සාමාන්‍ය පෙළ සහ උසස් පෙළින් පසු පාසල් හැර යන්නන්ට විධිමත් අධ්‍යාපනයක් සමග උපාධියක් !

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළින් පසු පාසල් හැර යන්නන්ට විධිමත් අධ්‍යාපනයක් සමග උපාධියක් !

‘ටයිල් චමින්ද’ රිමාන්ඩ්

‘කලුපේ අමිත්’ගේ ගිනි අවි සහ ආයුධ කුරුඳු ඉඩමකින් සොයාගනී

හිටපු ඇමති බැසිල් ගැන පොදුජන පෙරමුණෙන් නිවේදනයක්

නාලක ද සිල්වාගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි

පොලිසියට කොටුවූ දකුණේ බැටරි හොරා

20 ගැන සෙවූ කමිටුවේ වාර්තාව හෙට (16) කැබිනට් මණ්ඩලයට

ශ්‍රී ලංකාව ලොව ප්‍රධාන නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැකියි – ජනපති

රිෂාඩ් අදත් (15) පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට

ත්‍රීවිල්, යතුරු පැදි සමග එක්ව ගමන් කරන්න පෞද්ගලික බස් රථ කැමති නෑ

මධ්‍යම අධිවේගයේ කඩවත – මීරිගම කොටසේ ඉදිකිරීම් ඇරඹේ

වැනසෙන පොලොන්නරුවේ මහ වනය ගැන තර්ජන මැද කළ CIA අනාවරණය

මාර්ග කිලෝමීටර් ලක්ෂයේ ඉදිකිරීම් 2024 දි අවසන් – ජනපතිගෙන් නිලධාරීන්ට ඉලක්කයක්

සමාව නොගන්නා බව විග්නේෂ්වරන් කියයි

අරුවක්කාලු කසල අංගනයේ කටයුතු 2021 දී අවසන්

ඊශ්‍රායලයේ රැකියා බලාපොරොත්තුවෙන් ඉන්න ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට වැදගත් නිවේදනයක්

මහනුවර දී පැහැර ගත් පාසැල් සිසුවිය සොයා ගනී

*********************************************

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළින් පසු පාසල් හැර යන්නන්ට විධිමත් අධ්‍යාපනයක් සමග උපාධියක් !

(15.09.2020 – 18:22 +0530 – hirunews.lk/sinhala)

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අවසන් කොට ඇඟළුම් ආශ්‍රිත අධ්‍යාපන ආයතනවලින් පාඨමාලා හදාරන සිසුන්ට දේශීය උපාධි ආයතන සමග එක්ව පිළිගැනීමක් ඇති උපාධියක් ලබාදීමට කටයුතු කරන ලෙස කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (15) පැවති සාකච්ජාවකදී අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ශ්‍රී ලංකා ඇගළුම් පර්යේෂණ ආයතනය, පේෂකර්ම දෙපාර්තමේන්තුව සහ ලංකා සළුසල යන ආයතනවල ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් පැවති සාකච්ජාවකදී ඇමතිවරයා මෙසේ සදහන් කළා.

ශ්‍රී ලංකා ඇගළුම් පර්යේෂණ ආයතනය මේ වනවිට පාඨමාලා වර්ග 90 ක් ක්‍රියාත්මක කරන අතර වසරකට ශිෂ්‍යයන් 6,000 කට අධික ප්‍රමාණයක් එයින් වෘත්තීය පුහුණුව ලබා ගනිමින් සිටින අතර විශේෂයෙන්ම පාසල් හැර යන ශිෂ්‍යයන් මෙවැනි පාඨමාලා සදහා වැඩියෙන් නැඹුරු කර ගනිමින් ඔවුන්ට වෘත්තීය අධ්‍යාපනයක් ලබාදීමේ වැදගත්කම මෙහිදී ඇමතිවරයා විසින් පැහැදිලි කර තිබෙනවා.

ඒ සදහා පාසල් මට්ටමින් දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ද අමාත්‍යවරයා අදාළ අංශ වෙත උපදෙස් ලබා දුන්නා.

ඉදිරියේදී බංග්ලාදේශය, නේපාලය සහ ඉතියෝපියාව වැනි රටවල ශිෂ්‍යයන් ද ලංකාවට පැමිණ මෙම පුහුණු පාඨමාලා හැදෑරීමට සුදානමින් සිටින අතර දෙස් විදෙස් ශිෂ්‍යයන් හදාරන එම පාඨමාලාවල ගුණාත්මකභාවය වැඩිකොට උපාධි මට්ටම දක්වා වැඩි දියුණු කිරීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරුනා.

පේෂකර්ම දෙපාර්තමේන්තුව යටතේ නව අත් යන්ත්‍ර පුහුණු පාසල් ඇතිකිරීමට සහ පේෂකර්ම ගම්මාන සංකල්පය නැවත නගා සිටුවීමට අවශ්‍ය පසුබිම සකසන ලෙස ද අමාත්‍යවරයා පේෂකර්ම නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මෙම අවස්ථාවට බතික් අත්යන්ත්‍ර රෙදිපිළි රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනේත්‍රා ගුණවර්ධන, සළුසල සභාපති ප්‍රදීප් ගුණවර්ධන, පේෂකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් , කර්මාන්ත අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි ඇතුළු නිලධාරිහු පිරිසක් සහභාගී වුනා.

*********************************************

‘ටයිල් චමින්ද’ රිමාන්ඩ්

(15.09.2020 – 15:50 +0530 – hirunews.lk/sinhala)

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරින් සමග එක්ව හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කළ ‘චමින්ද දයා ප්‍රියංක මල්ලවආරච්චි’ හෙවත් ‘ටයිල් චමින්ද’ ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ සැකකරු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා හමුවට අද (15) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අධිකරණ නියෝග මත දින 90 ක් ‘ටයිල් චමින්ද’ මිනුවන්ගොඩ පොලීසියේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි අද (15) මෙලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කළේ.

හෙරොයින් ග්‍රෑම් 5 ක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ අතර, පසුව ඔහු හෙරොයින් ජාවාරම් කිරීම සඳහා උපයෝගි කරගෙන තිබූ වාහන 6 ක් ද පොලිස් භාරයට ගැණුනා.

එම වාහන පසුගියදා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් පරීක්ෂාවකට ද ලක් කළා.

අද (15) අධිකරණයට කරුණු වාර්තා කරමින් පොලීසිය කියා සිටියේ 2018 ජුනි මස 20 වනදා සිට මේ වසරේ ජුනි මස 15 වනදා දක්වා කාලය ඇතුළත ‘ටයිල් චමින්ද’ගේ බැංකු ගිණුමට රුපියල් 3,725,000 ක මුදලක් බැරවී ඇති බවයි.

එම මුදල් සංසරණය වූ ආකාරය සම්බන්ධයෙන් සිදුකරන පරික්ෂණ අවසන් නොමැති බවත්, පොලීසිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළා ෴

*********************************************

‘කලුපේ අමිත්’ගේ ගිනි අවි සහ ආයුධ කුරුඳු ඉඩමකින් සොයාගනී

(15.09.2020 – 17:33 +0530 – hirunews.lk/sinhala)

දැනට ගාල්ල බන්ධනාගාරයේ රදවා සිටින ‘ලද්දුව අමිත් සංජීව’ හෙවත් ‘කලුපේ අමිත්’ නැමැත්තාට අයත් ඔස්ටි‍්‍රයාවේ නිෂ්පාදිත ‘බ්ලොක් සෙවන්ටීන්’ වර්ගයේ නවීන ගිනි අවියක් ඇතුලු ගිනි අවි තුනක් (3) සහ ආයුධ කිහිපයක් මිටියාගොඩ කලුපේ ප්‍රදේශයේ කුරුඳුවත්තක වල දමා තිබියදී පොලිස් විශේෂ කාර්ය බලකාය අද (15) සොයාගත්තා.

ජීව අත්බෝම්බ දෙකක් (2), මැගසිනයක්, මිලිමිටර 09 වර්ගයේ උණ්ඩ 10 ක් ද ඊට ඇතුලත්.

එසේම, ගාල්ල කොට්ඨාස දූෂණ මර්දන අංශය ප්‍රදේශයේ ඊයේ (14) සිදුකළ විශේෂ වැටලීමකදී 45 හැවිරිදි ‘මොහොමඩ් නසීම්’ හෙවත් ‘බක බක’ නැමති අන්වර්ථ නාමයෙන් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගත්තා.

සැකකරු කළක සිට රාත්‍රී කාලයේ වැලිගම ප්‍රදේශයේ සැඟව සිටිමින් දිවා කාලයේ ගාල්ල ප්‍රදේශයට පැමිණ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරමේ නිරතවන බවයි පොලීසිය සඳහන් කළේ.

එමෙන්ම, ගාල්ල සුරාබදු එකකය ගාල්ල අවට සිදුකල මෙහෙයුමකදි අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 800 ක් සහ මදන මෝදක ගුලි 35 ක් සමග සැකකරුවන් 15 ක් අද (15) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් තනිපොල්ගහ, කරාපිටිය, හිරිඹුර, ඩික්සන් පාර යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

මේ අතර, වත්තේගම මඩවල ප්‍රදේශයේදි හෙරොයින් ග්‍රෑම් 22 යි මිලිග්‍රෑම් 500 ක් සමග කටුගස්තොට සහ උඩතලවින්න ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකු (2) ඊයේ (14) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකා නිලධාරින්ට ලද තොරතුරක් මත කින්නියා කට්ටයාර මාර්ගයේදි වැටලීමක් සිදුකර හෙරොයින් ග්‍රෑම් 03 යි මිලිග්‍රෑම් 760 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (14) රාත්‍රී අත්අඩංගුවට ගත් 35 හැවිරිදි සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බවයි පොලිස් මුලස්ථානය සදහන් කලේ.

එමෙන්ම, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරින්ට ලද තොරතුරක් මත අද අළුයම කැළණිතිස්සගම ප්‍රදේශයේදි සිදුකල වැටලීමකදි හෙරොයින් ග්‍රෑම් 05 ක් හා රුපියල් 1,36,040 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

38 හැවිරිදි සැකකරු එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.

පාවහන් යුගලයේ දුම්කොල සගවාගෙන මීගමුව හා කොළඹ රිමාන්ඞ් බන්ධනාගාර වල රදවා ඇති රැඳවියන් බැලීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු (2) ද, බන්ධනාගාර නිලධාරින් අද (15) අත්අඩංගුවට ගත්තා.

++++++++++++++

++++++++++++++

+++++++++++++++

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ‘සුමීර මධුසංක’ හෙවත් ‘සුමීර’ කොටහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු සතුව තිබී හෙරොයින් මත්කුඩුද ඊයේ (14) පොලිස් භාරයට ගෙන ඇති අතර, මොහු ‘ආමි සම්පත්’ නැමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ ගෝලයෙකු බව සඳහන් ෴

++++++++++++++

*********************************************

හිටපු ඇමති බැසිල් ගැන පොදුජන පෙරමුණෙන් නිවේදනයක්

(15.09.2020 – 17:45 +0530 – hirunews.lk/sinhala)

පළාත් සභා අහෝසි කරන්නේ නම්, පළාත් සභාවල ඇති බලය පළාත් පාලන ආයතනවලට ලබාදෙන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිවේදනය කරනවා.

ඒ එවැනි ප්‍රකාශයක් සිදුකළ බවට වූ පුවතක් පුවත්පතක පළවී ඇති බව සඳහන් කරමින්.

එහි සඳහන් පරිදි සැප්තැම්බර් 11 වනදා පක්ෂයේ නියෝජිතයන් කොළඹට කැඳවා පැවැත්වූ සාකච්ඡාවන්හිදී එවැනි කිසිදු ප්‍රකාශයක් ඔහු සිදුනොකළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා නිකුත් කළ අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

*********************************************

නාලක ද සිල්වාගේ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි

(15.09.2020 – 17:51 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමා අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධී බවට නිගමනය කරන ලෙස ඉල්ලා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු අධ්‍යක්ෂ වැඩ තහනමට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම නිෂ්ප්‍රභ කර තිබෙනවා.

ඒ ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ යසන්ත කෝදාගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අදාළ පෙත්සම අද (15) කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී පෙත්සම්කාර පාර්ශවය කරුණු දක්වමින් කියා සිටියේ නාලක ද සිල්වා සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න ද අල්විස්ගෙන් ඉවත් කරන ලෙසයි.

එමෙන්ම, තමන්ට වැටුපෙන් අඩක් හෝ ගෙවන ලෙස කරන ලද ඉල්ලීම ද සලකා බලන ලෙස ඉල්ලා සිටි පෙත්සම්කාර පාර්ශවය ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නේ නම් තම සේවාදායකයා ගොනුකළ පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බව ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සඳහන් කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියේ නාලක සිල්වා සම්බන්ධයෙන් වන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සමග සාකච්ඡා කර ඉදිරි පියවර ගන්නා බවයි.

එමෙන්ම, පෙත්සම්කාර පාර්ශවයට වැටුපෙන් අඩක් ගෙවීමේ නියෝගය සම්බන්ධයෙන් මේ වනවිට ජාතික පොලිස් කොමිසම දැනුවත් කර ඇති බව ද ඔහු කරුණු දක්වමින් ප්‍රකාශ කළා.

එම කරුණු දැක්වීමෙන් අනතුරුව පෙත්සම්කාර පාර්ශවය ප්‍රකාශ කර සිටියේ තමන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බවයි.

ඒ අනුව අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කරන බව ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කළා.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ආරක්ෂක ලේකම් සහ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙන්ම එවකට සහකාර පොලිස් අධිකාරිවරයෙකු වූ ප්‍රසන්න ද අල්විස් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම යන චෝදනා යටතේ වැඩතහනමට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අත්අඩංගුවට ගෙන, මේ වනවිට ඇප මත මුදා හැර සිටිනවා.

මේ අතර, වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා පැවති උද්ඝෝෂණයකදී පොලීසිය සිදුකළ කඳුළු ගෑස් ප්‍රහාරයකින් සිය දෑස අන්ධවූ බවට සඳහන් කරමින් ආබාධිත හමුදා සාමාජිකයින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන වසරේ මැයි 4 වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළා ෴

*********************************************

පොලිසියට කොටුවූ දකුණේ බැටරි හොරා

(15.09.2020 – 18:52 +0530 – hirunews.lk/sinhala)

දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයක රථවාහනවල බැටරි සොරකම් කළ පුද්ගලයෙකු මාලිම්බඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුගෙන් ලද තොරතුරු අනුව ඔහු විසින් සොරකම් කරන ලද බැටරි සඟවා තබන ලද මොරවක නිවසේ තිබී බැටරි 12 ක්, විවිධ වාහන සඳහා උපයෝගී කරගත හැකි ව්‍යාජ අංක තහඩු රැසක් සොයා ගැනීමට හැකිවී ඇති බවයි වාර්තාවන්නේ.

*********************************************

20 ගැන සෙවූ කමිටුවේ වාර්තාව හෙට (16) කැබිනට් මණ්ඩලයට

(15.09.2020 – 19:54 +0530 – hirunews.lk/sinhala)

විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන අධ්‍යයනයට පත් කළ කමිටුවේ වාර්තාව අද (15) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත භාර දුන්නා.

කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සැදුම්ලත් මෙම කමිටුවේ සභාපතීත්වය දරනු ලැබුවේ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා. 20 වන සංශෝධනය සම්බන්ධයෙන් අලුතින් එක් කළ යුතු කරුණු සහ සංශෝධනය විය යුතු කරුණු පිළිබඳව අදාළ වාර්තාවේ සඳහන්.

මේ අතර, එම කමිටුවේ සාමාජිකයෙකු වන අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ මෙම වාර්තාව මගින් ඉදිරිපත් කළ කරුණු අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර අනුමත කර ගන්නා තෙක් සංශෝධනයට ලක්වූ කරුණු පිළිබඳව සඳහන් කළ නොහැකි බවයි.

ආරංචි මාර්ග ප්‍රකාශ කළේ අදාළ වාර්තාව හෙට (16) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරෙනු ඇති බවයි.

මේ අතර, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ද යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළා.

එහි දැක්වෙන්නේ රජය කෙරෙහි ජනතාව තැබූ දැවැන්ත විශ්වාසය පලුදු නොවන පරිදි මෙන්ම, විපක්ෂයට අවි සැපයීමක් සිදුනොවන පරිදි යෝජිත 20 වන සංශෝධනය සම්පාදනය කළ යුතු බවයි.

එහිදී 1978 න් පසු දිනා ගත් ජයග්‍රහණය සුරකිමින් කටයුතු කළ යුතු බව සඳහන් කරන එම පක්ෂය ජනාධිපතිවරයාට ආරක්ෂක අමාත්‍යාංශය හෝ වෙනත් අමාත්‍යාංශයක් පවරා ගැනීමට බලය ලබාදීම අවශ්‍යම කරුණක් ලෙස දක්වා තිබෙනවා.

++++++++++++++

+++++++++++++

++++++++++++++

*********************************************

ශ්‍රී ලංකාව ලොව ප්‍රධාන නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැකියි – ජනපති

(15.09.2020 – 19:57 +0530 – hirunews.lk/sinhala)

පිහිටීම ප්‍රයෝජනයට ගෙන ශ්‍රී ලංකාව ලොව ප්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ඒ ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් සහ බෝට්ටු සහ නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (15) පැවති සාකච්ඡාවකදීයි.

ලොව දියුණුතම වරාය, ආදර්ශයට ගෙන මෙරට වරාය පහසුකම් සංවර්ධනය කළ යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ.

රට ආසන්නයෙන් යාත්‍රා කරන ජාත්‍යන්තර නෞකා වලට සේවා සැපයිය හැකි පරිදි කොළඹ, ගාල්ල, ත්‍රිකුණාමලය, කන්කසන්තුරේ සහ ඔලුවිල් වරාය සංවර්ධනය කළ යුතු බව ද ජනාධිපතිවරයා කියා සිටියා.

++++++++++++++

*********************************************

රිෂාඩ් අදත් (15) පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට

(15.09.2020 – 19:58 +0530 – hirunews.lk/sinhala)

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින ‘සහරාන් හෂීම්’ගේ කණ්ඩායමේ න්‍යායාචාර්යවරයා වන ‘නවුෆර් මවුලවි’ ගෙන් පාස්කු ප්‍රහාරය ගැන සොයන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකය අද (15) පැය 6 හමාරකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තා.

අද (15) පෙරවරු 09:30 ට පමණයි ඔහු කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය වෙත රැගෙන ආවේ.

එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රිෂාඩ් බදියුදීන් සහ ලක්ෂ්මන් කිරිඇල්ල අදත් (15) ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකය හමුවේ ප්‍රකාශ ලබාදුන්නා.

පෙරවරු 09:30 ට පමණ ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා පළමු වරට කොමිසමේ පොලිස් ඒකකයට පැමිණි අතර, පැයකට ආසන්න කාලයක් අදාළ ප්‍රකාශ ලබා දි පිටව ගිය බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

පෙරවරු 09:30 කොමිසමේ පොලිස් ඒකකය වෙත පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ද පැය 7 කට ආසන්න කාලයක් ප්‍රකාශය ලබා දිමෙන් පසු පිටව ගියා.

මේ අතර පාස්කු ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ මෙරට ජාතික බුද්ධි ප්‍රධානියා ලෙස තමන් කටයුතු කළද, ඒ වන විට රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂකව සිටි නිලන්ත ජයවර්ධන කිසිදු අවස්ථාවක තමන්ගෙන් උපදෙස් නොගත් බව හිටපු ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් ප්‍රකාශ කළා.

ඒ ජනාධිපති කොමිසම හමුවේ පස්වන (5) දිනටත් සාක්ෂි දෙමින්.

ඔහු වැඩිදුරටත් පැවසුවේ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා වෘත්තිමය ගනුදෙනු සිදුකළේ තමන් සමඟ නොව ආරක්ෂක ලේකම්වරයා සමඟ බවයි.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන අද 23 වන දිනටත් සාක්ෂි ලබාදීම සිදු කළා.

+++++++++++++++++

*********************************************

ත්‍රීවිල්, යතුරු පැදි සමග එක්ව ගමන් කරන්න පෞද්ගලික බස් රථ කැමති නෑ

(15.09.2020 – 19:59 +0530 – hirunews.lk/sinhala)

ත්‍රිරෝද රථ සහ යතුරුපැදි, බස් මංතීරුවට ඇතුළු කිරීමට කටයුතු කළහොත් බස් ප්‍රමුඛතා මංතීරු ක්‍රමයෙන් ඉවත් වීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, පොලීසිය පැවසුවේ මංතීරු නීතිය යටතේ හෙට (16) සිට බස් රථ, ත්‍රිරෝද රථ සහ යතුරුපැදි ධාවනය කළ යුතු වන්නේ බස් රථ සඳහා වෙන් කර ඇති මංතීරුවේ පමණක් බවයි.

එසේම කොළඹ නගරයේ දැනට ක්‍රියාත්මක පෙරහුරු කාලසීමාවෙන් පසු මංතීරු නීතිය උල්ලංඝනය කරන රියදුරන්ට එරෙහිව රුපියල් දෙදහසක (2000) දඩයක් පැනවීමට පියවර ගන්නා බව ද, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා කියා සිටියා.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලත් බරපතල ගැටළුවක් බවට පත්ව ඇති වාහන තදබදයට විසඳුමක් ලෙස මෙම මංතීරු නීතිය ඊයේ (14) සිට යළි ක්‍රියාත්මක කිරීමට පොලීසිය පියවර ගත්තා.

මාර්ග විනය පවත්වාගැනීමට රියදුරන් කටයුතු නොකිරීම මෙලෙස වාහන තදබදයක් ඇතිවීමට මූලික හේතුව ලෙසටයි හඳුනාගෙන ඇත්තේ.

ඒ අනුව කොළඹ නගරයේ වැඩි වශයෙන් රථවාහන තදබදයක් ඇතිවන මාර්ග හතරක් (4) කේන්ද්‍ර කරගනිමින් ඊයේ (14) සිට ආරම්භ කළ මංතීරු නීතියේ පෙරහුරුව අදත් (15) ක්‍රියාත්මක වුණා.

කෙසේ වෙතත් ඇතැම් මාර්ගවල මංතීරු නීතියට අවනත නොවී රියදුරන් රිය ධාවනය කළ බවයි පොලීසිය පැවසුවේ.

මංතීරු නීතිය පිළිබඳව දැනුවත් කෙරෙන පුවරු මාර්ගයේ ප්‍රදර්ශනය කල පොලිස් කාන්තාවන් එම රාජකාරියෙන් ඉවත් කර වෙනත් රාජකාරියක් සඳහා යොදවන ලෙස බස්නාහිර පළාත හා රථවාහන භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගෙන් පොලිස් රථවාහන අධ්‍යක්ෂකවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

*********************************************

මධ්‍යම අධිවේගයේ කඩවත – මීරිගම කොටසේ ඉදිකිරීම් ඇරඹේ

(15.09.2020 – 20:03 +0530 – hirunews.lk/sinhala)

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ ඉදිකිරීම් කටයුතු අද (15) නිල වශයෙන් ආරම්භ කළ බව මෙරට චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළා.

මේ හරහා ඍජු සහ වක්‍ර රැකියා 1500 ක් පමණ නිර්මාණය වන බවයි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කළේ.

චීනයේ එම්.සී.සී. සමාගම මෙහි ඉදිකිරීම් භාරව කටයුතු කරනවා.

චීන එක්සිම් බැංකුවේ ණය ආධාර යටතේ මෙහි ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙන අතර, ඊට වැය කෙරෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 989 ක් ෴

*********************************************

වැනසෙන පොලොන්නරුවේ මහ වනය ගැන තර්ජන මැද කළ CIA අනාවරණය

(15.09.2020 – 21:36 +0530 – hirunews.lk/sinhala)

මහවැලි අධිකාරිය මගින් වනාන්තර ඉඩමකින් අක්කර 100 ක් බඩ ඉරිගු වගාවක් සදහා මහා පරිමාන සහල් මෝල් හිමියෙකුට ලබාදීම හරහා පොලොන්නරුව, වැලිකන්ද ප්‍රදේශයේ විශාල පරිසර විනාශයක් සිදුවෙමින් පවතිනවා.

පොලොන්නරුව කලාපය භාර වන ජීවී සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.චන්ද්‍රරත්න මහතා ප්‍රකාශ කලේ සෝමාවතීය, ත්‍රිකෝණ මඩු රක්ෂිතවලින් මාදුරු ඔය දක්වා වන අලින් ගමන් ගන්නා මාර්ගයක්ද මෙම භූමිය ඔස්සේ වැටී ඇති බවයි.

*********************************************

මාර්ග කිලෝමීටර් ලක්ෂයේ ඉදිකිරීම් 2024 දි අවසන් – ජනපතිගෙන් නිලධාරීන්ට ඉලක්කයක්

(15.09.2020 – 21:57 +0530 – hirunews.lk/sinhala)

ග්‍රාමීය මාර්ග කිලෝ මීටර් ලක්ෂයේ ඉදිකිරීම් 2024 දී අවසන් කර ප්‍රධාන මාර්ග පද්ධතිය හා සම්බන්ධ කිරීමේ වගකීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිලධාරීන්ට පවරා තිබෙනවා.

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

සුවපහසුවෙන්, ඉක්මනින් හා ආරක්ෂාකාරීව තම ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගැනීම සෑම පුරවැසියකුම සතු අයිතියක් බවත් ප්‍රවාහන පද්ධතියේ පසුගාමීත්වය සහ බිඳුණු අන්තර් සම්බන්ධතාව පිටුදැක කාර්යක්ෂම සහ ඉහළ ප්‍රමිතියෙන් යුත් මාර්ග පද්ධතියක් ජනතාවට දීම ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සහතික කර ඇති බවත් එහිදී ජනපතිවරයා පෙන්වා දී තිබෙනවා.

මේ අතර රට පුරා ග්‍රාමීය සහ අතුරු මාර්ග කිලෝමීටර් ලක්ෂයේ ඉදිකිරීම් පරිසරය රැකෙන පරිදි සිදු විය යුතු බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

+++++++++++

*********************************************

සමාව නොගන්නා බව විග්නේෂ්වරන් කියයි

(16.09.2020 – 07:03 +0530 – hirunews.lk/sinhala)

උතුරු පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයෙකු වූ පී.ඩෙනීස්වරන්, එම පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්ට එරෙහිව අභියාචනාධිකරණයේ පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ඊයේ (15) ආරම්භ වුණා.

සී.වී. විග්නේෂ්වරන්

ඒ, මහින්ද සමයවර්ධන සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයී. නඩු විභාගයට පෙර මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින උතුරු පළාත් සභාවේ හිටපු ඇමතිවරියක වන ආනන්දි ශෂිදරන්ට චෝදනා පත්‍රය දෙමළ භාෂාවෙන් කියවා දුන් අතර, එකී චෝදනාවන්ට තමන් නිවැරදිකාරිය බව ඇය ප්‍රකාශ කළා.

ඉන් අනතුරුව පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස නම් කර ඇති උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන ලේකම් අන්තෝනිපිල්ලේ පතිනාදන් සහ උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පරිපාලන නිලධාරී ශිවලිංගම් සත්‍යශ්‍රී අධිකරණය හමුවේ සාක්ෂි ලබාදුන්නා.

මෙහිදී පැමිණිලිකාර පාර්ශවය අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් කොන්දේසි දෙකකට (2) යටත් වන්නේ නම් පැමිණිල්ල ඉවත් කර ගැනීමට සූදානම් බවයි.

පී.ඩෙනීස්වරන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සිය සේවාදායකයා වැරදි ලෙස අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් වගඋත්තරකාර පාර්ශවය සමාව ගත යුතු බවයි.

එමෙන්ම, තම සේවාදායකයා අමාත්‍ය ධූරයේ පිහිටුවන ලෙසට 2018 වර්ෂයේ පෙබරවාරි මාසයේදී ලබාදෙන ලද නියෝගයට එරෙහිව වගඋත්තරකාර පාර්ශවය ගොනුකර ඇති අභියාචනා පෙත්සමද ඉල්ලා අස්කර ගන්නේ නම් ඊට අදාළව ගොනුකර ඇති පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට සූදානම් බවයි.

එකී කිසිදු එකඟතාවයකට තමන් සූදානම් නොමැති බව වගඋත්තරකාර සී.වී.විග්නේෂ්වරන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ප්‍රකාශ කිරීමත් සමඟ නඩුවේ වැඩිදුර විභාගය අද දිනය දක්වා කල් තැබුවා.

*********************************************

අරුවක්කාලු කසල අංගනයේ කටයුතු 2021 දී අවසන්

(16.09.2020 – 08:28 +0530 – hirunews.lk/sinhala)

අරුවක්කාලු සනීපාරක්ෂක කසල රදවනයේ වැඩ කටයුතු 2021 වසරේ සැප්තැම්බර් මාසයේදී අවසන් කිරීමට කොළඹ අගනගර ආශ්‍රිත ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘතිය බලාපොරොත්තු වන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසනවා.

දිනකට කසල ටොන් 1200 ක් අරුවක්කාලු විද්‍යාත්මක සනීපාරක්ෂක කසල රදවනයෙහි තැන්පත් කර එමගින් බලශක්තිය සදහා ස්වභාවික වායුව සහ වගා කිරීම සදහා ජලය අතුරු ඵල වශයෙන් ලබා ගැනීමට අපේක්ෂිතයි.

කැළණියේ සිට විශේෂ ආරක්ෂිත දුම්රියකින් කිලෝමීටර් 160 ක් දුරින් පිහිටි අරුවක්කාලු වෙත කසල රැගෙන යන අතර, කැළණියට මෙම කැලිකසල කොළඹ මහනගර සභාව පළාත් පාලන ආයතනවලින් වර්ගීකරණයට ලක් කිරීමෙන් අනතුරුව ලබාදෙනු ඇති ෴

*********************************************

ඊශ්‍රායලයේ රැකියා බලාපොරොත්තුවෙන් ඉන්න ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට වැදගත් නිවේදනයක්

(15.09.2020 – 15:40 +0530 – sinhala.adaderana.lk)

මින් ඉදිරියට ඊශ්‍රායලයට ශ්‍රමිකයින් යැවීම සිදු කරන්නේ රජයෙන් පමණක් බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ඊශ්‍රායල රජය සහ ශ්‍රී ලංකා රජය ඇති කරගත් රාජ්‍යතාන්ත්‍රික ගිවිසුමකට අනුව මෙය සිදුකරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

ඊශ්‍රායලයේ ගෘහස්ථ සාස්තු සේවා සහ කෘෂිකර්ම අංශයේ රැකියා සඳහා ශ්‍රී ලංකාවෙන් පසුගිය කාලයේ පෞද්ගලික අංශය මගින් යවනු ලැබූ ශ්‍රී ලංකිකයන් ගෙන් මෙරට රැකියා ඒජන්සිකරුවන් විශාල මුදලක් අයකිරීම පිළිබඳව තොරතුරු ලැබී තිබුණි.

ඒ හේතුව මත ඊශ්‍රායල රජය මෙරට රැකියා ඒජන්සිකරුවන් මඟින් එරටට ශ්‍රමිකයන් ගෙන්වා ගැනීම අත්හිටුවා ඇත.

මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ, එම ගිවිසුම නිසා මින් ඉදිරියට කිසිදු පෞද්ගලික ආයතනයකට ඊශ්‍රායලයට ශ්‍රී ලංකීක ශ්‍රමිකයින් යැවීමට අවස්ථාවක් හිමි නොවන බවය.

එම නිසා ඊශ්‍රාලයලයට ශ්‍රී ලාංකීක ශ්‍රමිකයන් යැවීම පිළිබඳව සමහරු සිදුකරන ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙස ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටී ෴

*********************************************

මහනුවර දී පැහැර ගත් පාසැල් සිසුවිය සොයා ගනී

(15.09.2020 – 12:59 +0530 – sinhala.adaderana.lk)

මහනුවර ප්‍රධාන පෙලේ පාසලක සිසුවියක් අද (15) පෙරවරුවේ ඇයගේ නිවස ඉදිරිපිට දී පැහැරගෙන ගොස් තිබේ.

කෙසේ වෙතත් ඇයව පැහැරගත් බවට පැවසෙන පිරිස විසින් පැය තුනකට (3) පමණ පසුව ප්‍රදේශයේ තවත් පාසලක් අසල ඇය දමාගොස් ඇති බව පොලීසිය පවසයි.

මහනුරව බහිරවකන්ද ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි මෙම සිසුවිය අද (15) පෙරවරු 06:45 ට පමණ නිවසින් පිටතට පැමිණ ඇත්තේ මුඛ ආවරණයක් ලබා ගැනීමට අසල නිවසකට යාම සඳහා ය.

එහිදී ඇයව යම්කිසි පිරිසක් විසින් වෑන් රථයකින් පැමිණ පැහැරගත් බවට පසුව ඇයගේ මව්පියන් පොලීසියට පැමිණිලි කර තිබේ.

ඒ අනුව පොලීසිය එම නිවසට පැමිණ විමර්ශන කරන අතර තුර අදාළ පාසල් සිසුවියගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබා ගෙන ඇත.

පසුව පොලිස් තොරතුරු සන්නිවේදන ඒකකය විසින් ඇයගේ ජංගම දුරකථන සංඥා ඔස්සේ පරීක්ෂා කිරීමේ දී අනාවරණ වී ඇත්තේ මහනුවර නගරයෙන් ස්ථාන කිහිපයක ගමන් කරන බවය.

අනතුරුව ඇයව ප්‍රදේශයේ පිහිටි තවත් ප්‍රධාන පෙලේ පාසලක් අසල පෙරවරු 09:45 ට පමණ දමාගොස් සිටිය දී පොලිසිය විසින් සොයා ගනු ලැබීය.

කෙසේවෙතත් ඇයව පැහැරගත්තේ කවුරුන් ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණ කරගෙන් නොමැති අතර ඒ පිළිබඳව පරීක්ෂණ ක්‍රියාත්මකයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *