ගිනිගත් නැවේ හිමිකරුවන්ට දැනට රුපියල් මිලියන 340 ක බිලක්

ගිනිගත් නැවේ හිමිකරුවන්ට දැනට රුපියල් මිලියන 340 ක බිලක්

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතු සොයා බැලීමට පංච පුද්ගල කමිටුවක්

සේවිකාවක ගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ සිද්ධියක් ගැන පරීක්ෂණයක්

පිලියන්දල මත්ද්‍රව්‍ය සාදයක් වටලා තරුණ තරුණියන් 19 ක් අත්අඩංගුවට

පන්නිපිටියේ පාසලක ළමයින් 16 ක් ආසාත්මිකතාවකින් රෝහලේ

දරුවෙකු සමඟ රන් භාණ්ඩ සොරකමේ යන යුවල අල්ලන්න පොලිසිය මහජන සහය පතයි

ජනපති, අගමැති නම කී පමණින් පාසලට ළමයි ගන්න එපා – විදුහල්පතිවරුන්ට උපදෙස්

අගමැති පත්කළ 20 වන සංශෝධනය පිළිබඳ කමිටුවේ වාර්තාව අද (16) කැබිනට්ටුවට ඉදිරිපත්‍කර නෑ – C.B. රත්නායක

හෙරොයින් සමග මීගොඩදී ඇල්ලූ වෙලේ සුදාගේ සමීපතමයා ගැන තොරතුරු රැසක් එළියට

මද්‍රසා සහ අරාබි විද්‍යාල 1815 ක් ලියාපදිංචි වෙයි

අගමැති ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 156 වන ගුණානුස්මරණයට එක්වෙයි

*********************************************

ගිනිගත් නැවේ හිමිකරුවන්ට දැනට රුපියල් මිලියන 340 ක බිලක්

(16.09.2020 – 18:03 +0530 – hirunews.lk/sinhala)

= ගිනිගත් නැවේ හිමිකරුවන්ට දැනට රුපියල් මිලියන 340 ක බිලක් – පූර්ණ ඇස්තමේන්තුව නැව මෙරට මුහුදු සීමාවෙන් ඉවත් වූ පසු =

ගිනිගැනීමට ලක්වූ එම්.ටී.නිව් ඩයමන්ඞ් නෞකාවේ ගින්න නිවා දැමීමේ වියදම ලෙස ඊයේ (15) වනවිට රුපියල් මිලියන 340 ක ඇස්තමේන්තුවක් අදාල නැව් සමාගම වෙත යොමුකළ බව නීතිපති දෙපාර්තමේන්තුව පැහැදිලි කළා.

ඊට අදාළ කටයුතු පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කරමින් නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලිධාරිනි රාජ්‍ය ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය කියා සිටියේ නෞකාවේ ගින්න ඇති වූ දා සිට එය මැඩපැවැත්වීම සඳහා දායකත්වය ලබා දුන් ශ්‍රී ලංකා නාවික හමුදාව, ගුවන් හමුදාව, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව ඇතුළු සියලු අංශවල වියදම් මෙම රුපියල් මිලියන 340 ට ඇතුළත් බවයි.

++++++++++++++

සමුද්‍රීය ආරක්ෂණ පනත යටතේ සිදුවූ අපරාධය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වා නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නොතීසි ලබාගන්නා ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා වෙත නීතිපති විසින් නියෝග කර ඇති බව නීතිපති සම්බන්ධීකාරක රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළා ෴

*********************************************

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතු සොයා බැලීමට පංච පුද්ගල කමිටුවක්

(16.09.2020 – 15:41 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කටයුතු පිළිබඳ සොයා බැලීමට සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් පංච (5) පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.

වෛද්‍ය සභාවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් මේ වනවිට විවිධ පාර්ශවවලින් අමාත්‍යවරියට පැමිණිලි ගණනාවක් ඉදිරිපත්ව ඇති අතර, ඉන් ප්‍රධාන පැමිණිල්ල ලෙස දක්වා ඇත්තේ මේ දිනවල දැඩි කතාබහට ලක්වූ ජාත්‍යන්තරය පිළිගත් විදේශීය විශ්වවිද්‍යාල කිහිපයක ලියාපදිංචිය අහෝසි කිරීම සම්බන්ධයෙන් ඇතිවූ සිද්ධි මාලාවයි.

ඊට අමතරව, වෛද්‍ය සභාව තුළ පුරප්පාඩු වී නියෝජිතයින් පත් කිරීම සඳහා වූ නිලවරණය දිගින් දිගටම කල් දැමීම හා අවශ්‍ය අවම අධ්‍යාපන සුදුසුකම් හෝ සපුරා නොමැති වෛද්‍යවරුන් වෛද්‍ය සභාව තුළ ලියාපදිංචියට කටයුතු කිරීම සම්බන්ධයෙන් ද අමාත්‍යවරියට පැමිණිලි ලැබී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කළේ.

ඒ අනුව, එම පැමිණිලි සම්බන්ධයෙන් වෛද්‍ය සභාවේ කරුණු විමසා වාර්තාවක් සපයන ලෙස වෛද්‍ය සභාවෙන් ඉල්ලා සිටීමට තීරණය කර තිබෙනවා.

අදාල කරුණු පිළිබඳ අධ්‍යයනය කර ස්වාධීන වාර්තාවක් ලබාදීම සඳහා පත් කර ඇති කමිටුවේ සාමාජිකයින් වන්නේ විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත පෙරේරා, රාගම වෛද්‍ය පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය ප්‍රශාන්ත විජේසිංහ හා විශේෂඥ වෛද්‍යවරුන් වන අනුලා විජේසුන්දර, මෛත්‍රී චන්ද්‍රරත්න හා දර්ශන සිරිසේන මහත්මමහත්මීන් යි.

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ද සෞඛ්‍ය අමාත්‍යවරිය වෙත ඊයේ (15) ලිපියක් යොමුකරමින් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ වැඩබලන අතිරේක රෙජිස්ට්‍රාර්වරයා අඩු සුදුසුකම් සහිත පුද්ගලයෙකු බවයි ෴

*********************************************

සේවිකාවක ගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ සිද්ධියක් ගැන පරීක්ෂණයක්

(16.09.2020 – 16:07 +0530 – hirunews.lk/sinhala)

නිවාස සංවර්ධන අධිකාරියේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වරයකු එහි සේවය කරණ සේවිකාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ සිද්ධියක් මේ දිනවල සාමාජ මාධ්‍යවල සංසරණය වනවා.

අප මෙම සිද්ධිය සම්බන්ධයෙන් එම අධිකාරියේ සභාපති නීතිඥ සරණ කරුණාරත්න මහතා ගෙන් විමසීමක් කළ අතර ඔහු සදහන් කළේ මෙය 2015 වසරේ සිදු වූවක් බවයි.

ඒ පිළිබඳව අභ්‍යන්තර පරීක්ෂණයක් ක්‍රියාත්මක බවද ඔහු සඳහන් කළා.

ඒ සම්බන්ධයෙ සභාපතිවරයා නිකුත් කළ නිවේදනය පහතින් :

++++++++++

රජයේ ආයතනයක තරුණියකට ලිංගික බලපෑම් කරන රජයේ ඉහළ නිලධාරියෙකුගේ වීඩියෝවක් මේවනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබෙනවා. ආයතනයක ප්‍රධානියෙකු වන එම පුද්ගලයා එම තරුණියට නිරන්තරයෙන් බලපෑම් එල්ල කරන බව එම දර්ශන මගින් පැහැදිලි වනවා. එම තරුණිය විසින් පටිගත කල දර්ශන පහතින් දැක්වෙනවා :

*********************************************

පිලියන්දල මත්ද්‍රව්‍ය සාදයක් වටලා තරුණ තරුණියන් 19 ක් අත්අඩංගුවට

(16.09.2020 – 17:04 +0530 – hirunews.lk/sinhala)

පිලියන්දල – දම්පේ නිවාඩු නිකේතනයකදී උපන්දින සාදයක් මුවාවෙන් පැවැත්වූ මත්ද්‍රව්‍ය සාදයක් වටලා තරුණියන් 5 දෙනෙකු ඇතුළු 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ ලද තොරතුරකට අනුව ඊයේ (15) සිදුකළ මෙම වැටලීමේදී අයිස් මත්ද්‍රව්‍ය, ගංජා සහ මත්පෙති ඔවුන් ළඟ තිබී සොයා ගත් බවයි.

සැකකරුවන් අද (16) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 160,000 ක දඩ පනවා තිබෙනවා.

*********************************************

පන්නිපිටියේ පාසලක ළමයින් 16 ක් ආසාත්මිකතාවකින් රෝහලේ

(16.09.2020 – 17:18 +0530 – hirunews.lk/sinhala)

පන්නිපිටිය ප්‍රදේශයේ පාසලක 8 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් 16 දෙනෙකු ආසාත්මිකතාවක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

පොලීසිය පැවසුවේ විදුහල් භූමියේ පිහිටි ‘රෙඩ් පාම්’ නමැති ශාකවල ගෙඩි සහිත අතුවලින් ක්‍රීඩා කරමින් සිටියදී එම ගෙඩි ශරීරයේ දැවටී ඔවුන් මෙම ආසාත්මිකතාවට ලක්ව ඇති බවයි.

ඔවුන් මේ වනවිට හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලීසිය පැවසුවා ෴

*********************************************

දරුවෙකු සමඟ රන් භාණ්ඩ සොරකමේ යන යුවල අල්ලන්න පොලිසිය මහජන සහය පතයි

(16.09.2020 – 18:15 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක රන් භාණ්ඩ සොරකමේ යෙදුනු යුවලක් හඳුනාගැනීම සඳහා පොලිසිය මහජන සහය ඉල්ලා සිටිනවා.

පොලිස් මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහජන සම්බන්ධතා හා තොරතුරු තාක්ෂණ නියෝජ්‍ය පොලිස්පති ලාල් සෙනවිරත්න මහතා ප්‍රකාශ කළේ ඔවුන් ලියාපදිංචි අපරාධකරුවන් බවයි.

ඔවුන් පිළිබඳව තොරතුරක් වෙතොත් පොලිසිය වෙත දැනුම්දෙන ලෙසයි ඒ මහතා වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.

සැකකරුවන් පසුගියදිනක දෙමටගොඩ ප්‍රදේශයේ රන් ආභරණ වෙළඳසැලකට ඇතුළුව රන් භාණ්ඩ සොරාගන්නා අයුරු CCTV කැමරාවේ මෙලෙස සටහන්ව තිබුනා.

*********************************************

ජනපති, අගමැති නම කී පමණින් පාසලට ළමයි ගන්න එපා – විදුහල්පතිවරුන්ට උපදෙස්

(16.09.2020 – 18:50 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපතිතුමාගේ, අග්‍රාමාත්‍යතුමාගේ සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගේ නම් සඳහන් කරමින්, පාසල්වලට ළමයින් ඇතුළත් කර ගන්නා ලෙස කරන ඉල්ලීම් නොපැකිළ ප්‍රතික්ෂේප කරන්නැයි සියලු විදුහල්පතිවරුනට උපදෙස් දී තිබෙනවා.

මේ නියමය කඩකරන විදුහල්පතිවරුනට එරෙහිව දැඩි පියවර ගන්නා බව ජනාධිපති ලේකම්වරයා සියලු විදුහල්පතිවරුනට දැනුම්දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

ජනාධිපතිවරයාගේ, ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්ගේ, අග්‍රාමාත්‍යතුමාගේ, අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන්ගේ සහ වෙනත් ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගේ නියෝගයක් බව සඳහන් කොට පාසල්වලට ළමයින් ඇතුළත් කර ගන්නා ලෙස බලපෑම් කරමින් විදුහල්පතිවරුන් වෙත ලිපි යොමු කිරීමට ඇතැම් දෙනා පෙළඹී සිටින බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

සමහර අවස්ථාවල රජයේ නිලධාරීන් ද මෙවැනි ලිපි යවන බවට නිරීක්ෂණය කර ඇති බව එහි සඳහන්.

විදුහල්පතිවරුන් තම පාසලට ළමයින් ඇතුළත් කර ගැනීමේ දී එබඳු කිසිදු ලිපියක් පදනම් කර නොගත යුතු බවත් ළමයින් පාසල්වලට ඇතුළත් කළ යුත්තේ සම්මත රෙගුලාසි සහ පරිපාටිය අනුවම පමණක් බවත් එහි වැඩිදුරටත් සඳහන් ෴

******************

*********************************************

අගමැති පත්කළ 20 වන සංශෝධනය පිළිබඳ කමිටුවේ වාර්තාව අද (16) කැබිනට්ටුවට ඉදිරිපත්‍කර නෑ – C.B. රත්නායක

(16.09.2020 – 19:11 +0530 – hirunews.lk/sinhala)

20 වන සංශෝධනය ගැන සෙවීමට අගමැතිවරයා පත්කළ කමිටුවේ වාර්තාව අද (16) දින කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් නොකළ බව අමාත්‍ය C.B. රත්නායක මහතා ප්‍රකාශ කළා.

++++++++++

++++++++++

විමල්, උදය සහ වාසුදේව කැබිනට්ටුවේ දී විරුද්ධ වේ – ජනපති සම්පුර්ණ වගකීම බාර ගනී

(17.09.2020 – 00:15 +0530 – truenews.lk)

20 වැනි සංශෝධනයේ සම්පූර්ණ වගකීම තමන් භාරගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රී (16) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී දැනුම් දී ඇති බව TRUENEWS.LK වෙත කැබිනට් අමාත්‍යවරයෙකු සඳහන් කළා.

කැබිනට් මණ්ඩල රැස්වීමේදී 20 වන සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ජා වී ඇති අතර එහිදී ජනාධිපතිවරයා මේ බව සදහන් කොට තිබෙනවා.

අගමැතිවරයා පත් කළ 20 වන සංශෝධනය සම්බන්ධයෙන් කමිටුවේ වාර්තාවද අද (16) දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට නැති බව සඳහන් වනවා.

ජනාධිපතිවරයා ප්‍රකාශ කොට ඇත්තේ එය අනවශ්‍ය බවයි. කලින් සැලසුම් කළ පරිදි 20 වන සංශෝධනය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත්, සංශෝධන ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම් එය කාරක සභා අවස්ථාවේදී සිදු කළ හැකි බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

20 වන සංශෝධනයේ ඇතැම් වගන්ති සම්බන්ධයෙන් විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන මහත්වරු සිය විරෝධය පළ කර ඇති බව වාර්තා වනවා ෴

*********************************************

හෙරොයින් සමග මීගොඩදී ඇල්ලූ වෙලේ සුදාගේ සමීපතමයා ගැන තොරතුරු රැසක් එළියට

(16.09.2020 – 19:53 +0530 – hirunews.lk/sinhala)

මීගොඩ – මාදුලාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බන්ධනාගාර ගත කර සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘සමන්ත කුමාර’ හෙවත් ‘වෙලේ සුදාගේ සමීපතමයා’ දීර්ඝ කාලයක සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

ඔහුට එම මත්ද්‍රව්‍ය ලැබුණේ කෙසේ ද යන්න පිළිබඳව තවමත් නිෂ්චිත තොරතුරක් අනාවරණ කර ගැනීමට නොහැකිවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ. හෙරොයින් ග්‍රෑම් 6 යි මිලිග්‍රෑම් 200 ක් සමගින් ඊයේ (15) මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත්තා.

මොහු දැනට විවාහ වී සිටින්නේ ද දැනට බන්ධනාගාර ගතව සිටින ‘වෙලේ සුදා’ගේ ඥාති සොහොයුරියක් සමගයි.

එමෙන්ම, මීට පෙර සැකකරුගේ පියා සහ ‘වෙලේ සුදා’ගේ පියා අතර ඇති වූ ආරවුලක් මත ‘වෙලේ සුදා’ගේ පියා විසින් සැකකරුගේ පියාගේ දෑත් කපා දමා ඇති බවට ද තොරතුරු අනාවරණ වී තිබෙනවා.

මෙම සැකකරු ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ.

එමෙන්ම, හෙරොයින් ග්‍රෑම් 1 යි මිලිග්‍රෑම් 200 ක් සමගින් අත්අඩංගුවට ගත් ‘ආමි සම්පත්’ නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයාගේ ගෝලයා වන ‘සුමීර මධුෂංක’ නමැත්තා අපරාධ රැසකට සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඔහුට එරෙහිව අධිකරණ කිහිපයකින් වරෙන්තු ද නිකුත් කර ඇති අතර, පුද්ගලයෙකු ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් ද චෝදනා එල්ල වී තිබෙනවා.

මේ අතර, පිලියන්දල – දාම්පේ නිවාඩු නිකේතනයකදී උපන්දින සාදයක් මුවාවෙන් පැවැත්වූ මත්ද්‍රව්‍ය සාදයක් වටලා තරුණියන් 5 දෙනෙකු ඇතුළු 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ ලද තොරතුරකට අනුව ඊයේ (15) සිදුකළ මෙම වැටලීමේදී අයිස් මත්ද්‍රව්‍ය, ගංජා, සහ මත්පෙති ඔවුන් ළඟ තිබී සොයා ගත් බවයි.

එහිදී පොලීසිය මෙම තරුණියන් ඇතුළු පිරිසගෙන් ප්‍රශ්න කර සිටියා.

අදාළ සැකකරුවන් අද (16) දින කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 160,000 ක දඩ පනවා තිබෙනවා.

මේ අතර, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3 කට ආසන්න ප්‍රමාණයක් සමග වාකරේ ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙකු ද ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු පරවියන් සහිත පෙට්ටියක සඟවා මෙම මත්ද්‍රව්‍ය රැගෙන යමින් තිබූ බවයි පොලීසිය සඳහන් කළේ.

එමෙන්ම, ගාල්ල – නෙලුව ප්‍රදේශයේදී ද ගංජා සමග චීවරධාරියෙකු ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබුණා.

සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් ගාල්ල නගරය, තනිපොල්ගහ, කරාපිටිය සහ මිලිද්දුව යන ප්‍රදේශවල සිදුකළ විශේෂ මෙහෙයුමකදී අයිස් සහ ගංජා සමගින් සැකකරුවන් 15 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

*********************************************

මද්‍රසා සහ අරාබි විද්‍යාල 1815 ක් ලියාපදිංචි වෙයි

(16.09.2020 – 19:56 +0530 – hirunews.lk/sinhala)

මෙම වසරේ පෙබරවාරි මාසය අවසානය වන විට මද්‍රසා සහ අරාබි විද්‍යාල 1815 ක් මුස්ලිම් ආගමික හා සංස්කෘතික දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වි තිබෙනවා.

එසේම, 2019 වසරේදි ජාත්‍යන්තර පාසල් 389 ක් ආයෝජන මණ්ඩලය සහ සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇති බවයි මහබැංකුව සඳහන් කලේ.

ඒ අනුව මේවා අධ්‍යාපන අමාත්‍යාංශය සතු නොවීම නිසා ගැටලු මතුවි ඇති බව මහබැංකුව සදහන් කලා.

විශේෂයෙන් ලියාපදිංචි සිසුන් සංඛ්‍යාව, උගන්වනු ලබන විෂය මාලා මෙන්ම පිලිගත හැකි තරඟ විභාග මගින් මෙම පාසල්වල සිසුන් ඇගයිමට ලක් කිරීමට කිසිදු යාන්ත්‍රණයක් අධ්‍යාපන අමාත්‍යාංශය සතුව නොමැති බවයි පසුගියදා නිකුත් වු 2019 වසරට අදාලව මහබැංකු වාර්තාව මගින් හෙලි කර ඇත්තේ.

2018 වසරේ දී සිසුන් 120,469 දෙනෙකු ජාත්‍යන්තර පාසල් වල ඉගෙනුම ලැබු අතර 2019 වන විට එය 140,223 දක්වා ඉහල ගොස් තිබෙනවා.

පෞද්ගලික අංශය හරහා අධ්‍යාපනය ලබා ගැනීමට යොමුවන සිසුන් සංඛ්‍යාව මෙලෙස වැඩිවීම සැලකිල්ලට ගනිමින් එම සිසුන්ට ඵලදායි වැඩිහිටි දිවියක් ගත කිරීමට මේවායේ නෛතික රාමුව සහ අධීක්ෂණ යාන්ත්‍රය ශක්තිමත් කල යුතු බව මහබැංකුව සිය වාර්ෂික වාර්තාව මගින් පෙන්වා දි තිබෙනවා ෴

*********************************************

අගමැති ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 156 වන ගුණානුස්මරණයට එක්වෙයි

(16.09.2020 – 20:01 +0530 – hirunews.lk/sinhala)

සිංහල බොදු සමාජ උරුමය වෙනුවෙන් කැපවුණු ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමන්ගේ 156 වන ගුණානුස්මරණය වෙනුවෙන් කොළඹ මහාබෝධි අග්‍රශ්‍රාවක මහා විහාරයේ පැවති දානමය පිංකම අද (16) පැවත්වුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන්.

එහිදී ධර්මපාලතුමන්ගේ පිලිතුරුවට පුෂ්පෝපහාර දැක්වූ අග්‍රාමාත්‍යවරයා එහි සමරු සටහන් පොතේ සටහනක් ද තැබූ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

මේ අතර, බත්තරමුල්ල – දියත උයනේ සංවිධානය කළ විශේෂ හස්ත කර්මාන්ත අලෙවි ප්‍රදර්ශනයකට ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (16) එක්වුණා.

එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ තමන් බලයට පත්වුණු සෑම අවස්ථාවකදීම පත්වුණු රජයන් යටතේ දේශීයත්වයට මුල්තැන දෙමින් කටයුතු කළ බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *