ආරක්ෂක ලේකම්ගෙන් තවත් පිරිසකට අනතුරු ඇඟවීමක්

ආරක්ෂක ලේකම්ගෙන් තවත් පිරිසකට අනතුරු ඇඟවීමක්

පාස්කු බෝම්බකරුවෙකුගේ දේපළ වංචනිකව අයිතිකර ගත් 5 ක් රිමාන්ඩ්

නිව් ඩයමන්ඩ් නැවේ කපිතාන් ගින්න නිවන්න උත්සාහයක් දරා නොමැති බවට හෙළිවෙයි

මධුෂ්ගේ සමීප මිතුරෙකු වන ‘ආමි ශිවා’ අත්අඩංගුවට

හිවලුන් නිසා තනිව ගමන් නොයන්නැයි කළුතර ගමකට උපදෙස්

පොත් ප්‍රදර්ශනයට යන අයට වසංගත රෝග විද්‍යා අංශයෙන් දැනුම්දීමක්

අගමැති, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නිරීක්ෂණය කරයි

අපි කිසිම පනතක් හකුළාගෙන නැහැ -කෙහෙළිය රඹුක්වැල්ල

විජයකලා මහේෂ්වරන් ජනපති කොමිසම හමුවට

රත්නපුර පොලිස් නිලධාරීන් සහ කම්කරුවන් අතර හටගත් උණුසුම් තත්වය

අටලුගම සිද්ධියේ ප්‍රධාන සැකකරු ‘ගොටුකොළ රිෆායි’ බණ්ඩාරවෙලදී අත්අඩංගුවට

නීති විරෝධී කහ කිලෝ 33,000 ක් සමග දස (10) දෙනෙකු බ්ලූමැන්ඩල් හිදී පොලිස් අත්අඩංගුවට

විසිවෙනි (20) ව්‍යවස්ථා සංශෝධනය 22 වනදා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට

*********************************************

ආරක්ෂක ලේකම්ගෙන් තවත් පිරිසකට අනතුරු ඇඟවීමක්

(17.09.2020 – 19:37 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක අපරාධකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පමණක් නොව, රාජ්‍ය ආයතනවල දූෂිත නිලධාරින්ට එරෙහිවද නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සමඟ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට අද (17) එක්වූ අවස්ථාවේදීයි ෴

*********************************************

පාස්කු බෝම්බකරුවෙකුගේ දේපළ වංචනිකව අයිතිකර ගත් 5 ක් රිමාන්ඩ්

(17.09.2020 – 20:19 +0530 – hirunews.lk/sinhala)

පාස්කු ඉරිදා සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයට ප්‍රහාර එල්ල කළ බෝම්බකරුට අයත් කොල්ලුපිටියේ ඉඩමක් ව්‍යාජ ලේඛණ සකස් කර අත්පත් කරගත් සිද්ධියකට අදාළව 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර නීතිඥවරයෙකුද සිටිනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (16) දින කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කළ අතර, එහිදී නියෝග කෙරුණේ ඔවුන් මේ මස 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි ෴

*********************************************

නිව් ඩයමන්ඩ් නැවේ කපිතාන් ගින්න නිවන්න උත්සාහයක් දරා නොමැති බවට හෙළිවෙයි

(17.09.2020 – 19:49 +0530 – hirunews.lk/sinhala)

ගිනිගැනීමට ලක්වූ එම්.ටී. නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාට ලබන 28 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා අද (17) නොතීසි නිකුත් කෙරුණා.

ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට අදාළව කරුණු දැක්වූ අවස්ථාවේදීයි.

අදාළ නෞකාවේ කපිතාන්වරයා සැකකරුවෙකු ලෙස නම් කර මහේස්ත්‍රාත් අධිකරණයක් හමුවට පමුණුවන්නැයි නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (16) උපදෙස් ලබාදී තිබුණා.

ඒ අනුවයි නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඊට අදාළව අද (17) අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරනු ලැබුවේ.

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ අදාළ නැවේ කපිතාන්වරයා ගින්න නිවීම සදහා කිසිදු විධිමත් උත්සහයක් දරා නොමැති බවටයි.

60 හැවිරිදි මෙම කපිතාන්වරයා පසුගිය අගොස්තු මස 20 වනදා අදාළ නැවේහි කපිතාන්වරයා ලෙස සේවයට එක් වී තිබෙනවා.

සැප්තැම්බර් 03 වනදා නැව ගිනි ගැනීමට ලක්වූ අතර, එහිදී විධිමත් ලෙස සන්නිවේදන ක්‍රියාවලියක්ද ක්‍රියාත්මක සිදු කර නොමැති බවටයි සිදුකළ පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම, කපිතාන් ඇතුළු නැවේ කාර්ය මණ්ඩලය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සිදුකරන විමර්ශනවලටද කිසිදු සහායක් නොදක්වා ඇති බවටයි අධිකරණයට කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා සඳහන් කළේ ෴

*********************************************

මධුෂ්ගේ සමීප මිතුරෙකු වන ‘ආමි ශිවා’ අත්අඩංගුවට

(17.09.2020 – 20:39 +0530 – hirunews.lk/sinhala)

දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘මාකඳුරේ මධුෂ්’ගේ සමීපතමයෙකු වන හිටපු යුද හමුදා නිලධාරියෙකු වූ ‘පාදාගොඩ ආමි ශිවා’ නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ අතර, මත්ද්‍රව්‍ය ඇබ්බැහිවූවන්ට, වේදනා නාශක පෙති අලෙවි කිරීමේ ජාවාරමක නිරත කාන්තාවක සහ තවත් පුද්ගලයෙකු දඹුල්ල නගරයේදී ඊයේ (16) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් දෙදෙනා (2) සතුව තිබී විවිධ වර්ගයේ වේදනා නාශක පෙති 800 ක් පමණ සොයාගත් බවයි පොලිසිය සඳහන් කළේ.

ජංගම දුරකතනය හරහා මෙම ජාවාරම සිදුකර ඇති අතර, ගලේවෙල, අනුරාධපුර, පොලොන්නරුව සහ මින්නේරිය ආදි ප්‍රදේශවල තරුණයින්ට ඒවා අලෙවි කර ඇති බව සඳහන්.

කළුතර කොට්ඨාශ විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (16) මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ අලුත්ගම – පාදාගොඩ ප්‍රදේශයේදීයි.

ඊට පෙර අත්අඩංගුවට පත් මධූෂ්ගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ගෝලයෙකු වූ ‘පාදාගොඩ බුෂියා’ නැමැති සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලින් අනතුරුවයි ‘පාදාගොඩ ආමි ශිවා’ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී ජීව අත්බෝම්බයක්, බෝර දොලහේ ගිනි අවියක්, සයනයිඩ් කරලක්, යුද හමුදාවට අයත් ආරක්ෂක ඇඳුමක්, ටී-56 ගිනි අවි සඳහා යොදන උණ්ඩ 05 ක්, මිලිමීටර් 09 උණ්ඩ 07 ක් සහ තවත් උපකරණ කිහිපයක් සොයාගැනුනා.

මේ අතර, බන්ධනාගාරගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘ටගරා’ සමඟ ජාවාරමේ නිරත වූ බවට අත්අඩංගුවට ගත් මහර බන්ධනාගාර නියාමකවරයා ඇතුළු සැකකරුවන් 04 දෙනා ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, ගම්පහ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඊයේ (16) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සැකකරුවන්ගේ බැංකු ගිණුම් සහ ජංගම දුරකතන විශ්ලේෂණ වාර්තා පරීක්ෂා කරමින් ඉදිරි විමර්ශන සිදුකරන බව මෙහිදී පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.

මේ අතර බොරළු කැපීමේ ව්‍යාපාරය සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් බරපතල තුවාල ලැබූ 40 හැවිරිදි ආණමඩුව – කට්ටකඩුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු ඊයේ (16) හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට මාරු කර එවා තිබෙනවා.

මෝටර් රථයකින් පැමිණි 03 දෙනෙකු ඔහුගේ නිවස ඉදිරිපිටදී මෙම ව්‍යාපාරිකයාට තියුණු ආයුධවලින් පහරදී ඇති අතර, සැකකරුවන් මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

පහරදුන් පුද්ගලයින් සහ පහරකෑමට ලක්වූ පුද්ගලයා ‘සමීප මිතුරන්’ බව පොලිසිය කියා සිටියා ෴

*********************************************

හිවලුන් නිසා තනිව ගමන් නොයන්නැයි කළුතර ගමකට උපදෙස්

(17.09.2020 – 20:44 +0530 – hirunews.lk/sinhala)

කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය සහ අවට ප්‍රදේශවල ජලභීතිකාව වැළඳුනු හිවලුන් ගැවසෙන බැවින් දරුවන් තනිව පාසල් යැවිමෙන් වලකින ලෙස වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව දෙමව්පියන්ගෙන් ඉල්ලීමක් කරනවා.

අවස්ථා කිහිපයකදී ප්‍රදේශවාසීන් මේ සම්බන්ධයෙන් තොරතුරු හෙළි කළා.

හිවලුන් සපාකෑම නිසා වයස අවුරුදු 08 දැරියක් සහ තවත් අයෙකු ජීවිතක්ෂයට පත්වු බවටද තොරතුරු වාර්තා වී තිබුණා.

ඒ අනුව දැනට සිදුකරන ලද විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ එම ප්‍රදේශයේ ගැවසෙන හිවලුන් අතර, ජලභීතිකාව පැතිර යන බවටයි.

උදෑසන කාලයේදී හිවලුන් එලිමහනේ ගැවසෙන බැවින් පාසල් දරුවන් තනිව පාරේ නොයවන ලෙසත් රාත්‍රී කාලයේදීද තනිව ගමන් නොකරන ලෙසටත් ප්‍රදේශයේ ජනතාවගෙන් වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.

*********************************************

පොත් ප්‍රදර්ශනයට යන අයට වසංගත රෝග විද්‍යා අංශයෙන් දැනුම්දීමක්

(17.09.2020 – 20:51 +0530 – hirunews.lk/sinhala)

හෙට (18) සිට ආරම්භ වන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සහභාගිවීමේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම සියලු දෙනාගේ වගකීමක් බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව කියා සිටියේ කොළඹ අද (17) පැවති මාධ්‍ය හමුවකදීයි.

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් 3,274 දෙනා අතරින් මේ වනවිට 3,043 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ කොරෝනා ආසාදනය වූ 215 දෙනෙකු පමණක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි.

*********************************************

අගමැති, කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නිරීක්ෂණය කරයි

(17.09.2020 – 20:55 +0530 – hirunews.lk/sinhala)

ඉදිරියේදී මෙරට ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්වන කොළඹ වරාය නගර ව්‍යාපෘතියෙන් රැකියා 83,000 ක් පමණ බිහිවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ 06 වැනි සංවත්සරය යෙදුණු අද (17) දිනයේදී එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්, අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගනය සහ පොදු වෙරළ තීරය නිරීක්ෂණය කළ අග්‍රාමාත්‍යවරයා එහි ස්ථාපිත වන ඇක්වා ගෝල්ෆ් ක්‍රීඩා පිටියට පැමිණ, ගෝල්ෆ් ක්‍රීඩාවේද නිරත වී තිබෙනවා.

අනතුරුව වරාය නගර මධ්‍ය උද්‍යානයේ අග්‍රාමාත්‍යවරයා විසින් මැයි මාර ගසක්ද රෝපණය කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ.

මේ අතර, කොළඹ කොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාව එක්ව හඳුන්වා දෙන ලද ඩිජිටල්කරණය වූ කොළඹ කොටස් වෙළඳපොල ජනගත කිරීමේ උත්සවයටද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද එක්වුණා.

‘අනාගතයට අධි පිම්මක්’ යන තේමාව යටතේ සංවිධාන කර තිබූ මෙම සැමරුම් උත්සවය සඳහා එක්වූ අග්‍රාමාත්‍යවරයා ඩිජිටල්කරණය වූ කොළඹ කොටස් වෙළඳපොල විවෘත කිරීමද සිදුකළා.

*********************************************

අපි කිසිම පනතක් හකුළාගෙන නැහැ -කෙහෙළිය රඹුක්වැල්ල

(17.09.2020 – 21:39 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට ගැසට් කර තිබෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත වෙනස් කිරීමකින් තොරව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබෙනවා.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසන්නේ පනතට අවශ්‍ය සංශෝධන පාර්ලිමේන්තුව තුලදී සිදු කිරීමට එහිදී තීරණය වූ බවයි.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැසට් පත්‍රයක් මඟින් පසුගියදා ප්‍රකාශයට පත් කළද ඒ පිළිබඳව අධ්‍යයනය කර වාර්තාවක් සකස් කිරිම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සාමාජිකයින් 9 දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත් කළා.

අදාල කමිටුවේ වාර්තාව අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කෙරුණු අතර ගැසට් කළ පනත් කෙටුම්පතේ සඳහන් යම් කරුණු සංශෝධනය කිරීමටයි ඔවුන් එකඟතාව පළ කර තිබුණේ.

විගණන කොමිසම තවදුරටත් පවත්වාගෙන යාම, අමාත්‍යධූර සඳහා පනවා තිබූ සීමාවන් එලෙසින්ම තබා ගැනීම, මැතිවරණ කොමිසමේ සාමාජිකයින් සංඛ්‍යාව 5 ක් දක්වා වැඩි කිරිම සහ ජනාධිපතිධූරයට අදාලව පමණක් ද්විත්ව පුරවැසිභාවයේ බාධාව පවත්වාගෙන යාම ඇතුළු කරුණු ඊට ඇතුලත්.

කෙසේ වෙතත් අදාල කමිටු වාර්තාව ඊයේ (16) අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කෙරුණේ නැහැ.

නමුත් 20 සංශෝධනය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම පනත් කෙටුම්පත හැකි ඉක්මණින් පාර්ලිමේන්තුවේ විවාද කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊයේ (16) ප්‍රකාශ කළා.

මේ අතර, අද (17) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීද 20 වැනි සංශෝධනය සම්බන්ධයෙන් අදහස් පළවුණා.

+++++++++++++++

*********************************************

විජයකලා මහේෂ්වරන් ජනපති කොමිසම හමුවට

(17.09.2020 – 21:56 +0530 – hirunews.lk/sinhala)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මිය අද (17) පළමු වරට දේශපාලන පලිගැනීම් පිළිබද සොයා බලන ජනපති කොමිසම හමුවේ පෙනී සිටියා.

ඒ චූන්නාකම් පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කල මේ වන විට බන්ධනාගාර ගතව සිටින පොලිස් කොස්තාපල් ඥානලිංගම් මයුරන් මහතා කොමිසමට කර තිබූ පැමිණිල්ලකට අදාළවයි.

2011 වසරේදී චුන්නාකම් පොලිස් වසමේ සිදු වූ කොල්ලකෑමක් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ඉන් මිදී පලා යෑමේදී දියේ ගිලී මිය යෑම සම්බන්ධයෙන් ඥනලිංගම් මයූරන් මහතාට වසර 10 සිරදඩුවම් ලබා ඇති අතර අද (17) ඔහු බන්ධනාගාර නිළධාරීන්ගේ ආරක්ෂාව මධ්‍යයේ කොමිසමට රැගෙන ආවා.

තමා එලෙස සිර ගත කිරීම දේශපාලන බලපෑම් මත සිදු කර ඇති බවටයි ඥානලිංගම් මයුරන් මහතා කොමිසමට පැමිණිලි කර ඇත්තේ.

ඔහු සඳහන් කළේ යාපනය විද්‍යා දැරිය සමූහ ලෙස දූෂණය කර ඝාතනය කිරීමෙන් දින දෙකකට (2) පසු එනම් , 2015.05.17 වැනිදා එම සිද්ධියට සැකපිට ‘මහාලිංගම් ශෂි කුමාර්’ හෙවත් ‘සුවිස් කුමාර්’ නැමැත්තෙකු අත්අඩංගුවට ගත් බවයි.

එම අවස්ථාවේදී ප්‍රදේශවාසීන් විසින් විදුලි කණුවක ගැට ගසා සැකකරුට පහර දී තිබෙනවා.

එම අවස්ථාවේදී අදාළ ස්ථානයට පැමිණි විජයකලා මහේෂ්වරන් ‘ස්විස් කුමාර්’ව ඉන් බේරා ගෙන පොලිසිය භාරයට පත් නොකර , එම ස්ථානයෙන් පලා යෑමට ඉඩ සලසන ආකාරය දැක්වෙන විඩියෝ පටයක්ද ඥානලිංගම් මයුරන් මහතා කොමිසමට සාක්ෂි ලෙස ඉදිරිපත් කරනූ ලැබුවා.

මයුරන් මහතා පැවසුවේ ‘ස්විස් කුමාර්’ අත්අඩංගුවට ගත් බැවින් විජයකලා මහේෂ්වරන් තමාව සැකකරුවෙකු දියේ ගිලී මියගිය සිද්ධියකට වරදකරු කරවීමට බලපෑම් කර තිබූ බවයි.

මෙහිදී ඥානලිංගම් මයුරන් මහතා ඇතුළු තවත් පොලිස් නිළධාරින් 04 දෙනෙකුට මල්ලාක්කම් මහෙස්ත්‍රාත් අධිකරණය විසින් වසර 10 ක සිර දඩුවමක් ලබාදීමේ තීන්දුව පිළිබදව කොමිසමේ අවධානය යොමු වුණා.

කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා සදහන් කලේ අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට පොලිස් නිළධාරින් විසින් අමානුෂික ලෙස පහරදීමෙන් සිදුවූ මරණයක් බවට නිගමනය කරමින් මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයෙන් එම තීන්දුව ලබා දුන්නද අදාළ මරණය සුළු තුවාල සහිතව දියේ ගිලීමකින් මිය ගිය බවට අධිකරණ වෛද්‍ය වාර්තාවේ සදහන්වී ඇති බවයි.

“විනිශ්චකාරයන්ට කරුණු පෙන්වා දෙන්න කවුන්සල් වරයෙක් වත් නැහැ. වෛද්‍ය වාර්තාවට පිටින් ගොස් විනිසුරුතුමා නියෝග දීලා තියෙන්නේ. මෙලෙස තීන්දු ලබාදීම බරපතළ අපරාධයක්. නඩු තීන්දුව පිටු 128 ක්. නීතිපති දෙපාර්තමේන්තුවත් තම යුතුකම ඉටු කරල නැහැ. මේ වරදට නීතිපති දෙපාර්තමේන්තුවත් වග කිව යුතුයි” යනුවෙන් කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කළා.

කකුල් වලට ඇණ ගසා , විදුලිය අල්ලා , කෲර ලෙස වධ හිංසා පමුණුවා පොලිස් නිළධාරින් සැකකරු ඝාතනය කර ඇති බවට විත්තිය කල කරුණු දැක්වීම මත පමණක් පිහිටා මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා අදාළ නඩු තීන්දුව ලබා දුන්නද , අධිකරණ වෛද්‍ය වාර්තාවේ එවැනි කිසිදු සටහනක් නොමැති බව කොමිසමේ සභාපතිවරයා යළි ප්‍රකාශ කළා.

එබැවින් මෙම මහේස්ත්‍රාත්වරයා තනිකරම නීතිය කණපිට හැරවීමක් සිදු කර සිද්ධියට අදාළ පොලිස් නිලධාරින් කෙසේ හෝ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ දැඩි පරමාර්ථයෙන් කුමන හෝ දේශපාලන බලපෑමක් මත කටයුතු කර ඇති බව පෙනී යන්නේ යැයි කොමිසමේ සභාපති විනිසුරුවරයා වැඩිදුරටත් සදහන් කළා.

*********************************************

රත්නපුර පොලිස් නිලධාරීන් සහ කම්කරුවන් අතර හටගත් උණුසුම් තත්වය

(17.09.2020 – 22:58 +0530 – hirunews.lk/sinhala)

සබරගමුව පළාත් කම්කරු කාර්යාලය දැනට පිහිටි ස්ථානයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් රත්නපුර දිස්ත්‍රික්කයේ කම්කරුවන් පිරිසක් අද (17) විරෝධතාවක නිරත වුණා.

එම පිරිස මාර්ගය අවහිර කිරිමත් සමඟ පොලිස් නිලධාරීන් සහ උද්ඝෝෂකයින් අතර හටගත්තේ උණුසුම් තත්ත්වයක්.

රත්නපුර නගරයේ දැනට පවත්වාගෙන යන සබරගමුව පළාත් කම්කරු කාර්යාලය අවිස්සාවේල්ල නගරයට රැගෙන යාමට ගෙන ඇති තීරණයකට විරෝධය පළ කරමින් රත්නපුර දිස්ත්‍රික්කයේ කම්කරුවන් මෙම විරෝධතාව ආරම්භ කළේ රත්නපුර නගර සභාව අසලින්.

පසුව ඔවුන් කම්කරු කාර්යාලය දක්වා පා ගමනින් පැමිණියා.

එම කාර්යාලය ඉදිරිපිට විරෝධතාවය ආරම්භ කිරීමට සූදානම් වෙද්දී පොලිස් නිලධාරීන් පැමිණ උද්ඝෝෂකයින්ට දැනුම් දුන්නේ විරෝධතාව පැවැත්වීම සඳහා අවසර තිබුණද මාර්ගය අවහිර වීම වැළැක්වීම සඳහා අධිකරණ නියෝගයක් ලබාගෙන ඇති බවයි.

ඒ අනුව අධිකරණ නියෝගයේ නම් සඳහන්ව තිබූ 5 දෙනෙකු එම ස්ථානයෙන් පිටව ගිය අතර සෙසු පිරිස මාර්ගය අවහිර කරමින් මෙලෙස විරෝධතාවයේ නිරත වුණා.

පොලිස් නිලධාරීන් උද්ඝෝෂකයින්ව මාර්ගයෙන් ඉවත් කිරීමට ගිය අවස්ථාවේදී ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්.

එහිදී උද්ඝෝෂණයේ නිරත වූ එක් අයෙකු පොලිස් ජීප් රථයක නංවා ගැනීම හේතුවෙන් උද්ඝෝෂකයින් ජීප් රථයේ ගමනට බාධා පැමිණවූයේ මෙලෙසින්.

පසුව උද්ඝෝෂකයින් කම්කරු කාර්යාලයට ඇතුළු වී මෙලෙස විරෝධය පළ කළේ තම සගයෙකු පොලිස් අත්අඩංගුවට පත්වීම සම්බන්ධයෙන්ද චෝදනා කරමින්.

අනතුරුව ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරිවරයෙකු පැමිණ ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබාදෙන බවට උද්ඝෝෂකයින්ට පොරොන්දුවක් ලබාදුන්නා.

ඒ අනුව උද්ඝෝෂකයින් විසිර ගියේ ලබන සඳුදාවන විට ගැටලුවට විසඳුම් නොලැබුණහොත් උපවාසයක් ආරම්භ කරන බව ප්‍රකාශ කරමින්.

*********************************************

අටලුගම සිද්ධියේ ප්‍රධාන සැකකරු ‘ගොටුකොළ රිෆායි’ බණ්ඩාරවෙලදී අත්අඩංගුවට

(18.09.2020 – 07:10 +0530 – hirunews.lk/sinhala)

බණ්ඩාරගම – අටළුගම – මාරාව ප්‍රදේශයේ නිවසක් තුළ සිදුවන ගංජා ජාවාරමක් වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට පහරදීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ‘ගොටුකොළ රිෆායි’ නැමැත්තා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බණ්ඩාරවෙල ප්‍රදේශයේදී ඊයේ (17) මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

පසුගිය 9 වනදා සිදුවූ මෙම පහරදීමෙන් පොලිස් නිළධාරීන් 4 දෙනෙකු තුවාල ලැබූ අතර, කාන්තා පොලිස් සැරයන්වරියක් සහ පොලිස් කොස්තාපල්වරියක් ද ඒ අතර වනවා.

මේ අතර විදෙස්ගත හෙරොයින් ජාවාරම්කරුවෙකු වන ‘ධර්මසිරි පෙරේරා’ගේ සහකයෙකු වන ‘කහපොළ සුරංජි’ පිළියන්දල – බටකැත්තරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

41 හැවිරිදි සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් දෙකයි (2) මිලිග්‍රෑම් විස්සක් (20) සහ විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්ද සොයාගෙන ඇති බව සඳහන් ෴

*********************************************

නීති විරෝධී කහ කිලෝ 33,000 ක් සමග දස (10) දෙනෙකු බ්ලූමැන්ඩල් හිදී පොලිස් අත්අඩංගුවට

(18.09.2020 – 07:23 +0530 – hirunews.lk/sinhala)

බ්ලූමැන්ඩල් ගබඩා සංකීර්ණයකදී නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කල කහ කිලෝ 33,000 සහ උදු කිලෝ 3000 සමග කන්ටේනර් රථ 03 ක් සමග සැකකරුවන් 10 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසියට ලද තොරතුරක් මත කොළඹ වරායේ බ්ලූමැන්ඩල් වාහන අංගනයේදී අදාළ කහ තොගය සමඟ සැකකරුවන් ඊයේ (17) අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

වීදුරු ගෙන්වන මුවාවෙන් අදාළ කහ තොගය නීතිවිරෝධී ලෙස ඩුබායි සිට මෙරටට ගෙන්වා ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇති අතර, ඒවා මෙරටට ගෙන්වා බෙදාහැරීම සිදුකළ ප්‍රධාන සැකකරුද අත්අඩංගුවට ගත් පිරිස අතර වනවා.

++++++++++++++

අමු කහ මෙට්‍රික් ටොන් 22,500 ක් ඉදිරියේදී වෙළඳපොලට

(18.09.2020 – 08:07 +0530 – hirunews.lk/sinhala)

යල කන්නයේ වගා කළ ‘අමු කහ’ පරිභෝජනයට සුදුසු පරිදි සකස් කර ගැනීම සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම දිස්ත්‍රික්ක මට්ටමින් ලබාදීමට අපේක්ෂා කරන බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය ඒ.පී. හීන්කෙන්ද මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ පසුගිය මාර්තු මාසයේ සිට ජුලි මාසය දක්වා හෙක්ටයාර 1500 ක වගා කර ඇති ‘අමු කහ’ වගාවෙන් මෙට්රික් ටොන් 22,500 ක අස්වැන්නක් ලබාගැනීමට හැකිවනු ඇති බවයි.

මේ අතර මුහුදු මාර්ගය ඔස්සේ මෙරටට රැගෙන ආ තවත් කහ කිලෝග්‍රෑම් දහසකට (1000) ආසන්න ප්‍රමාණයක් හලාවත මෝයකට ප්‍රදේශයේ ඩිංගි බෝට්ටුවක තිබී වෙරළාරක්ෂක නිලධාරීන්ගේ භාරයට ගෙන තිබෙනවා.

ලද බුද්ධි තොරතුරක් මත අද (18) අලුයම එම කහ තොගය සොයාගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

වෙරළාරක්ෂක නිලධාරීන් අදාළ ඩිංගි බෝට්ටුව වෙත යන අවස්ථාවේ එහි සිටි සැකකරුවන් පලාගොස් ඇති අතර, මොවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මකයි.

*********************************************

විසිවෙනි (20) ව්‍යවස්ථා සංශෝධනය 22 වනදා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට

(18.09.2020 – 07:37 +0530 – hirunews.lk/sinhala)

විසිවන (20) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පළමුවර කියවීම සඳහා ලබන 22 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවෙල මහතා ප්‍රකාශ කළා.

ඔහු කියා සිටියේ ඉන් අනතුරුව අදාළ සංශෝධනයට එරෙහිව යම් අයෙක් අධිකරණයට යන්නේ නම් ඒ සඳහා දින හතක (7) කාලයක් හිමිවන බවයි.

එසේ අධිකරණය හමුවේ යම් පෙත්සමක් ඉදිරිපත් වුවහොත් එම අධිකරණ ක්‍රියාවලිය සඳහා තවත් සති තුනක (3) කාලයක් හිමිවන අතර, අධිකරණ තීන්දුවෙන් අනතුරුවයි දෙවන (2) වර කියවීමේ විවාදය සඳහා විසිවන (20) සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකිවන්නේ.

මේ අතර, සමගි ජන බලවේගය විසින් දැනට යෝජනා කර ඇති ‘ටුවෙන්ටි ප්ලස්’ යෝජනාවලිය හරහා කිසිදු බාධාවකින් තොරව ස්වාධීන රාජ්‍ය විගණන සේවය ස්ථාපිත කිරීමට හැකියාව පවතින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ විධායක කමිටු සාමාජිකයින් සහ විපක්ෂ නායකවරයා අතර ඊයේ (17) පැවති සාකච්ඡාවකදී තමන් මේ බව සඳහන් කළ බවයි නිවේදනයක් නිකුත් කරමින් සජිත් ප්‍රේමදාස සඳහන් කළේ.

යෝජිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා විගණන සේවා කොමිෂන් සභාව අහෝසි කිරීමට සහ 2007 අංක 07 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි කර ඇති රජයට 50% කට වැඩි කොටස් හිමි සමාගම් ඇතුළු තවත් ආයතන කිහිපයක් විගණනයෙන් ඉවත් කොට තිබෙනවා.

එසේම, විගණකාධිපතිවරයාද රජයේ නිලධාරියෙකු නොවන බවට සඳහන්ව තිබූ වගන්තියද ඉවත් කිරීමට යෝජනා කර තිබීම හේතුවෙන් විගණකාධිපතිවරයාගේ ස්වාධීනත්වයද අභියෝගයට ලක්වන බවයි අදාළ සාකච්ඡාවේදී විපක්ෂ නායකවරයා පෙන්වා දී ඇත්තේ.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පවතින සුළු අඩුපාඩුද නිවැරදි කරගනිමින් රජයට සම්බන්ධ සියලුම ආයතන විගණනය කිරීමේ බලය නව සංශෝධනය හරහා ලබාදෙන ලෙසද තමා යෝජනා කරන බවයි විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *