රථ සහ යතුරුපැදි ධාවනය කළ යුතු වන්නේ බස් රථ සඳහා වෙන් කර ඇති මංතීරුවේ පමණක් බව පොලීසිය පවසනවා.

එසේම කොළඹ නගරයේ දැනට ක්‍රියාත්මක පෙරහුරු කාලසීමාවෙන් පසු මංතීරු නීතිය උල්ලංඝනය කරන රියදුරන්ට එරෙහිව රුපියල් දෙදහසක (2000) දඩයක් පැනවීමට පියවර ගන්නා බවයි බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලත් බරපතල ගැටළුවක් බවට පත්ව ඇති වාහන තදබදයට විසඳුමක් ලෙස මෙම මංතීරු නීතිය ඊයේ (14) සිට යළි ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගත්තා.

මාර්ග විනය පවත්වාගැනීමට රියදුරන් කටයුතු නොකිරීම මෙලෙස වාහන තදබදයක් ඇතිවීමට මූලික හේතුව ලෙසටයි හඳුනාගෙන ඇත්තේ.

ඒ අනුව කොළඹ නගරයේ වැඩි වශයෙන් රථවාහන තදබදයක් ඇතිවන මාර්ග හතරක් (4) කේන්ද්‍ර කරගනිමින් ඊයේ (14) සිට ආරම්භ කළ මංතීරු නීතියේ පෙරහුරුව අදත් (15) ක්‍රියාත්මක වුණා.

කෙසේ වෙතත් ඇතැම් මාර්ගවල මංතීරු නීතියට අවනත නොවී රියදුරන් රිය ධාවනය කළ බවයි පොලීසිය පැවසුවේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුලු නිලධාරීන් එලෙස මංතීරු නීතියට අවනත නොවන රියදුරන් දැනුවත් කිරීමට පියවර ගත්තා.

*********************************************

පුදිකුඩිඉරිප්පු ප්‍රදේශයේ සිදුකළ වැටලීමකින් කේරළ ගංජා සහ කහ තොගයක් සොයාගැනේ

(15.09.2020 – 09:02 +0530 – hirunews.lk/sinhala)

පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පුදිකුඩිඉරිප්පු – උයිලන්කුලම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 52 ක් සහ කහ කිලෝග්‍රෑම් 920 ක් සමඟින් සැකකරුවන් හතරදෙනෙකු (4) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් නීතිවිරෝධී ලෙස කහ සහ කේරළ ගංජා තොගය ප්‍රවාහනය කරමින් සිටියදියි ඊයේ (14) අත්අඩංගුවට ගෙන ඇත්තේ.

කහ සහ කේරළ ගංජා තොගයට අමතරව ඇමරිකානු ඩොලර් 100 නෝට්ටු පහක් (5), ශ්‍රී ලංකා මුදලින් රුපියල් 17,25,000 ක්ද සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත්වූවන් අතර, කාන්තාවන් දෙදෙනෙකු (2) ද සිටින බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

+++++++++++++++

ලග්ගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුලු අටදෙනෙකු සූදු ක්‍රීඩාවේ නිරතවෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය අද (15) අලුයම ලග්ගල – වැල්ලේවෙල ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදියි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරන පුද්ගලයෙකුද සිට ඇති අතර, ඔහු සතුව තිබූ හෙරොයින් ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් 120 ක් පොලිස් භාරයට ගනු ලැබුවා ෴

*********************************************

ලක්ෂ්මන් කිරිඇල්ල සහ රිෂාඩ් බදියුදීන් පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට

(15.09.2020 – 09:54 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල සහ රිෂාඩ් බදියුදීන් ප්‍රකාශ ලබාදීම සඳහා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට පැමිණ තිබෙනවා.

එහි සිටින අප වාර්තාකරු ප්‍රකාශ කළේ අද (15) පෙරවරු 09:30 ට පමණ ඔවුන් එම ඒකකයට පැමිණි බවයි.

අද (15) පළමුවරටයි හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මෙම ඒකකයට පැමිණ ඇත්තේ.

++++++++++++++++

පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැළකෙන සහරාන් හෂීම්ගේ කණ්ඩායමේ න්‍යායචාර්යවරයා ලෙස හැඳින්වූ නවුෆර් මවුලවිවරයා ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බැලෙන කොමිසමේ පොලිස් ඒකකය වෙත රැගෙන විත් තිබෙනවා.

දැනට ඔහු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවනවා ෴

++++++++++++++

*********************************************

බෝදාගම රක්ෂිතයේ අක්කර 40 ක් ඩෝසර් කරයි

(15.09.2020 – 13:34 +0530 – hirunews.lk/sinhala)

උඩවලව රක්ෂිතය ආසන්නයේ පිහිටි තණමල්විල – බෝදාගම රජයේ රක්ෂිතයට අයත් කොටසක අක්කර 40 ක පමණ භූමි ප්‍රමාණයක් කිසියම් පුද්ගලයෙකු විසින් ඩෝසර් කර ඇති බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බෝදාගම ප්‍රදේශයේ රක්ෂිතයේ කොටසක් මෙලෙස ඩෝසර් කර ඇති බවටයි වාර්තාවන්නේ.

පසුගිය සතියක කාලය තුළ අදාළ හෙළිපෙහෙළි කිරීම් සිදුකර ඇති බව සඳහන්.

අදාළ රක්ෂිත සීමාවේ අලි වැටක්ද ඉදිකර ඇති අතර, එයද ඉවත් කර ඇති බව ප්‍රදේශවාසීන් සඳහන් කළා.

මේ පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශය තණමල්විල අඩවි වන කාර්යාලයෙන් විමසීමක් කළා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මේ වනවිටත් අදාළ හෙළිපෙහෙළි කිරීම නතර කරන ලෙසට අදාළ පුද්ගලයාට දැනුම්දී ඇති බවයි.

*********************************************

පොලිස් නිලධාරියෙකු බව පවසමින් ජනතාවගේ මුදල් වංචා කළ අයෙකු අත්අඩංගුවට

(15.09.2020 – 13:46 +0530 – hirunews.lk/sinhala)

අත්අඩංගුවට ගන්නා ලද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් නීතිවිරෝධීව උපයාගන්නා ලද දේපළ සහ මුදල් රජය භාරයට ගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

නීතිපති දෙපාර්තමේන්තුව, පොලිසිය සහ අදාළ රාජ්‍ය ආයතනවල උසස් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (14) මෙම සාකච්ඡාව පවත්වා ඇත්තේ අරලියගහ මන්දිරයේදියි.

ඒ අනුව නීතිවිරෝධී ලෙස උපයා ගන්නා ලද මුදල්, රථවාහන, ඉඩම්, නිවාස සහ ගොඩනැගිලි යනාදිය තවදුරටත් නීතිවිරෝධී අරමුණු සඳහා යෙදවීම වැළැක්වීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී වැඩිදුරටත් සාකච්ඡා වී තිබෙනවා.

මීට අමතරව එම දේපළ මුල් අවස්ථාවේදීම රජය භාරයට ගැනීමටද කටයුතු කිරීම පිළිබඳව එම හමුවට එක්වූ නිලධාරීන් අග්‍රාමාත්‍යවරයාගේ අවධානයට යොමුකර ඇති බව සඳහන්.

ඒ අනුව අදාළ පනත් සංශෝධනයට ලක් කිරීම සහ දැනට තිබෙන ප්‍රතිපාදන ප්‍රකාරව කටයුතු කළ හැකි ආකාරය සම්බන්ධයෙන්ද එම නිලධාරීන් විසින් කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

එබැවින් පවතින ප්‍රතිපාදන මත වහාම කටයුතු කිරීමටත් අවශ්‍ය නීති සංශෝධනයට ලක් කිරීමත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (14) පැවති සාකච්ඡාවේදී තීරණය වූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පුදිකුඩිඉරිප්පු – උයිලන්කුලම ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 52 ක් සහ කහ කිලෝග්‍රෑම් 920 ක් සමඟින් සැකකරුවන් හතරදෙනෙකු (4) අත්අඩංගුවට ගනු ලැබුවා.

මොවුන් නීතිවිරෝධී ලෙස කහ සහ කේරළ ගංජා තොගය ප්‍රවාහනය කරමින් සිටියදී ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගනු ලැබූ කේරළ ගංජා සහ කහ තොගයේ වටිනාකම රුපියල් කෝටිය ඉක්මවන බව සඳහන්.

කහ සහ කේරළ ගංජා තොගයට අමතරව ඇමරිකානු ඩොලර් 100 නෝට්ටු පහක්, ශ්‍රී ලංකා මුදලින් රුපියල් 17,25,000 ක්ද සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට පත්වූවන් අතර, කාන්තාවන් දෙදෙනෙකු (2) ද සිටින බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ. මෙලෙස අත්අඩංගුවට ගත් ගංජා සහ කහ ඉන්දියාවේ සිට ගෙන එන්නට ඇති බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

එමෙන්ම ගාල්ල – තලාපිටිය ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් දෙකයි (2) මිලිග්‍රෑම් 110 ක් සමඟින් සැකකරුවෙකු ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

44 හැවිරිදි මෙම සැකකරු තලාපිටිය – ජම්බුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ලග්ගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුලු අටදෙනෙකු (8) අද (15) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සූදු ක්‍රීඩාවේ නිරතව සිටියදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

මීට අමතරව පයාගල – හල්කඳවිල ප්‍රදේශයේදී සූදු ක්‍රීඩාවේ නිරතව සිටි පිරිසක් වැටලීමට යාමේදී පොලීසිය සහ එහි සිටි පුද්ගලයින් අතර පොරබැදීමක් සිදුව තිබෙනවා.

එහිදී සුළු තුවාල ලැබූ පුද්ගලයින් තුන්දෙනෙකු (3) කළුතර – නාගොඩ රෝහලට ඇතුළත් කළ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර පොලිස් නිලධාරියෙකු බව පවසමින් ජනතාවගේ මුදල් වංචා කළ අයෙකු දෙහිවල ප්‍රදේශයේදී ඊයේ (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හෙරොයින් ග්‍රෑම් 1 යි මිලිග්‍රෑම් 400 ක් ද සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

එමෙන්ම යතුරුපැදියක්, අංක තහඩු දෙකක් (2), පොලිස් නිලධාරීන් භාවිත කරන ආරක්ෂක හිස්වැසුමට සමාන හිස්වැසුම් දෙකක් (2) ද ඔහු සතුව තිබී පොලීසිය සොයාගෙන තිබෙනවා.

දෙහිවල, ගල්කිස්ස, මහරගම, මොරටුව සහ හොරණ ඇතුලු ප්‍රදේශ ගණනාවකට ගොස් පුද්ගලයින් පරීක්ෂා කරන මුවාවෙන් මොහු මුදල් වංචා කර ඇති බවටයි දැනට සිදුකරන ලද පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.

++++++++++++++

ගාල්ල නගරය අවට මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමේ නිරතවූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගාල්ල කොට්ඨාස දූෂණ මර්දන අංශය ප්‍රදේශයේ ඊයේ (14) සිදුකළ විශේෂ වැටලීමකදී 45 හැවිරිදි ‘මොහොමඩ් නසීම්’ හෙවත් ‘බක බක’ නැමති අන්වර්ථ නාමයෙන් හඳුන්වන මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු කළක සිට රාත්‍රී කාලයේ වැලිගම ප්‍රදේශයේ සැඟව සිටිමින් දිවා කාලයේ ගාල්ල ප්‍රදේශයට පැමිණ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමේ නිරතවන බවයි පොලීසිය සඳහන් කළේ ෴

*********************************************

මෙරට සිදුකළ ඇති පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව දෙලක්ෂ පනස් දහස (2,50,000) ඉක්මවයි

(15.09.2020 – 13:58 +0530 – hirunews.lk/sinhala)

මෙරට සිදුකර ඇති පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 2,50,000 ඉක්මවා තිබෙනවා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ එලෙස ඊයේ (14) සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව 1,920 ක් බවයි.

මේ අතර නිරෝධායනය අවසන් කළ 11 දෙනෙකු අද (15) දිනයේ නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති අතර, පුද්ගලයින් 6,142 ක් තවදුරටත් නිරෝධායනයට ලක්වී සිටිනවා.

මේ වනවිට මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 3,262 ක් වන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 3005 ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

මේ අතර, අද (15) උදෑසනින් අවසන් වූ පැය 24 තුළ තවත් කොරෝනා ආසාදිතයන් 83,809 ක් වාර්තාවීමත් සමඟ ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 49,30,000 ඉක්මවා තිබෙනවා.

එමෙන්ම තවත් කොරෝනා මරණ 1,054 ක් වාර්තාවීමත් සමඟ ඉන්දියාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 80,000 ඉක්මවූවා.

ඇමරිකා එක්සත් ජනපදය හැරුණු කොට ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තාවන ඉන්දියාවේ 38,59,000 ක් සුවය ලබා ඇති අතර, දැනට ප්‍රතිකාර ලබන සංඛ්‍යාව දස ලක්ෂයකට (10,00,000) ආසන්නයි.

මහාරාෂ්ඨ ප්‍රාන්තය කොරෝනා වෛරසයෙන් වැඩිම පීඩාවට ලක්වූ ප්‍රාන්තය වන අතර, ආන්ද්‍ර ප්‍රදේශ්, තමිල්නාඩු, කර්නාටක සහ උත්තර් ප්‍රදෙශ් ප්‍රාන්තවලින්ද කොරෝනා ආසාදිතයන් සහ මරණ වැඩි වශයෙන් වාර්තාවනවා.

*********************************************

20 වන සංශෝධනය අධ්‍යයනයට පත්කළ කමිටුවේ වාර්තාව අගමැතිට

(15.09.2020 – 14:47 +0530 – hirunews.lk/sinhala)

විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන අධ්‍යයනයට පත් කළ කමිටුවේ වාර්තාව අද (15) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දුන්නා.

කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් මෙම කමිටුවේ සභාපතීත්වය දරනු ලැබුවේ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා. 20 වන සංශෝධනය සම්බන්ධයෙන් අලුතින් එක් කළ යුතු කරුණු සහ සංශෝධනය විය යුතු කරුණු පිළිබඳව අදාළ වාර්තාවේ සඳහන්.

*********************************************

තලතා අතුකෝරාළ ජනපති කොමිසම හමුවේ දුන් සාක්ෂිය

(15.09.2020 – 14:53 +0530 – hirunews.lk/sinhala)

2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ කැරැල්ලේදී රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධ යැයි පැවසීමට තමා කිසිදු පුද්ගලයෙකුට දැනුම් නොදුන් බව හිටපු අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය ප්‍රකාශ කළා.

ඇය ඒ බව සඳහන් කළේ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයන විශේෂ ජනාධිපති පරීක්ෂන කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින්.

*********************************************

මංගලට මැඬිල්ලේ හිමියන්ගෙන් පිළිතුරු

(15.09.2020 – 15:27 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බවට එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර නැවතත් කර තිබූ ප්‍රකාශය සම්බන්ධයෙන් සිංහලේ සංවිධානයේ මහලේකම් පූජ්‍ය මැඬිල්ලේ පඤ්ඤාලෝක හිමියන් අද (15) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අදහස් පළකළා.

++++++++++++++

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවන බවට එක්සත් ජාතික පක්ෂ මාතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර නැවතත් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මහා සංඝරත්නයෙන් විරෝධය පළ වුණා. (15.09.2020)

*********************************************

විදුලිය නොමැතිව අඳුරේම දිවිගෙවන රිදිමාලියද්ද ජනතාව

(15.09.2020 – 15:38 +0530 – hirunews.lk/sinhala)

ලෝකයම සංවර්ධනය වෙමින් තිබෙන පසුබිමක තවමත් විදුලිය නොමැතිව අඳුරේම දිවිගෙවන ගම්මානයක් පිළිබඳව අපට රිදිමාලියද්ද – කලුකැලේ ප්‍රදේශයෙන් වාර්තා වුණා.

අද (15) ‘රතු මිනිත්තුව’ දිගහැරෙන්නේ ඒ පිළිබඳවයි.

මේ රිදිමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ – දික්යාය ග්‍රාම සේවා වසමේ පිහිටි කලුකැලේ ගම්මානයයි.

ඉතා සුන්දර පරිසරයක පිහිටි මේ දුෂ්කර ගම්මානයේ පවුල් සියයකට ආසන්න ප්‍රමාණයක් ජීවත් වනවා.

භෝග වගාව, සත්ත්ව පාලනය, කෘෂි සහ හේන් ගොවිතැන සිය ජීවනෝපාය කරගත් මෙම ගම්වැසියන් විදුලිය මෙන්ම ගමනාගමන පහසුකම් නොමැතිව සිය ජීවිකාව ගෙන යන්නේ දුෂ්කරතා රැසක් මධ්‍යයේයි.

ගම්මානයට අමුත්තෙක් පැමිණි බව පැවසීමට මෙම ගම්වැසියන් තවමත් පැරණි සන්නිවේදන ක්‍රම භාවිතා කරනවා.

තොරතුරු දැන ගැනීමේ අයිතිය පවා අහිමි වූ මේ ගම්වැසියන්ගේ දරුවන් සිය අධ්‍යාපන කටයුතුවල නිරත වන්නේ කුප්පි ලාම්පු එළියෙන් ලැබෙන ආලෝකයෙන්.

විදුලිය බලය ලබාගැනීමට අවශ්‍ය සියලු කටයුතු නිම කර මෙම ගම්වැසියන් තවමත් බලා සිටින්නේ තම ගම්මානයට කවදා හෝ විදුලිබලය ලැබේවී යන බලාපොරොත්තුවෙන්.

කලුකැලේ ගම්වැසියන් චෝදනා කරන්නේ වසර 15 ක සිට බලධාරීන් කොතෙක් දැනුවත් කළ ද මෙතෙක් එයට ප්‍රතිචාර ලැබී නොමැති බවයි.

බලධාරීන් මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගන්නා තෙක් ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

*********************************************

වැලිමඩ හරිතාගාර ආශ්‍රිත මයිටා උවදුර

(15.09.2020 – 15:42 +0530 – hirunews.lk/sinhala)

මයිටා උවදුරක් හේතුවෙන් වැලිමඩ ප්‍රදේශයේ හරිතාගාර ආශ්‍රිතව වගා කටයුතු සිදුකරන ගොවීන් දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිනවා.

ගොවීන් පවසන්නේ මේ හේතුවෙන් හරිතාගාර වගාව සම්පූර්ණයෙන් විනාශවීමේ අවදානමක්ද මතුව ඇති බවයි.

සුපිරි වෙළද සැල් හා සංචාරක හෝටල් ඉලක්ක කරගෙන හරිතාගාර තුල වගාවන් සිදු කරමින් තම දිවි සරිකර ගන්නට වැලිමඩ, ඌව පරණගම, බණ්ඩාරවෙල, නුවරඑළිය ආදී ප්‍රදේශවල ගොවි පවුල් සිය ගණනක් කටයුතු කරමින් සිටිනවා.

පිපිඤ්ඤා, තක්කාලි, බෙල් පේපර් වර්ග හා මාළු මිරිස් ආදී වගාවන් ඒ අතරින් ප්‍රමුඛස්ථානයක් ගන්නවා.

පසුගිය මාස කිහිපය පුරා හරිතාගාර තුල වගාකළ තම අස්වනු නෙලීම ගොවීන් මේ දිනවල සිදු කෙරෙනවා.

නමුත් ගොවීන් දැඩි අපහසුතාවකට පත්ව සිටින්නේ සිය හරිතාගාර වගාවන් මයිටා උවදුරකට ලක්ව වගාව සම්පූර්ණයෙන් ම විනාශ වී යාමේ අවධානමක් මතුව තිබීම හේතුවෙන්.

*********************************************

නිදා සිටි තම පෙම්වතියට පෙට්‍රල් දමා ගිනි තැබූ පෙම්වතා

(15.09.2020 – 15:48 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ල – අලපලාගොඩ – නිල්යාලේගම ප්‍රදේශයේ නිවසක නිදාගෙන සිටි තරුණියකට අද (15) අලුයම පෙට්‍රල් දමා ගිනි තබා ඇති අතර බරපතළ තුවාල ලැබූ එම තරුණිය ප්‍රතිකාර සඳහා කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස පෙට්‍රල් දමා ගිනි තබා ඇත්තේ ඇයගේ ‘පෙම්වතා’ බවටයි පොලිසිය දැනට සැක පළ කරන්නේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *